වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බාසා පොල්ල

| Comments



මගේ කලින් බ්ලොග් සටහන කියවපු මිතුරෙක් අහනවා ඇයි ලැන්ග්වේජ් බාර් කියන වචනෙට සිංහලෙන් යෙදුමක් හදන්නෙ නැත්තෙ කියලා. ඔහු පාසැල් සමයේ පටන් ම භාෂා පාරිශුද්ධතාවාදියෙක්. ටෙලි නාට්‍යයක වත් ඊනියා “මිශ්ර සිංහල” වචනයක් ‍දකින්න කැමති නැති ජාතියේ කෙනෙක්. (මේ බ්ලොග් සටහන් කට බසේ ව්‍යාකරණයෙන් පළ කිරීම ගැනත් ඔහු හරිම නොසන්සුන් වෙලයි ඉන්නේ. ඔහුට අනුව මම ජාති ද්රෝහී අන්තර්ගතයෙන් යුත් ලිපි පළ කරනවා විතරක් නෙමෙයි, සිංහල භාෂාවත් විනාස කරනවා!) මම කල්පනා කරලා මෙහෙම කිව්වා- “එහෙම නම් ඉතින් කියන්න වෙන්නේ ‘භාෂා පොල්ල’ කියලා තමයි. තව ටිකක් හෙළයට බර කරලා ‘බස් පොල්ල’ කියලා කියන්නත් පුළුවන්!!! “පොල්ලක් දානවා” කියලා සිංහලෙන් කියනවනෙ මොකක් හරි වැඩකට බාධකයක් දාන එකටත්. අත්තනෝමතික ආකාරයට සෑම සියලු වචනයකට ම සමාන සිංහල වචන හදන එකෙන් සන්නිවේදන කාර්යයට “පොල්ලක් වැටෙන එක” නම් සහතිකයි.

මේ තත්වය ගැන වෙබ් ආ‍ලෝචනා පාරිභාෂික පද මාලා පිටුවේ ප්රතිචාරයක් ලියපු නිර්නාමික පාඨකයෙකුත් වැදගත් අදහසක් මතු කර තිබුණා. මගේ අදහසත් ඊට බෙහෙවින් ම සමානයි. ඇත්තට ම ලෝකෙ තියෙන හැම වචනෙට ම සිංහල භාෂාවෙන් පරිවර්තිත පද නිපදවීම අනවශ්‍ය දෙයක්. භාෂාවකට වචන එක් වීමේ ක්රම ගණනාවක් තියෙනවා. පද එක් වන ක්රමය අනුව තත්සම, තද්භව සහ නිෂ්පන්න කියලා සාම්ප්රදායික ව ඒවා වර්ග කෙරෙනවා. නිෂ්පන්න වචන කියන්නේ අදාළ භාෂාව තුළ ම නිපදවුණු වචන. තද්භව කියන්නේ වෙනත් භාෂාවක වචනයක් ඇසුරින් නිපදවා ගැනුණු වචන. තත්සම කියන්නේ කෙලින් ම අදාළ භාෂාව තුළට වෙනත් භාෂාවකින් ආනයනය කරගත් වචන. සිංහල භාෂාව මේ සියලු වර්ගයේ වචනවලින් පිරිලා. ඒ එක ක්රමයක් අනෙකට වඩා උසස් ය කියන්න කිසි ම වාග් විද්‍යානුකූල හේතුවක් නැහැ. කවර මාර්ගයෙන් වචනයක් එකතු වෙනවා ද යන්න බොහෝ විට සන්නිවේදන පහසුව, වයවහාරය හා අදාළ විෂයක්ෂේත්රය මත තීරණය වන්නක්. සිදත් සඟරාවෙ පවා උපදෙස් දීලා තියෙන්නේ “වහරනුසරෙන් සපයා” කියලයි. ඒ කියන්නෙ ව්‍යවහාරය අනුසාරයෙන් සම්පාදනය කරගන්න කියලයි.

වෙනත් භාෂාවක පවත්නා වචන සිංහල කරගන්න පුළුවන් අදාළ වචනය අගට “ය” “ව” හෝ “එක” යෙදීමෙන්. සංස්කෘතිය, ගරාජය, ඇස්‍ටරොයිඩය, බසය (බස් එක) ආදී වශයෙන් ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් වචන සිංහලයට ඇවිත් තියෙනවා මේ ආකාරයට. බස් කියන වචනේ වෙනත් භාෂාවල තිබුණත් බස් එක කියලා යෙදුමක් තියෙන්නේ සිංහල භාෂාවේ විතරයි නේ. ඒක කාටත් තේරෙනවා. අපි උදේ හවස භාවිතා කරන පහසු, ඒ වගේ ම නිවැරදි යෙදුමක් ඒක. මවුසයත් ඒ විදිහට සකසා ගත් පදයක්. පසුගියදා සිංහල යුනිකෝඩ් සමූහය තුළ සාකච්ඡා කෙරුණු පරිදි, ගැජට්ටුව, විජට්ටුව(ගැජට් එක, විජට් එක) ආදී පද ඉතා සුඛනම්‍ය ආකාරයෙන් සන්නිවේදනය උදෙසා යොදාගත හැකියි. විද්‍යා ක්ෂේත්රයේ ඇතැම් වචන (උදා- පිපෙට්ටුව - එනම් විද්‍යාගාර උපකරණය, මොනිටරය) දැනට මත් මේ ආකාරයෙන් සකසාගෙන තිබෙනවා. එහෙම නොකර හැම තැන දී ම “පිරිසිදු” සිංහල වචන නිපදවන්න ගියොත් නියෝජිත තැපැල් කාර්යාලයට (agency post office) “නියෙදි පහින පොළ” කියන්න ගිහින් සිද්ධ වුණා වගේ හාස්‍ය රසය විතරක් නිපදවලා දරපු මහන්සිය අපතේ යාවි. 1992 විතර පළ වුණු එක්තරා පරිගණක උපදේශන පොතක තියෙනවා මෙහෙම - “මීයා වම් පසින් තෙරපා පහළට අදින්න”. ඒ කාලේ සමහරු මවුසයට යෝජනා කළ වචන අතර “මීයා” ද තිබුණා.