ශ්‍රී ලංකාවේ ජාතික කලාගාරය(National Art Gallery) හැඳින්වෙන්නෙ ජාතික කලා භවන යන අතිගම්භීර නාමයෙන්. ඒත් මේ නාමයට සරිලන අන්දමේ පැවැත්මක් නම් නෙමෙයි මේ ගොඩනැගිල්ලට තියෙන්නේ.
වෙලාවකට මල් පැළ ප්‍රදර්ශන. තවත් බොහෝ වෙලාවල කවුරු හරි මිය පරලොව ගිය කලාකාරයෙක්ගෙ මෘත දේහය මහජන “ගෞරවය පිණිස” තැන්පත් කරන්නෙත් කලා භවනෙ! මේක සම්පූර්ණයෙන් ම හාස්‍යජනක විකාරයක්. කලා භවනක් තියෙන්න ඕන කලා කෘති ප්‍රදර්ශනයට සහ සංරක්ෂණයට යි. අපේ කලා භවනේ තියෙන කලා කෘති එකතුවවත් හරි හැටි නඩත්තු කොට අධ්‍යාපනික වටිනාකමක් දැනෙන විදිහට පවත්වාගෙන යන්නෙ නෑ. කිසි ම කෙනෙකුට ඒ ගැන කිසි ම විස්තරයක් දැනගන්න ක්‍රමයක් සම්පාදනය කෙරිලත් නැහැ.
මේ ස්ථානයේ පැවැත්විය යුත්තේ කලා කෘති ප්‍රදර්ශන පමණයි. ඒ පිළිබඳ නිශ්චිත ප්‍රමිතිගත කිරීමකට පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ විතරක් නෙමෙයි, කලාභවනේ තියෙන කෘති එකතුව අඛණ්ඩ ව පුළුල් කොට සංරක්ෂණය කිරීමත් කලා ඉතිහාසය පැත්තෙන් තීරණාත්මක කාර්යයක්. අලුතෙන් බිහි වන සමකාලීන කලාකරුවන්ගේ කෘතිත් මහජනයාට නිරන්තරයෙන් දැකබලාගන්න පුළුවන් වෙන අන්දමට ඒ එකතුව පෝෂණය විය යුතු යි.