වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බ්රිතාන්‍ය අගමැතිගේ “ගැඹුරු කනගාටුව”

| Comments

බ්රිතානයයේ වහල් වෙළඳාම තහනම් කොට වසර දෙසීයක් පිරෙන්නේ මේ වසරේ. මේ සම්බන්ධයෙන් නා නා ප්රකාරයේ සමරු උත්සව සංවිධානය කර තිබෙනු වාර්තා වුණා. අගමැති ටෝනි බ්ලෙයාර් වි‍ශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඝානාවේ වැසියන්ට කණගාටුව පළ කිරීම මේ දිනය නිමිත්තෙන් සිදු වූ නරුම හාස්‍යයක් දනවන ක්රියාවක්. ඝානාවෙන් තමයි අධිරාජ්‍ය යුගයේ දී අතිවිශාල සංඛ්‍යාවක් ජනයා වහල් සේවාව පිණිස ඇමෙරිකානු මහාද්වීපයට පටවා හරිනු ලැබුවේ. මේ මස මුල දී ඝානා ජනාධිපති මුණගැසුණ බ්ලෙයාර් ඒ පිළිබඳ කණගාටුව කොට ද තිබෙනවා. නමුත් ඒක විධිමත් සමාව අයැදීමේ ක්රියාවක් නම් නෙමෙයි.

ලක්ෂ හයකට අධික ජන සංඛ්‍යාවක් වසර කිහිපක් තුළ ඝාතනයට ලක් කරමින් නොනැවතී තව දුරටත් ඇදී යන ඉරාක යුද්ධයේ ලේ ගෑවුණු අත් ඇති බ්ලෙයාර් අගමැති තැන වසර දෙසීයකට පෙර සිදු වූ වහල් වෙළඳාම ගැන කිඹුල් කඳුළු හෙළීම ලොව පුරා ඇස් කන් ඇති, අවදියෙන් සිටින කොයි කාගේත් හාස්‍යයට මෙන් ම වෛරයට ද හේතු වනවාට සැකයක් නෑ.

ඇත්ත, වහල් වෙළඳාම පිළිබඳ අතීතය ඛේදජනකයි, දුර්දාන්තයි. ඒත් බ්ලෙයාර් සහ ජෝර්ජ් බුෂ් සමාගම ගෙනියන “ලෝක යුද්ධය” ඊට නොදෙවෙනි අන්දමින් ම්ලේච්ඡයි! ඔවුන් අද නිරත වෙලා ඉන්නේ තවත් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් උන්හිටි තැන් අහිමි කොට නව ස්වරූපයක වහල් භාවයකට පත් කිරීමේ ව්‍යායාමයක නෙමෙයි ද? ඒ යුද්ධය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ විරෝධයට පාත්ර ව ඇති මෙවන් සමයක ඔවුන්ට වහල් වෙළඳාම ගැන අකුරක් වත් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද? මේ ගැන බ්ලෙයාර් වැනි පාලකයින්ගේ පැත්තෙන් කණගාටුව හෝ සමාව බලෙන් ඉල්ලවාගන්න උද්ඝෝෂණය කරන සංවිධාන යෙදිලා ඉන්නෙත් නිෂ්ඵල වෑයමක කියලයි මම හිතන්නේ. මොකද තව වසර ගණනාවකට පස්සේ අද මැදපෙරදිග කෙරීගෙන යන අපරාධ සම්බන්ධයෙන් වග කිව යුතු බ්ලෙයාර් ගැනත් මේ විදිහට කතා කෙරෙන දවසක් ඒවි. ඒ කොයි හැටි වෙතත් තව ම බ්ලෙයාර්ගේ දිව වහල් වෙළඳාම ගැන සම්පූර්ණ සමාවක් ඉල්ලන්න තරම් වත් නැමිලා නැති බවයි වාර්තා වෙන්නේ.

සද්ගුණාකාරය සහ සුනේත්රා ගැන…

| Comments

අද(හෙට) සිළුමිණ පත්තරේ පෙරළද්දී වසන්ති චතුරාණි සමග කෙරුණු සම්බුඛ සාකච්ඡාවක් හදිසියේ ඇස ගැටුණා. සද්ගුණාකාරය නවකතාවෙන් ටෙලි නාට්‍යයක් නිපදවලා කියලා මම දැනගත්තේ ඒ වෙලාවෙයි. රෝස නෝනාගේ චරිතය රඟපාන්නේ වසන්ති චතුරාණි වෙන්න ඇති. මගේ රූපවාහිනී නැරඹිමේ පුරුද්ද ක්රිකට් තරග සහ ඉංග්රීසි සිනමාපටවලට සීමා වෙලා තියෙන්නෙ වැඩි හරියක් කොත්තු රොටී වගේ හැදෙන ටෙලි නාට්‍ය හින්දයි. සාමාන්‍යයෙන් රූපවාහිනී නැරඹීම අප්රසන්න වෙහෙසකර අත්දැකීමක් බවට පත් වෙලා. ඒත් සද්ගුණාකාරය කියන්නෙ මගේ ප්රියතම නවකතාවක්! එවැන්තක් ලිවිය හැක්කේ සුනේත්රා රාජකරුණානායකට ම පමණයි! ටෙලි නාට්‍යයෙන් ඒ පොතට සාධාරණයක් ඉෂ්ට වෙලා ද නැද්ද යන්න මම තවම දැක්කෙ නෑ. ඒ නාට්‍යය දුටු කෙනෙක් ඉන්නවා නම් අනේ කරුණාකරලා ප්රතිචාරයක් ලියන්න.


පාසැල් හා සරසවි සමයේ සුනේත්රා රාජකරුණානායකගේ මුල් කාලීන පොත් කියවීමෙන් මන්මත් ව ගිය මමත් මගේ මිතුරනුත් කතුවරිය කෙරෙහි ගෞරව සම්ප්රයුක්ත “ආලයකින්” පසු වුණු අන්දම මට තවම මතකයි. සඳුන්ගිර ගිනි ගනියි(1989) නවකතාවෙන් ආරම්භ වුණු ඇගේ නවකතාකරණය අතිශය නවමු එමෙන් ම නොමැකෙන අන්දමේ මංසලකුණු සිංහල නවකතා ඉතිහාසය තුළ තබන්න සමත් වුණා කියලයි මම විශ්වාස කරන්නෙ. පසු කලක ලියැවුණු Attaining Age (1998), ප්රේම පුරාණය (1999), රිදී තිරංගනාවි (2000), ආදී කෘති පරම්පරා කිහිපයක ම රසිකයින් ව “ගලග්රහයෙන්” ගෙන අමන්දානන්දයට පත් කළා. කෙසේ වෙතත් අද වෙද්දී “තර්ක බුද්ධිය” විසින් හසුරුවනු ලැබූ අපි “විචාරපූර්වක” ප්රවිශ්ටයකින් ඇගේ කෘති කියවද්දීත් එදා දැනුණු නැවුම් බව නොනැසී පවතින බව නම් කිව යුතු මයි. සමකාලීන සිංහල භාෂාවේ ශක්‍යතා සහ උක්තීන් කෙරෙහි තියුණු සංවේදීතාවක් සහිත ව නිර්මාණකරණයේ යෙදෙන ලේඛිකාවක් තමයි සුනේත්රා. ඒ නිසා ඇයට පුළුවන් වෙලා තියෙනවා භාෂාව අවස්ථාවෝචිත ව “නමා හසුරුවාගන්න”. බස ඇගේ සැබෑ වහලෙක්! මේ සඳහා අනේක විධ උදාහරණ ඇගේ නිර්මාණාවලියෙන් උපුටා දක්වන්න පුළුවනි. එසේ ම වෙනත් සන්දර්භයන්ට අයත් වන ඇගේ හොරා සහ බල්ලෝ (නගීබ් මහ්ෆුස්) වැනි පරිවර්තනවලටත් මෙයාකාරයෙන් ම උචිත භාෂා රීතියක් සොයාගන්න ඇය සමත් වෙන්නෙ ඉහත කී සංවේදීතාව නිසා ම විය යුතුයි.

සද්ගුණාකාරය කියන්නෙ සුනේත්රාගේ ප්රධානතම නවකතාව නෙමෙයි. ඇය රචනා කළ රිදී තිරංගනාව කෘතිය මම හිතන හැටියට බලවත් ම නිර්මාණයයි. වෙනත් වෙලාවක ඒ නවකතාව ගැන සවිස්තරාත්මක ව ලියන්න ඕනේ. මේ ඒකට වෙලාව නෙමෙයි. මේක සද්ගුණාකාරය ගැන විචාරයකුත් නෙමෙයි. නිකම් හිතේ භක්ත්‍යාදරයට ලියන සටහනක්.

සද්ගුණාකාරයට විෂය වෙන්නේ රත්නපුරයේ ඈත ගමක ඉපිද වැඩෙන, ජීවිතයේ සන්තුෂ්ටීන්, දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ පාන රෝස නෝනා නමැති ස්ත්රියගේ ජීවන පුවතයි. මේ නවකතාව ලියල තියෙන්නෙ රත්නපුරේ ප්රාදේශීය ජන වහරක් උපයෝගී කරගෙන. කතුවරිය, අතැඹුලක් සේ තමා දත් ඒ ජන ජීවිතය, සිතුම් පැතුම්, රෝස නෝනාගේ හඬින් සිතුවමි කරන අපූරුව බලන්න -

“අනේ අප්පේ කිරි අම්මා නැති උනහම මට බත් ගිලෙන්නෙ නැතුව ගියා. බලා ගත් අතේ බලාන හිටියා. පස්සෙ අපේ පුංචි අම්මට කව්ද කියලා කිරි අම්මෑ බැල්ම වැටිලා වෙන්ටැති ඒක යන්ට කතා නොකර ඉළපතෙං තඩි බාන්ට කියලා. අනේ කවුරු දන්නවද කෙමක් කියලා. මං හිතුවා නපුරුකොමට කියලා හිට. ඒ පාර මට හිතුණා පොත්ගුන් කැලේට ලෙහුං ගහක එල්ලිලා මැරෙනවා කියලා. එතකොට මට අවුරුදු දහයක් ඉතර ඇති. මං ඉපදිලා තියෙන්නෙ එකදාස් නමසිය දහය ලබනකොට නෙ.”
(සද්ගුණාකාරය, 2001 සැප්තැම්බර්, 20 පිටුව)

ඇය සිය කෘතියට විෂය වන ගැමි ගැහැණුන්ගේ හා පිරිමින්ගේ පුරාකථාමය විශ්වාසයන් හා ඒකාත්මික වෙමින් මේ වෘතාන්තයට හැඩකල සම්පාදනය කරගන්නවා.

“කොලුවෝ තොගේ මහ බඩ ගෙඩියේ
ගුලි වී ඇත හූනියමක් මට පෙනියේ
හිඳිලා බල සුරයේ කිලි වැදියේ
මළගිය අම්මා දැන් ඉල්ලා අඬනවා මෙහේ

“කොහෙන් වචන ආවද දන්නෙ නෑ, කවි දෙකයි කියවුණේ, අලි මුදියන්සෙ සරම පාත් කරගෙන, කම්බි ලේන්සුව අතට ඇන්න බිමට පාත් වෙලා මට වැන්දා. මටත් හිතා ගන්ට බැරි වුණා මොකද වුණේ කියලා. හැබැයි ඒ එක්ක ම ඝාන්ටාර පූජා කරැව්ව පින් සද්දෙට අර ගඟ වාගේ ගලාන ආ කවි දහරාව නැවතුණා. මං පොළොවෙ අඩි හප්පලා කොණ්ඩෙ මූණට දමාන ගෙට දීවා….

“අලි මුදියන්සෙ “අක්කට පත්තිනි බැල්ම වැටිලා,” කියලා මිදුලෙ ඉඳ‍ගෙනම කියලා හිට යන්න ගියා. මගෙ ඇඟ දාඩියෙන් පෙඟුණා.”
(සද්ගුණාකාරය, 115 පිටුව)

සිය පාත්ර වර්ගයාගේ දුක් දොම්නස් මෙන් ම සතොස් පෙම් බස් ද සුනේත්රා සිතුවම් කරන්නේ ඇයට ම ආවේණික ස්වරූපයකින් -

“හිනා වෙනකොටනං ආයෙ නෑ උපමා හොයන්ට ඕනෑ”…
ලියන මහත්තයා කතා කෙරුව්වේ නිකං ඉස්කෝලෙ මහත්තයෙක් වාගෙ.
“නම වගේම ලස්සනයි,” කීවම මයෙ මූණට ලේ පිරුණා.
ඒ සන්දියෙ මං දැනගෙන හිටියෙ නෑ එහෙම කතා පොඩි ළමයෙකුට මිසක් පිරිමි ගෑණුන්ට කියන වගක්. අපේ අප්පච්චි හෙම, කරංගොඩ බාප්පලා හෙම පුංචි අම්මලාට එහෙම කියන්නෙ නෑ නෙව.”
(සද්ගුණාකාරය, 52 පිටුව)

පසුගිය ශතවර්ෂය තුළ ධනවාදය පෘථුල පරිමාණයෙන් ලංකාවේ ඈත ගම් දනවු කරා අතු ඉති ලියලද්දී ඒ පරිස්ථානයන්හි පැවැති සංස්කෘතීන්, ජීවන විලාසයන්, “ස්ත්රීත්වය” සහ වෙනත් සංකල්ප ආදී බොහෝ දෑ විපර්යාසයට ලක් වූ අන්දම පිළිබඳ කතාන්තරයක අංශු මාත්රයක් සද්ගුණාකාරය තුළ ගැබ් ව තිබෙනවා. එම කෘතිය, රෝස නෝනාත් ඇගේ නැදෑ සනුහරයත් ඔවුන් අතරට එන යන වෙනත් “නාගරික” චරිතත් මේ විපර්යාස තුළින් ගමන් කරන හැටි රසිකයා හමුවේ චිත්රණය කරනවා. එම ගම්බිම්වල ජනයාගේ ජීවිතවලට සමීපස්ථ වන රසිකයාගේ සිත් සතන්හි ඔවුන් පිළිබඳ අපරිමිත භක්ත්‍යාදරයක් ද කරුණාවක් ද උපදවාලන්න සුනේත්රාගේ කෘතිය සමත් වෙනවා. මෙය අපට සිහිගන්වන්නේ කතුවරියගේ ම මුල් කෘතිය වන සඳුන්ගිර ගිනි ගනියි නවකතාව. සඳුන්ගිරේ ම එක්තරා දිගුවක් (එහෙමත් නැති නම් අතුරු කතාවක්) වැනි ස්වභාවයක් මේ පොතේ තියෙනවා. ඒත් මේ පොත පුදුමාකාර විදිහට විවෘතයි, “අමු යි”. මම අමු යි කියන්නෙ නරක අර්ථයකින් නෙමෙයි. හොඳක් හැටියටයි. මේ කෘතිය හදිසියේ පායන දේදුන්නක් වගේ ම හෙණයක් වගේත් රසිකයා මත පතිත වෙනවා ය කියලා මම කියන්නෙ ඒ නිසයි. මේක ටෙලිනාට්‍යයට නැගීම සැබෑ අභියෝගයක්.

New Home for Web Alochana

| Comments

Welcome to the new online home of Web Alochana! I just moved my blog, Web Alochana to a blogger account. My previous host disappeared without a trace. Please update your links.

ආයුබෝවන්! වෙබ් ආලෝචනා දැ න් නව වෙබ් ලිපිනයකට ඇවිත්!
මගේ නව ලිපිනය -
My new address:

http://webalochana.blogspot.com

feed address
http://webalochana.blogspot.com/feeds/posts/default

Or via Feed burner
http://feeds.feedburner.com/wa

AWA Show - Association of Women Artists

| Comments

මම කලින් සටහනක සඳහන් කළ ප්‍රදර්ශනයට අන්තිම මොහොතේ දී, ඊයේ යන්න ඉඩ ලැබුණා. එය එම ප්‍රදර්ශනයේ අවසන් දිනය යි. විභවි ලලිත කලා ඇකඩමිය ආශ්‍රිත ව ගොඩනංවනු ලැබූ ස්ත්‍රී කලාකාරියන්ගේ සංවිධානය නොහොත් Association of Women Artists විසින් පවත්වන්නට යෙදුණු මේ ප්‍රදර්ශනයට සිතුවම්, ස්ථාපන, ඡායාරූප සහ මූර්ති ද ඇතුළත් වුණා.

ප්‍රදර්ශනය අභිරක්ෂණය කර තිබූ අන්දම ගැන සෑහීමකට පත් වෙන්න අමාරු වුණත් බලසම්පන්න කෘති ගණනාවක් ම එහි දක්නට ලැබීම සතුටක්. විශේෂයෙන් ම මූර්ති ප්‍රදර්ශනය කර තිබූ විලාසය රසිකයින්ගේ සිත් පැහැරගැනීමට සමත් වෙන්නේ නෑ. එය බාධාකාරී, නැතහොත් ඇතැම් කෘති මග හැරී යන සුළු පවා ආකාරයකට, ප්‍රදර්ශනයට “අසම්බන්ධිත” සේ පවා සිතෙන විදිහට තමයි ඉදිරිපත් කර තිබුණේ. ඒ කෙසේ වෙතත් එම මූර්ති භාවමය ගුණයෙන් සහ වයනීය ශක්‍යතාවන්ගෙන් පොහොසත්. පද්මා රාජපක්ෂ සිතුවම් පෙළක් සමග මේ මූර්ති ද ඉදිරිපත් කර තිබුණා. සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ 70 දශකයේ පරම්පරාවේ සාමාජික්වක වන ඇගේ මූර්ති සහ චිත්ර, පවුල තේමා ව කරගනිමින් නිපදවූ ඒවා. බොහෝ සෙයින් ස්ත්රී රූපය ඇගේ කෘතිවල ප්රමුඛත්වයට පත් වෙනවා. “බිඳුණු කලයක් ගැහැණියක විය” සහ “පවුල” වැනි මූර්ති ඒ අතර බලවත් අන්දමින් මගේ සිත් පැ හැ ර ගත්තා. ඒ වගේ ම සොබා දහම සහ තරුණ මව දක්වෙන සිතුවම සංරචනය අතින් සේ ම ප්‍රකාශනාත්මක වර්ණ යෝජනය අතින් ද කැපී පෙනෙන කෘතියක්.

පවුල, සිමෙන්ති මූර්තියක්, පද්මා රාජපක්ෂ

දීපිකා වැලිකලගේ සිතුවම්වලටත් විෂය වෙන්නේ ස්ත්‍රිය. ඒත් ඒ වෙන ම ම පැතිකඩකින්. ඇය නිර්මාණය කර ඇති නිසල රූ සංකේතාර්ථ කිහිපයක් ගැබ් කරගත් “කාව්‍යමය” අර්ථකථන දරා සිටින නිර්මාණ කියලයි මට හිතෙන්නේ. එක ම භාජනය, මල් වාස් එක සෑම සිතුවමක ම පුනර්කරණය වන අතර විවිධාකාර සංකේතාර්ථ දනවන අවශේෂ වස්තු ඒ වටා ස්ථානගත කෙරෙනවා. ලේන්සුවක්, සුදු ළුෑණු ආදී වසයෙන්.

සමීරා මකාන් මාකර් පින්තාරු කරන්නේ විපර්යාසයට පත් වෙමින් තිබෙන අපේ නාගරික භූ දර්ශනය. කසා වන් දුහුවිලි පැහැයක තාන ඇගේ සෑම සිත්තමක් ම අරාගෙන ඉන්නවා. කිසිදු සැලසුමකින් තොර ව අයාලේ විපර්යාසයට පත් වෙන කොළඹ නගරයේ අහස් රේඛාව ජීවිත කාලයක් තිස්සේ නිරීක්ෂණය කළ සමීරා ඒ හා සබැදී චිත්තවේග මේ සිතුවම්වල ගැබ් කළ බව පවසනවා.

නොයෙලින් ප්‍රනාන්දු සුපුරුදු පරිදි මානව රූප ආශ්‍රිත සංරචනා ඉදිරිපත් කළා. ක්රිස්ටීන් රූත්ගෙන් එක් ආලේඛ සිතුවමක් ඇතුළත් ව තිබුණා.

බොහෝ විට එදිනෙදා ජීවිතයට සම්බන්ධ අවකාශයන්, පුද්ගලික අනුභූතීන් සහ ස්මරණයන් ඡායාරූපයට නගන මැණිකා වැන්ඩර්පූටන් මෙවර ඉදිරිපත් කර තිබූ ඡායාරූප පෙළට ඉතා සිත්ගන්නා සන් ප්‍රින්ට්ස් වසයෙන් හැඳින්වෙන තාක්ෂණයෙන් මුද්‍රණය කෙරුණු කෘති ද ඇතුළත් වුණා. ඉන් එකක් නම් කොට තිබුණේ “සෙල්ලම් බඩු පෙට්ටිය” ලෙසයි. ඒ සෙල්ලම් බඩු පෙට්ටිය තුළ සෙල්ලම් අශ්වයින් සේ ම පිස්තෝල කඩු-කිණිසි ද තිබුණා!

සජීවනී හේවාවිතාරණගේ කෘති පෙළ ගැන මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු යි. ඇය ප්‍රවේසම් සහගත ව සහ විස්තරාත්මක ව (detailed) “ඉදි කරන” දෘශ්‍ය අවකාශ මේසය, ආහාර, හා වෙනත් දෛනික ජීවිතයේ වස්තූන්ගෙන් සමන්විත යි. ඇගේ නිර්මාණ හුදු නිසල රූ සිතුවම්කරණයෙන් ඔබ්බට ගිය කෘති. මේසය තේමා කරගත් කෘති පෙළ අර්ථකථන මාලාවක භව්‍යතා රසිකයාට විවර කරනවා. එක් අතකින් ස්ත්‍රිය සහ “ගෘහ ජීවිතය” පිළිබඳ ධ්වනිතාර්ථ රැගෙන එන, එම්බ්රොයිඩරි වැඩ, කෑම පිසීම හා අලංකරණය පිළිබඳ කතාවක් කියාපාන මේ කෘති තවත් අතකින් ඉඟි කරන්නේ ඉහවහා ගිය “අලංකාරයකින්” හෙබි කෘතිම ආහාර සංස්කෘතිය වෙතට. විශේෂයෙන් ඇය ඉදිරිපත් කරන ස්ථාපනය මේ දෙවන වර්ගයේ ධ්වනියක් ජනිත කරනවා. එම ආහාර අනුභව කළ නොහෙන තරම් මෝස්තරකාරීයි, ජේත්තුකාරීයි. ප්ලාස්ටික්රූපීයි. ඉතා ප්‍රබල කෘති මාලාවක්!

ඉනෝකා ද සිල්වා ගේ ස්ථාපනයෙන් කොටසක්

ඉනෝකා ද සිල්වාගේ ස්ථාපනය රසිකයා හමුවට ගෙන එන්නේ දශක ගණනාවක් තිස්සේ මෙරට ජනතාව පෙළමින් තවදුරටත් ඇදී යමින් තිබෙන වර්ගවාදී යුද්ධය විසින් ජන ජීවිතය තුළ නිර්මාණය කොට තිබෙන එක්තරා “ජීවන විලාසයක්”. සැකයෙන් බියෙන්, කොයි මොහොතක හෝ බෝම්බ පිපිරීමක්, වෙඩි තැබීමක්, ජන ඝාතනයක් සිදු වේ දැයි විපරමින් සැඟවී සිටීම ඇබ්බැහි කරවූ සමාජයක් මේක. ඉදිරියේ දී උපදින්න ඉන්න පරපුරටත් එසේ ම සැඟව සිටීමට සිදු වේ දැයි ඉනෝකාගේ ස්ථාපනය ප්‍රශ්න කරනවා. මේ කාර්යය සඳහා ඇය උපයෝගී කරගන්නා දෘශ්‍ය භාෂාව ඉතා බලසම්පන්න බව මගේ හැඟීමයි. විශාල සංඛ්‍යාවක් බිත්තර කැම‍ෆ්ලාජ් කර (සැඟවීම පිණිස වර්ණ ගන්වා) සුදු කැන්වසයකට සවි කොට තිබුණා. මේ බිත්තර සැබෑ බිත්තර වගේ පෙනුණට ඒවා හදලා තිබුණේ පත්තර කඩදාසි වලින්. ඒ පත්තර මෑත ඉතිහාසයේ සිදු වුණු විවිධ ව්‍ය‍සනකාරී සිද්ධීන්, බෝම්බ ප්‍රහාර ආදිය පිළිබඳ පළ වූ වාර්තා රැගත් පිටු මිස වෙන කිසිවක් නෙමෙයි.

අවාසනාවකට, මේ සිත්ගන්නාසුළු ප්‍රදර්ශනය ඒ තරම් රසික සහභාගීත්වයක් තිබුණු එකක් නෙමෙයි. එය පැවැත්වුණේ දවස් දෙකක් වැනි කෙටි කාලයක් තුළ වීම සහ ලයනල් වෙන්ඩ්ට් කලාගාරය අසල මාර්ගයට පිවිසීමට පෙර නො වූ විරූ දුෂ්කරතා ඇති කොට තිබීම තමයි ඊට ප්‍රධානතම හේතුව.

මේ කලා කෘති සමහරක ඡායාරූප විභවි ඇකඩමියේ වෙබ් අ‍ෙඩවියේ දී දැකගත හැකියි

කලා භවනේ මළමිනී තැබීම

| Comments

ශ්රී ලංකාවේ ජාතික කලාගාරය(National Art Gallery) හැඳින්වෙන්නෙ ජාතික කලා භවන යන අතිගම්භීර නාමයෙන්. ඒත් මේ නාමයට සරිලන අන්දමේ පැවැත්මක් නම් නෙමෙයි මේ ගොඩනැගිල්ලට තියෙන්නේ.

වෙලාවකට මල් පැළ ප්රදර්ශන. තවත් බොහෝ වෙලාවල කවුරු හරි මිය පරලොව ගිය කලාකාරයෙක්ගෙ මෘත දේහය මහජන “ගෞරවය පිණිස” තැන්පත් කරන්නෙත් කලා භවනෙ! මේක සම්පූර්ණයෙන් ම හාස්‍යජනක විකාරයක්. කලා භවනක් තියෙන්න ඕන කලා කෘති ප්රදර්ශනයට සහ සංරක්ෂණයට යි. අපේ කලා භවනේ තියෙන කලා කෘති එකතුවවත් හරි හැටි නඩත්තු කොට අධ්‍යාපනික වටිනාකමක් දැනෙන විදිහට පවත්වාගෙන යන්නෙ නෑ. කිසි ම කෙනෙකුට ඒ ගැන කිසි ම විස්තරයක් දැනගන්න ක්රමයක් සම්පාදනය කෙරිලත් නැහැ.

මේ ස්ථානයේ පැවැත්විය යුත්තේ කලා කෘති ප්රදර්ශන පමණයි. ඒ පිළිබඳ නිශ්චිත ප්රමිතිගත කිරීමකට පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ විතරක් නෙමෙයි, කලාභවනේ තියෙන කෘති එකතුව අඛණ්ඩ ව පුළුල් කොට සංරක්ෂණය කිරීමත් කලා ඉතිහාසය පැත්තෙන් තීරණාත්මක කාර්යයක්. අලුතෙන් බිහි වන සමකාලීන කලාකරුවන්ගේ කෘතිත් මහජනයාට නිරන්තරයෙන් දැකබලාගන්න පුළුවන් වෙන අන්දමට ඒ එකතුව පෝෂණය විය යුතු යි.