වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සිරි රහල් වත

| Comments

අප විසින් ළඟ දී පළ කිරීමට අපේක්ෂිත සැළලිහිණි සන්දේශයේ ව්‍යාඛ්‍යා සහිත අන්තර්ජාල සංස්කරණය නිමිත්තෙන් ලියැවුණු අවිධිමත් සටහන් පෙළක පළමුවැන්න. මේවා ලියන ලද්දේ සංස්කරණ කාරියේ යෙදී සිටිය දී පහළ වූ ආස්වාදය නිසා මිස පළ කරන අටියෙන් නෙවෙයි. ඒත් පළ කළත් හානියක් නැතැයි පසුව හිතුණා. මේවා තුළ ඇතැම් විට මගේ පුද්ගලික සටහන් සහ මතිමතාන්තරත් තියෙන්න පුළුවන්. ඇතැම් විට උපුටනත් තියෙනවා. උපුටනවල ඒ ඒ තන්හි අදාළ මුල් කෘති ද සඳහන් කෙරේවි.

ජනප්‍රවාදගත මූලාශ්‍ර සේ ම සාහිත්‍යික මූලාශ්‍ර ද සනාථ කරන පරිදි තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් මේ කලාපයේ පහළ ව සිටි අග්‍රගණ්‍ය පඬිරුවනක් බවට විවාදයක් නැහැ. උන්වහන්සේ පාරප්‍රාප්තව සිටි භාෂා ශාස්ත්‍ර නිසා ම ෂඩ් භාෂා පරමේශ්වර යන විරුදාවලිය ද ලැබුවා. සංස්කෘත, ප්‍රාකෘත, මාගධී, අපභ්‍රංශ, පෛශාචී, ‍ශෛෟරසේනි යනු එකී ෂඩ් භාෂා යි. සැළලිහිණි පුරාණ සන්න රචකයා රහල් හිමියන්ව මෙහෙම වර්ණනා කරනවා -

“…නැණ ගුරු සබස සමය ද දැනුමෙන් වොරැඳී” (නුවණින් සුරාචාර්යයා වැනි වූ ෂඩ් භාෂා හා ස්වසමයසමයාන්තරයන් ද පරිඥානයෙහි විරාජිත වූ…)

නමුත් උන්වහන්සේ ඊට අමතර භාෂා ද දැන සිටියා. සිංහල හා දෙමළ එකී ෂඩ් භාෂාවන්ට අයත් නෑ. පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය, සැළලිහිණි සන්දේශය, මොග්ගල්ලානපංචිකාප්‍රදීපය සහ බුද්ධිප්පසාදිනිය යන මේ කෘති උන්වහන්සේට පැවැති සමය සමයාන්තර, භාෂාන්තර හා කලාත්මක ඥානයේ අයම්විතර මොනවට විදහා පානවා. මින් පළමු තුන නිර්මාණාත්මක සාහිත්‍ය කෘති වන අතර අනෙක් දෙක පාළි භාෂාධ්‍යයනයට සම්බන්ධිතයි.

සිරි රහල් හිමියන් උපත ලබා ඇත්තේ 1408 දී පමණ. සැළලිහිණිය 1447 හෝ ඒ ආසන්න කාලයක ලියන ලදැයි අනුමාන කළ හැකියි. තොටගමුවේ රාහුල හිමිපාණන් සැළලිහිණි සන්දේශය රචනා කළේ ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට පුත් රුවනක් ලබා දෙන මෙන් කැලණියේ විභීෂණ දෙවිඳුන් යදිනු පිණිස බව සඳහන්. ඒ තමයි මේ කෘතියේ ප්‍රකාශිත අභිප්‍රාය. උලකුඩය දේවියට පසු කලෙක පුත් රුවනක් සැබැවින් ම ලැබුණා. සැළලිහිණි සන්දේශ පුරාණ සන්නයේ ඒ ගැන මෙහෙම සඳහනක් එනවා -

පැරකුම් රජුට පන්තිස් වනු නවම් මස
මනරම් කැරැ බඳුතු මෙහෙසුන් නො වී ලස
අයදුම් ලෙසට සිදුකැරු කිවිඳු අදහස
දෙව්රම් මිතුරු දුන් ගැබ බිසොවට සකස

සතිස් වනු නවමු පුර අස්ලිස නකත
පහස් ලැබ සුපුන්සඳ නුබ තුරැ පැනෙත
සහස්කර කුලට වැඩවන ලෙස සතත
වෙසෙස් රජ කුමරු විලසින් දැකුම්පත


සවැනි පරාක්‍රමබාහු රජුගේ මරණින් පසු රජ පැමිණියේ එම කුමරුයි. හෙතෙම ජයවීර පරාක්‍රමබාහු ලෙසින් හැඳින්වුණා. ඒත් ජයවීර පරාක්‍රමබාහු රජුගේ පාලන කාලය කෙටි එකක්.

සැළලිහිණි සන්දේශයේ ම සඳහන් වෙන තවත් වීරයෙක් තමයි සපුමල් කුමරු.

“බලපිරි සෙන් සහ යාපා පටුන් ගෙන
බල සේනානායන සපු කුමරු එන”

මේ සපුමල් කුමරු යාපනයේ සිටි සිය හිතවත් සේනාධිනායකයින් ද සමග පැමිණ ජයවීර පරාක්‍රමබාහු මරා රජකම පැහැර ගත්තා. ඔහු ශ්‍රී භුවනෛකබාහු හෙවත් බුවනෙකබා යන නම ආරූඪ කැරැ ගත්තා. සිරි රහල් හිමියන් හා මේ රජු අතර එතරම් යහපත් සබඳතාවක් පැවතී නෑ. ජයවීර පරාක්‍රමබාහු රජු ඝාතනය කිරීම මීට හේතු වූවා විය හැකි යි. ඉන් පසු කෙතරම් පාණ්ඩිත්‍යයෙන් හෙබියේ වී නමුදු රාහුල හිමියන්ට ප්‍රධාන පෙළේ ආගමික හෝ ශාස්ත්‍රීය කර්තව්‍යයන් සඳහා සහභාගී වීමේ ඉඩ අහෝසි වී ගියා. ඇතැම් විට එහිමියන් ඒ අවස්ථා වර්ජනය කළා ද විය හැකියි. නිදසුනක් ලෙස එවක මෙරට පැවැති බුරුම භික්ෂූන්ගේ උපසම්පදා උළෙල සඳහා රටේ ප්‍රමුඛ භික්ෂූන් සෑම දෙනෙක් ම පාහේ පහභාගී වුව ද සංඝරාජ(මාහිමි) පදවි දැරූ රහල් හිමියන් ඒ අතර නොසිටීම කැපී පෙනෙනවා. සමහර විට ආණ්ඩුවේ “කැපිල්ලක්” වෙන්න ඇති. එහෙමත් නැත්නම් රහල් හිමියන් එම අවස්ථාවට සහභාගී නොවී සිටියා වෙන්නත් පුළුවන්.

පසු කලෙක සියලු වෙහෙර විහාර පිරුවන් ද රජ වාසල ඇසුර ද අත් හළ රහල් හිමියෝ වන වාසයට ගිය බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. උන්වහන්සේ ඉඳුරුගල නම් ස්ථානයේ ලෙනක දී සිද්ධාලෝක නම් ඔසුවක් වළඳා අපවත් වූ බවත් එනිසා එම දේහය බොහෝ කලත් නොදිරා රැකුණු බවත් වැඩිදුරටත් කියැවෙනවා -

“සතුරු සිංහල සාවියර් සෙන්පතිහු යුදයට පත් වතාවේ
ඉඳුරුගල ගල් ලෙනේ යක් සෙන් අරග්ගනිමින් තිබු මනා වේ
අතුරු අවුරුදු දහස් ගණනක් පවතිනුව කළ මතුරු ජීවේ
මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර‍ ගෙන ගොස් තැබිය ගෝවේ”

ඉන් කියවෙන පරිදි පසුව පරංගීන් විසින් එම දේහය ගෝවට ගෙන යන ලදි ලු.

කෙසේ වෙතත් උන්වහන්සේගේ ජීවිතයේ අපර සමය පිළිබඳ පිළිගත හැකි සාහිත්‍යික මූලාශ්‍ර නැති තරම්. තියෙන්නේ ජනප්‍රවාදගත කතා පමණයි.