වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

වචන හත්සිය පනහේ ලිවිල්ල: 750 Words

| Comments

දිනපතා ලිවීම, පරිවර්තනය හා සංස්කරන කටයුතුවල යෙදෙන්න වීම ඇතැම් විට බොහෝ ම වෙහෙසකර කාර්යයක්; විශේශයෙන් මුද්‍රනය සහ වෙනත් මාධ්‍ය සඳහා ලියවිලි සකස් කිරීම. ඒ වගේ තත්වයක් තුල තමුන්ගේ ලිවීමේ පදම තියාගැනීම වගේ ම ලිවීමේ සතුට තියාගන්න එකත් අභියෝගයක්.

Writing Challenge by Gene Wilburn (cc by-nd-sa)
අනිත් අතට අදහස් සංවිධානය කරගන්න, වැඩ ගැන ශබ්ද නඟා හිතන්න අවශ්‍ය වෙනවා. මේ වගේ වැඩවලට හැම අතින්ම ප්‍රයෝජනවත් උපකරනයක් තමයි මේ 750words.com වෙබ් අඩෙවිය. මම දිනපතා පිටු තුනක් (වචන 750ක්) අනිවාර්යයෙන් ඒ මත ලියනවා. ඒ හැම එකක් ම පල කරන්න සුදුසු දේ නෙමෙයි. සමහර වෙලාවට හුදු දින සටහනක්; පුද්ගලික ලිපියක්; ආවර්ජනයක්. තවත් සමහර වෙලාවට පරිවර්තනයක්, ලිපියක් හෝ පොතක පිටු කීපයක් වුනත් ඒ මත ලියවෙනවා. දවසේ කල යුතු වැඩ ආදිය ගැන අදහස් ගොනු කරගන්නත් ඒක උදව් වෙනවා. සමහර වෙලාවට 750words යන ලේබලය ඇතුව මේ බ්ලොග් අඩෙවියේ පල වෙන්නේ ඒ විදියට ලියූ දේවල් තමයි.

ගිනුමක් හදාගැනීම සරල යි. හදාගත් පසු අපේ ලිවීම සඳහා ඒ වගේ ම සරල කවුලුවක් ලැබෙනවා. සිංහලෙන්, ඉංග්‍රීසියෙන් (ඕනෑ ම බසකින්) ලියන්න පුලුවන්. වචන ගනනය ඉබේ සිදු වෙන අතර වචන සංඛ්‍යාව 750 පසු කල විට අපට දැනුම් දීමක් කෙරෙනවා. කැමති නම් ඊට වඩා ලියන්න පුලුවන්, ඒකට බාධාවක් නෑ. ඒත් දිනපොතක් වගේ අපට ලැබෙන්නේ එක දවසකට එක ලේඛනයක් හඳහා ඉඩ තමයි. මම නම් මේකේ ප්‍රයෝජනය ගන්නේ සංස්කරනය, හොඳ නරක, කැත ලස්සන ගැන නොහිතා එක දිගට - එක හුස්මට ලිවීමේ අවස්ථාවක් ගැනීමෙන්. අතපසු වෙමින් කල් යන වැඩ “පරිසමාප්ත බව” ගැන “නිමාව” ගැන වද නො වී පලමු කොට අවසන් කරන්න අවශ්‍ය උත්තේජනය මේකෙන් ලැබෙනවා.

දිනපතා ලිවීමේ වේලාවක් සකසාගෙන ඒ වෙලාව සිහිපත් කිරීමට ඊමේලයක් ලැබෙන පරිදි අපේ ගිනුම සීරුමාරු කරගන්න පුලුවන්. ඒ වගේ ම ලියන්න ගත වුනු වේලාව, ලිවීමේ රටා, ඉංග්‍රීසියෙන් නම් වචන පාදක කරගෙන මනෝගතිය පිලිබඳ තක්සේරුවක් ආදියත් පෙන්නුම් කරන්න පහසුකම් එතන තියෙනවා. වඩාත් සිත්ගන්නා දේ තමයි එක දිගට නොකඩවා ලියන අයට ලැබෙන “නම්බු නාම” :) සෑම මසක ම ”one month challenge එකකුත්” පැවැත්වෙනවා. ඊට සහභාගී වෙන අය අනිවාර්යයෙන් දිනපතා ලිවිය යුතු යි. දින දහයක් පහලොවක් එක දිගට ලියාගන්න පුලුවන් වුනොත් මේක ඇබ්බැහියක් බවට පත් වෙනවා!

බොහෝ ම ප්‍රයෝජනවත් දෙයක්.