වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බටහිර මුහුදින් ඉර පෑයූ වග

| Comments

වැරදි හොයන්න මම බොහොම දක්ශයි; විශේශයෙන් අනුන්ගේ වැරදි. මේ බ්ලොග් අඩෙවියේ වැඩියෙන් ම තියෙන්නෙත් නානාප්‍රකාර වැරදි ගැන විවේචන කියලයි මට මේ මොහොතේ කල්පනා වෙන්නේ. රන්ධ්‍ර ගවේශීභාවය ඒ තරම් ප්‍රසන්න දෙයක් නම් නෙමෙයි. ඒත් මේ මට අලුතින් මතක් වුනු වැරදි වර්ගයක්. කිසියම් පොතකින් විස්තර කරන්න අදහස් කරන පරිසරයට, රටතොටට හා සංස්කෘතියට එතරම් සමීපත්වයක් නැති වුනාම ලේඛකයින් අතින් ඇතැම්  විට මේ වගේ වැරදි සිදු වෙනවා. සිංහල භාශාවේ යෙදුම්, නෑදෑකම් වැනි සංස්කෘතික කාරනා ගැන නොදැනුවත්කමින් හටගත් වැරදි කීපයක් ම නිහාල් ද සිල්වාගේ The Road From Elephant Pass නවකතාවේ දකින්න තියෙනවා. නමුත් ඒ කෘතියට ඉංග්‍රීසියෙන් ලියන ශ්‍රී ලාංකික ගත්කරුවන් සඳහා පිරිනැමෙන ග්‍රේශන් ත්‍යාගය ද හිමි වුනා. පසු ව සිංහලයට පරිවර්තනය වුනු මේ කෘතියෙන් අලිමංකඩ නමැති චිත්‍රපටය ද නිර්මානය කෙරුනා. සිංහල පොතේ ඒ වරද නිවැරදි වී ඇති කියලයි මම කල්පනා කරන්නේ. ඒත් ඒ පොත තව ම හොයාගන්න බැරි වුනා.

ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ලෝක ප්‍රකට ලේඛකයකු වන ශ්‍යාම් සෙල්වදුරෙයි ලියූ Cinnamon Gardens නවකතාවේ මීට වඩා ටිකක් ලොකු භූගෝලීය අත්වැරැද්දක් දකින්න ලැබෙනවා. (මා සතු පිටපත - 1998 Penguin Books India edition - ඊට පසු පල කෙරුනු සංස්කරන සමග සසඳන්න නම් ඉඩක් ලැබුනේ නැහැ.)

මේ නවකතාවේ ප්‍රධාන චරිතය වන ඇනාලක්ශ්මී සිය මිතුරිය නැන්සි ද සමග බයිසිකලයෙන් කොලඹ ගාලු මුවදොරට ගොස් නරඹන හිරු උදාවේ අසිරිය පිලිබඳ විචිත්‍ර විස්තරයක් ඉහත මුද්‍රනයේ 9 වැනි පිටුවේ හමු වෙනවා:
“… Already she and Nancy had made numerous expeditions on Miss Lawton’s and Miss Blake’s bicycles whenever Annalukshmi had stayed over at the headmistress’s bunglow. She recalled one in particular now: a Saturday morning she and Nancy got up while it was still dark and ridden to the Galle Face Promenade to watch the sun rise over the sea.They had sat on a bench by the sea wall in continued silence, wrapped in their shawls, the air misty around them, the taste of salt on their lips. It had been a spectacular site, the first silvers of light on the rolling waves like silver coloured sea creatures that surfaced and dipped, surfaced and dipped. Then the splinters of light had turned gold and, as more and more of them appeared, the sea seemed to be alive with golden fish.”
කැනඩාවේ ට්‍රිලියම් සම්මානය සඳහා නිර්දේශ වුනු මේ නවකතාව ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යනාදී තන්හි ජාත්‍යන්තර සමාගම් මගින් ප්‍රකාශයට පත් වූවක්. වෘත්තීය සංස්කාරකවරුන්  හරහා නිසැක ව ම ගමන් කොට පල වූවක් වීමට ඉඩ ඇති මෙවැනි පොතක ඒ සා වරදක් දකින්න ලැබීම මා වැනි වැරදි සොයන්නෙකු තුල “කැත සතුටක්” දනවන්නක් පුදුමයට හේතුවක්.

මෙහෙම සිදුරු තිබුනත් මේ පොත් දෙක ම මා ඉතා ඉහල ආස්වාදයක් විඳිමින් කියැවූ නවකතා බව සඳහන් කල යුතු යි. ඔවුන් දෙදෙනා ම අතිශූර ලේඛකයින් බවට විවාදයක් නෑ. විශේශයෙන් ශ්‍යාම් සෙල්වදුරෙයි බස හසුරුවන විලාසය හරි ම රමනීය යි, ප්‍රබල යි.

මේ ජාතියේ වැරදි හෙවීම හරියට කෑම මේසේ ඇරලා තියෙන වෙලාවට කක්කුස්සි වලවල් හෑරීමට සමාන බව බොහෝ කලකට පෙර මහාචාර්ය සුචරිත ගම්ලත් සඳහන් කෙරුවා. හැබැයි එතුමාත් දැන් නවකතාවක් දුටු සැනෙකින් වියරනය නමැති කක්කුස්සි වල කැනගෙන කැනගෙන යන්නේ හරියට හතර මහා නිධානය පහල වුනා වගේ තමයි.

.

යට ගිය දවස ඊමේල් කිරිල්ල

| Comments

පසුගිය මාස දෙක පුරා මම සති තුන බැගින් පමන දික් වූ ඊමේල් විරාම දෙකක් ගත්තා. පරිගනකයෙනුත් අන්තර්ජාලයෙනුත් හැකි උපරිමයෙන් ඈත් ව ඉන්න සිදු වුනා. මේ සියල්ල මගේ අත්වල මැනික්කටු හා වැලමිටට බලපාන අන්දමින් හටගෙන තිබූ ආර්එස්අයි රෝග තත්වය නිසයි. පරිගනකය මතත් ඊමේල් මතත් මොන තරම් තදින් රඳා පවතින්න පුරුදු වී තියෙනවා ද යන්න වැටහුනේ මේ කාලය තුල යි. පරිගනකය සම්බන්ධ සෞඛ්‍ය පුරුදු නොතකා හැරීම නිසා බොහෝ භයානක ප්‍රතිඵල අත් වෙන්න පුලුවන් බවත් අමාරු මගකින් ඉගෙනගත්තා. අවුරුද්දක පමන කාලයක් තිස්සේ ක්‍රමයෙන් මෙහි පල කෙරුනු ලිපි සංඛ්‍යාව පහල යන්නත් මේ වේදනාව හේතුවක් වුනා; වේදනාව දරාගෙන ලිවීම ආස්වාදජනක වැඩක් නෙමයි. ඒත් බොහෝ කලකට පසු ආයෙත් රූල් නැති පොත්වල අතින් ලිවීම අරඹන්න මේ අසනීපය උත්තේජනයක් වුනා. අතින් ලිවීමත් නැවතුන දවසක් ආවා. මේස පුටු කීබෝඩ් ආදී සියලු උපකරනත් දෛනික පුරුදුත් වෙනස් කරන්න සිදු වුනා. මගේ පරිගනක විරාමය කිසි කෙනෙකුගේ සතුටට හේතු වුන බවක් නම් පේන්න නැහැ. ඉදිරියේ දී මම ඒ සම්බන්ධ අනේක විධ ඇනුම් බැනුම් අහන්නත් නියමිත යි. බොහෝ දෙනෙක් ඊමේල්වලට එසැන පිලිතුරු බලාපොරොත්තු වෙනවා. “ඊමේල් විරාම” අද කාලේ ලේසියෙන් දිරවාගත හැකි දෙයක් නෙමෙයි. නමුත් මීට අවුරුදු දොලහකට දහතුනකට පෙර තත්වය මීට සම්පූර්නයෙන් වෙනස්.

කෙලින් ම පරිගනකයෙන් සිංහල ලිපි ලේඛන සම්පාදනය කරන්න මම පුරුදු වුනේ “පරිගනක අක්ශර සංයෝජකයින්” හැටියට හැඳින්වෙන කොට්ඨාසය සමග වැඩ කිරීමේ අමාරුව හින්දයි. ඔවුන් මගේ ලිපි ලේඛනවලට පාන බස් විස්කම් දරාගන්න මගේ ඉදිමුනු හිසට බොහොම අමාරුයි. සෝදුපත් බැලීමත් සංස්කරනයත් ඒ තරම් කාර්යක්ශම නැති නිසා ලිපි පල වූ පසු බොහෝ කලකෝලාහල හා මනස්තාප ඇති වෙනවා. පෑන නමැති තාක්ශනයට පුරුදු වෙන්න ලේඛකයින් අදිමදි නොකලා වගේ පරිගනකය නමැති තාක්ශනයටත් හුරු විය යුතු බව මගේ පරිගනකවේදී මිතුරෙක් කියා සිටියා. මොන තරම් ඇත්තක් ද! මෙවැනි දීප්තිමත් අදහස් ඔලුවට ගැහූ විට අපි කවුරුත් හිතන්නේ ලෝකයේ අනිත් සියලු දෙනාත් ඒ විදියට ම සිතිය යුතු බව යි. ඒත් ඉතින් අන්තිමේ දී දුක් විඳ යතුරු ලිවීම පුරුදු වූ පසු ව වුනත් පුවත්පත් හා සඟරාවලට වගේ ම ප්‍රකාශන ආයතනවලටත් ඒ ලිපි යවන්න සිදු වුනේ අදාල විද්‍යුත් පිටපත නැවත මුද්‍රනය කරලයි. ඒ ඔවුන් වැඩ කල ක්‍රමය. නමුත් විද්‍යුත් තැපෑලෙන් ම ලිපි යවන්න පටන් ගත් අවස්ථාව හරි ම “රසවත්” ලොමුඩැහැගන්වන අත්දැකීමක් වුනා. ඒ ඩයල්අප් යුගය. ඉතින් මම ලිපිය ලියා විවිධ “පහසු” format කිහිපයකට දමා ඊමේලයක අමුනා යවනවා. ඉන් පසු ඊමේලයක් එවූ වග දුරකථන ඇමතුමක් දී අදාල පුවත්පත් ආයතනයේ කිසිවෙකුට සිහිපත් කරන්න ඕනෑ, විශේශ හේතුවක් නැත්නම් ඊමේල් පිරික්සීම සිදු නොවන නිසා. ඔන්න යුද්ධය ආරම්භ වෙන්නේ ඉන් පසු ව යි. ඊමේල් චෙක් කිරීමට හා පරිගනකය හැසිරවීමට බලය ලත් තැනැත්තා හොයාගන්න පනිවිඩයක් යවනවා. ඔහු සේවයට ඇවිත් නැත්නම් ඊලඟ දිනය වනතුරු ඉන්න වෙනවා. ඉන් පසු අන්තර්ජාලයට සම්බන්ධ වීමේ යුද්ධය අරඹා ඇති බව නැවත ලැබෙන දුරකථන ඇමතුම්වලින් මට දැනගන්න ලැබෙනවා.

බොහෝ දුර බැහැර වාසය කරන මට ලිපිය හරි හැටි ලැබුනා ද යන්න දැනගන්නා තුරු නිවනක් නැති නිසා “හරි ද බලන්න” නැවතත් ඇමතුම් කීපයක් ගන්නවා. ඒ වන විටත් ඇමුනුම් කීපයක් පමනක් බාගන්න පුලුවන් වෙලා. ඒත් පින්තූර ටික තාම ගන්න බැරි වුන බව එහෙන් දැනුම් දෙනවා. ජාලය විසන්ධි වෙනවා. “ඇටෑච්මන්ට්ස් කීයක් තිබුනද?” “ඩිස්කට් එකක දාලා තැපැල් කරන්න පුලුවන් ද?” කෙනෙක් අහනවා. බලවත් නොඉවසිල්ලට පත් වන මම ඩිස්කටයක් ද රැගෙන තැපැල් කන්තෝරුවට දුවනවා. ඒ අතර “කෝකටත් කියා” මුද්‍රිත පිටපත් ද එම කවරය තුලට ම දමා තැපැල් කරනවා. ගෙදරට ආ පසු සාර්ථක ව ඇමුනුම් සියල්ල බාගන්න හැකි වූ බව දන්වන තවත් ඇමතුමක් ලැබෙනවා.

තමන්ගේ ම සර්වර තුල ප්‍රදර්ශනාත්මක අරමුනින් ඊමේල් ගිනුම් තියාගත් ආයතන සම්බන්ධයෙන් නම් නාට්‍යය තවත් ත්‍රාසජනක මට්ටමකට නැගෙනවා. මොකද හදිසියේ සර්වරය සෙට්ටපෝච්චි වී ගොස් ඊමේල් සියල්ල මැකී යාමේ ප්‍රතිඵලයක් වසයෙන් මුද්‍රනයේ “ඩෙඩ්ලයින් එක” ඔන්න මෙන්න තියෙද්දී ඩිස්කටයක දැමූ ලිපි හා පින්තූර ද අතැති ව මාරාවේශයෙන් කොලඹ බලා දුවන්න සිද්ද වෙන නිසා. කිකල් ඒ ද එකල්?

ඇදුම සුව කිරීමට හුස්ම ගැනීම අත්හිටුවමු ද?

| Comments

උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගැනීමේ ප්‍රායෝගික පරීක්ශනය අහෝසි කිරීම ගැන බොහොම දැඩි අදිටනක ඉන්න බව 15 වැනිදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පෙන්නුම් කලා. මේ ගැන ඔහු දක්වමින් ඉන්න හේතුව අරුම පුදුම එකක්. ඔහු කියන්නේ මේ ප්‍රායෝගික පරීක්ශනයේ බොහෝ ම අක්‍රමිකතා සිදු වන බවට සිසුන්ගෙන් තමන්ට පැමිනිලි ලැබී ඇති බව යි. ඉතින් ඒ අක්‍රමිකතා පහ කිරීම වෙනුවට කෙලින් ම පරීක්ශනය අත්හිටුවන්න තීරනය කරනවා. ශිශ්‍යයින් සමග හෝ අදාල විශය ඉගැන්වීමෙහි නිරත ප්‍රාමානික වෘත්තිකයින් සමග සාකච්ඡාවක් නෑ; අදහස් විමසීමක් නෑ.

මේක හරියට ඇදුම රෝගය වලක්වන්න හුස්ම ගැනීම අහෝසි කරනවා වගේ වැඩක්: ඇදුම රෝගය හැදෙන්නේ මිනිසුන් හුස්ම ගන්නා හින්දයි. හුස්ම ගනිද්දී පරිසරයේ තියෙන නානාප්‍රකාර අහිතකර දේවල් ආඝ්‍රානය වෙනවා; අසාත්මිකතා හටගන්නවා; ඇදුම උග්‍ර වෙනවා. ඒ නිසා වහා ම ක්‍රියාත්මක වන පරිදි හුස්ම ගැනීම අත්හිටුවිය යුතු යි!

නමුත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තිබෙන උපාධි පාඨමාලාවලින් අතිබහුතරයක් අතිශයින් ම ප්‍රායෝගික පක්ශයට බර ඒවා. නර්තනය, සංගීතය, දෘශ්‍ය කලා ආදී විශයයන් මේ තරම් ප්‍රායෝගික ප්‍රවිශ්ටයකින් උගන්වන විශ්ව විද්‍යාල ආයතනයක් මෙරට තවත් නැහැ. රට පුරා පාසැල්වල මේ කලාවන් උගන්වන්න අවශ්‍ය ගුරු පරපුරෙන් සැලකිය යුතු කොටසක් බිහි කරන්නේත් මේ ආයතනය විසින්. ඉතින් එවැනි ආයතනයකට වඩාත් උචිත ශිශ්‍ය ශිශ්‍යාවන් තෝරාගැනීම හුදෙක් ප්‍රශ්න පත්තරවලට පිලිතුරු ලිවීමේ හැකියාවට සීමා කිරීම යනු එම ආයතනයේ ජීවය සම්පූර්නයෙන් සිඳබිඳ විනාශ කිරීමේ මුල් පියවරක් බව යි මට නම් පේන්නේ.

මේ අර්බුදයේ පසුබිම පිලිබඳ හොයාබැලූ මට ආරංචි වුනේ පසුගිය වසරේ ඇතුලත් කරගත් ශිශ්‍ය කන්ඩායම තුලත් ප්‍රායෝගික පරීක්ශනය අසමත් වුනු, එහෙත් ඇමතිගේ අත්තනෝමතික තීන්දුව අනුව යමින් ඊනියා z අගය මත පමනක් තෝරාගත් කිසියම් ශිශ්‍ය පිරිසක් ඉන්නා බව යි.

වෙබ් අඩෙවි ලියාපදිංචිය සමග ව්‍යාකූලත්වය, අවිද්‍යාව සහ අවනීතිය

| Comments

පසුගිය වසර අග ශ්‍රේශ්ඨාධිකරනය දුන් නියෝගයකට අනුව යන බව කියමින් “වෙබ් අඩවි ලියාපදිංචි කිරීම” අරඹා දැන් සෑහෙන කලක් වෙනවා. මාර්තු අග ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයකට අනුව - මාර්තු 29 දින අවසර ලද අඩෙවි 13ක් ද ඇතුලු ව - ඒ දක්වා ලියාපදිංචි කොට සහතික ලබා දී තිබෙන වෙබ් අඩෙවි සංඛ්‍යාව 40ක්. නමුත් ඊට පෙර ජනවාරි 13 වැනි දා දිනමිණ පුවත්පතට අනුව අයැදුම්පත් 80ක් පමන ලැබී තිබුනු බවත් ඉන් සුදුසුකම් සපුරා තිබුනු වෙබ් අඩවි 45ක් ලියාපදිංචි කර ඇති බවත් කියැවෙනවා. ජනවාරි 19 වැනිදා ඩේලි නිවුස් පුවත්පත පවසන අන්දමට ලියාපදිංචිය ලැබූ අඩෙවි සංඛ්‍යාව 46ක්; ප්‍රතික්ශේප වුනු අයැදුම්පත් ගනන 17ක්. ඒත් අමාත්‍යාංශය කියන්නේ එම ජනවාරියේ ලියාපදිංචි කලේ වෙබ් අඩෙවි 27ක් බව යි. ඉතින් මේ පිලිබඳ අහන්න ලැබෙන තොරතුරු බෙහෙවින් එකිනෙකට පරස්පර බව පේනවා.

මේ ලියාපදිංචිය සම්බන්ධ නිර්නායකය කුමක් ද? මාර්තු 30 වැනි දා ජනමාධ්‍ය අමාත්‍යාංශය කී පරිදි “ශ්‍රී ලංකාව හා එහි පුරවැසියන් පිලිබඳ ප්‍රවෘත්ති පල කරන” වෙබ් අඩවි එම අමාත්‍යාංශයේ ලියාපදිංචි කල යුතු යි. ලියාපදිංචියේ දී අමාත්‍යාංශයට ලබා දිය යුතු තොරතුරු අතර වෙබ් අඩෙවියේ නම, එය මෙහෙයවනු ලබන්නේ කොතැනක සිට ද, හිමිකරුගේ නම හා ලිපිනය, සංස්කාරකගේ නම හා ලිපිනය, සර්වරයේ නම, අයිපී ලිපිනය සහ සේවයේ නියුතු මාධ්‍යවේදීන් පිලිබඳ විස්තර ද ඇතුලත්. මේ ගැටලුව අරභයා ඇවිලුනු සාකච්ඡාව සිංහල විකිපීඩියාව වෙත ද පැතිර ගිය අතර එහි දී විකිපීඩියාවේ මුල් පිටුවේ ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් පල කිරීම නවතාදැමිය යුතු ද යන්න සාකච්ඡා වුනා. පුවතකින් බිඳක් විශේශාංගය යටතේ විකිපීඩියාව පුවත් පල කලත් එම වෙඩ් අඩෙවියට තියෙන්නේ ඉහත සඳහන් විස්තර සැපයිය හැකි අන්දමේ සංවිධාන ව්‍යුහයක් නෙමෙයි. විකිපීඩියාවේ වැඩි “ආරක්ශාව පිනිස” තමන් ම පනවාගත් වාරනයකට යටත් වීමට ඇතැම් විකිපීඩියානුවන් යෝජනා කරනවා. එහි දී ඉදිරිපත් ව ඇති ප්‍රධාන තර්කය වන්නේ මේ නියෝගයට අනුකූල නොවීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුල විකිපීඩියාවට ප්‍රවේශය අවහිර කිරීමේ අවදානම නොගෙන මෙරට පිලිබඳ පුවත් පල කිරීම නැවැත්විය යුතු බව යි. සිංහල විකිපුවත් අඩෙවිය ආරම්භ කිරීම සම්බන්ධයෙනුත් මේ අර්බුදය ම තියෙනවා.

නිර්නායකයේ ගැටලු

නමුත්, ශ්‍රී ලංකාව හා එහි පුරවැසියන් පිලිබඳ පුවත් පල කරන වෙබ් අඩෙවි ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචිය යටතේ පැවතිය යුතු ය යන්න දැනට පවත්නා නීතියට අනුකූල යෝජනාවක් නෙමෙයි. උපරිමාධිකරනය එවැනි නියෝගයක් නිකුත් කර තිබීම සත්‍යයක් වුනත් වෙනත් රටවල බලපවත්නා නීතිරීති අභිබවා නියෝගයක් නිකුත් කිරීමට මෙරට අධිකරනයට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාව අනිත් රටවල් යටත් කරගෙන ඉන්න අවස්ථාවක නම් එවැනි නියෝගයක් නිකුත් කරන්න පුලුවන්, හරියට අතීතයේ පැවැති හිරු නොබසින අධිරාජ්‍යය තුල වගේ. ඒත් දැනට නම් තත්වය එහෙම නෙමේ.

නිදසුනක් වසයෙන් මේක බලන්න: බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය ශ්‍රී ලංකාව පිලිබඳ පුවත් ඉදිරිපත් කරනවා. රොයිටර් පුවත් සේවයත් එහෙම යි. ඔවුන්ගේ වෙබ් අඩෙවි ශ්‍රී ලංකාව තුල පිහිටා තිබෙන ඒවා නෙමෙයි. ප්‍රශ්නයේ මේ පැත්ත පෙන්වා දුන් විට “මේ නීතිය ලොකු මාධ්‍ය ආයතනවලට අදාල නෑ” වගේ අරුම පුදුම “පැහැදිලි කිරීමක්” එක්තරා බලධරයෙක් ඉදිරිපත් කල බවත් ආරංචි වුනා! හොඳයි, ඒකත් එහෙමයි කියමුකෝ. ඇත්තෙන් ම ශ්‍රී ලංකාව තුල සිට ශ්‍රී ලාංකිකයින් විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩෙවි අතිබහුතරයක් පවා “පිහිටා තියෙන්නේ” ශ්‍රී ලංකාව තුල නෙමෙයි. මා පිහිටා තිබීම යන්නෙන් අදහස් කරන්නේ එම වෙබ් අඩෙවිවලට අදාල සර්වර(සේවාදායක) ශ්‍රී ලංකාවේ අධිකරන සීමාව තුල නොතිබීම යි. කිසියම් වෙබ් අඩෙවියක් භෞතික ව “ගබඩා කර තියෙන” ස්ථානය සර්වරය යි. ඒ වගේ ම ලොව වටා විවිධ තැන්වලින් අදාල වෙබ් අඩෙවිය සොයා එන පාඨකයින් අතර වෙබ් පිටු “බෙදාහරින්නේත්” සර්වරය මගින්. ඒක දෘඪාංග හා මෘදුකාංගවලින් සමන්විත භෞතික වස්තුවක් (අත්තනෝමතික සමාන කිරීමක් කලොත් හරියට පුවත්පතක මුද්‍රනාලය හා බෙදාහැරීමේ ජාලය වගේ). අඩු තරමින් රාවය, ලක්බිම වැනි ප්‍රධාන පෙලේ පුවත්පත් ආයතනවලට වත් ශ්‍රී ලංකාව තුල පිහිටි සර්වර නැති බවයි පේන්නේ. “ලියාපදිංචි විය යුතු” ගනයට වැටෙන තවත් ඇතැම් වෙබ් අඩෙවිවල ඩොමේන් නාම ශ්‍රී ලංකාවේ පරිපාලනයට යටත් නැහැ. සිංහල විකිපීඩියාව මේ අංශ දෙකෙන් ම ශ්‍රී ලංකාවේ අධිකරන බලප්‍රදේශය තුල පවතින්නක් නෙමෙයි. එහි ඩොමේනය සහ සර්වරය යන දෙක ම තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ.

මේ ලිපිය මා ශ්‍රී ලංකාවේ සිට ලිව්වත් මගේ බ්ලොග් අඩෙවිය තුල එය පල කෙරෙන මොහොත වන විට එය අන්තර්ජාලය ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයට ගමන් කොට එහි තිබෙන සර්වරයක ලැගුම් ගන්නවා. එම සර්වරය පාලනය වන්නේ ගූගල් සමාගම මගින්. රාවය හෝ ලක්බිම වැනි පුවත්පතක පල කෙරෙන ලිපියකුත් එවැනි ගමනක යෙදෙනවා. ඔවුන්ගේ සර්වර තියෙන්නෙත් ඇමෙරිකාවේ. ෆේස්බුක් බඳු ඇතැම් සමාගම් සිය කලමනාකරන කටයුතු ඇමෙරිකා එක්සත් ජනපදය තුල සිට සිදු කලත් සිය සර්වර අයිස්ලන්තය වැනි තවත් රටවල් තුල ස්ථානගත කරන්න පියවර ගනිමින් ඉන්නවා. එවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ සිට ෆේස්බුක් හරහා පනිවිඩයක් හෝ වීඩියෝවක් මුදා හරින කෙනෙක් නියැලෙන්නේ එක සැනෙකින් නෛතික පැත්තෙන් රාජ්‍යයන් තුනකට පමන අදාල විය හැකි කාර්යයක. එම පනිවිඩය ලොව විවිධ තැන්වල සිට කියවන, යලි බෙදාහරින, හුවමාරු කරන පුද්ගලයින් නිසා තත්වය වඩාත් සංකීර්න වෙනවා. වෙබ් හොස්ටිං සේවා සපයන බොහෝ ආයතනත් ලොව වටා විවිධ ස්ථානවල සිය සර්වර තැන්පත් කරගෙන ඉන්නවා.

ශ්‍රේශ්ඨාධිකරනයේ නියෝගයේ පවතින ගැටලු සහගත ස්ථාන පිලිබඳ නැවත විමර්ශනයක් කිරීමේ ඉඩක් තිබේ ද යන්න මා දන්නේ නැහැ. නමුත් දැන් ක්‍රියාත්මක ලියාපදිංචිය හරියට මේ වගෙයි: මස්කෙලියේ සුමනරත්න උන්නැහේට තියෙනවා දඹදිව වන්දනා චාරිකා ව්‍යාපාරයක්. එහේ ගියාම වන්දනාකාරයින්ට කෑම බීම සපයන්න බුද්ධගයාව ආසන්නයේ ඉන්න ව්‍යාපාරික පවුලක් එක්ක වැඩපිලිවෙලක් යොදාගෙනයි ඉන්නේ. ඒ පවුලේ අය මෙහෙන් යන ලාංකිකයින්ට බත් මාලුපිනි බුලත්විට ආදියත් වන්දනාවට අවශ්‍ය අඩුවැඩියත් අලෙවි කරනවා. ඉතින් ඔහොම ඉන්නකොට කතාවක් පැතිරෙනවා මේ උදවිය වන්දනාවේ යන අයට නීති විරෝධී අන්දමට මත්පැන් ආදියත් විකුනන බවට. මත්පැන් බෝතල් එහෙමත් අහුවෙන්න පටන්ගන්නවා. ඔන්න බුද්ධ සාසන අමාත්‍යාංශයෙන් වහා ම පියවරක් ගන්න තීරනය කරනවා. ඊට පස්සෙ නියෝග කරනවා අර බුද්ධගයාව අසබඩ තියෙන ආහාරපාන ව්‍යාපාරය බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි කල යුතු බවට. මොකද මෙහෙන් යන වන්දනාකාරයෝ එතනින් කෑම බීම මිල දී ගන්න නිසා. නමුත් මේක හරි යන සෙල්ලමක් නොවන බව සිහි බුද්ධිය ඇති ඕනෑ ම කෙනෙකුට වැටහෙනවා.

ඉතින් බුද්ධ ශාසන අමාත්‍යාංශයට කරන්න පුලුවන් ලොකු ම වැඩේ තමයි ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට සංචාරය තහනම් කිරීම! වෙනත් රටවල තියෙන ලියාපදිංචි නො වූ වෙබ් අඩෙවිවලට එරෙහි ව කල හැකි දේත් ඊට සමාන යි: මෙරට සිට ප්‍රවේශය අවහිර කිරීම.

මේ වෙබ් අඩෙවි ලියාපදිංචියට සූදානම් වුනු දිනවල ම නව ජවයකින් කෙරුනු තවත් නීති විරෝධී වැඩක් තමයි වෙබ් අඩෙවි වාරනය. හිතුමතේට උදේ එලිවෙනකොට පහල වෙන අදහස් අනුව නානාප්‍රකාර වෙබ් අඩෙවි අවහිර කිරීම තමයි වෙන්නේ. ඒ සම්බන්ධයෙන් විධිමත් අධිකරන ක්‍රියාමාර්ග ගන්නත් පෙර වෙබ් අඩෙවි අවහිර කරනවා. සමහර අවස්ථාවල ආන්ඩුවේ හිතවතෙකුගේ හුදු පැමිනිල්ලක් ඊට සෑහෙනවා. එවැනි අඩෙවියකට පිවිසෙන්න තැත් කරන කෙනෙකුට නොපැහැදිලි හේතු දැක්වීමක් සහිත දෝශ පනිවිඩයක් ලැබෙනවා: Access control configuration prevents your request from being allowed at this time. This may be due to a pending court matter. අවහිර කෙරුනු ඇතැම් අඩෙවි පසුව නැවතත් නිදහස් කර තිබූ අවස්ථාත් දකින්න ලැබුනා. ඒත් ප්‍රශ්නය තියෙන්නේ දැනට වාරනය කර තිබෙන අඩෙවි මොනවා ද, ඒවා වාරනය කරන්න හේතු වුනේ කුමක් ද, ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද යනාදිය දැනගන්න මේ රටේ පුරවැසියන්ට ඉඩක් නැති වීම තුල යි. ඊනියා ලියාපදිංචිය සම්බන්ධයෙන් තත්වයත් ඊට වෙනස් නෑ. ලියාපදිංචි වී තිබෙන අඩෙවි ගනන පවා නිවැරදි ව ප්‍රසිද්ධියට පත් නොකරන තත්වයක් පවත්වාගෙන යන්නේ අවස්ථාවාදී අන්දමින් මේ “නීතිය” ගසාකෑමේ අරමුනින් බවට චෝදනා කලොත් ඒක අසාධාරන නැහැ.

කාරනය අනිවාර්යයෙන් ම එතනින් ඔබ්බටත් රැගෙන යා යුතු යි. ඉහත දැක්වූ ආකාරයේ තර්ක පාදක කරගනිමින් ගෙන එන අන්තර්ජාල වාරනය පුලුල් අන්දමින් ගත් විට මානව සංස්කෘතියේ ප්‍රගමනයට කරන හානිය සුලුපටු නෑ. අන්තර්ජාලය සම්බන්ධයෙන් නියාමනයක් කොහෙත් ම අවශ්‍ය ද? එය ප්‍රායෝගික ව ක්‍රියාවට දැමිය හැක්කක් ද ආදී ප්‍රශ්න තව පැත්තකින් මතු වෙනවා. දැන් දැන් ඇතැම් ආන්ඩු අන්තර්ජාලයේ ස්වභාවය විසින් උද්ගත කරනු ලබන, ලිපියේ මුලින් විස්තර කෙරුනු ස්වරූපයේ ගැටලු නිසා වැනි Facebook, Google හා Twitter වැනි සමාගම්වලට සිය දේශ සීමා තුල සර්වර ස්ථාපනය කරන මෙන් ගෙන එන යෝජනාව ගැනත් අපේ අවධානය යොමු විය යුතු යි. ඊමේල් පවා මේ ක්‍රමයට දේශසීමා තුලට ගෙන ඒමට ඉන්දියාව කැසකවමින් ඉන්නවා. මේ සියල්ල ප්‍රශ්නය පිලිබඳ පුලුල් චිත්‍රයේ කොටස්.

.

තව්තිසා දෙව් ලොව සිට සම්මුඛ සාකච්ඡාවක්

| Comments

ගිය සතියේ පල වුනු කටුගෙයි කෙරුවාව ගැන ලිපියේ මම මෙහෙම කතාවක් ලිව්වා:
“මේ චිත්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒවා පිටපත් කරපු කලාකරුවා සම්බන්ධයෙන් තිබුනු ඓතිහාසික වැදගත්කම එකක්. ඔහු මියපරලොව ගිහින් නිසා නැවත ඔහු ලවා චිත්‍ර අන්දන්න අමාරුයි(මේක නාථ දෙවියන් වැනි විකල්ප මාධ්‍ය මගින් පුලුවන් ද බැරිද නොදන්න නිසයි කෙලින් ම බෑ කියල නොලිව්වේ).”
අද කාලේ සිද්ද වෙන දේවල් ගැන කල්පනා කරද්දී ඇත්තට ම එහෙම “විකල්ප මාර්ග” පෑදීමේ සම්භාවිතාවක් නැත්තෙ නෑ. ඒත් මේ සතිය තුල ම එවැනි විස්මයජනක ප්‍රාතිහාර්යයක් දැකගන්න ලැබීම වාසනාවක් නේද?

මේ ඉරිදා (මැයි 13) ලක්බිම පත්තරේ 33 වැනි පිටුවේ වරුණ අබේසේකර ලියන ලිපියකින් අමුතු ම පන්නයේ පත්තරයක් අපට අඳුනාගන්න ලැබෙනවා. පත්තරේ නම අනුහස. මොන තරම් අනුහසක් ද කියතොත් දැන් තව්තිසා දිව්‍ය ලෝකයේ වැඩවාසය කරන ධර්මසිරි ගමගේ මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් පල කරන්නත් ඔවුන් සමත් වෙලා තියෙනවා. එතුමන්ගේ දෙව්ලොව විවාහ ජීවිතය ආදිය ගැන පවා විස්තර සඳහන්ලු . ඊට අමතර ව කුමාරතුංග මුනිදාස සූරීන් ඉන්නා ඉසවුවක් පිලිබඳ තොරතුරු ද ඔවුන් අනාවරනය කරන්න සමත් ව ඇති බව ලිපියේ සඳහන් වෙනවා:

“දෙස බස රැස වෙනුවෙන් අගනා සේවයක් කොට අභාවප්‍රාප්ත වූ මුනිදාස කුමාරතුංග ශ්‍රීමතාණෝ මතු බුදුවෙන ආර්ය මෛත්‍රී ලෝක නාථ දෙවියන් යටතේ පවතින දෙස බස රැස සුරකින සුජාත නම් දේවපෙළේ ප්‍රධාන දෙවි ලෙස පහල වී සිටිති.”

වැඩිදුර කියවන්න මේ පිටුවට යන්න. නැත්නම් 13 ඉරිදා ලක්බිම 33 වැනි පිටුව බලන්න. අනුහස් පිරුනු අනුහස පත්තරේ පිටපතක් හොයාගන්න හැකි නම් “ඔරිජිනල්” අනුහස ම විඳින්න තිබුනා.