වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ශාස්තෲ සහ තවත් කතා

| Comments

“ඕක ඔහොම කරල හරි යන්නෙ නෑ. කෝ ඉන්ඩ මම අඳින්නං.” ඊට ස්වල්ප වේලාවකට කලින් අපට අඳුනාගන්න ලැබුනු අජිත් පැරකුම් ජයසිංහ පින්සලක් අතට ගත්තා. කමිසය අසල තිබුන පුටු ඇන්දක එල්ලූ ඔහු පෝස්ටර් අඳින්න පටන්ගත්තා.

“මෙහෙම කලාම ඉක්මනට ඉවර කරගන්න පුලුවනි.”

කිසි ම පැහැදිලි “හේතුවක්” නැතුව ඔහු ඒ ඇඳ දුන්නේ අපේ නාට්‍යයේ පෝස්ටර්. ලියූ අකුරු තුලින්, කවි තුලින් හඳුනාගෙන හිටි, අපෙන් ගෞරව සම්ප්‍රයුක්ත පිලිගැනීමක් දිනාගෙන සිටි ඔහු ඒ විදිහට අප සමග බිම වාඩි වීම ම අපේ වෙහෙස නිවූ, සිත පිබිදවූ කාරනයක් වුනා. සංවාදශීලී හෘදයංගම මිනිසෙක් අඳුනාගන්න ලැබුනු දවසක් ඒක.


අජිත් පැරකුම් ජයසිංහගේ මුල් ම නවකතාව ශාස්තෲ දොරට වඩින බව දැනගත් විට මගේ සිත සැමරුම් පටු වත ඔස්සේ අවුරුදු හතක අටක අතීතයකට ගමන් කෙරුවා. ඒ අපි මුල් ම වතාවට නාට්‍යයක් කොලඹ නගරය තුල වේදිකාගත කරන්න වෑයම් කරපු අවස්ථාව. කොලඹින් පිට ජීවත් වුනු, කොලඹ තුල නාට්‍යයක් වේදිකාගත කරගැනීම ගැනත් ඊට අදාල පරිවාර කටයුතු කරගැනීම ගැනත් කිසි ම අත්දැකීමක් නොතිබුනු අපේ කන්ඩායමට කිසි ම ප්‍රතිලාභයක් අපේක්ශා නොකර උපකාර කරපු අපව ශක්තිමත් කරන්න මහන්සි වුනු සද්පුරුශයින් කීපදෙනාගෙන් කෙනෙක් තමයි අජිත්. මොන ම ආකාරයක හෝ ප්‍රතිලාභයක් ඔවුන්ට වැදගත් වුනේ නැහැ. අදාල වුනේ අපි කලා කෘතියක් නිර්මානය කර තිබීම කියන කාරනය විතරයි. ඒ කටයුත්ත සාක්ශාත් කරගෙන සමාජය හමුවට ගෙනියන්න මොන තරම් දුශ්කර ක්‍රියා කරන්න ඕනැද, ඒ ක්‍රියාවලිය ම පලමු කොට අත්පොලසන් දී පිලිගෙන, අගයන්නත්, සහාය දෙන්නත් හේතුවක් ය කියන පිලිගැනීමේ ඉඳන් ඔවුන් වැඩ කරපු බව අපට තේරුනා. අතින් පෝස්ටර් ඇඳ දීමෙන් නොනැවතුනු ඔවුන්ගෙන් ඇතැමෙක් කොලඹ පුරා ඒවා ඇලවීමට ද “බලහත්කාරයෙන්” සහභාගී වුනා. විවේචන එල්ල වුන අවස්ථාවලත් ඔවුන්ගෙන් අපට ලැබුනෙ සාධනක(constructive) විවේචනයක්; අපව නාට්‍ය කලාවෙන් පලවා, සුන්නද්දූලි කොට නොහරින අන්දමේ විවේචනයක්. සියුමැලි මල් පෙත්තක් නොතලා රැකගන්නවා වගේ ඔවුන් අපේ නාට්‍ය කන්ඩායම සමග වැඩ කෙරුවා. නාට්‍යය වේදිකාගත වී අවසන් වන තුරුත්, ඉන් පසුවත්, ඔවුන් අප සමග, අප වෙනුවෙන් එකට පෙලට පෙනී හිටියා. ඔවුන් ඒ ආකාරයෙන් කටයුතු කෙරුවේ අප සම්බන්ධයෙන් විතරක් නෙමෙයි.

අජිත් ගැන ලියන්න ගියත් මට “ඔහු” කියනවා වෙනුවට හැමතිස්සෙම “ඔවුන්” කියල බහු වචනයෙන් ලියන්න සිද්ධ වීමත් ඔහු පිලිබඳ මට තියෙන සැමරුමේ කොටසක්. ඒ දවස්වල “ඔවුන්” කිව්වෙ හිරු කන්ඩායමට. පසු ව මේ බහුවචනය විවිධ ස්වරූපවලටත් විවිධ නම්වලටත් රූපාන්තරනය වුනා. අප අතර ලේශමාත්‍ර වූ දේශපාලනික සම්මුතියක් නොතිබුනු තත්වයක් තුල පවා “ඔවුන්” බැරෑරුම් මිනිසුන් ය, අපේ “සංස්කෘතික” හා දේශපාලන ජීවිතය කෙරෙහි අර්ථාන්විත ව මැදිහත් වීමේ අධිශ්ඨානයකින් හෙබි මිනිසුන් ය යන තක්සේරුව මට(අපට) තිබුනා.

ඒත් මේ කිසිවක් පුද්ගලික හෝ මිත්‍ර සම්බන්ධතා හැටියට හඳුන්වන්න අමාරුයි. මා 2005 වසරෙන් පසු ඔහුව/ඔවුන්ව පියවි ඇහින් දැකලත් නැහැ. ඒ නිසා මේ නවකතාව ගැන කිසිම දෙයක් ලියන්න කියන්න මට පුද්ගලික බැඳීමක් නැහැ. නමුත් දේශපාලනික හා සංස්කෘතික වගකීමක් තියෙනවා කියල මට හිතෙනවා. මම පොතේ දොරට වැඩුමට සහභාගී වුනා. ඒ උත්සවය නම් එච්චර විශේශ අත්දැකීමක් නෙමෙයි. සුපුරුදු පරිදි බොහොම ප්‍රමාද වී ආරම්භ වුනු, නිදිමත හැදෙන, දියාරු, නියම(typical) “පොත් දොරට වැඩීමේ” උලෙලක්.

ඒත් මේ පොත, එය දොරට වැඩි දාට පසු දා ම කියවා සමාප්ත කරන්න සිදු වුනා. ඔහුගේ භාශාව ඉතා සිත්කලු යි, ප්‍රබල යි. සැනෙකින් පාඨකයා ගලග්‍රහයෙන් ගන්න සමත්. එනිසා ම ගංවතුර හා වැහි මැදින් යෙදුනු දීර්ඝ බස් ගමනක් තුල නොකඩවා පොත කියවන්න සිද්ධ වුනා.

පොත සන්දර්භගත කරමින් දීර්ඝ සාකච්ඡාවකට හා විවේචනාත්මක විමර්ශනයකට යන්න මෙය නිසි තැන නෙමෙයි. ඊට වෙනම ලිපියක් ලිවිය යුතු යි. වෙනත් කාරනා ගැන හදාල යුතු යි. විධික්‍රමික ව පොත නැවත කියවිය යුතු යි.(මගේ කඩවුනු පොරොන්දු සමුදායෙන් එකක් බවට පත් නොවුනොත් ඒ ලිපිය ඉදිරි දිනක ලියැවේවි) නමුත් ඔහුගෙන්/ඔවුන්ගෙන් මා මීට පෙර ද දුටු අවංක බව හා හෘදයංගම බව කෘතිය පුරා සියුම් හුයක් සේ දිවෙමින් තිබෙනු දුටු බව පමනක් සටහන් කල යුතු යි. ඔහු ලියූ කෘතිය තමන් ද අයත් වූ පරපුර දෙස ස්වයං විවේචනාත්මක ව බැලීමේ ප්‍රයත්නයක්. තමන්ගේ ම පරිනාමය ගැන කෘතියක් ලිවීම හොඳ සිහියෙන් ඉඳිමින් තම හදවතට ම බයිපාස් සැත්කමක් කරගැනීම වැනි අමාරු වැඩක්. එවැනි සැත්කම් වරදින්නත් පුලුවන්.

මේ සටහන තැබුවේ ශාස්තෲ කෘතියේ පලමු පරිච්ඡේදයෙහි පලමු පිටුව කියවා බලන මෙන් ඔබට කියන්න යි. මගේ අත්දැකීම අනුව ඉතිරි පිටු එකසිය හැට තුනෙහි ඔබව රඳවාගන්න කතුවරයා සමත් වේවි.

දැනට එපමනයි.