වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බාසා පොල්ල

| Comments



මගේ කලින් බ්ලොග් සටහන කියවපු මිතුරෙක් අහනවා ඇයි ලැන්ග්වේජ් බාර් කියන වචනෙට සිංහලෙන් යෙදුමක් හදන්නෙ නැත්තෙ කියලා. ඔහු පාසැල් සමයේ පටන් ම භාෂා පාරිශුද්ධතාවාදියෙක්. ටෙලි නාට්‍යයක වත් ඊනියා “මිශ්ර සිංහල” වචනයක් ‍දකින්න කැමති නැති ජාතියේ කෙනෙක්. (මේ බ්ලොග් සටහන් කට බසේ ව්‍යාකරණයෙන් පළ කිරීම ගැනත් ඔහු හරිම නොසන්සුන් වෙලයි ඉන්නේ. ඔහුට අනුව මම ජාති ද්රෝහී අන්තර්ගතයෙන් යුත් ලිපි පළ කරනවා විතරක් නෙමෙයි, සිංහල භාෂාවත් විනාස කරනවා!) මම කල්පනා කරලා මෙහෙම කිව්වා- “එහෙම නම් ඉතින් කියන්න වෙන්නේ ‘භාෂා පොල්ල’ කියලා තමයි. තව ටිකක් හෙළයට බර කරලා ‘බස් පොල්ල’ කියලා කියන්නත් පුළුවන්!!! “පොල්ලක් දානවා” කියලා සිංහලෙන් කියනවනෙ මොකක් හරි වැඩකට බාධකයක් දාන එකටත්. අත්තනෝමතික ආකාරයට සෑම සියලු වචනයකට ම සමාන සිංහල වචන හදන එකෙන් සන්නිවේදන කාර්යයට “පොල්ලක් වැටෙන එක” නම් සහතිකයි.

මේ තත්වය ගැන වෙබ් ආ‍ලෝචනා පාරිභාෂික පද මාලා පිටුවේ ප්රතිචාරයක් ලියපු නිර්නාමික පාඨකයෙකුත් වැදගත් අදහසක් මතු කර තිබුණා. මගේ අදහසත් ඊට බෙහෙවින් ම සමානයි. ඇත්තට ම ලෝකෙ තියෙන හැම වචනෙට ම සිංහල භාෂාවෙන් පරිවර්තිත පද නිපදවීම අනවශ්‍ය දෙයක්. භාෂාවකට වචන එක් වීමේ ක්රම ගණනාවක් තියෙනවා. පද එක් වන ක්රමය අනුව තත්සම, තද්භව සහ නිෂ්පන්න කියලා සාම්ප්රදායික ව ඒවා වර්ග කෙරෙනවා. නිෂ්පන්න වචන කියන්නේ අදාළ භාෂාව තුළ ම නිපදවුණු වචන. තද්භව කියන්නේ වෙනත් භාෂාවක වචනයක් ඇසුරින් නිපදවා ගැනුණු වචන. තත්සම කියන්නේ කෙලින් ම අදාළ භාෂාව තුළට වෙනත් භාෂාවකින් ආනයනය කරගත් වචන. සිංහල භාෂාව මේ සියලු වර්ගයේ වචනවලින් පිරිලා. ඒ එක ක්රමයක් අනෙකට වඩා උසස් ය කියන්න කිසි ම වාග් විද්‍යානුකූල හේතුවක් නැහැ. කවර මාර්ගයෙන් වචනයක් එකතු වෙනවා ද යන්න බොහෝ විට සන්නිවේදන පහසුව, වයවහාරය හා අදාළ විෂයක්ෂේත්රය මත තීරණය වන්නක්. සිදත් සඟරාවෙ පවා උපදෙස් දීලා තියෙන්නේ “වහරනුසරෙන් සපයා” කියලයි. ඒ කියන්නෙ ව්‍යවහාරය අනුසාරයෙන් සම්පාදනය කරගන්න කියලයි.

වෙනත් භාෂාවක පවත්නා වචන සිංහල කරගන්න පුළුවන් අදාළ වචනය අගට “ය” “ව” හෝ “එක” යෙදීමෙන්. සංස්කෘතිය, ගරාජය, ඇස්‍ටරොයිඩය, බසය (බස් එක) ආදී වශයෙන් ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් වචන සිංහලයට ඇවිත් තියෙනවා මේ ආකාරයට. බස් කියන වචනේ වෙනත් භාෂාවල තිබුණත් බස් එක කියලා යෙදුමක් තියෙන්නේ සිංහල භාෂාවේ විතරයි නේ. ඒක කාටත් තේරෙනවා. අපි උදේ හවස භාවිතා කරන පහසු, ඒ වගේ ම නිවැරදි යෙදුමක් ඒක. මවුසයත් ඒ විදිහට සකසා ගත් පදයක්. පසුගියදා සිංහල යුනිකෝඩ් සමූහය තුළ සාකච්ඡා කෙරුණු පරිදි, ගැජට්ටුව, විජට්ටුව(ගැජට් එක, විජට් එක) ආදී පද ඉතා සුඛනම්‍ය ආකාරයෙන් සන්නිවේදනය උදෙසා යොදාගත හැකියි. විද්‍යා ක්ෂේත්රයේ ඇතැම් වචන (උදා- පිපෙට්ටුව - එනම් විද්‍යාගාර උපකරණය, මොනිටරය) දැනට මත් මේ ආකාරයෙන් සකසාගෙන තිබෙනවා. එහෙම නොකර හැම තැන දී ම “පිරිසිදු” සිංහල වචන නිපදවන්න ගියොත් නියෝජිත තැපැල් කාර්යාලයට (agency post office) “නියෙදි පහින පොළ” කියන්න ගිහින් සිද්ධ වුණා වගේ හාස්‍ය රසය විතරක් නිපදවලා දරපු මහන්සිය අපතේ යාවි. 1992 විතර පළ වුණු එක්තරා පරිගණක උපදේශන පොතක තියෙනවා මෙහෙම - “මීයා වම් පසින් තෙරපා පහළට අදින්න”. ඒ කාලේ සමහරු මවුසයට යෝජනා කළ වචන අතර “මීයා” ද තිබුණා.

මාසයයි! ආනන්දජනකයි!!

| Comments



අදට මේ බ්ලොග් එක ආරම්භ කරලා මාසයක් වෙනවා. මීට අවුරුදු කීපයකට කලින් ඉංග්රීසි භාෂාවෙන් මගේ ප්රථම බ්ලොග් අඩෙවිය ආරම්භ කරද්දී නුදුටු තරමේ උද්යෝගී සහභාගීත්වයක් මේ වතාවේ මම අත් දුටුවා - මේක සිංහල මාධ්‍යයෙන් පළ වුණත්. එයට ප්රධාන හේතුව අද වෙද්දී බ්ලොග් අවකාශයේ ඇති වී තිබෙන දැවැන්ත පුළුල් වීම විය යුතුයි. කලින් වතාවේ ඉංග්රීසියෙන් විතරක් ලියලත් සහභාගී බ්ලොග් කියවන්නන් ඇදී ඒම ආරම්භ වෙන්න සෑහෙන කාලයක් ගත වුණා. නමුත් වෙබ් ආලෝචනා පටන් අරන් යන්තම් මාසයක් ගත වෙන්නත් කලින් මේ ස්ථානයේ මහා විවාදාත්මක වචන හුවමාරු, සාකච්ඡා සහ සාමාන්‍ය ප්රතිචාර ගණනාවක් ම සටහන් වුණා. ලංකාව ඇතුළෙන් විතරක් නෙවෙයි ඔස්ට්රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, සීශෙල්ස්, සිංගප්පූරුව සහ බ්රිතාන්‍යය වැනි රටවලිනුත් සිංහල කියවන, ප්රතිචාර දක්වන පාඨකයින් ඇදී ආවා. මෙහි ආ ගිය, අදහස් පළ කළ, විද්‍යුත් ලිපි එවූ, මා දිරිමත් කළ, පහර දුන්, මා සමග රණ්ඩු වූ ඔබ සැමට ස්තුතියි. ඔබ සියලු දෙනා මට ධෛර්යයක්!

බ්ලොග් ලිවීම හරිම ආස්වාදජනක කටයුත්තක්. එය ඇබ්බැහි වන සුළු යි! නමුත් මෙහි ගුණාත්මක බව රැකගත යුතු නිසා දීර්ඝ ලිපි පළ කළ යුත්තේ මනා ව සූදානම් ව ටික දවසක් ලිවීමෙන් පසුව විතරක් බව මට පෙනී ගියා. නමුත් මට කට පියාගෙන ඉන්න බැරි කරුණු කාරණා ගැන ඉක්මන් සටහනක් ලියන්නත් මම පැකිළෙන්නේ නෑ. එක අතකින් මේ බ්ලොග් සටහන් හඬනගා සිතීමක් වැනියි. මගේ හිතට එකඟ දේ තමයි මම ලියන්නේ. මෙහි පළ වෙන ඇතැම් අදහසක් ස්ථාපිත ජනමාධ්‍ය තුළට වැද්ද නොගන්නාසුළු විය හැකියි. ඒත් ඒ අදහස් මගේ. බ්ලොග්කරණයේ සහ අන්තර්ජාලයේ තිබෙන නිදහස් ස්වරූපය නිසා මේ ආකාරයෙන් ඒ ධාරණා සහ ආලෝචනා ප්රකාශයට පත් කිරීමට දැන් ඉඩ තියෙනවා. සමහරු මගෙන් අහපු ප්රශ්නයක් තමයි කොහොමද සිංහලෙන් මේ තරම් ගොඩක් ටයිප් කරන්නෙ කියන එක. මම සිංහලෙන් ටයිප් කරන්න වෙලා දැන් අවුරුදු හත අටක් වෙනවා. ‍පොත් පත් ලිවීමේ දීත්, පුවත්පත්වලට ලිපි ලිවීමේ දීත් වෙනත් යතුරු ලියන්නන් මත රඳා පැවතීම හරිම හිසරදයක්. මට අවශ්‍ය අක්ෂර වින්‍යාසය සහිත ව, පද බෙදීම් සහිත ව සෝදුපත් බැලීමේ දී අනවශ්‍ය කරදර මගහරවාගනිමින් ඉක්මනින් ම මුද්රණය කරා යවන්න පුළුවන් මම ම පරිගණකයෙන් ලියනකොට. මම යොදාගන්නේ විජේසේකර යතුරු පුවරුව සහිත අක්ෂර වර්ග. ඇත්තට ම යුනිකෝඩ්කරණයට පස්සේ සිංහලෙන් ලිවීමත් අන්තර්ජාල කටයුතු කිරීමත් බෙහෙවින් ම පහසු වුණා. මම කළේ කලින් පුරුදු විදිහට ම සිංහලෙන් නෝට් පෑඩ් එක පරිහරණය කරමින් ටයිප් කිරීම විතරයි. හරියට ඉංග්රීසියෙන් ටයිප් කරන විදිහට ම. ලැන්ග්වේජ් බාර් එකේ(language bar) භාෂාව සිංහල ලෙස වෙනස් කරගැනීම විතරයි අමුතු දේකට කරන්න තියෙන්නේ. වැඩි විස්තර සඳහා උපකාර පිටුව බලන්න. මම කල්පනා කරන්නේ සිංහලෙන් ලියන ලේඛකයිනුත් ඉංග්රීසියෙන් ලියන උදවිය වගේ ම පරිගණකයෙන් ලිවීම “උගත යුතු” බව යි. . එයින් කාලයත් නිරවද්‍යතාවත් යන දෙක ම රැකෙනවා.

Viagra for Society?

| Comments

සමාජයට වාජීකරණය?



ලක්බිම පත්තරේ ක්රීඩා පිටුවට ඉහළින් පළවෙලා තිබුණු දැන්වීමක් දැකලා මම අන්දුන් කුන්දුන් වුණා. සෝවාන් මාර්ගඵල ලාභියෙක් දැන්වීමක් පළ කරලා! ඔව්, ඔබ ඒ කියවපු වැකිය හරි! “සෝවාන් ඵලයට පිවිසි” වෛද්‍යාචාර්ය ගොඩකන්ද මහතාගෙන් ධර්ම දානයක් හැටියට නම් කොට තිබුණු මේ දැන්වීම වර්තමාන සමාජ-සංස්කෘතික ජීවිතයේ අර්බුදය පිළිබඳ මනා පිළිබිඹුවක්. අද බොහෝ විට සිංහල පත්තර විතරක් නෙවෙයි ඉංග්රීසි පත්තර පවා සැලකිය යුතු මට්ටමකින් මේ වර්ගයේ වෙළඳ දැන්වීම්වලින් ආදායම් උපදවාගන්නවා. සමහර පත්තරවල පිටු පිරෙන්න එක්කෝ වශී ගුරුකම්, එහෙමත් නැතිනම් දේව උපකාරයෙන් විභාග සමත් කරදීමට, රෝග සුව කිරීමට භාරගන්නා කොන්තරාත්, එසේත් නැති නම් පුරුෂ ශක්තිය වර්ධනය කිරීමට ගොඩ බෙහෙත්. මීට අමතරව නීත්‍යනුකූල නොවන දහසකුත් එකක් “වෛද්‍යාචාර්යවරුන්ගේ” දැන්වීම්. ඇයි ඒ විතරක් ද? හදි-හූනියම්වලින් සහනය පිණිස සෙත් ශාන්ති? දැන් ඔන්න මේ ප්රවණතාව තවත් කුළුගැන්වීමකට ඇවිත් බවයි මේ දැන්වීම්වලින් මට තේරුම් ගියේ. මේ දක්වා සෝවාන් ඵල වගේ දේවල්වලට මේක ගමන් කරලා තිබුණේ නෑ. නමුත් දැන් ඒකත් හරි. තව අවුරුදු කීපයක් යද්දී “බුද්ධත්වයට පත් අසවල් මහතාගේ ධර්ම පණිවිඩ” ලෙස හැඳින්වූ වෙළඳ දැන්වීම් පළ වෙතොත් මම නම් පුදුම වෙන්නෙ නෑ.

දැන් හාස්‍ය රසය විඳීම පැත්තක තියලා මේ ප්රපංචය තරමක් ගැඹුරින් විභාග කර බැලුවොත් මේක ලෝක ව්‍යාප්ත ප්රවණතාවක් බව ඔබට පෙනේවි. මේවා හුදෙක් මානසික රෝගීන්ගේ වැඩ හැටියට නම් කරලා ලඝු ලෙස අවසන් කරන්න පුළුවන් දේ නෙමෙයි. මොකද මේ වගේ වැඩවලට සැලකිය යුතු අනුගාමිකත්වයක් තියෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය වැනි නූතනවාදී ලෞකිකත්වය සංස්ථාපිත ව සියවස් ගණන් ගත වූ සමාජ තුළත් මෙබඳු “ආගමික” - විද්‍යා විරෝධී - ඇතැම් විට මධ්‍යකාලීන ආගමික අවතාරවල පුනරාගමනයක් සේ පවා දැකිය හැකි - ප්රවණතා බලවත් ව නැගී සිටිනු දැකිය හැකියි. මේවායේ සමාජීය මූලය කුමක් ද? අද අප ජීවත් වන සමාජ වටාපිටාව විසින් මේ වර්ගයේ ආගමික පුනරුත්ථානයන්ට සහ ගොඩ වෙදකම්වලට සුවදායී වාතාවරණයක් උදා කොට ඇත්තේ මන්ද? ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලියු. බුෂ්ගේ මැතිවරණ ව්‍යාපාරය පසුපස පවා විද්‍යා විරෝධී වූත් ආගමික මූලධර්මවාදී වූත් ප්රවණතා පෙළගැසී සිටියා. විද්‍යා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන, පර්යේෂණ උදෙසා යොමු කෙරෙන ප්රතිපාදන විශාල වසයෙන් කප්පාදු කිරීම විසින් පසුගිය වසර කිහිපය සංලක්ෂිත වුණා. ආගම සේ ම විද්‍යාව ද වරණයක් හැටියට (කැමැත්ත මත තෝරා ගත හැකි දෙයක් ලෙස) අධ්‍යාපනයට ඇතුළත් කළ යුතු ය යි යෝජනා කෙරී ඇති අවධියක් මේක. ඒ අතරවාරයේ නානා ප්රකාර කායික හා ආධ්‍යාත්මික ගොඩ වෙදුන් කරලියට ඇවිත්. ශ්රී ලංකාවේත් වෛද්‍ය ප්රතිකාර ගැනීම වෙනුවට “දේව” විකල්පයක් ‍වෙත යොමු වීම නිසා මරුමුවට පත් වීමේ සිද්ධීන් කීපයක් ම වාර්තා වුණා. ලෝක පරිමාණ යුද්ධවලින් දැදුරු වී ගිය, දුගී භාවය ඉහවහා ගිය, සරුසාර ජීවිතයක් පිළිබඳ අපේක්ෂා සුන්නද්දූලි ව ගිය, හති වුටුණු සමයක ප්රශ්නවලට විසඳුම් සොයාගෙන ‍ඓහලෞකික බලවේග දිහාවට හැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මිනිසුන් තුළ රාජ්‍යය කෙරෙහි, පවත්නා දේශපාලනය කෙරෙහි, සමාජ සංස්ථාවන් කෙරෙහි විශ්වාසය සම්පූර්ණයෙන් ම භංග වූ කල්හි මෙවැනි “අතුරු මාවත්” පෑදෙනවා. දෙවිවරු උපදිනවා. දැන් සෝවාන් ඵල ලාභියෙකුත් ඉන්නවා. බුදුවරුත් “පහළ වේවි”. නිසැක ව ම කලින් කී සමාජ ප්රශ්නවලට වග කිව යුතු පාලකයින්ගේ සාදර අනුග්රහය මේ “විකල්ප” විසඳුම්කාරයින්ට ලැබෙනවා. “පවත්නා ලෝක පර්යාය අප්රියයි, අමනාපයි, ජුගුප්සාජනයි. ඒත් ඒ ගැන කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නෑ උඹලා තමන් ඇතුළෙ ම විමුක්තියක් හොයාපල්ලා”. ඒක තමයි පාලක පන්තිය පැත්තෙන් දෙන ලණුව.



අදටත් මේ වගේ විකාරකාරයින්ට රූපවාහිනී නාලිකාවලත් වැදගත් ගුවන් කාල වෙන් වෙලා. මේ මෑත දී ක්රිකට් තරගාවලියක සජීව විකාශය ගෙන ආ කණ්ඩායමකට ජ්‍යෝතීර්වේදියෙක් ද අයත් වුණා! ඔහු කළේ ඒ ඒ ක්රීඩකයාගේ හඳහන පරීක්ෂා කිරීම මගින් අදාළ තරගය පිළිබඳ අනාවැකි කීමයි. තරගයෙන් පසුව ජය පරාජය ආදිය ගැනත් ඒ ආකාරයේ ‍”‍ජ්‍යෝතීර් විද්‍යාත්මක” හේතු පැහැදිලි කිරීමක් ද කෙරුණා. ඒ වගේ ම තමයි දවසේ ජ්‍යෝතිෂ පලාපල ගෙන ඒම බොහෝ රූපවාහිනී නාලිකාවල චාරිත්රයක් වී ඇති බව මගේ මිතුරකු මගින් මට අහන්න ලැබුණා.

මේක හුදෙක් පාරතොටේ කුස්සියෙ විතරක් තියෙන තත්වයකුත් නෙමෙයි. මෙහි වඩා විදග්ධ ශාස්ත්රාලීය ප්රකාශකයින් විශ්ව විද්‍යාල වැනි දෘෂ්ටිවාදාත්මක ආයතන තුළ සොයාගත හැකියි. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා ගුරුවරු කීප දෙනෙක් ම ශීල ව්‍යාපාර පැවැත්වීමේත් අධිභෞතික කාරණා ගැන පදනම් විරහිත මතිමතාන්තර ප්රචලිත කිරීමේත් පෙරමුණ ගනු පසුගිය වකවානුවේ දක්නට ලැබුණා. ඔවුන් පුනරුත්පත්තිය, අධි භෞතික හාස්කම් ආදිය සනාථ කිරීම පිණිස “පර්යේෂණ” පැවැත්වීමටත් යොමු වුණා. ඒත් ඒ කිසිවක් ශාස්ත්රීය පදනමක් සහිත ව වලංගු ස්ථානවල සනාථ කෙරුණේ නම් නෑ, රූපවාහිනී සංදර්ශන පවත්වා ප්රේක්ෂකයා මන්මත් කිරීම හැර. ජනප්රිය රූපවාහිනී වැඩසටහනක් යනු ශාස්ත්රීය කටයුත්තක් ඔප්පු කළ හැකි තැනක් නෙවෙයි. ඒ වගේ ම තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගත්තත්. හැම මුල්ලක ම ශීල ව්‍යාපාර. භාවනා වැඩසටහන්. ඒවට තමයි මුල් තැන. සමහර අධ්‍යයනාංශවල කටයුතුවලටත් නැකැත් බැලීම අත්‍යවශ්‍ය වෙලා!

මේ මිථ්‍යාවන්ගෙන් විමුක්ත වීම අත්‍යවශ්‍ය කාරණයක්. මිනිසාගේ දෛනික ජීවිතයේ ප්රශ්නවල සැබෑ හේතු දැක ගන්නත් ඒවාට මුහුණ දෙන්නත් එහෙම නැතුව නම් බැහැ.

අවුරුදු නාඩගම්

| Comments

අද උදා වුණු නව වසරේ ගලා ආ සුබ පැතුම්වලට කන් දෙමින් මම රූපවාහිනිය බලන්න ගත්තා. ඒත් එහි දක්නට ලැබුණු දේවල් නිසා මට නම් පහළ වුණේ දීප්තිමත්, “සුබ අලුත් අවුරුදු සිතිවිලි” නම් නෙමෙයි. ස්වාධීන රූපවාහිනිය රටේ විවිධ ස්ථාන හතරක සිට විකාශය ගෙනගිය අතර ත්රිකුණාමලයේ සිට විකාශය වූ දේශපාලන නාඩගම දුටු විට මට නම් ඇති වුණේ ඉහවහා ගිය පිළිකුලක්. ත්රිවිධ හමුදාවන්ට අයත් විවිධ නිලධාරීන් අවුරුද්ද සමරන ආකාරය හැටියට නම් කෙරුණු “නාටකයක්” එහි රඟදැක්වුණා. අවුරුදු උදාවත් සමග නිවේදක ගයාන් චින්තක අබේසිංහගේ වචනවලට අනුව “හමුදාව විසින් මුදවාගත් අහිංසක දෙමළ දරුවන්” දෙදෙනෙකු වඩා ගත් හමුදා නිලධාරීන් දෙදෙනෙක් ඔවුන්ට නැකතට බත් කවනු නැවත නැවතත් පෙන්වනු ලැබුවා. එහි දී චිත්රණය කරන්න වෑයම් කෙරුණේ හමුදාව සහ “අහිංසක දෙමළ ජනතාව” අතර පවතින්නේ යයි කියා පෑ සුසංවාදයයි. ආණ්ඩුව උතුරු හා නැ‍ගෙනහිර ප්රදේශවල ජනතාවගේ ජීවිතවලට කඩාපාත් කොට තිබෙන යුදමය ව්‍යසනය වසන් කොට යුද හමුදාවටත් ආණ්ඩුවටත් සුදුහුණු ගෑම එම වැඩසටහනේ ඒකායන අභිප්රාය වූ බව පෙනීගියා. ඒත් යුද හමුදාව, ආණ්ඩුවේ ක්රියාකාරකම් සහ උතුරු නැගෙනහිර ප්රදේශවල ජනතාවගේ සැබෑ තත්වය කුමක් ද?

මට මීට සති කිහිපයකට කලින් මුහුණ දුන් සිදුවීමක් මතක් වුණා. ත්රිකුණාමල නගරයේ වාසය කරන මගේ තරුණ මිතුරෙකුට හදිසියේ ම රට හැර පලා යන්න සිද්ධ වුණා. හේතුව? කරුණා කල්ලිය ඔහුට එම සංවිධානයට එක් වන ලෙස දිගින් දිගට ම බලපෑම් කිරීමයි. ඔහුට පොලිසියට‍ හෝ කිසිදු ආරක්ෂක අංශයකට පැමිණිලි කිරීමේ හැකියාවක් තිබුණේ නෑ. මොකද ත්රිකුණාමල ප්රදේශයේ කරුණා කණ්ඩායම ඍජු ව ම රාජ්‍ය ආරක්ශක අංශයන් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ. මගේ මිත්රයාට බ්රිතාන්‍යය වැනි රටක දේශපාලන සරණාගතයෙක් හැටියට සංක්රමණය වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න වත් පුළුවන්කමක් තිබුණේ නෑ. මොකද ඔහුට සිය ගැටලුව පිළිබඳ පොලිස් පොතේ පැමැණිල්ලක් වත් ලියන්න තිබුණු භීතිය නිසා ඔහුව තර්ජනයට ලක් වෙලා කියලා ඔප්පු කරන්න විදිහක් තිබුණේ නෑ. පොලිසියට යන්න හැදුවොත් එවෙලේ ම මැරුම් කන්න වෙන තත්වයක් තිබුණේ. ඔහු වෑන් රියක නංවාගෙන සිය දේශපාලන කාර්යාලයට රැගෙන ගිය කරුණා කණ්ඩායම දෙවතාවක් ඔහුගෙන් ප්රශ්න කොට සිය සංවිධානයට එක් වන්නේ නම් කිසිදු ප්රශ්නයක් නොවන බව අවධාරණය කර සිටියා. ඔහුගේ සෑම සියලු ගමන් විස්තරයක් ම සෑම සියලු සම්බන්ධතාවක් ම ඔවුන් ක්රමානුකූලව වාර්තා කරගෙන තිබුණු බවයි පෙනුණේ. ඔහු කොළඹ ආවත් යන එන තැන් කන බොන තැන් පවා මේ පිරිස දන්නා බව ඇඟවුම් කෙරුණු දේවලින් පෙනුණා. ඔහුට ජීවිතය බේරා ගැනීමට තිබුණු එක මාර්ගය පලා යාම විතරයි. මොකද කරුණා කල්ලියට බැඳුණොත් එල්.ටී.ටී.ඊ.යෙන් මැරුම් කන්න වෙනවා. එහෙම නොකර හිටියොත් කරුණා කල්ලියෙන් මැරුම් කන්න වෙනවා. පොලිස් පැමැණිල්ලක් දැම්මොත් ඒක මිනිත්තු කීපයක් ඇතුළත කරුණා කල්ලියට වාර්තා වෙනවා. මගේ මිතුරා හිටියේ ජීවිතයත් මරණයත් අතර. වාසනාවට ඔහුට වෙනත් රටකට යන්න අවශ්‍ය මුදල් සපයාගෙන සංචාරක වීසා පතක් ලබාගන්න හැකියාව තිබුණා. ඒත් ඔහු ගියේ ත්රිකුණාමලයේ ගොඩනගාගනිමින් තිබූ තරුණ ජීවිතයට, අනාගත අපේක්ෂාවන්ට, සියලු සම්බන්ධතාවලට සමු දීලා. ඔහුට ආයේ මේ රටට එන්න ලැබෙන්නේ කවදාද යන්න ගැන කාටවත් නිශ්චිත ව කියන්න පුළුවන් වාතාවරණයක් නෙමෙයි අද තියෙන්නේ. මේ එක උදාහරණයක් විතරයි. ඒත් එහෙම මුදල් වියදම් කරගන්න බැරි අයගේ ඉරණම මොකක් ද? හමුදාව අර රූපවාහිනියෙ පෙන්නුවා වගේ හුරතල් කරකර කෑම කවලා තෑගි දීලා රැකබලාගන්නවද? මොන තරම් පිළිකුල් සහගත විදිහට ද ඇත්ත වසන් කරන්න වෑයම් කරන්නේ. ඒත් ඇත්ත හැම වෙලේ ම හංගන්න පුළුවන් වෙයි ද?