වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

හූ ශිහ්

| Comments

“චීන ලේඛන ව්‍යවහාරය නවීකරනය කිරීමේ ගෞරවය හිමිවන්නේ කවියෙක්ද ඉතිහාසඥයෙක්ද දාර්ශනිකයෙක්ද පසුව රාජතාන්ත්‍රිකයෙක්ද වූ හූ ශිහ් (1891 – 1926) හටයි. චීන සාහිත්යික පුනරුදයේ පියා ලෙස අද ඔහු සැලකුම් ලබනවා.

“කට වහරින් ඇරෙන්න කවි නොලියන්න ඔහු 1916දී අධිශ්ඨාන කරගත්තා. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ජනතාවගේ බස – ජීව භාශාව – පදනම් කොටගත් නව ජාතික සාහිත්‍යයක් ගොඩනැංවීමේ හදිසි අවශ්‍යතාව තම චීන ජාතික මිතුරන් හා සාකච්ඡා කල බව සඳහන් වෙනවා. භාශාව පිලිබඳ තමා දැරූ අදහස් ශැංහයිහි පල වුනු කීර්තිමත් මාසික සඟරාවක් වූ ‘ශිං චිං ඤෑං’ (නව තරුනයා) මගින් 1917 දී ඔහු පලමු වරට රටට ප්‍රකාශ කොට සිටියා. ඔහුගේ ‘චීන දර්ශන ඉතිහාසය’ (1919) පල වීමත් සමග මේ අලුත් ලේඛන ව්‍යවහාරය එලි දැක්කා. ඒ පොත ඔහු මුලුමනින්ම ලියා තිබුනේ චීන (මැන්ඩරින්) කථිත ව්‍යවහාරය පාදක කොටගෙන. ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ඊට පෙර කවදාවත් එහෙම ලියවෙලා නෑ. නවීකරනයට ප්‍රතිපක්ශ වූ ටික දෙනෙක් ඇරෙන්න නවීනයෝ සහ ප්‍රවීනයෝ බොහෝ දෙනෙක් එතෙක් භාවිත කල මහ වදයක් වූද දරදඬු වූද ග්‍රන්ථගත ව්‍යාකරය ඉවත ලා හූ ශිහ් ලියා පෙන්නූ ව්‍යවහාර රීතිය පිලිගත්තා. ලූ ශුං (1881 – 1936), මා ඕ දුන් (1898 – 1981), ලාඕ ශේ (1899 – 1966) සහ බා ජින් (1904 – ) මේ මගට පිලිපන් කීර්තිමත් ලේඛකයින් සිව් දෙනෙක්. අලුත් වාර සඟරාත් ප්‍රවෘත්ති පත්‍රත් මේ මගට වන් විට පොතට සීමා වූ පැරනි චීන ව්‍යාකරනයේ ආධිපත්‍යය අවසන් උනා. 1921 දී මේ ජීව භාශා ලේඛන ව්‍යවහාරය ‘ක්වෝ යූ’ (ජාතික භාශාව) ලෙස නම් කොට රාජ්‍ය ලේඛන ව්‍යවහාරය වශයෙන් පිලිගනු ලැබූ අතර රට කොමියුනිස්ට් උනාට පස්සේ එය ‘පූ තුං හුවා’ (පොදු බස) ලෙස සම්මානනීයත්වයට පත් උනා.”

අජිත් තිලකසේන (රැලි සුලි, සමනල ප්‍රකාශකයෝ සහ මුද්‍රන ශිල්පියෝ, කැලනිය, 1991 අප්‍රේල්. 49 – 50 පිටු.)

Comments