ඕර්වෙලියානු ඩිස්ටෝපියාව ගැන ලියා යන්තම් සති දෙකක් ගත වුනා විතර යි! යහපාලන ආන්ඩුව රටේ අනාගත පරපුර ගැන ඔත්තු බලන, ඔවුන් යන යන තැන ලුහු බඳින ඊනියා ආරක්ශක උපකරනයක් (tracking device – ට්‍රැකිං ඩිවයිස් එකක්) හඳුන්වා දීමට අදහස් කරන බව විදුලි සන්නිවේදන හා ඩිජිටල් යටිතල ඇමති හරීන් ප්‍රනාන්දු ඊයේ නිවේදනය කර සිටියා. මේ කටයුත්ත සාධාරනීකරනය සඳහා ඔහු ඉදිරිපත් කල හේතුවට මුලින් අවධානය යොමු කරමු:
ඔහුට අනුව පාසැල් ගමනේ දී, කෙලිසෙල්ලම් කිරීමේ දී, ටියුශන් පන්තිවලට සහභාගී වීමේ දී ආදී වසයෙන් දවස පුරා සිය දරුවන් යන-එන-සිටින-ගැවසෙන ස්ථාන දැනගැනීම වනාහි දෙමාපියන්ට තිබෙන දැවෙන අවශ්‍යතාවක්. පසුගිය සති ගනනාව තුල හටගත් ආන්දෝලනාත්මක ලමා මරන සමගත් මේ අවශ්‍යතාව සම්බන්ධ කරන්න ඔහු අමතක කලේ නෑ: “දෙමව්පියෝ මොන තරම් කලබල වෙනව ද තමන්ගෙ දරුවා පාසැල්වලට ඇරලපුවම, ඒ වගේ ම දෙමව්පියො මොන තරම් කලබල වෙනව ද ටියුශන් පන්තිවලට දරුවන් ගියාම, ඒ වගේ ම දෙමව්පියන් මොන තරම් කලබල වෙනව ද දරුවා දහම් පාසැලට ගිහිල්ලා ගෙදර එනකං….” මේ ඇමතිවරයාගේ වචන. ඔහුට අනුව දෙමාපියන් අද ඉන්නේ දරුවන්ගේ “ආරක්ශාව හා අනාගතය” ගැන “කලබලයෙන්”. මේ වාතාවරනය තුල දෙමාපියන්ට දරුවන්ගේ “ආරක්ශාව හා ඉදිරි අනාගතය” සුරක්ශිත කර දීම යහපාලන ආන්ඩුවේ වගකීම බවත් ඔහු කෙලින් ම ප්‍රකාශ කෙරුවා. මේ “සේවාව” ඉටු කිරීමට දැනට මත් උපකරන නිශ්පාදකයින් සමග සාකච්ඡා පවත්වා මිලගනන් කැඳවීම ද අරඹා ඇති බව ඔහු කියන දෙයින් පෙනී යනවා.
ආන්ඩුවත් එහි ඇමති හරීන් ප්‍රනාන්දුත් අපේ දූදරුවන් ආරක්ශා කරගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් ම පමනක් මේ වැඩපිලිවෙල දියත් කරන බව මොහොතකට පිලිගෙන බලමු. එවිට වුනත් අපට පෙනෙන්නේ හරීන් ප්‍රනාන්දු යනු මැතිවරන වේදිකා සටන්වල මුඛරි කථිකයකු ලෙස ඉස්මතු වී ජනප්‍රිය වුනත්, විරුද්ධවාදීන්ට තකට තක ඔරොත්තු දී තෙම්පරාදු වී සිටියත්, නූතන ලෝකයට ගැලපෙන දැනුමකින් හෝ සංවේදීතාවන්ගෙන් සමන්විත නොවන, “ඩිජිටල් යටිතල පහසුකම්” වැනි තීරනාත්මක වැදගත්කමකින් යුතු ක්ශේත්‍ර හැසිරවීමෙහි නොසමත්, නොදැනවත් හා දේශපාලනික ව නොමේරූ තැනැත්තෙකු බව යි. ඔහු පෙරට දමාගෙන මේ ක්ශේත්‍ර හසුරුවන ආන්ඩුව ගැනත් නිගමනය කරන්න වෙන්නේ එය ම යි. ඒත් එවැනි නිගමනයකින් නැවතිය හැක්කේ යහපාලන ආන්ඩුව තුල හුදෙක් සද්චේතනාව පමනක් තියෙන බවට උපකල්පනය කලොත් විතර යි! මම හිතන්නේ ඔවුන් ඊට වඩා සූක්ශ්ම යි. ඔවුන්ට ඊට වඩා දුරදිග යන අරමුනු තියෙනවා. ඒ කාරනයට ලිපියේ අග දී නැවත යොමු වෙමු.
ප්‍රශ්නයේ ස්වභාවය
පාසැල් දරුවන් යනු ගොවිපොල සතුන් මෙන් යන යන තැන ලුහුබැඳ තබාගත යුතු සත්ව කොට්ඨාසයක් ද? ඇමති ප්‍රනාන්දුගේ සාධාරනීකරනයට අනුව මෙය වනාහි “ඩිජිටල් – තාක්ශනික” යුගයේ පහසුකමක්! නමුත් සිහිබුද්ධිය ඇති සියලු දෙමාපියන් මේ වැඩපිලිවෙලට තරයේ විරෝධය පල කොට සිය දරුවන්ගේත් තමන්ගේත් නිදහස හා පුද්ගලිකත්වය (privacy) ආරක්ශා කරගන්න පෙරට ආ යුතු අවස්ථාවක් මේක. දේශපාලන පක්ශ, ගුරු සංගම්, විදුහල්පති සංගම් හා ශිශ්‍ය සංගම් මේ පිලිබඳ යථා තතු දැනගෙන ඉක්මනින් මැදිහත් වීමේ අවශ්‍යතාව මතු ව තිබෙනවා.
ප්‍රනාන්දු ඇමතිවරයා ඉදිරිපත් කරන ලාමක පුහු තර්ක ටික අවිවේචනාත්මක ව වාර්තා කිරීම හැර වැඩි යමක් බොහෝ සාම්ප්‍රදායික ජනමාධ්‍යවලින් බලාපොරොත්තු වෙන්න අමාරු යි. ඒත් බ්ලොග් අවකාශය ඇතුලු නව මාධ්‍ය අවකාශ තුලත් තාක්ශනය පිලිබඳ උත්සුකයක් දක්වන විවිධ වෘත්තිකයින් හා නිදහස් මෘදුකාංග ක්‍රියාධරයින් අතරත් මේ ගැන වඩා ගැඹුරු සාකච්ඡාවක් ඇති වේ ය යි මම කල්පනා කරනවා.
එවැනි සාකච්ඡාවකට මුලපිරීමක් හැටියට ඉහත මතු කල නිදහස හා පෞද්ගලිකත්වය පිලිබඳ ප්‍රශ්නයට යා වුනු අනිවාර්ය තාක්ශනික ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන්න මම කැමති යි:
1) ලමුන්ගේ සාක්කුව තුල රුවා (හෝ බෙල්ලේ එල්ලා) ඔවුන් සමග ඔබ මොබ යැවීමට අදහස් කරන මේ උපකරනය තුල ධාවනය වන මෘදුකාංග (software) මොනවා ද?
2) එම මෘදුකාංගවල මූල කේත (source code) පරීක්ශා කර බලා ඒවා නිපදවා ඇති ආකාරයත්, ඒවායේ ක්‍රියාකාරීත්වයත් ගැන සෑහීමකට පත් වීමේ අවස්ථාවක් ලමුන්ගේ දෙමාපියන්ට ලබා දෙන්නේ ද?
3) මේ උපකරනයේ දෘඪාංග පිලිබඳ විස්තර (hardware specifications) මොනවා ද?
4) මේ උපකරන මගින් ලමුන් පිලිබඳ හා උපකරනය තිබෙන ස්ථානය පිලිබඳ ලබාගන්නේ කෙබඳු තොරතුරු ද? GPS උපකරන මගින් රැස් කරන ආකාරයේ තොරතුරු – එනම් ගෝලීය ස්ථානගතවීම් පිලිබඳ තොරතුරු එමගින් ලබාගත හැකි ද? හඬ, වීඩියෝ ආදිය එයට ලබාගත හැකි ද? මේ කරුනු සැක නැති ව දැනගැනීමට නම් මීට පෙර ප්‍රශ්න තුනට උත්තර දැනගන්න වෙනවා.
5) උපකරනය ලමුන් පිලිබඳ දත්ත සම්ප්‍රේශනය සඳහා යොදාගනු ලබන මාධ්‍යය කුමක් ද? එය අන්තර්ජාලයට සම්බන්ධ වන්නේ ද, නැතහොත් ගුවන් විදුලි තරංග හෝ චන්ද්‍රිකා සබැඳුම් යොදාගන්නේ ද? එසේත් නැතහොත් එය ජංගම දුරකථන කුලුනු ඔස්සේ දුරකථන සේවා සම්පාදකයින්ගේ සහාය ලබමින් එම සංඥා පද්ධතිය මගින් දත්ත සංසරනය කරන්නේ ද?
6) මේ දත්ත සම්ප්‍රේශනය, සංසරනය හා ගබඩා කර තැබීම යන කාර්යයන් සඳහා යොදාගැනෙන ආකේතන ක්‍රම (encryption) හා ආරක්ශන විධි තිබේ ද? තිබේ නම් ඒ මොනවා ද?
7) මේ උපකරන ලමුන්ගේ සාක්කුවේ සිට දත්ත සම්ප්‍රේශනය කරන්නේ කා වෙත ද? දරුවාගේ සිට දෙමාපියන් දක්වා ගමන් කරන දත්ත ඒ අතරවාරයේ තවත් ස්ථාන කීයකට ගමන් කරනවා ද? එම දත්ත වෙත ප්‍රවේශය ඇත්තේ කාට ද? එම දත්තවල පිටපත් ලබාගත හැක්කේ කාට ද? මේ දත්ත ස්ථාන කීයක ගබඩා කර තැබේ ද? ඒවාට ප්‍රවේශය ඇත්තේ කාට ද?
8) මෙතෙක් දරුවන් යන-එන-සිටින තැන් පිලිබඳ දැන සිටියේත් දැනගැනීමට වෑයම් කලේත් පාසැලේ දී නම් ගුරුවරුනුත්, ඉන් පිටත දී දෙමාපියනුත් තමයි. මේ උපකරනය යොදාගැනෙන විට කී දෙනෙක්, ආයතන කීයක්, පාර්ශ්ව කීයක් මේ වැඩේට සම්බන්ධ වෙනවා ද? එයින් කී දෙනෙකුට එවැනි වැඩකට අතගැසීමේ සුදුසුකම් හා සදාචාරාත්මක අයිතිය තිබේ ද?
9) මේ උපකරන අවශ්‍ය විටක සක්‍රිය කිරීමේ හා අක්‍රීය කිරීමේ හැකියාව ඇත්තේ කාට ද? දරුවා දෙමාපියන් ලඟ හෝ නිවෙස තුල සිටින විට උපකරනය තොරතුරු සංසරනය කරන්නේ නැද්ද?
10) උපකරනය ව්‍යාපාරික අරමුනකින්, ලාභ ලැබීම සඳහා නිපදවන්නක්. ඒ බව ඇමතිවරයාත් පිලිගන්නවා. උපකරනය මගින් ඒකරාශී කරන ලමුන්ගේ ගමන්බිමන් පිලිබඳ දත්ත (සහ දැනට හෙලි කර නැති සියලු ආකාරයේ දත්ත) තවදුරටත් ලාභ ලැබීම සඳහා යොදා නොගන්නා බවට, තෙවැනි සිව් වැනි පාර්ශ්වයන්ට නොවිකුනන බවට තියෙන සහතිකය කුමක් ද?
11) මෙලෙස ඒකරාශී කරනු ලබන දත්ත සමුදාය රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් මානනය හා පාලනය (manipulate and control) කිරීම සඳහා අපයෝජනය කිරීමේ හැකියාව රාජ්‍ය බලය හිමි පිරිසට – ආන්ඩුවට හා දත්තවලට ප්‍රවිශ්ටය ඇති රාජ්‍ය අංශයේ විවිධ කොටස්වලට – නැද්ද?
මේ උපකරනයේ දෘඪාංග හා මෘදුකාංග පක්ශය පිලිබඳ සවිස්තර තොරතුරු හෙලි නොකර ලමුන්ගේ ආරක්ශාව පිලිබඳ උන්මාදනීය කලබලයක් ඇති කොට එමගින් නොසන්සුන් වන දෙමාපියන්ගේ අනුකූලතාව ලබාගනිමින් මේ කරන්න යන්නේ විශාල ජනකායක් පිලිබඳ දැවැන්ත පරිමාන ඔත්තු බැලීමක් මිස අනෙකක් නෙමෙයි! දැනට පේන්න තියෙන්නේ හුදෙක් කැමැත්තක් දක්වන දෙමාපියන්ට විකුනන අටියෙන් කෙරෙන “සයිඩ් බිස්නස් එකක්” හැටියට විතරක් වුනත් මෙවැන්නක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇති ව සියලු සිසුන්ට අනිවාර්ය දෙයක් හැටියට නිල වසයෙන් ම ක්‍රියාත්මක වුනොත් එහි භයානකකම තවත් වැඩි වෙනවා! සමහර විදුහල්පතිවරුන් හා දෙමාපියන්, පාසැල් සංවර්ධන සමිති, දෙමාපිය-ආදිශිශ්‍ය යනාදී සංගම් ඒ ඒ මට්ටමෙන් එකඟ වී මෙය තමතමන්ගේ පාසැල් මට්ටමින් ක්‍රියාවට නඟන්නත් ඉඩ තියෙනවා නේද? කමකට නැති යාන්ත්‍රනයක් බවට පත් වෙමින් ඇති අපේ පාසැල් පද්ධතිය තුල මෙයින් ඕනෑ ම දෙයක් සිදු වීමේ අවදානම තියෙනවා. එනිසා සියලු දෙනා වහා සිහි එලවා ගෙන කල්පනාකාරී හා දැනුවත් තීරනයක් ගත යුතු යි!
ලමුන්ගේ පෞරුශ වර්ධනය හා මනෝවිද්‍යාත්මක සාධක
ගමන් යන එන තැන්, කරන කියන දේ, ඉරියවු යනාදී සියල්ල සෑම මොහොතක ම අන්‍යයින්ගේ නිරීක්ශනයට හා සුපරීක්ශනයට ලක් වන බව දන්නා දරුවකුගේ පෞරුශ වර්ධනයට එයින් සිදු වන හානිය ඉතා තීරනාත්මක විය හැකි බව යෝජනා කරන්න මම කැමති යි. ඕර්වෙලියානු ඩිස්ටෝපියාව පිලිබඳ ලිපියේ සඳහන් කල පරිදි “සෑම මොහොතක ම තමන් දෙස කවුරුන් හෝ බලා සිටින බව – බලාධිකාරයේ සුපරීක්ශාකාරී ඇස තමන් වෙත යොමු ව ඇති බව – දන්නා ජීවිතයක් නිදහසේ විකසිත වෙන්නේ නෑ. ඒ වෙනුවට නරඹන්නාගේ පාලනයට ඍජු ව හා වක්‍ර ව අනුගත ජීවිතයක් නිර්මානය වෙනවා. හුදෙක් නැරඹීම ම පාලනයේ කොටසක්.” මෙය වැඩිදුර ගැඹුරින් සාකච්ඡාවට ගැනීම ලමා මනෝවිද්‍යාව, අධ්‍යාපන විද්‍යාව ඇතුලු විශයයන් පිලිබඳ ප්‍රවීනයින්ගේ ද දායකත්වය සහිත ව පුලුල් අන්දමින් කල යුතු දෙයක් වුනත් දැනට අප්‍රමාද ව මේ ප්‍රශ්න මතු කිරීම අප කාගේත් වගකීමක්.
ලමා අයිතීන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 16 වැනි වගන්තිය දරුවන්ගේ පෞද්ගලිකත්වය (privacy) සම්බන්ධයෙන් අදහස් දක්වනවා. සෑම ලමයකුට ම පෞද්ගලිකත්වයට අයිතියක් ඇති බවත්, තම පෞද්ගලිකත්වය, පවුල, හා සන්නිවේදන කටයුතු සම්බන්ධ ව අන් අයගේ මැදිහත් වීමෙන් තොර ව කටයුතු කිරීමේ නිදහස ඔවුන්ට හිමි විය යුතු බවත් එම වගන්තියෙන් කියැවෙනවා. පවත්නා ක්‍රමය තුල ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික බාධක නිසා සර්වසම්පූර්න නිදහසක් දරුවාට උදා කර නොදුන්නත් මේ ප්‍රඥප්තිය ලමුන් පිලිබඳ දැනුවත්, විද්‍යාත්මක ප්‍රවිශ්ටයකින් හා සංවේදීතාවකින් යුතු ව සම්පාදිත ලියවිල්ලක්. එම ප්‍රඥප්තියේ 40 වැනි වගන්තියේ vii වැනි උපවගන්තිය දරුවකු අතින් නීතිය උල්ලංඝනය වන වරදක් සිදු වූ විට පවා ඊට අදාල නෛතික ක්‍රියාවලියේ සියලු අදියරවල දී දරුවාගේ පුද්ගලිකත්වයට සම්පූර්නයෙන් ගරු කොට තහවුරු කිරීම සම්බන්ධයෙන් රාජ්‍යය සතු භූමිකාව ද පෙන්වා දෙනවා. යහපාලන ආන්ඩුව හදන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය දැනට එකඟ වී පිලිගෙන තිබෙන මෙවැනි ප්‍රඥප්තීන් ද කසල ගොඩට දමන්න යි!
ලමා විය හා පාසැල් විය
පාසැල් ජීවිතය හා ලමා විය ඊට ම ආවේනික රසමුසු, අවදානමෙන් ද තොර නැති, සුන්දර අත්දැකීමක් බවට පත් කර දීම ලොව හසුරුවන වැඩිහිටියන්ගේ වගකීම යි, යුතුකම යි. පාසැල් දරුවකුගේ ජීවිතය සෑම විටක ම දෙමාපිය ගුරුවර අනුදැනුම හා සුපරීක්ශාව යටතේ, පරිපාලිත අවකාශ තුල පමනක් ගත විය යුතු අවධියක් හැටියට හිතන කෙනෙක් මාපිය පදවි හෝ ගුරු තනතුරු ලැබීමට තරම් සෞඛ්‍ය සම්පන්න මානසික තත්වයක නෑ කියලයි මට හිතෙන්නේ.
මා ඉහත මතු කල තාක්ශනික ගැටලුවලට පිලිගත හැකි මට්ටමේ සාධාරන පිලිතුරු දී සම්පූර්නයෙන් “විනිවිද පෙනෙන” උපකරනයක් කරලියට ගෙන ආවත් මිනිස් ප්‍රානියකු යන එන සිටින තැන් දැකගැනීම සඳහා එවැන්නක් යොදාගැනීම සදාචාරාත්මක නෑ. ආචාරධාර්මික නෑ. එය හැඳින්විය හැක්කේ මිනිස්කමින් තොර කටයුත්තක් හැටියට යි. දෙමාපියන් වීම හා ගුරුවරයකු වීම යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? එය කිසි සේත් මෙයාකාර ලුහුබැඳීම (tracking) පිලිබඳ කටයුත්තක් නෙමෙයි. කුඩා කල පටන් තමුන්ගේ සමස්ත පාසැල් ජීවිතයත්, සියලු ඔබ මොබ ගමන්බිමනුත් මෙවැනි ලුහුබැඳීමේ උපකරනයක් මඟින් (කොම්පැනියක් හා ආන්ඩුව එකතු වී) වාර්තාගත කරනු ලැබූ දරුවකු හැදී වැඩී පරිනත වී ලෝකයට ලබා දෙනු ඇත්තේ කෙබඳු දායකත්වයක් ද? ඔහු හෝ ඇය කෙබඳු වැඩිහිටියකු වේවි ද? මට නම් ඒ ගැන හිතන විටත් ඇති වෙන්නේ විසාල කම්පනයක්, තැතිගැන්මක්. මෙය කියවන ඔබට එවැන්නක් දැනේ ද නැද්ද මොහොතක් හිතා බලන්න.
ලෝකය හා සමාජය ගැන ප්‍රමානවත් දැනුමක්, අවබෝධයක් දරුවාට ලබා දෙමින් දරුවාත් තමනුත් අතර තිබිය හැකි හිස් තැන් මානව සම්බන්ධතා පිලිබඳ ක්ශේත්‍රය තුල විසඳාගමින්, ජීවිතයට මඟ පෙන්වීමේ බැරෑරුම් කාර්යභාරය දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් පැවරෙනවා. සමාජයේ ජීවත් වෙන්න, ගමන් බිමන් යන්න, ප්‍රසිද්ධ ස්ථානවල දී ආරක්ශා වෙන්න දරුවන්ට මඟ පෙන්විය යුතු යි. “එලියේ සමාජය” ආරක්ශාකාරී නැත්නම්, එන්න එන්න ම “පාරේ බැහැලා යන්න බැරි තත්වයක්” උදා වෙමින් තිබේ නම් එහි වගකීම ගෙන ලෝකය වෙනස් කිරීමට බැහීම වැඩිහිටි භූමිකාවේ තවත් වැදගත් අංශයක්. ඒ සමාජීය අර්බුදවලට විසඳුම අහිංසක දරුවන්ගේ සාක්කුවට ඔත්තු බැලීමේ උපකරන දැමීම නෙමෙයි!
දරුවන් ඇති, දරුවන් දැක ඇති හා දරුවකු ව සිට ඇති ඕනෑ ම කෙනෙක් දන්නා කරුනු ටිකක් මේ: දරුවන්ට පුද්ගලිකත්වය අවශ්‍ය යි. රාජ්‍යය හා කොම්පැනි තමුන් යන එන තැන් ගැන ඔත්තු බලන්න දඟලන බව දරුවෝ දන්නෙ නෑ වෙන්න පුලුවන්. ඒත් දෙමාපියන් හා ගුරුවරුන් ඒ ගැන හොයන්න තැත් කරන බවත් ඇතැම් අවස්ථාවල දෙමාපියන්ට පවා උල්ලංඝනය කිරීම නුසුදුසු පෞද්ගලික ජීවිතයක් තමන්ටත් තියෙන බවත් ලමුන් දන්නවා. ලමයි ඒ පෞද්ගලිකත්වය ඉල්ලා හිටිනවා. ඒ පෞද්ගලිකත්වය රැකගන්න ලමුන් දරන මහන්සිය නොදන්නේ කවුද? මෙකී පෞද්ගලිකත්වය, මෙකී නිදහස දරුවාගේ පරිපූර්න මනුශ්‍යත්වය සම්බන්ධයෙන් ගත් විට අනුල්ලංඝනීය වටිනාකමකින් යුතු අංශයක්. දරුවන් පිලිබඳ ඔත්තු බලන උපකරන නිපදවා එම ඔත්තු බැලීමේ යාන්ත්‍රනයට දෙමාපියනුත් හවුල් කරගැනීම මගින් මාපිය දූදරු සබඳතාවේ සෞඛ්‍ය සම්පන්න බවට සිදු වන්නේ විශාල හානියක්.
“ලමුන්ගේ ආරක්ශාව” පිලිබඳ ආන්දෝලනය හා යථාර්ථය අතර පරතරය
හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පවසන ආකාරයට නම් දැන් සියලු දෙමාපියන් ඉන්නේ සිය දරුවා මේ දැන් කාම අපචාරයකට ලක් වේ ද, ඝාතනයට ලක් වේ ද, පැහැර ගැනේ ද යන බියෙන්. එය පසුගිය වකවානුවේ සිදු වූ ඛේදජනක අපරාධ පිලිබඳ නිදසුන් මගින් සනාථ කරන්නත් ඔහු උත්සුක වෙනවා. ඒත් මේක අර්ධ සත්‍යයන් යොදාගෙන නිර්මානය කරන කලබගෑනියක්. වෙනත් වචනවලින් කිව්වොත් මේ කතාව ඇතැම් සැබෑ කරුනු හා බාගෙට ඇත්ත කරුනු යොදාගෙන තමන්ට අවශ්‍ය ආකාරයේ හැඟීමක් අසන්නන් තුල ජනිත කරන අරමුනින් සීරුමාරු කොට සිදු කරන අදහස් දැක්වීමක්. මේ දේශපාලකයිනුත්, පොලිසියත්, උද්වේගී ජනමාධ්‍යකරනයේ (yellow journalism) නිතර මාධ්‍යවේදීනුත් දරුවන්ගේ ආරක්ශාව පිලිබඳ “කලබලය” හා භීතිය පුබුදුවා අවුලුවාගන්න අවශ්‍ය සියලු දේ කරමින් ඉන්නවා. ඇත්ත, ලමුන් අපයෝජනයට ලක් වූ බවට වැඩි වැඩියෙන් වාර්තා වෙනවා. දෙමාපියන් තුල මේ අවදානම පිලිබඳ හැඟීම් හා කාංසාවන් එන්න එන්න ම ඉහල යනවා. හිටපු ලමා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක පසුගිය මැයි මාසයේ සඳහන් කලේ ශ්‍රී ලංකාව තුල දිනකට ලමුන්ට එරෙහි අපරාධ විසි දෙකක් වාර්තා වන බව යි. මෙය සැබෑ ගැටලුවක්! පන මෙන් දරුවන් සුරකින, දරුවන්ට ආදරය කරන දෙමාපියන්ට සිය දරුවාගේ ආරක්ශාව යනු ලොව වැදගත් ම ප්‍රශ්නය තමයි.
ඒත් දැන් ප්‍රමුඛත්වයට පැමින ඇති උද්වේගකර පුවත් වාර්තා මගින් නිරූපනය වෙන්නේ ලමුන් සම්බන්ධ සමස්ත චිත්‍රයෙන් ඉතා කුඩා කොටසක් පමන යි. 2015 වන විට පාසැල්වල පමනක් සිටින දරුවන් සංඛ්‍යාව 4,004,091ක්. මෙයින් සුවිශාල බහුතරයක් පුවත්පත්වල අාන්දෝලනාත්මක වාර්තාකරනයට ලක් නොවන අන්දමේ “සාමාන්‍ය” අත්දැකීම් ලබමින්, පන්ති යමින්, ක්‍රීඩා කරමින් දෛනික ජීවිත ගත කරනවා. “උදේ හයයි තිහට නිවසින් පිටත් වූ දරුවෙක් උදෑසන හතට පාසැල් ගේට්ටුවෙන් ඇතුලට!”, “පාසැල ඇරුනු පසු දරුවෝ ලක්ශ ගනනක් ටියුශන් පන්තිවල!”, “පාසැල් වේලාවේ දරුවෝ ඉගෙන ගනිති!” ඔය වගේ සිරස්තල පත්තරවල යන්නෙ නෑ නේ? රූපවාහිනියේ යන්නෙත් නෑ. ඒත් මේ මොහොතේත් එවැනි දරුවන් ලක්ශ ගනනක් පාසැල් යමින්, පාසැලේ ඉගෙනගනිමින්, විද්‍යාගාරවල වැඩ කරමින්, පුස්තකාලයේ කියවමින්, ගුරුවරුන්ගෙන් දඬුවම් ලබමින්, රචනා ලියමින්, චිත්‍ර අඳිමින්, ගී ගයමින්, පන්ති යමින් හෝ කෙලිසෙල්ලමින් කාලය ගත කරනවා. සමහරු විනෝදයෙන්, සමහරු සෝකයෙන්. මේ හැම මොහොතක ම අනාගත ලෝකය උපත ලබනවා. හැම මොහොතක ම දරුවෙක් අලුතින් යමක් ඉගෙන ගන්නවා. නොවැටී ඇවිදින හැටි, මිතුරන්ට, අමුත්තන්ට, ගුරුවරුන්ට කතාබහ කරන හැටි, ජීවිතයේ ලොකු කුඩා ගැටලුවලට මුහුන දෙන හැටි, පොදු අවකාශවල ප්‍රවේසමෙන් ගමන් කරන හැටි, බස් රථවල යන එන හැටි… වැටී තුවාල වෙන හැටි, තනි ව ම දුක සතුට විඳින හැටි, සාමූහික ව මිත්‍ර සමාගම් රසවිඳින හැටි….. මේක සුවිසල් ලෝකයක්.
සංඛ්‍යාලේඛනවලින් සනාථ වී ඇති වැදගත් කරුනක් මෙහි දී මතු කිරීම උචිත යි. ලමා අපයෝජන, ලිංගික අතවර ඇතුලු අඩන්තේට්ටම්වලින් වැඩි ප්‍රමානයක් දැනටත් සිදු වන්නේ ඒවාට ලක් වන දරුවන්ගේ ම පවුල තුලින්, ඥාතීන් අතරින්, ගෘහ සේවකයින්, ආසන්න වටාපිටාවෙන් ම හෝ ගුරුවරුන් අතරින් මතු වන පුද්ගලයින් අතින් බව. මේවායෙන් සියල්ල තව ම හරි හැටි වාර්තා වී එලිමහනට එනවා ද යන්න පවා සැක සහිත යි. මහ මඟ යන අත, හැරෙන හැරෙන හන්දියේ, බෝක්කුවේ රැක සිටින “විකෘත මානසිකත්වයෙන්” යුතු “පාපතරයන්” විසින් සිදු කරනු ලබන “තිරිසන් ක්‍රියා” හැටියට අතිසරලීකරනය කොට මේවා වාර්තා කරන්නේ ජනමාධ්‍ය යි. ඒත් මේ සම්බන්ධ යථාර්ථය ඊට වඩා බොහෝ පැති ගනනකින් යුක්ත යි, සංකීර්න යි. උපකරන එල්ලා සතුන් මෙන් දරුවන් ලුහු බැඳීමෙන් එවන් විපත් වලකා ගත හැකි ද? මෙහි දී නැවතත් අර කී දෙමාපිය ගුරුවර භූමිකාවන්ට වැදගත් කාර්ය කොටසක් පැවරෙනවා. ලෝකය සමග ගනුදෙනු කල යුතු බුද්ධිමත් හා ප්‍රඥාසම්පන්න ආකාර මොනවා ද? ලිංගික අතවරවලින් ආරක්ශා විය හැක්කේ කෙසේ ද? ලිංගික හෝ කායික අවදානමකට ලක් ව සිටින අවස්ථාවක තනි ව දරුවකුට ගත හැකි පියවර මොනවා ද? ජාතික ලමාරක්ශක අධිකාරිය ලමුන්ට ම ඇමතිය හැකි හදිසි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා: “දුවේ පුතේ ඔබේ හොඳම මිතුරා 1929…” යනාදී වසයෙන් සඳහන් පත්‍රිකාවක් ඔවුන් බෙදාහරිනවා. දරුවන් අමතමින් ලියන ලද සරල හා ප්‍රායෝගික උපදෙස් එහි අන්තර්ගත යි. මෙවැනි මඟපෙන්වීමේ ලේඛන හා වීඩියෝ ආදිය ඉතා නිර්මානාත්මක ව ජීවිතයේ සියලු අංශ අලලා සම්පාදනය කිරීම දැවෙන අවශ්‍යතාවක්. පාසැල්, රෝහල් හා සෑම පොදු අවකාශයක් තුල ම පහසුවෙන් ලබාගත හැකි පරිදි මේ උපදෙස් සංසරනය වීම වැදගත්. පාසැලේ විශය නිර්දේශ තුලට මේවා ඉතා නිර්මානාත්මක ව ඇතුලත් කල හැකි යි. මට හිතෙන අන්දමට නම් හරීන් ප්‍රනාන්දුගේ ඔත්තු බැලීමට වඩා මේවා දහස් ගුනයකින් අර්ථවත් හා සාධාරන විසඳුම්! ඒත් එක ද ඇමතියෙක් වත් පුවත්පත් සාකච්ඡා පවත්වා මෙවැනි දේ ගැන දැනුවත් කරනු මා දැක නෑ. ලමා අපචාර ගැන, කාමාතුරයින් ගැන උද්වේගකරනයේ යෙදෙන ජනමාධ්‍ය මෙවැනි දෑ ගැන ප්‍රසිද්ධියක් ලබා නොදෙන්නේ මන්ද?
ඉතා සටකපට ආකාරයෙන් පුරවැසියන් පිලිබඳ ඔත්තු බැලීමේ යාන්ත්‍රනය නව තලයකට නැංවීමට කැසකවමින් – තලු මරමින් ඉන්නා පාලන තන්ත්‍රයක් මේක. මේ අතින් ඔවුන් පෙර පැවති රාජපක්ශ පාලනය ඉක්මවා යන්න වැඩි කලක් ගත වන බවක් පේන්න නැහැ. ඔවුන්ගේ ලෝක දේශපාලනික සගයින් හා ගුරුන් බවට පත් ව ඉන්නේත් මෙවැනි ඔත්තු බැලීම්වලට නම් දරා ඇති පාලන තන්ත්‍ර. ආන්ඩුවටත් ඔවුන්ගේ ව්‍යාපාරික සගයින්ටත් අපේ දූදරුවන්ගේ යන එන තැන් ලුහුබැඳීමේ වගකීම භාරදීම වනාහි නරියාට කුකුල් කූඩුව බාර දුන්නාක් වැනි අනිටු ප්‍රතිඵල දනවන වැඩක්.
දූදරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් එපා! දෙමාපියනි, ගුරුවරුනි, පුරවැසියනි, මේ පිලිබඳ හැකි තාක් දැනුවත් වීමත් දරුවන්ගේ පුද්ගලිකත්වය හා නිදහස උල්ලංඝනය කිරීමට එක හෙලා විරුද්ධ වීමත් ඔබේ වගකීම යි!
වැඩිදුර නැරඹීම හා කියැවීම සඳහා
- හරීන් ප්‍රනාන්දු ලුහුබැඳීමේ උපකරනය ගැන මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අයුරු
- ලමා අයිතිවාසිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය
- A Free Digital Society – What Makes Digital Inclusion Good or Bad? ජීවිතය ඩිජිටල්කරනය වීමේ විවිධ පැතිකඩ ගැන රිචර්ඩ් ස්ටෝල්මන් පැවැත්වූ දේශනයක්
- ජෝර්ජ් ඕර්වෙල්ගේ නවකතාව Nineteen eighty-four
අදාල පාරිභාශික පද
මෙවැනි උපකරනවලට උචිත නියම නම සිංහලෙන් කීමට අප පුරුදු විය යුතු යි:
- tracking device = ට්‍රැකිං ඩිවයිස් = ලුහුබැඳීමේ උපකරනය
- surveillance device = ස’වේලන්ස් ඩිවයිස් = ඔත්තු බැලීමේ උපකරනය / ප්‍රවීක්ශන උපකරනය
ඔබේ දරුවාගේ සාක්කුවට මෙවැන්නක් දමන තත්වයකට ඔබ වැටුනොත් මේ නම් සිහිපත් කරගැනීම වටිනවා.