වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

හොරු සමග Journalism : ජනමාධ්‍ය, මූලාශ්‍ර පිළිබඳ ආචාරධර්ම, ලේඛක අයිතිය සහ වෙනත් දේ ගැන පුද්ගලික ධාරණා ටිකක්

| Comments

මම මේ සටහන ලියන්නේ ලංකාවේ මුද්‍රිත මාධ්‍යවල‍ට සහ අපේ බ්ලොග් අවකාශයේ මෑත සිදුවීම් කිහිපයකට අදාළව. මීට අවුරුදු කීපයකට පෙර අපි බ්ලොග් ලිවීම ආරම්භ කරද්දී තිබිණු එක ප්රවණතාවක් තමයි හොඳ අන්තර්ගතයක්(content) ලියාගන්න බැරි නම් වෙනත් ප්රවෘත්ති හෝ උපුටාගෙන සිය රචනා වෙනුවට පළ කිරීම. ඒ කටයුතුවල ආචාරධාර්මික ගැටලුවක් මම දකින්නේ නෑ. මොකද උපුටා පළ කරන බොහෝ දෙනා අදාළ මූලාශ්‍රය වෙත සම්බන්ධක(links) පළ කිරීමට උත්සුක වන නිසා. ඒ වගේ ම ලින්ක් බ්ලොග්කරණය(link blogging) කියා දෙයකුත් ඇත්තට ම තියෙනවනෙ. ඒක කවදත් පැවතුණා. ලින්ක් කිරීම හා අන්තර් සම්බන්ධතා ගොඩනැගීම යනු අන්තර්ජාලයේ ප්රධානතම කර්තව්යයක් හැටියට යි මම දකින්නේ. මූලාශ්‍ර සඳහන් නොකර අන්තර්ගතය පැහැරගත්තොත් Copyscape වැනි වෙබ් අඩෙවිවලට පින් සිදු වන්නට ඒ හොරුන් අනාවරණය කරගන්න පුළුවන්. මේ ප්රවණතා සමග සීරුමාරූ කරගත හැකි Creative Commons වැනි බලපත් ක්රමවේද ද දැනුම සංසරණය වඩා ක්රමවත් හා පහසු බවට පත් කර තිබෙනවා.

ලංකාවේ බ්ලොග් අවකාශයේ (blogosphere) තත්වය ඉහළ යෑමත් සමග ස්වාධීන ලේඛන හැටියට ගත්තත් උසස් තත්වයේ පවතින බ්ලොග් රචනා කරන අය සංඛ්යාවෙන් ඉහළ ගියා. අද ප්රධාන පෙළේ ජනමාධ්ය ආයතන බ්ලොග්කරුවන්ගෙන් අන්තර්ගතය සොරාගෙන පළ කරන්න තරම් දුර දිග ගිහින් තිබීමෙන් පිළිබිඹු වන එක කාරණයක් තමයි ඒ. එය බ්ලොග් අවකාශයේ තත්වය ගැන අපට දැනෙන සුභවාදී සංඥාවක්. නමුත් මුද්රිත මාධ්ය අන්තර්ජාලයෙන් අන්තර්ගතය සොරාගැනීමේ දී එය අල්ලාගන්න පත්තරය දැකපු කෙනෙක් දැනුම් දුන්නොත් ඇර Copyscape වැනි පහසු ක්රම නෑ. මේ බලන්න Cerno ගේ ලිපිය ඉංග්රීසි ජනමාධ්ය සම්බන්ධයෙන්. තවත් ලිපි කිහිපයක් ම පළ වුණා මේ Lakbima News සිද්ධිය ගැන. නොදන්නා ලේඛකයින් අන්තර්ජාලයේ ලියා ඇති දෑ කොපි පේස්ට් කිරීමෙන් වාසි කීපයක් අත්පත් කරගන්න පුළුවන් පත්තරවලට. පළමුවෙනි එක තමයි ලේඛකයින්ට සතයක් වත් ගෙවන්න වෙන්නෙ නෑ. පත්තරේට ඍජු සම්බන්ධයක් ඇතුව ලියන අභ්‍යන්තර මාණ්ඩලික රචකයකුට හෝ බාහිර නිදහස් ලේඛකයකුට ගෙවීම් කරන්න වෙනවා. මේ කොපි ගැහිල්ල නිසා ඒ වියදම ඉතුරුයි. ඊට පස්සේ තමුන්ගෙ වගේ පෙන්නගෙන පළ කරන්න අන්තර්ගතයත් නොමිලේ ලැබෙනවා. කෙසේ වෙතත් අන්තර්ජාලයෙන් සහ වෙනත් තැන්වලින් අන්තර්ගතය උපුටාගැනීම අතින් ඉතා ම පහත් හැසිරීම් පළ කර ඇත්තේ සිංහල-දෙමළ පුවත්පත් හා ජනමාධ්‍ය ආයතන බව මගේ අත්දැකීම යි.

සිංහල පුවත්පත්වල අද වන විට සැලකිය යුතු ලිපි සංඛ්‍යාවක් පළ වෙනවා මෙන්න මෙහෙම සටහනක් ඇතුව : අන්තර්ජාලය ඇසුරෙනි! හරියට අන්තර්ජාලය කියන්නේ මේ අයගෙ නැන්දගෙ බූදලය වගේ! ඒත් ටිකක් විපරම් කර බලද්දී පෙනී යනවා මේ “අන්තර්ජාලය ඇසුරින්” ලියන ලේඛකයින් බොහෝ දෙනෙක් කරන්නේ තනිකර කොපි කිරිල්ලක්. ඒවා අන්තර්ජාලය ඔස්සේ සෙවීම් කොට තොරතුරු සංස්ලේෂණය හා විශ්ලේෂණය කර පළ කරන ලිපි නෙමෙයි. මේ වගේ ලිපිවල බෙහෙවින් ම දක්නට ලැබෙන්නේ කොහේ හෝ වෙබ් අඩෙවියකින් ගත් එක ලිපියක් සිංහලට හෝ දෙමළට පරිවර්තනය කොට මුල් කතුවරයාගේ නම මකා තමුන්ගේ නම ඒ මතට දැමීමක්. සමහර ලිපිවල අන්තර්ජාලය ඇසුරින් කියලා වත් ලියන්න තැකීමක් කරන්නෙ නෑ. සමහර ටැබ්ලොයිඩ් ප්රකාශන එහෙම පිටින් ම වෙබ් අඩෙවිවල අනවසර කොපි. දැන් මේ Lakbima News පුවත් පත තමුන්ගේ වගේ පළකරගෙන තියෙන බ්ලොග් රචනා දිහා බලන්න. කිසි ම දැනුම් දීමකින් තොරව ඒවා අරන් පළ කරන එක තමයි මේ අය කරන්නෙ. මගේ හිතමිතුරු සංස්කාරිකාවක් හිටියා ප්‍රධාන දෙමළ පුවත්පතක. ඇය ඇතැම් පිටු හා අංශවලට අධිපති වෙලා ඉන්න කාලේ වගේ ම විද්‍යා හා තාක්ෂණ පිටුව මෙහෙයවද්දිත් කළේ අමු අමුවේ ඇස් පනාපිට කොපි කිරීම යි. මම මේ ගැන ප්‍රශ්න කළ විට අන්තර්ජාල සන්ධාරය උපුටාගැනීමේ දී තමන් සතු වගකීම් ගැන ඇයට තේරුමක් තිබුණේ නැති බව පෙනී ගියා. මේ තත්වයට බොහෝ සෙයින් ම හේතු වන කාරණයක් තමයි අන්ර්ජාල අන්තර්ගතය සම්පාදනය වන අන්දම පිළිබඳ මේ මාධ්‍යවේදීන් තුළ පවත්නා නූගත්කම(ignorance). වෙබ් අන්තර්ගතය ද අන් සියලු ලිපි ලේඛන සේ ම මිනිස් ශ්‍රමයේ ප්‍රතිඵල බව සිතීමට මොවුන් පෙළඹෙන්නේ නැති තරම්. කෙසේ වෙතත් මෙරට සෑම ප්‍රධාන පුවත්පතක ම පාහේ කර්තෘත්වය/සංස්කාරකත්වය දරන්නේ මෙවැනි පිටු සංස්කාරකවරුන් හෝ අත්දැකීම් මඳ දුහුනන් නෙවෙයි. ඔවුන් දශක ගණනාවක් තිස්සේ මාධ්‍යවේදයෙහි නිරත ව සිටි ජ්‍යේෂ්ඨ වෘත්තිකයින්. ජනමාධ්‍යවේදයේ තත්වය කෙතරම් පිරිහුණත් තව මත් කර්තෘ පුටු ටික ගැන අපට ඒ සහතිකය දෙන්න පුළුවන්. ඉතින් මේ අයගේ ප්‍රධාන වගකීමක් විය යුතුයි තමුන්ගේ කනිෂ්ට වෘත්තිකයින්ට සිය පුවත්පතේ හෝ සඟරාවේ මූලාශ්‍ර සහ ලේඛක අයිතීන් සම්බන්ධයෙන් වගකීම් සහගත ආකල්පයක් පුහුණු කිරීම. එසේ නොකළොත් ඔවුන් සිය වගකීම පැහැර හැරියා වෙනවා. දැන් ඉංගිරිසි ලක්බිම පුවත් පතේ සිදුව ඇත්තේ එවැන්නක් බව මට අනුමාන කරන්න පුළුවන්. ඇතැම් ප්‍රධාන සංස්කාරකවරුන් පවා මූලාශ්‍ර ගැන නොතැකීම් සහගත වන අවස්ථා මම දැක තිබෙනවා. වරක් මම එක්තරා ලිපි පෙළක් සම්පාදනය කරද්දී(බ්ලොග් ආරම්භ වුණු කාලේ. කොත්තු ආදිය එතකොට තිබුණෙ නෑ. සුනාමියට බොහෝ පෙර) එක්තරා ප්‍රධාන සංස්කාරකවරයෙකු හා මා අතර හුවමාරු වූ දෙබස් මට තව ම මතකයි. මම ආනන්දවර්ධන නිසා සංස්කාරකට ජයවර්ධන කියමු.

මම - හලෝ මිස්ට ජයවර්ධන, කොහොම ද ඉතින් ….. (වැල් වටාරම් කතා එකසිය විසිපහකට පමණ පසු) මේ ඔයාලා මගේ මේ සැරේ ලිපියේ මූලාශ්‍ර ටික පළ කරලා නෑ නෙ. මේ ලිපිය ලියද්දී මම කරුණු ගත්ත තැන් පළ නොකළොත් මේ විෂය ගැන දන්න මිනිස්සුන්ට මම මූණ දෙන්නෙ කොහොමද? මට ඊයෙත් එක්කෙනෙක් හම්බ වුණා. මාර අප්සෙට් එක මට. මම අන්තිම අපහසු තත්වෙකට පත්වෙලා ඉන්නෙ මේ නිසා.
සංස්කාරක - අනේ වෙරි සොරි. ඒක මට ගාණක් ගියේ නෑ. මම හිතුව ඒක කැපුවට කමක් නෑ කියල.
මම - ඒ වුණත් ආයෙ එහෙම කරන්න එපා. මොකද මේ කරුණු මගේ සොයාගැනීම් නෙවෙයි. වෙනත් අයගේ දැනුම. ඒවා අපි සඳහන් කළ යුතුයි. නැතුව් මේක කියවන දන්න කියන මිනිස්සු හිනා වෙන්නෙ මටයි. බොරුවට අනුන්ගෙ දේවල් තමුන්ගෙ වගේ ලියාගන්නව කියල. අනිත් එක මූලාශ්‍ර පළ කළාම වැඩි දුර විස්තර දැනගන්න කැමති අයට ඒවා කියවන්න හොයන්න දොරටුවකුත් ඇරෙනවනෙ…
සංස්කාරක - හොඳයි හොඳයි, මම ඊළඟ සැරේ අනිවාර්යයෙන් ම දාන්නම්

ඔන්න ඊළඟ සැරේ මම අන්තර්ජාල විමර්ශන කීපයකුත් සහිත ලිපියක මූලාශ්‍ර කපලා තියෙනවා දැකලා ආයෙත් ප්‍රධාන සංස්කාරකට ඇමතුමක් ගත්තා

මම - හලෝ ජයවර්ධන මහත්තයෝ මේ පාරත් මගේ මූලාශ්‍ර ටිකට වැඩේ දීලනෙ!
සංස්කාරක - ආ මම හිතුවා මේ පාර තියෙන්නෙ වෙබ් සයිට්ස් කීපයක් නිසා ඒක අවශ්‍ය වෙන එකක් නෑ කියලා. පොත් නෙවෙයිනෙ. සොරි.
මම - ඉතින් වෙබ් සයිට්ස් කියන්නෙත් මූලාශ්‍ර තමයි. ඒව ලියන්නෙත් මිනිස්සු! මේ උපුටාගෙන තියෙන අදහස් ඒ අයගෙ! මගේ තර්ක පදනම් වෙලා තියෙන්නෙ ඒ අයගේ අදහස් මත.
සංස්කාරක - හරි අපි ඒ ඔක්කොම ඊළඟ ලිපියෙදි හදමු.
මම - අන්න නියමයි. මගෙ නම කපලා ඒ ලැබෙන ඉඩේ හරි කමක් නෑ මූලාශ්‍ර ටික පළ කරන්න. ඉඩ නෑ වගේ හේතු මේ පේළි දෙකතුනට නම් කියන්න එපා.
සංස්කාරක - නෑ නෑ ප්රශ්නයක් නෑ ආනන්දවර්ධන. එහෙම දෙයක් නෙවෙයි. අපි ඔයාට අවශ්ය විදිහට මූලාශ්‍ර පළ කරමු.

ඔන්න ආයෙමත් වතාවක මොවුන් මගේ මූලාශ්‍ර ටික කපලා. මට ඒ සැරේ අල්ලාගන්න පුළුවන් වුණේ ප්‍රධානියා නෙවෙයි දෙවෙනියා.

මම - බලන්ඩකො මම හැමදාම මිස්ටර් ජයවර්ධනට කියනව මේ විදිහට මූලාශ්‍ර කපන එක මට විතරක් නෙවෙයි ඔයාලගෙ ආයතනයටත් හොඳ මදි කියල. ඒත් ඉතින් ඒක ගණන් ගන්න බවක් නම් පේන්න නෑ.
සහාය සංස්කාරක - ෂහ් හරි වැඩේ නේද? ඔයා ඒව ලියලද එවන්නෙ?
මම - ලියල නැත්නම් කොහොම එවන්න ද? මම එවන්නෙ ටයිප් කරපු ලිපියක්. මම හැම ලිපියක ම අන්තිමට මගේ මූලාශ්‍ර පිළිවෙලට වර්ග කරල සදහන් කරනව. අදාළ තැන්වල වරහන් ඇතුළෙත් දානව.
සහාය සංස්කාරක - මේකනේ, ඉතින් පුරුද්දට වගේ මෙහේ ලිපි පළ කරනකොට මූලාශ්‍ර ගැන සඳහන් වෙන්නෙ නෑනෙ. ඉන්ටනෙට් එකේ ආටිකල්ස් අරන් ඕන තරම් ලිපි හදනවනෙ.
මම - ඉතින් ඒක හරිද?
සහාය සංස්කාරක - ඇත්ත තමයි. මම ඊළඟ සැරේ ඉඳලා අනිවාර්යයෙන් ම අඩු ගාණේ ඔයාගෙ ලිපිවල වත් මූලාශ්‍ර ටික නොකැපෙන්න වැඩ කරන්නං.
මම - හැබැයි අනේ එක දෙයක්. මම දෙයක් කියන්නෙ තුන් පාරයි ආයෙ තුන් වෙනි සැරෙන් පස්සේ මම ලියන එක නතර කරනවා. දැන් මේ තුන් වෙනි වතාව. ඔන්න තරහා වෙන්න නං එපා. අපි ඉතින් මේව කෙලින් කතා කරගන්න ඔන නෙ නැද්ද?
සහාය සංස්කාරක - සම්පූර්ණ ඇත්ත මෙයා. කලබල වෙන්න එපා ඔක්කොම හරි මේ පාර ඉඳන්.
ඒත් ඒ සහතිකය හරි ගියේ නෑ. මම ඔවුන්ට ඒ ලිපි පෙළ සැපයීම නවත්වා දැම්මා. පසු කලක එය වෙනත් තැනක නිසි පරිදි පළ වූ බවත් එම සංස්කාරක මණ්ඩලයට ස්තුතිවන්ත වෙමින් කිව යුතුයි. ඒත් ඔවුන් පවා මගේ අත්ලිපි කලින් මාධ්ය ආයතනයේ මුද්‍රිත ලිපි සමහ සසඳමින් විස්මයට පත් වුණා. “හැබෑට අද මේ අත්පිටපත් දකිනකල් මමත් හිතුවෙ ඔයා අනුන්ගෙ දේවල් කොපි කරලා acknowledgments මොකුත් නැතුව අරගොල්ලන්ට යවලා නිකං ඔයාගෙ වගේ පළ කරගත්තා කියලයි.” අලුත් පුවත් පතේ එක සම සංස්කාරිකාවක් මට කීවා. තව මට හමු නොවුණු බොහෝ දෙනෙක් මම ගැන ඒ විදිහට හිතන්න ඇති.

තවත් හාස්‍යජනක කොපි කිරීමේ සිද්ධියක්. එක්තරා “ලේඛකයෙක්” ප්‍රධාන පෙළේ සිංහල පුවත් පතකට ලියනවා විවිධාකාරයේ දේ ගැන. සාහිත්යයේ, දේශපාලනයේ පටන් ගුප්ත තාපය, පරමාණුවේ ක්‍රියාකාරීත්වය දක්වා තුන් ලෝකයේ සියලු දේවල් ඔහු ලියනවා. නමට යටින් නිව්යෝක් හි සිට ලියයි කියලත් පළ වෙනවා. ඒත් පැහැදිලි ව ම ඔහුගේ නිව් යෝක් ජීවිතයත් පත්තරවලට ලියන දෙවලුත් අතර සම්බන්ධයක් නෑ. ඔහු කරන්නේ අන්තර්ජාලයෙන් තනිකර කොපි කිරීම. ඉතින් දවසක් ඔහු හොඳටම වරද්දාගත්තා හැරී පොටර් සහ ජේ.කේ රෝලිංග්(J.K Rawling) ගැන ලියන්න ගිහින්. ඔහු කොපි කරකර ඉන්න නිසා ඇය ගෑණු ද පිරිමි ද කියලා වත් දැනගෙන නෙවෙයි හැරී පොටර් දොරට වැඩීමේ මංගල්‍යය ගැන ලීවේ. ඒ වතාවේ පළමු වරට ලොව පුරා උත්සවවලට සමගාමීව ලංකාවෙත් දොරට වැඩුමක් කෙරුණු නිසා ඒ ගැන යහමින් ලිපි පළ වුණා. මේ අසරණ මනුස්සයා හිතුවේ රෝව්ලිං පිරිමි ලේඛකයෙක් කියලයි. පුවත් වෙබ් අඩෙවිවල පළ වුණු බොහෝ ලිපි වල නම පළ වුණාට She ද He ද කියලා පළ වෙන තැනක් මෙයාට අහු වෙලා නෑ. අනිත් එක පිළිවෙලකට සොයා ලිවීමේ පුරුද්දක් වත් තිබුණා නම් නිල වෙබ් අඩෙවි මුණගැහෙන්න තිබුණා. ඉතින් දිගට ම පත්තරේ මේක යනවා. “ඔහු පළමු පොත අසවල් වර්ෂයේ පළ කළේ ය… ඔහු හිටපු මාධ්‍යවේදියෙකි” වගේ දේවල්. බලාගෙන ඉඳලා බැරිම තැන මම දවසක් කර්තෘතුමාගෙ දුරකථනයට ඇමතුවා. “අහවලා නිකම් කොපි කරකර ලියල එවන්නෙ හැරී පොටර් කර්තෘ ගෑණුද පිරිමිද කියලවත් දන්නෙ නෑ. ඔයාලා මේවා කියවලා බලලා නෙවෙයි ද පළ කරන්නෙ?” දීර්ඝ නිහඬතාවකට පසු ප්‍රවීණතම කතුවරයා මෙහෙම කියනවා. “ඔයා එහෙනම් එහෙම කියල ලිපියක් එවන්න අපි ඒක පළ කරන්නම්”. අද වන තුරුත් එහෙම ලිපියක් පළ වුණේ නෑ. ඒ විතරක් නෙවෙයි. අපේ copycat හාදයා තව මත් “නිව් යෝක් සිට” අන්තර්ජාලයෙන් කොපි කරකර මේ පත්තරේට සිංහලෙන් එවනවා. අදත් ඒවා පළ වෙනවා. කිසිම ලිපියක් අන්තර්ජාලයෙන් උපුටාගත් බවක් සඳහන් වෙන්නේ නෑ. පාඨකයන්ට පෙන්වන්නේ ඔහු නිව්යෝක් නගරයේ සිටිමින් අමුතුවෙන් යමක් සොයා ලියන බව. නමුත් නිව් යෝක් ත්‍රස්ත ප්‍රහාරය ගැන පවා ඔහුගෙන් පළ වුණේ copycat ලිපියක්. ලංකාවෙ හිටපු ලේඛකයො ඊට වඩා සොයා බැලූ ගවේෂණාත්මක ලිපි පළ කළා.

පසුවදනක්
බ්ලොග්අවකාශය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ගේ අවධානයට පාත්‍ර වීම ඉතා සතුටුදායක දෙයක්. බ්ලොග් අන්තර්ගතය පුවත්පත්වල මුද්‍රණය වීමත් ඉතා අගෙයි. මේ ප්‍රවණතාව ඇතැමි යහපත් සංඥා පළ කරන බව පෙනෙනවා. එමගින් බ්ලොග් අවකාශයට මෙන් ම පුවත්පත් වලටත් වෙන්නේ වාසියක් මිස පාඩුවක් නම් නෙවෙයි. වෙනත් රටවල මේ සම්බන්ධයෙන් ඕනෑ තරම් සාධනීය නිදසුන් දැකගන්න පුළුවන්. ඒත් ලේඛකයින්ගේ ශ්‍රමය හා අයිතිය පිළිබඳ කාරණයේ දී බ්ලොග් ද පත්තර ද කියලා වෙනසක් තියෙන්න විදිහක් නෑ. කවුරු කවුරුත් සිය ලිපිවල මූලාශ්‍රවලට ගරුකළ යුතුයි. මුල් ලේඛකයින්ටත් ඒ ශ්‍රමයටත් ගරු කළ යුතුයි. හොරකම හොරකම මයි. සුළු දැනුම් දීමකින් පසු අවසර ගෙන සම්බන්ධක(links) පළ කොට, මේ ගැටලු විසඳා ගත හැකි ව තිබුණු බවයි පෙනෙන්නේ. සියල්ල යහපත් ලෙස විස‍ඳේ ය යි මම ප්‍රාර්ථනා කරනවා.