වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

පොත් හමුවීම, කියැවීම, බෙදාගැනීම සහ DRM ආදිය ගැන...

| Comments

පසුගිය වසරේ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ප්‍රවීන ගත්කරු නීල් ගේමන් ඉතා සිත්ගන්නාසුලු දෙයක් ප්‍රකාශ කලා. ඔහු කිව්වේ තමන් ලියූ පොත් අන්තර්ජාලය හරහා හොරෙන් බාගැනීම අන්තිම හොඳ වැඩක් කියල යි. මේක වැඩිදුරටත් පැහැදිලි කල ගේමන් එසේ බාගැනීම කෙනෙකුගෙන් පොතක් කියවීම සඳහා ඉල්ලාගැනීමට (borrowing) සමාන කලා. ඔහු මෙවැනි “පයිරසි” වැඩ ගැන කනිපින්දම් කියූ අයගෙන් ප්‍රශ්නයක් ඇහුවා. “ඔබ ඔබේ ප්‍රියතම ලේඛකයා හොයාගත්තේ කෙලින් ම පොත් සාප්පුවක පොත් රාක්කයක් මත වැඩඉඳිද්දී ද? එහෙමත් නැත්නම් තවත් කෙනෙක්ගෙන් පොතක් ඉල්ලාගෙන කියැවූ මොහොතක ද?” ඒ දෘශ්ටියෙන් බැලුවා ම පොතක් අන්තර්ජාලය හරහා නිදහසේ බාගන්න තිබීම නිසා එම පොතේ අලෙවියට විශේශ හානියක් සිදු වන බවක් කියන්න අමාරු යි. කතාව ගේමන්ගේ වචනවලින් ම අහන්න මේ වීඩියෝව නරඹන්න:



ඇත්තට ම පොත් කියවන බොහෝ දෙනාට මේ අත්දැකීම පොදු යි. අපි ගොඩක් වෙලාවට අපේ ප්‍රියතම පතපොත හා ලේඛකයින් මුල් වරට අඳුනාගන්නේ පොත් කියවන වෙනත් මිතුරුමිතුරියන් හරහා තමයි. ඉතා හොඳ පොතක් ලැබුනාම පොත් කියවීමටත් ඒ ගැන කතාබහ කරන්නත් ලොල් කෙනෙක් නම් ඒ රහ බෙදාහදා නොගෙන, ඒ ගැන “පුරසාරම්” නොකියා ඉන්න අමාරු යි. ගොඩක් වෙලාවට බලෙන් ම වගේ පොත අනිත් අයට කියවන්න දෙනවා. ඉතින් පොතක් ඉල්ලාගෙන කියවීම හොඳ පොත් සහ ලේඛකයින් ගැන ආරංචිය පැතිරෙන්න හේතුවක්. ඒ අඳුනාගැනීමෙන් පස්සේ පොත් ලෝලීන් බොහෝ විට කරන්නෙ එම පොත පමනක් නෙමෙයි අදාල ලේඛකයාගේ/ලේඛිකාවගේ ඊලඟ පොත් ගැනත් විමසිල්ලෙන් ඉඳීම. මෙහෙම පොත් සංසරනය වීම ප්‍රචාරන ක්‍රියාවක් (advertising) කියලත් හඳුන්වන්න පුලුවන් වග ගේමන් කියනවා. ඔහු මේ පිලිබඳ අත්හදා බැලීමක් ද කර තිබෙනවා. බොහොම අමාරුවෙන් සිය ප්‍රකාශකයා එකඟ කරවාගෙන ඇමෙරිකන් ගෝඩ්ස් නමැති පොත පුරා මාසයක් තිස්සේ නොමිලේ, එලිපිට ම බාගන්න ඉඩ දුන්නා. ඊලඟ මාසයේ පොත් අලෙවිය සියයට තුන්සීයකින් ඉහල නැඟුනා! පාවුලෝ කොයෙලෝ ලියූ The Winner Stands Alone නවකතාව මට මුලින් ම කියවන්න ලැබුනෙත් ඒ ක්‍රමයට.

මට මතක හැටියට මගේ ම ගෙදර දී හරි පොත් සාප්පුවක දී හරි කෙලින් ම හමු වී මගේ ප්‍රියතම ලේඛකයින් බවට පත් වුනේ මාර්ටින් වික්‍රමසිංහ සහ කුමාරතුංග මුනිදාස යන දෙදෙනා විතර යි. ඒ බෙහෙවින් ලාබාල වයසේ ඉන්නකොට; පාසැල් වයසටත් කලින්; ඒ පොත් ගෙනැත් දුන්නේ දෙමාපියෝ. නමුත් මගේ ප්‍රියතමයන් බවට පත් වී ඉන්න අනිත් සකල සියලු ලේඛකයින් ගැන දැනගන්න ලැබුනේ වෙනත් අයගෙන් ඉල්ලාගෙන කියවන්න අවස්ථාව තිබුනු නිසයි. සමහර වෙලාවට වෙනත් අයගේ බලහත්කාරය හෝ තෑගි දීම් නිසා “කියවන්න සිද්ද වීමෙන්”! ඒ අඳුනාගැනීමට මම මුදල් ගෙව්වෙ නෑ! නමුත් රහ වැටුනු පොත් සහ ලේඛකයින් හඹාගෙන යාම අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. උදාහරනයක් දුන්නොත් මට සුනේත්‍රා රාජකරුණානායක ලියූ පොතක් මුලින් ම කියවන්න ලැබුනේ මිත්‍රයකුගෙන්. ඔහු ප්‍රේම පුරාණය නමැති කෘතියේ ලෝලියකු බවට පත් ව හිටියා විතරක් නෙමෙයි ඒ කෘතිය තුල ඇත්තට ම ජීවත් වුනා කිව්වොත් නිවැරදි යි. ඔහුට එහි සඳහන් වන විවිධ ස්ථාන නරඹන්න යාමේ උද්‍යෝගයක් ද තිබුනා. (මෑතක දී ඔහු එම කෘතිය ප්‍රංස භාශාවට පරිවර්තනය කලා. තව ම ප්‍රකාශයට පත් වුනේ නෑ) ඔහු කීපසැරයක් ම මට පොත කියවන්න බල කෙරුවා, ඒ ගැන මහ ඉහලින් වර්නනා කරකර හිටියා. ඒ තරම් උද්‍යෝගයක් නැතත් පොතක් කියවන්න කාල වේලාව තිබුන නිසාත් වෙනත් පොතක් නොතිබුනු නිසාත් අන්තිමේ දී මම යටත් වුනා. ඒත් පොත සම්පූර්නයෙන් මාව ග්‍රහනයට ගත්තා. චමත්කාරජනක මෙන් ම අභියෝගාත්මක ද වූ පොතක්. පොතෙන් මා අමන්දානන්දයට පත් වූ බව දුටු ඔහු මට එයින් පිටපතක් තෑගි දුන්නා! එයින් මාස කීපයක් තුල මම එවකට මිල දී ගත හැකි ව තිබූ ඇගේ අනෙක් පොත් සියල්ල කියවාදැම්මා. මම හිතන්නේ අද වන විට මා සතු ව ඇය ලියූ සෑම පොතක් ම වගේ තියෙනවා. මම එයින් බොහෝ පොත් අඩුම තරමින් තවත් දෙතුන් දෙනෙකුට වත් තෑගි දීලත් තියෙනවා. මගේ මිතුරාගෙන් තෑගි ලැබුනු ප්‍රේම පුරාණය පිටපත මේ මොහොතේ මගේ මිතුරියක හරහා ඇගේ සේවා ස්ථානයටත් එතැනින් තවත් තුන් දෙනෙකු හරහා  දීර්ඝ ගමනක් ගොස් අවසානයේ අර මිතුරාගේ ම ඥාතියකු අතටත් පත් ව තිබෙන බව සැල යි. දැන් මගේ කල්පනාව මිතුරා හරහා පොත නැවත මා අතට ගන්නයි! අද වන විට මේ අතරමැදියන් වැඩි දෙනෙක් සතුව සුනේත්‍රා රාජකරුණානායක ලියූ පොත් තියෙනවා.

හරුකි මුරකමි ලියූ පොත් හමු වුනෙත් ඒ විදිහට. Kafka on the Shore නවකතාව ගැන උන්මාදයට පත් මිතුරියක් ඒක තෑගි දුන්නා. මම පොත හතර අතේ බෙදාගෙන යන්න පටන් ගත්තත් අවසන් වරට පොත බලෙන් ම දීපු අපේ ගුරුතුමෙක් හදිසියේ අභාවප්‍රාප්ත වුන නිසා පොත ආපහු ගන්න බැරි වුනා. හැබැයි එතන දී අන්තර්ජාලය පිහිටට ආවා. පසුව library.nu බවට පත් ව මෑතක දී වසා දැමුනු Gigapedia අඩෙවියත් “ලෝබ නැතුව” පොත් බැහැර ගෙනියන්න දුන්නා. ඉතින් මම ඒ පොතත් මුරකමිගේ අනිත් පොතුත් එතනින් බාගත්තා. ඒත් පොත් සාප්පුවක දී දුටුවොත් ඒ පොත් මිල දී ගෙන එකතු කිරීම නැවතුනේ නෑ. ඉංග්‍රීසියෙන් පල වුනු මුරකමිගේ අලුත් ම පොත වන 1Q84 මුලින් ම කියවන්න ලැබුනෙත් libary.nu අඩෙවියට පින් සිදු වෙන්න යි. ඇතැම් ශ්‍රී ලාංකික ගත්කරුවන්ගේ කෘතිත් “නීති විරෝධී” ලෙස අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වනු දකින්න පුලුවන්.

බෙදාගැනීම
පාසැල් යන සමයේ මගේ මිතුරන් අතර ප්‍රචලිත වෙලා තිබ්බ වැඩක් තමයි “පොත් පොත”. පොත් පොත කියන්නේ තමුන්ට අයිති සියලු පොත් ලැයිස්තුගත කරපු පොත. ඒකෙ එක කොටසක පොත් ලැයිස්තුව තිබුනු අතර අනිත් පැත්තේ බැහැර ගෙන යාමේ විස්තර සටහන් කරගන්නවා. මේ පොත පාසැලට රැගෙන එන අපි අනිත් අයට ඒවා බලන්නත් පොත් තෝරන්නත් ඉඩ දෙනවා. මාපිය උරුමයෙන් පොත් ලද අයට සරුසාර පොත් ලැයිස්තු තිබුනා, හරියට පුස්තකාලයකට ගියා වගෙයි. පොත් විසාල සංඛ්‍යාවක් නොතිබුනු අය ෆුල්ස්කැප් කොලවල පොත් ලැයිස්තු හදාගෙන ආවා. හැමෝම එකිනෙකාට අයිති පොත් විසාල සංඛ්‍යාවක් මේ ක්‍රමය යටතේ හුවමාරු කරගෙන කියෙව්වා. මේ ලැයිස්තුව එක්තරා විදිහක “නම්බුකාරකමක්” හැටියටත් පෙනුන නිසා හැමෝම වගේ නිතර ම පොත් මිල දී ගන්නත් ලැයිස්තුව ලොකු මහත් කරගන්නත් වෑයම් කලා. අදත් නිතර සිහියට නැඟෙන, හිතේ කාවැදිලා තියෙන තව දෙයක් වුනේ ඒ කාලෙත් පොත් අයිතිකාරයෝ කිසිම ලෝබකමක් නැතුව තමුන් හොඳයි කියල හිතපු පොත් බලෙන්ම අනිත් අයගේ ඇඟේ ගහපු එක යි.

ඩී. ආර්. එම්?
හැබැයි ඒ කාලේ අපි කියවපු බෙදාගත්තු මුද්‍රිත පොත්වලට ඩී. ආර්. එම්. පන්නයේ සීමා යොදලා තිබ්බා නම් දේවල් ඔය විදිහට සිද්ද වෙන්නෙ නෑ. ඒක සහතික යි. දැන් ඊපොත්වලට සිදු වෙමින් තිබෙන විපත සමග අපේ සුපුරුදු කියැවීමේ සංස්කෘතිය සැසඳීම වැදගත් බව මට හිතෙනවා.

Digital rights management හෙවත් ඩිජිටල් අයිතීන් කලමනාකරනය තමයි කෙටියෙන් ඩී. ආර්. එම්. වසයෙන් ප්‍රචලිත වෙලා තියෙන්නෙ. මේකෙන් අදහස් වෙන්නේ ඩිජිටල් අන්තර්ගතය විකිනීමෙන් පසු ඒවායේ භාවිතය පාලනය කරන්න ඒවායේ නිර්මාපකයින්, දෘඪාංග නිපදවන්නන්, පොත් ප්‍රකාශකයින් සහ ප්‍රතිරූපන අයිතිය හිමි වෙනත් පාර්ශ්වයන් උපයෝගී කරගන්නා යාන්ත්‍රනයක්. මේක තේරෙන බාසාවට දැම්මොත් මෙහෙම යි:

ඩිජිටල් අන්තර්ගතය කියන්නේ ඩිජිටල් මාධ්‍යයන් මගින්, විද්‍යුත් ක්‍රමවලට ගබඩා කර තැබෙන සහ එම මාධ්‍යයන් ඔස්සේ සංසරනය කෙරෙන විවිධ අන්තර්ගතයන්ට. විද්‍යුත් පොත්(ඊපොත්), පරිගනක ක්‍රීඩා, සංගීතය, තැටිගත කෙරුනු චිත්‍රපටි, රූපවාහිනී වැඩසටහන් ඇතුලු වර්ග බොහෝ ගනනක් මීට අයත්. ඉතින් ඩිජිටල් අන්තර්ගතය නිපදවීමට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව හිතන විදිහට මේවා විකුනුවාට පස්සෙත් ඒවායින් කල නොකල හැකි දෑ පිලිබඳ පාලනයක් ඔවුන් සතු ව තිබිය යුතු යි. ඒවා වෙනත් උපකරන තුලට කොපි කිරීම, අන් සතු කිරීම, විකිනීම, අතින් අත යැවීම යනාදී හැකියාවන් අවහිර කරන්නයි ඔවුන්ට අවශ්‍ය. මේ අවශ්‍යතාව ඉටු කරගැනීම සඳහා නානාප්‍රකාර අගුලු-මුරකාවල් දැමූ තාක්ශනයන් හා දෘඪාංග ද නිපදවනු ලැබ තිබෙනවා. මිල දී ගත් පොත් සමග අප කරන්නේ කුමක්දැයි නිරන්තරයෙන් විපරම් කරන්නත් එමගින් පුලුවන්. මේකට සරිලන නීතිත් ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල ක්‍රියාත්මක වෙනවා. Digital Millennium Copyright Act කියන්නේ එවැනි නීතියක්. ඊපොත් අලෙවියේ ජයකෙහෙලි නංවලා ඉන්න ඇමසොන් වැනි සමාගම් ඩී. ආර්. එම්. ක්‍රමෝපායන් බොහොම දරුනුවට ක්‍රියාවට නඟනවා. ඔවුන්ගෙන් මිල දී ගන්නා ඊපොත් ඔවුන් ම නිර්දේශ කරන උපකරන තුල ඔවුන් ම නියම කරන සීමා ඇතුලේ තමයි කියවන්න වෙන්නේ. අන් සතු කරන්න තහනම්. අවශ්‍ය වුනොත් අප සතු ව තියෙන පොත් “ආපහු ගන්නත්” ඔවුන්ට පුලුවන්. ඔවුන් එහෙම කරලත් තියෙනවා.

පොත් සම්බන්ධයෙන් ගත් විට ඩී. ආර්. එම්. සීමා පැනවීම ගැන උග්‍ර අන්දමේ උද්‍යෝගයක් දක්වන්නේ මේ කර්මාන්තයේ ලාභයෙන් වැඩි කොටසක් අත්පත් කරගන්නා ප්‍රකාශන ආයතන සහ ඔවුන්ගේ නීතීඥයින් තමයි. ඊට අමතර ව බිලියන ගනනින් උපයන ඇතැම් ලේඛක ලේඛිකාවන් මීට හිතපක්ශපාත ව කතා කලත් පොදුවේ ලේඛකයින්ගේ පැත්තෙන් පැන නඟින උත්සුකයක් මේකට නැති බව යි පේන්නේ. සංගීතය සම්බන්ධයෙනුත් මේ විදිහේ නිගමනයකට එන්න සාධාරන හේතු වැඩිවැඩියෙන් පේන්න තියෙනවා. ඒත් ඩී. ආර්. එම්. මගින් කිසිදු වාසියක් මොන ම පාර්ශ්වයකට වත් අත් නොවන බව කෝරි ඩොක්ටරෝ ඉතා රසබර විදියට පෙන්වා දෙනවා (වීඩියෝව බලන්න).

ඒ වාසි අවාසි කොහොම වුනත්, මේක මානව සංහතිය මීට ප්‍රථම පොතපත හා ලිපි ලේඛන ඔස්සේ දැනුම හා අදහස් සංසරනය කල අන්දමට හාත්පසින් ම වෙනස්. මින් ඉදිරියට පොතක් තවත් කෙනෙක් එක්ක බෙදාගැනීම නීති විරෝධී වෙන්නත් පුලුවන්! දඬුවම් ලැබිය හැකි වරදක්! අදහස් පල කිරීමේ හා සංසරනයේ නිදහස අගයන බොහෝ දෙනා මේ ප්‍රවනතාවට බරපතල ලෙස විරෝධය පල කරනවා. සෑම වසරක ම ජාත්‍යන්තර ඩී. ආර්. එම්. විරෝධී දිනයක් ප්‍රකාශයට පත් කොට මේ පිලිබඳ සිහිය පිහිටුවන්නත් අරගල කරන්නත් නිදහස් මෘදුකාංග පදනම කටයුතු යොදා තිබෙනවා. ඔවුන් මේ කලමනාකරන ක්‍රමවේදය හඳුන්වන්න අපනාමයකුත් භාවිත කරනවා: Digital Restrictions Management. මේ වසරේත් ඩී. ආර්. එම්. විරෝධී දිනය නිමිත්තෙන් බොහෝ අර්ථවත් ලියකියවිලි, වීඩියෝ ආදිය පල කෙරුනා. ඔබට ශෙල් සිල්වර්ස්ටයින් ලියූ The Giving Tree නම් සුන්දර පොත හුරු පුරුදු නම් මේ xkcd කාටුනය වඩා හොඳට ඇඟට දැනේවි:



කෙනෙක් කියන්න ඉඩ තියෙනවා, “අපෝ ඕවා ලංකාවට අදාල නෑ. අපි කොහොමත් පොත් හිතේ හැටියට ෆොටෝ කොපි කෙරුවා, දැන් ස්කෑන් කරලා ඊමේල් කරනවා, ඊ පොත් ආවත් ඔච්චර තමයි” වගේ කතාවක්. “අනික සිංහල පොත්වලට ඕක කවදාවත් අදාල වෙන්න විදිහක් නෑ” කියලත් කියන්න ඉඩ තියෙනවා. විශේශ වර්ගයක ජාතික චින්තනයකින් ඔප වැටුනු ඒ කතාව නිදහස් නොවන මෘදුකාංග සම්බන්ධයෙන් මීට අවුරුදු කීපයකට කලින් ඇහුන දෙයක්. නමුත් දැන් කවුරුත් දන්නවා ඒ ක්‍රමයට මෘදුකාංග සංසරනය කරන්න තියෙන දුශ්කරතාව. ලෝක ආර්ථිකය එන්න එන්න ම වඩවඩාත් ඒකාග්‍ර වෙමින් තියෙන නිසා කරුනු යෙදෙන්නේ භූගෝලයේ සෑම අස්සක් මුල්ලක් නෑර ම වෙලඳපොලේ අනසකට යට කරගැනීමට මිසක් ඒකේ අනිත් පැත්තට නෙමෙයි. අනිත් අතට අන්තර්ජාලයේ ඇතැම් තැන්වලින් කරුනු බාගෙට අහුලාගන්නා සමහර සිංහල ලේඛකයන් මෙලෙස කියවීම හා පතපොත සංසරනයට වැට බඳින නව ප්‍රවනතා “ලේඛකයාගේ අයිතීන්” රකින්න නැඟී එන සාධනීය ආරක්ශක විධිවිධාන හැටියට වර්නනා කරන අයුරුත් මා දැක තිබෙනවා. එවැනි විකාර මුද්‍රනය කරන්න අපේ පුවත්පත් ඉතසිතින් සූදානම් බවත් පේනවා.

නමුත් සිංහල සාහිත්‍යයට ඕක අදාල වෙන්නෙ නෑ නෑ කීම බරපතල මුලාවක්. අපි කලින් බොහෝ වතාවක් සාකච්ඡා කර ඇති පරිදි මේ ගත වෙන්නේ පරිවර්තනීය අවධියක්; හරියට 19 වැනි සියවසේ අග භාගය වගේ. 19 සියවසේ අග පැරනි මාධ්‍ය තුල ගබඩා වී තිබුනු දැනුම මුද්‍රිත මාධ්‍යයට පෙරලෙමින් ද අලුතින් තහවුරු වූ මුද්‍රිත මාධ්‍යයෙන් නව අන්තර්ගතය නිපදවමින් ද ඉදිරි සියවස් දෙකක පමන කාලය සඳහා පෙරසූදානමක යෙදුනු පරිවර්තනීය අවධියක් දැකගන්න ලැබුනා. ඇත්තට ම මේක මෙහෙම හිතාමතා දැනුවත් ව සිද්ද කෙරුවා නොවුනත් අද සිට හැරී බලන විට පේන්නේ එහෙම යි. එයින් පසු එලඹි 20 වැනි ශතවර්ශයේ සංස්කෘතික හා බුද්ධිමය ක්‍රියාකාරකම්වල පදනම වුනේ මුද්‍රිත මාධ්‍යය. ඉතින් එලඹෙන සියවස් කිහිපය සම්බන්ධයෙන් මේක මොන වගේ වේවි ද? නිසැක ව ම විද්‍යුත් ක්‍රමයට ගබඩා කෙරුනු අන්තර්ගතයන් ඒ තැන ගන්නවා. ඩිජිටල් මාධ්‍ය අඩු තරමින් ඉදිරි සියවස් දෙකක-තුනක පමන කාලයක් වත් අනසක පතුරවනු ඇති බව යි පේන්නේ. ඇතැම් විට මුද්‍රිත පොත් බොහෝ ම සුඛෝපභෝගී හා සීමිත දෙයක් බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. මේක හුදෙක් කැමැත්ත අකමැත්ත හෝ තේරීම පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මෙවැනි යුගයක ඩී. ආර්. එම්. වැනි නිශේධාත්මක ප්‍රවනතා ගැන දැනුවත් වෙන්නත් සිය නිදහසේ සීමා පටු වීම වලක්වාගනු පිනිස දැනුවත් ප්‍රයත්නයක/අරගලයක නිරත වෙන්නත් ප්‍රමාද විය යුතු නැහැ. මේවා ලේඛකයින් සහ ප්‍රකාශකයින් සේ ම පාඨකයින් ද ඒකරාශී වන කොලඹ (මහනුවර, ගම්පහ, ගාල්ල….) ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බඳු අවකාශ තුල වඩවඩාත් සාකච්ඡාවට බඳුන් විය යුතු ප්‍රශ්න බව මගේ හැඟීම යි. අපි පොත් ලියන්නෙ කොහොම ද? අපි පොත් පල කරන්නෙ කොහොම ද? අපි පොත් කියවන්නෙ කොහොම ද? මෙයාකාර ප්‍රශ්න විවිධ පැතිවලින් මතු කල යුතු ව තිබෙන අවධියක් මේක.

*වැඩිදුර කියැවීම සඳහා

.