පූර්විකාව
එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ ජන්ම ශත සංවත්සරයත් සමග අලුතින් ඉහල නැඟුනු උද්‍යෝගයක් සහිත ව එතුමන්ගේ කාර්යභාරය පිලිබඳ සාකච්ඡා ඇති වෙමින් තිබෙනු දකින්න ලැබීම ඉතා හිතකර දෙයක්; සතුටට කරුනක්. මේ සංවාද අවකාශයට ඇතුලු වන ඇතැමෙක් අලුත් විචාර මිනුම් දඬු, දෘශ්ටි කෝන ආධාරයෙන් සරච්චන්ද්‍රයන්ගේ උරුමය නැවත විමසීමට ප්‍රයත්න දරන අතර ඇතැමෙක් පෙර සිට පැවත ආ පිලිවෙල ම අනුයමින් මේ මහා කලාකරුවා අභිවාදනය කරනවා. තවත් සමහරු සරච්චන්ද්‍ර නමැති නාට්‍යකරුවා, කවියා, දාර්ශනිකයා යනාදී වසයෙන් විවිධ පැතිවලින් විමර්ශනයේ යෙදෙනවා. මේ බොහෝ අදහස් හා විවරන අපේ සංස්කෘතික ජීවිතය අර්ථවත් කරන්න දායක වෙනවා. ඒ ගැන සැකයක්, විවාදයක් නැහැ. මේ කෙටි ලිපියෙන් මම අදහස් කරන්නේ ඒ සාකච්ඡාවට මැදිහත් වෙන්න නෙමෙයි, සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය රසිකයෙක් හැටියට මට නිතර සිතුනු, කල්පනා වුනු එක් කරුනක් ගැන - ගෞරව සම්ප්‍රයුක්ත ව - “ශබ්ද නඟා හිතන්න” යි.
ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය බොහෝ දුශ්කරතා හා කම්කටොලු මැද එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාන සමුදාය රැකගන්නත් ඒ උරුමය පෙරට ගෙනියන්නත් උර දී සිටින බව අප කවුරුත් දන්නවා. ඒත් කලක පටන් එතුමිය ප්‍රකට කරමින් සිටින ප්‍රවනතාවක් ගැන නාට්‍ය රසිකයකු හැටියට මට තිබෙන්නේ බරපතල ප්‍රශ්නයක්. මෙකී ප්‍රවනතාව ආරම්භයේ දී දකින්න ලැබුනේ සරච්චන්ද්‍ර නාටක, ගීත හා පතපොත යනාදිය අනවසරයෙන් ප්‍රතිනිශ්පාදනය වීම, තැටි වසයෙන් විකිනීම හා නොගැලපෙන සන්දර්භවල ප්‍රසංග සඳහා යොදාගැනීම යනාදියට තියෙන විරෝධයක් හැටියට. ඉන් පසු එම නාට්‍යවල සිටි පැරනි ශිල්පීන් විවිධ අධ්‍යාපනික සහ/හෝ වානිජ කර්තව්‍යයන් සඳහා සන්නිදර්ශන වසයෙන් එම නාට්‍ය ගීත යොදාගැනීම පිලිබඳ විරෝධයක් ද පෙන්නුම් කෙරුනා. මේ විරෝධය පෑමට එතුමියට නෛතික මෙන් ම සදාචාරාත්මක අයිතියක් ද තිබෙනවා. ඊට අතිරේක ව පුද්ගලික හේතුත් ඇති. ඒ හේතු අසාධාරන ය යි මම කියන්නේ නෑ.
ඒත් එතුමියගේ විරෝධය තවත් අංශ කීපයකට ම පැතිර යමින් තිබුනු බව එදා පටන් ම නිරීක්ශනය කරන්න පුලුවන් වුනා. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය පිටපත් උපයෝගී කරගනිමින් අලුත් නිශ්පාදන කිරීම ගැන කිසිම ප්‍රසාදජනක අදහසක එතුමිය නැහැ. ඒ විතරක් නෙමෙයි එම නාට්‍ය පරිවර්තනය කොට වෙනත් භාශාවන්ගෙන්, වෙනත් රංග ශෛලීන්ගෙන් ප්‍රයුංජනය වීම ගැනත් සරච්චන්ද්‍ර මැතිනිය ඉන්නේ දැඩි නිශේධාත්මක ආස්ථානයක බව ධර්මජිත් පුනර්ජීවගේ සිංහබාහු ඉංග්‍රීසි නිශ්පාදනයට දැක්වූ ප්‍රතිචාරයෙන් පෙන්නුම් කෙරුනා. මේ සියල්ල සිදු විය හැක්කේ එතුමියගේ අවසරය ඇතොත් පමනයි. එතුමියගේ විරෝධය දැන් තවත් තලයකට නැඟ තිබෙන බව පෙන්නුම් කෙරෙන සම්මුඛ සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා - අගෝස්තු 04 - ලංකාදීප පුවත්පතේ පල වී තිබෙනවා. සරච්චන්ද්‍ර මැතිනිය මෙහෙම කියනවා (දීර්ඝ වුනත් එතුමියගේ සම්පූර්න අදහසට ම සවන් දීම වැදගත්):
(ලංකාදීප 2013 අගෝස්තු 04 සිකුරාදා, රසවින්දන අතිරේකය, 3 - 4 පිටු. සංවාද සටහන සමන් යහම්පත් / අක්ශර වින්‍යාසය හා පද බෙදීම පුවත්පතට අනුව)
මතු සම්බන්ධ යි.

“අද මම තමයි සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය නැවත අධ්‍යක්ෂණය කරන්නේ. නාට්‍යවල තිබූ ගුණාත්මක භාවය ඉහළින් මිසක අඩුවෙලා නෑ. නළුවෝ අද දක්ෂයි. ඔවුන්ට දකින්න තිබෙන දේ වැඩියි. ඉතා හොඳට තමයි අද නාට්‍ය නිෂ්පාදනය කෙරෙන්නේ. හැමදේම මගේ අනුදැනුම මතයි යන්නේ
“නමුත් විශාල ප්‍රශ්නයක් දැන් ඇති වෙලා. පාසල්වලට සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය කරන්න කිව්වාට මේ අය මගේ අවසරයක් නැතුව “සිංහබාහු, මනමේ” කරනවා. කොළඹට නුදුරු බාලිකා පාසලක “මනමේ” කරලා. ඒ අය ඒක දින්නා කියලා ඒක ලොකු මාධ්‍ය ආයතනයක් මගින් පසුගියදා පෙන්නුවා. ඒක බොහොම වැරදි වැඩක්. එහෙම සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක්ද? මුළු ලෝකෙම අපේ ජාතික වස්තුවක් ලෙස සලකන “මනමේ” අර නාට්‍ය තරගයකට ගිහින් දින්නයි කියලා මාධ්‍ය ආයතනවලින් පෙන්වීම වැරැදියි. “මනමේ” කුමාරයාට රඟපාන්නේ ගැහැනු ළමයෙක් කොයිතරම් වැරැදිද?
“අනික මේක වැඩිහිටි කතාවක්නේ ගැහැනු ළමයි දාලා පාසලක මෙය කරන එක වැරැදි වැඩක්. නරඹන එක වෙනම දෙයක්. නමුත් නාට්‍යයක් කිරීමේ දී ඒ චරිතය තුළට කිඳා බැසිය යුතුයි. මගේ කිසිම අවසරයක් නැතුව මේ අය කරපු දේ අනුමත කරන්න පුළුවන්ද? මට හරිම සංවේගයක් ඇති වුණා. මේ නොවැම්බර් මාසයේ 3 වැනිදාට “මනමේ” ට අවුරුදු 57ක් වෙනවා. මාධ්‍ය ආයතනවල තිබෙන්නේ ඒ තරගවලින් දිනූ ගැහැනු ළමයි කළ “මනමේ” පෙන්වන එක නෙවෙයිනේ. “මනමේ” තවම රඟ දක්වන නාට්‍යයක්. ඒක පෙන්වන්න පුළුවන්නේ. ඉතිං මේක හරි කොල්ලයක්. නොදන්න අයට වැඩසටහන් බාර දුන්නාම වෙන දේ ඕක තමයි මොකද ඔවුන් මෙහි වටිනාකම දන්නෙ නෑ.
“මේ ගැන ලොකු කලකිරීමක් මට තිබෙන්නේ. සරච්චන්ද්‍ර මහත්මයාට මම හිතින් කිව්වා. මේවා මට බාරදීලා ඇයි ගියේ? අද මේවා කොල්ල කනවා නේද කියලා. සාරධර්මවලට විරුද්ධයි. “මනමේ” මේ විදිහට කළ ගුරුවරු මගෙන් අවසර ගන්නේ නැතුව කරපු දේ වැරැදියි. මාධ්‍ය ආයතනවල මේවා අරගෙන පෙන්වීමත් වැරැදියි.
…
“මට තමයි සරච්චන්ද්‍ර මහත්මයාගේ සියලුම නිර්මාණවල අයිතිය තියෙන්නේ. එය අන්තිම කැමති පත්‍රයෙත් සඳහන් කරලා තියෙනවා. ඒ හැරුනු විට බුද්ධිමය දේපළ පනතක් තිබෙනවානේ. අපි මාධ්‍ය ආයතනවලට කියලා තිබෙනවා මගේ අවසරයක් නැතුව සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය පෙන්වන්න එපා කියලා. මාධ්‍ය ආයතන අද වැරැදි වැඩ කරනවා. ඔය මාධ්‍ය ආයතනවලට මුලින්ම නාට්‍ය සැපයුවේ අපියි. අපිටම දැන් කෙණහිලිකම් කරනවා. කොයිතරම් වැරැදිද? “මනමේ, සිංහබාහු” ආශ්‍රයෙන් මොනවා හරි නිර්මාණ කරන්න පුළුවන්. හැබැයි ඒ අයිතිය තියෙන්නේත් මට විතරයි.
“මගේ අයිතිය සරච්චන්ද්‍ර මහත්මයාට අගෞරව නොවන ආකාරයට මම පාවිච්චි කරනවා. මට දැන් නඩු හබ යන්න වෙලා. මේක හරි කරදරයක්. සමහරු අපේ නිර්මාණ අරගෙන ඒවා DVD වලට දමා විකුණන්න හදනවා. ඒක තව ප්‍රශ්නයක්. මම අධ්‍යාපන ඇමැතිතුමා හමුවෙලා මේ ගැන කියන්න හිතාගෙන ඉන්නවා. ළමයින්ට පාසැල්වල මේවා රඟපාන්න දෙන්න එපා කියලා. අඩුම ගණනේ “මනමේ, සිංහබාහු” දෙකවත් ආරක්ෂා කරන්න. ළමයින්ට පුළුවන් දේවල් නොවෙයි මේ. පාසල්වල විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට දඬුවම් කළ යුතුයි. අහන්නේ නැතිව මේ අය කරන වැඩේ ගැන කවුද කතා කරන්නේ?”