වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ෆොන්සේකාගේ ආධාරකරු හැරී පොටර්, තිඹිරිගස්යායේ බැංකුවක් තුල දී රටින් චුත වෙයි!

| Comments

හැරී පොටර් නවකතා මාලාව තුල මගේ සිත්ගත් අංගයක් තමයි සාමාන්‍ය මිනිසුන්ගේ ලෝකයෙන් ඉන්ද්‍රජාලික ලෝකයට ප්‍රවිශ්ට වන දොරටු සහ ඔවුන් සංචාරයට යොදාගන්නා උපක්‍රම. දුම්රිය ස්ථානයේ වේදිකාවක පිහිටි අදෘශ්‍යමාන දොරටුවකින්, නැතහොත් කිසියම් අප්‍රකට වෙලඳසැලක ඇතුලු ගැබකින් හෝ ගිනි උදුනකින් ඔවුන් මේ ගමනාගමනය සිදු කරනවා. අද දිවයින පුවත්පතේ වාර්තා වී ඇති “ප්‍රවෘත්තියක්” දුටු විට මට ඒකාන්ත වසයෙන් වැටහී ගියේ මෙකී ක්‍රමය සැබෑවට ම මෙරට තුල ක්‍රියාත්මක වන බව යි. එසේ ම හැරී පොටර් පන්නයේ ඉන්ද්‍රජාලිකයින් පිරිසක් පසුගිය ජනාධිපතිවරනයට පසු දින සිදුවන්නට ගිය දුර්දාන්ත කුමන්ත්‍රනය පසුපස සිටින බව ද මෙමගින් අනාවරනය කරගන්න ලැබීම ජාතියේ භාග්‍යයක්.

බලන්න මේ පුවත -
“හිටපු ජනරාල්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් 5.27000 ක් ලබාදුන් තැනැත්තා රටින් පැනගොස් ඇත. තිඹිරිගස්යායේ බැංකුවක විමර්ශන කැමරාව මගින් පටිගත කර තිබූ දර්ශන නිරීක්ෂණය කිරීමේ දී මේ බව අනාවරණය වී තිබේ…”

සියල්ල කියවීම සඳහා පින්තූරය මත ක්ලික් කොට විශාලනය කරගන්න.

මෙවැනි “පුවත්” සන්නිදර්ශනය කරන්නේ සිංහල භාශා ජනමාධ්‍යකරනය අද පත් ව තිබෙන ඛේදජනක තත්වය මිස අන් කිසිවක් නොවෙයි. ජනසන්නිවේදනය යනු හුදෙක් “කියන දේ ලිවීමක්” බවටත්, කොම්පැනිකරුවන්ගේ හා දේශපාලකයින්ගේ අවශ්‍යතා පමනක් ඉටු කරන භාවිතයක් බවටත් සිඳුවනු ලැබ තිබෙනවා. ඇත්ත, මෙය පුවත්පත් ආරම්භ වුන යුගයේ පටන් තිබුන නැඹුරුවක් තමයි. විවිධ සංවිධානාත්මක, දේශපාලනික, සංස්කෘතික හෝ සමාජීය පක්ශපාතකම් පුවත්පත් ආරම්භ කරන්න ම හේතුභූත වූ කරුනු කාරනා අතර තියෙනවා. ඒ වගේ ම කවදත් පුවත්පතක් හෝ ජනමාධ්‍යයක් භමනය වුනේ කිසියම් නිශ්චිත දේශපාලන අක්ශයක් වටා තමයි. එහෙම නොවන සමාජීය ප්‍රපංච නැහැ නේ? මහාවංසය වගේ ම සැළලිහිණි සන්දේශය ලිව්වෙත් රජදරුවන්ගේ සිත්සතන් සනසන්න නිසා අවශ්‍ය නම් කෙනෙකුට මේ කතාව මුලු ලේඛන කලාවට ම අදාල පරිදි දීර්ඝ කොට දක්වන්න පුලුවන්.

නමුත් වර්තමාන තත්වය පෙන්නුම් කරන්නේ ඉහවහා ගිය බංකොලොත්භාවයක්. මේ බංකොලොත්භාවය ගවේශනය, ලේඛනය හා මතවාදය යන සියලු අංශයන්හි කැපී පෙනෙන ප්‍රකාශනයක් අත්කරගෙන තිබෙනවා. ගවේශනය කියා දෙයක් අද තිබෙනවා ද? පුවතක් පල කිරීමේ දී පුවතට විශය වන පාර්ශ්වයන් සියල්ල අවම මට්ටමින් හෝ විමසා බලා තහවුරු කිරීම අද නොතකා හැරුනු ආදිකල්පික මූලධර්මයක් පමනයි. මඳ කලකට පෙර බ්ලොග් අවකාශය තුලත් රැව් පිලිරැව් දුන් ”බ්ලොග්කරුවකු අත්අඩංගුවට ගැනීම” පිලිබඳ සිද්ධිය ගනිමු. එය මුලින්ම ප්‍රචාරය කිරීම ඇරඹුවේ මෙරට පුවත්පත්. එහෙත් එයින් එක ද මාධ්‍යයක් වත් අදාල තොරතුර නිසි පරිදි දැනගැනීම සඳහා අතශවශ්‍ය ම වූ දෙය කර තිබුනේ නැහැ. එනම් අදාල අධිකරනයෙහි නඩු වාර්තාව පරීක්ශා කිරීම. එය කිරීමට “මාධ්‍යවේදියකු” වීම අවශ්‍ය වන්නේ ද නැහැ. සාමාන්‍ය පුරවැසියෙකුටත් පුලුවන් නඩු වාර්තාවේ පිටපතක් ඉල්ලුම් කරන්න. එසේ කලා නම් විවිධ අසත්‍ය දෑ පතුරුවා හැරීම වෙනුවට අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනුනේ කවර චෝදනාවක් යටතේ ද, අදාල විභාගයේ තතු කෙබඳු ද යනාදිය නිසි පරිදි දැනගන්න තිබුනා. ඒ වෙනුවට මොවුන් කලේ පොකුරු බොරු සහ මනස්ගාත පතුරුවාහැරීම යි.

අද දිවයින පත්තරේ පල ව තිබෙන පුවත බැලුවාම මේ සෑම අංශයක් ම නොතකා හැර හුදෙක් පාඨකයා තුල ව්‍යාකූල, එහෙත් ෆොන්සේකා විරෝධී, කුමන්ත්‍රන භීතිකා මනෝගතීන් පෝශනය කිරීම ම අදිටන් කරගෙන එය ලියා ඇති බව නිගමනය කිරීම අපහසු නෑ. අදාල පුද්ගලයා රටින් පැන ගියා ද නැද්ද යන්නටත් මැතිවරන ව්‍යාපාරයකට මුදල් දීම ගැනත් ඉදිරිපත් කරන සාක්ශිය වන්නේ බැංකුවක අටවා ඇති විමර්ශන කැමරාවක්! ආගමන විගමන අංශ, ගුවන්තොටුපල හෝ අදාල පුද්ගලයාගේ වෙනත් සබඳතා මගින් හෝ ඔහු රටින් පිට වූයේ ද එය “පැන යාමක්” ද නැද්ද ආදිය තහවුරු කරගැනීම අදාල මාධ්‍යවේදියාට විශය වන්නේ නෑ. ඊලග වැකියෙන් කියැවෙන පරිදි මුදල් දුන් පුද්ගලයා ජනපතිවරන අපේක්ශකයාගේ ඥාතියෙක්. මේ සියල්ල සම්පින්ඩනය කරන විමර්ශනශීලී පාඨකයෙක් අහන්න පුලුවන් එහෙම නම් මෙතන දූශනයක් සිද්ද වෙලා නැහැ නේද කියලා. එම ප්‍රශ්නය මග හරින “මාධ්‍යවේදියා” ඉන් පසු විහාරස්ථානයක සඟවා තිබූ අවිආයුධ සම්බන්ධයෙන් ද හිටපු ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ඇති බව අපට කියා හිටියත් ඒ ප්‍රශ්නවලට ජනරාල්වරයා උත්තර දුන්නා ද නැද්ද යන්න පවා අපට කීම පැහැර හරිනවා. එය පැහැර හැරීමෙන් නොනවතින හෙතෙම ශිශ්‍යත්ව පන්තියේ ඉන්නා දරුවකු පවා නොකඩන ලේඛනය පිලිබඳ මූලධර්ම බ්ලූමැන්ඩල් කුනුකන්දට වීසි කොට එම ඡේදය තුල ම අවසන් වැකියෙන් කියන්නෙ සපුරා අසම්බන්ධිත දෙයක්. හිටපු ජනරාල්ගේ බෑනාගේ සමාගමට අයත් පරිගනකයක් “සොයාගෙන” තිබෙන බව. මෙයින් ඇඟවුම් කෙරෙන්නේ අදාල පරිගනකය සඟවා තිබුනු බව ද? ව්‍යාකූලයි නේද? අද ඇතැම් මාධ්‍ය කිසියම් අපරාධයක් වාර්තා කිරීමේ දී පරිගනකයක් ද අත්අඩංගුවට ගත් බව නිවේදනය කරන්නේ හරියට සියලු අපරාධවල උල්පත අනාවරනය කරගත්තාක් බඳු උද්දාමයෙන්. මේ එම බොර වතුර වලේ ම මෙකී ප්‍රවෘත්තිය ද ගිල්වා දැමීමේ වෑයමක් නොවේ ද?

ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය භාවිතය පිලිබඳ විමර්ශනාත්මක ඇසක් හෙලීම අත්‍යවශ්‍ය බව මගේ හැඟීම යි. එය හුදෙක් නරුමවාදී ලෙස මාධ්‍යයෙහි ස්වභාවය මෙය හැටියට පිලිගනිමින් නර්මාලාපයට ලක් කිරීමෙන් ඔබ්බට යා යුත්තක්.  මහජනතාව මුද්‍රිත අකුර පිලිබඳ දක්වන භක්තිය හා විශ්වාසය නිසා ම වැටුප් ලබන එය වෘත්තිය කරගත් මාධ්‍යවේදියා ලියන කියන දැයෙහි “පාක්ශිකත්වය”, “වාස්තවිකත්වය” හා “සත්‍යසම්පන්නභාවය” පිලිබඳ ප්‍රශ්න කිරීමට පාඨකයාට සදාචාරාත්මක අයිතියක් තිබෙනවා. මේ සටහන ලිව්වේ හුදෙක් එවැනි සාකච්ඡාවක් නැවත අවුලුවාගන්න පදනමක් හැටියට.

“වියුණු” “බොරුව” “වියෙන” සැටි - බ්ලොග් අඩෙවි දෙස මාධ්‍යවේදීන්ගේ “උසස්” ඇසින් බැලීම

| Comments

දින දෙකතුනකට පෙර බ්ලොග් අවකාශයේ මිතුරෙක් අලුත් ම සිද්ධියක් මගේ අවධානයට ලක් කලා. ඒත් මෙය “අලුත්” වුනේ මට පමනක් බව මඳ වේලාවකින් වැටහුනා. ලක්බිම සිංහල පුවත්පත දැන් මඳ කලක පටන් “තෝරාගත්” බ්ලොග් සටහන් කිහිපයක් මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කරනවා. මෙවැන්නක් මීට ප්‍රථම රාවය පුවත් පත ද ආරම්භ කල අතර ඔවුන් එය සිදු කල ආකාරය මගේ සතුටට හේතු වුනා. ඔවුන් අදාල බ්ලොග් අඩෙවියේ ලිපිනය පල කරන අතර ම කිසියම් කැපීමකට කෙටීමකට හෝ සංස්කරනයකට අදාල ලිපිය ලක් විනි නම් ඒ බව ද එහි ම සඳහන් කරනු නිරීක්ශනය කල හැකියි. එසේ ම රාවය අදාල විශේශාංගය නම් කර තිබෙන්නේ “බ්ලොග් අඩවිය” යනුවෙන්. මෙය මුද්‍රිත මාධ්‍යයක නොහැකියාවේ සීමා මායිම් තුල විද්‍යුත් අන්තර්ගතයක් ප්‍රතිනිශ්පාදනය කල හැකි උපරිම - හොඳ ම ආකාරය බව කියන්න පුලුවනි. හොඳ බ්ලොග් ලිපියක ඇතැම් අංශ කිසි දිනක පුවත්පතක් තුලට ගෙන එන්න අමාරුයි. “හොඳ” බ්ලොග් ලිපියක් අන්තර්ජාලයේ විවිධ තැන්වලට සබැදුම් (links) යෙදීමෙන් ජාලගත වෙලයි තියෙන්නේ. එය සම්පූර්නයෙන් මුද්‍රනය කරන්න බැහැ. ඒක පුවත්පතක සීමාව. මේ වෙනස සන්නිදර්ශනය කරන අවස්ථාවක් හැටියට Daily News පුවත් පතේ පල වූ ප්‍රේමසිරි කේමදාස සූරීන් පිලිබඳ එරික් ඉලයප්ආරච්චි ලියූ ලිපියක් බ්ලොග් අවකාශය තුල ප්‍රතිනිශ්පාදනය වුනු අන්දම බලන්න.

එසේ ම රාවය පුවත්පත මේ කර්තව්‍යය ඉටු කරන්නේ “අඩු කුලයේ” කෙනෙකුට කරන අනුග්‍රහයක් හැටියට නෙමෙයි. ඔවුන් හුදෙක් සිය පුවත්පතේ අන්තර්ගතය පෝශනය කරගන්නා විවධ ආකාරවලින් එකක් හැටියට එය යොදාගන්නා බව පැහැදිලි ව පෙනෙනවා.

දැන් බලමු මේ අලුත් කටයුත්ත ගැන - අලුත් වෑයම ලක්බිම පුවත්පතෙන්. මොවුන්ගේ ස්වරයෙහි මෙන් ම ප්‍රකාශිත අධ්‍යාසය ලෙස ද පවතින්නේ මෙය වනාහි බ්ලොග් අවකාශය වැඩිදෙනෙකුගේ අවධානයට ලක් කිරීමට දැරෙන ප්‍රයත්නයක් හැටියට. එය රාවයේ වැඩේට වඩා වෙනස්; “ඉහල” සිට “පහල” දෙස බැලීමක්. (gaze)

විශාලනය සඳහා රූපය මත ක්ලික් කරන්න

ලක්බිම පුවත්පත ඒ වෙනුවෙන් අමුතු නමක් ද යොදා තිබෙනවා. ඔවුන් මේ මාධ්‍යයට දෙන නම තමයි “වියුනු” (වියුණු - ඔවුන්ගේ “ණ” යන්න ද සහිත ව මේ ලිපිය තුල මෙතැන් සිට භාවිත කරන්නම්). මෙය ඉතා අසීරුවෙන් වාත්තු කරගත් පදයක්. එහෙම වුනත් “වියුණු” ලියන්නන් “වියුණු”, “වියුණුකරණය” ආදී වසයෙන් නිතර නිතර මේ පදය එකී පිටුව තුල පුනරුච්චාරනය කෙරෙනවා. “(වෑයමකින් තොරව ඉබේ) වියනු ලැබූ” වැනි අදහසක් “වියුණු” යන සිංහල පදයෙන් (අමාරුවෙන්) ඇදගන්න පුලුවන්. මෙයට දිය හැකි අන්‍ය අර්ථ අතර වියන ලද්ද, ගොතන ලද, නිර්මානය කරන ලද දෙය, බොරුව, ඇස්බැන්දුම වැනි දෑ ද තිබෙනවා. ඉංග්‍රීසියෙන් fabricated යන්න මෙයට උචිතතම පරිවර්තනය යි. “වියුණ” යනු හිතාමතා fabricate කරපු එකක් නෙමෙයි. නොදැනී ම “වියුණු” දෙයක්. නිරුත්සාහික කාර්යයක්. (වැකියක යෙදූ විට - ඇගේ සුමුදු අතින් සලුව වියුණේ යැ. ඇගේ අතින් වියුණු සලුව මම මිල දී ගත්තා.) එසේ නම් “වියුණු” ලියන්නන් කරන්නේ කුමක් විය හැකි ද? එසේ වියන ලද්ද නැවත ලිවීම ද? “වියුණුකරණය” යනුවෙන් එය අගට නැවත “කරණයක්” ඈඳීමෙන් දැනවෙන අර්ථය කුමක් ද?

මේ නාමකරනය මගින් අනෙකුත් ලිවීම්, විශ්ලේශන, වාර්තා හා නිර්මානයන්ට වඩා “පහල”, දෙවැනි මට්ටමේ පුරවැසිභාවයක් බ්ලොග්කරනයට ලබා දෙනවා. ඒ වගේ ම බ්ලොග් අඩෙවිවල විශ්වසනීයභාවය අභියෝගයට ලක් කරනවා. මෙය හරියට ඇතැම් ලිපියක “නම් ගම් මනඃකල්පිත ය” කියා යෙදීමට සමානයි. මෙහි දී මුලු මහත් මාධ්‍යය ම (බ්ලොග්) අදාල කර්තෘට නොදැනී(හෝ දැනුවත් ව) ප්‍රබන්ධ කෙරුනු/වියන ලද ඊනියා නිර්මානයක් ය යන අරුත සම්පාදනය වෙනවා.

මම නම් බ්ලොග්කරනයේ යෙදෙන්නේ හොඳ සිහියෙන්. එනිසා මා පල කරන දෑ මා දැනුවත් ව ලියූ දේ මිස මගේ අතින් නොදැනී “වියුණු” දේ නොවෙයි. මා තරයේ විශ්වාස කරනවා අතිබහුතරයක් බ්ලොග්කරුවන්ද එසේ බව. සමහර මාධ්‍යවේදීන් මෙන් ම අසිහියෙන් හෝ දැනුවත් ව ගොතා පල කරනවුන් එකෙක් දෙන්නෙක් ඉන්න පුලුවන් ය යන සම්භාවිතාව මම බැහැර කරන්නේ නැහැ. ඒත් වසර ගනනාවක් තිස්සේ බ්ලොග්කරුවන් ස්වකීය මාධ්‍යය හඳුන්වාගැනීමට යොදාගත් මනා, නිවැරදි යෙදුමක් තිබිය දී බ්ලොග්කරනය, බ්ලොග් අඩෙවි බ්ලොග්කරුවන් ආදිය හැඳින්වීමට “වියුණු” යන හාස්‍යජනක හා අඩන්තේට්ටම්කාරී නාමපදය යොදාගැනීම කැතයි. අසෝබනයි. අනුචිතයි.

බ්ලොග්කරු, බ්ලොග් අඩෙවිය, බ්ලොග්කරනය, බ්ලොග් අවකාශය හෙවත් බ්ලොගවකාශය ආදී සිංහල පදවල සුජාතභාවය ගැන වැඩිදුර සාකච්ඡා විශාල ප්‍රමානයක් අන්තර්ජාලයේ විවිධ තැන්වල වසර ගනනාවකට පෙර සිදු වුනා. ඒවා සොයාබැලීමට අවශ්‍ය වන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය පමනයි. මම එයින් එකක් දෙකක් පමනක් මෙතන යොදන්නම්.

බ්ලොග් අවකාශය නිසා සිංහල භාශාවට එකතු වුනු අලුත් පද

නිශ්පන්න, තද්භව සහ තත්සම … බසකට පද එකතු වන ක්‍රම

ලක්බිම පුවත්පතේ “වියුණු” ව්‍යායාමයේ තව විශේශ ලක්ශනයක් තියෙනවා. ඒ තමයි එලිපිට පෙනී සිටින පූරක මහතකු (චානුක වත්තේගම) මුද්‍රනය සඳහා බ්ලොග් අඩෙවි තේරීම හා ඇතැම් අවස්ථාවක ඒ පිලිබඳ ටීකාවක් ද සැපයීම. පාඨකයාට බ්ලොග් අඩෙවි අවබෝධ කරගන්නත් අදාල අවස්ථාවේ උපුටාගෙන ඇති දෑ පිලිබඳ අගමුල පාදාගන්නත් මේ ටීකාව “සහාය” වෙනවා. මේ ක්‍රියාදාමය තුල සිදු වන්නේ බ්ලොග් අවකාශය නමැති විශයය මාධ්‍යවේදී දුරදක්නයක් හෝ කන්නාඩියක් ඔස්සේ නැරඹීම යි. එහිදී අර්ථකථනය, තෝරාගැනීම, කෙටි කිරීම යනාදියත් පුවත්පතේ දිගපලල හා දේශපාලනයට සරිලන මට්ටමට බ්ලොග් අන්තර්ගතය කප්පාදු කිරීමත් සිදු වන බව නිරීක්ශනය කරන්න පුලුවන්. සුමති පුවත්පත් සමාගමේ හිමිකරු තිලංග සුමතිපාල මහතා ද මැතිවරන සටනට අවතීර්න ව සිටින මේ මාස කිහිපය තුල මේ පූරකකරනය මෙන් ම මාධ්‍යවේදය ද අභියෝගාත්මක පරීක්ශනයකට භාජනය වන අන්දම බ්ලොග් අවකාශයේ සිට නිරීක්ශනය කිරීම අන් සියල්ලට වටා රුචිකර අත්දැකීමක් වනු ඇති.

කොලඹ දිස්ත්‍රික්කයට නාම යෝජනා භාර දී පැමිනෙන මැතිවරන අපේක්ශකයින් අතරින් තිලංග සුමතිපාල මහතා වෙත නාභිගත (focus) කෙරුනු ඉරිදා ලක්බිම මුල් පිටුවේ සේයාරුව.

පසු සටහන - එම සමාගමට ම අයත් Lakbima News ඉංග්‍රීසි පුවත්පත අතීතයේ දී බ්ලොග් අවකාශය සමග පවත්වාගෙන ගිය “සම්බන්ධයට” සාපේක්ශව බලන විට ලක්බිම සිංහල පුවත්පත බ්ලොග් අඩෙවිවල අන්තර්ගතය මුද්‍රනය කිරීමට ගත් තීරනයේ බොහෝ ප්‍රගතිශීලී, ධනාත්මක ලක්ශන පේන්න තියෙනවා. ඇතැම් විට මෙය චානුක වත්තේගම මහතාගේ ම මුලපිරීමක් නිසා සිදු වූවක් විය හැකියි. මේ ලිපියේ දී මා පල කලේ එකී පිටුව පිලිබඳ මට පහල වූ අදහස් දෙකක් පමනයි. පත්තර පිටු මත සිට බ්ලොග් අඩෙවි නැරඹීමට වඩා බ්ලොග් අවකාශයේ සිට පත්තර දෙස බැලීම මා බෙහෙවින් රුචි කරන දෙයක්. මට හිතෙන්නේ දෙවැන්නේ යෙදෙන්නා අත වැඩි බලය - upper hand - තිබෙන බව යි.

බ්ලොග් අවකාශයෙන් අන්තර්ගතය සොරාගෙන ලක්බිම නිවුස් පුවත්පතේ පලකරගැනීම නිසා හටගත්, Lakbimagate යන අපනාමයෙන් බ්ලොග් අවකාශය තුල ප්‍රචලිත වූ, එම අතීත සිදුවීම් දාමය ගැන කියවන්න පහත සඳහන් පිටු වෙත යන්න. මෙය මේ මාතෘකාවට අදාල නො වූවක් සේ කෙනෙකුට පෙනී යන්න පුලුවන්. ඒත් මේ “වියුණු” පිටුවක බ්ලොග්කරුවන් වෙනත් මාධ්‍ය වෙතින් අන්තර්ගතය සොරාගැනීම ගැන ලියා පල කොට තිබුනු නිසා මෙය ද යලි සිහිපත් කිරීම අදාල යි. එසේ ම එකී සටහනේ දී බ්ලොග් සින්ඩිකේටරයකින් (එනම් තෙවැනි පාර්ශ්වයක් විසින්) එම ඊනියා සොරකමේ යෙදුනු බ්ලොග් අඩෙවි ඉවත් නොකරන්නේ මන්දැයි පැහැදිලි නැති බවට ද පූරක මහතා මැසිවිලි නඟනවා. මෙය මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්න අනිත් ප්‍රශ්නයට ද අදාල යි.

Rajpal, we know the law! You don’t need a disclaimer to protect your content!

ලක්බිම හොට බිම ඇනගැනීම, කොපි කිරීම, ආචාරධර්ම සහ බුද්ධිමය දේපොල නීතිය

හොරු සමග journalism : ජනමාධ්‍ය, මූලාශ්‍ර පිළිබඳ ආචාරධර්ම, ලේඛක අයිතිය සහ වෙනත් දේ ගැන පුද්ගලික ධාරණා ටිකක්

ඒ සිද්ධීන්ගේ අත්දැකීම පාදක කරගෙන අතිරේක ප්‍රශ්න කීපයක් ද ඔබේ අවධානයට යොමු කරන්න අවශ්‍යයි.

මේ පිටුවල අන්තර්ගතය උදෙසා අදාල බ්ලොග්කරුවන්ට ගෙවීමක් කෙරෙනවා ද? මේවා ප්‍රතිනිශ්පාදනය කෙරෙනුයේ ඔවුන්ගේ අවසරය ඇති ව ද? අදාල බ්ලොග් අඩෙවිවල තිබෙන creative commons හෝ හිමිකම් අවුරන වෙනත් සීමාකාරක බලපත්‍ර පිලිබඳ සලකාබැලීමක් මෙහි දී සිදුවේ ද? බ්ලොග්කරුවන් ස්වේච්ඡාවෙන් සිය අන්තර්ගතය ප්‍රතිනිශ්පාදනය සඳහා මුදා හැර තිබේ නම් මේ ප්‍රශ්න අදාල වන්නේ නැහැ. කෙසේ වෙතත් ඒවා දැනට අතුරු ප්‍රශ්න පමනයි.

වැඩිදුර පරිශීලනයට -
මගේ නිරීක්ශනයට පාත්‍ර වූ ලක්බිම “වියුණු” පිටු කීපයක්

ජාලගත සිංහලය, බ්ලොග්කරනය සහ අනාගතය

බ්ලොග් අවකාශය, ප්‍රකාශන නිදහස හා අන්තර්ජාල සංස්කෘතිය - ඉතාලි සිද්ධිය ඉදිරිපත් කරන නව ඇඟවුම්

| Comments

මගේ මිත්‍රයෙක් පසුගිය දිනක මෙහෙම ඇහුවා. “කවුරුහරි මිනීමරුවෙක් බස් එකක ගිහින් මගදී ඝාතනයක් කරනව. ඒකට බස් එකේ රියැදුරා වගකියන්න ඕනද?” කාලෙකට ඉස්සර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී මා නැරඹූ කංචුකා ධර්මසිරි අනුවර්තනය කොට අධ්‍යක්ශනය කල වුඩී ඇලන් ලියූ “දෙයියෝ” නමැති නාට්‍යය කූටප්‍රාප්ත වෙන්නේ නරක පනිවිඩයක් රැගෙන ආ පනිවිඩකරුවා ඝාතනය කරදැමීමට මහරජතුමා ගන්නා තීරනයෙන්. “උඹ මාව සදාකාලික කාලකන්නියෙක් බවට පත් කෙරුව …. මම තාව දැවැන්ත හස්තිරාජයන් දෙදෙනෙකු ලවා පාගලා විනාස කරනවා!” රජතුමා ගර්ජනා කරන්නේ එහෙමයි.

LIRNEasia වෙබ් අඩෙවියේ වාර්තා කෙරුනු අලුත් පුවතක් කාගේත් අවධානයට පාත්‍ර විය යුතු යයි මට හිතෙනවා. පසුගියදා ඉතාලි අධිකරනයක් google සමාගමේ විධායක නිලධාරීන් තුන්දෙනෙකු වරදකරුවන් බවට පත් කරමින් නිකුත් කල නඩු තීන්දුව ලොව වටා අන්තර්ජාලය ඉලක්ක කරගනිමින් ප්‍රකාශනයේ යෙදෙන සියලු දෙනාට නව අනතුරු ඇඟවීමක්.

මේ විනිශ්චයෙන් කියැවුනේ බාලවයස්කාර ගැටවරයින් කිහිප දෙනෙකු රෝගී දරුවකුට අඩන්තේට්ටම් කරන දර්ශන සහිත වීඩියෝවක් Google Video අඩෙවියෙන් ඉවත් කිරීමට google සමාගමේ අදාල නිලධාරීන් නිසි කලට පියවර නොගත් බවයි. අදාල වීඩියෝව පිලිබඳ විස්තරය නම් සිත් කම්පා කරනසුලු බව සැබෑව. ඒත් මේ සිදුවීම එකී වීඩියෝවෙන් බොහෝ ඔබ්බට ගමන් කරන සංඥා නිකුත් කරනවා.

එම නඩු තීන්දුවට අනුව ගූගල් යනු හුදෙක් වෙනත් අයගේ තොරතුරු රැගෙන යන වාහනයක් පමනක් නොවෙයි. මෙමගින් එසේ රැගෙන යන අන්තර්ගතය පිලිබඳ වගකීමක් ද ඔවුන්ට පවරා තිබෙනවා. මෙහි තර්කනය ට්විටරයයූටියුබය බ්ලොග් අඩෙවි ආදී සියලු ස්ථානවල වෙනත් පාර්ශ්වයන් විසින් පල කරනු ලබන අන්තර්ගතයන්ගේ වගකීම එම සේවාදායකයා මතද පැටවෙන බව නොවේද? එසේ ම වෙබ් සේවා සපයන්නන් (hosting providers) මත සීමාන්තික වගකීමක් ආරෝපනය කරමින් අන්තර්ජාලය අඩපන කිරීමකට මගපාදන්න මේ ප්‍රවනතාවට බැරි නැහැ.

ගූගල් සමාගම සිය ප්‍රධාන බ්ලොග් අඩෙවිය ඔස්සේ මේ පිලිබඳ අදහස් දක්වමින් කියාසිටියේ මෙය වනාහි අන්තර්ජාලය පදනම් කොට ගෙන තිබෙන නිදහස පිලිබඳ මූලධර්මයන්ට ම එරෙහි ව යන තීන්දුවක් බවයි.

But we are deeply troubled by this conviction for another equally important reason. It attacks the very principles of freedom on which the Internet is built. Common sense dictates that only the person who films and uploads a video to a hosting platform could take the steps necessary to protect the privacy and obtain the consent of the people they are filming. European Union law was drafted specifically to give hosting providers a safe harbor from liability so long as they remove illegal content once they are notified of its existence. The belief, rightly in our opinion, was that a notice and take down regime of this kind would help creativity flourish and support free speech while protecting personal privacy. If that principle is swept aside and sites like Blogger, YouTube and indeed every social network and any community bulletin board, are held responsible for vetting every single piece of content that is uploaded to them — every piece of text, every photo, every file, every video — then the Web as we know it will cease to exist, and many of the economic, social, political and technological benefits it brings could disappear.

මෙය ම තව පියවරක් පෙරට ගෙනගිය විට බ්ලොග් හා පුවත් ඇග්‍රගේටර, ප්‍රතිචාරාවකාශය (commentosphere) තුල පල වන දෑ කෙරෙහි පවා බලපෑම් එල්ල කරන මර්දක සංස්කෘතියකට දොරටු විවර කල හැකි යි. ඒ සියල්ලෙහි වගකීම අභූතරූපී ආකාරයට උඩු යටිකුරු වීම නිසා මුලු ප්‍රකාශන අවකාශය ම හිරිවැටීමකට ලක් නොවී තියේවිද?

මේ ලිව්වේ මගේ නිගමන ම නෙමෙයි. හුදෙක් අදාල විස්තර කියවද්දී හිතට ආ දේවල්. මේ පිලිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම වැදගත්.

“මාතෘකාවක් නැත” සහ Black Box අත්දැකීම

| Comments

නාට්‍යවේදී එම්. සෆීර් ප්‍රමුඛ Inter Act Art සංවිධානය ඉදිරිපත් කරන බ්ලැක් බොක්ස් ප්‍රසංග මාලාවෙන් එක් නාට්‍යයක් නරඹන්න පසුගිය සිකුරාදා (2010 පෙබරවාරි 19) මට භාග්‍යය උදා වුනා. ඇත්තෙන් ම අනිත් සියල්ලත් ඉඩ ලද පමනින් හෝ නරඹන්න තිබුනා නම් අගෙයි. ඉදිරි දිනවල කාලසටහන මේ ලිපියේ අග තියෙනවා. අද (21) හවස එතන රොක් සංගීත සන්ධ්‍යාවක්. ඔබත් හැකි නම් ගිහින් අහන්න/බලන්න/සහභාගී වෙන්න.

සිකුරාදා රඟදැක්වුනු කපිල කුමාර කාලිංග අධ්‍යක්ශනය කල “මාතෘකාවක් නැත” නමැති පර්යේශනාත්මක නාට්‍යය අතිශය නැවුම් අත්දැකීමක් වුනා. නම වගේ ම මේ නාට්‍යයත් අමුතුයි. නාට්‍ය කලාව ඇතුලු දෘශ්‍ය කලා ව්‍යායාමයන්හි නිරත කලාකරුවන්ට මෙන් ම රසිකයින්ට ද දොරගුලු ගනනාවක් විවර කර දුන් අත්දැකීමක් හැටියට මට මේක දැනුනා. එක පැත්තකින් අප මීට පෙර අත් නොදුටු විරූ බ්ලැක් බොක්ස් අවකාශය. අනිත් අතින් ප්‍රේක්ශකයා මත “තර්ජනාත්මක” පවා වූ බලපෑමක් ඇති කිරීමෙහි සමත් වූ “මාතෘකාවක් නැත” නාට්‍යය. බ්ලැක් බොක්ස් රංගය පිලිබඳ විශේශ හැදෑරීමක් මට නැහැ. එනිසා මේ ලියන්න හදන්නෙ ඒ ගැන තක්සේරු කිරීමක් නම් නෙමෙයි. ඒත් එදින එම ක්‍රියාවලියට සහභාගී වුන කෙනෙක් හැටියට මගේ ධාරනා (impressions) සටහන් කර තබන්න ඕනෑ ය කියලා හැඟෙනවා. මේ සටහන එදා සිදුවුනු “රඟපෑමේ” ම අවිධිමත් දිගුවක්.

“මාතෘකාවක් නැත” වනාහි ප්‍රේක්ශකාගාරය ආක්‍රමනය කිරීමක් ය කියලා හඳුන්වන්න මම කැමතියි. මේ ආක්‍රමනය වැදගත් වන්නේ ඇයි? නාට්‍යය පිලිබද සෆීර් කරපු හැඳින්වීමෙත් එහිදී බෙදා දුන් පත්‍රිකාවෙත් සඳහන් වුනේ මෙය බෙහෙවින් ම ආධුනික නලුනිලි කැලක් සමග සිදු කෙරුනු ප්‍රයත්නයක් හැටියට වුනත් නාට්‍යය සඳහා උපයෝගී කරගැනුනු තාක්ශනයේ ස්වරූපය නිසා ඒ සාධකය එතරම් වැදගත් වුනේ නැහැ කියලයි මට හිතෙන්නේ. මේ “නාට්‍යය” ආරම්භ වන්නේත් අවසන් මොහොත දක්වා “පවතින්නේත්” “ප්‍රේක්ශකාගාරය” තුල යි. මා මේ වචන උද්ධ්‍රැත හැටියට යෙදුවෙ ඒවා අපි සාමාන්‍ය වෙලාවට යොදාගන්නා තේරුමෙන් ම මෙතනදී යොදාගන්න බැරි නිසයි - “ප්‍රේක්ශකාගාරය” වසයෙන් හඳුන්වන්න පුලුවන් යමක් අවසානයේ ඉතිරි නොවන සහභාගී රංග කලා අත්දැකීමක් මේක.

අදියර 1

මීට කලින් නාට්‍ය බලන්න හෝ මොනම වැඩකටවත් ගිහින් තිබුන නැති අලුත් තැනක් නිසා Inter Act Art මධ්‍යස්ථානය හොයාගන්න ටිකක් අසීරු වුනා. ඒ ප්‍රදේශයේ ඇතැම් අයගෙන් නාට්‍ය පෙන්වන තැනක් ගැන ඇහුවම කිව්වෙ “මේ පැත්තෙ ‘පබා’ නං ශූට් කරනව ඔයා ඒකටද යන්නෙ?” කියල. නමුත් අන්තිමේදි ත්‍රීරෝද රථ සොයුරන් කීපදෙනෙක් පාර හොයාදෙන්න සමත් වුනා.

කපිල කුමාර කාලිංගගේ නාට්‍යය “ආරම්භ” වෙන්නේ කොතනින්ද යන්න විවිධ අයට අනුව වෙනස් වෙන්න පුලුවනි. ඇතැම් විට “ආරම්භය” බ්ලැක්බොක්ස් අවකාශයෙන් පිටත “නරඹන්නන්” රැස් වෙමින් සිටි වේලාව පවා විය හැකියි. මටත් විවිධ මිතුරන්, දන්නා හඳුනන උදවිය, ගුරුවරු එලියේ දී හමු වුනා. විවිධ දේ ගැන කතාබහ කලා. ඉන් පසු සුපුරුදු පරිදි රංග ශාලාව ඇතුලට ගිය අපට ඉඳගන්න පඩිපෙලක ආකාරයෙන් සැකසූ කුඩා ප්‍රේක්ශකාගාරයක් සපයා තිබුනා. මුලුමහත් අවකාශය අඩි විස්සක විසිපහකට වඩා දිග නැති බව පෙනුනා. මමත් එලියේදී හමු වුන මිතුරකුගේ ලඟින් ඉඳගත්තත් එසේ ඉඳගැනීම එතරම් ම සනීපදායක දෙයක් නොවන බව පසුව තේරුම් ගියේ ඔහු නාට්‍යයේ “රඟපාන” අයකු බව වැටහී යද්දීයි. පලමු දර්ශනයට හිටියෙ පහලොවක විස්සක පමන ප්‍රේක්ශක පිරිසක්. දෙවැන්නට නම් පනහ ඉක්මවා ගිය සෙනගක් සහභාගී වුනා. නාට්‍යය ආරම්භ වන බවට “නිවේදනයක්” ඉදිරිපත් කෙරුනත් මඳ වේලාවක් යනතුරුත් කිසියක් සිදු වෙන්නේ නෑ. ඉන් පසු “ප්‍රේක්ශකයින්” අතර නාට්‍යයේ පමා වීම පිලිබඳ කසුකුසුවක් හටගැනීමත් එය ක්‍රමයෙන් “ප්‍රේක්ශකයින්ගේ” “සැබෑ” ජීවිත ඇතුලට ගලා යාමත් තමයි මෙහිදී උපයෝගී කරගැනුනු ප්‍රධාන විධික්‍රමය. “ප්‍රේක්ශකයින්ගේ”ගේ නොසන්සුන්තාව හා නාට්‍යය පමා වීම හා සංවිධායකයින්ගේ වැරදි පිලිබඳ උද්ඝෝශනයක ස්වරූපයෙන් කැලතී මතු වී ආවේ කිසියම් සමාජ විචාරයක බීජයක්. සමාජයේ පිටත දාරයේ ජීවත් වන “ගෝරි කාරයෙක්”, ඔබේසේකරපුර, මරදාන, ගුරුවරයෙක් (ඔහු හරහා) විලියම් ශේක්ස්පියර්, සීසර්, බෲටස් හා මාක් ඇන්තනි ද ලෝක ගෝල විකුනමින් යන හති වැටුනු “සේල්ස් රෙප් කෙනෙක්” ද මේ සංරචනයට අවතීර්න වෙනවා. ඒ අතර ප්‍රේක්ශිකාවන් සේ ම නිවේදිකාව ද ප්‍රේක්ශක පුරුශයින්ගේ “වින්දනාත්මක” පරිභවයට ලක් වෙනවා. හරියට සමාජ - දේශපාලන කොලාජයක් වගේ. නමුත් මේ සියල්ල වනාහි “ප්‍රේක්ශකාගාරය” තුල, නිල ප්‍රේක්ශකයින් ද අන්තර්ගත කරගත් අභිවාහ්‍ය ක්‍රියාවක් (performing activity)! එනිසා මෙය “නාට්‍යයක්” ද නොවෙයි. ප්‍රේක්ශාව සඳහා සුවපහසු වස්තුවක් ඉදිරිපත් නොකරන කපිල කුමාර කාලිංග ඇතුලු පිරිස ප්‍රේක්ශකයාට කරන්නේ එක්තරා විදිහක බලහත්කාරකමක්.

“නලුනිලියන්” හා “ප්‍රේක්ශකයින්” අනපේක්ශිත ලෙස එකට කලවම් වී යාම තුල ප්‍රේක්ශකයා ද නාට්‍යයේ පාත්‍රයකු බවට පත් වෙනවා.

“ප්‍රේක්ශකයෝ”

මෙසේ ඇදි ඇදී ගොස් “ප්‍රේක්ශකයාට” “වාතයක්” බවට පත් ව තිබූ නාට්‍යයෙහි අවසන් මිනිත්තුවේ දී “නාට්‍යය” “ආරම්භ වන බවට” නැවත නිවේදනය කෙරෙන අතර සැබෑ “නලු නිලි පිරිස” “ප්‍රේක්ශකාගාරයේ” සිටත් එලිපහලියේ සිටත් පැමින “රංගභූමිය”ට අවතීර්න වෙනවා. ඔවුන් කියන්නෙ එකම එක දෙයයි. “නාට්‍යය තවම පටන්ගත්තෙ නෑ…. අපි ගැනත් හිතන්න” ඒක ප්‍රේක්ශකයින්ගේ කතාවක්ද? නාට්‍යකරුවන්ගේ කතාවක්ද? නැත්නම් අර ප්‍රේක්ශකාගාරයේ මතු වුනු එලියේ සිට හදිසියේ කඩා වැදී යලි නොපෙනී ගිය, නානාප්‍රකාර මිනිසුන්ගේ ගැහැනුන්ගේ කතාවක් ද? යන අවිනිශ්චිත හැඟීමෙන් ඉන්න අතර ඔවුන් ප්‍රේක්ශකාගාරයේ ඉතිරිව සිටින පිරිස සංවාදයකට ඇදගන්නවා. එතැන් පටන් “නාට්‍යයට” වඩා දිගු වේලාවක් පැවතුනේ ඒ සංවාදය යි. නාට්‍යයේ නිල නලු නිලි කැල නිහඬ ව බිම හිඳ සිටිය දී නිල ප්‍රේක්ශකාගාරය ඉතිරි කොටස “රඟපෑවා”.

“අපි ගැනත් හිතන්න” (ඡායාරූප - කිංස්ලි ගුනතිලක)
අදියර 2
මේ අදියර බ්ලැක් බොක්ස් රංගයේ බලය විදහා පාන්නක් හැටියටයි මට තේරුම් ගියේ. කිසිම කෙනෙක් මගදී නැගිටලා ගියෙ වත් නිශ්ශබ්දව හිටියෙත් නෑ. සක්‍රීය ව සංවාදයට දායක වුනා. මෙහෙම සංවාදයකට සහභාගී වීමේ අරමුනින් කිසි කෙනෙක් ආවාද කියල මම නම් දන්නෙ නැහැ. ඒත් හැමෝම “රඟපෑවේ” කැමැත්තෙන් බව නම් මට සහතිකයි. මුලින්ම “ප්‍රේක්ශකාගාරය” තුල හටගත් සිද්ධිය ගැනත් ඉන් පසු ඒ හා අන්තර්පඨිතතාවෙන් යුක්තව සබැඳුනු වෙනත් නාට්‍ය, පුද්ගලික හා සමාජීය සිද්ධීන් ගැනත් අදහස් ගලා ආවා. ඉන් පසු මේ නිර්මානයෙහි තාක්ශනික හා ආකෘතික පැති ගැනත් හැමෝටම කියන්න කතාවක් තිබුනා. ඒවා ඇතැම් විට නිර්මාපකගේ අදහසට පටහැනියි, සමහර ඒවා අනුකූලයි, ඒක විවෘත සංවාදයක්. ඒ කතා සියල්ල එකිනෙක යා වුනා, ගැටුනා, අන්තර්ක්‍රියා කලා. “මේ යන්නෙත් නාට්‍යය තමයි” කීප දෙනෙක්ම ඒ අතර මැදදී සඳහන් කලා.

මෙහෙම දෙයක් ප්‍රොසීනියම් රංග අවකාශයක් තුල හෝ වෙනත් නිල කලා අවකාශයක් තුල සාක්ශාත් කරගන්න අමාරු බවයි මගේ හැඟීම. ඒවා තුල සංස්ථාපිතය (establishment) විසින් නිර්නය කෙරුනු නීති රීති හා ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ නිල අවකාශ තුලට ඇතුලු වෙන පිටවෙන නිශ්චිත ස්ථාන සලකුනු කරලයි තියෙන්නෙ. ඒ වගේ ම ඒ ඒ පාර්ශ්වයේ භූමිකාව ද කලින් ඇඳ දක්වනු ලැබූ රීති පද්ධතියකට යටත්. රඟපෑම සිද්ද වෙන්න ඕන මෙන්න මේ මේ සීමාවෙයි ප්‍රේක්ශකයා ඉන්නෙ මේ මේ සීමා තුලයි ආදී වශයෙන් නිහඬ ගිවිසුමක් එවැනි රංග කලා අවකාශයක් කරා යන අපි ඇති කරගන්නවා. එයින් පිට පැන්නොත් ප්‍රශ්නයක්. අවුලක්. තහනමක්.

ඇත්ත, ඒවා තුලත් විවිධ රැඩිකල් කටයුතු සිද්ධ වෙනවා තමයි - පර්යේශනාත්මක වැඩ ආදිය. ඒත් හොඳින් බලන්න රාජ්‍ය නාට්‍ය උලෙල වගේ තැනක එහෙමත් නැත්නම් යෞවන සම්මාන උලෙල වගේ තැනක මේ රීති බලපවත්වන ආකාරය. ඒ තැන්වල ඉඳන් පහලට තමයි ඒ සංස්කෘතිය ගලාගෙන පෙරී එන්නෙ. එනිසා ම බලන්න අපේ ප්‍රධාන රඟහල් තුල මේ රීතිගත සදාචාරය බලපවත්වන අන්දම. කාගෙ හරි නාට්‍යයක එක චරිතයක් විතරක් තිබුනත් නිල අවකාශවල දී ඒක ප්‍රශ්නයක්. එහෙම නැත්නම් “වේදිකාව” වශයෙන් හැඳින්වෙන ස්ථානයේ තිර වසා ඉදිරියට ඇවිත් රඟපෑවත් ප්‍රවීනයන්ගෙන් හෝ විනිසුරුවන්ගෙන් “අවවාද” ලැබෙනවා මේ මේ අංශ “හදාගන්න” වේදිකාව “භාවිත කරන්න” කියල. ඒ ක්‍රමයට විතරයි නාට්‍යයකට “අවසන් වටයට” යන්න පුලුවන් වෙන්නෙ. නාට්‍යයකට පෙර වගේ ම නාට්‍යයක් අවසන් වුනාමත් නාට්‍යකරුවන්, නලුනිලියන් හා ප්‍රේක්ශකයින් අතර හටගන්නා අන්තර්ක්‍රියාකාරකම් පවා මේ සංස්ථාපිතයේ අනසකට යටත්. ඒවා නිශ්චිත අභිවාහ්‍ය ක්‍රියා. මම මේ ක්‍රියාවලිය පිටුදැකිය යුතුයි කියනවා නෙමෙයි. ඒත් බලන්න මේ ව්‍යුහය තුල තිබෙන දේශපාලනය. ප්‍රේක්ශකයාට එවැනි අවකාශයක් තුල වරප්‍රසාදයක් හිමි වෙනවා. ඒ තමයි නිකම් රූපවාහිනිය බලනවා වගේ අසම්බන්ධිතව සුවපහසුවට නාට්‍යය නරඹලා, අවශ්‍ය නම් මූනිච්චාවට සුබ පතලා සිපවැලඳගෙන ආචාර කරලා නික්ම යන්න. එහෙමත් නැත්නම් නාට්‍යය ඉවර වුන ගමන්ම පැන දුවන්න. එනිසා අවශ්‍යයෙන් ම නාට්‍යය ප්‍රේක්ශකයාට කිසිම අභියෝගයක් එල්ල නොවන නිශ්ක්‍රීය අත්දැකීමක් වෙන්න පුලුවන්. නාට්‍යයේ “වස්තු විශය” හෝ ආකෘතිය හෝ මොනයම්ම දෙයක් හෝ සමග ඓන්ද්‍රීය ව නොබැඳී නොගැටී නාට්‍ය නරඹන්න පුලුවන් අවකාශයක් - නාට්‍ය නැරඹීමේ අදේශපාලනික භාවිතාවක්. ඒක වරප්‍රසාදයක ස්වරූපයෙන් ලැබෙන “ලනුවක්” කියලා කෙනෙක් හැඳින්නුවත් වරදක් නැහැ. මේක රංගකලාවේ ඉතා වැදගත් විභවයන් කීපයකට දොරටු වහනවා. බ්ලැක්බොක්ස් අවකාශය තුලදී මේ පිරිස ඒ දොරටු නැවත විවර කර බලන්න සමත් වුනා කියලයි මට හිතෙන්නෙ. එවිට ප්‍රේක්ශකයාට වගකීමෙන්, හැදෑරීමෙන් හෝ ප්‍රශ්නවලට මුහුන දීමෙන් පලා යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මේක ප්‍රේක්ශකයාගෙන් ගොඩක් දේවල් ඉල්ලා සිටින නාට්‍යමය ප්‍රවිශ්ටයක්. මම ඒකට කැමති වුනේ එනිසයි. අපේ රටේ රංගකලාවට වඩාත් ම අවශ්‍යවෙලා තියෙන්නෙ එවැනි නියුක්ත (involved and engaged) ප්‍රේක්ශකාගාරයකුයි. එය දේශපාලන, බුද්ධිමය හා සංස්කෘතික අවශ්‍යතාවක්.

———————–
(පසුවදන - පැහැදිලි කාරනය වෙන්නෙ එහි ස්වභාවය නිසා ම ඉහත කී ප්‍රසාංගික කාර්යය එයාකාරයෙන් නැවත කිසි දිනක සිදු කල නොහැකි වීමයි. එය නැවත නැවතත් පරිශ්‍රම දරා වර්ධනය කරගත යුතු සජීවී කටයුත්තක්. එනිසා එවැන්නකට මේ සා වෙහෙස වී සූදානම් වූ “මාතෘකාවක් නැත” කන්ඩායමටත් අධ්‍යක්ශවරයාටත් ආචාරය පල කරන්න මේ අවසන් වචන කීපය මම යොදාගන්න කැමතියි. ඒ වගේ ම මෙවැනි වැදගත් මැදිහත්වීමක් සඳහා මුලපිරූ සෆීර් ප්‍රමුඛ Inter Act Art සංවිධානයට ද ස්තුතියි.)

———————–
Inter Art Art සංවිධානය ඉදිරිපත් කරන Sri Lankan Theater Festival 2010 හි බ්ලැක් බොක්ස් අවකාශය තුල අද සිට කාලසටහන -

හවස 4 ට සහ 6 ට රාජගිරිය, ඔබේසේකරපුර, නානායක්කාර මාවතේ 133/48D දරන ස්ථානයේ දී

‘Thamilean Rockz’ musical by Vickyn and Keethan (පෙබ 21),
‘රජ සිසු වරුන’, රාජකීය විද්‍යාලයේ ඉදිරිපත් කිරීමක් - අධ්‍යක්ශනය රත්නා ලාලනී ජයකොඩි (පෙබ 22),
‘Youth New Wave’ short films - රෝහන වර්නකුලසූරියගේ Road to City, වසන්ත පෙරේරාගේ missed call, ශානක බෝදියබදුගේගේ DIAMOND, භානු ප්‍රසන්නගේ Speechless සහ රසික හපුආරච්චිගේ Globalisation යන කෙටි චිත්‍රපට (පෙබ 23),
අරුන ප්‍රියත්න අධ්‍යක්ශනය කල ‘නොමලවුන්’ සහ මොහාන් රාජ් මඩවලගේ කෙටිකතාවක් ඇසුරින් අරුන ප්‍රියන්ත අධ්‍යක්ශනය කල ‘නිර්වස්ත්‍ර’ යන නාට්‍යද්වය (පෙබ 25),
‘වසත් කාලය’ නදීකා තරංගනී සහ මනූශා චාමලී ඉදිරිපත් කරන නර්තනය හා රූපනය එක් කරන පර්යේශනාත්මක ප්‍රසංගය (පෙබ 27)
එම්. සෆීර් ඉදිරිපත් කරන බ්ලැක් බොක්ස් රංගය පිලිබඳ සන්නිදර්ශනාත්මක වැඩමුලුව (පෙබ 28)


———————–
පසුබිම සහ තවත් විස්තර :
නළු නිළියන් පහළොවයි ප්‍රේක්ෂකයන් දහ දෙනයි - එම්. සෆීර් සමග සිළුමිණ පුවත්පතේ කතාබහ

රනබිමින් නැගෙන හඬ - සිරි ගුනසිංහ (උපුටනයක්)

| Comments

මිනිස්සු නම් නොවෙමුය අපි
අපි වෙමු පනුවෝ -
පොලොවේ පස් කා
ජීවත් වෙමු අපි.

මිනිස්සු නම් නොවෙමුය අපි
අපි වෙමු නයි පොලොංගු -
පැටවුන් ගිල දා
ජීවත් වෙමු අපි.

මිනිස්සු නම් නොවෙමුය අපි
අපි වෙමු වග වලස්සු -
එකෙ’කා කාගෙන
ජීවත් වෙමු අපි.

මිනිස්සු නම් නොවෙමු අපි
අපි වෙමු යක් රකුසෝ -
අමු මිනී මස් කකා
ජීවත් වෙමු අපි.

මලමිනී මවන්නෙමු,
එයින් දිවි රකින්නෙමු.

අප නිසා දිවි පිදූ
අප නිසා අඟුරු වූ
ඔවුහුය මේ රන බිමේ
දෙවි දේවතාවෝ.

(1958 පල වූ අබිනික්මන කාව්‍ය සංග්‍රහයේ 80 - 81 පිටු)