වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

දූදරුවන් ලුහුබැඳ ඔත්තු බලන ට්‍රැකිං ඩිවයිස් වෑයමට අප එරෙහි විය යුත්තේ ඇයි?

| Comments

ඕර්වෙලියානු ඩිස්ටෝපියාව ගැන ලියා යන්තම් සති දෙකක් ගත වුනා විතර යි! යහපාලන ආන්ඩුව රටේ අනාගත පරපුර ගැන ඔත්තු බලන, ඔවුන් යන යන තැන ලුහු බඳින ඊනියා ආරක්ශක උපකරනයක් (tracking device – ට්‍රැකිං ඩිවයිස් එකක්) හඳුන්වා දීමට අදහස් කරන බව විදුලි සන්නිවේදන හා ඩිජිටල් යටිතල ඇමති හරීන් ප්‍රනාන්දු ඊයේ නිවේදනය කර සිටියා. මේ කටයුත්ත සාධාරනීකරනය සඳහා ඔහු ඉදිරිපත් කල හේතුවට මුලින් අවධානය යොමු කරමු:

ඔහුට අනුව පාසැල් ගමනේ දී, කෙලිසෙල්ලම් කිරීමේ දී, ටියුශන් පන්තිවලට සහභාගී වීමේ දී ආදී වසයෙන් දවස පුරා සිය දරුවන් යන-එන-සිටින-ගැවසෙන ස්ථාන දැනගැනීම වනාහි දෙමාපියන්ට තිබෙන දැවෙන අවශ්‍යතාවක්. පසුගිය සති ගනනාව තුල හටගත් ආන්දෝලනාත්මක ලමා මරන සමගත් මේ අවශ්‍යතාව සම්බන්ධ කරන්න ඔහු අමතක කලේ නෑ: “දෙමව්පියෝ මොන තරම් කලබල වෙනව ද තමන්ගෙ දරුවා පාසැල්වලට ඇරලපුවම, ඒ වගේ ම දෙමව්පියො මොන තරම් කලබල වෙනව ද ටියුශන් පන්තිවලට දරුවන් ගියාම, ඒ වගේ ම දෙමව්පියන් මොන තරම් කලබල වෙනව ද දරුවා දහම් පාසැලට ගිහිල්ලා ගෙදර එනකං….” මේ ඇමතිවරයාගේ වචන. ඔහුට අනුව දෙමාපියන් අද ඉන්නේ දරුවන්ගේ “ආරක්ශාව හා අනාගතය” ගැන “කලබලයෙන්”. මේ වාතාවරනය තුල දෙමාපියන්ට දරුවන්ගේ “ආරක්ශාව හා ඉදිරි අනාගතය” සුරක්ශිත කර දීම යහපාලන ආන්ඩුවේ වගකීම බවත් ඔහු කෙලින් ම ප්‍රකාශ කෙරුවා. මේ “සේවාව” ඉටු කිරීමට දැනට මත් උපකරන නිශ්පාදකයින් සමග සාකච්ඡා පවත්වා මිලගනන් කැඳවීම ද අරඹා ඇති බව ඔහු කියන දෙයින් පෙනී යනවා.

ආන්ඩුවත් එහි ඇමති හරීන් ප්‍රනාන්දුත් අපේ දූදරුවන් ආරක්ශා කරගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් ම පමනක් මේ වැඩපිලිවෙල දියත් කරන බව මොහොතකට පිලිගෙන බලමු. එවිට වුනත් අපට පෙනෙන්නේ හරීන් ප්‍රනාන්දු යනු මැතිවරන වේදිකා සටන්වල මුඛරි කථිකයකු ලෙස ඉස්මතු වී ජනප්‍රිය වුනත්, විරුද්ධවාදීන්ට තකට තක ඔරොත්තු දී තෙම්පරාදු වී සිටියත්, නූතන ලෝකයට ගැලපෙන දැනුමකින් හෝ සංවේදීතාවන්ගෙන් සමන්විත නොවන, “ඩිජිටල් යටිතල පහසුකම්” වැනි තීරනාත්මක වැදගත්කමකින් යුතු ක්ශේත්‍ර හැසිරවීමෙහි නොසමත්, නොදැනවත් හා දේශපාලනික ව නොමේරූ තැනැත්තෙකු බව යි. ඔහු පෙරට දමාගෙන මේ ක්ශේත්‍ර හසුරුවන ආන්ඩුව ගැනත් නිගමනය කරන්න වෙන්නේ එය ම යි. ඒත් එවැනි නිගමනයකින් නැවතිය හැක්කේ යහපාලන ආන්ඩුව තුල හුදෙක් සද්චේතනාව පමනක් තියෙන බවට උපකල්පනය කලොත් විතර යි! මම හිතන්නේ ඔවුන් ඊට වඩා සූක්ශ්ම යි. ඔවුන්ට ඊට වඩා දුරදිග යන අරමුනු තියෙනවා. ඒ කාරනයට ලිපියේ අග දී නැවත යොමු වෙමු.

ප්‍රශ්නයේ ස්වභාවය

පාසැල් දරුවන් යනු ගොවිපොල සතුන් මෙන් යන යන තැන ලුහුබැඳ තබාගත යුතු සත්ව කොට්ඨාසයක් ද? ඇමති ප්‍රනාන්දුගේ සාධාරනීකරනයට අනුව මෙය වනාහි “ඩිජිටල් – තාක්ශනික” යුගයේ පහසුකමක්! නමුත් සිහිබුද්ධිය ඇති සියලු දෙමාපියන් මේ වැඩපිලිවෙලට තරයේ විරෝධය පල කොට සිය දරුවන්ගේත් තමන්ගේත් නිදහස හා පුද්ගලිකත්වය (privacy) ආරක්ශා කරගන්න පෙරට ආ යුතු අවස්ථාවක් මේක. දේශපාලන පක්ශ, ගුරු සංගම්, විදුහල්පති සංගම් හා ශිශ්‍ය සංගම් මේ පිලිබඳ යථා තතු දැනගෙන ඉක්මනින් මැදිහත් වීමේ අවශ්‍යතාව මතු ව තිබෙනවා.

ප්‍රනාන්දු ඇමතිවරයා ඉදිරිපත් කරන ලාමක පුහු තර්ක ටික අවිවේචනාත්මක ව වාර්තා කිරීම හැර වැඩි යමක් බොහෝ සාම්ප්‍රදායික ජනමාධ්‍යවලින් බලාපොරොත්තු වෙන්න අමාරු යි. ඒත් බ්ලොග් අවකාශය ඇතුලු නව මාධ්‍ය අවකාශ තුලත් තාක්ශනය පිලිබඳ උත්සුකයක් දක්වන විවිධ වෘත්තිකයින් හා නිදහස් මෘදුකාංග ක්‍රියාධරයින් අතරත් මේ ගැන වඩා ගැඹුරු සාකච්ඡාවක් ඇති වේ ය යි මම කල්පනා කරනවා.

එවැනි සාකච්ඡාවකට මුලපිරීමක් හැටියට ඉහත මතු කල නිදහස හා පෞද්ගලිකත්වය පිලිබඳ ප්‍රශ්නයට යා වුනු අනිවාර්ය තාක්ශනික ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන්න මම කැමති යි:

1) ලමුන්ගේ සාක්කුව තුල රුවා (හෝ බෙල්ලේ එල්ලා) ඔවුන් සමග ඔබ මොබ යැවීමට අදහස් කරන මේ උපකරනය තුල ධාවනය වන මෘදුකාංග (software) මොනවා ද?

2) එම මෘදුකාංගවල මූල කේත (source code) පරීක්ශා කර බලා ඒවා නිපදවා ඇති ආකාරයත්, ඒවායේ ක්‍රියාකාරීත්වයත් ගැන සෑහීමකට පත් වීමේ අවස්ථාවක් ලමුන්ගේ දෙමාපියන්ට ලබා දෙන්නේ ද?

3) මේ උපකරනයේ දෘඪාංග පිලිබඳ විස්තර (hardware specifications) මොනවා ද?

4) මේ උපකරන මගින් ලමුන් පිලිබඳ හා උපකරනය තිබෙන ස්ථානය පිලිබඳ ලබාගන්නේ කෙබඳු තොරතුරු ද? GPS උපකරන මගින් රැස් කරන ආකාරයේ තොරතුරු – එනම් ගෝලීය ස්ථානගතවීම් පිලිබඳ තොරතුරු එමගින් ලබාගත හැකි ද? හඬ, වීඩියෝ ආදිය එයට ලබාගත හැකි ද? මේ කරුනු සැක නැති ව දැනගැනීමට නම් මීට පෙර ප්‍රශ්න තුනට උත්තර දැනගන්න වෙනවා.

5) උපකරනය ලමුන් පිලිබඳ දත්ත සම්ප්‍රේශනය සඳහා යොදාගනු ලබන මාධ්‍යය කුමක් ද? එය අන්තර්ජාලයට සම්බන්ධ වන්නේ ද, නැතහොත් ගුවන් විදුලි තරංග හෝ චන්ද්‍රිකා සබැඳුම් යොදාගන්නේ ද? එසේත් නැතහොත් එය ජංගම දුරකථන කුලුනු ඔස්සේ දුරකථන සේවා සම්පාදකයින්ගේ සහාය ලබමින් එම සංඥා පද්ධතිය මගින් දත්ත සංසරනය කරන්නේ ද?

6) මේ දත්ත සම්ප්‍රේශනය, සංසරනය හා ගබඩා කර තැබීම යන කාර්යයන් සඳහා යොදාගැනෙන ආකේතන ක්‍රම (encryption) හා ආරක්ශන විධි තිබේ ද? තිබේ නම් ඒ මොනවා ද?

7) මේ උපකරන ලමුන්ගේ සාක්කුවේ සිට දත්ත සම්ප්‍රේශනය කරන්නේ කා වෙත ද? දරුවාගේ සිට දෙමාපියන් දක්වා ගමන් කරන දත්ත ඒ අතරවාරයේ තවත් ස්ථාන කීයකට ගමන් කරනවා ද? එම දත්ත වෙත ප්‍රවේශය ඇත්තේ කාට ද? එම දත්තවල පිටපත් ලබාගත හැක්කේ කාට ද? මේ දත්ත ස්ථාන කීයක ගබඩා කර තැබේ ද? ඒවාට ප්‍රවේශය ඇත්තේ කාට ද?

8) මෙතෙක් දරුවන් යන-එන-සිටින තැන් පිලිබඳ දැන සිටියේත් දැනගැනීමට වෑයම් කලේත් පාසැලේ දී නම් ගුරුවරුනුත්, ඉන් පිටත දී දෙමාපියනුත් තමයි. මේ උපකරනය යොදාගැනෙන විට කී දෙනෙක්, ආයතන කීයක්, පාර්ශ්ව කීයක් මේ වැඩේට සම්බන්ධ වෙනවා ද? එයින් කී දෙනෙකුට එවැනි වැඩකට අතගැසීමේ සුදුසුකම් හා සදාචාරාත්මක අයිතිය තිබේ ද?

9) මේ උපකරන අවශ්‍ය විටක සක්‍රිය කිරීමේ හා අක්‍රීය කිරීමේ හැකියාව ඇත්තේ කාට ද? දරුවා දෙමාපියන් ලඟ හෝ නිවෙස තුල සිටින විට උපකරනය තොරතුරු සංසරනය කරන්නේ නැද්ද?

10) උපකරනය ව්‍යාපාරික අරමුනකින්, ලාභ ලැබීම සඳහා නිපදවන්නක්. ඒ බව ඇමතිවරයාත් පිලිගන්නවා. උපකරනය මගින් ඒකරාශී කරන ලමුන්ගේ ගමන්බිමන් පිලිබඳ දත්ත (සහ දැනට හෙලි කර නැති සියලු ආකාරයේ දත්ත) තවදුරටත් ලාභ ලැබීම සඳහා යොදා නොගන්නා බවට, තෙවැනි සිව් වැනි පාර්ශ්වයන්ට නොවිකුනන බවට තියෙන සහතිකය කුමක් ද?

11) මෙලෙස ඒකරාශී කරනු ලබන දත්ත සමුදාය රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් මානනය හා පාලනය (manipulate and control) කිරීම සඳහා අපයෝජනය කිරීමේ හැකියාව රාජ්‍ය බලය හිමි පිරිසට – ආන්ඩුවට හා දත්තවලට ප්‍රවිශ්ටය ඇති රාජ්‍ය අංශයේ විවිධ කොටස්වලට – නැද්ද?

මේ උපකරනයේ දෘඪාංග හා මෘදුකාංග පක්ශය පිලිබඳ සවිස්තර තොරතුරු හෙලි නොකර ලමුන්ගේ ආරක්ශාව පිලිබඳ උන්මාදනීය කලබලයක් ඇති කොට එමගින් නොසන්සුන් වන දෙමාපියන්ගේ අනුකූලතාව ලබාගනිමින් මේ කරන්න යන්නේ විශාල ජනකායක් පිලිබඳ දැවැන්ත පරිමාන ඔත්තු බැලීමක් මිස අනෙකක් නෙමෙයි! දැනට පේන්න තියෙන්නේ හුදෙක් කැමැත්තක් දක්වන දෙමාපියන්ට විකුනන අටියෙන් කෙරෙන “සයිඩ් බිස්නස් එකක්” හැටියට විතරක් වුනත් මෙවැන්නක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇති ව සියලු සිසුන්ට අනිවාර්ය දෙයක් හැටියට නිල වසයෙන් ම ක්‍රියාත්මක වුනොත් එහි භයානකකම තවත් වැඩි වෙනවා! සමහර විදුහල්පතිවරුන් හා දෙමාපියන්, පාසැල් සංවර්ධන සමිති, දෙමාපිය-ආදිශිශ්‍ය යනාදී සංගම් ඒ ඒ මට්ටමෙන් එකඟ වී මෙය තමතමන්ගේ පාසැල් මට්ටමින් ක්‍රියාවට නඟන්නත් ඉඩ තියෙනවා නේද? කමකට නැති යාන්ත්‍රනයක් බවට පත් වෙමින් ඇති අපේ පාසැල් පද්ධතිය තුල මෙයින් ඕනෑ ම දෙයක් සිදු වීමේ අවදානම තියෙනවා. එනිසා සියලු දෙනා වහා සිහි එලවා ගෙන කල්පනාකාරී හා දැනුවත් තීරනයක් ගත යුතු යි!

ලමුන්ගේ පෞරුශ වර්ධනය හා මනෝවිද්‍යාත්මක සාධක

ගමන් යන එන තැන්, කරන කියන දේ, ඉරියවු යනාදී සියල්ල සෑම මොහොතක ම අන්‍යයින්ගේ නිරීක්ශනයට හා සුපරීක්ශනයට ලක් වන බව දන්නා දරුවකුගේ පෞරුශ වර්ධනයට එයින් සිදු වන හානිය ඉතා තීරනාත්මක විය හැකි බව යෝජනා කරන්න මම කැමති යි. ඕර්වෙලියානු ඩිස්ටෝපියාව පිලිබඳ ලිපියේ සඳහන් කල පරිදි “සෑම මොහොතක ම තමන් දෙස කවුරුන් හෝ බලා සිටින බව – බලාධිකාරයේ සුපරීක්ශාකාරී ඇස තමන් වෙත යොමු ව ඇති බව – දන්නා ජීවිතයක් නිදහසේ විකසිත වෙන්නේ නෑ. ඒ වෙනුවට නරඹන්නාගේ පාලනයට ඍජු ව හා වක්‍ර ව අනුගත ජීවිතයක් නිර්මානය වෙනවා. හුදෙක් නැරඹීම ම පාලනයේ කොටසක්.” මෙය වැඩිදුර ගැඹුරින් සාකච්ඡාවට ගැනීම ලමා මනෝවිද්‍යාව, අධ්‍යාපන විද්‍යාව ඇතුලු විශයයන් පිලිබඳ ප්‍රවීනයින්ගේ ද දායකත්වය සහිත ව පුලුල් අන්දමින් කල යුතු දෙයක් වුනත් දැනට අප්‍රමාද ව මේ ප්‍රශ්න මතු කිරීම අප කාගේත් වගකීමක්.

ලමා අයිතීන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 16 වැනි වගන්තිය දරුවන්ගේ පෞද්ගලිකත්වය (privacy) සම්බන්ධයෙන් අදහස් දක්වනවා. සෑම ලමයකුට ම පෞද්ගලිකත්වයට අයිතියක් ඇති බවත්, තම පෞද්ගලිකත්වය, පවුල, හා සන්නිවේදන කටයුතු සම්බන්ධ ව අන් අයගේ මැදිහත් වීමෙන් තොර ව කටයුතු කිරීමේ නිදහස ඔවුන්ට හිමි විය යුතු බවත් එම වගන්තියෙන් කියැවෙනවා. පවත්නා ක්‍රමය තුල ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික බාධක නිසා සර්වසම්පූර්න නිදහසක් දරුවාට උදා කර නොදුන්නත් මේ ප්‍රඥප්තිය ලමුන් පිලිබඳ දැනුවත්, විද්‍යාත්මක ප්‍රවිශ්ටයකින් හා සංවේදීතාවකින් යුතු ව සම්පාදිත ලියවිල්ලක්. එම ප්‍රඥප්තියේ 40 වැනි වගන්තියේ vii වැනි උපවගන්තිය දරුවකු අතින් නීතිය උල්ලංඝනය වන වරදක් සිදු වූ විට පවා ඊට අදාල නෛතික ක්‍රියාවලියේ සියලු අදියරවල දී දරුවාගේ පුද්ගලිකත්වයට සම්පූර්නයෙන් ගරු කොට තහවුරු කිරීම සම්බන්ධයෙන් රාජ්‍යය සතු භූමිකාව ද පෙන්වා දෙනවා. යහපාලන ආන්ඩුව හදන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය දැනට එකඟ වී පිලිගෙන තිබෙන මෙවැනි ප්‍රඥප්තීන් ද කසල ගොඩට දමන්න යි!

ලමා විය හා පාසැල් විය

පාසැල් ජීවිතය හා ලමා විය ඊට ම ආවේනික රසමුසු, අවදානමෙන් ද තොර නැති, සුන්දර අත්දැකීමක් බවට පත් කර දීම ලොව හසුරුවන වැඩිහිටියන්ගේ වගකීම යි, යුතුකම යි. පාසැල් දරුවකුගේ ජීවිතය සෑම විටක ම දෙමාපිය ගුරුවර අනුදැනුම හා සුපරීක්ශාව යටතේ, පරිපාලිත අවකාශ තුල පමනක් ගත විය යුතු අවධියක් හැටියට හිතන කෙනෙක් මාපිය පදවි හෝ ගුරු තනතුරු ලැබීමට තරම් සෞඛ්‍ය සම්පන්න මානසික තත්වයක නෑ කියලයි මට හිතෙන්නේ.

මා ඉහත මතු කල තාක්ශනික ගැටලුවලට පිලිගත හැකි මට්ටමේ සාධාරන පිලිතුරු දී සම්පූර්නයෙන් “විනිවිද පෙනෙන” උපකරනයක් කරලියට ගෙන ආවත් මිනිස් ප්‍රානියකු යන එන සිටින තැන් දැකගැනීම සඳහා එවැන්නක් යොදාගැනීම සදාචාරාත්මක නෑ. ආචාරධාර්මික නෑ. එය හැඳින්විය හැක්කේ මිනිස්කමින් තොර කටයුත්තක් හැටියට යි. දෙමාපියන් වීම හා ගුරුවරයකු වීම යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? එය කිසි සේත් මෙයාකාර ලුහුබැඳීම (tracking) පිලිබඳ කටයුත්තක් නෙමෙයි. කුඩා කල පටන් තමුන්ගේ සමස්ත පාසැල් ජීවිතයත්, සියලු ඔබ මොබ ගමන්බිමනුත් මෙවැනි ලුහුබැඳීමේ උපකරනයක් මඟින් (කොම්පැනියක් හා ආන්ඩුව එකතු වී) වාර්තාගත කරනු ලැබූ දරුවකු හැදී වැඩී පරිනත වී ලෝකයට ලබා දෙනු ඇත්තේ කෙබඳු දායකත්වයක් ද? ඔහු හෝ ඇය කෙබඳු වැඩිහිටියකු වේවි ද? මට නම් ඒ ගැන හිතන විටත් ඇති වෙන්නේ විසාල කම්පනයක්, තැතිගැන්මක්. මෙය කියවන ඔබට එවැන්නක් දැනේ ද නැද්ද මොහොතක් හිතා බලන්න.

ලෝකය හා සමාජය ගැන ප්‍රමානවත් දැනුමක්, අවබෝධයක් දරුවාට ලබා දෙමින් දරුවාත් තමනුත් අතර තිබිය හැකි හිස් තැන් මානව සම්බන්ධතා පිලිබඳ ක්ශේත්‍රය තුල විසඳාගමින්, ජීවිතයට මඟ පෙන්වීමේ බැරෑරුම් කාර්යභාරය දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් පැවරෙනවා. සමාජයේ ජීවත් වෙන්න, ගමන් බිමන් යන්න, ප්‍රසිද්ධ ස්ථානවල දී ආරක්ශා වෙන්න දරුවන්ට මඟ පෙන්විය යුතු යි. “එලියේ සමාජය” ආරක්ශාකාරී නැත්නම්, එන්න එන්න ම “පාරේ බැහැලා යන්න බැරි තත්වයක්” උදා වෙමින් තිබේ නම් එහි වගකීම ගෙන ලෝකය වෙනස් කිරීමට බැහීම වැඩිහිටි භූමිකාවේ තවත් වැදගත් අංශයක්. ඒ සමාජීය අර්බුදවලට විසඳුම අහිංසක දරුවන්ගේ සාක්කුවට ඔත්තු බැලීමේ උපකරන දැමීම නෙමෙයි!

දරුවන් ඇති, දරුවන් දැක ඇති හා දරුවකු ව සිට ඇති ඕනෑ ම කෙනෙක් දන්නා කරුනු ටිකක් මේ: දරුවන්ට පුද්ගලිකත්වය අවශ්‍ය යි. රාජ්‍යය හා කොම්පැනි තමුන් යන එන තැන් ගැන ඔත්තු බලන්න දඟලන බව දරුවෝ දන්නෙ නෑ වෙන්න පුලුවන්. ඒත් දෙමාපියන් හා ගුරුවරුන් ඒ ගැන හොයන්න තැත් කරන බවත් ඇතැම් අවස්ථාවල දෙමාපියන්ට පවා උල්ලංඝනය කිරීම නුසුදුසු පෞද්ගලික ජීවිතයක් තමන්ටත් තියෙන බවත් ලමුන් දන්නවා. ලමයි ඒ පෞද්ගලිකත්වය ඉල්ලා හිටිනවා. ඒ පෞද්ගලිකත්වය රැකගන්න ලමුන් දරන මහන්සිය නොදන්නේ කවුද? මෙකී පෞද්ගලිකත්වය, මෙකී නිදහස දරුවාගේ පරිපූර්න මනුශ්‍යත්වය සම්බන්ධයෙන් ගත් විට අනුල්ලංඝනීය වටිනාකමකින් යුතු අංශයක්. දරුවන් පිලිබඳ ඔත්තු බලන උපකරන නිපදවා එම ඔත්තු බැලීමේ යාන්ත්‍රනයට දෙමාපියනුත් හවුල් කරගැනීම මගින් මාපිය දූදරු සබඳතාවේ සෞඛ්‍ය සම්පන්න බවට සිදු වන්නේ විශාල හානියක්.

“ලමුන්ගේ ආරක්ශාව” පිලිබඳ ආන්දෝලනය හා යථාර්ථය අතර පරතරය

හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පවසන ආකාරයට නම් දැන් සියලු දෙමාපියන් ඉන්නේ සිය දරුවා මේ දැන් කාම අපචාරයකට ලක් වේ ද, ඝාතනයට ලක් වේ ද, පැහැර ගැනේ ද යන බියෙන්. එය පසුගිය වකවානුවේ සිදු වූ ඛේදජනක අපරාධ පිලිබඳ නිදසුන් මගින් සනාථ කරන්නත් ඔහු උත්සුක වෙනවා. ඒත් මේක අර්ධ සත්‍යයන් යොදාගෙන නිර්මානය කරන කලබගෑනියක්. වෙනත් වචනවලින් කිව්වොත් මේ කතාව ඇතැම් සැබෑ කරුනු හා බාගෙට ඇත්ත කරුනු යොදාගෙන තමන්ට අවශ්‍ය ආකාරයේ හැඟීමක් අසන්නන් තුල ජනිත කරන අරමුනින් සීරුමාරු කොට සිදු කරන අදහස් දැක්වීමක්. මේ දේශපාලකයිනුත්, පොලිසියත්, උද්වේගී ජනමාධ්‍යකරනයේ (yellow journalism) නිතර මාධ්‍යවේදීනුත් දරුවන්ගේ ආරක්ශාව පිලිබඳ “කලබලය” හා භීතිය පුබුදුවා අවුලුවාගන්න අවශ්‍ය සියලු දේ කරමින් ඉන්නවා. ඇත්ත, ලමුන් අපයෝජනයට ලක් වූ බවට වැඩි වැඩියෙන් වාර්තා වෙනවා. දෙමාපියන් තුල මේ අවදානම පිලිබඳ හැඟීම් හා කාංසාවන් එන්න එන්න ම ඉහල යනවා. හිටපු ලමා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක පසුගිය මැයි මාසයේ සඳහන් කලේ ශ්‍රී ලංකාව තුල දිනකට ලමුන්ට එරෙහි අපරාධ විසි දෙකක් වාර්තා වන බව යි. මෙය සැබෑ ගැටලුවක්! පන මෙන් දරුවන් සුරකින, දරුවන්ට ආදරය කරන දෙමාපියන්ට සිය දරුවාගේ ආරක්ශාව යනු ලොව වැදගත් ම ප්‍රශ්නය තමයි.

ඒත් දැන් ප්‍රමුඛත්වයට පැමින ඇති උද්වේගකර පුවත් වාර්තා මගින් නිරූපනය වෙන්නේ ලමුන් සම්බන්ධ සමස්ත චිත්‍රයෙන් ඉතා කුඩා කොටසක් පමන යි. 2015 වන විට පාසැල්වල පමනක් සිටින දරුවන් සංඛ්‍යාව 4,004,091ක්. මෙයින් සුවිශාල බහුතරයක් පුවත්පත්වල අාන්දෝලනාත්මක වාර්තාකරනයට ලක් නොවන අන්දමේ “සාමාන්‍ය” අත්දැකීම් ලබමින්, පන්ති යමින්, ක්‍රීඩා කරමින් දෛනික ජීවිත ගත කරනවා. “උදේ හයයි තිහට නිවසින් පිටත් වූ දරුවෙක් උදෑසන හතට පාසැල් ගේට්ටුවෙන් ඇතුලට!”, “පාසැල ඇරුනු පසු දරුවෝ ලක්ශ ගනනක් ටියුශන් පන්තිවල!”, “පාසැල් වේලාවේ දරුවෝ ඉගෙන ගනිති!” ඔය වගේ සිරස්තල පත්තරවල යන්නෙ නෑ නේ? රූපවාහිනියේ යන්නෙත් නෑ. ඒත් මේ මොහොතේත් එවැනි දරුවන් ලක්ශ ගනනක් පාසැල් යමින්, පාසැලේ ඉගෙනගනිමින්, විද්‍යාගාරවල වැඩ කරමින්, පුස්තකාලයේ කියවමින්, ගුරුවරුන්ගෙන් දඬුවම් ලබමින්, රචනා ලියමින්, චිත්‍ර අඳිමින්, ගී ගයමින්, පන්ති යමින් හෝ කෙලිසෙල්ලමින් කාලය ගත කරනවා. සමහරු විනෝදයෙන්, සමහරු සෝකයෙන්. මේ හැම මොහොතක ම අනාගත ලෝකය උපත ලබනවා. හැම මොහොතක ම දරුවෙක් අලුතින් යමක් ඉගෙන ගන්නවා. නොවැටී ඇවිදින හැටි, මිතුරන්ට, අමුත්තන්ට, ගුරුවරුන්ට කතාබහ කරන හැටි, ජීවිතයේ ලොකු කුඩා ගැටලුවලට මුහුන දෙන හැටි, පොදු අවකාශවල ප්‍රවේසමෙන් ගමන් කරන හැටි, බස් රථවල යන එන හැටි… වැටී තුවාල වෙන හැටි, තනි ව ම දුක සතුට විඳින හැටි, සාමූහික ව මිත්‍ර සමාගම් රසවිඳින හැටි….. මේක සුවිසල් ලෝකයක්.

සංඛ්‍යාලේඛනවලින් සනාථ වී ඇති වැදගත් කරුනක් මෙහි දී මතු කිරීම උචිත යි. ලමා අපයෝජන, ලිංගික අතවර ඇතුලු අඩන්තේට්ටම්වලින් වැඩි ප්‍රමානයක් දැනටත් සිදු වන්නේ ඒවාට ලක් වන දරුවන්ගේ ම පවුල තුලින්, ඥාතීන් අතරින්, ගෘහ සේවකයින්, ආසන්න වටාපිටාවෙන් ම හෝ ගුරුවරුන් අතරින් මතු වන පුද්ගලයින් අතින් බව. මේවායෙන් සියල්ල තව ම හරි හැටි වාර්තා වී එලිමහනට එනවා ද යන්න පවා සැක සහිත යි. මහ මඟ යන අත, හැරෙන හැරෙන හන්දියේ, බෝක්කුවේ රැක සිටින “විකෘත මානසිකත්වයෙන්” යුතු “පාපතරයන්” විසින් සිදු කරනු ලබන “තිරිසන් ක්‍රියා” හැටියට අතිසරලීකරනය කොට මේවා වාර්තා කරන්නේ ජනමාධ්‍ය යි. ඒත් මේ සම්බන්ධ යථාර්ථය ඊට වඩා බොහෝ පැති ගනනකින් යුක්ත යි, සංකීර්න යි. උපකරන එල්ලා සතුන් මෙන් දරුවන් ලුහු බැඳීමෙන් එවන් විපත් වලකා ගත හැකි ද? මෙහි දී නැවතත් අර කී දෙමාපිය ගුරුවර භූමිකාවන්ට වැදගත් කාර්ය කොටසක් පැවරෙනවා. ලෝකය සමග ගනුදෙනු කල යුතු බුද්ධිමත් හා ප්‍රඥාසම්පන්න ආකාර මොනවා ද? ලිංගික අතවරවලින් ආරක්ශා විය හැක්කේ කෙසේ ද? ලිංගික හෝ කායික අවදානමකට ලක් ව සිටින අවස්ථාවක තනි ව දරුවකුට ගත හැකි පියවර මොනවා ද? ජාතික ලමාරක්ශක අධිකාරිය ලමුන්ට ම ඇමතිය හැකි හදිසි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා: “දුවේ පුතේ ඔබේ හොඳම මිතුරා 1929…” යනාදී වසයෙන් සඳහන් පත්‍රිකාවක් ඔවුන් බෙදාහරිනවා. දරුවන් අමතමින් ලියන ලද සරල හා ප්‍රායෝගික උපදෙස් එහි අන්තර්ගත යි. මෙවැනි මඟපෙන්වීමේ ලේඛන හා වීඩියෝ ආදිය ඉතා නිර්මානාත්මක ව ජීවිතයේ සියලු අංශ අලලා සම්පාදනය කිරීම දැවෙන අවශ්‍යතාවක්. පාසැල්, රෝහල් හා සෑම පොදු අවකාශයක් තුල ම පහසුවෙන් ලබාගත හැකි පරිදි මේ උපදෙස් සංසරනය වීම වැදගත්. පාසැලේ විශය නිර්දේශ තුලට මේවා ඉතා නිර්මානාත්මක ව ඇතුලත් කල හැකි යි. මට හිතෙන අන්දමට නම් හරීන් ප්‍රනාන්දුගේ ඔත්තු බැලීමට වඩා මේවා දහස් ගුනයකින් අර්ථවත් හා සාධාරන විසඳුම්! ඒත් එක ද ඇමතියෙක් වත් පුවත්පත් සාකච්ඡා පවත්වා මෙවැනි දේ ගැන දැනුවත් කරනු මා දැක නෑ. ලමා අපචාර ගැන, කාමාතුරයින් ගැන උද්වේගකරනයේ යෙදෙන ජනමාධ්‍ය මෙවැනි දෑ ගැන ප්‍රසිද්ධියක් ලබා නොදෙන්නේ මන්ද?

ඉතා සටකපට ආකාරයෙන් පුරවැසියන් පිලිබඳ ඔත්තු බැලීමේ යාන්ත්‍රනය නව තලයකට නැංවීමට කැසකවමින් – තලු මරමින් ඉන්නා පාලන තන්ත්‍රයක් මේක. මේ අතින් ඔවුන් පෙර පැවති රාජපක්ශ පාලනය ඉක්මවා යන්න වැඩි කලක් ගත වන බවක් පේන්න නැහැ. ඔවුන්ගේ ලෝක දේශපාලනික සගයින් හා ගුරුන් බවට පත් ව ඉන්නේත් මෙවැනි ඔත්තු බැලීම්වලට නම් දරා ඇති පාලන තන්ත්‍ර. ආන්ඩුවටත් ඔවුන්ගේ ව්‍යාපාරික සගයින්ටත් අපේ දූදරුවන්ගේ යන එන තැන් ලුහුබැඳීමේ වගකීම භාරදීම වනාහි නරියාට කුකුල් කූඩුව බාර දුන්නාක් වැනි අනිටු ප්‍රතිඵල දනවන වැඩක්.

දූදරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් එපා! දෙමාපියනි, ගුරුවරුනි, පුරවැසියනි, මේ පිලිබඳ හැකි තාක් දැනුවත් වීමත් දරුවන්ගේ පුද්ගලිකත්වය හා නිදහස උල්ලංඝනය කිරීමට එක හෙලා විරුද්ධ වීමත් ඔබේ වගකීම යි!

වැඩිදුර නැරඹීම හා කියැවීම සඳහා

අදාල පාරිභාශික පද

මෙවැනි උපකරනවලට උචිත නියම නම සිංහලෙන් කීමට අප පුරුදු විය යුතු යි:

  • tracking device = ට්‍රැකිං ඩිවයිස් = ලුහුබැඳීමේ උපකරනය
  • surveillance device = ස’වේලන්ස් ඩිවයිස් = ඔත්තු බැලීමේ උපකරනය / ප්‍රවීක්ශන උපකරනය

ඔබේ දරුවාගේ සාක්කුවට මෙවැන්නක් දමන තත්වයකට ඔබ වැටුනොත් මේ නම් සිහිපත් කරගැනීම වටිනවා.

පොලිස් පාට් සමග ‘ජනතා අධිකරනය’

| Comments

මේ පාට් විශේශයේ නම පොලිස් පාට් වුනාට, පොලිස් පාට් දමන්නේ පොලිසිය විතරක් නෙමෙයි. නිසි කල එලඹි විට හා නිසි බලය ඇති විට දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ, ජනමාධ්‍යවේදියෝ පවා පොලිස් පාට් දමන්න ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට ලංකා මාතාව තොමෝ ම පොලිස් පාට් දමන්න පටන් ගන්නවා. එතකොට ගරුසරු නැති සමහර දේශ ද්‍රෝහියෝ “පොලිස් රාජ්ජයක්, පොලිස් රාජ්ජයක්” කියලා කෑගහනවා. පහුගිය දිනවල ලමා අපචාර හා ඝාතන සම්බන්ධයෙන් පොලිස් පාට් දමන්න හුදී “මහජනතාවත්” ඉදිරිපත් වෙමින් සිටින බවක් පෙනී ගියා. ඊට නියම තල්ලුව ජනමාධ්‍යවේදීන් විසින් සපයනු ලැබුවේ පොලිසියේ උතුමන්ගේ ද සහයෝගය ඇතුව යි. හැම රටවැසියාට ම පොලිස් පාට් දැමීමේ හැකියාව ලබා දී ඔවුන් බලගැන්නීම ගැන මේ සියලු දෙනාට අපේ කෘතඥතාව හිමි විය යුතු යි. සමානාත්මතාව කියන්නේ මේකට නෙමෙයි ද?

මෙයින් එක් දරුවකුගේ ඝාතනය පිලිබඳ පරීක්ශනය පැවැත්වෙන අතර “මිනී මරුවා අපට බාර දෙන” මෙන් “ජනතාව” ගර්ජනා කරන අන්දම රූපවාහිනී පුවත් විකාශයක් තුලින් දැකගන්න ලැබුනා. “අපිත් ලමයි ඉන්න අම්මලා. අපි දන්නවා ඔය මිනී මරුවෝ අපට බාර දුන්නොත් කරන දේ. අපි ජනාධිපතිතුමාට කියන්නේ ඕකුන් අපට බාර දෙන්ඩ කියලයි” එක්තරා මාතාවක් තිර කොට කියා සිටියා. මනෝ භ්‍රාන්තියෙන් පෙලෙන මට රූප පෙට්ටිය පෙනුනේ මිනී කන කිඹුලන්ගෙන් පිරිනු ටැංකියක් වගෙයි. (නමුත් හොඳ සිහියෙන් ඉන්නා අයට එසේ නොපෙනෙන බව මම පිලිගන්නවා.)

මේ පොලිස් පාට් විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියට පොලිසියේ ප්‍රවීනයින් ලබා දෙන දායකත්වය ඉතා වැදගත්. පලමු ව, ඝාතනයට ලක් වූ දැරියකගේ පියා පිලිබඳ සැකයක් පවතින බව දන්වා මඳ කලක් කතාව තම්බා පදම් කොට අනතුරු ව බාල වයස්කාර මිනීමරුවෙකුත්, ඔහුගේ පරිගනකයේ තිබුනු පුද්ගලික ගොනු පිලිබඳ තොරතුරුත් ජනමාධ්‍යවේදීන් හරහා ජනතාවට ලබා දෙන්න තරම් ඔවුන් ත්‍යාගශීලී යි, නිර්මානශීලී යි. දැරියගේ පියා සැකයට ලක් වීමට හේතුව සුපැහැදිලි යි: මේ ඛේදවාචක සම්බන්ධයෙන් පොලිස් පාට් දැමීමට ඉදිරිපත් වූ ජනතාවගේ මට්ටමට සරිලන පරිදි ශෝක වෙන්නත්, කෝප වෙන්නත්, මිනීමරුවා ඉල්ලා හඬතලන්නත් ඔහුට බැරි වුනු නිසා ඔහු ගැන සැකයක් උපදිනවා. නිවැරදිකාරයෙක් නම් ඒ හුස්මට ම දුවගෙන ගිහින් අඩු තරමේ මිනියක් දෙකක් වත් මැරිය යුතු යි නේද? අනිත් අතට, පරිගනකයක් තුල “නොමනා දේ” තිබීම ගැන කවර කතා ද? නොමනා දේ ඇති ව හෝ නැති ව පරිගනකයක් දෙස ඇහැක් ඇර නොබලන සිල්වත් දේශයක පරිගනකයක් භාවිත කරන දරුවකු සිටීම ම මහත් සැක උපදවන සුලු කරුනක් නෙමෙයි ද? මට නම් හිතෙන්නේ පරිගනක මාරයා ගැන කොටස් වසයෙන් පල වන අධ්‍යාපනික ලිපි පෙලක් සැකසීම අපේ මාධ්‍ය විශාරදයින් නොපමා ව ඇරඹිය යුතු යි.

මේ සියල්ල මධ්‍යයේ වැඩිහිටි මිනීමරුවෙක් ප්‍රාදුර්භූත වී පාපෝච්චාරනයක් ද කරන අතර කලින් මිනීමරු ලමයා (හිටපු/විශ්‍රාම ලත් ඝාතකයා?) හප කරමින් සිටි යුක්තිමත් කිඹුල් රෑන වහවහා අලුත් ගොදුර කරා ලඟා වෙනවා. පුවත්පත් සිරස්තල ද ඊට සරිලන තානය සපයනවා: “පාපතරයාට දෙන දඬුවම ඇප ද? ජීවිතාන්තය දක්වා සිර දඬුවම ද? මරන දඬුවම ද?” මුල් පිටුවේ මහ සිරස්තලය යුක්තිමත්භාවයෙන් සරසන එක් පුවත්පතක් එහෙම අහනවා. තව ම ඝාතකයා කවුදැයි අනාවරනය වී නැති බවත්, සැකකරුවන් ජාන පරීක්ශනයකට ලක් කෙරෙමින් පවතින බවත් තවත් දින කීපයකින් අනාවරනය වෙනවා. සැකකාර – පරිගනකකාර පාසැල් ලමයායි පාපෝච්චාරක වැඩිහිටියායි දෙන්නා ම උසාවි යන එන පින්තූර, සමීප රූප සහිත ව පල කරන්න පොලිසියේ අනුග්‍රහය ලැබෙනවා. අංග සම්පූර්න චිත්‍රයක් කියන්නේ මෙවැනි නිරූපනයකට තමයි.

මීට දින කීපයකට පෙර තිබුනු ප්‍රශ්නය මරන දඬුවම යලි ක්‍රියාත්මක කල යුතු ද නැද්ද යන්න පමන යි. දැන් මිනීමරුවන් “ජනතාවට” බාර දිය යුතු ද නැද්ද යන්න ගැන වුනත් සාකච්ඡාවක් ඇති කරන්න මේ ජනමාධ්‍යවලට බැරි නෑ නේද? සමහර විට “ජනතාව ඉන්නා ටැංකියකට දැමීම” අලුත් මරනීය දන්ඩන ක්‍රමයක් හැටියට හඳුන්වා දීම ගැන සලකා බැලීම වටිනවා. පරන වී භාවිතයෙන් හැලී යමින් ඇති “ජනතා අධිකරනය” නමැති පදයට නව ජීවයක් දෙන්නත් මෙවැනි ක්‍රමවේද උපකාරී වන බව, ඔන්න දැන් මට කල්පනා වෙනවා.

ප.ලි: කෙලිසෙල්ලමේ යද්දී, තනියම ගෙදර ඉද්දී නො ව අත්අඩංගුවේ සිටිය දී මරා දැමුනු බවට සැක කෙරෙන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දෙමල දරුවා පිලිබඳ කටක් අරින්න බැරි වුන එකේ ඇරියස් පිරිමැහෙන්නත් එක්ක අපේ පත්තර ටික, සියල්ල ලැබුන සැනින එසැනින් ගෙන එන – පැත්ත ගියත් ඇත්ත කියන රූපවාහිනී නාලිකා ටික, මේ ලමුන් වෙනුවෙන්, මිනීමරු පාපතරයින්ට එරෙහි ව, මරන දඬුවම ඉල්ලා නඟන හඬ දැක්කාම කාගේ වුනත් හිතේ මේ මාධ්‍යවේදීන් ගැන අපමන ගෞරවයක් ඇති වෙනවා. මම හිතන්නේ ජනමාධ්‍ය ඔස්සේ මේ වැදගත් සාකච්ඡාවට දායක වන “ජනතාවගේ” මතකයේ වුනත් එහෙම ලමයෙක් යන්තමට, මැකී නොමැකී ඉන්නවා. මෙකී නොකී බොහෝ කරුනු කාරනා නිසා, මේ සාකච්ඡාව අතරවාරයේ දුවගෙන ගිහින් මිනීමරුවන්ට මරන දඬුවම දෙන්න කාට හරි අදහසක් පහල වුනත් ඒකත් පුදුමයක් නෙමෙයි.

UPDATE: සැප්තැම්බර් 30, 2.40ට:

ප.ලි 2: පාපෝච්චාරන සම්බන්ධයෙන් කතා කරනකොට බොහෝ ම අදාල අගනා කවියක් මේ දැන් බ්ලොග් අවකාශයෙන් හමු වුනා: කියවන්න කුරුටු ගෑ ගී පොතේ ගහන්න එපා සර්, මම තමයි සර් කොන්ඩයා!

ඕර්වෙලියානු ඩිස්ටෝපියාවක් තුල මෘදුකාංග නිදහස, සංස්කෘතිය සහ දේශපාලනය

| Comments

මෘදුකාංග නිදහස් දිනය අද යි! සෑම වසරක ම සැප්තැම්බර් මස තුන්වැනි සෙනසුරාදා ලොව පුරා නිදහස් මෘදුකාංග ලෝලියෝ සහ ක්‍රියාධරයෝ විවිධාකාරයේ වැඩමුලු, සම්මන්ත්‍රන, ප්‍රිය සාද හා ස්ථාපන උලෙල යනාදිය පවත්වමින් මෘදුකාංග නිදහස සමරනවා; ඒ පිලිබඳ දැනුවත්භාවය පුලුල් කරන්න විශේශ වැඩකටයුතු සංවිධානය කරනවා. දැන් මෙය හුදෙක් පරිගනක ගීකයින්ට, තොරතුරු තාක්ශන වෘත්තිකයින්ට හෝ හැකර් සංස්කෘතියට අදාල සීමිත සහභාගීත්වයක් ඇති ක්‍රියාවක් නෙමෙයි. ක්‍රමයෙන් ප්‍රධාන ධාරාවට ඇතුලත් වෙමින් පවතින – ඇතුලත් විය යුතු – සැමරුමක්.

2013 ජූනි මස මුල සතියේ පටන් විවිධ ජනමාධ්‍ය ඔස්සේ පල වෙමින් පවතින එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙලිදරව් කිරීම්වලින් පසු මෘදුකාංග නිදහසේ අදාලත්වය අන් කවර දාකටත් වඩා සුපැහැදිලි ලෙස පෙනෙන්න පටන්ගෙන තිබෙනවා. දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාධරයන්ට, ජනමාධ්‍යවේදීන්ට, බ්ලොග්කරුවන්ට, පර්යේශකයින්ට, ලේඛකයින්ට, කලාකරුවන්ට, දරුවන්ට, ගුරුවරුන්ට, සිසුසිසුවියන්ට, පුස්තකාලවලට, සෞඛ්‍ය ක්ශේත්‍රයට, ප්‍රවාහනයට යනාදී වසයෙන් විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට හා ජන ජීවිතයේ සෑම පැතිකඩකට ම මෘදුකාංග නිදහස දැවෙන අවශ්‍යතාවක් බව එමගින් තහවුරු වුනා. ස්නෝඩන්ගේ එලිදරවුකිරීම්වලට ප්‍රධාන වසයෙන් ඇතුලත් වුනේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නැශනල් සිකියුරිටි ඒජන්සිය (NSA) සහ එහි සගයින් හැටියට ක්‍රියාත්මක වන සෙසු බලවත් රටවල සමාන ආයතන පවත්වාගෙන යමින් සිටින අතිදැවැන්ත වූ ද ක්‍රමානුකූල හා සංවිධිත වූ ද ඔත්තු බැලීමේ යාන්ත්‍රනයක් පිලිබඳ තොරතුරු.

ඒවා නිපදවා ඇත්තේ කෙසේ ද, ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න සුපරීක්ශා කිරීමේ අයිතිය හෝ ඉඩකඩ පරිශීලකයින්ට ලබා නොදෙන බලපත්‍රධාරී මෘදුකාංග (proprietary software) සහ ඒවා නිපදවන සමාගම් අපේ ඇස්වලට වැලිගසමින්, අප නොමග යවමින් මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිලිබඳ ඔත්තු බලන්න ඉහත විසකුරු සංවිධානවලට උදව් වී තිබෙන බව දැන් රහසක් නෙමෙයි. මයික්‍රොසොෆ්ට් සහ ඇපල් බඳු සමාගම් කවදත් සිය පාරිභෝගිකයින් පිලිබඳ ඔත්තු බැලුවා. ඔවුන් සිය මෙහෙයුම් පද්ධති නිපදවා ඇත්තේ ම ස්ථාපනය කර ඇති පරිගනක තුලට – ඒවා භාවිත කරන පුද්ගලයින්ගේ දැනුවත් බවින් තොර ව – ඇතුලු වෙන්නත්, එම පරිගනක තුල සිදු වන දෑ පිරික්සන්නත්, අනේක විධ තොරතුරු ආපසු සිය සමාගම වෙත ලබාගන්නත් අවශ්‍ය යාන්ත්‍රනය සහිත ව යි. මේ යාන්ත්‍රනයේ ඇතැම් පැති දැන් ප්‍රසිද්ධ වුනත්, එම මෙහෙයුම් පද්ධති සහ ඒවා මත ධාවනය වන විවිධ වූ නිදහස් නොවන මෘදුකාංග ක්‍රියාත්මක වන ආකාරය සපුරා දැනගත නොහැකි බැවින් ඔවුන් අප ගැන ඔත්තු බලන ආකාරය පිලිබඳ සම්පූර්න චිත්‍රයක් තව ම අප සතු බව කියන්න අමාරු යි. ස්නෝඩන් පෙන්වා දුන් ආකාරයට සිය මෘදුකාංග තුලත් මෙහෙයුම් පද්ධති තුලත් තිබෙන රහස් දොරටු භාවිතයෙන් පරිශීලකයින් පිලිබඳ ඔත්තු බැලීමේ අවස්ථාව NSA සහ ඔවුන්ගේ අනෙකුත් “සහෝදර” ඔත්තු බැලීමේ සංවිධානවලට ලබා දෙන්න මේ සමාගම් වැඩ කර තිබෙනවා.

මේ ඔත්තු බැලීම සරල සුලුපටු කාරියක් නෙමෙයි. මෙලෙස එක්රැස් කරගන්නා තොරතුරු මගින් පුද්ගලයකු පිලිබඳ ඉතා ගැඹුරට දිවෙන පැතිකඩ චිත්‍රයක් නිර්මානය කරගන්න පුලුවන්. මෙයින් කෙනෙකු පිලිබඳ ලැබෙන අවබෝධය බොහෝ විට තමන් ගැන එම පුද්ගලයාට ම තිබෙන අවබෝධයට වඩා පුලුල්! මෙය ම රටවල් තුල වෙසෙන ජාතීන් හා විවිධ ජනකන්ඩායම් සම්බන්ධයෙන් ද පැවසිය හැකි යි. එවැනි ඔත්තු බැලීමකින් සමස්ත ජනකායකගේ ම අනාගතය (හොඳට හෝ නරකට) වෙනස් කල හැකි අන්දමේ බලපෑමක්, ප්‍රකලනයක් (manipulation) පවා සිදු කල හැකි යි! පර්යේශනාගාරයක මීයන් දෙස බලන්නාක් මෙන් මුලුමහත් ජනකායක් දෙස බලමින් සමාජීය ක්‍රියාවලීන් දිශාගත කිරීමට මැදිහත් විය හැකි යි. සහෝදර මනුශ්‍ය වර්ගයා එවැනි මට්ටමකට හෙලීම ගැන කිසිදු කනගාටුවක් පිලිකුලක් නැති මේ බලවතුන් හා ඔවුන්ගේ ඒජන්සි දේශපාලනික, ආර්ථික හා මිලිටරිමය වාසි උපරිමයෙන් නෙලාගැනීමේ ඉඩ සලසන මෙවැනි ක්‍රමවේද ඉතසිතින් වැලඳගන්නවා. මෙලෙස ඔත්තු බැලීම මගින් කල් තබා දැනගන්නා තොරතුරු විවිධ රාජ තාන්ත්‍රික හා ව්‍යාපාරික ගනුදෙනුවලදී වාසි අත්පත් කරගන්න යොදාගනු ලැබ තිබෙන අවස්ථා ගනනාවක් ම පසුගිය කාලයේ වාර්තා වුනා. කොටින් ම ජනපති බැරැක් ඔබාමා, එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මුන් සමග සිරියානු රසායනික අවි, පලස්තීන-ඊශ්‍රායල සාම සාකච්ඡා සහ දේශගුන විපර්යාසය ආශ්‍රිත ගැටලු පිලිබඳ සාකච්ඡාවකට එලඹි එක් අවස්ථාවක මහලේකම්වරයා කතා කිරීමට අපේක්ශා කල කරුනු කල් තබා දැන සිටි බව පැවසෙන්නේ මෙවන් ඔත්තු බැලීමක ප්‍රතිඵලයක් හැටියට යි! මහ බලවතුන් අවස්ථාවාදී සන්ධානවලට එලඹ ලොව සියල්ලන් ගැන, විශේශයෙන් තම සතුරු ජාතීන් සේ සලකන රටවල් පිලිබඳ, ඊනියා ත්‍රස්තවාදීන් පිලිබඳ, එක්සත් ජාතීන්ගේ සංවිධානය අැතුලු තමන්ගේ ම ලෝක සංවිධාන පිලිබඳ හවුලේ ඔත්තු බැලූ අතර එකිනෙකාට එරෙහි ව ද ඔත්තු බැලීමේ යෙදුනා. මේ ඔත්තුකාර ජංජාලය මැද ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ සෙලියුලර් දුරකථනය ද “ටැප් කොට” තිබුනු බව වාර්තා වුනා!

වලාකුලු පරිගනනය හෙවත් Cloud Computing යන නොමඟ යවනසුලු ආකර්ශනීය නාමය යටතේ පැමිනෙන “සේවාවක් හැටියට සැපයෙන මෘදුකාංග” මෙන් ම කේන්ද්‍රගත සමාගම් මගින් පාලනය වන Facebook වැනි නිදහස් නොවන මධ්‍යගත සමාජ ජාල, GMail වැනි නොමිලේ සැපයෙන ඊමේල් සේවා හා ප්‍රකාශන මෙවලම් යනාදිය විසින් නිර්මානය කර ඇති අලුත් සිරමැඳිරි විශාල සංඛ්‍යාවක් ද මේ චිත්‍රයට අයිති යි. මේ සියල්ල, අවසාන විග්‍රහයේ දී “අනුන්ට අයිති” පරිගනක! ඒවා තුල ධාවනය වෙන්නේ අපේ පාලනයට නතු නැති මෘදුකාංග. ඉතින් දේශපාලනය කරන්න, උද්ඝෝශනය කරන්න, ආන්ඩු පෙරලන්න, ජනසන්නිවේදනයේ යෙදෙන්න, පර්යේශන කරන්න, ප්‍රේම කරන්න, ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්න මිලියන සංඛ්‍යාත ජනයා අනුන්ගේ පරිගනක තුලට පිවිසෙනවා. ඒ පරිගනකවල අයිතිකරුවන්ටත්, ඒවායේ භාවිත මෘදුකාංගවල රචකයින්ටත් මනා ව දැකබලා, පිරික්සා, වාර්තා තබාගත හැකි ආකාරයට මේ සියලු වැඩවල යෙදෙන මහා සමාජයක් අද තියෙනවා. මේක හරියට ජෝර්ජ් ඕවෙල්ගේ Ninteen Eighty-Four නමැති නවකතාවේ දැක්වෙන ඩිස්ටෝපියානු රාජ්‍යය වගේ. සෑම මොහොතක ම තමන් දෙස කවුරුන් හෝ බලා සිටින බව – බලාධිකාරයේ සුපරීක්ශාකාරී ඇස තමන් වෙත යොමු ව ඇති බව – දන්නා ජීවිතයක් නිදහසේ විකසිත වෙන්නේ නෑ. ඒ වෙනුවට නරඹන්නාගේ පාලනයට ඍජු ව හා වක්‍ර ව අනුගත ජීවිතයක් නිර්මානය වෙනවා. හුදෙක් නැරඹීම ම පාලනයේ කොටසක්.

ඉතින් බොහෝ දෙනා මේ සියුම් නිරීක්ශනයට, සුපරීක්ශනයට පාත්‍ර වන මහා සිර මැඳිරි වන් අවකාශ තුලට කැමැත්තෙන් ඇතුලු වී – දැනට – සතුටින් කාලය ගත කරනවා. ස්නෝඩන් පෙන්වා දුන්නේ මේ අවකාශවලින් සියල්ල නො වේ නම් අතිබහුතරයක් දැන් එක්සත් ජනපදයේ NSA ප්‍රමුඛ ඔත්තුකාර ජනහතුරු සංවිධානවල ඍජු හා වක්‍ර ඇඟිලිගැසීම්වලට ලක් වන බව යි.

ස්නෝඩන් හෙලිදරව් කොට තිබෙන ආකාරයට, දැන් සිදු වන්නේ අපරාධකරුවන් ලෙස හඳුනාගත් ඉලක්කගත පුද්ගලයින් හෝ සංවිධාන සම්බන්ධයෙන් පමනක් නො ව මුලුමහත් ජනකායන් පිලිබඳ පුලුල් ඔත්තු බැලීමක්. සමස්තයක් හැටියට ඇමෙරිකාව තුල හා ඉන් පිටත දුරකථන ඇමතුම් පිලිබඳ දත්ත, අන්තර්ජාල ට්‍රැෆික් තොරතුරු, ඊමේල්, සමාජ ජාල, වෙබ් ඇප්ස්, සේවාවක් ලෙස සැපයෙන මෘදුකාංග භාවිතය යනාදී විවිධ වූ තොරතුරු බුරුතු පිටින් එක්රැස් කොට ගබඩා කර තැබීම සඳහා අතිමහත් ධනස්කන්ධයක් වැය කෙරෙනවා. ස්නෝඩන්ට පෙරත් නිදහස් මෘදුකාංග ව්‍යාපාරයේ ක්‍රියාධරයන් ද ඇතුලු ව බොහෝ දෙනා මෙවැන්නක් සිදු වෙමින් පවතින බව අඩුවැඩි වසයෙන් අනතුරු අඟවා තිබුනත්, ඒ පිලිබඳ යම් යම් තොරතුරු ප්‍රසිද්ධියට පත් වී තිබුනත්, ඉතා නිශ්චිත හා සවිස්තරාත්මක සාක්ශි සහිත ව මේ ක්‍රියාවලිය ඇත්තක් බව සනාථ කරන්න ස්නෝඩන්ගේ වික්‍රමාන්විත දායකත්වය නිසා ඉඩකඩ ලැබුනා. මෙය ලෝක ව්‍යාප්ත ගැටලුවක්; එමගින් නිසැක ව ම තවත් ව්‍යසන ගනනාවකට පාර කැපෙනවා.

සිව් වැදෑරුම් නිදහස

මෘදුකාංග පිලිබඳ නිදහස පැති හතරකින් යුක්ත යි:

  • කිසියම් මෘදුකාංගයක් ඕනෑ ම කාර්යයක් සඳහා භාවිත කිරීමට තිබෙන සීමා රහිත නිදහස.
  • එම මෘදුකාංගය ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීමටත් එය වෙනස් කිරීමටත් තිබෙන නිදහස.
  • එම මෘදුකාංගය පිටපත් කොට නැවත බෙදාහැරීමේ නිදහස
  • එම මෘදුකාංගයේ වෙනස් කරනු ලැබූ පිටපත් බෙදාහැරීමේ නිදහස

නිදහස් මෘදුකාංගයක් නිකුත් වෙන්නේ ම ස්ථාපනය කිරීමේ ක්‍රමයක් (ස්ථාපකයක් – ඉන්ස්ටෝලරයක් හා බයිනරියක්) පමනක් සහිත ව නෙමෙයි. නිදහස් මෘදුකාංගයක් වීමට නම් එහි මූල කේතය හෙවත් සෝස් කෝඩ් එක (source code) ද ඒ සමග ප්‍රසිද්ධියට පත් කල යුතු නිසා එය පරීක්ශා කර බලා මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය පිරිසිඳ දැනගැනීමේ ඉඩකඩ සැමට විවෘත වෙනවා. එය මොනයම් ම හෝ හානිකර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන්නේ නම් එය වැලකෙන පරිදි මෘදුකාංගය යලි සැකසීමේත් සැකසූ අනුවාදය නැවත බෙදා හැරීමේත් නිදහස තිබෙන නිසා ප්‍රශ්නයට විසදුමක් සම්පාදන කරන්න පුලුවන්. මෘදුකාංග නිදහසේ මෙකී ස්වරූප දෙස බලන විට පෙනී යන්නේ ඉහත විස්තර කෙරුනු ආකාරයේ මානව විරෝධී ඔත්තුබැලීම් හා ප්‍රකලන (manipulation) හඳුනාගෙන, මුහුන දිය හැකි අන්දමේ පිරිසැලසුමක් (design) සහිත ව නිපදවිය හැක්කේ නිදහස් මෘදුකාංග ම පමනක් බව යි. නිදහස් නොවන බලපත්‍රධාරී මෘදුකාංගවල ව්‍යාපාර මාදිලිය ම සැදී තියෙන්නේ විවිධ කඩුලු දමා මෙකී සිව් වැදෑරුම් නිදහස සීමා කිරීම මත යි.

මා භාවිත කරන පරිගනකයත් එතුල ධාවනය වන මෙහෙයුම් පද්ධතිය ඇතුලු මෘදුකාංගත් මට නොව වෙනත් පාර්ශ්වයකට සේවය කරන්නේ නම් එතැන මෘදුකාංග නිදහස ඇතැයි කියන්න බැහැ. අප ලියන්නේ, කියන්නේ, කතා කරන්නේ කුමක් ද යන්න පිලිබඳ සම්පූර්න පාලනය අප සතු ව තිබීමට නම්, අප ලිවීමට, කතා කිරීමට හා සන්නිවේදනයට යොදාගන්නා මෘදුකාංග මත අපේ ම පාලනයක් පැවතිය යුතු යි. මෘදුකාංග නිදහසේ හරය වන්නේ මේ පාලනය, මේ නිදහස පරිශිලකයාට ලැබීම යි. එවිට නිදහසේ අන් බොහෝ ස්වරූප හා ප්‍රභේදවලට දොරටු විවර වෙනවා.

ස්නෝඩන්ගේ එලිකිරීම් අතර කැපී පෙනුනු PRISM, XKeyscore, Tempora වැනි මහාපරිමාන ඔත්තුබැලීමේ වැඩසටහන්වලට මුහුන දිය හැකි හොඳ ම විකල්ප නිදහස් මෘදුකාංග ලෝකයෙන් බිහි වූ ඒවා යි.

පසුගිය අවුරුදු දහයක පමන කාලයක් තිස්සේ ක්‍රමානුකූල ව නිදහස් මෘදුකාංග භාවිතයට පුරුදු වුනු මට එහි ප්‍රතිඵලයක් වසයෙන් තවත් අවශ්‍යතාවක් ඇති වුනා; ඒ මෘදුකාංග නිදහසේ වැදගත්කම මා සමග වැඩ කරන සගයන්ට හා මිතුරු මිතුරියන්ට ඒත්තු යන අන්දමින් පෙන්වා දීම සහ නිදහස් මෘදුකාංග භාවිතයේ දී ඔවුන්ට උදව් වීම. අප අවට සිටින උදවිය මෘදුකාංග නිදහස භුක්ති විඳින්නේ නැත්නම් අප පුද්ගලික ව අත්විඳින නිදහසේ ද සීමා මායිම් හටගන්නවා. ඒත් මේ කාරනය ලේසි පහසු එකක් නෙමෙයි; බාධක බොහොම යි. ඇතැම් අවස්ථාවල බලපත්‍රධාරී මෘදුකාංගවල ඇබ්බැහි වන සුලු ආකර්ශනයක් තියෙනවා විය හැකි යි. සමහර වෙලාවට ඒවා නිදහස් මෘදුකාංගවලට වඩා පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුලුවන්; “හොඳට වැඩ කරනවා”, “කෑලි හැලෙන්නෙ නෑ”. “මුල පටන්” ඉගෙනගන්න ලැබුන නිසා විවිධ අතුරු මුහුනත්වලට පුරුදු වී සිටීමත් තව බාධකයක්. මේ ලිපියේ ඉහත සැකෙවින් විස්තර කෙරුනු ආකාරයේ දේශපාලන හා සමාජීය ප්‍රශ්න ඒත්තු ගැන්වීම තවත් දුශ්කරතාවක්. “වරදක් කර නැති මට හංගන්න රහසක් නෑ” වැනි කතා කියන අයට දිය හැකි ඒත්තු යන පිලිතුරු මොනවා ද? එවැනි කරුනු පැහැදිලි කිරීමේ දී එකී “විශාල චිත්‍රය” අපේ හිතවතුන්ට, තනි තනි පුද්ගලයින්ට සැබෑ අදාලත්වයක් තිබෙන යථාර්ථයක් ලෙස පැහැදිලි කල හැක්කේ කෙසේ ද? සිංහලෙන් කියවන හිතන මේ පිරිසට මේ කාරනා පිලිබඳ නිරාකූල ලෙස පැහැදිලි කරන ලිපි ලේඛන, පොත්පත් සපයා දිය හැකි ද? දිනගනන් හිසරුජා හදා නොගෙන පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි විසඳුම් හා උපදෙස් සැපයිය හැකි ද? පරිගනක තාක්ශනය පිලිබඳ විශේශ හුරුවක් නැති, විවිධ ක්ශේත්‍රවලින් පැමිනෙන සාමාන්‍ය මිනිසුන් සමග මෘදුකාංග නිදහස, පුද්ගලිකත්වය, ආරක්ශාව හා එමගින් විවෘත වන සංස්කෘතික සමාජීය හා දේශපාලන අවකාශ ගැන කතා කරන්නේ කොහොම ද? මේ ලිපිය පවා ලියැවෙන්නේ සීමිත පිරිසකට වැටහෙන පාරිභාශික ශබ්ද යොදාගෙන! මේ කරුනු කාරනා ගැන කල්පනා කල මම මෘදුකාංග නිදහස සහ ඒ හා බැඳී පවතින සංස්කෘතික, සමාජීය හා දේශපාලනික ගැටලු හැකි තාක් සරල ව විස්තර කරන සටහන් පෙලක් ලියන්න තීරනය කලා. ඒවා අද පටන් දින 31ක් තිස්සේ නිදහස් 31 නමැති බ්ලොග් අඩෙවියේ පල කරන්න යි අදහස.

ඔබ සැමට සුබ මෘදුකාංග නිදහස් දිනයක්!

වැඩිදුර කියැවීම සඳහා

ශ්‍රී ලංකාවේ ‘ජාතික ආන්ඩුව’ විසඳනු ඇත්තේ කුමන රටේ කුමන අර්බුදයක් ද?

| Comments

“ජාතික ආන්ඩුවක්” පිහිටුවනු ලැබූ බවත් මින් ඉදිරියට පවතිනු ඇත්තේ “සම්මුතියේ” පාලනයක් බවත් පසුගිය දිනවල මහ ඉහලින් නිවේදනය කෙරුනා. ජනපතිවරනයේ දීත් මහමැතිවරනයේ දීත් “පවුල් පාලනය” පරාජය කිරීම ඒකායන අරමුන කරගෙන වැඩට බට වමේත් දකුනේත් පිරිස් තව මත් – යම් යම් පසුබට වීම් තිබුනත්- මේ “ජාතික” කටයුත්තට හිස නමමින් හුරේ දමමින් ඉන්නවා. “ජාතික ආන්ඩුව” ජාතිය තරම් ම ලොකු වීම ස්වභාවයක් නිසා දෝ දිනපතා ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති ආදී පත්වීම් ද දීගෙන දීගෙන යනවා. මේ ඇමති පත්වීම් ගැන හදිසියේ කම්පනයට පත් වෙන ඇතැමෙක් යන්තම් කෙඳිරියක් නැඟුවත් එයින් මේ ආන්ඩුව “යන ගමනට” හානියක් කරන්න ඔවුන්ගේ කැමැත්තක් නෑ. කලකිරීම උත්සන්න ම මට්ටමට නැඟුන විටක වුනත් ‘ආන්ඩුව පත් කරපු ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කරගැනීම’ වැනි අපබ්‍රංස වැඩ සඳහා බර්ටෝල්ට් බ්‍රෙශ්ට්ගේ ප්‍රතිරූපය ඔසවා වනවනා හිඳීමෙන් ඔබ්බට යන කැරැල්ලක් මේ වීරයින්ගෙන් පැන නඟින පාටක් නෑ.

ඒ අතර ජාතික ආන්ඩු ගැන ලියන ඇතැමෙක් පාන්ඩිත්‍යයෙන් අනූන ව එවැනි ආන්ඩු අටවනු ලැබූ අවස්ථා ඉතිහාසයෙන් ගෙන හැර පාමින් “විවිධ අර්බුද අවස්ථාවල” ජාතික ආන්ඩු පිහිටුවන්න ලොව විවිධ පාලකයින් පෙරට ආ බව කීවත් දැන් අප මුහුන පා සිටින්නේ කෙබඳු අර්බුදයක් දැයි කියන කෙනෙක් පේන්න නෑ. මේ “ජාතික ආන්ඩුව” මගින් විසඳාගැනීමට අදහස් කරන අර්බුදය කුමක් ද? “අපට” ජාතික ආන්ඩුවක් අවශ්‍ය ඇයි? එකමුතු වී වැඩ කිරීම “හොඳ ලමයින්ගේ” ගුනයක් නිසා වත් ද?

ශ්‍රී ලංකාව අනන්‍ය – අපරතන්ත්‍ර ආකාස කුසුමක් ලෙස (නොහොත් මාලු ටැංකියක් ලෙස)

ජාතික ආන්ඩුව ගැන ලියන ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යකරුවනුත්, දේශපාලන විශ්ලේශකයිනුත් ගන්නේ පසුගිය ජනාධිපතිවරනයේ දී ගත්තාට සමාන ප්‍රවිශ්ටයක්. මේ ශ්‍රී ලංකාද්වීපය අනන්‍ය – අපරතන්ත්‍ර ඒකකයක් බවත්, ලෝක ගෝලයේ සිදු වන දේශපාලන හා සමාජ-ආර්ථික චලනයන්ට අසම්බන්ධිත ක්‍රියාවලියක් ඒ තුල සිදු වන බවත් මොවුන් විශ්වාස කරන බව පේනවා. අඩු තරමින් පාඨක අපට ඒත්තු ගන්වන්න හදන්නේ එහෙම යි. ජනාධිපතිවරනයෙන් පසු හටගත් පාලනතන්ත්‍ර මාරුව අතිසරල ලෙස “රාජපක්ශ පවුල් පාලනය” බිඳ වැටීමක් හැටියට, “ජනතා ජයග්‍රහනයක්” හැටියට “ප්‍රජාතන්ත්‍රවාදයේ ජයක්” හැටියට ගෙන හැර පෑමෙන් ඔවුන් තෘප්තියට පත් වෙනවා. කලාකරුවන්, “ක්‍රියාධරයින්”, “බුද්ධිමතුන්” ඇතුලු විවිධ රැඩිකල් කොටස් මේ චිත්‍රය නිර්මානය කරන්න දායක වෙනවා. ඔවුන්ට අනුව දැන් කල යුත්තේ මේ ජනතා ජය “ආපසු හරවන්න” ඉඩ නො දී “රැක ගැනීම” යි. ජනාධිපතිවරනය දක්වා කටක් නොහොල්ලා සිටීම “වෙනසක් අපේක්ශා කරන” සැමගේ වගකීම බව මොවුන් තිර කොට කියා සිටියා. වෙනත් විවේචනයක යෙදීම රාජපක්ශ සමාගමට වාසි ගෙන දෙනු ඇති; එහෙයින් ඡන්ද කඩා “පොදු” විපක්ශය දුර්වල කොට රාජපක්ශගේ බලය තහවුරු කිරීම නමැති අපරාධය නොකට යුතු යුතු බව “පොදු අපේක්ශකයාගේ” දේශපාලනය විවේචනය කරන අයට ලැබුනු අවවාදය යි. ජනවාරි 8 ට පෙර සහ පසු දෙකේ දී ම හැසිරිය යුත්තේ කෙසේ ද යන්න ගැන දැඩි, ඇතැම් විට ප්‍රචන්ඩ පවා වූ “අවවාද” දෙන්න ඉදිරිපත් වුනු මේ පිරිස් දැන් කියන්නේ මැතිවරනයට පසු “පුරවැසි වගකීම” ගැන යි. පෙනෙන විදිහට නම් දිගින් දිගට ම හොඳ කීකරු ලමාලපටි පිරිසක් අවශ්‍ය පාලන තන්ත්‍රයක් මේක.

මේ ගැන විකල්ප පැහැදිලි කිරීමක් නැද්ද?

ජනවාරියේ දී සිදු වූ ආන්ඩු මාරුව පසුපස පැවැති කලාපීය බල තුලනය පිලිබඳ ගතිකයන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ භූමිකාව අනාවරනය කරමින් මැදිහත් වෙන්න සමත් වුනේ ලෝක සමාජවාදී වෙබ් අඩෙවිය සහ සමාජවාදී සමානතා පක්ශය පමන යි. ඔවුන් මෙරට භාවිත වන ප්‍රධාන භාශා තුනෙන් ම නිරවුල් ව කරුනු පැහැදිලි කලා විතරක් නෙමෙයි මේ මැතිවරන දෙකට ම තරගත් කලා. නමුත් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සහ “යහ පාලන චින්තකයින්”, දිගහැරෙමින් පැවතුනු පෙරලිය පිලිබඳ WSWS විශ්ලේශනය හිතාමතා ම යට ගැසූ බව මිස අනෙකක් මට නම් සිතාගත නොහැකි යි.

ආසියාකරය තුල යුද තර්ජනය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ භූමිකාව

සමාජවාදී සමානතා පක්ශය සිය විශ්ලේශනය ආසියාකරයේ වැඩෙමින් පවතින යුද අන්තරාය පිලිබඳ හා ලෝක ආර්ථික අර්බුදය පිලිබඳ සන්දර්භයේ තැබුවා. චීනය වටා ඉන්දු-ආසියා-ශාන්තිකර කලාපය තුල යුද්ධයක් නොපවතින සමයක පැවත ඇති ඉහල ම වාර්තාගත මිලිටරි පෙලගැසීම සහිත ව ඇමෙරිකා එක්සත් ජනපදය අවි අමෝරාගෙන ඉන්නේ විනෝදය පිනිස නෙමෙයි. මේ මිලිටරිවාදය 2008 මෙපිට නොකඩවා පුපුරා ඇද වැටෙමින් පවතින ලෝක ආර්ථික පද්ධතියේ තත්වය පිලිබඳ ප්‍රකාශනයක්. සිය අර්බුදයෙන් ගොඩ ඒමේ මඟ හැටියට ඇමෙරිකා එක්සත් ජනපද පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් දකින්නේ මිලිටරිමය ආකාරයකින් චීනය දනගස්සා සමස්ත කලාපය ම සිය ඍජු අධිකාරයට නතු කරගත යුතු බව යි. චීනය තුල ප්‍රසාරිත ආර්ථිකයෙහි වැඩි “අයිතිය” ඇමෙරිකානු සමාගම් සතු වුවත්, එයින් නතර විය හැකි තත්වයක එක්සත් ජනපදය අද නැහැ. කඩා වැටෙන ආර්ථිකය විසින් ලොව පුරා පාලක පන්තීන් තුල ජනනය කර තිබෙන හිස ගිනිගත් කඩිකුලප්පුව (desperation) පිලිබඳ දර්ශකයක් ඒක. චීනය මිලිටරිමය ආකාරයෙන් වටලෑමට හා ඊට සමාන්තර ව එරට රාජතාන්ත්‍රික ව හුදෙකලා කොට කලාපීය බල තුලනය රූපාන්තරනය කිරීම එක ම ක්‍රියාවලියේ පැතිකඩ දෙකක්.

රාජපක්ශ පාලන තන්ත්‍රය චීනය සමග පවත්වාගෙන ගිය සමීප සම්බන්ධය බිඳීමට හැකි හැම වෑයමක් ම දරමින් සිටි එක්සත් ජනපදය හදිසි ජනපතිවරනයක් නිවේදනය කිරීමෙන් උදා වූ අවස්ථාව සිය වාසියට ඩැහැගත්තා. ක්ලින්ටන් පදනම සහ ඇමෙරිකානු පාලක ප්‍රභූ කව සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, එක්සත් ජාතික පක්ශ නායක රනිල් වික්‍රමසිංහ සමග මේ තන්ත්‍ර මාරු වැඩපිලිවෙල සම්බන්ධ “කපුකම” සිදු කල ප්‍රධාන කාරිකාවක්. ඔවුන් එතෙක් රාජ්‍ය නායකත්වයට විවෘත ව හිමිකම් කියා නොපෑ, රාජපක්ශ තන්ත්‍රය තුල සිටි දෙවන පෙල නායකයකු සුදු පිලි අන්දවා රහසින් පේ කොට දොරට වැඩැම්මූ ආකාරය අතිශය නාටකීය යි; ක්‍රමන්ත්‍රනකාරී යි. රාජපක්ශගේ අපේක්ශකත්වය නිවේදනය කරන අවසන් මොහොත දක්වා සිය සූදානම රහසිගත ව පවත්වාගෙන ගිය මේ කල්ලිය, කිසිදු දුරදිග යන දේශපාලන විශ්ලේශනයකින්, පැහැදිලි කිරීමකින් තොර ව එක රැයින් “පවුල් පාලනයට” එරෙහි පොදු අපේක්ශකයා කරලියට ගෙන ආවා. මේ කරුනු කියා පෑම රාජපක්ශ තන්ත්‍රයේ සුදුහුනු ගෑමක් නෙමෙයි; රාජපක්ශ පාලනයට එරෙහි ව වැඩී අවුත් තිබුනු පුලුල් මහජන විරෝධය නැතැයි කීමකුත් නෙමෙයි. පාලන තන්ත්‍ර මාරුව පිලිබඳ දේශපාලන වාතාවරනය සම්පූර්නයෙන් දැකගන්න මේ සියලු සාධක නැතුව බැහැ. ඒත් මෙරට සංස්ථාපිත මාධ්‍ය කටයුතු කලේ සම්පූර්නයෙන් ම මෙකී සාධක ගැන වගේ වගක් නැතුව යි.

ආසියාකරයේ සහ ලෝකපරිමාන ව පැන නැඟී ඇති යුද අවදානම විහිලුවක් බවත් ධනවාදය පෙරලා දැමීමේ අටියෙන් කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිතයින් සඳහා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම මනස්ගාතයක් බවත් කියමින් යහපාලන චින්තකයින් යෝජනා කලේ එවැනි “ලොකු වැඩ” ජනවාරි 8 න් පසු, සහ නැවතත් අගෝස්තු 17 න් පසු ගොඩගන්නා තුරු වල දමන ලෙස යි! ඔවුන්ට අනුව කල යුතු, ඊට වඩා හදිසි, “ප්‍රායෝගික” වැඩ බොහෝමයක් තිබුනා. දැන් ඔවුන් අනුදැන වදාරන්නේ අලුත් පාලනය තුල “පුරවැසි” භූමිකා ගැන යි. හොඳ පුරවැසියන් වන සැටි යි.

“පොදු අපේක්ශකයාගේ” දේශපාලන වාර්තාව

රාජපක්ශ ආන්ඩුවෙන් එලියට බැස සිය අපේක්ශකත්වය නිවේදනය කරන මොහොත දක්වා මෛත්‍රීපාල සිරිසේන වැඩ කලේ ජනාධිපති රාජපක්ශගේ අග්‍ර ශ්‍රාවකයෙක් හා අන්තේවාසිකයෙක් හැටියට යි. කොටින් ම එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් දිනවල විදේශගත වූ රාජපක්ශ වෙනුවට මිලිටරියේ ඉහල ම අනදෙන නිලධාරියා හැටියට රැඳවීමට පවා විශ්වාසය තබනු ලැබුවේ ඔහු මත යි. සෞඛ්‍ය ක්ශේත්‍රයේ වැඩවර්ජන බිඳීමට හමුදාව යෙදවීමෙන් කුප්‍රකට වූ මොහු රාජපක්ශ පාලන තන්ත්‍රය ආරම්භයේ සිට අන්තිම මොහොත දක්වා ම කල සියලු අපරාධවල හවුල්කරුවෙක්. මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලනය එම තන්ත්‍රයෙන් හා එහි පිලිවෙත්වලින් වෙන් කල හැක්කේ ඉතිහාසය යනු ජනාධිපතිවරනය කැඳවීමෙන් පසු ආරම්භ වූවක් හැටියට සලකන්නෙකුට පමන යි. ඒත් යහපාලන මාධ්‍ය-කලාකාර-විද්වත් පරපුර එක හඬින් අපට නිර්දේශ කලේ මොහු “පොදු අපේක්ශකයා” බවත් “යහ පාලනය” පිලිබඳ සුදෝ සුදු යහ ප්‍රාර්ථනා ඔහු තුලින් මූර්තිමත් වන බවත් පමන යි. විධායක ජනාධිපති ක්‍රමය අවසන් කොට යහ පාලනය තහවුරු කරන තුරු දේශපාලන සාකච්ඡා, විකල්පයන් ඉල්ලා හඬනැඟීම් නවත්වා දමන මෙන් මේ විද්වත්තු අපට නිර්දේශ කලා. එම යහපාලන පෙරහරේ ප්‍රධාන කසකරුවකු වුනු ගාමිනී වියන්ගොඩ ගිනි ගෙන දැවෙනා නිවෙස පිලිබඳ දෘශ්ටාන්ත කතාව/කවිය සමග අඹරා (තවත් වරක්, බර්ටෝල්ට් බ්‍රෙශ්ට් සමග කලතා) මහජනතාවට ඉදිරිපත් කල මේ ගුලිය පොදුවේ යහපාලන “චින්තකයින්ගේ” දෘශ්ටිය සම්පින්ඩනය කරන්නක්. විධායක ජනාධිපති ක්‍රමය “අවසන්” කල ආකාරය ගැනත්, “ගිනි නිවමින්” ගත කල දින සීයේ “යහපාලනය” ගැනත් දැන් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ, කවුරුත් දන්නවා.

තොත්ත බබුන්, විසකුරු සපුන් සමග අවංක පන්ඩිතයෝ

මෙතන දී කෙනෙක් අතුරු ප්‍රශ්නයක් අහන්න පුලුවන්, එතකොට මාධ්‍යවල ඉන්නේ තොත්ත බබ්බු ද? මේ දේශපාලන විශ්ලේශකයෝ, ක්‍රියාධරයෝ ඒ කරුනුකාරනා ගැන පාරප්‍රාප්ත විද්වත් උදවිය නෙමෙයි ද? මම හිතන්නෙ එයින් සමහරු තොත්ත බබ්බු තමයි. සමහරු දැනුවත් ව ඉතා සූක්ශ්ම ආකාරයෙන් මහජනතාවගෙන් මේ කරුනු වසන් කරන්න වැඩ කලා; තවදුරටත් වැඩ කරගෙන යනවා. ඉතා දැනුවත්, කෛරාටික ප්‍රතිගාමීත්වයක් පෙන්නුම් කරන කොට්ඨාසයක් ඒ. මීට අමතර ව ඇමෙරිකා එක්සත් ජනපද මැදිහත් වීම සාධනීය, ප්‍රජාතන්ත්‍රවාදී හා “යහපාලන” වර්ධනයකට හිතකර සාධකයක් හැටියට සලකන මාධ්‍යවේදීන් හා විශ්ලේශකයින් ද නැතැයි කියන්න බැහැ. එහෙම අය ඉන්නවා. ඉතින් සමස්ත චිත්‍රය නිර්මානය කරන්න මේ සියලු දෙනා අඩු වැඩි වසයෙන් දායක වුනා. ඒත් සිදු වූ දෙයත්, දැනට දිගහැරෙමින් පවතින දේශපාලන භූදර්ශනයත් තක්සේරු කරගත යුත්තේ එයට සහභාගී වන හා එය පැහැදිලි කිරීමෙහි යෙදෙන පාර්ශ්වයන්ගේ අවංකකම, පක්ශපාතීකම පාදක කරගෙන නෙමෙයි, එකී වර්ධනයන්ට අදාල වෛශයික නියාමයන්, ප්‍රවනතා හා සන්තතීන් පරීක්ශා කිරීමෙනුයි. ඒ ඒ සහභාගීන්ගේ අවංකත්වය හෝ අරමුනුවලින් ස්වාධීන ව ලෝක ආර්ථිකය එයට ආවේනික නියාමයන්ට අනුකූල ව චලනය වෙනවා. එම තත්වය තුල ඉහත වර්ග තුනේ ම උදවියට එක පසුපස එක එනු ඇත්තේ විස්මයෙන්, අන්දුන්කුන්දුන් වීමෙන්, තක්කුමුක්කු වීමෙන් පමනක් මුහුන දීගත හැකි සිදුවීම් පමන යි. ඊනියා සම්මුති කැබිනට්ටුව සමග ඒකාබද්ධ වෙමින් සිටින පැරනි හා අලුත් පාලක පක්ශ දෙකේ ඇමතිවරුන් වනාහි එහි ඉතා සුලු ආරම්භක සලකුනක් විතර යි. මීලඟට විදේශ සේවයේ තීරනාත්මක පත් කිරීම් හා වෙනස් කිරීම්, රාජ්‍ය අංශයේ “ප්‍රතිසංවිධාන”, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ශේත්‍රවල දුරදිග යන වෙනස්කම් සහ කප්පාදු එක පසුපස එක පැමිනෙන විට මොවුන්ට සිදු වෙන්නේ එක්කෝ කිසිදු පූර්වාපේක්ශාවක් හෝ ඉදිරි දැක්මක් නැතුව දේශපාලනික ව ගල් වී හිරි වැටෙන්න; එහෙමත් නැත්නම් නැවතත් අලුත් කුලප්පුවකින් යුතු ව අලුත් අදූරදර්ශී උප්පරවැට්ටියක් වාත්තු කරගන්න.

“ජාතික ආන්ඩුව” සමග ඉදිරිය කෙබඳුද?

මහින්ද රාජපක්ශ පාලනය අවසන් කොට ඔහු සාමකාමී ව ගෙදර බලා යන බවට සහතික කිරීමට “දුර සිට” මැදිහත් වූ එක්සත් ජනපද පාලනාධිකාරය, ඉන් පසු රාජ්‍ය ලේකම්වරයා එවිමෙනුත් ඉදිරියේ දී ජනපති බැරැක් ඔබාමාගේ ම සංචාරයකිනුත් සංඥා කර තිබෙන්නේ සිදු වුනු හා සිදු වෙමින් පවතින වෙනස්කම් කෙතරම් අර්ථභාරී ද යන්න යි. විදෙස් පිලිවෙතේ පැහැදිලි ලෙස පෙනුනු ප්‍රතිසංවිධානය මගින් මේ ආන්ඩුව තමන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවච ආධාරකරුවන් බවට සියලු කොඩි උස්සා තහවුරු කර අවසාන යි. මේ ගනුදෙනු මාලාවේ ම ඊලඟ අදියර හැටියට එතෙක් මෙරට යුද්ධයේ අවසාන අදියරේ සිදු වූ යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ශනයක් කල යුතු බවට තමන් එතෙක් කරමින් සිටි කැඳවුම අත්හැර දැමුනු බව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් කොලඹ දී ම නිවේදනය කර සිටියා. මේ ඊනියා ජාත්‍යන්තර පරීක්ශනය පිලිබඳ රැවිලිගෙරවිලි එක්සත් ජනපදයට අවශ්‍ය වුනේ චීනයට එරෙහි කොල්ලකාරී මෙහෙයුමේ දී ශ්‍රී ලංකාව හිටගන්නේ මොන පැත්තේ ද යන්න තහවුරු කරගන්නා තුරු පමන යි!

ඒත් එතැන් පටන් යන ගමන ගැටුමින් ප්‍රතිවිරෝධයෙන් තොර ව යන්නක් නෙමෙයි. පාර්ලිමේන්තු මැතිවරනයට රාජපක්ශ කන්ඩායම නැවත තරග වැදීමෙන් ම පෙන්නුම් කරන්නේ එය යි. ඒත් අවසන් මොහොත දක්වා රාජපක්ශ අගමැති බවට පත් වෙමින් ලබන ජයක් හොඳින් හෝ නරකින් වලකන බවට එලිපිට ම ප්‍රකාශ කරමින් සටන් කරන තැනකට ජනාධිපතිවරයාත් අලුත් ආන්ඩු පක්ශයත් ගියේ ඇයි? කල් යල් බලා එලියට අදිනු ලැබූ මිනීමැරුම් නඩු, දූශන වංචා විමර්ශන ඇතුලු ජනමාධ්‍ය අබිමුව රඟදැක්වුනු ව්‍යාජ රංගයන් හැටියට පමනක් කෙලවර වුනා. ඒත් මැතිවරන ජය තහවුරු කරගත හැකි තාක් දුරට ඒ රංගනයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න “යහපාලන” ආන්ඩුව සමත් වුනා.

ප්‍රධාන ධනපති පක්ශ දෙක ඒකාබද්ධ කරමින් අටවනු ලැබූ ආන්ඩුව තේරුම් ගැනීමට එම ක්‍රියාවලිය සමග දිගහැරෙමින් පවතින අනෙකුත් ක්‍රියාවලීන් ද උදව් වෙනවා. දින සීයේ වැඩපිලිවෙලින් අඩ වසයෙන් සංඥා කෙරුනු, දැන් පැහැදිලි ලෙස කරලියට ගනිමින් තිබෙන පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා පිටිය පිරිසිදු කරගත යුතු තත්වයක ආන්ඩුව ඉන්නවා. ඒ පිරිසිදු කිරීමේ දී චීනය සමග පෙල ගැසී සිටි, එයින් ලාභ පොදි තර කර ගත් පාර්ශ්ව දේශපාලන පිටියේ තීරනාත්මක තැන් සියල්ලෙන් අතුගා දැමීම සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රයේ වෑයම බව පේනවා. එහෙම නොකර ඔවුන්ට එක්සත් ජනපද ආන්ඩුවේ කලාපීය සගයන් හැටියට පෙනී ඉන්න හැකියාවක් නැහැ. නමුත් වත්මන් ආන්ඩුව රාජපක්ශ තන්ත්‍රයෙන් පීඩාවට පත් ව සිටි පුලුල් ජනකායන්ගේ (ගොවීන්ගේ , කම්කරුවන්ගේ, ශිශ්‍යයින්ෙග් සහ වෙනත් පීඩිත කොටස්වල) අවශ්‍යතා නියෝජනය කරන විකල්පයක් ද? මේ සියලු සාධක සලකා බලන කෙනෙකුට ගත හැකි අනිවාර්ය නිගමනය එය එසේ නොවන බව යි. දැනට මත් පුවත්පත් මර්දනය පිලිබඳ ප්‍රතිගාමී නීති පනගන්වාගැනීමට කිසිදු හිරිකිතයක්, පසුබට වීමක් තමන්ට නොමැති බවට ආන්ඩුව සංඥා කර අවසන්. දින සීයේ කාලය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි, එහෙත් ප්‍රතික්ශේප වුනු අරමුදල් සම්පාදනය කරගන්න නම් දැවැන්ත කප්පාදු වැඩපිලිවෙලකට යා යුතු යි. මෙය, කලිනුත් කී පරිදි රාජ්‍ය සේවය, සෞඛ්‍ය, අධ්‍යාපන හා ෙවනත් සුභ සාධන අංශවල කෙරෙන මහා පරිමාන කප්පාදුවක්. ඒ අතර සංවර්ධනය නමින් පෙර ආන්ඩුව චීනයට තුරුලු වී ක්‍රියාවට දැමූ වැඩ ම දැන් ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට හේත්තු වී ඉදිරියට ගෙනියන්න අලුත් “යහපාලන” ආන්ඩුව සැරසෙනවා. මහා නගර සංවර්ධනය, ස්ම්ාර්ට් සිටි, මෙගා සිටි, මෙගාපොලිස් යනාදී රූපයන්ගෙන් පැරනි තනුව ම වෙනත් “විදග්ධ” මුහුනුවරකින් දොරට වඩම්මනවා. සමාජයේ පහල ස්තරවල, දාරවල, පරිධියේ වෙසෙන ජනයාට උන්හිටි තැන් අහිමි කොට පලවා හරිමින් කරගෙන ආ “සංවර්ධනය” යලි පනගැන්වෙන අන්දම දැනටමත් දැකගත හැකි යි. ඊනියා ජාතික ආන්ඩුවේ “සම්මුතිවාදය” මේ වැඩපිලිවෙලට අනුමති මුද්‍රාව තබා ක්‍රියාවට දැමීම පිනිස මිස වෙන දෙයකට නෙමෙයි; පැහැදිලි ව ම අපි ඉන්නේ අඳුරු කාලපරිච්ඡේදයක මුව විට.

දැන් ඇමති මන්ඩලයට පත් කෙරුනු පැරනි ආන්ඩුවේ මදාවි ඇමතියන් ඉවත් කරන මෙන් කෙඳිරිලි නැඟීම වැනි ඉතා දියාරු වැඩවලට මේ යහපාලන චින්තකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් පල්ලම් බහිමින් ඉන්නවා. තවත් ඇතැමෙක් තමතමන් උත්සුකයක් දක්වන අමාත්‍යාංශවල ඇමතිවරුන් බලපෑම් දමා මාරු කරගන්න පුලුවන් වේ ය යන මනස්ගාතයෙන් යුතු ව සංවිධානය වෙනවා. මේ වැඩවල පදනමේ පවතින්නේ “මහත්වරුන්”(සහ “නෝනාවරුන්!), “ශිලාචාර දේශපාලකයින්” පාර්ලිමේන්තුවට/කැබිනට්ටුවට යවා, ඇතැයි කියන ඊනියා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඔසවා ශක්තිමත් කිරීමෙන් සෙතක් උදා වේය යන මිථ්‍යාව යි. ඇත්ත, පාර්ලිමේන්තුවට යන ඒ “මහත්වරුන්ට” සෙතක් උදා වෙන බව ඇත්ත! නමුත් පාලන තන්ත්‍රයට සම්බන්ධ නැති පොදු මහජනතාව කලාපීය වසයෙනුත් දේශීය වසයෙනුත් කබලෙන් ලිපට වැටීමක් මේ “ජාතික ආන්ඩුවෙන්” සලකුනු කෙරෙනවා.

හූ ශිහ්

| Comments

“චීන ලේඛන ව්‍යවහාරය නවීකරනය කිරීමේ ගෞරවය හිමිවන්නේ කවියෙක්ද ඉතිහාසඥයෙක්ද දාර්ශනිකයෙක්ද පසුව රාජතාන්ත්‍රිකයෙක්ද වූ හූ ශිහ් (1891 – 1926) හටයි. චීන සාහිත්යික පුනරුදයේ පියා ලෙස අද ඔහු සැලකුම් ලබනවා.

“කට වහරින් ඇරෙන්න කවි නොලියන්න ඔහු 1916දී අධිශ්ඨාන කරගත්තා. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ජනතාවගේ බස – ජීව භාශාව – පදනම් කොටගත් නව ජාතික සාහිත්‍යයක් ගොඩනැංවීමේ හදිසි අවශ්‍යතාව තම චීන ජාතික මිතුරන් හා සාකච්ඡා කල බව සඳහන් වෙනවා. භාශාව පිලිබඳ තමා දැරූ අදහස් ශැංහයිහි පල වුනු කීර්තිමත් මාසික සඟරාවක් වූ ‘ශිං චිං ඤෑං’ (නව තරුනයා) මගින් 1917 දී ඔහු පලමු වරට රටට ප්‍රකාශ කොට සිටියා. ඔහුගේ ‘චීන දර්ශන ඉතිහාසය’ (1919) පල වීමත් සමග මේ අලුත් ලේඛන ව්‍යවහාරය එලි දැක්කා. ඒ පොත ඔහු මුලුමනින්ම ලියා තිබුනේ චීන (මැන්ඩරින්) කථිත ව්‍යවහාරය පාදක කොටගෙන. ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ඊට පෙර කවදාවත් එහෙම ලියවෙලා නෑ. නවීකරනයට ප්‍රතිපක්ශ වූ ටික දෙනෙක් ඇරෙන්න නවීනයෝ සහ ප්‍රවීනයෝ බොහෝ දෙනෙක් එතෙක් භාවිත කල මහ වදයක් වූද දරදඬු වූද ග්‍රන්ථගත ව්‍යාකරය ඉවත ලා හූ ශිහ් ලියා පෙන්නූ ව්‍යවහාර රීතිය පිලිගත්තා. ලූ ශුං (1881 – 1936), මා ඕ දුන් (1898 – 1981), ලාඕ ශේ (1899 – 1966) සහ බා ජින් (1904 – ) මේ මගට පිලිපන් කීර්තිමත් ලේඛකයින් සිව් දෙනෙක්. අලුත් වාර සඟරාත් ප්‍රවෘත්ති පත්‍රත් මේ මගට වන් විට පොතට සීමා වූ පැරනි චීන ව්‍යාකරනයේ ආධිපත්‍යය අවසන් උනා. 1921 දී මේ ජීව භාශා ලේඛන ව්‍යවහාරය ‘ක්වෝ යූ’ (ජාතික භාශාව) ලෙස නම් කොට රාජ්‍ය ලේඛන ව්‍යවහාරය වශයෙන් පිලිගනු ලැබූ අතර රට කොමියුනිස්ට් උනාට පස්සේ එය ‘පූ තුං හුවා’ (පොදු බස) ලෙස සම්මානනීයත්වයට පත් උනා.”

අජිත් තිලකසේන (රැලි සුලි, සමනල ප්‍රකාශකයෝ සහ මුද්‍රන ශිල්පියෝ, කැලනිය, 1991 අප්‍රේල්. 49 – 50 පිටු.)