වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

පොත් හමුවීම, කියැවීම, බෙදාගැනීම සහ DRM ආදිය ගැන…

| Comments

පසුගිය වසරේ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ප්‍රවීන ගත්කරු නීල් ගේමන් ඉතා සිත්ගන්නාසුලු දෙයක් ප්‍රකාශ කලා. ඔහු කිව්වේ තමන් ලියූ පොත් අන්තර්ජාලය හරහා හොරෙන් බාගැනීම අන්තිම හොඳ වැඩක් කියල යි. මේක වැඩිදුරටත් පැහැදිලි කල ගේමන් එසේ බාගැනීම කෙනෙකුගෙන් පොතක් කියවීම සඳහා ඉල්ලාගැනීමට (borrowing) සමාන කලා. ඔහු මෙවැනි “පයිරසි” වැඩ ගැන කනිපින්දම් කියූ අයගෙන් ප්‍රශ්නයක් ඇහුවා. “ඔබ ඔබේ ප්‍රියතම ලේඛකයා හොයාගත්තේ කෙලින් ම පොත් සාප්පුවක පොත් රාක්කයක් මත වැඩඉඳිද්දී ද? එහෙමත් නැත්නම් තවත් කෙනෙක්ගෙන් පොතක් ඉල්ලාගෙන කියැවූ මොහොතක ද?” ඒ දෘශ්ටියෙන් බැලුවා ම පොතක් අන්තර්ජාලය හරහා නිදහසේ බාගන්න තිබීම නිසා එම පොතේ අලෙවියට විශේශ හානියක් සිදු වන බවක් කියන්න අමාරු යි. කතාව ගේමන්ගේ වචනවලින් ම අහන්න මේ වීඩියෝව නරඹන්න:



ඇත්තට ම පොත් කියවන බොහෝ දෙනාට මේ අත්දැකීම පොදු යි. අපි ගොඩක් වෙලාවට අපේ ප්‍රියතම පතපොත හා ලේඛකයින් මුල් වරට අඳුනාගන්නේ පොත් කියවන වෙනත් මිතුරුමිතුරියන් හරහා තමයි. ඉතා හොඳ පොතක් ලැබුනාම පොත් කියවීමටත් ඒ ගැන කතාබහ කරන්නත් ලොල් කෙනෙක් නම් ඒ රහ බෙදාහදා නොගෙන, ඒ ගැන “පුරසාරම්” නොකියා ඉන්න අමාරු යි. ගොඩක් වෙලාවට බලෙන් ම වගේ පොත අනිත් අයට කියවන්න දෙනවා. ඉතින් පොතක් ඉල්ලාගෙන කියවීම හොඳ පොත් සහ ලේඛකයින් ගැන ආරංචිය පැතිරෙන්න හේතුවක්. ඒ අඳුනාගැනීමෙන් පස්සේ පොත් ලෝලීන් බොහෝ විට කරන්නෙ එම පොත පමනක් නෙමෙයි අදාල ලේඛකයාගේ/ලේඛිකාවගේ ඊලඟ පොත් ගැනත් විමසිල්ලෙන් ඉඳීම. මෙහෙම පොත් සංසරනය වීම ප්‍රචාරන ක්‍රියාවක් (advertising) කියලත් හඳුන්වන්න පුලුවන් වග ගේමන් කියනවා. ඔහු මේ පිලිබඳ අත්හදා බැලීමක් ද කර තිබෙනවා. බොහොම අමාරුවෙන් සිය ප්‍රකාශකයා එකඟ කරවාගෙන ඇමෙරිකන් ගෝඩ්ස් නමැති පොත පුරා මාසයක් තිස්සේ නොමිලේ, එලිපිට ම බාගන්න ඉඩ දුන්නා. ඊලඟ මාසයේ පොත් අලෙවිය සියයට තුන්සීයකින් ඉහල නැඟුනා! පාවුලෝ කොයෙලෝ ලියූ The Winner Stands Alone නවකතාව මට මුලින් ම කියවන්න ලැබුනෙත් ඒ ක්‍රමයට.

මට මතක හැටියට මගේ ම ගෙදර දී හරි පොත් සාප්පුවක දී හරි කෙලින් ම හමු වී මගේ ප්‍රියතම ලේඛකයින් බවට පත් වුනේ මාර්ටින් වික්‍රමසිංහ සහ කුමාරතුංග මුනිදාස යන දෙදෙනා විතර යි. ඒ බෙහෙවින් ලාබාල වයසේ ඉන්නකොට; පාසැල් වයසටත් කලින්; ඒ පොත් ගෙනැත් දුන්නේ දෙමාපියෝ. නමුත් මගේ ප්‍රියතමයන් බවට පත් වී ඉන්න අනිත් සකල සියලු ලේඛකයින් ගැන දැනගන්න ලැබුනේ වෙනත් අයගෙන් ඉල්ලාගෙන කියවන්න අවස්ථාව තිබුනු නිසයි. සමහර වෙලාවට වෙනත් අයගේ බලහත්කාරය හෝ තෑගි දීම් නිසා “කියවන්න සිද්ද වීමෙන්”! ඒ අඳුනාගැනීමට මම මුදල් ගෙව්වෙ නෑ! නමුත් රහ වැටුනු පොත් සහ ලේඛකයින් හඹාගෙන යාම අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. උදාහරනයක් දුන්නොත් මට සුනේත්‍රා රාජකරුණානායක ලියූ පොතක් මුලින් ම කියවන්න ලැබුනේ මිත්‍රයකුගෙන්. ඔහු ප්‍රේම පුරාණය නමැති කෘතියේ ලෝලියකු බවට පත් ව හිටියා විතරක් නෙමෙයි ඒ කෘතිය තුල ඇත්තට ම ජීවත් වුනා කිව්වොත් නිවැරදි යි. ඔහුට එහි සඳහන් වන විවිධ ස්ථාන නරඹන්න යාමේ උද්‍යෝගයක් ද තිබුනා. (මෑතක දී ඔහු එම කෘතිය ප්‍රංස භාශාවට පරිවර්තනය කලා. තව ම ප්‍රකාශයට පත් වුනේ නෑ) ඔහු කීපසැරයක් ම මට පොත කියවන්න බල කෙරුවා, ඒ ගැන මහ ඉහලින් වර්නනා කරකර හිටියා. ඒ තරම් උද්‍යෝගයක් නැතත් පොතක් කියවන්න කාල වේලාව තිබුන නිසාත් වෙනත් පොතක් නොතිබුනු නිසාත් අන්තිමේ දී මම යටත් වුනා. ඒත් පොත සම්පූර්නයෙන් මාව ග්‍රහනයට ගත්තා. චමත්කාරජනක මෙන් ම අභියෝගාත්මක ද වූ පොතක්. පොතෙන් මා අමන්දානන්දයට පත් වූ බව දුටු ඔහු මට එයින් පිටපතක් තෑගි දුන්නා! එයින් මාස කීපයක් තුල මම එවකට මිල දී ගත හැකි ව තිබූ ඇගේ අනෙක් පොත් සියල්ල කියවාදැම්මා. මම හිතන්නේ අද වන විට මා සතු ව ඇය ලියූ සෑම පොතක් ම වගේ තියෙනවා. මම එයින් බොහෝ පොත් අඩුම තරමින් තවත් දෙතුන් දෙනෙකුට වත් තෑගි දීලත් තියෙනවා. මගේ මිතුරාගෙන් තෑගි ලැබුනු ප්‍රේම පුරාණය පිටපත මේ මොහොතේ මගේ මිතුරියක හරහා ඇගේ සේවා ස්ථානයටත් එතැනින් තවත් තුන් දෙනෙකු හරහා  දීර්ඝ ගමනක් ගොස් අවසානයේ අර මිතුරාගේ ම ඥාතියකු අතටත් පත් ව තිබෙන බව සැල යි. දැන් මගේ කල්පනාව මිතුරා හරහා පොත නැවත මා අතට ගන්නයි! අද වන විට මේ අතරමැදියන් වැඩි දෙනෙක් සතුව සුනේත්‍රා රාජකරුණානායක ලියූ පොත් තියෙනවා.

හරුකි මුරකමි ලියූ පොත් හමු වුනෙත් ඒ විදිහට. Kafka on the Shore නවකතාව ගැන උන්මාදයට පත් මිතුරියක් ඒක තෑගි දුන්නා. මම පොත හතර අතේ බෙදාගෙන යන්න පටන් ගත්තත් අවසන් වරට පොත බලෙන් ම දීපු අපේ ගුරුතුමෙක් හදිසියේ අභාවප්‍රාප්ත වුන නිසා පොත ආපහු ගන්න බැරි වුනා. හැබැයි එතන දී අන්තර්ජාලය පිහිටට ආවා. පසුව library.nu බවට පත් ව මෑතක දී වසා දැමුනු Gigapedia අඩෙවියත් “ලෝබ නැතුව” පොත් බැහැර ගෙනියන්න දුන්නා. ඉතින් මම ඒ පොතත් මුරකමිගේ අනිත් පොතුත් එතනින් බාගත්තා. ඒත් පොත් සාප්පුවක දී දුටුවොත් ඒ පොත් මිල දී ගෙන එකතු කිරීම නැවතුනේ නෑ. ඉංග්‍රීසියෙන් පල වුනු මුරකමිගේ අලුත් ම පොත වන 1Q84 මුලින් ම කියවන්න ලැබුනෙත් libary.nu අඩෙවියට පින් සිදු වෙන්න යි. ඇතැම් ශ්‍රී ලාංකික ගත්කරුවන්ගේ කෘතිත් “නීති විරෝධී” ලෙස අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වනු දකින්න පුලුවන්.

බෙදාගැනීම
පාසැල් යන සමයේ මගේ මිතුරන් අතර ප්‍රචලිත වෙලා තිබ්බ වැඩක් තමයි “පොත් පොත”. පොත් පොත කියන්නේ තමුන්ට අයිති සියලු පොත් ලැයිස්තුගත කරපු පොත. ඒකෙ එක කොටසක පොත් ලැයිස්තුව තිබුනු අතර අනිත් පැත්තේ බැහැර ගෙන යාමේ විස්තර සටහන් කරගන්නවා. මේ පොත පාසැලට රැගෙන එන අපි අනිත් අයට ඒවා බලන්නත් පොත් තෝරන්නත් ඉඩ දෙනවා. මාපිය උරුමයෙන් පොත් ලද අයට සරුසාර පොත් ලැයිස්තු තිබුනා, හරියට පුස්තකාලයකට ගියා වගෙයි. පොත් විසාල සංඛ්‍යාවක් නොතිබුනු අය ෆුල්ස්කැප් කොලවල පොත් ලැයිස්තු හදාගෙන ආවා. හැමෝම එකිනෙකාට අයිති පොත් විසාල සංඛ්‍යාවක් මේ ක්‍රමය යටතේ හුවමාරු කරගෙන කියෙව්වා. මේ ලැයිස්තුව එක්තරා විදිහක “නම්බුකාරකමක්” හැටියටත් පෙනුන නිසා හැමෝම වගේ නිතර ම පොත් මිල දී ගන්නත් ලැයිස්තුව ලොකු මහත් කරගන්නත් වෑයම් කලා. අදත් නිතර සිහියට නැඟෙන, හිතේ කාවැදිලා තියෙන තව දෙයක් වුනේ ඒ කාලෙත් පොත් අයිතිකාරයෝ කිසිම ලෝබකමක් නැතුව තමුන් හොඳයි කියල හිතපු පොත් බලෙන්ම අනිත් අයගේ ඇඟේ ගහපු එක යි.

ඩී. ආර්. එම්?
හැබැයි ඒ කාලේ අපි කියවපු බෙදාගත්තු මුද්‍රිත පොත්වලට ඩී. ආර්. එම්. පන්නයේ සීමා යොදලා තිබ්බා නම් දේවල් ඔය විදිහට සිද්ද වෙන්නෙ නෑ. ඒක සහතික යි. දැන් ඊපොත්වලට සිදු වෙමින් තිබෙන විපත සමග අපේ සුපුරුදු කියැවීමේ සංස්කෘතිය සැසඳීම වැදගත් බව මට හිතෙනවා.

Digital rights management හෙවත් ඩිජිටල් අයිතීන් කලමනාකරනය තමයි කෙටියෙන් ඩී. ආර්. එම්. වසයෙන් ප්‍රචලිත වෙලා තියෙන්නෙ. මේකෙන් අදහස් වෙන්නේ ඩිජිටල් අන්තර්ගතය විකිනීමෙන් පසු ඒවායේ භාවිතය පාලනය කරන්න ඒවායේ නිර්මාපකයින්, දෘඪාංග නිපදවන්නන්, පොත් ප්‍රකාශකයින් සහ ප්‍රතිරූපන අයිතිය හිමි වෙනත් පාර්ශ්වයන් උපයෝගී කරගන්නා යාන්ත්‍රනයක්. මේක තේරෙන බාසාවට දැම්මොත් මෙහෙම යි:

ඩිජිටල් අන්තර්ගතය කියන්නේ ඩිජිටල් මාධ්‍යයන් මගින්, විද්‍යුත් ක්‍රමවලට ගබඩා කර තැබෙන සහ එම මාධ්‍යයන් ඔස්සේ සංසරනය කෙරෙන විවිධ අන්තර්ගතයන්ට. විද්‍යුත් පොත්(ඊපොත්), පරිගනක ක්‍රීඩා, සංගීතය, තැටිගත කෙරුනු චිත්‍රපටි, රූපවාහිනී වැඩසටහන් ඇතුලු වර්ග බොහෝ ගනනක් මීට අයත්. ඉතින් ඩිජිටල් අන්තර්ගතය නිපදවීමට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව හිතන විදිහට මේවා විකුනුවාට පස්සෙත් ඒවායින් කල නොකල හැකි දෑ පිලිබඳ පාලනයක් ඔවුන් සතු ව තිබිය යුතු යි. ඒවා වෙනත් උපකරන තුලට කොපි කිරීම, අන් සතු කිරීම, විකිනීම, අතින් අත යැවීම යනාදී හැකියාවන් අවහිර කරන්නයි ඔවුන්ට අවශ්‍ය. මේ අවශ්‍යතාව ඉටු කරගැනීම සඳහා නානාප්‍රකාර අගුලු-මුරකාවල් දැමූ තාක්ශනයන් හා දෘඪාංග ද නිපදවනු ලැබ තිබෙනවා. මිල දී ගත් පොත් සමග අප කරන්නේ කුමක්දැයි නිරන්තරයෙන් විපරම් කරන්නත් එමගින් පුලුවන්. මේකට සරිලන නීතිත් ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල ක්‍රියාත්මක වෙනවා. Digital Millennium Copyright Act කියන්නේ එවැනි නීතියක්. ඊපොත් අලෙවියේ ජයකෙහෙලි නංවලා ඉන්න ඇමසොන් වැනි සමාගම් ඩී. ආර්. එම්. ක්‍රමෝපායන් බොහොම දරුනුවට ක්‍රියාවට නඟනවා. ඔවුන්ගෙන් මිල දී ගන්නා ඊපොත් ඔවුන් ම නිර්දේශ කරන උපකරන තුල ඔවුන් ම නියම කරන සීමා ඇතුලේ තමයි කියවන්න වෙන්නේ. අන් සතු කරන්න තහනම්. අවශ්‍ය වුනොත් අප සතු ව තියෙන පොත් “ආපහු ගන්නත්” ඔවුන්ට පුලුවන්. ඔවුන් එහෙම කරලත් තියෙනවා.

පොත් සම්බන්ධයෙන් ගත් විට ඩී. ආර්. එම්. සීමා පැනවීම ගැන උග්‍ර අන්දමේ උද්‍යෝගයක් දක්වන්නේ මේ කර්මාන්තයේ ලාභයෙන් වැඩි කොටසක් අත්පත් කරගන්නා ප්‍රකාශන ආයතන සහ ඔවුන්ගේ නීතීඥයින් තමයි. ඊට අමතර ව බිලියන ගනනින් උපයන ඇතැම් ලේඛක ලේඛිකාවන් මීට හිතපක්ශපාත ව කතා කලත් පොදුවේ ලේඛකයින්ගේ පැත්තෙන් පැන නඟින උත්සුකයක් මේකට නැති බව යි පේන්නේ. සංගීතය සම්බන්ධයෙනුත් මේ විදිහේ නිගමනයකට එන්න සාධාරන හේතු වැඩිවැඩියෙන් පේන්න තියෙනවා. ඒත් ඩී. ආර්. එම්. මගින් කිසිදු වාසියක් මොන ම පාර්ශ්වයකට වත් අත් නොවන බව කෝරි ඩොක්ටරෝ ඉතා රසබර විදියට පෙන්වා දෙනවා (වීඩියෝව බලන්න).

ඒ වාසි අවාසි කොහොම වුනත්, මේක මානව සංහතිය මීට ප්‍රථම පොතපත හා ලිපි ලේඛන ඔස්සේ දැනුම හා අදහස් සංසරනය කල අන්දමට හාත්පසින් ම වෙනස්. මින් ඉදිරියට පොතක් තවත් කෙනෙක් එක්ක බෙදාගැනීම නීති විරෝධී වෙන්නත් පුලුවන්! දඬුවම් ලැබිය හැකි වරදක්! අදහස් පල කිරීමේ හා සංසරනයේ නිදහස අගයන බොහෝ දෙනා මේ ප්‍රවනතාවට බරපතල ලෙස විරෝධය පල කරනවා. සෑම වසරක ම ජාත්‍යන්තර ඩී. ආර්. එම්. විරෝධී දිනයක් ප්‍රකාශයට පත් කොට මේ පිලිබඳ සිහිය පිහිටුවන්නත් අරගල කරන්නත් නිදහස් මෘදුකාංග පදනම කටයුතු යොදා තිබෙනවා. ඔවුන් මේ කලමනාකරන ක්‍රමවේදය හඳුන්වන්න අපනාමයකුත් භාවිත කරනවා: Digital Restrictions Management. මේ වසරේත් ඩී. ආර්. එම්. විරෝධී දිනය නිමිත්තෙන් බොහෝ අර්ථවත් ලියකියවිලි, වීඩියෝ ආදිය පල කෙරුනා. ඔබට ශෙල් සිල්වර්ස්ටයින් ලියූ The Giving Tree නම් සුන්දර පොත හුරු පුරුදු නම් මේ xkcd කාටුනය වඩා හොඳට ඇඟට දැනේවි:



කෙනෙක් කියන්න ඉඩ තියෙනවා, “අපෝ ඕවා ලංකාවට අදාල නෑ. අපි කොහොමත් පොත් හිතේ හැටියට ෆොටෝ කොපි කෙරුවා, දැන් ස්කෑන් කරලා ඊමේල් කරනවා, ඊ පොත් ආවත් ඔච්චර තමයි” වගේ කතාවක්. “අනික සිංහල පොත්වලට ඕක කවදාවත් අදාල වෙන්න විදිහක් නෑ” කියලත් කියන්න ඉඩ තියෙනවා. විශේශ වර්ගයක ජාතික චින්තනයකින් ඔප වැටුනු ඒ කතාව නිදහස් නොවන මෘදුකාංග සම්බන්ධයෙන් මීට අවුරුදු කීපයකට කලින් ඇහුන දෙයක්. නමුත් දැන් කවුරුත් දන්නවා ඒ ක්‍රමයට මෘදුකාංග සංසරනය කරන්න තියෙන දුශ්කරතාව. ලෝක ආර්ථිකය එන්න එන්න ම වඩවඩාත් ඒකාග්‍ර වෙමින් තියෙන නිසා කරුනු යෙදෙන්නේ භූගෝලයේ සෑම අස්සක් මුල්ලක් නෑර ම වෙලඳපොලේ අනසකට යට කරගැනීමට මිසක් ඒකේ අනිත් පැත්තට නෙමෙයි. අනිත් අතට අන්තර්ජාලයේ ඇතැම් තැන්වලින් කරුනු බාගෙට අහුලාගන්නා සමහර සිංහල ලේඛකයන් මෙලෙස කියවීම හා පතපොත සංසරනයට වැට බඳින නව ප්‍රවනතා “ලේඛකයාගේ අයිතීන්” රකින්න නැඟී එන සාධනීය ආරක්ශක විධිවිධාන හැටියට වර්නනා කරන අයුරුත් මා දැක තිබෙනවා. එවැනි විකාර මුද්‍රනය කරන්න අපේ පුවත්පත් ඉතසිතින් සූදානම් බවත් පේනවා.

නමුත් සිංහල සාහිත්‍යයට ඕක අදාල වෙන්නෙ නෑ නෑ කීම බරපතල මුලාවක්. අපි කලින් බොහෝ වතාවක් සාකච්ඡා කර ඇති පරිදි මේ ගත වෙන්නේ පරිවර්තනීය අවධියක්; හරියට 19 වැනි සියවසේ අග භාගය වගේ. 19 සියවසේ අග පැරනි මාධ්‍ය තුල ගබඩා වී තිබුනු දැනුම මුද්‍රිත මාධ්‍යයට පෙරලෙමින් ද අලුතින් තහවුරු වූ මුද්‍රිත මාධ්‍යයෙන් නව අන්තර්ගතය නිපදවමින් ද ඉදිරි සියවස් දෙකක පමන කාලය සඳහා පෙරසූදානමක යෙදුනු පරිවර්තනීය අවධියක් දැකගන්න ලැබුනා. ඇත්තට ම මේක මෙහෙම හිතාමතා දැනුවත් ව සිද්ද කෙරුවා නොවුනත් අද සිට හැරී බලන විට පේන්නේ එහෙම යි. එයින් පසු එලඹි 20 වැනි ශතවර්ශයේ සංස්කෘතික හා බුද්ධිමය ක්‍රියාකාරකම්වල පදනම වුනේ මුද්‍රිත මාධ්‍යය. ඉතින් එලඹෙන සියවස් කිහිපය සම්බන්ධයෙන් මේක මොන වගේ වේවි ද? නිසැක ව ම විද්‍යුත් ක්‍රමයට ගබඩා කෙරුනු අන්තර්ගතයන් ඒ තැන ගන්නවා. ඩිජිටල් මාධ්‍ය අඩු තරමින් ඉදිරි සියවස් දෙකක-තුනක පමන කාලයක් වත් අනසක පතුරවනු ඇති බව යි පේන්නේ. ඇතැම් විට මුද්‍රිත පොත් බොහෝ ම සුඛෝපභෝගී හා සීමිත දෙයක් බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. මේක හුදෙක් කැමැත්ත අකමැත්ත හෝ තේරීම පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මෙවැනි යුගයක ඩී. ආර්. එම්. වැනි නිශේධාත්මක ප්‍රවනතා ගැන දැනුවත් වෙන්නත් සිය නිදහසේ සීමා පටු වීම වලක්වාගනු පිනිස දැනුවත් ප්‍රයත්නයක/අරගලයක නිරත වෙන්නත් ප්‍රමාද විය යුතු නැහැ. මේවා ලේඛකයින් සහ ප්‍රකාශකයින් සේ ම පාඨකයින් ද ඒකරාශී වන කොලඹ (මහනුවර, ගම්පහ, ගාල්ල….) ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බඳු අවකාශ තුල වඩවඩාත් සාකච්ඡාවට බඳුන් විය යුතු ප්‍රශ්න බව මගේ හැඟීම යි. අපි පොත් ලියන්නෙ කොහොම ද? අපි පොත් පල කරන්නෙ කොහොම ද? අපි පොත් කියවන්නෙ කොහොම ද? මෙයාකාර ප්‍රශ්න විවිධ පැතිවලින් මතු කල යුතු ව තිබෙන අවධියක් මේක.

*වැඩිදුර කියැවීම සඳහා

.

කටුගෙයි කෙරුවාව හෙවත් කෞතුකාගාර සම්ප්‍රදාය

| Comments

එදා ලෝක නර්තන දිනය. ඒ නිසා වරදින්න විදිහක් නෑ. අප්‍රේල් 29. ඒ නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ විච්චූර්න හා සැමරුම් කීපයක් තිබුනා. නර්තනය ගැන කලා භවනේ ප්‍රදර්ශනයකුත් තිබුනා. ඉතින් මේ තැන්වල ගැවසිලා ගිනිමද්දහනත් පහු වෙනකොට පරන පුරුද්දට කෞතුකාගාරේ කැන්ටිම මතක් වුනා. නමුත් මා සමග හිටි මිතුරෙක් කිව්වේ “ඒකට දැන් එහෙම යන්න බෑ, චෙක් කරනවා. අර හොරකමට පස්සෙ යන්න එන්න අමාරුයි” කියලයි. ඒත් අපි ලඟ කිසිම හොරබඩුවක් නොතිබුනු නිසාත්, ඇතුලෙන් මොකුත් උස්සගෙන එන්න අදහසක් නොතිබුනු නිසාත්, අර හොරකම කලේ අපි නොවන නිසාත් පිපාසය නිවාගන්න ඒ පැත්තට යන්න තීන්දු කෙරුවා. අපි ඇතුලු වුනේ කටුගෙයි පසුපස ගේට්ටුවෙන්.

ගේට්ටුව කිව්වට කලින් තිබුනු ගේට්ටුව එතන නැති බව දුර තියාම මට පෙනුනා. එතන මහ විසාල අලුත්වැඩියාවක්. යෝධ කටවුට් එකකින් නිවේදනය කෙරුනේ නව පන්නයේ ආපන ශාලාවක් සහ විවිධ ක්‍රියාකාරකම් සහිත අවකාසයක් ඉදි වෙමින් තියෙන බව යි.(පින්තූරයක් ගන්න බැරි වුනා, මම මේ මතකයෙන් ලියන්නෙ.) අලුත් ගේට්ටුවක් ද සවි කිරීමට නියමිත බව අපි අනුමාන කලා. සෙනගත් හිතේ හැටියට යනවා - එනවා. අපිත් ඇතුලට ගියා ඔහේ ඇවිදගෙන; කෑවා, බීවා. අවට සිරි නැරඹුවා; ආපහු ඔහේ ඇවිදගෙන ඇවිත් ආපු තැනින් ම පරීක්ශාවකින් තොර ව ම පිට වෙලා ගියා.

මගේ යාලුවා අන්දමන්ද වෙලා හිටියේ මෙච්චර ගිනිකෙලියක් වෙලා තියෙද්දිත් මේ තරම් අඩු ආරක්ශාවක් සහිත ව කෞතුකාගාර භූමිය පවතින්නේ කොහොමද කියලයි. මට නම් ඒක පුදුමයක් නෙමෙයි. මොකද කෞතුකාගාරය වැඩ කරන විශේශ ක්‍රමය ඕක බව මම දන්නවා; ජාතික කෞතුකාගාර සම්ප්‍රදාය. මේක පොඩි සන්දියේ සෙල්ලං කරනකොටත් අපි ඉගෙන ගත් ක්‍රමයක්. සෙල්ලම පටන් ගත් පසු “ඔට්ටු” දේවල්, සෙල්ලමේ විරාමයක් අතරතුර “ඔට්ටු” නෑ. හැංගිමුත්තං කරනකොට ඕක වඩාත් හොඳින් පුහුනු වෙන්න පුලුවන්. හැංගිලා ඉන්න අය අල්ලන්න පුලුවන් වෙන්නෙ සෙල්ලම පටන්ගත්තාම විතරයි. කෙනෙකුට ඕන නම් හඬනඟා අතරමැදදීත් විරාම ඉල්ලන්න පුලුවන්. ඇයි අත්තාපල් මුත්තාපල් අල්ලන සෙල්ලම කරනකොටත් එහෙමයි!

අපි කෞතුකාගාර භූමියට ගියේ ඔවුන් වෙන වැඩකට “බ්‍රේක් එකක්” අරන් ඉන්න වෙලාවක යි. මොකද ඉදි කිරීම් කියන්නේ වෙන ම වැඩක්. මෙතන එසේ මෙසේ ඉදිකිරීමක් නෙමේ කෙලින් ම ගේට්ටුවත් අයත් වෙන මහා ඉදිකිරීමක් නේ. ඒ වෙලාවට පරීක්ශා කරන්න බෑ. හරියට හැංගිමුත්තන් සෙල්ලමේ දී වගේ හොරු අල්ලන්නේ සෙල්ලම පටන්ගත්තම විතරයි. හොරු දැනගන්න ඕන “ඔට්ටු” මොන වෙලාවෙද “ඔට්ටු” නැත්තේ මොන වෙලාවෙද කියලා.

මේ ක්‍රමය ම ආරක්ශක කැමරා සම්බන්ධයෙනුත් ඔවුන් අනුගමනය කරන බව සමස්ත ලෝකයා ම පහුගිය සති කීපය තිස්සේ දැනගත්තා. කැමරා අලුත්වැඩියාව සඳහා ඉවත් කල විට හොරකම් කරන්න ඔට්ටු නෑ! එහෙම හොරකම් කලාම ඒවා අල්ලන්නත් කොච්චර අමාරු ද? නෝටි හොරු! මේක අද ඊයේ පටන්ගත්ත සම්ප්‍රදායක් නො වන බව මම මගේ මිතුරාට කියා දුන්නා.

2007 අවුරුද්දේ මුල භාගයේ ඉතා චිචිත්‍ර යමක් මේ කෞතුකාගාරය තුල සිදු කෙරුනා. ඒ තමයි කෞතුකාගාරයේ වහල අලුත්වැඩියා කිරීම. මේ වැඩේ භාර දුන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට. ඔවුන් එය සබ්-කන්ට්‍රැක්ට් ක්‍රමයට පුද්ගලික සමාගමකට පැවරුවා. මෙතනදීත් අපි අමතක කරන්න හොඳ නෑ අපේ කෞතුකාගාර සම්ප්‍රදාය ගැන. වාසනාවට ඒක නිසියාකාරව රැකගන්න පුලුවන් වුනා. ඔන්න කට්ටිය වහලය ගලවලා එහේ මෙහේ කරලා අලුත්වැඩියාව පටන්ගත්තා. සම්ප්‍රදාය අනුව අනිත් වැඩ ඒ වෙලාවට කරන්න ඔට්ටු නෑ. නිදසුනක් විදිහට වහලයක් නැති වෙලාවට වැස්ස ඇදගෙන වැටීම වගේ දේවල්. නමුත් නෝටි අහස! ඒ වෙලාවෙම හැලුවා නේද වැස්සක්! වරකට වැඩ එකක් පමනක් කරන කෞතුකාගාරයේ වහලය යට තිබුනු කෞතුක භාන්ඩ ඉවත් කර නොතිබුන නිසා ඒවා වැස්සට හේදී ගියා. සිදුවූ හේදීමේ තරම අද වන තුරුත් හරි හැටි ප්‍රසිද්ධියට පත් කර නෑ. නමුත් දැන් මියපරලොව ගොස් සිටින සුප්‍රකට කලාකරුවකු විසින් පිටපත් කරනු ලැබූ විහාර බිතුසිතුවම් ගනනාවක් හේදී ගිය බව ඇතැම් මාධ්‍ය වාර්තා කලා. මේ චිත්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒවා පිටපත් කරපු කලාකරුවා සම්බන්ධයෙන් තිබුනු ඓතිහාසික වැදගත්කම එකක්. ඔහු මියපරලොව ගිහින් නිසා නැවත ඔහු ලවා චිත්‍ර අන්දන්න අමාරුයි(මේක නාථ දෙවියන් වැනි විකල්ප මාධ්‍ය මගින් පුලුවන් ද බැරිද නොදන්න නිසයි කෙලින් ම බෑ කියල නොලිව්වේ). අනිත් ප්‍රශ්නය ඒ බිතුසිතුවම් මුලින් තිබුනු විහාරස්ථාන වැඩිදුරටත් විනාශ වී තිබුනු නිසා නැවත ඒ සිතුවම් පිටපත් කිරීමේ නොහැකියාව. මීට අමතර ව කෞතුකාගාරයේ ප්‍රධාන පුස්තකාල පරිශ්‍රය පෙදෙසට ද වතුර ගලා තිබුනු බව වාර්තා වුනා.

මට මගේ මිත්‍රයාට විස්තර කර දෙන්න ඕනෑ වුනේ සායම් හේදිලා විනාස වුනු චිත්‍ර ගැන වත් වතුරට පෙඟුනු පොත් ගැන වත් නෙමෙයි. මේක අපේ සම්ප්‍රදාය බව යි. වරකට එකක් පමනක් කිරීම බොහොම සාරගර්භ අදහසක් (තියෙනවා නේද ඒකෙ පොඩි බෞද්ධ දාර්ශනික ගතියකුත්?). වහලය හදන වෙලාවට වහලය යට තියෙන බඩු එහේ මෙහේ අදින්න යන්නෙ නෑ. ඒ වෙලාවට ම බිතුසිතුවම් හේදිලා යන්න වහිනවා නම් ඒක අනිවාර්යයෙන් ම අපේ උරුමය නැති කරන්න වහින මුස්ලිම් වැස්සක් වෙන්න ඕන. කැමරා අලුත් වැඩියා කරන වෙලාවටත් එහෙමයි, ඒක “ටයිම් අවුට්” වෙලාවක් නේ. මොන හොරාද ඒ වෙලාවට හොරකම් කරන්නෙ? හොරකම් කලත් ඒ හොරකම ඔට්ටු නෑ. අනික ගේට්ටුව ලඟ මුරකාවල් තියෙන්න පුලුවන් ද ගේටටුවක් නැති වෙලාවක?

මගේ නාමයෙන් නො වේ!: ආගමික අන්තවාදයට හා ප්‍රචන්ඩත්වයට එරෙහි ව නව මාධ්‍ය අවකාශයෙන් අර්ථාන්විත මැදිහත්වීමක්

| Comments


කෙටියෙන්: කරුනාකර Not In Our Name වෙබ් අඩෙවිය මත සිංහලෙන්, දෙමලෙන් සහ ඉංග්‍රීසියෙන් තිබෙන ප්‍රකාශය සුපරීක්ශාවෙන් කියවා ඔබේ සහාය පල කරන්න. ඔබේ හඬ ඇහෙන්න සලස්වන්න. ආගමේ නාමයෙන් දියත් කෙරෙන බව කියන මේ ප්‍රචන්ඩත්වය “ඔබේ නමින් නම් නොවන බව” කියන්න.

තරමක් සවිස්තර ව: පසුගිය සතියේ බෞද්ධ භික්ශූන් වහන්සේලා විසින් නායකත්වය දෙනු ලැබූ දෙදහසක පමන මැර බලකායක් දඹුල්ල මුස්ලිම් පල්ලියට එරෙහි ප්‍රචන්ඩ හා ආවේගශීලී උද්ඝෝශනයක නිරත වුනු අන්දම දැන් කවුරුත් දන්නවා. ඇතැමුන් ආගමික ස්ථානය තුලට කඩා වැදුනු අතර තවත් සමහරු එහි ප්‍රවේශස්ථානය කඩා බිඳ දැම්මා. අද වන විට බොහෝ දෙනා මේ සිද්ධිය සවිස්තර ව නරඹා, කියවා, අසා අවසන්.

මේ ප්‍රහාරක කන්ඩායමේ ප්‍රකාශිත චෝදනාව වුනේ දඹුල්ල මුස්ලිම් පල්ලියත්, තවත් ආගමික ස්ථානත් දඹුල්ල බෞද්ධ පූජා භූමිය තුල අනවසරයෙන් ඉදි කොට තිබෙන බව යි. එහෙත් මේ කියමනේ සත්‍යතාව පිලිගත හැකි පරිදි නරඹන්න, අහන්න, කියවන්න තව ම අපට ලැබිලා නැහැ. මුස්ලිම් පල්ලිය පාර්ශ්වයෙන් ප්‍රකාශිත ව ඇත්තේ එම පූජා ස්ථානය දශක ගනනාවක් පැරනි බව.

ඒ කෙසේ වෙතත් මේ ආරාවුල මධ්‍යයේ භික්ශූන් වහන්සේ ඇතුලු උද්ඝෝශකයින් නිකුත් කල නිවේදන හා ප්‍රකාශ අතිශය භයංකර ඇඟවුම් ගැබ් කරගත් ඒවා බවට නම් විවාදයක් නැහැ. ප්‍රචන්ඩත්වය අනුදැන වදාරමින් ද වර්ගවාදී හා ආගම්වාදී උසිගැන්වීම්වල යෙදෙමින් ද ඔවුන් හැසිරුනු අන්දම සමාජය ගමන් කරන දිශාව පිලිබඳ බරපතල ප්‍රශ්න මතු කරනවා. මේ උත්සන්නිය අඩු තරමින් සති කිහිපයක් තිස්සේ සූදානම් කොට, ප්‍රචාරනය කොට ක්‍රියාවට දමනු ලැබූවක් බව ද පැහැදිලි යි. ඒ සම්බන්ධ Facebook පිටුව ලොමු ඩැහැගන්වනසුලු වර්ගෝත්තමවාදයක් ප්‍රචාරය කරමින් ඉන්නවා.

මේ සියල්ල සිදු වෙද්දීත් ආන්ඩුව හෝ ප්‍රධාන ධාරාවේ කිසිදු ජනමාධ්‍යයක් හෝ මේ සිදුවීම හෙලාදකින්න ඉදිරිපත් නො වීම කැපී පෙනෙන සංසිද්ධියක්. රාජ්‍ය තන්ත්‍රයේ ඉහල ම තැන්වලින් පල වෙන්නේ නිහඬ අනුමැතියක්. “සිහි එලවා ගනිවු” කියන්න ඉන්නේ බොහොම ටික දෙනෙක් බව පේනවා. කිසිදු පිලිගත හැකි ස්වරූපයේ පරීක්ශනයකින් තොර ව ම ප්‍රශ්නයට තුඩු දී තිබෙන ආගමික ස්ථානය ඉවත් කිරීමට සැරසෙන බව තමයි පෙනෙන්නේ. මට වැටහුනු අන්දමට නම් එවැනි නිශේධාත්මක විසඳුමකින් මේ ප්‍රජාවන් අතර සංහිඳියාවක් ඇති කිරීමට අමාරු යි. එයින් ආතතීන් තවත් උග්‍ර වෙනවා නේද? මේ සම්බන්ධයෙන් වෙනත් බොහෝ සාධනීය පියවර ගත හැකි යි. නමුත් එවැන්නක් ගැන වගේ වගක් නැති බවක් තමයි පේන්නේ.

මේ තත්වයට ප්‍රතිචාරයක් ලෙස මුස්ලිම් ප්‍රජාව තුලත් ඇතැම් අන්තවාදී ධාරාවන් හිස එසවීමට සූදානම් වන අයුරු ද ඉන් පසු පෙනෙන්න තිබුනා. මෙය මේ අහිතකර වාතාවරනය තවදුරටත් දූශනය කරන්න හේතුවක්.

ඔබේ හඬ ඇහෙන්න සලස්වන්න!

මෙය ඉතා බුද්ධිමත් ව හා මධ්‍යස්ථ ව මේ ගැටුම සාධනීය අන්දමේ පර්වර්තනයකට ලක් කරගත යුතු අවස්ථාවක්! ප්‍රබල මැදිහත් වීමක් සිදු කරමින් අන්තර්-ආගමික හා අන්තර්-වාර්ගික ආතතීන් සමනය කරනු පිනිස හැකි සෑම පියවරක් ම ගැනීම අත්‍යවශ්‍ය මොහොතක්. ඒ සම්බන්ධයෙන් වැදගත් පියවරක් නව මාධ්‍ය අවකාශය තුල ගනු ලැබ තිබෙනවා. දැනට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය තුලින් නෑසෙන, ආගම්වාදයට හා ප්‍රචන්ඩත්වයට එරෙහි හඬවල් ඉස්මතු කරන්න Groundviews වෙබ් අඩෙවිය මූලික වී Not In Our Name නමින් අගනා කේන්ද්‍රස්ථානයක් විවෘත කලා. බ්ලොග් අඩෙවි, ට්විටරය (Twitter) සහ ෆේස්බුක් (Facebook) වැනි නව මාධ්‍ය හා සමාජ-මාධ්‍ය ද්වාර මගින් ගොනු කරගත් සහාය මත එය ක්‍රියාත්මක වෙනවා. එහි සිංහල, දෙමල සහ ඉංග්‍රීසි භාශාත්‍රයෙන් ම පල කොට තිබෙන ප්‍රකාශයත්, ඊට සහයෝගීතාව පල කරමින් ගලා එන ප්‍රතිචාර සමුදායත් පෙන්නුම් කරන්නේ මේ ප්‍රචන්ඩත්වය, මේ වර්ගවාදය, මේ ආගම්වාදය අනුමත නොකරන පිරිසක් ද මෙහි සිටින බව යි; මේ අර්බුදය විසඳීමෙහිලා විකල්ප ප්‍රවිශ්ටයක් ඉල්ලා සිටින පිරිසක් ද සිටින බව යි; වහා සිහි එලවාගැනීම වැදගත් බව යි; ප්‍රචන්ඩත්වයෙන් තොර මානවවාදී විසඳුම් අවශ්‍ය බව යි; සංහිඳියාව අවශ්‍ය බව යි. මේ හඬ ඇහෙන්න සැලැස්වීම මොන තරම් වැදගත් ද?! එය මෙවැනි අර්බුදයකට දිය හැකි සකලවිධ විසඳුම්වල පදනම බව මගේ අදහස යි. එසේ ම එය අපේ සංස්කෘතියේ “සෞඛ්‍යසම්පන්නභාවය” පැත්තෙනුත් අවශ්‍ය දෙයක් නේද? අපේ සමාජ ජීවිතයේ හා සංස්කෘතියේ සෞඛ්‍යසම්පන්නභාවය පැත්තෙන් බැලූ විට මේ හඬ නැඟීම ම - ඒ පිලිබඳ සිහිය පිහිටුවීම ම - පමනක් පවා ප්‍රමානවත් බව මගේ පුද්ගලික හැඟීම යි. ඉතින් ඉන් පසු අපි කුමක් කරමු ද? Not In Our Name අඩෙවිය අපට මෙහෙම කියනවා:

මේ මොහොතේ කරන්නේ කුමක්දැයි අපට තෝරාගැනීමක් කළ හැකියි, නමුත් කාලය වේගයෙන් ගෙවී යයි. ඔබගේ නම, ඔබට කියන්නට ඇති අදහසක් සමග ඉංග්‍රීසියෙන්, සිංහලෙන්, හෝ දෙමළෙන් … සඳහන් කරන්න. නොවැදගත් සුළු පිරිසකගේ උන්මත්තක ක්‍රියාවන්ට සහ වර්ගවාදයට එරෙහි වන්න. … ඔබේ නම සඳහන් කර, මැර ප්‍රචණ්ඩත්වය  මුදා හැරීම සහ ස්වමතයේම ගිලී අන්  සියල්ල හෙළා දැකීමේ පිළිවෙතට විරෝධය පළ කරන්න.
අප සටන් කළ යුතු නම්, විනාශ කර දැමිය යුතුයැයි තමන් කියා සිටින දේ පමණක් නොව, තමන් ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා යැයි කියන දේත් අනතුරේ හෙළන අන්තවාදින්ගෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීම උදෙසා ඒ සටන දියත් කරමු.
ඔබේ නම … ඇතුළත් කර, අනෙක් අය වෙතත් මේ පණිවුඩය යවන්න.
ඉදිරියේදී මොනවද කෙරෙන්නෙ?
මාසයකට පසුව අත්සන් කළ සියලු දෙනාගේම නම් සහ ඔවුන් පල කල අදහස් මුද්‍රණය කර, ජනාධිපති ලේකම් කාර්යාලයට, අගමැති කාර්යාලයට, ආගමික කටයුතු සහ සදාචාර වර්ධන අමාත්‍යාංශයට, සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට, හින්දු ආගමික සහ සංස්කාතික කටයුතු දෙපාර්තමේන්තුවට සහ මුස්ලිම් ආගමික සහ සංස්කාතික කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දෙනු ඇත.
(සම්පූර්න විස්තර සහිත ව තෙබසින් ම කියවන්න Not In Our Name වෙත යන්න මෙතැන ක්ලික් කරන්න)
කාරුනික ව මේ පිලිබඳ ඔබේ බැරෑරුම් අවධානය යොමු කරන්න. කියවන්න. එහි ප්‍රතිචාර තීරයේ ඔබේ නම සටහන් කරමින් සහාය දෙන්න. ඔබේ වචනයෙන් ඒ පිලිබඳ ලියන්න. Not In Our Name අඩෙවිය පිලිබඳ twitter මගින්, Facebook මගින්, ඔබේ බ්ලොග් අඩෙවිය මගින් හෝ ඔබට හැකි ඕනෑ ම සදාචාරවත් මාර්ගයකින් ප්‍රචාරය කරන්න. ඔබේ මිතුරන්ට කියන්න. අදහස අතිනත යවන්න.

ස්තුතියි.


අතුරුදන්කිරීම් නවතනු! Stop Disappearances!

| Comments

ශ්‍රී ලංකාව තුල පුද්ගල පැහැරගැනීම් හා අතුරුදන්කිරීම් අතිශය සාමාන්‍ය සංස්කෘතිකාංගයක් බවට පත් ව තිබෙනවා. අප්‍රේල් 7 වැනි දින වාර්තා වුන නවතම සිද්ධිය එනම් ප්‍රේමකුමාර් ගුනරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙනාගේ අතුරුදන්වීම මේ ප්‍රවනතාව එන්න එන්න ම නරක අතට හැරෙමින් පවතින බව පෙන්නුම් කරන සාක්ශියක්. ඔවුන් දෙදෙනා ම අලුතින් ආරම්භ කෙරුනු දේශපාලන ප්‍රවනතාවක හා පක්ශයක නායකයින්. අතුරුදන් වන විට ඔවුන් දෙදෙනා ම සිටියේ තමන් අලුතින් ආරම්භ කල දේශපාලන පක්ශයේ ප්‍රථම සම්මේලනය සඳහා සූදානම් වෙමින්. එම දේශපාලන කන්ඩායමට ම අයත් තවත් ක්‍රියාධරයන් දෙදෙනෙක් මීට පෙර යාපනය ප්‍රදේශයේ දී අතුරුදන් කෙරුනා. “දේශපාලනයෙහි නිරත වීම” මේ සියලු දෙනාගේ අතුරුදන් වීමට හේතුව වසයෙන් නිගමනය කිරීම සාධාරන යි.

අතුරුදන්වීමට පලමු රාජ්‍ය ජනමාධ්‍ය මෙන් ම රජයට අවිවේචනාත්මක ව සහයෝගය දෙන පෞද්ගලික ජනමාධ්‍ය ද මේ කන්ඩායම “කැරලිකාරී” මෙන් ම “අනාගතයේ දී ආයුධ සන්නද්ධ වීමට ඉඩ තිබෙන”, “කොටි සමග සබඳතා සහිත” පිරිසක් වසයෙන් චිත්‍රනය කිරීම සඳහා මාස කිහිපයක් තිස්සේ අඛන්ඩ ප්‍රචාරක මෙහෙයුමක් ගෙන ගියා. එම මෙහෙයුමට අවශ්‍ය වේගය-තාලය සපයන්න දේශපාලනඥයින් ද ආන්ඩුවට හිටියා.

පුද්ගලයින් පැහැරගෙන යාම අතුරුදන් කිරීම ඉතා සංකීර්න ක්‍රියාකාරකම් ජාලයක් බව ඒ සම්බන්ධයෙන් පල වුනු පුවත් වාර්තා නිරීක්ශනය කරන විට පේනවා. ඒ සියල්ල සමජාතීය නැහැ. ඇතැම් පැහැරගෙන යාම් කප්පම්කරුවන් විසින් සංවිධානාත්මක ව සිදු කල බව අනාවරනය වෙනවා. තවත් ඒවා විවිධ පුද්ගලික කෝන්තර හා ආරාවුල් නිසා කෙරුනු ඝාතන බවට පසු ව හෙලිදරවු වුනා. ව්‍යාපාරික උත්සුකයන් තියෙන තවත් වර්ගයක අතුරුදන් කිරීම් ගැනත් අහන්න ලැබෙනවා. තවත් ඇතැම් පැහැරගැනීම් ආන්ඩුවට හා පාලන තන්ත්‍රයට සම්බන්ධ බලවතුන්ගේ මැදිහත් වීමෙන් බේරුම් කරගන්න ඉඩ ලැබී තිබෙනවා. ඇමැති ජීවන් කුමාරතුංග, ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ, ජනාධිපති මහින්ද රාජපක්ශ හා පොලිසිය මැදිහත් ව සිදු කල “බේරාගැනීමක්” වශයෙන් දිවයින පුවත්පත (2012/03/28) වාර්තා කල පැහැරගැනීම හා කප්පම් ඉල්ලීමේ සිද්ධිය මීට නිදසුනක්. මේ වර්ගයේ පැහැරගැනීම් පිලිබඳ ඉතා වැදගත් ප්‍රශ්න කීපයක් W3Lanka බ්ලොග් අඩෙවිය මතු කරනවා.

ඒ කෙසේ වෙතත් මෑත වසර කිහිපය තුල පවත්නා පාලන තන්ත්‍රයට අභියෝග කිරීමට හෝ එය විවේචනය කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයින්ගේ අතුරුදන් වීම් කෙලවර වුනේ මේ ක්‍රමවලට නෙමෙයි. පැහැර ගැනුනු පුද්ගලයා නැවත සොයාගැනුනු අවස්ථාවල පවා ඔහු හෝ ඇය තව දුරටත් ස්වකීය ක්ශේත්‍රයෙහි (බොහෝ විට ජනමාධ්‍ය, මානව හිමිකම් පිලිබඳ අරගල සහ දේශපාලනය) නියුක්ත ව සිටීමට හෝ ශ්‍රී ලංකාව තුල ජීවත් වීමට හැකි තත්වයක සිටියේ නැහැ. පුද්ගලයින් අතුරුදන් කෙරුනු පසු නැවත සොයා නොගැනුනු අවස්ථා ගනන ඉතා බියකරු අන්දමින් ඉහල ගොස් තිබෙනවා. මේ ගනයට අයත් වෙන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි විශේශ ප්‍රසිද්ධියක් ලැබුනු සිද්ධීන් එකක් දෙකක් හෙම නෙමෙයි! ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් ආන්ඩුවේ ඇතැම් ප්‍රකාශකයින් දක්වා තිබුනු අදහස් බෙහෙවින් පරස්පර විරෝධී යි. ඇතැමෙක් ප්‍රකාශ කලේ ඔහු හිතාමතා ම සැඟවී ඉන්න බව යි. මේ චෝදනාව ගුනරත්නම් සහ ආටිගල යන දෙදෙනාටත් එල්ල කරන්න බැරිකමක් නැහැ. ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් මෙන් ම ගුනරත්නම් හා ආටිගල දෙදෙනා පිලිබඳ වත් තියෙන එක් අදහසක් වන්නේ ඔවුන් රාජ්‍යය විසින් නොඑසේ නම් රාජ්‍යය යටතේ ක්‍රියාත්මක වන පොලිස් හෝ මිලිටරි අංශයක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව.

මේ සන්දර්භය තුල ගුනරත්නම් සහ ආටිගල දෙදෙනාගේ ජීවිත පවතින්නේ බරපතල අවදානමක බව පේනවා. මීට පෙර අතුරුදන් කරනු ලැබූ ඔවුන්ගේ ම දේශපාලන කන්ඩායමේ සාමාජිකයින් දෙදෙනා පිලිබඳ කිසිදු තොරතුරක් අද වන තුරුත් සොයාගත හැකි ව නැහැ.

මෙවැනි වාතාවරනයක් තුල වෛරී, උද්වේගකර අදහස් සමුදායක් මුදා හැරිය හැකි තවත් එක් ෆෝරමයක් විවෘත කිරීම මේ ලිපියේ අරමුන නෙමෙයි. නමුත් අපේ සංස්කෘතිය පිලිබඳ විවේචනාත්මක ආකල්පයක් ගැනීම ගැන සමාව ඉල්ලන්න අවශ්‍ය නැහැ. පැහැරගැනීම, ඝාතනය සහ අතුරුදන් කිරීම අපේ සංස්කෘතිකාංගයක්. නොඑකඟතාව, විසම්මුතිය අන්තර්ගත කරගත හැකි සමාජීය ව්‍යුහ එන්න එන්න ම ඛාදනය ද හායනය ද වෙමින් යන සමයක විසම්මුතිය සමනය කරගැනීමේ ප්‍රචන්ඩ හා නිශේධාත්මක මාර්ග අපේ සංස්කෘතිය තුල නිර්මානය වී තහවුරු ව පවත්නා බව පේනවා. පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය, පොත්, කලාව ආදී අවකාශ - ප්‍රකාශිත ව - විසම්මුතිය අන්තර්ගත කරගත හැකි ස්ථාන වසයෙන් පැවතියත් ඒ සියලු ස්ථානවල එකිනෙක හා ගැටෙන අදහස් දෙකක් හෝ කිහිපයක් පවතින්න තියෙන හැකියාව එන්න එන්න ම පහල ගිහින් තියෙනවා.

ඒ වගේ ම පුරවැසියාගේ ආරක්ශාව සහතික කිරීමේ වගකීමෙන් රාජ්‍යය ක්‍රමානුකූල ව එලිපිට ම නිදහස් වෙමින් ඉන්නවා. ලොව වටා බොහෝ තැන්වල රාජ්‍යය ඒ වගකීමෙන් නිදහස් වීම සාමාන්‍ය ලෝක ධර්මය බවට පත් වෙමින් තියෙනවා. රාජ්‍යය විසින් සංවිධානගත ව කෙරුනු පැහැරගැනීමක් වුනත් නැතත් සිදු වන සෑම අතුරුදන් කිරීමක් ම - පැහැරගැනීමක් ම සම්බන්ධයෙන් පුලුල් අන්දමේ වගකීමක් රාජ්‍යයට තියෙන බව කෙනෙක් කීවොත් ඒ අදහසට දැන් ලොකු විරෝධයක් එල්ල වෙන්න වුනත් පුලුවන්.

ආන්ඩුව විසින් හෝ මිලිටරිය විසින් ක්‍රියාවට නැඟූ පැහැරගැනීමක් වේවා, තෙමේ ම අධ්‍යක්ශනය කොට වේදිකාගත කරගත් අතුරුදන්වීමක් වේවා - අතුරුදන් වීමක් සිදු වෙන්නේ අතුරුදන් වීම නමැති ක්‍රියාව දේශපාලනික ව වලංගු ක්‍රියාකාරකමක් බවට පත් ව තියෙන සංස්කෘතියක් තුල යි. අතුරුදන් කිරීමක හෝ පැහැරගැනීමක අපේක්ශිත ඵලය වන්නේ පැහැරගැනීමට ලක් වූවන්ගේ මෙන් ම එම සිද්ධිය අසන නරඹන “ප්‍රේක්ශකයින්ගේ”ත් සමාජ - දේශපාලනික - සංස්කෘතික නියුක්තියෙහි වෙනසක් ඇති කිරීම යි. එය අඛන්ඩ ව සිදු වන තත්වයක් තුල “පිලිගත්” හා “වලංගු” දේශපාලන ක්‍රියාකාරකමක් බවට (යුද්ධය සේ ම) පැහැරගැනීම් හා අතුරුදන්කිරීම් පත් වෙනවා. රාජ්‍යය, මිලිටරිය පමනක් නො ව වෙනත් දේශපාලන කන්ඩායම් ද සිය දේශපාලන මෙවලම් කට්ටලයේ කොටසක් බවට මේ භාවිතාව පත් කරගන්නේ එවිට යි.

මේ සංස්කෘතිය ගැන ශබ්ද නඟා සිතීම හා ඊට අභියෝග කිරීම ඇතැම් විට දිවි පරදුවට තියන්න සිදු වෙන කාරනයක් වෙන්න පුලුවන්. රටේ අග නගරය අවට, ඇතැම් විට අධිකරනයේ මිදුලේ පවා සිදු වන අතුරුදන්වීම් පිලිබඳ වගකීම රාජ්‍යය වෙත එල්ල වනාහි කිරීම බැරෑරුම්, එහෙත් ප්‍රාථමික ව ම අත්‍යවශ්‍ය ක්‍රියාවක්. අප සියලු දෙනා නැවත වරක් සිහිපත් කරගත යුතු කාරනයක් මේ සමග ම මගේ සිහියට එනවා. ඒ මෙකී සියලු “නිල නොවන වර්ගයේ” අතුරුදන්කිරීම්/පැහැරගැනීම්/රඳවා තබාගැනීම් සිදු වන්නේ දැනට මත් දේශපාලන සිරකරුවන් දහස් ගනනක් නඩු නැතිව රාජ්‍යයේ පාලනය සහිත සිරමැදිරිවල “නිලවසයෙන්” රඳවාගෙන සිටින තත්වයක් තුල බව යි.

අද වැනි දිනයක පහත දැක්වෙන වැකි කිහිපය හැර අනෙකක් ලියන්න අපට පුලුවන් ද? මේ පුරවැසි අපේ වගකීම යි.


අතුරුදන්කිරීම් නවතනු! දේශපාලන සිරකරුවන් මුදාහරිනු! අතුරුදන් වූවන් පිලිබඳ සත්‍යය අප හමුවේ තබනු! වග කියනු!

පත්තර පිටු මත මැවෙන අන්තර්ජාල ජංජාලය

| Comments

පත්තරවල අන්තර්ජාලය ගැන පල කෙරෙන දේවල් දැක්කම අනේ කියලා හිතෙනවා! දැන් දැන් අන්තර්ජාලය ගැන ගමරාල දිවියලෝකේ ගිය හැටි සිහිගන්වන “විශේශාංග ලිපි” විතරක් නෙමෙයි කතුවැකිත් ලියවෙනවා.

පසුගිය ජනවාරි 29 වැනිදා රාවය පුවත්පතේ කතුවැකිය එවැන්නක්:
“ජනවාරි 18 වැනිදා අන්තර්ජාලයේ ජනප්‍රිය වෙබ් අඩවි කිසියම් විශාල ප්‍රමාණයක් (ගූගල්, යාහූ, යූ ටියුබ්, ෆේස්බුක්, ටුවිටර්, ඊබේ, රොබ්ලොක්ස්, විකිපීඩියා වැනි) වෙබ් අඩවිවලට අදාළව ඇමරිකාව කෙටුම්පත් කර ඇති නීති සම්පාදන දෙකකට (සෝපා හා පයිපා) එරෙහිව සිය වෙබ් අඩවිවල ක්‍රියාකාරීත්වය ක්‍රියාවිරහිත කිරීම තුළ එක් දින සංකේත වර්ජනයක නිරත විය.

“මෙය අන්තර්ජාල විෂයයෙහි මෙතෙක් ලෝකයේ ඇතිවූ දැවැන්ත සංසිද්ධියක් ලෙස සැලකිය හැකි වුවද ඒ ගැන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල ප්‍රමාණවත් තරමේ වාර්තාකරණයක් සිදු නොවීය. ප්‍රමාද වී සමහර ඉංග්‍රීසි පුවත්පත් ඒ ගැන වාර්තාකර තිබුණ ද ශ්‍රී ලංකාවේ කිසිම ජනමාධ්‍යයක ඒ ගැන හොඳ විශ්ලේෂණයක් පළවී නැත.”
මේ කතාව කියවන්න ගන්න කෙනෙකුට මෙහෙම හිතෙන්න ඉඩ තියෙනවා: “ඔන්න දැන් නම් මේ ගැන හොඳ විශ්ලේශනයක් අහන්න ලැබෙන්න යි යන්නෙ. පේන්නෙ නැද්ද ලියන විදිහෙන්ම?”

ඒත් අපට ලැබෙන්නේ මේ වගේ පිලුනු අච්චාරුවක්:

“සෝපා නීතිය පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් සකස් කර තිබෙන නීති කෙටුම්පතකි. පයිපා නීතිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් සකස් කර තිබෙන කෙටුම්පතකි. මෙම නීතිය යටතේ වෙබ් අඩවි විමර්ශනය කිරීමේ බලය බලධාරීන්ට හිමි වේ. අන්තර්ජාල පහසුකම් සපයන ආයතනවලට ද තමන් පහසුකම් සපයන වෙබ් අඩවි නීතියට අනුකූල ව ක්‍රියාකරන තැනක තබාගැනීමේ නීතිමය වගකීම පැවරෙන්නේ ය.

“මෙම නීති සම්පාදනයට එරෙහිව අන්තර්ජාල ප්‍රජාවට අයත් කිසියම් විශාල පිරිසකගේ විරෝධය පළවී ඇතත්, එම නීති සම්පාදනයට පක්ෂපාත අයගේ ප්‍රමාණය ද ඉතා විශාලය. වෙබ් අඩවිවලට පහසුකම් සපයන ආයතන ඊට විරුද්ධවන්නේ මේ නිසා ඔවුන් වෙත පැවරෙන නෛතික වගකීම නිසා ය. වැරදි කරන අවස්ථාවලදී විශාල වන්දි ගෙවන තත්ත්වයක් ඇතිවිය හැකි නිසා ය.” (වැඩිදුර කියවන්න මේ පිටුවට යන්න.)

අමු බොරුවක් නේද?

රාවය කතුවැකිය අපට දෙන තොරතුරු ඇත්ත නම් සෝපාවට විරුද්ධ වෙන උදවිය අමු ප්‍රතිගාමීන් රැලක් බවටත් සෝපාව ඉදිරිපත් කල පාර්ශ්වය සදා අභිවාදනය කල යුතු ප්‍රගතිශීලීන් පිරිසක් බවටත් පත් වෙනවා. පුද්ගලිකත්වය (privacy) පිලිබඳ උත්සුකය අද අන්තර්ජාලය තුල තියෙන ප්‍රගතිශීලී ම ප්‍රවනතාවක්. සෝපා සහ පුද්ගලිකත්වය සුරැකීම අතර ලේශ මාත්‍ර හෝ සම්බන්ධයක් නැහැ.

මේක යමක් අර්ථකථනය කිරීමක් නෙමෙයි. කරුනු විකෘත කිරීමක් ද නෙමෙයි. කෙලින් ම අසත්‍ය ප්‍රචාරය කිරීමක්. ඒ අසත්‍ය පදනම මත සිට කරන සෙසු අර්ථකථන ගැන කියනු ම කවරේ ද?

සෝපා හෙවත් Stop Online Piracy Act යනු පුද්ගලිකත්වය පිලිබඳ පනතක් නෙමෙයි. එහි සම්පූර්න නම හැටියට සඳහන් වෙන්නේ To promote prosperity, creativity, entrepreneurship, and innovation by combating the theft of U.S. property, and for other purposes. මේ පනතට තියෙන දහසකුත් විරෝධතාවන්ගෙන් එකක් වෙන්නේ එය අන්තර්ජාල පරිශීලකයින්ගේ පුද්ගලිකත්වයට එල්ල කරන අනිටු බලපෑම යි!

පයිපා හෙවත් බුද්ධිමය දේපොල ආරක්ශා කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ (Protect IP Act) සම්පූර්න නම Preventing Real Online Threats to Economic Creativity and Theft of Intellectual Property Act of 2011.

මේ පිලිබඳ සෙවුමක (“ගූගල් කිරීමක”) යෙදුනා නම් සෝපා කෙටුම්පතේ මුල් පිටපත ම සොයාගන්න පුලුවන් (වෙනත් අය කල අර්ථකථන නෙමේ - මුල් පිටපත). සාමාන්‍යයෙන් - මට වැටහෙන විදිහට - ජනමාධ්‍යවේදියෙක් වැඩ කරන්න ඕන එහෙම යි. එහෙම හෙව්වා නම් වෙනත් ඕනෑ ම කෙටුම්පතක වගේ ම මෙහිදීත් අදාල කෙටුම්පතේ නම, අරමුන, සංක්ශිප්ත විස්තර ආදියත් අනතුරුව සමස්ත කෙටුම්පතත් දැකගන්න ලැබෙනවා. කියවන්න ඉස්පාසුවක් සහ විනයක් තියෙන කෙනෙකුට නම් මුලු කෙටුම්පත ම කියවන්න කිසි ම බාධකයක් නෑ. ඊට අමතර ව සෝපා සහ පයිපා පිලිබඳ ලියැවුනු විවරන, අටුවා-ටීකා දහස් ගනනක් ද දේශන හා සාකච්ඡා විශාල සංඛ්‍යාවක් ද හොයාගන්න පුලුවන්. ජනමාධ්‍යවේදියෙක් විතරක් නෙමෙයි මෙවැනි බැරෑරුම්, ප්‍රශ්නකාරී මාතෘකාවක් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න අදහස් කරන ඕනෑ ම සිහිබුද්ධිය ඇති පුද්ගලයෙක් මේවා හොයාබලන්න අවශ්‍ය යි. එහෙම නොකර ඉබි ලොමින් කඹ අඹරනවා වගේ අදහස් නිර්මානය කොට පල කරන්න හැකියාවක් නැහැ. එහෙම කලොත් උපදින්නේ රාවය කතුවැකිය බඳු ප්‍රබන්ධ තමයි.

හැබැයි රාවය කතුවැකිය රිවිර පත්තරේ ෆේස්බුක් මංමුලාව වගේ මෝඩ - අහිංසක නොදන්නාකමක් හැටියට අර්ථකථනය කරන්න අමාරුයි.

රාවය කතුවරයා මීට ප්‍රථමත් අන්තර්ජාල මාධ්‍ය වාරනය හා නියාමනය දෙස ධනාත්මක ව බලමින් ලිපි ගනනාවක් ලියා අදහස් දක්වන්න වෑයම් කර තිබුනා. ඒ ලිපි බෙහෙවින් ම පදනම් ව තිබුනේ අන්තර්ජාලය ඉතා සරලමතික ආකාරයට පුවත්පත් ඇතුලු සාම්ප්‍රදායික ජනමාධ්‍ය හා සමාන කිරීම මත යි. මුලින් ඒ ලිපිවල තවත් ලක්ශනයක් තිබුනා. ඒ තමයි ඒවා අන්තර්ජාලය(නැතහොත් ඕනෑ ම ප්‍රපංචයක්) අර්ථකථනය කරන්න කෙනෙකුට තියෙන නිදහසේ සීමාව තුල ලියන ලද දෑ වීම. එම ලිපිවල ඇතුලත් වෙන්නේ අයිවන් මහතා දරන පුද්ගලික අදහස් හා මතිමතාන්තර; ඒ මහතා විසින් කරනු ලැබූ අර්ථකථන. නිදසුනක් වසයෙන් ඔහු අන්තර්ජාල ජනමාධ්‍ය සම්බන්ධයෙනුත් අදාල විය යුත්තේ පුවත්පත් ඇතුලු මෙතෙක් පැවති සාම්ප්‍රදායික ජනමාධ්‍ය තේරුම් ගැනීමට අදාල වන දැනුම හා න්‍යාය පමන ම යි කියා කිව්වොත් අපට ඒක අයිවන් මහතා දරන මතයක් හැටියට ගරුත්වයෙන් සලකා ප්‍රතික්ශේප කරන්න පුලුවන්කමක් තියෙනවා. විශ්ලේශනාත්මක පැහැදිලි කිරීම් තිබුනත් නැතත් හැමෝටම තමතමත්ගේ මත හා අර්ථකථන දරන්නත් ඒවා ප්‍රචාරය කරන්නත් අයිතියක් තියෙනවනෙ. “සිනා නොම සෙන් දසන් දක්වා” යනාදී උපදෙස් ස්ත්‍රීන් පිලිපැදිය යුතු ආචාර ධර්ම බව විශ්වාස කරන උදවිය අදත් ඉන්නවා. මඳ කලකට පෙර අභාවප්‍රාප්ත වුනු මගේ අත්තම්මාත් එවැනි කෙනෙක්. ඇයට දැක්විය යුතු ගරුත්වය සහිත ව ඒ කියමන බාර ගෙන අකුරක් නෑර ප්‍රතික්ශේප කොට නොසලකා හරින්න මට පුලුවන් කමක් තිබුනා. අයිවන් මහතා ඇතුලු අන්තර්ජාල වාරනවාදීන්ගේ මේ සීමාසහිත අර්ථකථන ඉතා විධිමත් හා විදග්ධ ආකාරයෙන් ප්‍රශ්න කරන්නත්, ඒවායේ ගැටලුසහගත තැන් අනාවරනය කරන්නත් නාලක ගුනවර්ධන මහතා සමත් වුනා.

නමුත් ක්‍රමයෙන්, සිය අදහස් සනාථ කරන්න තියෙන බරපතල උත්සුකය නිසා දෝ, අයිවන් මහතා අර්ථකථනයේ සීමාව බිඳගෙන කරුනු විකෘත කිරීම පිලිබඳ ක්ශේත්‍රයට අවතීර්න වෙමින් හිටි බව පෙනුනා. මෙවර කතුවැකිය එම ප්‍රවනතාව කෙලින් ම, එලිපිට ම, නග්න ආකාරයෙන් කරලියට පැමිනීමේ සංඥාවක් හැටියට තේරුම්ගත යුතු බව මගේ හැඟීම යි.

සෝපා සහ පයිපා ස්වරූපයෙන් කරලියට පැමිනි යෝජනාවල ප්‍රකාශිත අරමුන වුනේ බුද්ධිමය දේපොල ආරක්ශා කිරීම වුනත් එම කෙටුම්පත් සුපරීක්ශාවෙන් කියවන කෙනෙකුට පේන දෙයක් තමයි එමගින් අන්තර්ජාලය පාලනය කිරීමෙහිලා ඇමෙරිකා එක්සත් ජනපදයට දැනටමත් තියෙන බලය පෙර නො වූ විරූ අන්දමින් ඉහල නංවන බව. එය ඊනියා බුද්ධිමය දේපොල පිලිබඳ සීමාවේ තියෙන්නක් නො ව අදහස් පල කිරීමේ නිදහස සහ අයිතිය පිලිබඳ ක්ශේත්‍රයට ද පැතිර යන්නක්. එහි බලපෑම එල්ල වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය තුලට විතරක් නෙමෙයි, අපි හැමෝට ම යි. මීට එරෙහි ව අන්තර්ජාලයෙහිත් ඉන් පිටතත් නැඟුනු විරෝධතාවේ ප්‍රබලත්වය හේතුවෙන් මේ හානිකර ගමනේ වේගය අඩාල වුනා. ඒත් ඒ ගමන නතර වුනා නෙමෙයි.

සෝපා - පයිපා නැතිවත්

සෝපා සහ පයිපා නීති තව ම බල නොපවත්වන තත්වයක් තුලත් ඇමෙරිකාවට තියෙන හිතුවක්කාරී අධිකාරය ප්‍රකාශයට පත් වුනු අවස්ථාවක් තමයි මෙගාඅප්ලෝඩ් වෙබ් අඩෙවිය සම්බන්ධ සිද්ධිය. අදාල වගඋත්තරකරු කිම් ඩොට්කොම් වනාහි ජර්මානු සහ ෆින්ලන්ත ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගයෙක්. ඔහු හොංකොං හා නවසීලන්තය යන දෙරටෙහි ම ජීවත් වූ අතර අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නවසීලන්ත නිවෙස වටලනු ලැබූ අන්දම සිහිගැන්වූයේ ඔසාමා බින් ලාඩන් ඝාතනයට ගුවනින් හමුදාව කඩා පිනූ ස්වරූපය යි! විකිලීක්ස් අඩෙවියට හා ජූලියන් අසාන්ජ්ට එරෙහි ව දියත් කර ඇති දඩයමේ තරම කවුරුත් දන්නවා.

සිය පුවත්පතේ ලිපි ඇතැම් වෙබ් අඩෙවියක අනවසරයෙන් උපුටා පල කිරීම ගැන රාවය කතුවැකිය කනිපින්දම් කියනවා. සෝපා පයිපා කතාන්තරය මතු කරන්නේ ඒ සන්දර්භය ඇතුලත යි. චෝදනාව එල්ල වුන වෙබ් අඩෙවිය මේ කතුවැකිය පල වී දින කිහිපයකින් ම ශ්‍රී ලංකාව තුල වාරනය කරනු ලැබූ බව ආරංචි වුනා.

ඒත් සිය පුවත්පත අන්තර්ජාලයෙන් සතිපතා සොරකම් කරගන්නා දෑ ගැන මේ කතුවැකිය වචනයක් වත් කියන්නෙ නෑ. එහෙම කියන එකක් නෑ නේ කොහොමත්? ඒත් ඇත්ත ඒක යි. ඕනෑ ම රාවය පුවත්පතක් ගෙන බැලුවොත් එහි කතුවැකියේ සඳහන් වරද ම කරමින් අන්තර්ජාලයෙන් ගෙඩි පිටින් පැහැරගත් කලා කෘති, ඡායාරූප හා ලිපි අන්තර්ගත වෙනවා. ඒවායේ මූලාශ්‍රය සඳහන් කරන්නේ නැහැ. රාවය පත්තරේ  මේ වැඩේ කරන්න වෙලා බොහෝ ම කල්. සිය වීදුරු මන්දිරයේ සිට අන්තර්ජාලයට, - නාලක ගුනවර්ධන මහතාගේ උපමිතිය අනුව අභ්‍යවකාශයට - ගල් ගහන්න ඉදිරිපත් වෙන උදවියගේ හැටි නිතර අන්තර්ජාලයේ ගත කරන අපට පේනවා.

කෝ උදාහරන? මතක තියෙන එක නිදසුනක් දෙන්නම්. ග්‍රීස් යකා ගැන විසාල හාහෝවක් හැමතැනම පැතිරුන අවස්ථාවේ Groundviews වෙබ් අඩෙවිය මේ ලිපිය පල කෙරුවා. බලන්න ඒකේ තියෙන චිත්‍රය. ඔවුන් සදාචාර සම්පන්න විදිහට එහි මූලාශ්‍රය සඳහන් කර තියෙනවා සබැඳුමක් (link) එක්ක ම. ඊලඟ සතියේ රාවය පුවත්පත ග්‍රීස් යකා පිලිබඳ සිය ලිපියට මේ චිත්‍රය යොදාගන්නේ කිසිදු මූලාශ්‍රයක් සඳහන් නොකර යි.

කෙසේ වෙතත් මේ සටහනේ අරමුන ඒ ගැන බැන අඬගැසීම නෙමෙයි. ප්‍රශ්නයේ සංකීර්න බව පෙන්වීම යි. රාවය පත්තරේ විතරක් නෙමෙයි දිවයින, ලංකාදීප, ලක්බිම ඇතුලු පත්තර එකක් නෑර නෑර පිටුවෙන් පිටුව පතුරු ගසමින් අන්තර්ජාලයෙන් ඉස්සූ අන්තර්ගතය පෙන්වන්න පුලුවන්. දැන් ඉරිදා දිවයින පත්තරේ එක ටැබ්ලොයිඩ් අතිරේකයක් තනිකරම වගේ දුවන්නේ මේ ක්‍රමයට. ඔවුන් විකිපීඩියාව වැනි තැන්වලිනුත් ලිපි පිටින් උස්සන බව යි මට නම් පේන්නේ. ඉතින් මේ ප්‍රශ්නයට පැති ගොඩක් තියෙනවා. මේ ගැන තරමක් දුරදිග යන සාකච්ඡාවක් ආරම්භ කිරීම වැදගත්. ඊට පාර කපාගන්න මේ දේවල් ලියන්න සිදු වුනා.

මතු සම්බන්ධ යි.