වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බටහිර මුහුදින් ඉර පෑයූ වග

| Comments

වැරදි හොයන්න මම බොහොම දක්ශයි; විශේශයෙන් අනුන්ගේ වැරදි. මේ බ්ලොග් අඩෙවියේ වැඩියෙන් ම තියෙන්නෙත් නානාප්‍රකාර වැරදි ගැන විවේචන කියලයි මට මේ මොහොතේ කල්පනා වෙන්නේ. රන්ධ්‍ර ගවේශීභාවය ඒ තරම් ප්‍රසන්න දෙයක් නම් නෙමෙයි. ඒත් මේ මට අලුතින් මතක් වුනු වැරදි වර්ගයක්. කිසියම් පොතකින් විස්තර කරන්න අදහස් කරන පරිසරයට, රටතොටට හා සංස්කෘතියට එතරම් සමීපත්වයක් නැති වුනාම ලේඛකයින් අතින් ඇතැම්  විට මේ වගේ වැරදි සිදු වෙනවා. සිංහල භාශාවේ යෙදුම්, නෑදෑකම් වැනි සංස්කෘතික කාරනා ගැන නොදැනුවත්කමින් හටගත් වැරදි කීපයක් ම නිහාල් ද සිල්වාගේ The Road From Elephant Pass නවකතාවේ දකින්න තියෙනවා. නමුත් ඒ කෘතියට ඉංග්‍රීසියෙන් ලියන ශ්‍රී ලාංකික ගත්කරුවන් සඳහා පිරිනැමෙන ග්‍රේශන් ත්‍යාගය ද හිමි වුනා. පසු ව සිංහලයට පරිවර්තනය වුනු මේ කෘතියෙන් අලිමංකඩ නමැති චිත්‍රපටය ද නිර්මානය කෙරුනා. සිංහල පොතේ ඒ වරද නිවැරදි වී ඇති කියලයි මම කල්පනා කරන්නේ. ඒත් ඒ පොත තව ම හොයාගන්න බැරි වුනා.

ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ලෝක ප්‍රකට ලේඛකයකු වන ශ්‍යාම් සෙල්වදුරෙයි ලියූ Cinnamon Gardens නවකතාවේ මීට වඩා ටිකක් ලොකු භූගෝලීය අත්වැරැද්දක් දකින්න ලැබෙනවා. (මා සතු පිටපත - 1998 Penguin Books India edition - ඊට පසු පල කෙරුනු සංස්කරන සමග සසඳන්න නම් ඉඩක් ලැබුනේ නැහැ.)

මේ නවකතාවේ ප්‍රධාන චරිතය වන ඇනාලක්ශ්මී සිය මිතුරිය නැන්සි ද සමග බයිසිකලයෙන් කොලඹ ගාලු මුවදොරට ගොස් නරඹන හිරු උදාවේ අසිරිය පිලිබඳ විචිත්‍ර විස්තරයක් ඉහත මුද්‍රනයේ 9 වැනි පිටුවේ හමු වෙනවා:
“… Already she and Nancy had made numerous expeditions on Miss Lawton’s and Miss Blake’s bicycles whenever Annalukshmi had stayed over at the headmistress’s bunglow. She recalled one in particular now: a Saturday morning she and Nancy got up while it was still dark and ridden to the Galle Face Promenade to watch the sun rise over the sea.They had sat on a bench by the sea wall in continued silence, wrapped in their shawls, the air misty around them, the taste of salt on their lips. It had been a spectacular site, the first silvers of light on the rolling waves like silver coloured sea creatures that surfaced and dipped, surfaced and dipped. Then the splinters of light had turned gold and, as more and more of them appeared, the sea seemed to be alive with golden fish.”
කැනඩාවේ ට්‍රිලියම් සම්මානය සඳහා නිර්දේශ වුනු මේ නවකතාව ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යනාදී තන්හි ජාත්‍යන්තර සමාගම් මගින් ප්‍රකාශයට පත් වූවක්. වෘත්තීය සංස්කාරකවරුන්  හරහා නිසැක ව ම ගමන් කොට පල වූවක් වීමට ඉඩ ඇති මෙවැනි පොතක ඒ සා වරදක් දකින්න ලැබීම මා වැනි වැරදි සොයන්නෙකු තුල “කැත සතුටක්” දනවන්නක් පුදුමයට හේතුවක්.

මෙහෙම සිදුරු තිබුනත් මේ පොත් දෙක ම මා ඉතා ඉහල ආස්වාදයක් විඳිමින් කියැවූ නවකතා බව සඳහන් කල යුතු යි. ඔවුන් දෙදෙනා ම අතිශූර ලේඛකයින් බවට විවාදයක් නෑ. විශේශයෙන් ශ්‍යාම් සෙල්වදුරෙයි බස හසුරුවන විලාසය හරි ම රමනීය යි, ප්‍රබල යි.

මේ ජාතියේ වැරදි හෙවීම හරියට කෑම මේසේ ඇරලා තියෙන වෙලාවට කක්කුස්සි වලවල් හෑරීමට සමාන බව බොහෝ කලකට පෙර මහාචාර්ය සුචරිත ගම්ලත් සඳහන් කෙරුවා. හැබැයි එතුමාත් දැන් නවකතාවක් දුටු සැනෙකින් වියරනය නමැති කක්කුස්සි වල කැනගෙන කැනගෙන යන්නේ හරියට හතර මහා නිධානය පහල වුනා වගේ තමයි.

.