වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

අතුරුදන්කිරීම් නවතනු! Stop Disappearances!

| Comments

ශ්‍රී ලංකාව තුල පුද්ගල පැහැරගැනීම් හා අතුරුදන්කිරීම් අතිශය සාමාන්‍ය සංස්කෘතිකාංගයක් බවට පත් ව තිබෙනවා. අප්‍රේල් 7 වැනි දින වාර්තා වුන නවතම සිද්ධිය එනම් ප්‍රේමකුමාර් ගුනරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙනාගේ අතුරුදන්වීම මේ ප්‍රවනතාව එන්න එන්න ම නරක අතට හැරෙමින් පවතින බව පෙන්නුම් කරන සාක්ශියක්. ඔවුන් දෙදෙනා ම අලුතින් ආරම්භ කෙරුනු දේශපාලන ප්‍රවනතාවක හා පක්ශයක නායකයින්. අතුරුදන් වන විට ඔවුන් දෙදෙනා ම සිටියේ තමන් අලුතින් ආරම්භ කල දේශපාලන පක්ශයේ ප්‍රථම සම්මේලනය සඳහා සූදානම් වෙමින්. එම දේශපාලන කන්ඩායමට ම අයත් තවත් ක්‍රියාධරයන් දෙදෙනෙක් මීට පෙර යාපනය ප්‍රදේශයේ දී අතුරුදන් කෙරුනා. “දේශපාලනයෙහි නිරත වීම” මේ සියලු දෙනාගේ අතුරුදන් වීමට හේතුව වසයෙන් නිගමනය කිරීම සාධාරන යි.

අතුරුදන්වීමට පලමු රාජ්‍ය ජනමාධ්‍ය මෙන් ම රජයට අවිවේචනාත්මක ව සහයෝගය දෙන පෞද්ගලික ජනමාධ්‍ය ද මේ කන්ඩායම “කැරලිකාරී” මෙන් ම “අනාගතයේ දී ආයුධ සන්නද්ධ වීමට ඉඩ තිබෙන”, “කොටි සමග සබඳතා සහිත” පිරිසක් වසයෙන් චිත්‍රනය කිරීම සඳහා මාස කිහිපයක් තිස්සේ අඛන්ඩ ප්‍රචාරක මෙහෙයුමක් ගෙන ගියා. එම මෙහෙයුමට අවශ්‍ය වේගය-තාලය සපයන්න දේශපාලනඥයින් ද ආන්ඩුවට හිටියා.

පුද්ගලයින් පැහැරගෙන යාම අතුරුදන් කිරීම ඉතා සංකීර්න ක්‍රියාකාරකම් ජාලයක් බව ඒ සම්බන්ධයෙන් පල වුනු පුවත් වාර්තා නිරීක්ශනය කරන විට පේනවා. ඒ සියල්ල සමජාතීය නැහැ. ඇතැම් පැහැරගෙන යාම් කප්පම්කරුවන් විසින් සංවිධානාත්මක ව සිදු කල බව අනාවරනය වෙනවා. තවත් ඒවා විවිධ පුද්ගලික කෝන්තර හා ආරාවුල් නිසා කෙරුනු ඝාතන බවට පසු ව හෙලිදරවු වුනා. ව්‍යාපාරික උත්සුකයන් තියෙන තවත් වර්ගයක අතුරුදන් කිරීම් ගැනත් අහන්න ලැබෙනවා. තවත් ඇතැම් පැහැරගැනීම් ආන්ඩුවට හා පාලන තන්ත්‍රයට සම්බන්ධ බලවතුන්ගේ මැදිහත් වීමෙන් බේරුම් කරගන්න ඉඩ ලැබී තිබෙනවා. ඇමැති ජීවන් කුමාරතුංග, ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ, ජනාධිපති මහින්ද රාජපක්ශ හා පොලිසිය මැදිහත් ව සිදු කල “බේරාගැනීමක්” වශයෙන් දිවයින පුවත්පත (2012/03/28) වාර්තා කල පැහැරගැනීම හා කප්පම් ඉල්ලීමේ සිද්ධිය මීට නිදසුනක්. මේ වර්ගයේ පැහැරගැනීම් පිලිබඳ ඉතා වැදගත් ප්‍රශ්න කීපයක් W3Lanka බ්ලොග් අඩෙවිය මතු කරනවා.

ඒ කෙසේ වෙතත් මෑත වසර කිහිපය තුල පවත්නා පාලන තන්ත්‍රයට අභියෝග කිරීමට හෝ එය විවේචනය කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයින්ගේ අතුරුදන් වීම් කෙලවර වුනේ මේ ක්‍රමවලට නෙමෙයි. පැහැර ගැනුනු පුද්ගලයා නැවත සොයාගැනුනු අවස්ථාවල පවා ඔහු හෝ ඇය තව දුරටත් ස්වකීය ක්ශේත්‍රයෙහි (බොහෝ විට ජනමාධ්‍ය, මානව හිමිකම් පිලිබඳ අරගල සහ දේශපාලනය) නියුක්ත ව සිටීමට හෝ ශ්‍රී ලංකාව තුල ජීවත් වීමට හැකි තත්වයක සිටියේ නැහැ. පුද්ගලයින් අතුරුදන් කෙරුනු පසු නැවත සොයා නොගැනුනු අවස්ථා ගනන ඉතා බියකරු අන්දමින් ඉහල ගොස් තිබෙනවා. මේ ගනයට අයත් වෙන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි විශේශ ප්‍රසිද්ධියක් ලැබුනු සිද්ධීන් එකක් දෙකක් හෙම නෙමෙයි! ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් ආන්ඩුවේ ඇතැම් ප්‍රකාශකයින් දක්වා තිබුනු අදහස් බෙහෙවින් පරස්පර විරෝධී යි. ඇතැමෙක් ප්‍රකාශ කලේ ඔහු හිතාමතා ම සැඟවී ඉන්න බව යි. මේ චෝදනාව ගුනරත්නම් සහ ආටිගල යන දෙදෙනාටත් එල්ල කරන්න බැරිකමක් නැහැ. ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් මෙන් ම ගුනරත්නම් හා ආටිගල දෙදෙනා පිලිබඳ වත් තියෙන එක් අදහසක් වන්නේ ඔවුන් රාජ්‍යය විසින් නොඑසේ නම් රාජ්‍යය යටතේ ක්‍රියාත්මක වන පොලිස් හෝ මිලිටරි අංශයක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව.

මේ සන්දර්භය තුල ගුනරත්නම් සහ ආටිගල දෙදෙනාගේ ජීවිත පවතින්නේ බරපතල අවදානමක බව පේනවා. මීට පෙර අතුරුදන් කරනු ලැබූ ඔවුන්ගේ ම දේශපාලන කන්ඩායමේ සාමාජිකයින් දෙදෙනා පිලිබඳ කිසිදු තොරතුරක් අද වන තුරුත් සොයාගත හැකි ව නැහැ.

මෙවැනි වාතාවරනයක් තුල වෛරී, උද්වේගකර අදහස් සමුදායක් මුදා හැරිය හැකි තවත් එක් ෆෝරමයක් විවෘත කිරීම මේ ලිපියේ අරමුන නෙමෙයි. නමුත් අපේ සංස්කෘතිය පිලිබඳ විවේචනාත්මක ආකල්පයක් ගැනීම ගැන සමාව ඉල්ලන්න අවශ්‍ය නැහැ. පැහැරගැනීම, ඝාතනය සහ අතුරුදන් කිරීම අපේ සංස්කෘතිකාංගයක්. නොඑකඟතාව, විසම්මුතිය අන්තර්ගත කරගත හැකි සමාජීය ව්‍යුහ එන්න එන්න ම ඛාදනය ද හායනය ද වෙමින් යන සමයක විසම්මුතිය සමනය කරගැනීමේ ප්‍රචන්ඩ හා නිශේධාත්මක මාර්ග අපේ සංස්කෘතිය තුල නිර්මානය වී තහවුරු ව පවත්නා බව පේනවා. පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය, පොත්, කලාව ආදී අවකාශ - ප්‍රකාශිත ව - විසම්මුතිය අන්තර්ගත කරගත හැකි ස්ථාන වසයෙන් පැවතියත් ඒ සියලු ස්ථානවල එකිනෙක හා ගැටෙන අදහස් දෙකක් හෝ කිහිපයක් පවතින්න තියෙන හැකියාව එන්න එන්න ම පහල ගිහින් තියෙනවා.

ඒ වගේ ම පුරවැසියාගේ ආරක්ශාව සහතික කිරීමේ වගකීමෙන් රාජ්‍යය ක්‍රමානුකූල ව එලිපිට ම නිදහස් වෙමින් ඉන්නවා. ලොව වටා බොහෝ තැන්වල රාජ්‍යය ඒ වගකීමෙන් නිදහස් වීම සාමාන්‍ය ලෝක ධර්මය බවට පත් වෙමින් තියෙනවා. රාජ්‍යය විසින් සංවිධානගත ව කෙරුනු පැහැරගැනීමක් වුනත් නැතත් සිදු වන සෑම අතුරුදන් කිරීමක් ම - පැහැරගැනීමක් ම සම්බන්ධයෙන් පුලුල් අන්දමේ වගකීමක් රාජ්‍යයට තියෙන බව කෙනෙක් කීවොත් ඒ අදහසට දැන් ලොකු විරෝධයක් එල්ල වෙන්න වුනත් පුලුවන්.

ආන්ඩුව විසින් හෝ මිලිටරිය විසින් ක්‍රියාවට නැඟූ පැහැරගැනීමක් වේවා, තෙමේ ම අධ්‍යක්ශනය කොට වේදිකාගත කරගත් අතුරුදන්වීමක් වේවා - අතුරුදන් වීමක් සිදු වෙන්නේ අතුරුදන් වීම නමැති ක්‍රියාව දේශපාලනික ව වලංගු ක්‍රියාකාරකමක් බවට පත් ව තියෙන සංස්කෘතියක් තුල යි. අතුරුදන් කිරීමක හෝ පැහැරගැනීමක අපේක්ශිත ඵලය වන්නේ පැහැරගැනීමට ලක් වූවන්ගේ මෙන් ම එම සිද්ධිය අසන නරඹන “ප්‍රේක්ශකයින්ගේ”ත් සමාජ - දේශපාලනික - සංස්කෘතික නියුක්තියෙහි වෙනසක් ඇති කිරීම යි. එය අඛන්ඩ ව සිදු වන තත්වයක් තුල “පිලිගත්” හා “වලංගු” දේශපාලන ක්‍රියාකාරකමක් බවට (යුද්ධය සේ ම) පැහැරගැනීම් හා අතුරුදන්කිරීම් පත් වෙනවා. රාජ්‍යය, මිලිටරිය පමනක් නො ව වෙනත් දේශපාලන කන්ඩායම් ද සිය දේශපාලන මෙවලම් කට්ටලයේ කොටසක් බවට මේ භාවිතාව පත් කරගන්නේ එවිට යි.

මේ සංස්කෘතිය ගැන ශබ්ද නඟා සිතීම හා ඊට අභියෝග කිරීම ඇතැම් විට දිවි පරදුවට තියන්න සිදු වෙන කාරනයක් වෙන්න පුලුවන්. රටේ අග නගරය අවට, ඇතැම් විට අධිකරනයේ මිදුලේ පවා සිදු වන අතුරුදන්වීම් පිලිබඳ වගකීම රාජ්‍යය වෙත එල්ල වනාහි කිරීම බැරෑරුම්, එහෙත් ප්‍රාථමික ව ම අත්‍යවශ්‍ය ක්‍රියාවක්. අප සියලු දෙනා නැවත වරක් සිහිපත් කරගත යුතු කාරනයක් මේ සමග ම මගේ සිහියට එනවා. ඒ මෙකී සියලු “නිල නොවන වර්ගයේ” අතුරුදන්කිරීම්/පැහැරගැනීම්/රඳවා තබාගැනීම් සිදු වන්නේ දැනට මත් දේශපාලන සිරකරුවන් දහස් ගනනක් නඩු නැතිව රාජ්‍යයේ පාලනය සහිත සිරමැදිරිවල “නිලවසයෙන්” රඳවාගෙන සිටින තත්වයක් තුල බව යි.

අද වැනි දිනයක පහත දැක්වෙන වැකි කිහිපය හැර අනෙකක් ලියන්න අපට පුලුවන් ද? මේ පුරවැසි අපේ වගකීම යි.


අතුරුදන්කිරීම් නවතනු! දේශපාලන සිරකරුවන් මුදාහරිනු! අතුරුදන් වූවන් පිලිබඳ සත්‍යය අප හමුවේ තබනු! වග කියනු!