මම: හලෝ! ඉතිං ඉතිං? කොහොමද? ඔයාගෙ අලුත් කවිය මම දැක්ක. ඒක හරිම බලවත්. අර අර … … …. කොටසට මම හරි ආසයි. මම නිතර ම ඒව කියවනව.වර්තමානයේ සක්‍රීය ව පවතින බොහෝ කලා ප්‍රභේද අතර ඉන්තේරුවෙන් ම බල්ලාට ගිය කලාවන් දෙකක් තියෙනවා: ඡායාරූප කලාව සහ සංගීතය. මම මෙහෙම කියන්නෙ කාරනා කීපයක් හින්දයි. ඡායාරූපයත් සංගීතයත් කිසිම ගරුසරුවක් නැතුව අපයෝජනයේ යොදන්න ඉදිරිපත් වෙලා ඉන්නේ අවශේශ කලා මාධ්‍යයන්ගේ නිරත වෙලා ඉන්න කලාකාරයෝ ම යි. කවියකට හරි ලිපියකට-කතාවකට හරි සන්නිදර්ශනයක් ඕනෑ කල විට කෙලින් ම අතට අහු වෙන තැනකින් (අද නම් බොහෝ විට අන්තර්ජාලයෙන්) ඩැහැගන්නා සේයාරුවක් ඒ සඳහා යොදාගන්නවා. නැටුමකට, “විවිධ ප්‍රසංගයකට” විතරක් නෙමෙයි වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපටි සඳහා පවා සංගීතය “නිපදවා”ගන්නෙත් මේ විදිහට තමයි. සංගීතය රචනා කිරීම අදාල නිර්මාන ව්‍යායාමයේ කොටසක් හැටියට ගන්නේ නෑ.
කවියා: ආහ්, කියෙව්වද ඒක? තෑන්ක් යූ! (සතුටින් ඉල්පෙයි) කොච්චර දෙයක්ද ඒව කියවන කෙනෙක් හම්බු වෙන එක. සමහරු කියෙව්වත් මොකුත් කියන්නෙවත් නෑනෙ. අනික් ඒව දෙකතුනක් ම රාවයෙත් ගියා.
මම: ඔයාගෙ ෆොටෝග්‍රැෆි මෙච්චර දියුනුයි කියල මම දැනගෙන හිටියෙ නෑ නෙ.
කවියා: ඈහ්? පොටෝ? මං? කොහෙදිද දැක්කෙ?
මම: ඇයි කවිත් එක්ක පල වෙන ඒව? ඔයාගෙ නෙමෙයි ද?
කවියා: මොන? අර සයිට් එකේ ද? (සිනා සෙයි) ඒව මගේ වෙන්නෙ කොහොමද? ඒව එයාල දාන ඒව නේ? මං ගත්තුවට තියෙන්නෙ ඉතින් ලෝකාන්තෙ යනකොට ගත්තු පොටෝ ටික තමයි. ඒවයිනුත් මම ගත්තු ඒව මොනවද වයිෆ් ගත්තු ඒව මොනවද කියල වෙන් කරගන්න බෑ. අන්න සේරම එක ගොඩේ ගෙදර ඇල්බම් එකේ තියෙනව.
මම: ඔහ්. එහෙම ද? එතකොට ඒව පත්තරෙත් ගියා නේද? ඔයාගෙ නම විතරක් තියෙන නිසා මම හිතුවෙ ඔයා ම ගත්ත ඒව කියල!
කවියා: (මගේ නොදැනුවත්කම ගැන උපහාසයෙන්) ඒවා ඉතින් ඉන්ටනෙට් එකෙන් එහෙන් මෙහෙන් අරගෙන උන් දාන ඒව නේ. ඒව ගහපු උන් කවුද කියල හොයන්නෙ කොහොම ද? නිකන් ෆොටෝ නේ…
මම: ඉතින් මුලින් එකක් දෙකක් ඔහොම දානකොට ඔයා කිව්වෙ නැද්ද එහෙම කරන්න එපා කියල?
කවියා: (මගේ ප්‍රශ්නය නොතේරී - මූ අහවල් මගුලක් කතා කරනවද මන්දා කියන්නාක් මෙන් - බලා සිටී)
ලංකාවේ ප්‍රකට තරුන කවියකු සහ මා අතර මෑත දිනයක හුවමාරු වුනු දෙබසක්.
මේ ආකාරයේ අපයෝජනයට ලක් වෙන සේයාරුවක් හෝ සංගීත ඛන්ඩයක් මුලින් නිර්මානය කෙරුනේ කා විසින්, කවර අරමුනකින් ද කවර ප්‍රයෝජනයක් උදෙසා ද යන්න නොතකන මේ “කලා නිර්මානකරුවන්” හුදෙක් වේල පිරිමසාගන්න ඒ විදිහේ වැඩ කලත් ඒවාට යන්න පුලුවන් දුර සීමිත යි. යූටියුබ් වැනි අඩෙවියක දී බොහෝ විට සංගීතය අනවසරයෙන් උපුටාගැනීම නිසා එවැනි වීඩියෝ ඉවත් කෙරෙනු දකින්න පුලුවන්. ඒ වගේ තැන්වල නම් වැඩකටයුතු තීන්දු වෙන්නේ සංගීතයේ අයිතිය ලියා පවරාගත් මහා සමාගම්වල අවශ්‍යතා අනුව. සොරාගත් සංගීතය සහිත ව “බිහි කල” නාට්‍යයට හෝ චිත්‍රපටියට මේ දූපත තුල, පාසැල තුල, විශ්ව විද්‍යාලය තුල කිසියම් ආකාරයකට ප්‍රශ්නයකින් තොර ව පවතින්න පුලුවන් වුනත් එයින් පිටත කිසිදු අවකාශයක තිරගතකිරීමක්, වේදිකාගත කිරීමක් යෙදුනොත් එතන දී ඔය ප්‍රශ්නය ආයෙත් මතු වෙන්න ඉඩ තියෙනවා. රටින් පිටතට ගිය විට නම් එය ගෞරවය පිලිබඳ කාරනයක් බවටත් පත් වෙනවා. එනිසා බොහෝ ම සුලු පිරිසක් අතර විතරයි ඒ විදියට හොරකම් කරපු සංගීතයක් යොදාගත් නිර්මානයකට පවතින්න ලැබෙන්නේ.
සමහරු ඉතා ම ලාමක ආකාරයට වෙබ් අඩෙවිවල නිවේදන නිකුත් කරනවා අපට කොපි රයිට්ස් නැත! අවශ්‍ය තැනක පැල කරගන්න - බෙදාගන්න - ඇබ්බැහි වෙන්න ආදී දේ කියමින්; ඇත්තට ම ගොඩාක් ලාමක යි. මොකද මේ උදවිය තමන් ම නිපදවූ දේවල් ගැන කියන කතාවක් නෙමේ මේක. මේ නිවේදනය කරන්නේ අන්‍යයන්ගේ කෘති නානා ප්‍රකාර සන්දර්භවලින් උදුරාගෙන නැවත පල කිරීමක යෙදෙන ගමන්. මුලින් ම අනුන්ගේ කවියක් පුවත් පතකින් හමගසාගන්නා මොවුන් අන්තර්ජාලයේ තවත් තැනකින් උස්සාගත් සේයාරුවක් සමග එය මාට්ටු කරනවා. ඊට පස්සෙ “කලාව” උපදිනවා.
අනිත් අතට පත්තර වැඩ කරන්නෙත් ඒ ක්‍රමයට ම තමයි. මේක තුල තියෙන වෙලඳපොල තර්කනය ගැන නෙමෙයි මම කතා කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේ කන්නාඩි තුලින් විතරක් ලෝකය දැක පුරුදු අය මේ කාරනය ඒ සීමාවෙන් එහාට නොපෙනී මා සමග උරන වෙන්න ඉඩ තියෙනවා. අනිත් අතට අන්තර්ජාලය සහ ඩිජිටල් ප්‍රකාශන මාධ්‍ය විසින් විවර කර දී තිබෙන යලි සම්මිශ්‍රනය කිරීමේ හා ප්‍රතිසංවිධානය කිරීමේ සංස්කෘතියට එරෙහි ප්‍රකාශයක් හැටියටත් මේ කතාව කෙනෙකුට දැනෙන්න ඉඩ තියෙනවා. මොහොතක් ඉන්න! මේක ඒ වගේ කතාවක් නෙමෙයි: “සියලු හිමිකම් ඇවිරිනි. අනවසරයෙන් භාවිතය තහනම්” වර්ගයේ තර්කයක් නෙමෙයි මේක. ඒ වෙලඳපොල කාරනය (දැනට) සාකච්ඡාවෙන් අයින් කරමු. මේ උදුරා පැහැරගෙන පල කරන සේයාරූවල, සංගීත ඛන්ඩවල නිර්මාපකයින් කෝ? හොරකම් කෙරුනු සේයාරුව බෙදාගෙන ඇබ්බැහි වෙන්න පල කරන කවියාගේ ම නිර්මානයක් බවට අපි එකඟ වෙන්න ඕනෑ ද? ඒ සේයාරුවේ නිර්මාපකයාගේ නම සඳහන් කිරීමේ සංස්කෘතියක් වර්ධනය කරගන්න උත්සාහයක් දැරීමෙන් නරකක් වෙන්නේ නැහැ නේද? මම හිතන්නේ ඒ වගේ මූලාශ්‍රවලට නිසි ඇගැයුමක් දීමෙන් අදාල ප්‍රකාශනය (පත්තරය, රූපවාහිනිය, සඟරාව, වෙබ් අඩෙවිය) වඩාත් සරුසාර වෙන බව යි.
කවිය, කෙටිකතාව වැනි මාධ්‍ය වෙනුවෙන් චිත්‍රය හා සේයාරුව කැප කරන මේ “කලාවට” ශ්‍රී ලංකාව තුල (සහ මීට සමාන තවත් ඇතැම් රටවල) බලපවත්වන සුවිශේශී සාධකත් උත්තේජනය සපයන බව කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. වචනය සමග කටයුතු කරන උසස් කුලයේ කලා සහ සිත්තර කලාව වැනි “හීන කුල” කලා අතර පවතින්නේ පන්තිමය පරතරයක්. මෙයින් දෙවැන්න තුල “බුද්ධිමය” ශ්‍රමය ගැබ් ව නැත යන අදහස කාලාන්තරයක් තිස්සේ ජීර්නය වී පුරුදු පුහුනු වී පැලපදියම් කරගෙන තියෙන දෙයක්. මේක ම ඡායාරූපය සම්බන්ධයෙනුත් ඉතා අහේතුක ව බලපවත්වන බව පේනවා. එනිසා කවියා යනුවෙන් කෙනෙක් හිටියත් ඡායාරූප කලාකරුවා වසයෙන් කෙනෙක් නෑ. අදත් ඉන්නේ ඡායාරූප ශිල්පියෙක්! හරියට කම්මල්කාරයෙක් වගේ. අකුර තුල බුද්ධිය, දැනුම සහ ප්‍රඥාව ගැබ් වන අතර ඊට අලංකරනයක් සැපයීමට පමනක් සමත් රූපය තුල බුද්ධිය, දැනුම සහ ප්‍රඥාව ගැබ් ව නැහැ! මේක තමයි අප්‍රකාශිත සංස්කෘතික සම්මුතිය.
මේක සසඳන්න පුලුවන් ඡායාරූප “ශිල්පියෙක්” කවියක් රැගෙන සේයාරුව තුල බහාලන අවස්ථාවක් සමග. එවිට කවියාගේ නම සඳහන් නොවුනොත් මොන තරම් කලබගෑනියක් හටගන්නවද? ඇත්තට ම කවියාගේ නම මැකෙන අවස්ථා දකින්න ලැබෙන්නේත් ඉතා කලාතුරකින්. කවුරුත් “දන්නවා” කවියා තමයි වැදගත් කියලා. ඒ නිසා නම මගහැරෙන්නේ නෑ; මගහරින්නෙත් නෑ.
මතු සම්බන්ධයි