වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ප්ලීස් චෙක් මයි බ්ලොග්!

| Comments

මා ප්‍රිය කරන පැරනි බ්ලොග්කරුවෝ සහ බ්ලොග්කාරියෝ නිහඬ ව ම හුඹස්වලින් එලියට ඇදෙනවා. ගරු මන්ත්‍රීතුමන්ලා අපට සිහිගන්වන්නේත් බ්ලොග් අඩෙවිවල කියැවූ කතා තමයි. එවැන් උතුමන් කෙලිදෙලෙන් පසු වුනත් පූසෝ තව ම නිදි. ඉර පායයි. සඳ බබලයි. කුරුල්ලෝ කැදලි කරා පියාඹති. සම්මතයෙන් ඔබ්බට ගිය ඇතැම් විටෙක දේවල් වඩාත් රසවත්. “Paradoxically though it may seem, it is none the less true that life imitates art far more than art imitates life.” ඔස්කාර් වයිල්ඩ් කියනවා. ඒ අතර ෆේස්බුක් පරපුර වසයෙන් හඳුන්වන්න මම කැමති පරපුරේ මිතුරු මිතුරියන් වක්කඩ කැඩුවා වගේ සිංහල බ්ලොග් අවකාශයට එන්න පටන් අරන්. ඉතින් මට යුතුකමක් තියෙනවා “බ්ලොග් අවකාශය පුලුල් වීම ගැන” ප්‍රීතිය පල කරන්න; මගේ “මුනිවරභාවය” විදහා පාමින් අලුතින් එන අයගේ හිස පිරිමැද ආශිර්වාද කරන්න; ප්‍රතිචාර දාන්න; ඔවදන් දෙන්න; ඔරලෝසුවක්, රේඩියෝවක්, වතුර හීටරයක් ඇතුලු ප්‍රයෝජනවත් ගැජට් කීපයක් බ්ලොග් අඩවියට “ඇඩ් කරගන්නා අයුරු” කියා දී “බේබි සිටිං” කරන්න (එවැනි ඔවදන් සඳහා ලිපියේ අග බලන්න). ඒත් මේ අලුත් පිරිසගේ ක්‍රියාකාරීත්වය සහ අභිලාශ මෙතෙක් දුටු බ්ලොග්කරුවන්ට වඩා තරමක් විශේශ යි. බ්ලොග් අඩවිය, ෆේස්බුක්, ගූගල් ප්ලස්, ඊමේල්, එස්එම්එස්, ස්කයිපය, ට්විටරය, ගූගල් හැඟවුට්, දුරකථනය යන සියල්ල එකට අනා සම්බෝල කෙරුනු සමාජ ජාල අවකාශයකට මා පැහැරගෙන යන්න මේ බ්ලොග්කරුවෝ තැත් කරනවා. මට විල්බර් උන්නැහේගේ ගීතය සිහි වෙනවා:



ගීය අලුතින් ලියන්න වෙන හැඩයි. සමහරු දිනපතා ඊමේල්වලින් Please check my blog කියනවා. ඒවා යවන්නෙත් සියලු දෙනාගේ ඊමේල් ලිපින සියලු දෙනාට ම පෙනෙන ක්‍රමයට යි (අනාදිමත් කාලයකට පෙර සමහරු මේකට ස්පෑම් කියලත් කිව්වා). තවත් අය බ්ලොග් එකේ යමක් පල කරපු සැනින් එස්එම්එස් මගින් එය නිවේදනය කරන අතර ඊටත් වඩා උද්‍යෝගය ඇවිලී ගිය විට දුරකථන ඇමතුමක් ගෙන අනෙකා ලිපිය කියවමින් සිටින බව සජීවී ව තහවුරු කරගන්නවා. මේක නිතර අන්තර්ජාලයේ රැඳී නොසිටින මා වැනි අය අල්ලාගැනීමට උචිත ක්‍රමයක්. තවත් අය අමනාප වෙන්නේ සිය බ්ලොග් අඩෙවියට ෆේස්බුක් “ලයික්” පාරක් දැමීමට මා අපොහොසත් වීම නිසයි. එම අඩෙවියේ ලිපි ගැන බරසාරතම සාකච්ඡා සිදු වන්නේ ෆේස්බුක් තුල ලු. එතකොට ම ෆේස්බුක් වෙනුවට ගූගල් කනෙක්ට් විජට්ටුවේ එල්ලී ගන්නා මෙන් තව පැත්තකින් නිර්දේශයක් ලැබෙනවා. ගූගල් ප්ලස් හි සිට සියලු බ්ලොග් ලිපි මගේ ඊමේලය තුලට විදින තවත් කෙනෙක් “+1” එකක් දමා පෝස්ට් එක නග්ගා දෙන මෙන් ඉල්ලනවා. මේ අතර අලුතින් ස්ටැට් කවුන්ටර ගැන ඉගෙන ගත් අයෙක් මගේ මෙහෙයුම් පද්ධතිය, තිරයේ දිග පලල සහ බ්‍රවුසරය ආදිය ගැන දුරකථනයෙන් විමසනවා. ඔයා අද මගේ බ්ලොග් එකට ආවා නේද අනේ කියා අහන්න දුරකථන ඇමතුම් දෙන අයත් ඉන්නවා. මේ සියල්ල මා ඔවුන්ගේ බ්ලොග් අඩෙවිය කියවන - නොකියවන බව සනාථ කරන සාක්ශි. බොරු නෙමෙයි, මගේ බ්ලොග් එක පල්ලා මේ සේරම ඇත්ත! ඔය සියල්ලට අමතර විශේශ කොට්ඨාසයක් වන්නේ යමක් ලියා පල කිරීමටත් ප්‍රථම අදහස් විමසන අය!

“සාමාන්‍යයෙන්” බ්ලොග් කියවන බොහෝ දෙනාට මේ වගේ සිහිගැන්වීම් අවශ්‍ය නෑ කියලයි මම හිතාගෙන හිටියෙ. බ්ලොග් අඩෙවියක් තම කියවනයට ඇතුලත් කරගත් විට එහි අලුතින් යමක් පල වූ බව නිරායාසයෙන් දැකගන්න ලැබෙනවා. (ලංකාවේ නම් තවත් මත් සැලකිය යුතු පිරිසක් ප්‍රසිද්ධියේ තියෙන “බ්ලොග් කියවන”, “සින්ඩිකේටර”, “සින්ඩි”, “කින්ඩි” යනාදී නම්වලින් හැඳින්වෙන වෙබ් අඩෙවි පරිශීලනය කරනවා. ඒ නිසා ඔවුනට කියවිය යුතු දේ තීරනය කර දෙන්නේ අතරමැද පිරිසක්) සෑම බ්ලොග් සේවාවක් ම RSS සහ atom වැනි පෝශක (feeds) නිකුත් කරන නිසා දුර සිට පුවත් කියවනයක් මගින් අවශ්‍ය ඕනෑ ම වෙබ් අඩෙවියක් ගැන විපරමින් ඉන්න පුලුවන්. ඉස්සර මම bloglines පාවිච්චි කලා, පස්සේ google reader වෙතට මාරු වුනත් මගේ කියවීම් ලැයිස්තුව එක එක මුදලාලිලාට පෙන්නන්නේ අහවල් දේකට ද කියා හිතුනු පසු liferea ස්ථාපනය කරගත්තා. මට කියැවීමට අවශ්‍ය පුවත්, බ්ලොග් සහ වෙනත් නානාප්‍රකාර අඩෙවි සේරම වර්ග කොට ඊට එකතු කරගත් විට දේවල් බොහොම පහසු යි, සරල යි. කාලය - ශ්‍රමය ඉතිරි වෙනවා.

(පෝශක ගැන කියද්දී පොඩි නිවේදනයකුත් කරන්න තියෙනවා. ඉදිරියේ දී මෙහි පල වෙන ලිපි ප්‍රමානය ඉහල යන නිසාත්, අලුත් ලිපිනයකට මෙය ගෙනියන්න අදහසක් තියෙන නිසාත් වෙනස් ක්‍රමයකට ෆීඩ් පොදි බැඳ නිකුත් කරන්න මම තීරනය කලා. මුලින් ම කවදත් තිබුනු සුපුරුදු ප්‍රධාන ෆීඩ් එක: http://feeds.feedburner.com/wa මේක තමයි අර දකුනු පැත්තේ උඩ තැඹිලි පාට අයිකනයත් එක්ක “Subscribe in a reader” කියන තැන තියෙන්නේ. සිංහල ඉංග්‍රීසි දිග කොට භේදයක් නැතුව සියලු ලිපි හා සටහන් කියවන්න එයින් පුලුවන්. ඊට පස්සේ සිංහල ලිපි පමනක් ගලන ෆීඩ් එක: http://feeds.feedburner.com/wa/sinhala ඉංග්‍රීසි ලිපි පමනක් කියවන්න අවශ්‍ය නම් මේක: http://feeds.feedburner.com/wa/english ඔය ගැන විස්තර More subscription methods පිටුවෙත් දුර සිට කියවන තවත් ක්‍රම පිටුවෙත් තියෙනවා.)

“ලොව පෙරලෙයි - ලෙවි පෙරලෙයි” කිව්වා වගේ බ්ලොග් අඩෙවි පරිශීලනය කරන ආකාරය ඊනියා සමාජ මාධ්‍ය අවකාසය විසින් විපරීත කරනු ලැබ තිබෙනවා. සෑම බ්ලොග් අඩෙවියක ම නවඅනූවක් විජට්ටු අසූහාරදාහක් බොත්තම් එල්ලා තියෙන්නේ ඒවා මිරිකමින්  මේ සමාජ සම්බෝලය තැනීමට දායක වන ලෙස ආරාධනය කරමින්. සමාජ සම්බෝලයේ නැඟීමට සමාන්තර ව ලිවීම වෙනුවට “අන්තර්ගතය නිපදවීම” නමැති අදහස කරලියට ආ අතර දැන් එය “අන්තර්ගතය අභිරක්ශනය” (content curation) දක්වා පරිනාමය වෙලා. ඊට ම සරිලන Tumblr වැනි අඩෙවිත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ම යමින් ඉන්නවා. දැන් ජනප්‍රිය වී බලවත් වී තිබෙන තවත් අදහසක් වන්නේ බ්ලොග් අඩෙවියකින් “ප්‍රයෝජනවත් යමක්” ඉදිරිපත් කල යුතු බව; “කියවන අයට යමක්” දිය යුතු බව. මට නම් හිතෙන්නේ දැනට මත් ඕනෑවාටත් වඩා “ප්‍රයෝජනවත් තොරතුරු” ඉතිරී පිටාර ගලමින් තියෙන බව යි. ආයෙත් ඔස්කාර් වයිල්ඩ් මීට බොහෝ කලකට පෙර කියූ දෙයක් කල්පනා වෙනවා:
“It is a very sad thing that nowadays there is so little useless information.”
මෑත දී කෙරුනු අධ්‍යයනයකින් අනාවරනය වුනේ සාහිත්‍යකරුවන් වඩවඩාත් අතීත සම්ප්‍රදායන්ගේ නො ව තමන්ගේ ම සමකාලීනයින්ගේ බලපෑමට/ආභාසයට පාත්‍ර වෙමින් සිටින වග යි. “සාහිත්‍යයට” වගේ ම ජීවිතයේ අනිත් අංශවලටත් ඔය කී කතාව සාධාරන බව මතුපිටින් නිරීක්ශනය කරද්දී හිතෙනවා. සමාජ මාධ්‍ය අවකාශයේ පීඩනය නිසා වඩවඩාත් ඒකාකාරී එමෙන් ම අනුකාරක ස්වරූපයේ භාශා විලාස මෙන් ම, අන්තර්ගතයත් බ්ලොග් අවකාශය තුල පැනනඟිනු දකින්න පුලුවන්. මම හිතන්නෙ “ප්‍රයෝජනවත් දේ” ලිවීමේ මේනියාවත් ඔය ක්‍රමයට පැතිරෙන දෙයක්. මේ “සමාජ මාධ්‍ය” බ්ලොග් අවකාශයේ නිමග්න පුද්ගලයින් වැඩිවැඩියෙන් කියවමින් ඉන්නේත් තමන්ගේ ම සමකාලීන බ්ලොග්කරුවන් ලියන රචනා (අද කාලේ වචනවලින් කියතොත් “නිපදවන අන්තර්ගතය”) විතරක් ද කියන ප්‍රශ්නය මට ඇතැම් විටෙක පැන නඟිනවා. කොහොම වුනත් අදහසක් පල කරන විට පවුරු බැඳි උයනක හිඳ අධෝවාතයක් ඇරියා වගේ ප්‍රකාශයට පත් ව, ඇකී මැකී නොපෙනී යන සමාජ ජාල අවකාශයක ලියනවාට වඩා බ්ලොග් අඩෙවියක් මත ලිවීමත් කියවීමත් මට ප්‍රිය යි. අනිත් අතට නොකඩවා දිනපතා “අනේ මේක බලන්නකෝ” කීමත්, “අද බැලුවද අද බැලුවද” ඇහීමත් අවශ්‍ය නැහැ. එයින් සිදු වන එක ම දෙය මට ඔබේ බ්ලොග් අඩෙවිය එපා වීම යි.


ප/ලි:

මෙන්න සිප්ලකු උවදෙසක්:


මාස කීපයකට පෙර මම මේ බ්ලොග් අඩෙවියට DISQUS ප්‍රතිචාර පද්ධතිය සවි කලා. අද වැටහී ගිය පරිදි මේක blogger(blogspot) සමග නිකම් ම සවි කල විට වැඩ කරන්නේ බ්ලොග් අඩෙවියේ ඩෙස්ක්ටොප් මුහුනත සමග විතර යි. කෙනෙක් ජංගම දුරකථනයකින් පිවිස ප්‍රතිචාරයක් ලියන්න වෑයම් කලොත් පේන්නේ DISQUS නෙමේ, පරන බ්ලොගර් ප්‍රතිචාර පෝරමය. ඒ ක්‍රමයට එවන ප්‍රතිචාර DISQUS වලට පිටපත් නොවන නිසා සාමාන්‍ය පරිගනකයකින් කියවන කෙනෙකුට ඒවා පෙනෙන්නේ නෑ. මේ නිසා මට ඇතැම් ප්‍රතිචාර අතින් පිටපත් කොට නැවත පල කරන්න සිදු වුනා. මේක විසඳාගන්න පහසු ක්‍රමයක් තියෙනවා. ඔබේ බ්ලොග් අඩෙවියේ template එකෙහි HTML සැකසීම සඳහා Templete > Edit HTML වෙත යන්න. ඉන් පසු expand widget template යනුවෙන් සඳහන් වන කොටුව තෝරන්න. දැන් DISQUS ප්‍රතිචාර පද්ධතියට අදාල HTML කොටස සොයාගන්න. සාමාන්‍යයෙන් එය තියෙන්නේ දල වසයෙන් මෙන්න මේ ආකාරයට යි:

< b:widget id=’HTML7’ locked=’false’ title=’Disqus for වෙබ් ආලෝචනා | web alochana’ type=’HTML’>

Disqus for වෙබ් ආලෝචනා | web alochana වෙනුවට ඔබේ බ්ලොග් අඩෙවියේ නම පෙනේවි. ඔබේ අඩෙවියේ නම එලෙස ම තියෙන්න අරින්න.

දැන් පහත දැක්වෙන පරිදි ඒ අතරට අතරට ස්පේස් එක බැගින් දෙපසින් තබා mobile=’yes’ යන කොටස ඔබා සුරකින්න. වෙන කිසිම අකුරකට අත තියන්න එපා. මෙහි තද කලු අකුරින් දක්වා ඇත්තේ පැහැදිලි කිරීම සඳහා විතර යි. ඔබට එය සාමාන්‍ය අකුරින් පෙනෙනු ඇති:

< b:widget id=’HTML7’ locked=’false’ mobile=’yes’ title=’Disqus for වෙබ් ආලෝචනා | web alochana’ type=’HTML’>

මෙතැන් පටන් ජංගම උපකරනවලින් බ්ලොග් අඩෙවියට එන අයටත් DISQUS ම පේන්න පටන්ගනීවි. මුලින් DISQUS ස්ථාපනය කරගෙන නැති බ්ලොග්වල නම් එහෙම පේන එකක් නෑ. එවැනි අයටත් ගැලපෙන උපදෙසක් ලිපිය අග තියෙනවා.


මෙන්න කතන්දරයකුත්:

“ඒ රටේ සියලු ඔටුවන් කප්පාදු කරන්න රජය තීරනයක් ගන්නවා. මේක දැනගත්තු හාවෙක් කැලේ කඩාගන දුවගන ගොස් දේශ සීමාව පනිනවා. එතනදී හිවලෙක් හාවා අමතනවා: “යාලුවේ මොකද මේ කලබලේ?”

“ඇයි දන්නෙ නැද්ද අර රටේ වෙන දේවල්?”

“මොනොවද?”

“එහෙ ඔක්කොම ඔටුවො කප්පාදු කරනව!”

“ඒත් ඔහෙ ඔටුවෙක්යැ. හාවෙක්නෙ!”

“දන්නෙ නැද්ද එහෙ නිලමක්කාර උන්නැහෙලගෙ වැඩ? උං ඉස්සෙල්ලම කප්පාදු කරල ඊට පස්සෙයි බලන්නෙ මොකාද කියල!”

(උපුටාගත්තේ අජිත් තිලකසේන ලියූ සිද්ධිය වෙනකොට අපි බාර් එකේ නමැති කෙටි කතාවෙන්. පස් වසරක්, සරසවි  ප්‍රකාශකයෝ, 2010, 76-77 පිටු)

ඒ නිසා ඔටුවන් කප්පාදු කිරීම ඇරඹූ වහා ම රටින් පැනගන්න.

.