වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ලක්බිම හොට බිම ඇනගැනීම, කොපි කිරීම, ආචාරධර්ම සහ බුද්ධිමය දේපොල නීතිය

| Comments

ලක්බිම නිවුස් (Lakbima News) ඉංගිරිසි පුවත්පතේ කර්තෘ රාජ්පාල් අබේනායක මහතා වෙබ්ලොග් රචකයින්ගෙන් අන්තර්ගතය සොරාගත්තාට අමතරව දැන් බ්ලොග්කරුවන්ට දුරකථනයෙන් බැණවදින්නත් පටන්ගෙන! මොනතරම් උද්ධච්ච හැසිරීමක් ද? ඇයි මම මේ ගැන සිංහලෙන් ලියාගෙන ලියාගෙන යන්නෙ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මම ලියන්නෙ වර්තමාන පාඨකයන්ට වගේ ම ගූගල්(google) නමැති දීර්ඝකාලීන පාඨකයා ගැනත් හිතලයි. මේ සිදුවීම් සිංහලෙනුත් වාර්තා කර තැබිය යුතුයි. ඒ වගේ ම මම අදහස් කරනවා මෙය සිංහල පුවත්පත්වල පළ කිරීමට. පළ කළත් නැතත් ලක්බිමටත් යවනවා. මේ සිද්ධිය පිළිබඳ අවසන් නෛතික, සදාචාරාත්මක හා වෘත්තීය නිගමනවලට කිසිවෙක් තවම ළඟා වී නෑ. සිදුවීම් හටගෙන අහවරත් නෑ. අපි ඉන්නේ මේ කලබගෑනිය මැද. ඒත් මෙය වැදගත් පූර්වාදර්ශ කිහිපයක් සම්පාදනය කෙරෙමින් පවතින අවස්ථාවක්.

මෙන්න confab ගෙන් උපුටනයක්

“I called back an hour later and asked to speak Rajpal, and I was promptly put through. I explained what had happened and I told him that we were considering a few options, including taking legal action and also giving publicity to their ways through other media, including other newspapers. He got abusive and told me to publicise it in New York and the Great Wall of China (why he chose those two places still dumbfounds me). Again he swore at me and hung up.

“I called back another hour later and told him that I thought the line got cut mid conversation. I asked him why the permission of the author was not sought. He said that since the article was on a public domain, ie the www, it was usable by anyone. At this point I asked him whether he steals articles off sites such as http://www.bbc.co.uk/ without their permission. He didn’t reply. I then brought his attention to the fact that there was a disclaimer Chaar~max’s site stating that the material was not for commercial use. He said he had looked through plenty of blogs and had not paid attention to any licenses or disclaimers. How convenient. He lost his cool again and started shouting at me, at which I kept saying “all we want is an apology”. Again he told me to fuck off and hung up.”

දළ අනුවාදයක් :

“මම පැයකට පස්සේ ආපහු අමතලා රාජ්පාල්ට කතා කරන්න අවශ්‍ය බව කීවා. මාව නිසි පරිදි(අදාළ තැනට) යොමු කෙරුණා. මම සිදු වී ඇති දෙය පැහැදිලි කර නීතිමය පියවර ගැනීමත් වෙනත් පුවත්පත් මගින් සිද්ධිය ගැන පුසිද්ධිය ලබා දීමත් ඇතුළු පියවර අප විසින් සලකා බැලෙමින් තිබූ බව දැනුම් දුන්නා. ඔහු බැණවදින්න වුණා, නිව්යෝක් සහ චීන මහා ප්‍රකාරය මත පුසිද්ධිය දෙන මෙන් මට කියා සිටියා (මම තවමත් අන්දුන්කුන්දුන් වෙලා ඉන්නෙ ඔහු ඒ තැන් දෙක තෝරාගත්තේ ඇයි කියල) නැවතත් අසභ්‍ය ලෙස බැණ වැදුණු ඔහු (දුරකථනය) විසන්ධි කළා.

“තවත් පැයකට පසු යළි ඇමතූ මම කලින් දුරකථනය සංවාදය අතර මැද දී විසන්ධි වී යයි මට සිතෙන බව පැවසුවා. කතුවරුන්ගේ අවසරය ලබානොගත්තේ මන්දැයි මම ඔහුගෙන් අසා සිටියා. ඔහු කියා සිටියේ ලිපිය ප්‍රසිද්ධ ඩොමේනයක (public domain එනම් www) තිබෙන බැවින් එය ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි බව යි. මේ මොහෙතේ මම ඔවුන් බීබීසී වැනි ආයතනවල ලිපිත් මෙහෙම අවසර නැතුව හොරකම් කරනවද කියල ඇහුවා. ඔහු උත්තර දුන්නේ නෑ. ඉන් පසු chaar~max ගේ අඩෙවියේ එම අන්තර්ගතය වාණිජ කටයුතු සඳහා යොදාගත නොහැකි බවට සඳහනක් තිබෙන බව ඔහුගේ අවධානයට යොමු කළා. තමුන් බ්ලොග් ගණනාවක් පරිශීලනය කර තිබෙන මුත් බලපත්‍ර හෝ පුතිනිෂ්පාදන අයිතිය පිළිබඳ සටහන් ගැන අවධානය යොමු නොකළ බව ඔහු කීවා. මොන තරම් ලේසි ද. ඔහුට යළිත් කෙන්තිය ඇවිස්සී මට කෑගහන්න ගත්තා. එයට පිළිතුරු වශයෙන් මම දිගින් දිගට ම කීවේ “අපට අවශ්‍ය සමාව ගැනීමක් විතරයි” කියලයි. යළිත් මට තෝ හැමණියං(fuck off) කියූ ඔහු දුරකථනය විසන්ධි කළා”

(රාජ්පාල් අබේනායක සහ බ්ලොග් රචක confab අතර දුරකථන සංවාදය)

වැඩිදුර කියවන්න | Read More

රාජ්පාල් අබේනායක කීර්තිමත් මාධ්යවේදියෙක්. ඔහුට දීර්ඝකාලීන ගෞරවසම්පන්න වාර්තාවක් තිබෙනවා මේ වෘත්තිය තුළ. ඒත් දැන් කිරි කළයට ගොම බවුසරයක් හලා ගත්තා වගේ.

ඔහු නිදහසට කරුණක් හැටියට දක්වලා තියෙන්නේ ඒ බ්ලොග් අඩෙවිවල ප්‍රතිනිෂ්පාදන අයිතිය පිළිබඳ සඳහන ගැන අවධානය යොමු නොකළ බව. නීතිඥයකු ද වන අබේනායක සමතාට පෙන්වා දිය යුතු කාරණයක් තියෙනවා. ඔහු එවැනි සටහන් ගැන බැලීම හෝ නොබැලීම අදාළ කාරණයක් නෙවෙයි. නීතිය නොදැන්මත් වරද නිවරද වීමට හේතුවක් නෙවෙයි. මූලික කාරණය තමයි, නෛතික ව එහෙම නිවේදන ලියලා පළ කරන්න අවශ්‍යතාවක් ඇත්තේ නෑ. Copyright Disclaimer එකක් එනම් ප්‍රතිනිෂ්පාදන අයිතීන් පිළිබඳ නිවේදනයක් පළ කර තිබුණත් නැතත් නෛතික ව අදාළ රචකයාට පූර්ණ හිමිකම් තියෙනවා සිය ලිපි ලේඛන සම්බන්ධයෙන්. ඒ වගේ ම ප්‍රසිද්ධ ඩොමේනයක ඇති දේ ඕනෑම කෙනෙකුට පරිහරණය කළ හැකි බවටත් ඔහු නන්දොඩවලා. මෙය සම්පූර්ණ අසත්‍ය පල් හෑල්ලක්. පුවත්පත් කර්තෘ ධුරයක ඉන්නේ මේ තරම් දැනුම් තේරුම් නැති පුද්ගලයෙක් ද? බුද්ධිමය දේපල පනත ගැනත් ලොව වටා වෙනත් තන්හි බුද්ධිමට දේපළ හිමිකම් ගැනත්, මූලාශ්‍ර පිළිබඳ මාධ්‍ය ආචාර ධර්ම ගැනත් පුවත්පත් පැමිණිලි කොමිසමේ දී අවශ්‍ය නම් ඔබට ටියුෂන් පන්තියක් පැවැත්වීමට අපිට පුළුවන්. ඒත් ඊට කලින් ගෙදර දී ම මේවා කියවලා ආවොත් තමයි හොඳ. එතකොට තමයි රෙදි ඇඳගෙන නම්බුකාර විදිහට පත්තර කර්තෘකම කරන්න පුළුවන්. හොඳයි අපි මොහොතකට පිළිගනිමු උගත් කර්තෘතුමා මේ සියල්ල දන්නා බව. ඒත් කටට එන දේ කියලා බ්ලොග් රචකයා “බය කරගන්න” පුළුවන් වේවි කියලා අබේනායක මහතා කල්පනා කළා විය හැකියි. එහෙත් රාජ්පාල් මහතාණෙනි, පෙර මෙන් සර්වබලධාරී තත්වයක් මාධ්‍යවේදියාට අද නෑ. ඒ ඉස්සර. ඔබ නමින් රාජ්පාල් වුවත් ඔබට (මාධ්‍යවේදියාට) රාජ්‍ය අධිකාරය (සිව් වෙනි අධිකාරය - fourth estate) අහිමි වී බොහෝ කල්. මේ වෙබ් 2.0 යුගය යි. මාධ්‍යවේදීන්ගේ තත්වය පිරිහිලා තිබීමට අමතර ව අන්තර්ජාලයේ වෙබ් 2.0 විප්ලවයට පින්සිදු වන්නට තවත් බොහෝ දෙනාට අද හඬවල් ලැබී තිබෙනවා.(කියවන්න VIC, පුළුවන් නම් අවසර ගෙන දහසින් බැඳි පියලි දී ඒ රුවන් වැකිය Lakbima News හි පළ කරගන්න.) ඔබට නිකම් වනලා කතාකරන්න බෑ. එහෙම කළා කියලා කවුරුත් ඔබට බයවෙන්නෙත් නෑ. ඔබ නිශ්චිත විය යුතුයි. වගකීම් සහගත විය යුතුයි. නමුත් අහෝ! ඔබ දැනටමත් අනාගෙන ඉවරයි. ගෞරවාන්විත පසුබැසීමක් සහ උචිත සමාව භජනය කිරීමක් සහිත නිවැරදි පාර තෝරා ගැනීම මැනැවි.

ඊට අමතර ව ලක්බිම වෙනුවෙන් ඇතැම් බ්ලොග් අඩෙවිවල නිදහසට කරුණු දක්වා ඇති තැනැත්තා කියා ඇති දෑ බලන්න. එය අතිශය අවිශ්වසනීය හේතු දැක්වීමක්. පරස්පර විරෝධීයි. එයටත් නිසි පිළිතුරු confab එතැන ම දී තිබෙනවා. ඊට අමතර ව ඊමේල් පහසුකම් ගැන දන්වා නොතිබුණත් ඕනෑ ම බ්ලොග්කරුවෙක් ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිචාර තීරුව යටතේ සම්බන්ධ කරගන්න පුළුවන් - ප්‍රතිචාරත් බලරහිත(disabled) කර නැත් නම්. මේ ප්‍රශ්නයට මැදි වූ සියලු දෙනාගේ බ්ලොග් වල comments හෙවත් ප්‍රතිචාර සටහන් කිරීමේ පහසුකම තිබුණා. සියලු දෙනා කොත්තු(kottu.org) සහ අච්චාරු(achcharu.org) ඔස්සේ නියෝජනය වී ඇති නිසා ඒ අඩෙවි මෙහෙයවන අය හරහා වුවත් අදාළ පුද්ගලයා අල්ලා ගැනීමේ හැකියාව නැත්තේ නෑ. සම්බන්ධ කරගැනීමේ නොහැකියාව, ප්‍රසිද්ධ ඩොමේනවල අන්තර්ගතය ගැන බොරු විකාර කතා, ඊමේල් ලිපින නොමැති වීම මේ ඔක්කොම කතා දැන් අතේ පත්තු වෙලා. දැන් වෙලා තියෙන්නේ ගලේ පැහැරූ බළලාට සිදු වූ දෙය යි. මොන තර්කය නැඟුවත් ඔවුන් කළ දෙය සාධාරණීකරණය කරනු බැහැ. සිදු වූ දෙය හංගන්නත් බැහැ.

අන්තර්ජාලය සහ මූලත්වය(originality) ගැන පසුවදනක්
දැන් අපි බලමු මේ ප්රශ්නයේ වෙනත් පැතිකඩක්. කලින් සටහන්වලට වෙබ් ආලෝචනා තුළ මෙන් ම වෙනත් තැන්වල ද පිළිතුරු සැපයූ ඇතැම් අය කියූ දෙයක් තමයි අන්තර්ජාලයත් සමග originality (මූලත්වය) අහෝසි වී ඇති බව. අපේ මිතුරු පූජිතත් එයින් එක් කෙනෙක්. ඔහු කියනවා මේවා සොරකම් නෙවෙයි ලු සේවාවක් ලු! ඔහු ඉස්සර විකිපීඩියා ලිපි පවා සම්බන්ධක නැතුව සිය බ්ලොග් අඩෙවියේ පළ කර තිබෙනවා (මතකද Raising the Flag on Iwo Jima? - දැන් හොඳ වෙලාවට ඒක ඉවත් කරලා) ඉතින් ඔහුට මේ ගැන මේ විදිහට හිතීම සාධාරණයි :-) මේ කියන “ඔරිජිනල් භාවය” අහිමි වීම හැමෝම හැම තිස්සේ ම දකින සුලභ පුවත් වෙබ් අඩෙවි, ඕපාදූප සම්බන්ධයෙන් “ඇත්තක්” වගේ පේන්න පුළුවන්. ඒත් අන්තර්ජාලයෙත් original අන්තර්ගතය තියෙනවා, අනිත් සෑම මාධ්යයක් තුළ සේ ම! පර්යේෂණ කරන, අලුත් තොරතුරු විශ්ලේෂණය කරන, ලිපි, නිර්මාණ පළ කරන අතිවිශාල සංඛ්යාවක් දෙනා අන්තර්ජාලයේ වැඩ කරනවා. මනරම් රසබර ලිපි, නිර්මාණ සම්පාදනය කරන බ්ලොග්කරුවන් ඉන්නවා. කලාකරුවෝ, කවියෝ සාහිත්යධරයෝ ඉන්නවා. මොවුන්ගේ කටයුතු මූලික යි. ඒවා original නෑ කියලා කියන්න බෑ. ඒ කතාවලින් කොපි කිරීමේ සහ මුල් කතුවරුන්ගේ අයිතිය මකා දැමීමේ කටයුතු සාධාරණීකරණය වෙන්නේ නෑ. මුලින් ම දේවල් නිර්මාණය කළ අය, ආයතන, වෙබ්අඩෙවි, ඔබ කොයි තරම් කොපි පෙස්ට් කරමින් සිටියත් ඔබට බාහිර යථාර්ථයේ කාලය හා අවකාශය තුළ සිටිනවා/පවතිනවා. එය මකා දැමිය නොහැකියි. ඝාසා තීරයේ ජීවිත අවදානමට ලක් වෙමින් වාර්තාකරණයේ යෙදෙන බීබීසී වාර්තාකරුවාගේ සටහන “නිව්යෝක් සිට ලියන” සිරි හීන්පැල්ල අන්තර්ජාලයෙන් ලංකාදීප පුවත්පතට හොරෙන් ම කොපි කළා කියලා බීබීසී මාධ්යවේදියාගේ කටයුතුවල මූලත්වය අහෝසි වෙන්නේ නෑ. Indi, Mahangu, VIC, Cerno, Rhythmic Diaspora ආදී අය තරම් හොඳින්, මනරම් ශෛලියකින්, නිර්මාණශීලී ව ලියන අය අද ලංකාවේ පත්තරවල (අලුත් පරම්පරාවේ ලේඛකයින් අතර) හිගයි. ඔවුන් ලියන දේ මූලත්වයෙන් යුක්තයි(original). ඒ අන්තර්ගතයට ඇතැම් විය එකඟ වුණත් නැතත් ශෛලීන් හා ලේඛන විලාස අනර්ඝ බව මම හැම විට ම හිතන දෙයක්. දැන් පූජිත මත් සම්බන්ධ වී සිටින සැළලිහිණි සන්දේශ සංස්කරණය බලන්න. එය මූලික කටයුත්තක්. කවුරුන් හරි එය බාගත කරගෙන ටියුෂන් පන්තිවල විකුණන්න පටන්ගත්තොත් අනිවාර්යයෙන් ම ඔහුට හෝ ඇයට විරුද්ධව අපි නඩු පැවරිය යුතුයි. ඔබ කොපි කර ඇති දෑ දකින අය එහි මුල් පිටපත් දකින විට ඔබට සිනා සෙනවා. රාජ්පාල් වැනි එවැනි සොරකම් කළ දෙයින් මුදල් ද ගරන අයට නම් සිනහසීම පමණක් ප්රමාණවත් නෑ. මේ කොපිගසන්නන් ලක්ෂ ගණනින් ආදායම් උපයන්නේ සොරකම් කරගත් ධනයෙන්. දැනුම සහ නිර්මාණශීලීත්වය යනු මිල අධික ධනයක්. ලක්බිම පුවත් පත ගනිමු. එය ලාභ ලැබීම සඳහා පවත්වාගෙන යන ආයතනයක්. ඔවුන් සිය පුවත් පතට වෙළඳ දැන්වීම් මගින් ආදායම උත්පාදනය කරනවා. මේ සියල්ලට මූලය එහි තිබෙන අන්තර්ගතය යි. දැන් ඒ අන්තර්ගතය සොරාගත් දෙයින් පුරවා කිසිදු වියදමකින් තොර ව ලාභ ලැබීම ගැන ඔබ කියන්නේ කුමක් ද? මලින්ත සමරකෝනුත් එවැනි එක් සිද්ධියක් ගැන ලියා තිබුණා. අර පරිගණක පොත් “රචකයා” අන්තර්ජාලයේ නොමිලේ නැරඹිය හැකි වෙබ් අඩෙවිය අනවසරයෙන් කොපි කොට පොතක් කර රුපියල් බර ගණනකට විකිණීම ගැන මොකද කියන්නෙ?

මේ ක්ෂමාලාපකයින් (apologists) කියන්නේ මෙන්න මේ වගේ කාරණයක් - අද හැම තැන ම පවතින තත්වය ඕකයි. අන්තර්ජාලය තුළ හැමෝ ම හැමෝවම උපුටන නිසා මේ සොරකම සොරකමක් නෙවෙයි. මේක යි යථාර්ථය ආදී වශයෙන්. මට තේරෙනවා ඔබේ තර්කය. ඒත් පවත්නා තත්වය එනමි යථාව සෑම කල්හි ම තථ්‍ය වන්නේ නෑ. එය විය යුත්ත නියෝජනය කරන්නේ ද නෑ. තේරෙන භාෂාවෙන් කීවොත් සිද්ධ වෙන හැම දෙයක් ම සිද්ධ වී තිබීම යන හේතුව මත නිවැරදි වෙන්නේ නෑ. මේ හේගලියානු ආප්තය මෙතනටත් අදාළයි.

හොරු සමග Journalism : ජනමාධ්‍ය, මූලාශ්‍ර පිළිබඳ ආචාරධර්ම, ලේඛක අයිතිය සහ වෙනත් දේ ගැන පුද්ගලික ධාරණා ටිකක්

| Comments

මම මේ සටහන ලියන්නේ ලංකාවේ මුද්‍රිත මාධ්‍යවල‍ට සහ අපේ බ්ලොග් අවකාශයේ මෑත සිදුවීම් කිහිපයකට අදාළව. මීට අවුරුදු කීපයකට පෙර අපි බ්ලොග් ලිවීම ආරම්භ කරද්දී තිබිණු එක ප්රවණතාවක් තමයි හොඳ අන්තර්ගතයක්(content) ලියාගන්න බැරි නම් වෙනත් ප්රවෘත්ති හෝ උපුටාගෙන සිය රචනා වෙනුවට පළ කිරීම. ඒ කටයුතුවල ආචාරධාර්මික ගැටලුවක් මම දකින්නේ නෑ. මොකද උපුටා පළ කරන බොහෝ දෙනා අදාළ මූලාශ්‍රය වෙත සම්බන්ධක(links) පළ කිරීමට උත්සුක වන නිසා. ඒ වගේ ම ලින්ක් බ්ලොග්කරණය(link blogging) කියා දෙයකුත් ඇත්තට ම තියෙනවනෙ. ඒක කවදත් පැවතුණා. ලින්ක් කිරීම හා අන්තර් සම්බන්ධතා ගොඩනැගීම යනු අන්තර්ජාලයේ ප්රධානතම කර්තව්යයක් හැටියට යි මම දකින්නේ. මූලාශ්‍ර සඳහන් නොකර අන්තර්ගතය පැහැරගත්තොත් Copyscape වැනි වෙබ් අඩෙවිවලට පින් සිදු වන්නට ඒ හොරුන් අනාවරණය කරගන්න පුළුවන්. මේ ප්රවණතා සමග සීරුමාරූ කරගත හැකි Creative Commons වැනි බලපත් ක්රමවේද ද දැනුම සංසරණය වඩා ක්රමවත් හා පහසු බවට පත් කර තිබෙනවා.

ලංකාවේ බ්ලොග් අවකාශයේ (blogosphere) තත්වය ඉහළ යෑමත් සමග ස්වාධීන ලේඛන හැටියට ගත්තත් උසස් තත්වයේ පවතින බ්ලොග් රචනා කරන අය සංඛ්යාවෙන් ඉහළ ගියා. අද ප්රධාන පෙළේ ජනමාධ්ය ආයතන බ්ලොග්කරුවන්ගෙන් අන්තර්ගතය සොරාගෙන පළ කරන්න තරම් දුර දිග ගිහින් තිබීමෙන් පිළිබිඹු වන එක කාරණයක් තමයි ඒ. එය බ්ලොග් අවකාශයේ තත්වය ගැන අපට දැනෙන සුභවාදී සංඥාවක්. නමුත් මුද්රිත මාධ්ය අන්තර්ජාලයෙන් අන්තර්ගතය සොරාගැනීමේ දී එය අල්ලාගන්න පත්තරය දැකපු කෙනෙක් දැනුම් දුන්නොත් ඇර Copyscape වැනි පහසු ක්රම නෑ. මේ බලන්න Cerno ගේ ලිපිය ඉංග්රීසි ජනමාධ්ය සම්බන්ධයෙන්. තවත් ලිපි කිහිපයක් ම පළ වුණා මේ Lakbima News සිද්ධිය ගැන. නොදන්නා ලේඛකයින් අන්තර්ජාලයේ ලියා ඇති දෑ කොපි පේස්ට් කිරීමෙන් වාසි කීපයක් අත්පත් කරගන්න පුළුවන් පත්තරවලට. පළමුවෙනි එක තමයි ලේඛකයින්ට සතයක් වත් ගෙවන්න වෙන්නෙ නෑ. පත්තරේට ඍජු සම්බන්ධයක් ඇතුව ලියන අභ්‍යන්තර මාණ්ඩලික රචකයකුට හෝ බාහිර නිදහස් ලේඛකයකුට ගෙවීම් කරන්න වෙනවා. මේ කොපි ගැහිල්ල නිසා ඒ වියදම ඉතුරුයි. ඊට පස්සේ තමුන්ගෙ වගේ පෙන්නගෙන පළ කරන්න අන්තර්ගතයත් නොමිලේ ලැබෙනවා. කෙසේ වෙතත් අන්තර්ජාලයෙන් සහ වෙනත් තැන්වලින් අන්තර්ගතය උපුටාගැනීම අතින් ඉතා ම පහත් හැසිරීම් පළ කර ඇත්තේ සිංහල-දෙමළ පුවත්පත් හා ජනමාධ්‍ය ආයතන බව මගේ අත්දැකීම යි.

සිංහල පුවත්පත්වල අද වන විට සැලකිය යුතු ලිපි සංඛ්‍යාවක් පළ වෙනවා මෙන්න මෙහෙම සටහනක් ඇතුව : අන්තර්ජාලය ඇසුරෙනි! හරියට අන්තර්ජාලය කියන්නේ මේ අයගෙ නැන්දගෙ බූදලය වගේ! ඒත් ටිකක් විපරම් කර බලද්දී පෙනී යනවා මේ “අන්තර්ජාලය ඇසුරින්” ලියන ලේඛකයින් බොහෝ දෙනෙක් කරන්නේ තනිකර කොපි කිරිල්ලක්. ඒවා අන්තර්ජාලය ඔස්සේ සෙවීම් කොට තොරතුරු සංස්ලේෂණය හා විශ්ලේෂණය කර පළ කරන ලිපි නෙමෙයි. මේ වගේ ලිපිවල බෙහෙවින් ම දක්නට ලැබෙන්නේ කොහේ හෝ වෙබ් අඩෙවියකින් ගත් එක ලිපියක් සිංහලට හෝ දෙමළට පරිවර්තනය කොට මුල් කතුවරයාගේ නම මකා තමුන්ගේ නම ඒ මතට දැමීමක්. සමහර ලිපිවල අන්තර්ජාලය ඇසුරින් කියලා වත් ලියන්න තැකීමක් කරන්නෙ නෑ. සමහර ටැබ්ලොයිඩ් ප්රකාශන එහෙම පිටින් ම වෙබ් අඩෙවිවල අනවසර කොපි. දැන් මේ Lakbima News පුවත් පත තමුන්ගේ වගේ පළකරගෙන තියෙන බ්ලොග් රචනා දිහා බලන්න. කිසි ම දැනුම් දීමකින් තොරව ඒවා අරන් පළ කරන එක තමයි මේ අය කරන්නෙ. මගේ හිතමිතුරු සංස්කාරිකාවක් හිටියා ප්‍රධාන දෙමළ පුවත්පතක. ඇය ඇතැම් පිටු හා අංශවලට අධිපති වෙලා ඉන්න කාලේ වගේ ම විද්‍යා හා තාක්ෂණ පිටුව මෙහෙයවද්දිත් කළේ අමු අමුවේ ඇස් පනාපිට කොපි කිරීම යි. මම මේ ගැන ප්‍රශ්න කළ විට අන්තර්ජාල සන්ධාරය උපුටාගැනීමේ දී තමන් සතු වගකීම් ගැන ඇයට තේරුමක් තිබුණේ නැති බව පෙනී ගියා. මේ තත්වයට බොහෝ සෙයින් ම හේතු වන කාරණයක් තමයි අන්ර්ජාල අන්තර්ගතය සම්පාදනය වන අන්දම පිළිබඳ මේ මාධ්‍යවේදීන් තුළ පවත්නා නූගත්කම(ignorance). වෙබ් අන්තර්ගතය ද අන් සියලු ලිපි ලේඛන සේ ම මිනිස් ශ්‍රමයේ ප්‍රතිඵල බව සිතීමට මොවුන් පෙළඹෙන්නේ නැති තරම්. කෙසේ වෙතත් මෙරට සෑම ප්‍රධාන පුවත්පතක ම පාහේ කර්තෘත්වය/සංස්කාරකත්වය දරන්නේ මෙවැනි පිටු සංස්කාරකවරුන් හෝ අත්දැකීම් මඳ දුහුනන් නෙවෙයි. ඔවුන් දශක ගණනාවක් තිස්සේ මාධ්‍යවේදයෙහි නිරත ව සිටි ජ්‍යේෂ්ඨ වෘත්තිකයින්. ජනමාධ්‍යවේදයේ තත්වය කෙතරම් පිරිහුණත් තව මත් කර්තෘ පුටු ටික ගැන අපට ඒ සහතිකය දෙන්න පුළුවන්. ඉතින් මේ අයගේ ප්‍රධාන වගකීමක් විය යුතුයි තමුන්ගේ කනිෂ්ට වෘත්තිකයින්ට සිය පුවත්පතේ හෝ සඟරාවේ මූලාශ්‍ර සහ ලේඛක අයිතීන් සම්බන්ධයෙන් වගකීම් සහගත ආකල්පයක් පුහුණු කිරීම. එසේ නොකළොත් ඔවුන් සිය වගකීම පැහැර හැරියා වෙනවා. දැන් ඉංගිරිසි ලක්බිම පුවත් පතේ සිදුව ඇත්තේ එවැන්නක් බව මට අනුමාන කරන්න පුළුවන්. ඇතැම් ප්‍රධාන සංස්කාරකවරුන් පවා මූලාශ්‍ර ගැන නොතැකීම් සහගත වන අවස්ථා මම දැක තිබෙනවා. වරක් මම එක්තරා ලිපි පෙළක් සම්පාදනය කරද්දී(බ්ලොග් ආරම්භ වුණු කාලේ. කොත්තු ආදිය එතකොට තිබුණෙ නෑ. සුනාමියට බොහෝ පෙර) එක්තරා ප්‍රධාන සංස්කාරකවරයෙකු හා මා අතර හුවමාරු වූ දෙබස් මට තව ම මතකයි. මම ආනන්දවර්ධන නිසා සංස්කාරකට ජයවර්ධන කියමු.

මම - හලෝ මිස්ට ජයවර්ධන, කොහොම ද ඉතින් ….. (වැල් වටාරම් කතා එකසිය විසිපහකට පමණ පසු) මේ ඔයාලා මගේ මේ සැරේ ලිපියේ මූලාශ්‍ර ටික පළ කරලා නෑ නෙ. මේ ලිපිය ලියද්දී මම කරුණු ගත්ත තැන් පළ නොකළොත් මේ විෂය ගැන දන්න මිනිස්සුන්ට මම මූණ දෙන්නෙ කොහොමද? මට ඊයෙත් එක්කෙනෙක් හම්බ වුණා. මාර අප්සෙට් එක මට. මම අන්තිම අපහසු තත්වෙකට පත්වෙලා ඉන්නෙ මේ නිසා.
සංස්කාරක - අනේ වෙරි සොරි. ඒක මට ගාණක් ගියේ නෑ. මම හිතුව ඒක කැපුවට කමක් නෑ කියල.
මම - ඒ වුණත් ආයෙ එහෙම කරන්න එපා. මොකද මේ කරුණු මගේ සොයාගැනීම් නෙවෙයි. වෙනත් අයගේ දැනුම. ඒවා අපි සඳහන් කළ යුතුයි. නැතුව් මේක කියවන දන්න කියන මිනිස්සු හිනා වෙන්නෙ මටයි. බොරුවට අනුන්ගෙ දේවල් තමුන්ගෙ වගේ ලියාගන්නව කියල. අනිත් එක මූලාශ්‍ර පළ කළාම වැඩි දුර විස්තර දැනගන්න කැමති අයට ඒවා කියවන්න හොයන්න දොරටුවකුත් ඇරෙනවනෙ…
සංස්කාරක - හොඳයි හොඳයි, මම ඊළඟ සැරේ අනිවාර්යයෙන් ම දාන්නම්

ඔන්න ඊළඟ සැරේ මම අන්තර්ජාල විමර්ශන කීපයකුත් සහිත ලිපියක මූලාශ්‍ර කපලා තියෙනවා දැකලා ආයෙත් ප්‍රධාන සංස්කාරකට ඇමතුමක් ගත්තා

මම - හලෝ ජයවර්ධන මහත්තයෝ මේ පාරත් මගේ මූලාශ්‍ර ටිකට වැඩේ දීලනෙ!
සංස්කාරක - ආ මම හිතුවා මේ පාර තියෙන්නෙ වෙබ් සයිට්ස් කීපයක් නිසා ඒක අවශ්‍ය වෙන එකක් නෑ කියලා. පොත් නෙවෙයිනෙ. සොරි.
මම - ඉතින් වෙබ් සයිට්ස් කියන්නෙත් මූලාශ්‍ර තමයි. ඒව ලියන්නෙත් මිනිස්සු! මේ උපුටාගෙන තියෙන අදහස් ඒ අයගෙ! මගේ තර්ක පදනම් වෙලා තියෙන්නෙ ඒ අයගේ අදහස් මත.
සංස්කාරක - හරි අපි ඒ ඔක්කොම ඊළඟ ලිපියෙදි හදමු.
මම - අන්න නියමයි. මගෙ නම කපලා ඒ ලැබෙන ඉඩේ හරි කමක් නෑ මූලාශ්‍ර ටික පළ කරන්න. ඉඩ නෑ වගේ හේතු මේ පේළි දෙකතුනට නම් කියන්න එපා.
සංස්කාරක - නෑ නෑ ප්රශ්නයක් නෑ ආනන්දවර්ධන. එහෙම දෙයක් නෙවෙයි. අපි ඔයාට අවශ්ය විදිහට මූලාශ්‍ර පළ කරමු.

ඔන්න ආයෙමත් වතාවක මොවුන් මගේ මූලාශ්‍ර ටික කපලා. මට ඒ සැරේ අල්ලාගන්න පුළුවන් වුණේ ප්‍රධානියා නෙවෙයි දෙවෙනියා.

මම - බලන්ඩකො මම හැමදාම මිස්ටර් ජයවර්ධනට කියනව මේ විදිහට මූලාශ්‍ර කපන එක මට විතරක් නෙවෙයි ඔයාලගෙ ආයතනයටත් හොඳ මදි කියල. ඒත් ඉතින් ඒක ගණන් ගන්න බවක් නම් පේන්න නෑ.
සහාය සංස්කාරක - ෂහ් හරි වැඩේ නේද? ඔයා ඒව ලියලද එවන්නෙ?
මම - ලියල නැත්නම් කොහොම එවන්න ද? මම එවන්නෙ ටයිප් කරපු ලිපියක්. මම හැම ලිපියක ම අන්තිමට මගේ මූලාශ්‍ර පිළිවෙලට වර්ග කරල සදහන් කරනව. අදාළ තැන්වල වරහන් ඇතුළෙත් දානව.
සහාය සංස්කාරක - මේකනේ, ඉතින් පුරුද්දට වගේ මෙහේ ලිපි පළ කරනකොට මූලාශ්‍ර ගැන සඳහන් වෙන්නෙ නෑනෙ. ඉන්ටනෙට් එකේ ආටිකල්ස් අරන් ඕන තරම් ලිපි හදනවනෙ.
මම - ඉතින් ඒක හරිද?
සහාය සංස්කාරක - ඇත්ත තමයි. මම ඊළඟ සැරේ ඉඳලා අනිවාර්යයෙන් ම අඩු ගාණේ ඔයාගෙ ලිපිවල වත් මූලාශ්‍ර ටික නොකැපෙන්න වැඩ කරන්නං.
මම - හැබැයි අනේ එක දෙයක්. මම දෙයක් කියන්නෙ තුන් පාරයි ආයෙ තුන් වෙනි සැරෙන් පස්සේ මම ලියන එක නතර කරනවා. දැන් මේ තුන් වෙනි වතාව. ඔන්න තරහා වෙන්න නං එපා. අපි ඉතින් මේව කෙලින් කතා කරගන්න ඔන නෙ නැද්ද?
සහාය සංස්කාරක - සම්පූර්ණ ඇත්ත මෙයා. කලබල වෙන්න එපා ඔක්කොම හරි මේ පාර ඉඳන්.
ඒත් ඒ සහතිකය හරි ගියේ නෑ. මම ඔවුන්ට ඒ ලිපි පෙළ සැපයීම නවත්වා දැම්මා. පසු කලක එය වෙනත් තැනක නිසි පරිදි පළ වූ බවත් එම සංස්කාරක මණ්ඩලයට ස්තුතිවන්ත වෙමින් කිව යුතුයි. ඒත් ඔවුන් පවා මගේ අත්ලිපි කලින් මාධ්ය ආයතනයේ මුද්‍රිත ලිපි සමහ සසඳමින් විස්මයට පත් වුණා. “හැබෑට අද මේ අත්පිටපත් දකිනකල් මමත් හිතුවෙ ඔයා අනුන්ගෙ දේවල් කොපි කරලා acknowledgments මොකුත් නැතුව අරගොල්ලන්ට යවලා නිකං ඔයාගෙ වගේ පළ කරගත්තා කියලයි.” අලුත් පුවත් පතේ එක සම සංස්කාරිකාවක් මට කීවා. තව මට හමු නොවුණු බොහෝ දෙනෙක් මම ගැන ඒ විදිහට හිතන්න ඇති.

තවත් හාස්‍යජනක කොපි කිරීමේ සිද්ධියක්. එක්තරා “ලේඛකයෙක්” ප්‍රධාන පෙළේ සිංහල පුවත් පතකට ලියනවා විවිධාකාරයේ දේ ගැන. සාහිත්යයේ, දේශපාලනයේ පටන් ගුප්ත තාපය, පරමාණුවේ ක්‍රියාකාරීත්වය දක්වා තුන් ලෝකයේ සියලු දේවල් ඔහු ලියනවා. නමට යටින් නිව්යෝක් හි සිට ලියයි කියලත් පළ වෙනවා. ඒත් පැහැදිලි ව ම ඔහුගේ නිව් යෝක් ජීවිතයත් පත්තරවලට ලියන දෙවලුත් අතර සම්බන්ධයක් නෑ. ඔහු කරන්නේ අන්තර්ජාලයෙන් තනිකර කොපි කිරීම. ඉතින් දවසක් ඔහු හොඳටම වරද්දාගත්තා හැරී පොටර් සහ ජේ.කේ රෝලිංග්(J.K Rawling) ගැන ලියන්න ගිහින්. ඔහු කොපි කරකර ඉන්න නිසා ඇය ගෑණු ද පිරිමි ද කියලා වත් දැනගෙන නෙවෙයි හැරී පොටර් දොරට වැඩීමේ මංගල්‍යය ගැන ලීවේ. ඒ වතාවේ පළමු වරට ලොව පුරා උත්සවවලට සමගාමීව ලංකාවෙත් දොරට වැඩුමක් කෙරුණු නිසා ඒ ගැන යහමින් ලිපි පළ වුණා. මේ අසරණ මනුස්සයා හිතුවේ රෝව්ලිං පිරිමි ලේඛකයෙක් කියලයි. පුවත් වෙබ් අඩෙවිවල පළ වුණු බොහෝ ලිපි වල නම පළ වුණාට She ද He ද කියලා පළ වෙන තැනක් මෙයාට අහු වෙලා නෑ. අනිත් එක පිළිවෙලකට සොයා ලිවීමේ පුරුද්දක් වත් තිබුණා නම් නිල වෙබ් අඩෙවි මුණගැහෙන්න තිබුණා. ඉතින් දිගට ම පත්තරේ මේක යනවා. “ඔහු පළමු පොත අසවල් වර්ෂයේ පළ කළේ ය… ඔහු හිටපු මාධ්‍යවේදියෙකි” වගේ දේවල්. බලාගෙන ඉඳලා බැරිම තැන මම දවසක් කර්තෘතුමාගෙ දුරකථනයට ඇමතුවා. “අහවලා නිකම් කොපි කරකර ලියල එවන්නෙ හැරී පොටර් කර්තෘ ගෑණුද පිරිමිද කියලවත් දන්නෙ නෑ. ඔයාලා මේවා කියවලා බලලා නෙවෙයි ද පළ කරන්නෙ?” දීර්ඝ නිහඬතාවකට පසු ප්‍රවීණතම කතුවරයා මෙහෙම කියනවා. “ඔයා එහෙනම් එහෙම කියල ලිපියක් එවන්න අපි ඒක පළ කරන්නම්”. අද වන තුරුත් එහෙම ලිපියක් පළ වුණේ නෑ. ඒ විතරක් නෙවෙයි. අපේ copycat හාදයා තව මත් “නිව් යෝක් සිට” අන්තර්ජාලයෙන් කොපි කරකර මේ පත්තරේට සිංහලෙන් එවනවා. අදත් ඒවා පළ වෙනවා. කිසිම ලිපියක් අන්තර්ජාලයෙන් උපුටාගත් බවක් සඳහන් වෙන්නේ නෑ. පාඨකයන්ට පෙන්වන්නේ ඔහු නිව්යෝක් නගරයේ සිටිමින් අමුතුවෙන් යමක් සොයා ලියන බව. නමුත් නිව් යෝක් ත්‍රස්ත ප්‍රහාරය ගැන පවා ඔහුගෙන් පළ වුණේ copycat ලිපියක්. ලංකාවෙ හිටපු ලේඛකයො ඊට වඩා සොයා බැලූ ගවේෂණාත්මක ලිපි පළ කළා.

පසුවදනක්
බ්ලොග්අවකාශය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ගේ අවධානයට පාත්‍ර වීම ඉතා සතුටුදායක දෙයක්. බ්ලොග් අන්තර්ගතය පුවත්පත්වල මුද්‍රණය වීමත් ඉතා අගෙයි. මේ ප්‍රවණතාව ඇතැමි යහපත් සංඥා පළ කරන බව පෙනෙනවා. එමගින් බ්ලොග් අවකාශයට මෙන් ම පුවත්පත් වලටත් වෙන්නේ වාසියක් මිස පාඩුවක් නම් නෙවෙයි. වෙනත් රටවල මේ සම්බන්ධයෙන් ඕනෑ තරම් සාධනීය නිදසුන් දැකගන්න පුළුවන්. ඒත් ලේඛකයින්ගේ ශ්‍රමය හා අයිතිය පිළිබඳ කාරණයේ දී බ්ලොග් ද පත්තර ද කියලා වෙනසක් තියෙන්න විදිහක් නෑ. කවුරු කවුරුත් සිය ලිපිවල මූලාශ්‍රවලට ගරුකළ යුතුයි. මුල් ලේඛකයින්ටත් ඒ ශ්‍රමයටත් ගරු කළ යුතුයි. හොරකම හොරකම මයි. සුළු දැනුම් දීමකින් පසු අවසර ගෙන සම්බන්ධක(links) පළ කොට, මේ ගැටලු විසඳා ගත හැකි ව තිබුණු බවයි පෙනෙන්නේ. සියල්ල යහපත් ලෙස විස‍ඳේ ය යි මම ප්‍රාර්ථනා කරනවා.

උගනිව්!

| Comments



අද උපුටනයක්. මට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විරචිත සුචරිත ගම්ලත් පරිවර්තනය කළ උගනිව් නමැති පද්‍යය සිහිපත් වුණේ අප රටේ වෙසෙන කීර්තිමත් වයෝවෘද්ධ පඬිරුවනක් වන අනඳපිය කුඩාතිහි සූරීන් දැන් පරිගණක පන්තියකට යමින් සිටින බව කියැවෙන ලංකාදීප ලිපිය දුටු විටයි. අසූ එක්(81) හැවිරිදි කුඩාතිහි සූරීන් සිය ලේඛන කලාවට නව තාක්ෂණයේ පහසුව සලසා ගන්නා අටියෙන් පරිගණක තාක්ෂණය හදාරනවා. මෙය පරිගණක තාක්ෂණයේ මේ සා වර්ධනයන් තිබිය දීත් තව මත් පසුගාමී ව මුළුගැන්වී සිටින අපේ බොහෝ දෙනාට කියා දෙන්නේ කුමක් දැයි බලන්න.

අනඳපිය කුඩාතිහි හෙළ හවුලේ වත්මන් නායකයා. ප්‍රවීණතම මාධ්‍යවේදියෙක්. එසේ ම භාෂා ව්‍යවහාරයට අදාළ අධිකාරසම්පන්න කෘතියක් වන න ණ ල ළ වහර සහ තවත් බොහෝ පත පොත ඔහු විසින් රචිතයි. එතුමන්ගේ පරිවර්තන අතර ඩී. එච් ලෝරන්ස්ගේ Love Among the Heystacks (පිදුරු පාවරේ යොවුන් ආදරේ) සහ රබින්ද්‍රනාථ ඨාකුරයන්ගේ Broken Ties (බිඳුණු බැඳුම්) යන අගනා පොත් ද තිබෙනවා.

සිය පරිගණක අධ්‍යාපනය ගැන කුඩාතිහි සූරීන්ගෙන් ම වචන කිහිපයක් උපුටා දැක්වීම උචිත යි:
“මට යතුරු ලියන දෙකක් තියෙනවා. මම ලියපු හැම පොතක් ම මේ යතුරු ලියනවලින් ටයිප් කරපුවා. තාමත් මම පත්තර කන්තෝරුවලට ලිපි යවන්නේ ටයිප් කරලා. යතුරු ලියනයෙන් ටයිප් කරන්න වැඩි වෙලාවක් ගත වන නිසා මට හිතුණා පරිගණකය භාවිතා කරන්න පුරුදු වෙන්න. අලුත් ලෝකයට ගැලපෙන විදිහට නිර්මාණ කරන්නත්, ලේඛන කටයුතු මීට වඩා වේගවත් ව නිර්මාණශීලීවත් කිරීමට බලාපොරොත්තුවෙනුයි මා පරිගණක පාඨමාලාව හදාරන්න ගියේ…

“යතුරු ලියනයෙන් ටයිප් කරනකොට වැරැදි වුණොත් ඒක ටිපෙක්ස් ගාලා මකන්න ඕනෑ. පරිගණකයේ එහෙම නැහැ. වචනයක් වැරදුණොත්, ඒ වචනය වෙනුවට අලුත් යමක් එකතු කරන්න ඔන වුණොත් එක යතුරක් (ඇණයක්) භාවිතා කරලා එම නිවැරදි කිරීම කර ගත හැකියි. පරිගණකය භාවිතා කරන්නාට වැරදුණා කියා හිතන්න වත් බැහැ. ඒ වගේ මයි කොම්පියුටරයේ වැඩ වේගවත්. මා හිතනවා තව මාස තුනකින් විතර මට මේ නව තාක්ෂණික භාවිතයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා…

“අපි පරණ මිනිස්සු, අපට ඉතින් නව පන්නෙට හැඩ ගැහෙන්න බෑනේ කියලා මා කවදාවත් හිතන් නෑ. පැරණි වැව් අමුණු, පැරණි ගොඩනැගිලි වුණත් ප්‍රතිසංස්කරණය කළාම තව කල් තියාගන්න පුළුවන්.

“ඒ වගේ ම තමයි අපේ මොළෙත්. වැඩ ගන්න, වැඩ ගන්න තමයි අලුත් දේ හොයන්න පුළුවන් වෙන්නේ. අලුත් දේ කරන්න පුළුවන් වෙන්නේ.”

“…තව මාස තුනකින් මම මේ නව දැනුම භාවිතා කරලා අලුත් දෙයක් කරනවා. ඒ දේ මට කරන්න පුළුවන්.”

- අනඳපිය කුඩාතිහි, ඉරිදා ලංකාදීප 2007 ජූලි 8, 5 වැනි පිටුව. සාකච්ඡාව සම්පාදනය අසුන්තා එදිරිසූරිය
උගනිව්!

සරල ම දේ උගනිව්
තොපගේ යුගය එළඹ ඇත
උගැනුමට පමා නැත!

උගනිව් අයනු ආයනු
ඒ මදි බව සැබැවි
එහෙත් උගනිව්
හෝඩිය!

අධෛර්යවත් නො වව්
දියත් කරව් නැණ නැව
කරව් තරණය
විදු සයුර අපරිමිත
උදුරා ගනිව් නායකත්වය.

අනාථය, හදාරව
අනාථාගාරයෙහි!
සිරකරුව, හදාරව
බන්ධනාගාරයෙහි!
ගෘහණියනි, හදාරව
කුස්සියෙහි!
හැට පිරුණත් හදාරව!

ඉහට වහලක් නැතත්
සොයා යව් විදුහල!
ගත වෙවුලත සීතලෙන්
මොලවවු ඥාන අග්නිය
සා පිපාසා පහරත
ගනිව් පොත සුරතට -
එයයි තොප ආයුධය
උදුරා ගනිව් නායකත්වය

නොබා විමසවු සොයුරනි!
නො විකිණෙව් උන්ට,
බලා තමා දෙස
නො දත් බව දැන ගනිව්.
හොය හොයා නොදත් දේ
රැස් කරව් ඥාන ධන
උදුරා ගනිව්
නායකත්වය.

රචනය - බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
පරිවර්තනය - සුචරිත ගම්ලත්
උපුටා ගැනුණේ 1995 එස්. ගොඩගේ සහ සහෝදරයින් විසින් ප්‍රකාශිත සාහිත්‍ය කලා ආදිය ගැන නමැති කෘති‍යේ 9 වැනි පිටුවෙන්.

සිරි රහල් වත

| Comments

අප විසින් ළඟ දී පළ කිරීමට අපේක්ෂිත සැළලිහිණි සන්දේශයේ ව්‍යාඛ්‍යා සහිත අන්තර්ජාල සංස්කරණය නිමිත්තෙන් ලියැවුණු අවිධිමත් සටහන් පෙළක පළමුවැන්න. මේවා ලියන ලද්දේ සංස්කරණ කාරියේ යෙදී සිටිය දී පහළ වූ ආස්වාදය නිසා මිස පළ කරන අටියෙන් නෙවෙයි. ඒත් පළ කළත් හානියක් නැතැයි පසුව හිතුණා. මේවා තුළ ඇතැම් විට මගේ පුද්ගලික සටහන් සහ මතිමතාන්තරත් තියෙන්න පුළුවන්. ඇතැම් විට උපුටනත් තියෙනවා. උපුටනවල ඒ ඒ තන්හි අදාළ මුල් කෘති ද සඳහන් කෙරේවි.

ජනප්‍රවාදගත මූලාශ්‍ර සේ ම සාහිත්‍යික මූලාශ්‍ර ද සනාථ කරන පරිදි තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් මේ කලාපයේ පහළ ව සිටි අග්‍රගණ්‍ය පඬිරුවනක් බවට විවාදයක් නැහැ. උන්වහන්සේ පාරප්‍රාප්තව සිටි භාෂා ශාස්ත්‍ර නිසා ම ෂඩ් භාෂා පරමේශ්වර යන විරුදාවලිය ද ලැබුවා. සංස්කෘත, ප්‍රාකෘත, මාගධී, අපභ්‍රංශ, පෛශාචී, ‍ශෛෟරසේනි යනු එකී ෂඩ් භාෂා යි. සැළලිහිණි පුරාණ සන්න රචකයා රහල් හිමියන්ව මෙහෙම වර්ණනා කරනවා -

“…නැණ ගුරු සබස සමය ද දැනුමෙන් වොරැඳී” (නුවණින් සුරාචාර්යයා වැනි වූ ෂඩ් භාෂා හා ස්වසමයසමයාන්තරයන් ද පරිඥානයෙහි විරාජිත වූ…)

නමුත් උන්වහන්සේ ඊට අමතර භාෂා ද දැන සිටියා. සිංහල හා දෙමළ එකී ෂඩ් භාෂාවන්ට අයත් නෑ. පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය, සැළලිහිණි සන්දේශය, මොග්ගල්ලානපංචිකාප්‍රදීපය සහ බුද්ධිප්පසාදිනිය යන මේ කෘති උන්වහන්සේට පැවැති සමය සමයාන්තර, භාෂාන්තර හා කලාත්මක ඥානයේ අයම්විතර මොනවට විදහා පානවා. මින් පළමු තුන නිර්මාණාත්මක සාහිත්‍ය කෘති වන අතර අනෙක් දෙක පාළි භාෂාධ්‍යයනයට සම්බන්ධිතයි.

සිරි රහල් හිමියන් උපත ලබා ඇත්තේ 1408 දී පමණ. සැළලිහිණිය 1447 හෝ ඒ ආසන්න කාලයක ලියන ලදැයි අනුමාන කළ හැකියි. තොටගමුවේ රාහුල හිමිපාණන් සැළලිහිණි සන්දේශය රචනා කළේ ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට පුත් රුවනක් ලබා දෙන මෙන් කැලණියේ විභීෂණ දෙවිඳුන් යදිනු පිණිස බව සඳහන්. ඒ තමයි මේ කෘතියේ ප්‍රකාශිත අභිප්‍රාය. උලකුඩය දේවියට පසු කලෙක පුත් රුවනක් සැබැවින් ම ලැබුණා. සැළලිහිණි සන්දේශ පුරාණ සන්නයේ ඒ ගැන මෙහෙම සඳහනක් එනවා -

පැරකුම් රජුට පන්තිස් වනු නවම් මස
මනරම් කැරැ බඳුතු මෙහෙසුන් නො වී ලස
අයදුම් ලෙසට සිදුකැරු කිවිඳු අදහස
දෙව්රම් මිතුරු දුන් ගැබ බිසොවට සකස

සතිස් වනු නවමු පුර අස්ලිස නකත
පහස් ලැබ සුපුන්සඳ නුබ තුරැ පැනෙත
සහස්කර කුලට වැඩවන ලෙස සතත
වෙසෙස් රජ කුමරු විලසින් දැකුම්පත


සවැනි පරාක්‍රමබාහු රජුගේ මරණින් පසු රජ පැමිණියේ එම කුමරුයි. හෙතෙම ජයවීර පරාක්‍රමබාහු ලෙසින් හැඳින්වුණා. ඒත් ජයවීර පරාක්‍රමබාහු රජුගේ පාලන කාලය කෙටි එකක්.

සැළලිහිණි සන්දේශයේ ම සඳහන් වෙන තවත් වීරයෙක් තමයි සපුමල් කුමරු.

“බලපිරි සෙන් සහ යාපා පටුන් ගෙන
බල සේනානායන සපු කුමරු එන”

මේ සපුමල් කුමරු යාපනයේ සිටි සිය හිතවත් සේනාධිනායකයින් ද සමග පැමිණ ජයවීර පරාක්‍රමබාහු මරා රජකම පැහැර ගත්තා. ඔහු ශ්‍රී භුවනෛකබාහු හෙවත් බුවනෙකබා යන නම ආරූඪ කැරැ ගත්තා. සිරි රහල් හිමියන් හා මේ රජු අතර එතරම් යහපත් සබඳතාවක් පැවතී නෑ. ජයවීර පරාක්‍රමබාහු රජු ඝාතනය කිරීම මීට හේතු වූවා විය හැකි යි. ඉන් පසු කෙතරම් පාණ්ඩිත්‍යයෙන් හෙබියේ වී නමුදු රාහුල හිමියන්ට ප්‍රධාන පෙළේ ආගමික හෝ ශාස්ත්‍රීය කර්තව්‍යයන් සඳහා සහභාගී වීමේ ඉඩ අහෝසි වී ගියා. ඇතැම් විට එහිමියන් ඒ අවස්ථා වර්ජනය කළා ද විය හැකියි. නිදසුනක් ලෙස එවක මෙරට පැවැති බුරුම භික්ෂූන්ගේ උපසම්පදා උළෙල සඳහා රටේ ප්‍රමුඛ භික්ෂූන් සෑම දෙනෙක් ම පාහේ පහභාගී වුව ද සංඝරාජ(මාහිමි) පදවි දැරූ රහල් හිමියන් ඒ අතර නොසිටීම කැපී පෙනෙනවා. සමහර විට ආණ්ඩුවේ “කැපිල්ලක්” වෙන්න ඇති. එහෙමත් නැත්නම් රහල් හිමියන් එම අවස්ථාවට සහභාගී නොවී සිටියා වෙන්නත් පුළුවන්.

පසු කලෙක සියලු වෙහෙර විහාර පිරුවන් ද රජ වාසල ඇසුර ද අත් හළ රහල් හිමියෝ වන වාසයට ගිය බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. උන්වහන්සේ ඉඳුරුගල නම් ස්ථානයේ ලෙනක දී සිද්ධාලෝක නම් ඔසුවක් වළඳා අපවත් වූ බවත් එනිසා එම දේහය බොහෝ කලත් නොදිරා රැකුණු බවත් වැඩිදුරටත් කියැවෙනවා -

“සතුරු සිංහල සාවියර් සෙන්පතිහු යුදයට පත් වතාවේ
ඉඳුරුගල ගල් ලෙනේ යක් සෙන් අරග්ගනිමින් තිබු මනා වේ
අතුරු අවුරුදු දහස් ගණනක් පවතිනුව කළ මතුරු ජීවේ
මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර‍ ගෙන ගොස් තැබිය ගෝවේ”

ඉන් කියවෙන පරිදි පසුව පරංගීන් විසින් එම දේහය ගෝවට ගෙන යන ලදි ලු.

කෙසේ වෙතත් උන්වහන්සේගේ ජීවිතයේ අපර සමය පිළිබඳ පිළිගත හැකි සාහිත්‍යික මූලාශ්‍ර නැති තරම්. තියෙන්නේ ජනප්‍රවාදගත කතා පමණයි.

නිවේදනයක් : සැළලිහිණි සන්දේශය

| Comments

Update : 26.02.2009 Part 2 of the site is now online! Click here to visit!

Update : 16.07.2008
Part 1 of the site is now online!

සැළලිහිණි සන්දේශ අන්තර්ජාල සංස්කරණයේ පළමු කොටස නිකුත් කිරීමට නියමිත ව තිබුණේ අද. ඒත් සතුටුදායක හේතු කීපයක් නිසා එය තව දින කිහිපයකට කල් දමන්න අපි කල්පනා කළා. අපි මේ කටයුත්ත ආරම්භ කළේ අවම පහසුකම් සහිත ව, බින්දුවෙන්. ඒත් මීට ගලා ආ සුභපැතුම් සේ ම ආධාරෝපකාර ආදියේ පුළුල් වීම නිසා එහි ශ්‍රව්‍ය කොටස් වඩා හොඳ උසස් මට්ටමකින් නිම කරගැනීමේ අවශ්‍යතාව අපට දැනුණා. අපට ලැබුණු ප්‍රතිචාරවලින් පෙනී ගියේ මෙය අප කිහිප දෙනාගේ හුදෙකලා බලාපොරොත්තුවක් පමණක් නොවන බව. එය දැනගැනීමත් සමග අප තවත් බොහෝ දෙනෙක් වෙනුවෙනුත් මේ කටයුත්ත ඉටු කරන බවත් ඒ සඳහා වඩාත් තදින් වගකීමෙන් මේ සංස්කරණයේ කටයුතු නිම කළ යුතු බවත් අපි ඒත්තු ගත්තා. ඒ නිසා ම එම පටිගත කිරීමේ කටයුතු තරමක් සෙමෙන් එහෙත් සූක්ෂ්ම ව නිම කිරීමට තීරණය කෙරුණා. ගුණාත්මක අතින් පියවරක් පෙරට තැබීම කඩිමුඩියේ කරන එළිදැක්වීමකට වඩා යහපත් ද කල්පවත්නා ද වන බව අපේ හැඟීම යි. ඔබ සැමගේ අදහස් - උදහස් - යෝජනා - විද්යුත් ලිපි - දුරකථන පණිවිඩ සියල්ලට ම අනේකවාරයක් ස්තුතියි. මෙය අප දිරිමත් කළ ඔබේත් කෘතිය වන බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුයි.