වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ක්‍රියේටිව් කොමන්ස්: කොහෙ තියෙන සංගීතයද්ද ඒ?

| Comments

මීට පෙර ලිපියේ සාකච්ඡා වුන සංගීතය සහ ඡායාරූප කලාව “බල්ලාට යාම” පිලිබඳ ප්‍රශ්නය හා සම්බන්ධ යි.

දුරාතීතයේ පටන් කලා නිර්මාන විතරක් නෙමෙයි සමස්තයක් වසයෙන් පතපොත ලිවීම සම්බන්ධ කටයුතු සියල්ල ම සිදු වුනේ “කොපිරයිට්ස්” හෙවත් “ප්‍රතිරූපන අයිතිය” සහ “බුද්ධිමය දේපොල” පිලිබඳ සම්මුතීන්ගෙන් හා නීතිවලින් සමන්විත ලෝකයක නෙමේ. එවැනි සංකල්ප වර්ධනය වී නීතිගත වී තහවුරු වුනේ ඉතා මෑතක. අදහස්, නිර්මාන නැවත නැවත එහාමෙහා කරමින්, “නයට ගනිමින්”, නැවත නැවත සංකලනය කරන්න තිබුනු නිදහස නිසා ලෝකය වඩාත් සුන්දර තැනක් බවට පත් වුනා. මුලින් කිසියම් තැනැත්තකු අතින් නිර්මානය වුනු කවි පදයක් තවදුරටත් කොටස් එකතු වීමෙන්, තවතවත් ගායනා කිරීමෙන් පසු පිරිපහදු වී ඇතැම් විට ග්‍රන්ථගත වී පරම්පරාවෙන් පරම්පරාවට පැමිනියා. ඇතැම් විටෙක අලුත් කවියක් පබැඳීමේ දී එතෙක් තහවුරු වී තිබුනු සුප්‍රකට වෙනත් නිර්මානයක් වෙත හැරී එයින් ආලෝකයක් ගැනීම සාමාන්‍ය දෙයක් වුනා. කවියට විතරක් නෙමෙයි සංගීතය, චිත්‍රය ඇතුලු සියලු ම කලාවන්ටත් අනෙකුත් ශාස්ත්‍රවලටත් පොදු ලක්ශනයක් මේක.

අද තනි කර්තෘවරුන්ගේ කෘති හැටියට ලිහිල් ව සැලකෙන බොහෝ පැරනි සම්භාව්‍ය සාහිත්‍ය පතපොත එවැනි සංකීර්න ක්‍රියාදාමයක ප්‍රතිඵල බව පේනවා. මේක තමයි අපේ සංස්කෘතිය වර්ධනය වුනු, පෙරට ගමන් කල ක්‍රමය. (අපේ සංස්කෘතිය කිව්වේ මිනිසාගේ සංස්කෘතිය.) ඒ අතර ක්‍රමික ව ගොඩනැඟුනු නිර්මාපකයාගේ පෞරුශය, ප්‍රතිභාව පිලිබඳ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීම, ආත්ම ප්‍රකාශනය පිලිබඳ සංකල්පය යනාදිය මේ සංස්කෘතික උරුමයන් භුක්ති විඳීමේ ක්‍රියාවට තවත් රසවත් මානයන් එකතු කලා. ඉතින් මේක බහුවිධ මුහුනවරින් යුත් සංකීර්න ක්‍රියාවලියක් බව ඇත්ත. ඒ පැති හැකිතාක් සමබර ව අපේ වර්තමාන සංස්කෘතික ජීවිතය තුලට රැගෙන එන්නේ කොහොම ද?

පහුගිය අවුරුද්දේ අග අපේ අභිවාහ්‍ය/ප්‍රසංග කලා සාමූහිකය අලුතින් නිර්මානයකට අතගසා සිටි සමයේ පැන නැඟුනු ප්‍රශ්නයක් වුනේ ඒ සඳහා සංගීතය නිපදවාගන්නේ කෙසේ ද යන්න යි. මේ කන්ඩායම තුල සංගීතය සම්බන්ධයෙන් ඉතා ම හසල දැනුමක් සහ අත්දැකීම් තියෙන අය හිටියත්, අපේ අත පොවන මානයේ ඇතිපදම් සංගීත භාන්ඩ තිබුනත් සාකච්ඡාව ආරම්භ වුනේ බොහොම කම්මැලි තැනකින්: “මගේ ලඟ හොඳ කලෙක්ශන් එකක් තියෙනවා. වැඩේ කරගෙන යද්දී ඒකෙන් අපි තෝරගමු” කෙනෙක් කිව්වා. “ඒවා ඔයා හදපුවද?” මම ඇහුවේ අනවසරයෙන් අනුන්ගේ සංගීත ඛන්ඩ යොදාගැනීම ගැන අකමැත්ත නිසයි. ඒවා ඔහු නිර්මානය කල සංගීත රචනා නෙමේ. අන්තර්ජාලයෙන් බාගත් විවිධ සංගීතඥයන්ට අයිති කෘති. ඒත් මේක අලුත් නිර්මානයක් සඳහා ගත හැකි අර්ථවත් මඟක් නොවන බව මගේ අදහස වුනා. අනිත් අතට අපේ නිර්මානය ජාත්‍යන්තර ප්‍රේක්ශක පර්ශදයක් අබියස පෙන්වන්නත් නියමිත ව තිබුනා. “අපි එක්කෝ අලුතින් සංගීතයක් නිර්මානය කරගත යුතු යි. එහෙමත් නැත්නම් මෙවැනි අවස්ථාවක භාවිතය සඳහා අවසර දී තිබෙන සංගීත ඛන්ඩ සොයාගත යුතු යි. නිකම් කොහේ හරි තියෙන සංගීතයක් අනවසරයෙන් අරගෙන නිර්නාමික ව යොදාගැනීම කියන්නේ ප්‍රසංග කලා නිර්මාන ක්‍රියාවලියේ කොටසක් හැටියට සංගීතයට වැදගත් භූමිකාවක් තියෙන බව අමතක කිරීමක්” මම කිව්වා. “අනික අර පිටරටවල මිනිස්සු මේ සංගීතය වෙන තැන්වල අහල තිබුනොත් අපිට හිනාවෙයි, පෆෝමන්ස් කියල අනුන්ගෙ සංගීතය කිසිම අගක් මුලක් අවසරයක් නැතුව දාල නටනව කියල.”

“කලින් අවසර දීපුවා? එහෙම ඒවා තියෙනවද?” ප්‍රශ්නයක් පැන නැඟුනා.

“ඇයි? ක්‍රියේටිව් කොමන්ස් බලපත්‍ර යටතේ පල කරපු සංගීත ඛන්ඩ ඕන තරම් තියෙනවනෙ? ඒවා එක එක විදිහේ භාවිතයන්ට කල් තියා අවසරය ලියා දෙමින් පල කරපුවා.”

ඒත් ඒ ගැන ඒ වන විට කිසි කෙනෙක් හරිහැටි දැනගෙන හිටි බවක් පෙනුනෙ නෑ. ක්‍රියේටිව් කොමන්ස් කියන නම අහලා තිබුනු අයත් හිටියේ ඒ ගැන සැකයෙන්: “ඒත් ඒවගේ හොඳ මියුසික් නෑ නේද? කවුරුවත් එහෙම නිකන් සංගීතය ප්‍රසිද්ද කරාවි ද? නියම ප්‍රොෆෙශනල්ස්ලා එහෙම නිකං මියුසික් රිලීස් කරන්නෙ නෑ.” එක්කෙනෙක්ගෙන් “වැදගත්” ස්වරයේ පැහැදිලි කිරීමක්. වාදය දිගට ඇදිලා ගියා.

“ඒ වුනාට මේ වගේ වැඩවලට ඔහොම ඒව අරන් බෑ. ගොඩක් සංකීර්න විදිහට ලේයර්ස් ඇතිව හදපු කම්පොසිශන් ගන්න ඕන.” තවත් බරපතල තර්කයක්. “මේව නිකන් ටියුන් එකක් දාගෙන කරාම වැඩක් නෑ නෙ? අපට ඕන හොඳ බරපතල මියුසික්!”

“පුලුවන් නම් මේකට සංගීතයක් හොයල දෙන්න බලන්න, ඔය කියන ක්‍රියේටිව් කොමන්ස් මියුසික් වලින්”…. ඔන්න අභියෝගයක්.

මට ඒ අභියෝගයට හරියන විදිහට ප්‍රතිචාරයක් දෙන්න බැරි වුනා. මොකද මම කලින් ඒ ගැන හිතලා තිබුනෙ නැති නිසා: මා සතු ව කලින් බාගෙන විධිමත් ව සංවිධානය කරගත් ක්‍රියේටිව් කොමන්ස් සංගීත එකතුවක් තිබුනෙත් නෑ, අන්තර්ජාලයේ එවැනි වෙබ් අඩෙවිවල තියෙන සංගීතය ප්‍රමානවත් තරමින් මං අහලා තිබුනෙත් නෑ. ඒ නිසා දවසින් දෙනෙක් මේවා සොයාදෙන්න හැකියාවක් මට තිබුනේ නෑ. ඒ විතරක් නෙමෙයි ක්‍රියේටිව් කොමන්ස් යනු කුමක් ද, එහි පලප්‍රයෝජන මොනවා ද යන්න පවා අර්ථවත් අන්දමින් පැහැදිලි කරන්න මට බැරි වුනා. ක්‍රියේටිව් කොමන්ස් බලපත් සහිත ව හොඳ සංගීත නිර්මාන තියෙන්න බැරි ය යන අදහස අපේ අවකාශය තුල තාවකාලික ව ජයගත්තා. ඒත් - වාසනාවකට - අනුන්ගේ සංගීත ඛන්ඩ අනවසරයෙන් යොදාගනු වෙනුවට අපේ ම සංගීතය නිපදවන්න හැමෝම එකඟත්වයකට ආවා. එයින් නිර්මානයට බෙහෙවින් අර්ථවත් හා රසවත් අංශයක් එකතු වූ බව පසුව පෙනීගියා.

එයින් තවත් කාලයකට පස්සේ මිතුරන් දෙදෙනෙක් එක් ව නිර්මානය කල වාර්තා චිත්‍රපටියකට සංගීතය සැපයීමේ දී මේ හා සමාන ප්‍රශ්නයක් පැන නැංගා. ඒ වැඩේට සංගීතඥයෙක් හිටියෙ නෑ. මේ මිතුරන් දෙන්නා ඒ වන විට ක්‍රියේටිව් කොමන්ස් බලපත් ගැනත් ඒ යටතේ බෙදා හරින සංගීතය ගැනත් ප්‍රමානවත් අන්දමින් දැනුවත් ව හිටියත් ඒවා කල් තබා සොයාගෙන නොතිබීම නිසා ප්‍රශ්නයකට මුහුන දුන්නා. ඔවුන් සතු ව ඕනෑ තරම් සංගීත තැටි තියෙනවා. ඒත් ඒ සියල්ල සියලු හිමිකම් ඇවුරුනු ලේබල යටතේ නිකුත් කරපු වානිජ නිශ්පාදන. මීට පෙර ඔවුන් කල නිර්මාන සඳහා දෙවරක් නොසිතා එවැනි හිමිකරු ඇවුරුනු සංගීත රචනා යොදාගන්න ඔවුන් පෙලඹිලා තිබුනා. ඒත් ඒවා පුලුල් ප්‍රේක්ශක පර්ශදයක් වෙත ගෙන යාමට ඒක බාධකයක්. අඩු තරමේ යූටියුබ් මත පවා එම කෘති පල කරන්න හැකියාවක් නැහැ. මේ වන විට ක්‍රියේටිව් කොමන්ස් භාවිතය ගැන ප්‍රමානවත් කතාබහක් අපේ මිත්‍ර සමාගම් තුල සිදු වී තිබුනු නිසා උත්සුකය තිබුනේ එවැනි නිදහස් සංගීතයක් සොයාගන්න යි. මම ඉක්මනින් මේ සබැඳි දෙක ඔවුන්ට ඊමේල් කලා:

Music communities
http://creativecommons.org/music-communities

Legal music for videos
http://creativecommons.org/legalmusicforvideos


අවසානයේ Jamendo අඩෙවියෙන් වැඩේට සරිලන සංගීත ඛන්ඩ හොයාගන්න පුලුවන් වුනු බව දැනගන්න ලැබුනා. ඒ වුනත් අදාල බලපතට අවනත ව නිර්මාපකයාගේ විස්තර සඳහන් කල යුතු බව මගේ මිතුරන් දෙපල දැනගෙන හිටියේ නෑ. මේ නිර්මාන නිකම්ම රැගෙන සිය කෘතිය තුලට බහා ලිය හැකි බවට පූර්ව නිගමනයක මගේ මිතුරන් හිටිය බව පෙනී ගියා. චිත්‍රපටියේ නාමාවලියේ අදාල බලපත්‍රය පිලිබඳ වත් සංගීතඥයා පිලිබඳවත් සඳහන් කල යුතු අන්දම ඔවුන් පරීක්ශා කර තිබුනේ නෑ.

ඉතින් මේ කතාබහ මැද ක්‍රියේටිව් කොමන්ස් සම්බන්ධ ප්‍රශ්නය ගැන පිලිවෙලකට සටහනක් තියන්න අවශ්‍ය බව එදා මට කල්පනා වුනා. ඒ වගේ ම මේ සටහන් උපයෝගී කරගනිමින් ක්‍රියේටිව් කොමන්ස් සරල ව හඳුන්වා දෙන වීඩියෝ කීපයක් සිංහල බසින් නිපදවන්න අදහසක් ද පහල වුනා. ඒක ඉශ්ට කරගන්න ඉඩක් ලැබුනේ දැන්. මේ ලියැවෙන සටහන් බොහොම අවිධිමත්: අර වචන 750 ලිවිල්ල ඇතුලට හලන “brain dumps” කියලා කියන්න පුලුවන්. ඒත් ඒවා යොදාගෙන වඩා පිලිවෙලකින් යුත් සටහනක් හදාගන්නත්, එයින් වීඩියෝව සඳහා පිටපතක් නිර්මානය කරගන්නත් මම අදහස් කරනවා. දැනට වෙනත් රටවල භාවිත වන වීඩියෝවක් පරිවර්තනය නොකර මෙහෙම කරන්න අදහස් කලේ සිංහල බසින් වැඩ කරන අයට සමීප නිදසුන් ආදිය සමග වඩා අර්ථවත් විදියට මේක මුසු කරන්න ඕනෑ නිසා. එවැනි මූලාශ්‍ර තිබුනොත් අවශ්‍ය වෙලාවට දැනුවත් කිරීම සඳහා ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

  • ප්‍රතිරූපන අයිතිය යනු කුමක් ද?
  • ක්‍රියේටිව් කොමන්ස් යනු කුමක් ද?
  • ඉහත දෙක අතර වෙනස්කම් මොනවා ද?
  • දැනට තිබෙන ක්‍රියේටිව් කොමන්ස් බලපත් මොනවා ද?
  • මේ හා සමාන වෙනත් බලපත්‍ර තිබේ ද?
  • ඒවායේ ප්‍රයෝජන මොනවා ද? 
  • එවැනි බලපත් භාවිත කිරීමේ දී අනුගමනය කල යුතු පියවර
  • ඒ ඒ බලපත් අපට අර්ථවත් ආකාරයෙන් යොදාගත හැකි තැන් මොනවා ද?
  • ක්‍රියේටිව් කොමන්ස් බලපත් යටතේ නිකුත් කල කෘති පහසුවෙන් සොයාගත හැකි ස්ථාන මොනවා ද?

මේ වගේ පැති එහි දී සාකච්ඡා කිරීම උචිත බව හිතෙනවා.

වචන හත්සිය පනහේ ලිවිල්ල: 750 Words

| Comments

දිනපතා ලිවීම, පරිවර්තනය හා සංස්කරන කටයුතුවල යෙදෙන්න වීම ඇතැම් විට බොහෝ ම වෙහෙසකර කාර්යයක්; විශේශයෙන් මුද්‍රනය සහ වෙනත් මාධ්‍ය සඳහා ලියවිලි සකස් කිරීම. ඒ වගේ තත්වයක් තුල තමුන්ගේ ලිවීමේ පදම තියාගැනීම වගේ ම ලිවීමේ සතුට තියාගන්න එකත් අභියෝගයක්.

Writing Challenge by Gene Wilburn (cc by-nd-sa)
අනිත් අතට අදහස් සංවිධානය කරගන්න, වැඩ ගැන ශබ්ද නඟා හිතන්න අවශ්‍ය වෙනවා. මේ වගේ වැඩවලට හැම අතින්ම ප්‍රයෝජනවත් උපකරනයක් තමයි මේ 750words.com වෙබ් අඩෙවිය. මම දිනපතා පිටු තුනක් (වචන 750ක්) අනිවාර්යයෙන් ඒ මත ලියනවා. ඒ හැම එකක් ම පල කරන්න සුදුසු දේ නෙමෙයි. සමහර වෙලාවට හුදු දින සටහනක්; පුද්ගලික ලිපියක්; ආවර්ජනයක්. තවත් සමහර වෙලාවට පරිවර්තනයක්, ලිපියක් හෝ පොතක පිටු කීපයක් වුනත් ඒ මත ලියවෙනවා. දවසේ කල යුතු වැඩ ආදිය ගැන අදහස් ගොනු කරගන්නත් ඒක උදව් වෙනවා. සමහර වෙලාවට 750words යන ලේබලය ඇතුව මේ බ්ලොග් අඩෙවියේ පල වෙන්නේ ඒ විදියට ලියූ දේවල් තමයි.

ගිනුමක් හදාගැනීම සරල යි. හදාගත් පසු අපේ ලිවීම සඳහා ඒ වගේ ම සරල කවුලුවක් ලැබෙනවා. සිංහලෙන්, ඉංග්‍රීසියෙන් (ඕනෑ ම බසකින්) ලියන්න පුලුවන්. වචන ගනනය ඉබේ සිදු වෙන අතර වචන සංඛ්‍යාව 750 පසු කල විට අපට දැනුම් දීමක් කෙරෙනවා. කැමති නම් ඊට වඩා ලියන්න පුලුවන්, ඒකට බාධාවක් නෑ. ඒත් දිනපොතක් වගේ අපට ලැබෙන්නේ එක දවසකට එක ලේඛනයක් හඳහා ඉඩ තමයි. මම නම් මේකේ ප්‍රයෝජනය ගන්නේ සංස්කරනය, හොඳ නරක, කැත ලස්සන ගැන නොහිතා එක දිගට - එක හුස්මට ලිවීමේ අවස්ථාවක් ගැනීමෙන්. අතපසු වෙමින් කල් යන වැඩ “පරිසමාප්ත බව” ගැන “නිමාව” ගැන වද නො වී පලමු කොට අවසන් කරන්න අවශ්‍ය උත්තේජනය මේකෙන් ලැබෙනවා.

දිනපතා ලිවීමේ වේලාවක් සකසාගෙන ඒ වෙලාව සිහිපත් කිරීමට ඊමේලයක් ලැබෙන පරිදි අපේ ගිනුම සීරුමාරු කරගන්න පුලුවන්. ඒ වගේ ම ලියන්න ගත වුනු වේලාව, ලිවීමේ රටා, ඉංග්‍රීසියෙන් නම් වචන පාදක කරගෙන මනෝගතිය පිලිබඳ තක්සේරුවක් ආදියත් පෙන්නුම් කරන්න පහසුකම් එතන තියෙනවා. වඩාත් සිත්ගන්නා දේ තමයි එක දිගට නොකඩවා ලියන අයට ලැබෙන “නම්බු නාම” :) සෑම මසක ම ”one month challenge එකකුත්” පැවැත්වෙනවා. ඊට සහභාගී වෙන අය අනිවාර්යයෙන් දිනපතා ලිවිය යුතු යි. දින දහයක් පහලොවක් එක දිගට ලියාගන්න පුලුවන් වුනොත් මේක ඇබ්බැහියක් බවට පත් වෙනවා!

බොහෝ ම ප්‍රයෝජනවත් දෙයක්.

උසස් කුල කලා සමග හීන කුල ශිල්ප

| Comments

මම: හලෝ! ඉතිං ඉතිං? කොහොමද? ඔයාගෙ අලුත් කවිය මම දැක්ක. ඒක හරිම බලවත්. අර අර … … …. කොටසට මම හරි ආසයි. මම නිතර ම ඒව කියවනව.

කවියා: ආහ්, කියෙව්වද ඒක? තෑන්ක් යූ! (සතුටින් ඉල්පෙයි) කොච්චර දෙයක්ද ඒව කියවන කෙනෙක් හම්බු වෙන එක. සමහරු කියෙව්වත් මොකුත් කියන්නෙවත් නෑනෙ. අනික් ඒව දෙකතුනක් ම රාවයෙත් ගියා.

මම: ඔයාගෙ ෆොටෝග්‍රැෆි මෙච්චර දියුනුයි කියල මම දැනගෙන හිටියෙ නෑ නෙ.

කවියා: ඈහ්? පොටෝ? මං? කොහෙදිද දැක්කෙ?

මම: ඇයි කවිත් එක්ක පල වෙන ඒව? ඔයාගෙ නෙමෙයි ද?

කවියා: මොන? අර සයිට් එකේ ද? (සිනා සෙයි) ඒව මගේ වෙන්නෙ කොහොමද? ඒව එයාල දාන ඒව නේ? මං ගත්තුවට තියෙන්නෙ ඉතින් ලෝකාන්තෙ යනකොට ගත්තු පොටෝ ටික තමයි. ඒවයිනුත් මම ගත්තු ඒව මොනවද වයිෆ් ගත්තු ඒව මොනවද කියල වෙන් කරගන්න බෑ. අන්න සේරම එක ගොඩේ ගෙදර ඇල්බම් එකේ තියෙනව.

මම: ඔහ්. එහෙම ද? එතකොට ඒව පත්තරෙත් ගියා නේද? ඔයාගෙ නම විතරක් තියෙන නිසා මම හිතුවෙ ඔයා ම ගත්ත ඒව කියල!

කවියා: (මගේ නොදැනුවත්කම ගැන උපහාසයෙන්) ඒවා ඉතින් ඉන්ටනෙට් එකෙන් එහෙන් මෙහෙන් අරගෙන උන් දාන ඒව නේ. ඒව ගහපු උන් කවුද කියල හොයන්නෙ කොහොම ද? නිකන් ෆොටෝ නේ…

මම: ඉතින් මුලින් එකක් දෙකක් ඔහොම දානකොට ඔයා කිව්වෙ නැද්ද එහෙම කරන්න එපා කියල?

කවියා: (මගේ ප්‍රශ්නය නොතේරී - මූ අහවල් මගුලක් කතා කරනවද මන්දා කියන්නාක් මෙන් - බලා සිටී)

ලංකාවේ ප්‍රකට තරුන කවියකු සහ මා අතර මෑත දිනයක හුවමාරු වුනු දෙබසක්.
වර්තමානයේ සක්‍රීය ව පවතින බොහෝ කලා ප්‍රභේද අතර ඉන්තේරුවෙන් ම බල්ලාට ගිය කලාවන් දෙකක් තියෙනවා: ඡායාරූප කලාව සහ සංගීතය. මම මෙහෙම කියන්නෙ කාරනා කීපයක් හින්දයි. ඡායාරූපයත් සංගීතයත් කිසිම ගරුසරුවක් නැතුව අපයෝජනයේ යොදන්න ඉදිරිපත් වෙලා ඉන්නේ අවශේශ කලා මාධ්‍යයන්ගේ නිරත වෙලා ඉන්න කලාකාරයෝ ම යි. කවියකට හරි ලිපියකට-කතාවකට හරි සන්නිදර්ශනයක් ඕනෑ කල විට කෙලින් ම අතට අහු වෙන තැනකින් (අද නම් බොහෝ විට අන්තර්ජාලයෙන්) ඩැහැගන්නා සේයාරුවක් ඒ සඳහා යොදාගන්නවා. නැටුමකට, “විවිධ ප්‍රසංගයකට” විතරක් නෙමෙයි වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපටි සඳහා පවා සංගීතය “නිපදවා”ගන්නෙත් මේ විදිහට තමයි. සංගීතය රචනා කිරීම අදාල නිර්මාන ව්‍යායාමයේ කොටසක් හැටියට ගන්නේ නෑ.

මේ ආකාරයේ අපයෝජනයට ලක් වෙන සේයාරුවක් හෝ සංගීත ඛන්ඩයක් මුලින් නිර්මානය කෙරුනේ කා විසින්, කවර අරමුනකින් ද කවර ප්‍රයෝජනයක් උදෙසා ද යන්න නොතකන මේ “කලා නිර්මානකරුවන්” හුදෙක් වේල පිරිමසාගන්න ඒ විදිහේ වැඩ කලත් ඒවාට යන්න පුලුවන් දුර සීමිත යි. යූටියුබ් වැනි අඩෙවියක දී බොහෝ විට සංගීතය අනවසරයෙන් උපුටාගැනීම නිසා එවැනි වීඩියෝ ඉවත් කෙරෙනු දකින්න පුලුවන්. ඒ වගේ තැන්වල නම් වැඩකටයුතු තීන්දු වෙන්නේ සංගීතයේ අයිතිය ලියා පවරාගත් මහා සමාගම්වල අවශ්‍යතා අනුව. සොරාගත් සංගීතය සහිත ව “බිහි කල” නාට්‍යයට හෝ චිත්‍රපටියට මේ දූපත තුල, පාසැල තුල, විශ්ව විද්‍යාලය තුල කිසියම් ආකාරයකට ප්‍රශ්නයකින් තොර ව පවතින්න පුලුවන් වුනත් එයින් පිටත කිසිදු අවකාශයක තිරගතකිරීමක්, වේදිකාගත කිරීමක් යෙදුනොත් එතන දී ඔය ප්‍රශ්නය ආයෙත් මතු වෙන්න ඉඩ තියෙනවා. රටින් පිටතට ගිය විට නම් එය ගෞරවය පිලිබඳ කාරනයක් බවටත් පත් වෙනවා. එනිසා බොහෝ ම සුලු පිරිසක් අතර විතරයි ඒ විදියට හොරකම් කරපු සංගීතයක් යොදාගත් නිර්මානයකට පවතින්න ලැබෙන්නේ.

සමහරු ඉතා ම ලාමක ආකාරයට වෙබ් අඩෙවිවල නිවේදන නිකුත් කරනවා අපට කොපි රයිට්ස් නැත! අවශ්‍ය තැනක පැල කරගන්න - බෙදාගන්න - ඇබ්බැහි වෙන්න ආදී දේ කියමින්; ඇත්තට ම ගොඩාක් ලාමක යි. මොකද මේ උදවිය තමන් ම නිපදවූ දේවල් ගැන කියන කතාවක් නෙමේ මේක. මේ නිවේදනය කරන්නේ අන්‍යයන්ගේ කෘති නානා ප්‍රකාර සන්දර්භවලින් උදුරාගෙන නැවත පල කිරීමක යෙදෙන ගමන්. මුලින් ම අනුන්ගේ කවියක් පුවත් පතකින් හමගසාගන්නා මොවුන් අන්තර්ජාලයේ තවත් තැනකින් උස්සාගත් සේයාරුවක් සමග එය මාට්ටු කරනවා. ඊට පස්සෙ “කලාව” උපදිනවා.

අනිත් අතට පත්තර වැඩ කරන්නෙත් ඒ ක්‍රමයට ම තමයි. මේක තුල තියෙන වෙලඳපොල තර්කනය ගැන නෙමෙයි මම කතා කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේ කන්නාඩි තුලින් විතරක් ලෝකය දැක පුරුදු අය මේ කාරනය ඒ සීමාවෙන් එහාට නොපෙනී මා සමග උරන වෙන්න ඉඩ තියෙනවා. අනිත් අතට අන්තර්ජාලය සහ ඩිජිටල් ප්‍රකාශන මාධ්‍ය විසින් විවර කර දී තිබෙන යලි සම්මිශ්‍රනය කිරීමේ හා ප්‍රතිසංවිධානය කිරීමේ සංස්කෘතියට එරෙහි ප්‍රකාශයක් හැටියටත් මේ කතාව කෙනෙකුට දැනෙන්න ඉඩ තියෙනවා. මොහොතක් ඉන්න! මේක ඒ වගේ කතාවක් නෙමෙයි: “සියලු හිමිකම් ඇවිරිනි. අනවසරයෙන් භාවිතය තහනම්” වර්ගයේ තර්කයක් නෙමෙයි මේක. ඒ වෙලඳපොල කාරනය (දැනට) සාකච්ඡාවෙන් අයින් කරමු. මේ උදුරා පැහැරගෙන පල කරන සේයාරූවල, සංගීත ඛන්ඩවල නිර්මාපකයින් කෝ? හොරකම් කෙරුනු සේයාරුව බෙදාගෙන ඇබ්බැහි වෙන්න පල කරන කවියාගේ ම නිර්මානයක් බවට අපි එකඟ වෙන්න ඕනෑ ද? ඒ සේයාරුවේ නිර්මාපකයාගේ නම සඳහන් කිරීමේ සංස්කෘතියක් වර්ධනය කරගන්න උත්සාහයක් දැරීමෙන් නරකක් වෙන්නේ නැහැ නේද? මම හිතන්නේ ඒ වගේ මූලාශ්‍රවලට නිසි ඇගැයුමක් දීමෙන් අදාල ප්‍රකාශනය (පත්තරය, රූපවාහිනිය, සඟරාව, වෙබ් අඩෙවිය) වඩාත් සරුසාර වෙන බව යි.

කවිය, කෙටිකතාව වැනි මාධ්‍ය වෙනුවෙන් චිත්‍රය හා සේයාරුව කැප කරන මේ “කලාවට” ශ්‍රී ලංකාව තුල (සහ මීට සමාන තවත් ඇතැම් රටවල) බලපවත්වන සුවිශේශී සාධකත් උත්තේජනය සපයන බව කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. වචනය සමග කටයුතු කරන උසස් කුලයේ කලා සහ සිත්තර කලාව වැනි “හීන කුල” කලා අතර පවතින්නේ පන්තිමය පරතරයක්. මෙයින් දෙවැන්න තුල “බුද්ධිමය” ශ්‍රමය ගැබ් ව නැත යන අදහස කාලාන්තරයක් තිස්සේ ජීර්නය වී පුරුදු පුහුනු වී පැලපදියම් කරගෙන තියෙන දෙයක්. මේක ම ඡායාරූපය සම්බන්ධයෙනුත් ඉතා අහේතුක ව බලපවත්වන බව පේනවා. එනිසා කවියා යනුවෙන් කෙනෙක් හිටියත් ඡායාරූප කලාකරුවා වසයෙන් කෙනෙක් නෑ. අදත් ඉන්නේ ඡායාරූප ශිල්පියෙක්! හරියට කම්මල්කාරයෙක් වගේ. අකුර තුල බුද්ධිය, දැනුම සහ ප්‍රඥාව ගැබ් වන අතර ඊට අලංකරනයක් සැපයීමට පමනක් සමත් රූපය තුල බුද්ධිය, දැනුම සහ ප්‍රඥාව ගැබ් ව නැහැ! මේක තමයි අප්‍රකාශිත සංස්කෘතික සම්මුතිය.

මේක සසඳන්න පුලුවන් ඡායාරූප “ශිල්පියෙක්” කවියක් රැගෙන සේයාරුව තුල බහාලන අවස්ථාවක් සමග. එවිට කවියාගේ නම සඳහන් නොවුනොත් මොන තරම් කලබගෑනියක් හටගන්නවද? ඇත්තට ම කවියාගේ නම මැකෙන අවස්ථා දකින්න ලැබෙන්නේත් ඉතා කලාතුරකින්. කවුරුත් “දන්නවා” කවියා තමයි වැදගත් කියලා. ඒ නිසා නම මගහැරෙන්නේ නෑ; මගහරින්නෙත් නෑ.


මතු සම්බන්ධයි

ප්ලීස් චෙක් මයි බ්ලොග්!

| Comments

මා ප්‍රිය කරන පැරනි බ්ලොග්කරුවෝ සහ බ්ලොග්කාරියෝ නිහඬ ව ම හුඹස්වලින් එලියට ඇදෙනවා. ගරු මන්ත්‍රීතුමන්ලා අපට සිහිගන්වන්නේත් බ්ලොග් අඩෙවිවල කියැවූ කතා තමයි. එවැන් උතුමන් කෙලිදෙලෙන් පසු වුනත් පූසෝ තව ම නිදි. ඉර පායයි. සඳ බබලයි. කුරුල්ලෝ කැදලි කරා පියාඹති. සම්මතයෙන් ඔබ්බට ගිය ඇතැම් විටෙක දේවල් වඩාත් රසවත්. “Paradoxically though it may seem, it is none the less true that life imitates art far more than art imitates life.” ඔස්කාර් වයිල්ඩ් කියනවා. ඒ අතර ෆේස්බුක් පරපුර වසයෙන් හඳුන්වන්න මම කැමති පරපුරේ මිතුරු මිතුරියන් වක්කඩ කැඩුවා වගේ සිංහල බ්ලොග් අවකාශයට එන්න පටන් අරන්. ඉතින් මට යුතුකමක් තියෙනවා “බ්ලොග් අවකාශය පුලුල් වීම ගැන” ප්‍රීතිය පල කරන්න; මගේ “මුනිවරභාවය” විදහා පාමින් අලුතින් එන අයගේ හිස පිරිමැද ආශිර්වාද කරන්න; ප්‍රතිචාර දාන්න; ඔවදන් දෙන්න; ඔරලෝසුවක්, රේඩියෝවක්, වතුර හීටරයක් ඇතුලු ප්‍රයෝජනවත් ගැජට් කීපයක් බ්ලොග් අඩවියට “ඇඩ් කරගන්නා අයුරු” කියා දී “බේබි සිටිං” කරන්න (එවැනි ඔවදන් සඳහා ලිපියේ අග බලන්න). ඒත් මේ අලුත් පිරිසගේ ක්‍රියාකාරීත්වය සහ අභිලාශ මෙතෙක් දුටු බ්ලොග්කරුවන්ට වඩා තරමක් විශේශ යි. බ්ලොග් අඩවිය, ෆේස්බුක්, ගූගල් ප්ලස්, ඊමේල්, එස්එම්එස්, ස්කයිපය, ට්විටරය, ගූගල් හැඟවුට්, දුරකථනය යන සියල්ල එකට අනා සම්බෝල කෙරුනු සමාජ ජාල අවකාශයකට මා පැහැරගෙන යන්න මේ බ්ලොග්කරුවෝ තැත් කරනවා. මට විල්බර් උන්නැහේගේ ගීතය සිහි වෙනවා:



ගීය අලුතින් ලියන්න වෙන හැඩයි. සමහරු දිනපතා ඊමේල්වලින් Please check my blog කියනවා. ඒවා යවන්නෙත් සියලු දෙනාගේ ඊමේල් ලිපින සියලු දෙනාට ම පෙනෙන ක්‍රමයට යි (අනාදිමත් කාලයකට පෙර සමහරු මේකට ස්පෑම් කියලත් කිව්වා). තවත් අය බ්ලොග් එකේ යමක් පල කරපු සැනින් එස්එම්එස් මගින් එය නිවේදනය කරන අතර ඊටත් වඩා උද්‍යෝගය ඇවිලී ගිය විට දුරකථන ඇමතුමක් ගෙන අනෙකා ලිපිය කියවමින් සිටින බව සජීවී ව තහවුරු කරගන්නවා. මේක නිතර අන්තර්ජාලයේ රැඳී නොසිටින මා වැනි අය අල්ලාගැනීමට උචිත ක්‍රමයක්. තවත් අය අමනාප වෙන්නේ සිය බ්ලොග් අඩෙවියට ෆේස්බුක් “ලයික්” පාරක් දැමීමට මා අපොහොසත් වීම නිසයි. එම අඩෙවියේ ලිපි ගැන බරසාරතම සාකච්ඡා සිදු වන්නේ ෆේස්බුක් තුල ලු. එතකොට ම ෆේස්බුක් වෙනුවට ගූගල් කනෙක්ට් විජට්ටුවේ එල්ලී ගන්නා මෙන් තව පැත්තකින් නිර්දේශයක් ලැබෙනවා. ගූගල් ප්ලස් හි සිට සියලු බ්ලොග් ලිපි මගේ ඊමේලය තුලට විදින තවත් කෙනෙක් “+1” එකක් දමා පෝස්ට් එක නග්ගා දෙන මෙන් ඉල්ලනවා. මේ අතර අලුතින් ස්ටැට් කවුන්ටර ගැන ඉගෙන ගත් අයෙක් මගේ මෙහෙයුම් පද්ධතිය, තිරයේ දිග පලල සහ බ්‍රවුසරය ආදිය ගැන දුරකථනයෙන් විමසනවා. ඔයා අද මගේ බ්ලොග් එකට ආවා නේද අනේ කියා අහන්න දුරකථන ඇමතුම් දෙන අයත් ඉන්නවා. මේ සියල්ල මා ඔවුන්ගේ බ්ලොග් අඩෙවිය කියවන - නොකියවන බව සනාථ කරන සාක්ශි. බොරු නෙමෙයි, මගේ බ්ලොග් එක පල්ලා මේ සේරම ඇත්ත! ඔය සියල්ලට අමතර විශේශ කොට්ඨාසයක් වන්නේ යමක් ලියා පල කිරීමටත් ප්‍රථම අදහස් විමසන අය!

“සාමාන්‍යයෙන්” බ්ලොග් කියවන බොහෝ දෙනාට මේ වගේ සිහිගැන්වීම් අවශ්‍ය නෑ කියලයි මම හිතාගෙන හිටියෙ. බ්ලොග් අඩෙවියක් තම කියවනයට ඇතුලත් කරගත් විට එහි අලුතින් යමක් පල වූ බව නිරායාසයෙන් දැකගන්න ලැබෙනවා. (ලංකාවේ නම් තවත් මත් සැලකිය යුතු පිරිසක් ප්‍රසිද්ධියේ තියෙන “බ්ලොග් කියවන”, “සින්ඩිකේටර”, “සින්ඩි”, “කින්ඩි” යනාදී නම්වලින් හැඳින්වෙන වෙබ් අඩෙවි පරිශීලනය කරනවා. ඒ නිසා ඔවුනට කියවිය යුතු දේ තීරනය කර දෙන්නේ අතරමැද පිරිසක්) සෑම බ්ලොග් සේවාවක් ම RSS සහ atom වැනි පෝශක (feeds) නිකුත් කරන නිසා දුර සිට පුවත් කියවනයක් මගින් අවශ්‍ය ඕනෑ ම වෙබ් අඩෙවියක් ගැන විපරමින් ඉන්න පුලුවන්. ඉස්සර මම bloglines පාවිච්චි කලා, පස්සේ google reader වෙතට මාරු වුනත් මගේ කියවීම් ලැයිස්තුව එක එක මුදලාලිලාට පෙන්නන්නේ අහවල් දේකට ද කියා හිතුනු පසු liferea ස්ථාපනය කරගත්තා. මට කියැවීමට අවශ්‍ය පුවත්, බ්ලොග් සහ වෙනත් නානාප්‍රකාර අඩෙවි සේරම වර්ග කොට ඊට එකතු කරගත් විට දේවල් බොහොම පහසු යි, සරල යි. කාලය - ශ්‍රමය ඉතිරි වෙනවා.

(පෝශක ගැන කියද්දී පොඩි නිවේදනයකුත් කරන්න තියෙනවා. ඉදිරියේ දී මෙහි පල වෙන ලිපි ප්‍රමානය ඉහල යන නිසාත්, අලුත් ලිපිනයකට මෙය ගෙනියන්න අදහසක් තියෙන නිසාත් වෙනස් ක්‍රමයකට ෆීඩ් පොදි බැඳ නිකුත් කරන්න මම තීරනය කලා. මුලින් ම කවදත් තිබුනු සුපුරුදු ප්‍රධාන ෆීඩ් එක: http://feeds.feedburner.com/wa මේක තමයි අර දකුනු පැත්තේ උඩ තැඹිලි පාට අයිකනයත් එක්ක “Subscribe in a reader” කියන තැන තියෙන්නේ. සිංහල ඉංග්‍රීසි දිග කොට භේදයක් නැතුව සියලු ලිපි හා සටහන් කියවන්න එයින් පුලුවන්. ඊට පස්සේ සිංහල ලිපි පමනක් ගලන ෆීඩ් එක: http://feeds.feedburner.com/wa/sinhala ඉංග්‍රීසි ලිපි පමනක් කියවන්න අවශ්‍ය නම් මේක: http://feeds.feedburner.com/wa/english ඔය ගැන විස්තර More subscription methods පිටුවෙත් දුර සිට කියවන තවත් ක්‍රම පිටුවෙත් තියෙනවා.)

“ලොව පෙරලෙයි - ලෙවි පෙරලෙයි” කිව්වා වගේ බ්ලොග් අඩෙවි පරිශීලනය කරන ආකාරය ඊනියා සමාජ මාධ්‍ය අවකාසය විසින් විපරීත කරනු ලැබ තිබෙනවා. සෑම බ්ලොග් අඩෙවියක ම නවඅනූවක් විජට්ටු අසූහාරදාහක් බොත්තම් එල්ලා තියෙන්නේ ඒවා මිරිකමින්  මේ සමාජ සම්බෝලය තැනීමට දායක වන ලෙස ආරාධනය කරමින්. සමාජ සම්බෝලයේ නැඟීමට සමාන්තර ව ලිවීම වෙනුවට “අන්තර්ගතය නිපදවීම” නමැති අදහස කරලියට ආ අතර දැන් එය “අන්තර්ගතය අභිරක්ශනය” (content curation) දක්වා පරිනාමය වෙලා. ඊට ම සරිලන Tumblr වැනි අඩෙවිත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ම යමින් ඉන්නවා. දැන් ජනප්‍රිය වී බලවත් වී තිබෙන තවත් අදහසක් වන්නේ බ්ලොග් අඩෙවියකින් “ප්‍රයෝජනවත් යමක්” ඉදිරිපත් කල යුතු බව; “කියවන අයට යමක්” දිය යුතු බව. මට නම් හිතෙන්නේ දැනට මත් ඕනෑවාටත් වඩා “ප්‍රයෝජනවත් තොරතුරු” ඉතිරී පිටාර ගලමින් තියෙන බව යි. ආයෙත් ඔස්කාර් වයිල්ඩ් මීට බොහෝ කලකට පෙර කියූ දෙයක් කල්පනා වෙනවා:
“It is a very sad thing that nowadays there is so little useless information.”
මෑත දී කෙරුනු අධ්‍යයනයකින් අනාවරනය වුනේ සාහිත්‍යකරුවන් වඩවඩාත් අතීත සම්ප්‍රදායන්ගේ නො ව තමන්ගේ ම සමකාලීනයින්ගේ බලපෑමට/ආභාසයට පාත්‍ර වෙමින් සිටින වග යි. “සාහිත්‍යයට” වගේ ම ජීවිතයේ අනිත් අංශවලටත් ඔය කී කතාව සාධාරන බව මතුපිටින් නිරීක්ශනය කරද්දී හිතෙනවා. සමාජ මාධ්‍ය අවකාශයේ පීඩනය නිසා වඩවඩාත් ඒකාකාරී එමෙන් ම අනුකාරක ස්වරූපයේ භාශා විලාස මෙන් ම, අන්තර්ගතයත් බ්ලොග් අවකාශය තුල පැනනඟිනු දකින්න පුලුවන්. මම හිතන්නෙ “ප්‍රයෝජනවත් දේ” ලිවීමේ මේනියාවත් ඔය ක්‍රමයට පැතිරෙන දෙයක්. මේ “සමාජ මාධ්‍ය” බ්ලොග් අවකාශයේ නිමග්න පුද්ගලයින් වැඩිවැඩියෙන් කියවමින් ඉන්නේත් තමන්ගේ ම සමකාලීන බ්ලොග්කරුවන් ලියන රචනා (අද කාලේ වචනවලින් කියතොත් “නිපදවන අන්තර්ගතය”) විතරක් ද කියන ප්‍රශ්නය මට ඇතැම් විටෙක පැන නඟිනවා. කොහොම වුනත් අදහසක් පල කරන විට පවුරු බැඳි උයනක හිඳ අධෝවාතයක් ඇරියා වගේ ප්‍රකාශයට පත් ව, ඇකී මැකී නොපෙනී යන සමාජ ජාල අවකාශයක ලියනවාට වඩා බ්ලොග් අඩෙවියක් මත ලිවීමත් කියවීමත් මට ප්‍රිය යි. අනිත් අතට නොකඩවා දිනපතා “අනේ මේක බලන්නකෝ” කීමත්, “අද බැලුවද අද බැලුවද” ඇහීමත් අවශ්‍ය නැහැ. එයින් සිදු වන එක ම දෙය මට ඔබේ බ්ලොග් අඩෙවිය එපා වීම යි.


ප/ලි:

මෙන්න සිප්ලකු උවදෙසක්:


මාස කීපයකට පෙර මම මේ බ්ලොග් අඩෙවියට DISQUS ප්‍රතිචාර පද්ධතිය සවි කලා. අද වැටහී ගිය පරිදි මේක blogger(blogspot) සමග නිකම් ම සවි කල විට වැඩ කරන්නේ බ්ලොග් අඩෙවියේ ඩෙස්ක්ටොප් මුහුනත සමග විතර යි. කෙනෙක් ජංගම දුරකථනයකින් පිවිස ප්‍රතිචාරයක් ලියන්න වෑයම් කලොත් පේන්නේ DISQUS නෙමේ, පරන බ්ලොගර් ප්‍රතිචාර පෝරමය. ඒ ක්‍රමයට එවන ප්‍රතිචාර DISQUS වලට පිටපත් නොවන නිසා සාමාන්‍ය පරිගනකයකින් කියවන කෙනෙකුට ඒවා පෙනෙන්නේ නෑ. මේ නිසා මට ඇතැම් ප්‍රතිචාර අතින් පිටපත් කොට නැවත පල කරන්න සිදු වුනා. මේක විසඳාගන්න පහසු ක්‍රමයක් තියෙනවා. ඔබේ බ්ලොග් අඩෙවියේ template එකෙහි HTML සැකසීම සඳහා Templete > Edit HTML වෙත යන්න. ඉන් පසු expand widget template යනුවෙන් සඳහන් වන කොටුව තෝරන්න. දැන් DISQUS ප්‍රතිචාර පද්ධතියට අදාල HTML කොටස සොයාගන්න. සාමාන්‍යයෙන් එය තියෙන්නේ දල වසයෙන් මෙන්න මේ ආකාරයට යි:

< b:widget id=’HTML7’ locked=’false’ title=’Disqus for වෙබ් ආලෝචනා | web alochana’ type=’HTML’>

Disqus for වෙබ් ආලෝචනා | web alochana වෙනුවට ඔබේ බ්ලොග් අඩෙවියේ නම පෙනේවි. ඔබේ අඩෙවියේ නම එලෙස ම තියෙන්න අරින්න.

දැන් පහත දැක්වෙන පරිදි ඒ අතරට අතරට ස්පේස් එක බැගින් දෙපසින් තබා mobile=’yes’ යන කොටස ඔබා සුරකින්න. වෙන කිසිම අකුරකට අත තියන්න එපා. මෙහි තද කලු අකුරින් දක්වා ඇත්තේ පැහැදිලි කිරීම සඳහා විතර යි. ඔබට එය සාමාන්‍ය අකුරින් පෙනෙනු ඇති:

< b:widget id=’HTML7’ locked=’false’ mobile=’yes’ title=’Disqus for වෙබ් ආලෝචනා | web alochana’ type=’HTML’>

මෙතැන් පටන් ජංගම උපකරනවලින් බ්ලොග් අඩෙවියට එන අයටත් DISQUS ම පේන්න පටන්ගනීවි. මුලින් DISQUS ස්ථාපනය කරගෙන නැති බ්ලොග්වල නම් එහෙම පේන එකක් නෑ. එවැනි අයටත් ගැලපෙන උපදෙසක් ලිපිය අග තියෙනවා.


මෙන්න කතන්දරයකුත්:

“ඒ රටේ සියලු ඔටුවන් කප්පාදු කරන්න රජය තීරනයක් ගන්නවා. මේක දැනගත්තු හාවෙක් කැලේ කඩාගන දුවගන ගොස් දේශ සීමාව පනිනවා. එතනදී හිවලෙක් හාවා අමතනවා: “යාලුවේ මොකද මේ කලබලේ?”

“ඇයි දන්නෙ නැද්ද අර රටේ වෙන දේවල්?”

“මොනොවද?”

“එහෙ ඔක්කොම ඔටුවො කප්පාදු කරනව!”

“ඒත් ඔහෙ ඔටුවෙක්යැ. හාවෙක්නෙ!”

“දන්නෙ නැද්ද එහෙ නිලමක්කාර උන්නැහෙලගෙ වැඩ? උං ඉස්සෙල්ලම කප්පාදු කරල ඊට පස්සෙයි බලන්නෙ මොකාද කියල!”

(උපුටාගත්තේ අජිත් තිලකසේන ලියූ සිද්ධිය වෙනකොට අපි බාර් එකේ නමැති කෙටි කතාවෙන්. පස් වසරක්, සරසවි  ප්‍රකාශකයෝ, 2010, 76-77 පිටු)

ඒ නිසා ඔටුවන් කප්පාදු කිරීම ඇරඹූ වහා ම රටින් පැනගන්න.

.

නාට්‍යයක බැට්රි බැහීම

| Comments

25 වැනි දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය එලිමහන් රංග පීඨයේ දී ට්‍රෝජන් කාන්තාවෝ නරඹන්න ලැබුනා. වැහිබර කාලගුනය ද නොතකා එදා ම විශේශයෙන් දුවගෙන ගියේ 1999 පටන් අඛන්ඩ ව වේදිකාගත කෙරුනු මේ නිශ්පාදනයේ අවසන් දර්ශනය එය බවට ආරංචියක් ද තිබුනු නිසයි. අතුරු සිදුරු නැති ව පිරී ඉතිරී සිටි ප්‍රෙක්ශකයින් අබියස ධර්මසිරි බන්ඩාරනායකයන්ට විශේශ තිලිනයක් ද ප්‍රදානය කෙරුනා. කෙටියෙන් සභාව ඇමතූ ඔහු දශක ගනනකට පෙර අතීතයට යමින් රසවත් ආවර්ජනයක යෙදුනා. නාට්‍ය කලාව කෙරෙහි භක්ත්‍යාදරයෙන් හද පිම්බී යන හැඟීම් බර මොහොතක්.

කෙසේ වෙතත් නාට්‍යය තිබුනේ ඉතා අසීරු අඩියක. “නාට්‍යයේ බැට්රි බැහැලා!” මට කියවුනා. “බැට්රි බැහීම” අලුත් ම නාට්‍යයකට වුනත් සිදු වෙන්න පුලුවන් දෙයක්. රඟපෑම්, වේදිකා පාලනය, ආලෝකකරනය, නලුනිලියන් එකිනෙකා සමග අන්තර්ක්‍රියා කරන අන්දම, නාට්‍යය ගලා යන වේගය මේ ආදී විවිධ දේවලින් එකී බැට්රි බැහීම ප්‍රකාශයට පත් වෙන්න පුලුවන්. නානා විධ හේතු නිසා මේ තත්වය උද්ගත විය හැකි වුනත් නාට්‍යය හොඳ පදමක, හොඳ පුහුනුවක නොමැති වීමෙන් හටගන්නා “බැට්රි බැහීම” තමයි වහා අවධානය යොමු විය යුතු ප්‍රශ්නය. ට්‍රෝජන් කාන්තාවෝ එවැනි තත්වයක හැම විට ම තිබුනා වෙන්න බැහැ. නිතර හොඳ පදමක නොතිබී 1999 පටන් අද දක්වා නාට්‍යයක් දුවන්න නම් අමාරු යි.

ඒත් ගිය සිකුරාදා මා දුටු නාට්‍යයේ තත්වය ඒක යි. සමූහ දර්ශනවල, ගායන සහ නර්තනාත්මක චලන සහිත අවස්ථාවල මේ තත්වය වඩාත් කැපී පෙනුනා. එක්කෙනෙක් වමට හැරෙද්දී තවත් කෙනෙක් කොහේ හැරෙම්දැයි දෙගිඩියාවෙන් එකලමෙකල වෙන තත්වයක් තිබුනා. මුලු සිරුර ම යොදා රඟන්න ඒක බාධකයක් නිසා කවුරුත් බොහොම ප්‍රවේසමෙන්, “පය බුරුලෙන් තබා” වේදිකාව මත ජාම බේරාගන්න තැත් කලා. මීනා කුමාරි, නීල් අලස් සහ අනෝජා වීරසිංහ හැරුනු විට අනෙකුත් නලුනිලියෝ සියලු දෙනා ම පාහේ මේ තත්වයට දැඩි ව ගොදුරු වී හිටියා. අනෝජා වීරසිංහ හැම විට ම ඉන්නේ බැටරි බැහැපු කාන්තාවන් සමූහය වට කරගෙන නිසා දෝ ඇගේ රංගනයත් උපරිමයෙන් පිබිදුනේ නැහැ. යටත් වූ ට්‍රෝජන් ගැහැනු යදම් “එල්ලාගෙන (පැලඳගෙන?)” හිටියේ කැමැත්තෙන් ම වගේ බවත්, වරින් වර වේදිකාවට කඩා පිනූ සොල්දාදුවන් හරියට අපේ උවමනාවට වගේ නුහුරට තුවක්කු, හෙලි මුගුරු මානමින් වනමින් වැනිවැනී නොපෙනී ගිය බවත් දැනුනා. රංග වින්‍යාසයේ ශක්තිය බිඳී තිබූ නිසා සංගීතය බොහොම පැතලි, අසරන තැනකට ඇදගෙන වැටුනා. මන්දගාමී ව ඇදි ඇදී ගිය නාට්‍යය අවසන් වන විට ප්‍රේක්ශක අප උන්නේ බලවත් වෙහෙසකින්.

මේක නාට්‍යයේ අවසන් ප්‍රසිද්ධ දැක්ම නම් ඒ සියල්ල ගැන කරදර වීම නාට්‍ය කන්ඩායමට අදාල දෙයක් නෙමෙයි. ඒත් මෙවැනි දැවැන්ත නිශ්පාදන නිතර මුහුන පාන ප්‍රශ්නයක් මේ “බැට්රි බැහීම” පසුපස තියෙන බව මගේ හැඟීම යි. එතරම් තදින් නොවුනත් මා නිතර නරඹන ඇන්ටිගනී නාට්‍යයේත් වරින් වර මේ ප්‍රශ්නය මතු වන බව පේනවා. චිත්‍රපටියක් - ටෙලි නාට්‍යයක් හදනකොට වගේ නෙමෙයි නාට්‍යයක් නිර්මානය කල විට දිනපතා එය රැකබලාගන්න සිදු වෙනවා. හුදෙක් නාට්‍ය උලෙලක් (තරගයක්) පමනක් ඉලක්ක කරගෙන නිර්මාන කරන උදවියට නම් මේක ඒ හැටි ප්‍රශ්නයක් නෙමෙයි. රාජ්‍ය නාට්‍ය උලෙලින් පසු සියල්ලන්ට සතුටින් නැත්නම් දුකෙන් විසිර යන්න පුලුවන්.

නාට්‍ය තරග නො ව ප්‍රේක්ශකයින් අරමුනු කරගෙන නාට්‍ය නිපදවන අයට තියෙන අභියෝගය තමයි නිතිපතා නාට්‍යය මනා පුහුනුවක, හොඳ පදමක තියාගැනීම. ඊට කෙටි මාර්ග නැහැ; විකල්ප නැහැ. දිනපතා නාට්‍ය දර්ශන පවත්වන රඟහල් අපේ රටේ නැති නිසා ප්‍රසිද්ධ දර්ශන නොකඩවා රඟපෑමෙන් පමනක් නාට්‍යයේ පදම රැකෙන්නේ නෑ. ඉතින් අතිරේක පුහුනුවීම් දිගට ම අවශ්‍ය යි. නමුත් විශාල නලුනිලි කැලක් සහිත, එමෙන් ම කාර්ය බහුල නලුනිලියන්ගෙන් යුක්ත නාට්‍යයක මෙවැනි පුහුනුවීම්වලට අවකාශයක් සලසාගන්නේ කොහොම ද? කෝ ඉස්පාසුවක්? කෝ සම්පත්? කෝ මුදල්? “ප්‍රධාන” නලුනිලියන් තනි තනිව හෝ පුහුනු කර මඳ පමනින් වත් ගොඩදමා ගත්තත් සාමූහික නර්තක වෘන්ද, සජීව ගායනා ආදිය තියෙන නාට්‍යයක මේ “අවශේශ කොටස්” පදමේ තියාගැනීම ඊටත් අමාරු යි.

මේකට තවත් පැත්තකින් පැනනැඟි හේතුවක් අනුමාන කරන්න තුඩු දෙන කරුනක් වසර කීපයකට පෙර අධශක්ශවරයා සඳහන් කර තිබුනු බව සිහියට එනවා: “ට්‍රෝජන් කාන්තාවෝ කරද්දී මම අලුත් පිරිසක් එකතු කර ගන්න උත්සාහ ගත්තා. නමුත් එතෙන්දි මම අත්දැක්කා අලුත් පරම්පරාවේ අයට වඩා අනෝජා, මීනා, යශෝධා වගේ අය තමන්ට කොතෙකුත් වැඩ රාජකාරී තිබියදීත් මගේ නාට්‍යයට දෙවෙනි තැන නොදී ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්න විදිහත්, අලුත් අයට ඒ කැපවීම හා වගකීම නොතිබුණ බවත්. ” (උපුටාගත්තේ මේ සම්මුඛ සාකච්ඡාවෙන්)

සමහර විට ඔයාකාර හේතු ගනනාවක සංකලනයක් මේ ප්‍රශ්නයට හේතු වුනා විය හැකි යි. ඒත් මෙතරම් ම දීර්ඝ කාලයක් තිස්සේ නාට්‍ය නඩත්තු කොට පවත්වාගෙන යන ජනකරලිය නාට්‍ය කන්ඩායම සම්පූර්නයෙන් ම සමන්විත ව තිබෙන්නේ ඉහත කී වර්ගයේ ප්‍රවීනයින්ගෙන් නම් නෙමෙයි. ඔවුන් එම කන්ඩායම ආරම්භ කරන අවස්ථාවේ දී අයත් වුනේ නාට්‍ය ක්ශේත්‍රයට අලුතින් ම පැමිනි පරම්පරාවට. ඒත් ඒ සියලු දෙනා පූර්නකාලීන නලුනිලියන් හා ශිල්පීන් වසයෙන් අඛන්ඩ ව වෘත්තියෙහි නිරත කරවාගැනීමේ හැකියාව ජනකරලිය සතු වුනා. අද වන විට ඔවුන්ගේ ඇතැම් නාට්‍යයක් දර්ශනවාර 2600 ද ඉක්මවා ගිහින්. ඒ අර්ථයෙන් ගත් කල පූර්නකාලීනයින් රඟන නාට්‍ය නොවුනත් ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය කිහිපයක් ම(තල මල පිපිලා, අන්දරේලා, ගුරු තරුව…) වසර ගනනාවක් තිස්සේ හොඳ පදම රැකගෙන රඟදැක්වෙනු දැකගත හැකි යි.

එදා මා දුටු ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යය පැවති සාමාන්‍ය තත්වයෙන් කැපී පෙනෙන ලෙස වෙනස් මට්ටමක තිබුනු එක ම අංගය කැසැන්ඩ්‍රා ලෙස රඟපෑ මීනා කුමාරි ප්‍රකට කල විශිශ්ටත්වය යි. ගතින් - සිතින් - මුවින් - වදනින් ඈ කැසැන්ඩ්‍රා ම වුනා. ඒ වැහි බර මන්දගාමී රාත්‍රියේ ප්‍රේක්ශකයින් කම්පනයට පත් කරමින් හාත්පස එකලු කල අකුනු සැර කීපයක් වගේ කැසැන්ඩ්‍රා වේදිකාවට ආවා. ඒත් ඒ සුලු මොහොතකට පමන යි. ඇය නික්ම ගිය පසු සියල්ල බින්දුවට ආසන්න තැනකට වැටුනා.

කෙසේ වෙතත්, මෙවැනි දැවැන්ත නිශ්පාදනයක් සියලු බාධක කම්කටොලු හමුවේ මෙතරම් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එනු පිනිස දැරූ ප්‍රයත්නයට අධ්‍යක්ශවරයා ප්‍රමුඛ ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය කන්ඩායමට අපේ ප්‍රනාමය හිමි විය යුතු යි. නාට්‍යය දැන් හැම විට ම දුවන්නේ මේ මට්ටමින් නම් එය නවතා දැමීමට ගත් තීරනය බුද්ධිමත්. යුරිපිඩීස්ගේ නාට්‍යයක් වීම, අගනා පරිවර්තනය හා සංස්කරනය, නාට්‍යයේ යුද විරෝධී තේමාව, අධ්‍යක්ශවරයා, ප්‍රධාන නිලිය, සංගීතඥයා ඇතුලු කන්ඩායමේ විවිධ සාමාජිකයින් මුහුන පෑ තාඩන පීඩන යන සියල්ල අපේ සහානුභූතිය හා සහයෝගය පුබුදුවන සාධක හැටියට ගත්තත් අවසන වේදිකාව මත ප්‍රේක්ශකයාට පිරිනමන නිශ්පාදනය ඇගැයුමට ලක් වන්නේ රංගකලාත්මක පරිසමාප්තියේ දෘශ්ටි කෝනයෙන් බව නොකියා බැහැ.

.