වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

කුමට බ්ලැක් බොක්ස්?: බ්ලැක් බොක්ස් රංගයේ අදාලත්වය සහ වෙනත් දෑ ගැන අදහස් කීපයක්

| Comments

Inter Act Art මධ්‍යස්ථානය ඉදිරිපත් කරන තවත් බ්ලැක් බොක්ස් රංග කලා උලෙලක් අද සිට ආරම්භ වෙනවා. කලා නිර්මානවලට අමතර ව රංග කලාවේ විවිධ අංශ පිලිබඳ වැඩමුලු කිහිපයක් ද මීට ඇතුලත්. එහි කාලසටහන සහ තවත් විස්තර සඳහා ඔවුන්ගේ වෙබ් අඩෙවිය වෙත පිවිසෙන්න. පහත දැක්වෙන්නේ පසුගිය වසරේ බ්ලැක් බොක්ස් අත්දැකීමෙන් පසු මා ලියූ සටහනක්.

මට බ්ලැක් බොක්ස් රංග කලා අවකාශයක් මුලින් ම ඡායාරූපයකින් හැර සැබෑ ජීවිතයේ දී දකින්න ලැබුනේ 2010 පෙබරවාරි මාසයේ රාජගිරිය Inter Act Art මධ්‍යස්ථානයේ බ්ලැක් බොක්ස් අවකාශය තුල නාට්‍යයක් නරඹන්න ගිය අවස්ථාවේ තමයි. ඒ මුල් ම අත්දැකීමෙන් මගේ හිතට කා වැදුනු කාරනය වුනේ මෙය මොන තරම් සප්‍රයෝජනවත් උපකරනයක් හැටියට අපේ රංග කලා කටයුතුවලට යොදාගන්න පුලුවන් ද යන්න යි.

යුරෝපයේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ බ්ලැක් බොක්ස් රඟහල් ගැන අවශ්‍ය නම් අන්තර්ජාලය හා පොත්පත් බලා “විද්වත් කතා” කියන්නත්(කයිවාරු ගහන්නත්) බැරි නැහැ. ඒත් මා දුටු රඟහලෙන් පටන්ගැනීම වඩා අවංකයි කියා හිතෙනවා.

සරල ව ම කිව්වොත් මෙය නිවසක කොටසක්. Inter Act Art මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ විශාල කාමරයක්. අඩි විසිපහක පහලොවක පමන දිග පලලින් යුත් අවකාශයක්. මෙය අඳුරු නිල්, කලු හා සුදු තිර රෙදි මගින් ආවරනය කොට පරිපාලිත අවකාශයක් බවට පත් කර තිබෙනවා. මෙහි වහලයේ මැද ආලෝකකරන උපකරන සවි කරන පොල්ලකින් සමන්විත යි. ප්‍රේක්ශකයින් වාඩිගන්නා ආසන ඔබ මොබ ගෙන යා හැකි පරිදිත් අවශ්‍ය විටක පඩිපෙලක ආකාරයෙන් ඒකාබද්ධ කල හැකි ආකාරයටත් නිමවා ඇති නිසා මේ රඟහල තුල ඉඩකඩ ඒ ඒ අවස්ථාවට උචිත පරිදි පහසුවෙන් වෙනස් කරන්න පුලුවන්. රංගයේ “ඉදිරිපසින්” විතරක් නෙමෙයි අවශ්‍ය නම් දෙපසින්, වටෙන් හෝ රංගය මැද වුනත් ප්‍රේක්ශකයින් අසුන්ගන්වන්න පුලුවන්. අසුන්ගන්වනවා කිව්වත් ආසන නැතිව බිම වාඩි වීම වුනත් තහනම් කරන ව්‍යාකරනයක් මේ රංග කලා අවකාශය තුල නැහැ. රඟපෑම සඳහාත් එම පොලොව ම යොදාගත හැකි යි. අවශ්‍ය නම් “වේදිකා” හා වෙනත් පීඨිකා ඉදිකරගන්නත් බාධාවක් නැහැ.

වැදගත් වෙන්නේ මෙය නම්‍ය වන අතර ම, පරිපාලිත අවකාශයක් වීම යි. ප්‍රොසීනියම්, ඇම්පිතියටර්, එරීනා හෝ ත්‍රස්ට් ආදී ස්ථිර රංග අවකාශවලින් වෙනස් වුනත් මෙය වීදි නාට්‍යයක හමු වන රංග අවකාශයට සර්වසම නොවන්නේ එනිසයි. එවැනි විවෘත නාට්‍යයක් රඟදැක්වෙන අවස්ථාවක එන යන ජංගම ප්‍රේක්ශකාගාරයක් සහ නාට්‍යයේ පාලනයෙන් බැහැර, එහෙයින් ම සජීවී ව නාට්‍යය “නැවත ලිවීමට හා ප්‍රතිනිර්මානයට” දායක වන වාතාවරනයක්(ප්‍රේක්ශකයා, ආලෝකය, කාලගුනය සහ ප්‍රසිද්ධ අවකාශයට අදාල නීති රීති ආදි විවිධ සාධකවලින් සමන්විත වාතාවරනයක්) තියෙන්න පුලුවන්. එහි දී ප්‍රසිද්ධ අවකාශවලට අදාල ගතිකයන් රංගයට තීරනාත්මක ව බලපානවා. මෙය එයින් වෙනස්.

මේ විදිහේ බ්ලැක් බොක්ස් අවකාශයක් ඉදි කරගන්න ඒ තරම් දුශ්කරතාවක් හෝ වියදමක් දරන්න අවශ්‍ය නැහැ. ආලෝකකරනය තමයි වියදම් අධික අංශයකට තියෙන්නෙ. ඒකත් නිර්මානශීලී ව වැඩ කරන පිරිසකට මහා ගැටලුවක් නෙමෙයි. 2010 පෙබරවාරි මාසයේ පැවැත්වුනු බ්ලැක් බොක්ස් නාට්‍ය උලෙලේ දී ජනකරලිය නාට්‍ය කන්ඩායමේ කිහිපදෙනෙක් ඉටිපන්දම් එලිය පමනක් භාවිත කරමින් මේ රඟහල තුල නිර්මානයක් ඉදිරිපත් කල බව දැනගන්න ලැබුනා. එවැනි ආලෝකයක සිට සංකීර්න ආලෝකකරන ප්‍රයෝග හා බහුමාධ්‍ය උපකරන දක්වා විශාල පරාසයක වැඩ කරන්න කිසි ම බාධාවක් නැහැ.

ඉතින් මෙවැනි පරිපාලිත, නම්‍යශීලී හා නිදහස් අවකාශයක් තුල අත්පත් කරගන්න පුලුවන් මොනවද? මේ වගේ අවකාශයක් තුල අත්පත් කරගන්න බැරි මොනවද?

රාජගිරියේ බ්ලැක් බොක්ස් අවකාශය තුල මේ වන විට කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට, දිගු නාට්‍ය, නර්තන හා වෙනස් ප්‍රසාංගික ක්‍රියාකාරකම් විශාල සංඛ්‍යාවක් පවත්වා තියෙනවා. ඊට අමතර ව නාට්‍ය වැඩමුලු හා පුහුනුවීම් පවත්වන්නත් එය යොදාගැනෙනවා. එම්. සෆීර් පුමුඛ Inter Act Art සංවිධානය මේ විකල්ප රංග අවකාශයේ විභවයන් පිලිබඳ සංවේදී වෙමින් එය හඳුන්වා දීමට දැන් සැලකිය යුතු කාලයක් ගත කර තිබෙනවා.

මේ සටහන ලියද්දී මඳක් අන්තර්ජාලය කූරු ගෑමෙන් හොයාගත්ත බ්ලැක්බොක්ස් රඟහලක් ගැන විස්තරයක්. ආසන 49 යි. මනා නිමාවකින් යුත් අවකාශයක්. මෑත දී එම ස්ථානයේ පෙන්වූ නාට්‍ය අතර The Shape of Things වැනි නව රැල්ලේ කෘති වගේ ම ගොඩෝ එනකං වැනි “ප්‍රධාන ධාරාවේ” කෘතීනුත් තියෙනවා. මේ පිටුවට ගියොත් එහි ඡායාරූප විශාල සංඛ්‍යාවක් නරඹන්න පුලුවන්.

මේ තවත් නිදසුනක්: නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයට අයත් බ්ලැක් බොක්ස් රඟහලක් (ඡායාරූප සහිත යි). උපරිම ආසන සංඛ්‍යාව 75 යි.

ආසන 250 - 500 පමන දක්වා තැබිය හැකි විශාල බ්ලැක් බොක්ස් රංග ශාලාත් ලෝකයේ තියෙනවා. හැබැයි මේ හැම එකක ම මූලික ම ලක්ශනයක් තමයි අර කියපු නම්‍යශීලීත්වය සහ අඩු වියදම් සහිත බව.

ඉතින් මට හැඟෙන විදිහට නම් මේක අපේ රටේ විශ්ව විද්‍යාල, පාසැල් හා ප්‍රජා සංවිධානවලටත් පොදුවේ නාට්‍යකරනය සම්බන්ධ අත්හදාබැලීම්, වැඩමුලු ආදිය කරන උදවියටත් ඉතා ප්‍රයෝජනවත් ක්‍රමයක්. මේ සෑම තැනක ම අද තියෙන ප්‍රශ්නයක් තමයි “විධිමත් රංග ශාලා” හා පුහුනු වීමේ ස්ථාන නැතිකම. ඒ වගේ ම කොලඹින් බැහැර නගර හා ගම් අතිවිශාල ප්‍රමානයක නාට්‍ය නැරඹීම, නිපදවීම හා ඒ පිලිබඳ සාකච්ඡා කිරීම පිලිබඳ සංස්කෘතියක් වර්ධනය කරගන්න බැරි වෙන්න ප්‍රධාන හේතුවක් හැටියට දැක්වෙන්නේ “විධිමත්” රංගශාලා නොමැති වීම යි. අනිත් කාරනය නිශ්පාදන කටයුතුවලට යන වියදම.

පසුගාමීත්වය, කුහකත්වය සහ වෙනත් ගැටලු

අපේ රටේ නාට්‍යකරුවන්ගේ අසහාය රන් දෙවොල වෙලා තියෙන්නෙ ප්‍රොසීනියම් වේදිකාව. න්‍යායන් හැටියට කවර කයිවාරු ගැහුවත් තව මත් අතිබහුතරයක් දෙනා මේකට හිත යටින් වන්දනා කරනවා. සමහරු කට ඇරපු වෙලේ ඉඳන් තොරතෝංචියක් නැතුව කියාගෙන යන්නේ “අපට” මේ ප්‍රොසීනියම් වේදිකා ලැබෙන්න කලින් “අපේ ම” වෙනත් රංග ක්‍රමත් රංග භූමිත් තිබුන බවත්, ඒවා මොනතරම් ප්‍රබලද ආදියත් තමයි. ඒත් නාට්‍යයක් හදන්න ගියාම මේ අයට ලයනල් වෙන්ඩ්ට් එකේ මංගල දර්ශනය පෙන්නාගැනීමටත් ඉන් පසු රාජ්‍ය නාට්‍ය උලෙලට රිංගීමටත් එහා ගිය වෙනත් අභිලාශ තියෙනවද කියන ප්‍රශ්නෙ ප්‍රේක්ශකයින් විදිහට අපට පැන නගිනවා. ඇත්ත, අපට තියෙන නාට්‍ය ශාලා පද්ධතිය එවැන්නක් තමයි. එරීනා, ඇම්පිතියටර් හෝ වෙනත් මහා ශාලා ආකෘති අපට නැහැ. ඒ නිසා හැම දේ ම කරන්නෙත් හිතන්නෙත් තියෙන ශාලා ආකෘතිය එක්ක යි. ඒවායින් බහුතරයත් “නගර ශාලා” හැටියට යොදාගන්නා ගොඩනැගිලි මිස නාට්‍ය ශාලා නෙමෙයි නේ? කුරුනෑගල, මාතලේ, කෑගල්ල…; මේ හැමතැනක ම තත්වය ඒ වගේ. නාට්‍යයක් පෙන්වන්න කලින් නාට්‍යය සඳහා විශේශ වියදමක්  දරා දොරජනෙල් හා වාකවුලුවලට කලු කොල අලවා පැලැස්තර දමා සූදානම් කරගන්නා “නගර ශාලා” හා පාසැල් රැස්වීම් ශාලා “නාට්‍ය ශාලා” හැටියට හැඳින්වීමත් විහිලුවක්. ඒ වගේ ම මේ නාට්‍ය කෙරුවාවෙන් විශාල මුල්‍යමය ලාභයක් අත්පත් කරගන්නත් අමාරුයි. කියන අන්දම කෙසේ වෙතත් ක්‍රියාවෙන් නම් “ලංකාවට” ම නාට්‍ය පෙන්නන්න ලැබෙන්නෙත් නෑ. පසුගිය දශක එක හමාරක දෙකක කාලය පරීක්ශා කලොත් කොලඹින් පිට නාට්‍ය දර්ශන පැවැත්වීම ඉතා කැපී පෙනෙන ආකාරයෙන් පහත වැටී ඇති බව පේනවා. මහනුවර වැනි නගරයක පවා අද යථාර්ථය මේකයි. ඊට අමතර ව විශ්ව විද්‍යාල තුල ප්‍රතිපාදන කපා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යන්තර නාට්‍ය දර්ශන සහ උත්සව සංඛ්‍යාවත් පහත ගිහින්.

මේ කාරනයට ම අදාල තවත් පැතිකඩක් තියෙනවා. මේ කියන මහා නාට්‍ය බහුතරයක් නිශ්පාදනය කරන්නෙත්, නඩත්තු කරන්නෙත්, ධාවනය වෙන්නෙත් ප්‍රේක්ශකයාගෙන් ලැබෙන මුදලින් නෙමෙයි. වෙනත් ව්‍යාපෘති හා ප්‍රතිපාදනවලින්. එනිසා කර්මාන්තයක් හැටියට ඒක පරායත්ත යි. ඉතින් මට පෙනෙන විදිහට නම්, අරක කලා ය- මේක කලා ය කියලා විසාල පුරසාරම් කියවන්න තරම් ජයග්‍රහනයක් ලැබෙන්නෙ නැහැ අද කාලේ ප්‍රොසීනියම් වේදිකාව වෙනුවෙන් ම සහ අගනගරයේ පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය උලෙල ඉලක්ක කරගෙන නාට්‍යයක් නිශ්පාදනය කිරීමෙන්.

ඒ නිසා මම නම් හිතන්නේ විකල්ප රංග කලා අවකාශ හා ක්‍රමවේද හොයාගෙන, ස්වීකරනය කරගන්න යොමු වීම ඉතා ම ප්‍රගතිශීලී පියවරක් කියලයි. එමගින් විශාල ප්‍රේක්ශක පිරිසකට ගුනාත්මක ව ආමන්ත්‍රනය කරන්න දොරටු විවර වෙනවා.

ප්‍රේක්ශකයින් සමග තිබෙන සමීපත්වය නිසා රූපනයට පමනක් නෙමෙයි නැරඹීමේ ක්‍රියාවටත් විශේශ බලපෑමක් මෙහි දී සිදු වෙනවා. ඒක ප්‍රොසීනියම් වේදිකාවේ හෝ වීදි නාට්‍යයක රඟපෑම වගේ නෙමෙයි. වීදි නාට්‍යයේ දීත් ප්‍රේක්ශකයාට තියෙන විශේශ සමීපත්වය රඟපෑම කෙරෙහි විශේශ බලපෑමක් කරනවා. නමුත් මෙය, කලින් සඳහන් කල පරිදි ම පරිපාලිත අවකාශයක් වීම හේතුවෙන් ඒ සබඳතාව සහ වගකීම තහවුරු වෙන්නේ වඩා වෙනස් ආකාරයකට. මීට පෙර ලියූ “මාතෘකාවක් නැත” සහ Black Box අත්දැකීම හා පොම්පීනියා - විප්පයෝගයේ සම්පයෝගය යන ලිපි දෙක බලන්න.

ඒ ලිපිවල විස්තර කෙරුනු සජීවී අත්දැකීම්වලින් සනාථ වුනු පරිදි කුඩා ප්‍රේක්ශකාගාරය සහ නාට්‍ය කන්ඩායම අතර වැඩිදුර සංවාද හා සම්භාශන වර්ධනය කරගන්නත් බ්ලැක් බොක්ස් අවකාශය විශාල මෙහෙයක් ඉටු කරනවා.

කර්ම නියාමය තහනම් කිරීම

| Comments

මගේ කියවනය තුල මගහැරී තිබුනු පැරනි බ්ලොග් ලිපි අතර සැරිසරද්දී අහම්බෙන් හමු වුන දෙයක්: ඇරිසෝනා ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය “කර්ම නියාමය” ඇතුලු “ආගමික කල්ලිවාදී නීති” තහනම් කරන්න පියවර අරන්! මේ කවර නම් උමතුවක් දැයි ඔබ අන්දමන්ද වෙන්න ඉඩ තියෙනවා. සිද්ධියේ පසුබිම මේක යි. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය තුල භීතිකාවක ස්වරූපයෙන් ඉස්ලාම් විරෝධය ව්‍යාප්ත වුනා, පෝශනය කෙරුනා. මේවා ඇතැම් තැනක නීති රෙගුලාසි පැනවීම දක්වා ඉහවහා ගිහින්. එහි දී ඉස්ලාම් ආගමික නීතී/සම්ප්‍රදායන් (විශේශයෙන් ශරියා ) ඇමෙරිකානු නීති පද්ධතිය තුල මුල් බැස ගැනීම වලක්වනු පිනිස පූර්වභංග (preemptive) ආකාරයෙන් එම නීති හා සම්ප්‍රදායන්ට එරෙහි නීති පැනවීමට කටයුතු කල අවස්ථා දකින්න ලැබෙනවා. මේ ප්‍රවනතාව පන ලබන්නේ ඉස්ලාමය, මූලධර්මවාදී ත්‍රස්තවාදය සමග අනන්‍ය කරන අන්තවාදී අර්ථකථන මගින්. “අන්‍යයන්ගේ” සංස්කෘතීන් හා ආගම් සම්බන්ධයෙන් ගත් කල පොදුවේ පැතිර පවතින නූගත්කම හා නොදැනුවත්භාවය (ignorance) ද මේ ප්‍රවනතාව අනභියෝගී ව වැඩෙන්න රුකුල් දෙනවා.

ඒ වගේ ම මේ ප්‍රවනතාව ඉන් පසු ක්‍රිස්තියානි සම්ප්‍රදායෙන් පිටත අන් සියලු ආගම් වාරනය කිරීමේ නැඹුරුවක ස්වරූපය ගනිමින් තිබෙන බව මේ වර්ධනයන් නිරීක්ශනය කරන විට පැහැදිලි වන දෙයක්. මෙහි ම තවත් මුහුනුවරක් ලෙස විද්‍යාව අවප්‍රමාන කොට බැහැර කිරීමත් සිදු වෙනවා. ඒ වෙනුවට විද්‍යාවත්, පරිනාමවාදයත්, දේව නිර්මානවාදයත් සමඅසුන්ගැන්වීමේ වෑයමක් ප්‍රකට ව පෙනෙනවා.

ඔන්න දැන් මේ නීති සම්පාදනය විවිධ ආගමික සංකල්ප ගුනාංගීකරනය කරන අන්දම බලන්න:
3. “RELIGIOUS SECTARIAN LAW” MEANS ANY STATUTE, TENET OR BODY OF LAW EVOLVING WITHIN AND BINDING A SPECIFIC RELIGIOUS SECT OR TRIBE. RELIGIOUS SECTARIAN LAW INCLUDES SHARIA LAW, CANON LAW, HALACHA AND KARMA BUT DOES NOT INCLUDE ANY LAW OF THE UNITED STATES OR THE INDIVIDUAL STATES BASED ON ANGLO-AMERICAN LEGAL TRADITION AND PRINCIPLES ON WHICH THE UNITED STATES WAS FOUNDED.
මේ ලේඛනය සම්පූර්නයෙන් කියවීම සඳහා pdf ගොනුවක් හැටියට බාගන්න.

බෞද්ධ හා වෙනත් පෙරදිග ආගම්වල පැනෙන කර්ම නියාමය/කම්ම නියාම හෙවත් Law of Karma වසයෙන් ඉංගිරිසියට නිතර පරිවර්තනය කෙරෙන සංකල්පය ද මොවුන් වර්ගීකරනය කරන්නේ ආගමික නිකායවාදී නීතියක් හැටියට යි. මේක නිශ්චිත ව බුද්ධාගම, හින්දු ආගම හෝ අන් ආගමක් මැඬීම ඉලක්ක කරගෙන යොදපු වචනයක් කියලා මම හිතන්නේ නැහැ. ඒත් මේ නීති සම්පාදකයින් තමන් පාවිච්චි කරන වචනවල අරුත් ගැන නිශ්චිත අවබෝධයක හිටි බවක් නම් පෙනෙන්නේ නැහැ.

ශරියා ඇතුලු මේ අනිත් ආගමික “නීති” ගැනත් තත්වය එසේ ම බව කරුනු කියවන විට පේනවා.

මූලාශ්‍ර සහ වැඩිදුර තොරතුරු සඳහා

Arizona Bans Karma–Seriously.

Anti-Sharia Advocates: We’ve Not Yet Begun to Fight



කර්ම නියාමය ගැන
http://en.wikipedia.org/wiki/Karma

ශරියා ගැන
http://en.wikipedia.org/wiki/Sharia

http://www.guardian.co.uk/world/2002/aug/20/qanda.islam

“හැක් කතා” ගැන කතා සහ සාමාන්‍යයෙන් නොකියන කතා

| Comments

සාමාන්‍යයෙන් නොකියන කතා හෙවත් Taboo Subjects නමැති බ්ලොග් අඩෙවිය “හැක්” කොට, මකාදමනු ලැබ ඇති බව කියැවෙන ලිපි හා ප්‍රතිචාර අතිවිශාල ප්‍රමානයක් පසුගිය සති කීපය තුල බ්ලොග් අවකාශය පුරා දකින්න ලැබුනා. මේ පසු සටහන්වලින් ඇතැම් එකක් Taboo Subjects රචකයා ලෙසින් පෙනී සිටිමින් පල කෙරුනු ඒවා. තවත් සටහන් ප්‍රමානයක් එම අඩෙවියේ විරුද්ධවාදීන් පල කල ඒවා වන අතර තවත් කොටසක් එයට සහානුභූතිය දක්වන පාර්ශ්වයන් විසින් පල කෙරුනු බව පේනවා. එහෙත් මේ ප්‍රකාශිත අදහස් බහුතරයක තථ්‍යතාව (authenticity) තහවුරු කරගත හැකි මගක් අපට නැහැ; එය අවශ්‍යත් නැහැ. හැබැයි අපට ඒ අදහස්වල සත්‍යතාව(truth) උරගා බලන්න පුලුවන්. බ්ලොග්කරනය ගැනත් අදහස් පල කිරීමේ නිදහස ගැනත් උත්සුක වන අයට අදාල කාරනා ගනනාවක් මේ සිද්ධිය විසින් ඉස්මතු කර තිබෙනවා. මේ කතා කරන්න හදන්නේ එයින් එක් පැත්තක්.

“හැක්” කිරීම සහ “හැකර්” යන පද බෙහෙවින් ව්‍යාකූල අන්දමින් භාවිතයට ගැනෙනු දකින්න පුලුවන්. මේ පදයේ සම්භවය බෙහෙවින් ගෞරවනීය එකක්. මැසචුසෙට්ස් තාක්ශනික ආයතනය හෙවත් MIT වටා ගොඩනැඟුනු හැකර් සංස්කෘතිය තමයි මෙහි මුල. සද්කීර්තිමත් නිදහස් මෘදුකාංග ව්‍යාපාරයට පදනම දැමුවේ එම හැකර්වරු තමයි. මේ හැකර් සංස්කෘතිය පිලිබඳ ඉතිහාස කථනයක් සඳහා මේ පිටුව බලන්න:

මේ පදය පිලිබඳ දූශිත අර්ථ නිරූපනයකුත් තියෙනවා. මෘදුකාංග, වෙබ් අඩෙවි හා විවිධාකාර ආරක්ශන පද්ධතීන් බිඳ දමමින් හොරෙන් ඇතුලු ව සාපරාධී ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයින් හැඳින්වීමට “හැකර්” යන පදයත් එම ක්‍රියාව “හැකිං” නැතහොත් “හැක් කිරීම” වසයෙනුත් සාවද්‍ය ආකාරයෙන් භාවිත වෙනවා. වෙනත් වචනවලින් කියතොත් පරිගනක අපරාධකරුවන් අද හැඳින්වෙන්නෙ මේ නමින්. Taboo Subjects නමැති බ්ලොග් අඩෙවියට සිදු වූ බවට ප්‍රචාරය කෙරෙන “හැක් කිරීම” මේ දෙවැනි වර්ගයේ එකක්. දැනුවත් ව වගාදිගා කරන සහ පුලුල් ව පැතිර පවතින නොදැනුවත්කම හා අවිද්‍යාව නිසා අතිබහුතරයක් ජනතාවකට හැක් කිරීම පිලිබඳ තියෙන අදහස මේ දෙවැනි වර්ගයට අයිතියි. මේ දූශිත අදහස සාමාන්‍යයෙන් සංස්ථාපිත ජනමාධ්‍ය ආදිය මගිනුත් කොම්පැනිකරුවන් මගිනුත් තවදුරටත් පෝශනය කෙරෙනු දකින්න පුලුවන්.

“හැක් විනි ද නොවිනි ද?”

මේ දෙවැනි වර්ගයට අයත් “හැක් කිරීම්” ගැනත් වර්ග කීපයක මිථ්‍යා මත තියෙනවා. ඊමේල් ගිනුම්(බෙහෙවින් ම යාහූ හෝ ජීමේල්) “හැක්” කල බවට අසන්න ලැබෙන පුවත් මෙයින් එක් වර්ගයක්. එම වර්ගයේ ම “හැක් කිරිලි” wordpress හෝ blogspot අඩෙවි සම්බන්ධයෙනුත් සිදු වූ බවට මැසිවිලි නඟන උදවිය දකින්න ලැබෙනවා. මේ “හැක් කිරීම්” පිලිබඳ පුවත් සැබෑවක් වීමට නම් සම්පූර්න විය යුතු දේවල් කීපයක් තියෙනවා. ඊමේල් සම්බන්ධයෙන් මුලින් ම බලමු. යාහූ හෝ ජීමේල් ගිනුමක් “හැක් කිරීමට” නම් පලමු කොට ජීමේල් හෝ යාහූ සේවාදායකයන්ට ප්‍රහාර එල්ල කල යුතු යි; ඒවායේ දොරගුලු හල යුතු යි. මේ සියලු ඊමේල් ගිනුම් එක ගිනුමකට එක බැගින් වූ පුද්ගලික සර්වර තුල ගබඩා කර තියෙන ඒවා නෙමෙයි. ඒවා පවතින්නේ දහස් සංඛ්‍යාත ගිනුම් පොදුවේ බෙදාගන්නා සේවාදායක තුල.

wordpress හා blogspot සේවා සපයන්නන් සම්බන්ධයෙන් ගත් කල්හිත් තත්වය මෙය ම යි. wordpress.com හි තිබෙන බ්ලොග් අඩෙවි ක්‍රියාත්මක වන්නේ wordpress MU නමැති බහුපරිශීලක බ්ලොග් ඇන්ජිම උපයෝගී කරගනිමින්. එහි තිබෙන සියලු බ්ලොග් අඩෙවිවල ආරක්ශන කටයුතු පරිපාලනය කෙරෙන්නේ wordpress.com මගින්; මධ්‍යගත වැඩක්. මෙය තනි තනි බ්ලොග් අඩෙවිය වෙනුවෙන් වෙන් වෙන් වූ පුද්ගලික සර්වර තුල ගබඩා කෙරුනු බ්ලොග් අඩෙවි සහිත සේවාවක් නෙමෙයි. ඒ සියලු අඩෙවි හා දත්ත ගබඩා කොට තිබෙන්නේ Automattic සමාගමට අයත් වෙබ් සර්වර තුල. එහෙම නම්, කිසියම් නිශ්චිත wordpress.com බ්ලොග් අඩෙවියකට “හැකර්” ප්‍රහාරයක් එල්ල වීම යන්නෙන් අදහස් විය යුත්තේ අර ප්‍රධාන සේවා සපයන්නාගේ ආරක්ශන පද්ධතිය බිඳී ගොස් තවත් බ්ලොග් අඩෙවි විශාල සංඛ්‍යාවක් ද අවදානමට පාත්‍ර වූ බව යි. එසේ නොමැති ව එම සේවාදායක තුල තිබෙන නිශ්චිත එක් ඊමේල් ගිනුමක් හෝ එක් බ්ලොග් අඩෙවියක් පමනක් “සිදුරු කිරීමේ” අවකාශයක් නැහැ.

යම් හෙයකින් එවැනි තත්වයක් උද්ගත වුව හොත් (නිදසුනක් ලෙස wordpress.com හි ආරක්ශනයේ බිඳීමක් හෝ “හැක් කිරීමක්”) එය බෙහෙවින් ම ආන්දෝලනයට තුඩු දෙන පුවතක් බවට පත් වෙනවා. එය ප්‍රසිද්ධියේ සාකච්ඡා කෙරෙන, පුවත් මවන හා ප්‍රසිද්ධියේ තත්ව විස්තර සහිත ව (progress reports) පිරියම් කෙරෙන හානියක්.

පසුගිය මාසයක පමන කාලය තුල වාර්තා වූ දෑ සලකා බලන විට wordpress.com සේවාව එවැනි “හැක් කිරීමකට” ලක් වී නොමැති බව පේනවා.

මේ අනුව නිගමනය කරන්න තියෙන්නේ අපේ සාකච්ඡාවට බඳුන් ව තියෙන බ්ලොග් අඩෙවිය එවැනි “හැක් කිරීමකට” ලක් ව නොමැති බව යි.

එසේ නම් සිදු වූයේ කුමක් ද?

“හැක් කිරීම”, සාරා පේලින් සහ ටැබූ සබ්ජෙක්ට්ස්

පසුගිය ඇමෙරිකානු ජනපතිවරනය අද්දර දී රිපබ්ලිකන් උපජනාධිපති ධුරාපේක්ශිකා සාරා පේලින්ගේ යාහූ ඊමේල් ගිනුම “හැක්” කරනු ලැබ ඇති බවට වාර්තා වුනා. එය සත්තකින් ම ඇගේ මුරපදය වෙනස් කරමින් එම ඊමේල් ගිනුම තුලට පිවිසුනු විසි හැවිරිදි සිසුවකු සිදු කල “වික්‍රමයක්”. සාරා පේලින්ගේ ඊමේල් ගිනුම “හැක් කරන්න” පුලුවන් වුනේ යාහූ සමාගමේ ආරක්ශන දුබලතාවක් නිසා හෝ මේ “හැකර්වරයා” සූක්ශ්ම ලෙස ආරක්ශනය බිඳගෙන ඊමේල් තුලට ඇතුලු වීම නිසා නෙමෙයි. සාරා පේලින් ඉතා දුබල ආකාරයේ රහස් පැනයක් සිය ඊමේල් ගිනුම සමග භාවිත කල නිසයි. එය අනුමාන කල මේ තරුනයා එය ඔස්සේ ඊමේල් ගිනුමේ මුරපදය වෙනස් කලා.

ඒ පිලිබඳ විස්තරයක් මෙහි දී කියවිය හැකි යි.


මකාදමනු ලැබ තිබෙන බ්ලොග් අඩෙවියට සිදු වූ බවට අනුමාන කල හැකි එක ම “හැක් කිරීම” මේක විතර යි. එක්කෝ ඔහු/ඇය/ඔවුන් පොදු ස්ථානයක පොදු පරිගනකයක් භාවිත කරමින් සිය ගිනුමට පිවිසී අනතුරු ව එයින් නිසියාකාර ව ලොග් අවුට් වීමට අසමත් ව තියෙනවා. නොඑසේ නම් ඉහත සිදුවීමේ දී මෙන් රහස් ප්‍රශ්නය අනුමාන කිරීම මගින් යම් කිසිවකු ඔහුගේ මුරපදය වෙනස් කොට ඊමේල් ගිනුම සහ/හෝ බ්ලොග් අඩෙවිය සියතට ගැනීමට සමත් ව තිබෙනවා. මේ සියල්ලට අමතර ව සිදු විය හැක්කේ අදාල බ්ලොග් අඩෙවියේ මුරපදය අන්‍යයකුගේ අතට පත් වීම හෝ එය තවෙකෙකුට අනුමාන කල හැකි මට්ටමක පැවතීම විතර යි.

ඉතා අපරීක්ශාකාරී හා දුර්වල අන්දමින් මුරපද, රහස් පැන හා සැසි භාවිත කිරීමකින් මිස මේ අවසන් ඡේදයේ දැක්වුනු පැහැරගැනීම්වලට ඉඩක් නැහැ. එසේ වුවත් මෙවැන්නක් සිදුවීමේ ඉඩ සම්පූර්නයෙන් නැතැයි කියා බැහැර කරන්න අමාරු යි. දැනුවත් ව එවැනි පැහැරගැන්මක නිරත වීම සාපරාධී, පිටුදැකිය යුතු, බුද්ධි විරෝධී හා අසංස්කෘතික ක්‍රියාකාරකමක් මිස අන් කිසිවක් නෙමෙයි.

කෙසේ වෙතත්, සිදුවීම්වල අනුපිලිවෙල පරීක්ශා කල විට විකල්ප දෙකක් අනුමාන කල හැකි යි:

එක්කෝ
1) එකී බ්ලොග් අඩෙවිය එහි රචකයා/රචකාව/රචකයින් විසින් මකා දමනු ලැබ තියෙන බවක්.

නැතහොත්
2) එහි මුරපදය අත්පත් කරගත් කිසියම් පාර්ශ්වයක් එම අඩෙවිය මකා දමා ඇති බවක්.

“හැක් කරන” හෝ මුරපදය කිසියම් මගකින් ලබාගනිමින් බ්ලොග් අඩෙවිය “හයිජැක්” කරන පිරිස්වලට පොදු/බහුල ව දකින්න ලැබෙන ලක්ශනයක් තියෙනවා. ඒ තමයි එසේ පැහැර ගත් අඩෙවිය තුල සිය සලකුනු තැබීම. අලුත් අන්තර්ගතයන්(විවිධ පනිවිඩ, රූප ආදිය) එක් කොට එම අඩෙවිය විකෘත කිරීම. මෙවැන්නක් අපේ සාකච්ඡාවට බඳුන් වන අඩෙවියෙහි සිදු ව නැහැ. එය හුදෙක් මකා දමලා. මෙය “හැක් කිරීම” පිලිබඳ කතාවට අවාසි සහගත ව බලපාන සාක්ශියක්.

සාමාන්‍යයෙන් දැනුවත් බ්ලොග්කරුවෙක් නම් නිතර ලබාගන්නා බැකප් ගොනු තිබෙන නිසා මෙවැනි අවස්ථාවක අදාල බ්ලොග් අඩෙවිය ආරක්ශා කරගන්න පුලුවන්. නැවත අලුත් ලිපිනයක් සමග වැඩ අරඹන්න පහසු යි. ඒත් අදාල බ්ලොග්කරුවාගේ අනන්‍යතාව අවදානමට හා තර්ජනයකට ලක් කරමින් සිදු වන ප්‍රහාරයක දී තත්වය එසේ නොවෙයි. Taboo Subjects අඩෙවියේ රචකයින් සම්බන්ධ වාතාවරනය එවැන්නක් වීමට බෙහෙවින් ම ඉඩ තියෙනවා. එම අඩෙවිය මරනීය තර්ජනවල පටන් විවිධාකාර තර්ජන ගර්ජන හා ගර්හාවන්ට පාත්‍ර වූවක්. එනිසා තවදුරටත් එයාකාරයෙන් එම එය පවත්වාගෙන යාම පිලිබඳ ගැටලුවක් පැන නැඟ තිබෙන බව නිගමනය කිරීම අසාධාරන නැහැ. නිර්නාමික ව/ආරූඪනාමික ව සිටීමට තිබෙන අයිතිය ද ඇතුලු බ්ලොග්කරුවන් සතු සියලු අයිතීන්ගේ දෘශ්ටියෙන් එම බ්ලොග්කරු ආරක්ශා කල යුතු යි! ලිවීම හෝ ලිවීම නතර කිරීම ඒ ඒ බ්ලොග්කරුවාගේ ස්වච්ඡන්දතාව මත ම පමනක් සිදු විය යුතු යි! ලිවීම නිසා හෝ ලිවීම නතර කිරීම නිසා හෝ කිසියම් බ්ලොග්කරුවකුට වාචික, කායික, මානසික ප්‍රහාර - අඩන්තේට්ටම්වලට ලක් වීමට සිදු වේ නම් ඊට එරෙහි ව පෙලගැසිය යුතු යි!

අනිත් අතට, සිදු ව ඇත්තේ “හැක් කිරීමක්” නො වේ නම් ඒ පිලිබඳ කෙරෙන ප්‍රචාර වනාහි සියලු දෙනා නොමග යැවීමක්. ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින්ට හා පාර්ශ්වයන්ට එල්ල කෙරෙන චෝදනා ද “හැක් කිරීමක්” තරම් ම සාපරාධීයි.

සිදු ව ඇති දෙය පිලිබඳ කනගාටු වනවා මිස උත්සව ශ්‍රීයෙන් අමන්දානන්දයට පත් වෙන්නත් කෝලාහල කරන්නත් හේතුවක් පෙනෙන්න නැහැ. මෙය පසුපස ඇත්තේ “හැක් කිරීමක්” වුනත් නැතත් එහි රචකයා අපේක්ශා නොකල අවස්ථාවක Taboo Subjects අඩෙවිය නවතාදැමීමට සිදු වූ බව පැහැදිලි යි. එම බ්ලොග් අඩෙවිය සිංහල බ්ලොග් අවකාශය ඉතා සාධනීය අන්දමින් පුලුල් කරන්නත් ශක්තිමත් කරන්නත් විශාල දායකත්වයක් සැපයූ බව අවිවාදිත යි. ඒ හේතුවෙන් සිංහල බ්ලොග් අවකාශයට අලුත් පාඨක හා ලේඛක පරපුරක් ද එක් වූ බව මගේ හැඟීම යි.

අදාල බ්ලොග් අඩෙවිය හා එහි අන්තර්ගතය පිලිබඳ මගේ විවේචන හෝ පුද්ගලික ආකල්ප සටහන් කිරීමෙන් වැලකී සිටියේ එය මේ සිදුවීමට/මේ ලිපියට අදාල නැති නිසයි.

ප්‍රොසීනියම් අවකාශයක් තුල පොම්පීනියා, නාට්‍ය තරග සහ “බොක්සිං”

| Comments

පොම්පීනියා

ටෙලි නාට්‍ය සිහිගන්වන “වේදිකා” නාට්‍ය නරඹන්න මගේ කිසි ම කැමැත්තක් නැහැ. වේදිකාවේ දී යොදාගන්න සුදුසු, වේදිකාවට ආවේනික ශිල්පක්‍රම හා රූපන විධි ආදිය තියෙන බව අමතක වෙන තරමට රූපවාහිනියෙත්, වෙලඳ දැන්වීමෙත්, ටෙලි නාටකයෙත් බර අද නලුනිලියන්ට වගේ ම අධ්‍යක්ශකවරුන්ටත් පැටවිලයි තියෙන්නෙ. මේක අද නිර්මානය වෙන බොහෝ “වේදිකා” නාට්‍ය දකිනකොට මට හිතෙන දෙයක්. ඒවාට ව්‍යතිරේක සපයන විශේශ නිර්මානයක් ඉඳ හිට දුටු විට නැවත නැවත ඒ ගැන කතා කරන්න හිතෙනවා; හරි ම ප්‍රියජනක යි.

නදීකා තරංගනී අධ්‍යක්ශනය කල පොම්පීනියා නාට්‍යය නැවතත් වතාවක් නරඹන්න අවස්ථාවක් උදා වුනා. කලින් එය දකින්න ලැබුනෙ බ්ලැක් බොක්ස් අවකාශයක් තුල. ඒ ගැන මා ලියූ ලිපිය ඇතැම් විට ඔබ කියවන්න ඇති. නාට්‍යයේ තේමාව ආදිය ගැන ලියූ බොහෝ දේවල් මෙහි දී පුනරුච්චාරනය කරන්න අවශ්‍ය නැති නිසා පෙර ලිපිය කියවා බලන්න මම ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ නාට්‍යයේ නව නිශ්පාදනයක් ඔක්තෝබර් 9 වැනි දා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකාගත වුනා, මෙවර යොවුන් නාට්‍ය උලෙලේ කොටසක් හැටියට.

පෙර ලිපියෙන් සුලු කොටසක්:
මේ නාට්‍යයේ චරිත දෙකයි: නෝලා සහ ටනිල්.(චලනි ලක්ෂිකා කොස්තා සහ සමන්ත පී. ලියනගේ) නෝලා කාලාන්තරයක් තිස්සේ ආසාවෙන් බලාපොරොත්තු වූ ගමනක් යාමට - පොම්පීනියාවට, ලෝකයේ අනිත් කෙලවරට යාමට සැරසෙනවා. ඒ ගමනට ඇය කැටුව යන “තැනැත්තා” එනතුරු බලා ඉන්නා නෝලාත්, එතෙක් ඈ සමග උන් ටනිලුත් අතර නාට්‍යය ගොඩනැගෙනවා.

මේ නික්ම යාම පිලිබඳ තීරනය ගැන දෙදෙනා තුලත්, දෙදෙනා අතරත් මතු වන්නේ විතර්ක සමුදායක්. ඔවුන් දෙදෙනා අතර සබඳතාවේ ස්වරූපය ප්‍රෙක්ශකයාට අනාවරනය කෙරෙන්නේ අනිර්වචනීය ධාරනා(impressions) සමුච්චයක් මගින්. මේ අනාවරනය සඳහා රංගනය, දෙබස්, කටහඬ හා නලුනිලියන්ගේ ශරීර පමනක් නො ව ඔවුන් සමග වැඩෙන, බිඳ වැටෙන, අරගල කරන රංග උපකරන හා පසුතලය විශේශ දායකත්වයක් ලබාදෙනවා. නෝලාට පොම්පීනියාවට යන්නත් අවශ්‍යයි, ටනිල් සමග රැඳෙන්නත් අවශ්‍ය යි. ටනිල්ටත් එහෙම යි. ඇයට යන්න දෙන්නත් අවශ්‍යයි, රඳවාගන්නත් අවශ්‍ය යි. දෙන්නාට ම එකට යන්නත් බැහැ. දෙන්නාට ම එකට ඉන්නත් බැහැ. එක් වීම තුල නිදන්ගත ව පවතින වෙන් වීම ගැනත්, වෙන් වීම තුල ගැබ් වන එක් වීම ගැනත් කතාවක්.

ඔවුන් දැනට ඉන්නා ස්ථානය භූගෝලීය ව විතරක් නෙමෙයි ගෘහස්ථ ව වුනත් ඒ තරම් නිශ්චිත නැහැ. මෙය අගනා පසුතල නිර්මානයක්. එයින් කොටසක් නාට්‍යය අතරවාරයේ ඉදිකිරීම ටනිල්ගේ රංගනයේ කොටසක්. ඔහු සමීප ව, ආසක්ත ව නිරත වන ප්‍රධාන කාර්යය මේ ඉදිකිරීම යි.
පොම්පීනියා බ්ලැක් බොක්ස් නිශ්පාදනය කෙරෙහි බලවත් ප්‍රසාදයට පත් ව සිටි මම එවර මෙය ප්‍රොසීනියම් වේදිකාවට ගෙන යාම ගැන සැකසංකා පල කෙරුවා:
“… මේ රංග රීතිය සම්පූර්නයෙන් උඩු යටිකුරු කරන වැඩකින් මිස එදා අප දුටු පොම්පීනියා එවැනි තැනක රඟදක්වන්න අපහසු බව යි මට දැනුනේ. ඒ නිසා ලයනල් වෙන්ඩ්ට් හි දී ඔබ මේ නාට්‍යය දුටුවොත් ඒ 3 වැනි දා අප දුටු පොම්පීනියා නොවන බව සහතික යි.

“බ්ලැක් බොක්ස් අවකාශය තුල එය ප්‍රේක්ශකයා සමග සම්බන්ධ වුනු ආකාරය හරි ම සුවිශේශී එකක්. එහි දී රංගයත් ප්‍රේක්ශකයාත් අතර තිබෙන අවකාශීය/කායික සමීපස්ථභාවය නිසා නලුනිලියන්ට වගේ ම ප්‍රේක්ශකයින්ටත් විශාල අභියෝගයක් එල්ල වෙනවා. එය රඟපෑමේ දී මෙන් ම නැරඹීමේ දීත් බ්ලැක් බොක්ස් අවකාශයට ම ආවේනික ශික්ශනයක් ඉල්ලා හිටිනවා. මෙවැන්නක් ප්‍රොසීනියම් අවකාශයක රඟදක්වන්න නම් ඒ රංගශාලාවල සංස්කෘතියටත් නාට්‍ය නැරඹීම පිලිබඳ ව්‍යාකරනයටත් අභියෝග කරන්න වේවි.”

මේ නව නිශ්පාදනය නරඹන්න ලයනල් වෙන්ඩ්ට් රඟහලට ඇතුලු වන විට ම දකින්න ලැබුනේ ඉතා ම ප්‍රබල හා දැවැන්ත ආකාරයට ප්‍රතිනිර්මානය කරනු ලැබ තිබූ පසුතලය. සුදු පැහැය ප්‍රමුඛ වන හා කලු වර්නයෙන් සහාය ලබන පරිදි සකස් කර තිබූ එය වේදිකාවේ පෙර බිම පමනක් නාට්‍යය සඳහා උපයෝගී කරගත හැකි වන පරිදි ස්ථාපනය කර තිබුනා.  මෙය නලුනිලියන්ට වගේ ම ප්‍රේක්ශකයාටත් ඉතා දැවැන්ත, මහරු, overwhelming හා වියුක්ත(abstract) අවකාශයක් නිර්මානය කර දුන්නා. එය විශාලත්වය අතින් අපව “යටපත් කරවන සුලු යි”. අනිත් අතට එහි තිබුන වියුක්ත ගුනය විමුක්තිදායක යි. එය රූපන ශිල්පියාට රඟපෑම සඳහා නිදහස උදා කරනවා. ප්‍රේක්ශකයාගේ පරිකල්පනයට ඉඩ සලසනවා.

මේ සුදු පසුතල මත නාටකාකාර ව අන්තර්ක්‍රියා කරන වර්නවත් ආලෝකකරනයක් උපයෝගී කරගෙන තිබුනා. නාට්‍යය ගලා යද්දී ඊට උචිත ලෙස සංගීත ඛන්ඩ හා සංයෝග කෙරුනු ආලෝකකරනය ඉතා රසවත් කාර්ය කොටසක් ඉටු කෙරුවා. නෝලා සහ ටනිල්ගේ සබඳතාව විස්තාරනය හා විකසනය වෙද්දී එය වඩාත් ප්‍රබල විදියට ප්‍රේක්ශකයාට සමීප කරන්න මේ අංශ මනා ව සහාය වුනා කියලා මට හිතෙනවා. හරියට “සමීප රූප” අරන් දෙනවා වගේ අවශ්‍ය අවස්ථාවල ආලෝකය සහායට එනවා.

රූපනය අතින් නාට්‍යයේ විශාල වර්ධනයක් දකින්න තිබුනා. චලනි කොස්තා සහ සමන්ත පී. ලියනගේ දෙදෙනාගේ ම රඟපෑම් වඩාත් පිරිපහදු වූ, මනා ව, නූලට ගනන් බලන ලද පියවර බවට පත් වෙලා. එය ඉතා ම ප්‍රසාදජනක දර්ශනයක්. මීට පෙර ඉතා සමීප තැනක සිටි ප්‍රේක්ශකයා වෙනුවෙන් වර්ධනය කරගෙන තිබූ රංග ශෛලිය ඊට හාත්පසින් ම වෙනස් අවකාශයකට සරිලන පරිදි රූපාන්තරනය කරගන්නත්, වඩා “විශාලිත රූප” ලබා දෙන්නත් ඔවුන් දෙදෙනා සමත් වුනා.

නිශ්ශබ්දතාව යොදාගත් ආකාරය බ්ලැක් බොක්ස් අවකාශයේ දී දැනුනු අන්දමට වඩා බරසාර විදිහට මෙහි දී දැනුනු බව සඳහන් කල යුතු යි. ඇතැම් විට එය වඩා දැඩි හා ක්‍රමානුකූල පුහුනුවීමක ප්‍රතිඵලයක් වෙන්න ඇති. දෙබස් අතර වෙන ම “චරිතයක්” තරමට වැඩී එන නිශ්ශබ්දතාව හා විරාමයන් හුදු තාක්ශනික හරඹයක් නෙමෙයි. මේ නිශ්ශබ්දතාවත් ටනිල්ගේ “ඉදිකිරීම” වගේ ම කෘතිය විසින් ඉල්ලා සිටින ඓන්ද්‍රීය අංගයක් බවට පත් වෙනවා (රූපනය ගැන මීට පෙර ලිපියේ කොටස කියවන්න).

බ්ලැක් බොක්ස් අවකාශය තුල ඔවුන් අවකාශය භවිත කල හැටි ගැන මම විශේශයෙන් මෙහෙම කිව්වා:

“… ඒ වගේ ම තමයි නෝලාගේ පොම්පීනියා ගමන සහ “එලියේ”, දුර ඈත තැනක තියෙන ප්‍රාර්ථනා-ආශාවන් මේ රංග අවකාශය තුල-සහ-පිටත ගොනු කරපු විදිහ. ඒ නිසා කුඩා රංග අවකාශයෙන් පිටතට යන නෝලා (රඟහලෙන්) එලියේ සිට ටනිල් අමතන අවස්ථා බොහොම බලවත් විදිහට දැනුනා.”

මෙන්න මේ අවස්ථාව ලයනල් වෙන්ඩ්ට් අවකාශයේ දී විශාල වෙනසකට ලක් කොට තිබුනා. ඒ කියන්නෙ නෝලා පිටත් ව(වෙන් ව) ගොස් එලියේ සිට ටනිල් අමතන අවස්ථාව ප්‍රොසීනියම් රඟහල තුල සිදු වෙන්නෙ මෙහෙම යි: නෝලා වේදිකාව ඉදිරිපස මඳක් පහලින් රැඳෙනවා; ඇය රඟහලෙන් එලියට යන්නෙ නැහැ. ඒ නිසා අපට ටනිල් පෙනෙන්නෙ නෝලාට පසුපසින් වේදිකාව මත ඉන්න විදිහට. නාට්‍යයේ මැද කොටසේ දී එම ස්ථානයේ ම ඔවුන් දෙදෙනා ම ගැවසෙන අවස්ථා තිබුනා. ඒ නිසා අවකාශය භාවිතය මේ බැරෑරුම් මොහොත වෙනුවෙන් ඒ තරම් සේවයක් ඉටු කරන්නෙ නැහැ. බ්ලැක් බොක්ස් තුල දී අවකාශය භාවිත කරපු ප්‍රබල විදිහ එක්ක සසඳනකොට මේක ඒ තරම් හොඳ ක්‍රමයක් කියල මට හිතෙන්නෙ නැහැ. ඇතැම් විට ශාලාවෙන් පිටත සිට එම අවස්ථාව නිරූපනය කරන්න අවශ්‍ය ශබ්ද පහසුකම් නොතිබුනා වෙන්න ඇති.

ඒ කෙසේ වෙතත් සමස්තයක් හැටියට ප්‍රොසීනියම් අවකාශය ජයගන්න මේ නව නිශ්පාදනය සමත් වෙලා තිබුනා. ඉතා ම සංවේදී මල් පෙත්තක් වැනි නාට්‍යයක්. මෙයාකාර හැඟීම් සංකීර්නයක් තුල සැරිසරන කෘති අද බිහි වෙනවා අඩු යි. නාට්‍යයේ කූටප්‍රාප්ත අවස්ථාව ප්‍රේක්ශකාගාරයේ හුන් බොහෝ දෙනාගේ නෙතට කඳුලක් එක් කරන්න සමත් වුනු බව පසුව කල කතාබහේ දී දැකගන්න ලැබුනා.

ආරම්භයේ දී සඳහන් කලා වගේ රූපවාහිනියේ, වෙලඳ දැන්වීමේ සහ ටෙලි නාට්‍ය “කලාවේ” බරින් මැඩුනු, එයින් බලපෑමට ලක් වුනු ආකෘතිත්, රූපන විධිත් සහිත වේදිකා නාට්‍ය බහුල ව දකින්න ලැබෙන කාලෙක ඒ වෙනුවට වේදිකාවේ කරන්න පුලුවන්  විස්කම්, වේදිකාවේ ව්‍යාකරන ගැන සංවේදී ව කරපු මේ වගේ නාට්‍ය රසවිඳින්න ලැබීම භාග්‍යයක්. ඒත් මෙවැනි නාට්‍ය අඛන්ඩ ව රඟදක්වන්නත්, ප්‍රේක්ශකයාට මෙවැන්නක වියරනයට හුරු වන තරම් කලක් ඒ හා ගැවසෙන්නත් සරිලන රංග කලා අවකාශ අපට නොමැති වීම ඊට නොදෙවෙනි මහා අභාග්‍යයක්!

ඒ අතර …

බොක්සිං තරග වැනි නාට්‍ය තරග

යොවුන් නාට්‍ය උලෙල බලන්න ගිය අවස්ථාවේ හිතට තදින් වැදුනු දෙයක් ගැන කියන්න ඕන. පොම්පීනියා නරඹන්න මම අසුන් ගත්තේ වේදිකාව ඉදිරිපසට කිට්ටුවෙන් මැද කොටසේ. අපට දකුනු පැත්තෙන් කන්ඩායමක් හැටියට පේලි දෙකක පමන වාඩි වෙලා හිටිය පිරිසකගේ හැසිරීම මගේ අවධානය ඇදගත්තා. ඔවුන් නාට්‍යය නරඹනවට වඩා කෙරුවේ සිනාසීම. එහෙමත් නැත්නම් විවිධ ශබ්ද පිට කිරීම. නාට්‍යයේ ඉතා ම සංවේදී, කම්පාකාරී නිමේශයන් පසුවෙද්දී මේ වගේ හැසිරීමක් ප්‍රේක්ශකාගාරයේ විවිධ තැන්වලින් දකින්න ලැබුනා. මට තේරුම් ගියේ මේ නාට්‍ය “තරගයට” පැමිනි වෙනත් නාට්‍ය කන්ඩායම්වල උදවිය බව යි. කලිනුත් කිව්වා වගේ මේක ඉතා ම සියුම් මල් පෙත්තක් වැනි නාට්‍යයක්. මානව සම්බන්ධතාවන්ගේ ඉතා ම ගැඹුරු හා සංවේදී ඉසවුවක් ස්පර්ශ කරන්න වෑයම් කරන එය නොතලා නොනසා විඳගන්න ප්‍රේක්ශකයාට අවස්ථාව ලැබිය යුතු යි. ඒත් නාට්‍ය තරගය බොක්සිං තරගාවලියකට හුරේ දැමීමක් වැනි අඩියකට පිරිහෙලාගත් ප්‍රේක්ශකාගාරය තිබුනේ නාට්‍යයේ “මට්ටමට” වඩා බොහෝ ම පහලින්.

නාට්‍ය තරග ගැන උනන්දුවක් නැති නිසා කවුද දිනුවේ කින්ද මන්ද කියලා හොයන්න නම් බැරි වුනා.

*අදාල වෙනත් ලිපි :  පොම්පීනියා - විප්පයෝගයේ සම්පයෝගය

ශාස්තෲ සහ තවත් කතා

| Comments

“ඕක ඔහොම කරල හරි යන්නෙ නෑ. කෝ ඉන්ඩ මම අඳින්නං.” ඊට ස්වල්ප වේලාවකට කලින් අපට අඳුනාගන්න ලැබුනු අජිත් පැරකුම් ජයසිංහ පින්සලක් අතට ගත්තා. කමිසය අසල තිබුන පුටු ඇන්දක එල්ලූ ඔහු පෝස්ටර් අඳින්න පටන්ගත්තා.

“මෙහෙම කලාම ඉක්මනට ඉවර කරගන්න පුලුවනි.”

කිසි ම පැහැදිලි “හේතුවක්” නැතුව ඔහු ඒ ඇඳ දුන්නේ අපේ නාට්‍යයේ පෝස්ටර්. ලියූ අකුරු තුලින්, කවි තුලින් හඳුනාගෙන හිටි, අපෙන් ගෞරව සම්ප්‍රයුක්ත පිලිගැනීමක් දිනාගෙන සිටි ඔහු ඒ විදිහට අප සමග බිම වාඩි වීම ම අපේ වෙහෙස නිවූ, සිත පිබිදවූ කාරනයක් වුනා. සංවාදශීලී හෘදයංගම මිනිසෙක් අඳුනාගන්න ලැබුනු දවසක් ඒක.


අජිත් පැරකුම් ජයසිංහගේ මුල් ම නවකතාව ශාස්තෲ දොරට වඩින බව දැනගත් විට මගේ සිත සැමරුම් පටු වත ඔස්සේ අවුරුදු හතක අටක අතීතයකට ගමන් කෙරුවා. ඒ අපි මුල් ම වතාවට නාට්‍යයක් කොලඹ නගරය තුල වේදිකාගත කරන්න වෑයම් කරපු අවස්ථාව. කොලඹින් පිට ජීවත් වුනු, කොලඹ තුල නාට්‍යයක් වේදිකාගත කරගැනීම ගැනත් ඊට අදාල පරිවාර කටයුතු කරගැනීම ගැනත් කිසි ම අත්දැකීමක් නොතිබුනු අපේ කන්ඩායමට කිසි ම ප්‍රතිලාභයක් අපේක්ශා නොකර උපකාර කරපු අපව ශක්තිමත් කරන්න මහන්සි වුනු සද්පුරුශයින් කීපදෙනාගෙන් කෙනෙක් තමයි අජිත්. මොන ම ආකාරයක හෝ ප්‍රතිලාභයක් ඔවුන්ට වැදගත් වුනේ නැහැ. අදාල වුනේ අපි කලා කෘතියක් නිර්මානය කර තිබීම කියන කාරනය විතරයි. ඒ කටයුත්ත සාක්ශාත් කරගෙන සමාජය හමුවට ගෙනියන්න මොන තරම් දුශ්කර ක්‍රියා කරන්න ඕනැද, ඒ ක්‍රියාවලිය ම පලමු කොට අත්පොලසන් දී පිලිගෙන, අගයන්නත්, සහාය දෙන්නත් හේතුවක් ය කියන පිලිගැනීමේ ඉඳන් ඔවුන් වැඩ කරපු බව අපට තේරුනා. අතින් පෝස්ටර් ඇඳ දීමෙන් නොනැවතුනු ඔවුන්ගෙන් ඇතැමෙක් කොලඹ පුරා ඒවා ඇලවීමට ද “බලහත්කාරයෙන්” සහභාගී වුනා. විවේචන එල්ල වුන අවස්ථාවලත් ඔවුන්ගෙන් අපට ලැබුනෙ සාධනක(constructive) විවේචනයක්; අපව නාට්‍ය කලාවෙන් පලවා, සුන්නද්දූලි කොට නොහරින අන්දමේ විවේචනයක්. සියුමැලි මල් පෙත්තක් නොතලා රැකගන්නවා වගේ ඔවුන් අපේ නාට්‍ය කන්ඩායම සමග වැඩ කෙරුවා. නාට්‍යය වේදිකාගත වී අවසන් වන තුරුත්, ඉන් පසුවත්, ඔවුන් අප සමග, අප වෙනුවෙන් එකට පෙලට පෙනී හිටියා. ඔවුන් ඒ ආකාරයෙන් කටයුතු කෙරුවේ අප සම්බන්ධයෙන් විතරක් නෙමෙයි.

අජිත් ගැන ලියන්න ගියත් මට “ඔහු” කියනවා වෙනුවට හැමතිස්සෙම “ඔවුන්” කියල බහු වචනයෙන් ලියන්න සිද්ධ වීමත් ඔහු පිලිබඳ මට තියෙන සැමරුමේ කොටසක්. ඒ දවස්වල “ඔවුන්” කිව්වෙ හිරු කන්ඩායමට. පසු ව මේ බහුවචනය විවිධ ස්වරූපවලටත් විවිධ නම්වලටත් රූපාන්තරනය වුනා. අප අතර ලේශමාත්‍ර වූ දේශපාලනික සම්මුතියක් නොතිබුනු තත්වයක් තුල පවා “ඔවුන්” බැරෑරුම් මිනිසුන් ය, අපේ “සංස්කෘතික” හා දේශපාලන ජීවිතය කෙරෙහි අර්ථාන්විත ව මැදිහත් වීමේ අධිශ්ඨානයකින් හෙබි මිනිසුන් ය යන තක්සේරුව මට(අපට) තිබුනා.

ඒත් මේ කිසිවක් පුද්ගලික හෝ මිත්‍ර සම්බන්ධතා හැටියට හඳුන්වන්න අමාරුයි. මා 2005 වසරෙන් පසු ඔහුව/ඔවුන්ව පියවි ඇහින් දැකලත් නැහැ. ඒ නිසා මේ නවකතාව ගැන කිසිම දෙයක් ලියන්න කියන්න මට පුද්ගලික බැඳීමක් නැහැ. නමුත් දේශපාලනික හා සංස්කෘතික වගකීමක් තියෙනවා කියල මට හිතෙනවා. මම පොතේ දොරට වැඩුමට සහභාගී වුනා. ඒ උත්සවය නම් එච්චර විශේශ අත්දැකීමක් නෙමෙයි. සුපුරුදු පරිදි බොහොම ප්‍රමාද වී ආරම්භ වුනු, නිදිමත හැදෙන, දියාරු, නියම(typical) “පොත් දොරට වැඩීමේ” උලෙලක්.

ඒත් මේ පොත, එය දොරට වැඩි දාට පසු දා ම කියවා සමාප්ත කරන්න සිදු වුනා. ඔහුගේ භාශාව ඉතා සිත්කලු යි, ප්‍රබල යි. සැනෙකින් පාඨකයා ගලග්‍රහයෙන් ගන්න සමත්. එනිසා ම ගංවතුර හා වැහි මැදින් යෙදුනු දීර්ඝ බස් ගමනක් තුල නොකඩවා පොත කියවන්න සිද්ධ වුනා.

පොත සන්දර්භගත කරමින් දීර්ඝ සාකච්ඡාවකට හා විවේචනාත්මක විමර්ශනයකට යන්න මෙය නිසි තැන නෙමෙයි. ඊට වෙනම ලිපියක් ලිවිය යුතු යි. වෙනත් කාරනා ගැන හදාල යුතු යි. විධික්‍රමික ව පොත නැවත කියවිය යුතු යි.(මගේ කඩවුනු පොරොන්දු සමුදායෙන් එකක් බවට පත් නොවුනොත් ඒ ලිපිය ඉදිරි දිනක ලියැවේවි) නමුත් ඔහුගෙන්/ඔවුන්ගෙන් මා මීට පෙර ද දුටු අවංක බව හා හෘදයංගම බව කෘතිය පුරා සියුම් හුයක් සේ දිවෙමින් තිබෙනු දුටු බව පමනක් සටහන් කල යුතු යි. ඔහු ලියූ කෘතිය තමන් ද අයත් වූ පරපුර දෙස ස්වයං විවේචනාත්මක ව බැලීමේ ප්‍රයත්නයක්. තමන්ගේ ම පරිනාමය ගැන කෘතියක් ලිවීම හොඳ සිහියෙන් ඉඳිමින් තම හදවතට ම බයිපාස් සැත්කමක් කරගැනීම වැනි අමාරු වැඩක්. එවැනි සැත්කම් වරදින්නත් පුලුවන්.

මේ සටහන තැබුවේ ශාස්තෲ කෘතියේ පලමු පරිච්ඡේදයෙහි පලමු පිටුව කියවා බලන මෙන් ඔබට කියන්න යි. මගේ අත්දැකීම අනුව ඉතිරි පිටු එකසිය හැට තුනෙහි ඔබව රඳවාගන්න කතුවරයා සමත් වේවි.

දැනට එපමනයි.