වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

"හැක් කතා" ගැන කතා සහ සාමාන්‍යයෙන් නොකියන කතා

| Comments

සාමාන්‍යයෙන් නොකියන කතා හෙවත් Taboo Subjects නමැති බ්ලොග් අඩෙවිය “හැක්” කොට, මකාදමනු ලැබ ඇති බව කියැවෙන ලිපි හා ප්‍රතිචාර අතිවිශාල ප්‍රමානයක් පසුගිය සති කීපය තුල බ්ලොග් අවකාශය පුරා දකින්න ලැබුනා. මේ පසු සටහන්වලින් ඇතැම් එකක් Taboo Subjects රචකයා ලෙසින් පෙනී සිටිමින් පල කෙරුනු ඒවා. තවත් සටහන් ප්‍රමානයක් එම අඩෙවියේ විරුද්ධවාදීන් පල කල ඒවා වන අතර තවත් කොටසක් එයට සහානුභූතිය දක්වන පාර්ශ්වයන් විසින් පල කෙරුනු බව පේනවා. එහෙත් මේ ප්‍රකාශිත අදහස් බහුතරයක තථ්‍යතාව (authenticity) තහවුරු කරගත හැකි මගක් අපට නැහැ; එය අවශ්‍යත් නැහැ. හැබැයි අපට ඒ අදහස්වල සත්‍යතාව(truth) උරගා බලන්න පුලුවන්. බ්ලොග්කරනය ගැනත් අදහස් පල කිරීමේ නිදහස ගැනත් උත්සුක වන අයට අදාල කාරනා ගනනාවක් මේ සිද්ධිය විසින් ඉස්මතු කර තිබෙනවා. මේ කතා කරන්න හදන්නේ එයින් එක් පැත්තක්.

“හැක්” කිරීම සහ “හැකර්” යන පද බෙහෙවින් ව්‍යාකූල අන්දමින් භාවිතයට ගැනෙනු දකින්න පුලුවන්. මේ පදයේ සම්භවය බෙහෙවින් ගෞරවනීය එකක්. මැසචුසෙට්ස් තාක්ශනික ආයතනය හෙවත් MIT වටා ගොඩනැඟුනු හැකර් සංස්කෘතිය තමයි මෙහි මුල. සද්කීර්තිමත් නිදහස් මෘදුකාංග ව්‍යාපාරයට පදනම දැමුවේ එම හැකර්වරු තමයි. මේ හැකර් සංස්කෘතිය පිලිබඳ ඉතිහාස කථනයක් සඳහා මේ පිටුව බලන්න:

මේ පදය පිලිබඳ දූශිත අර්ථ නිරූපනයකුත් තියෙනවා. මෘදුකාංග, වෙබ් අඩෙවි හා විවිධාකාර ආරක්ශන පද්ධතීන් බිඳ දමමින් හොරෙන් ඇතුලු ව සාපරාධී ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයින් හැඳින්වීමට “හැකර්” යන පදයත් එම ක්‍රියාව “හැකිං” නැතහොත් “හැක් කිරීම” වසයෙනුත් සාවද්‍ය ආකාරයෙන් භාවිත වෙනවා. වෙනත් වචනවලින් කියතොත් පරිගනක අපරාධකරුවන් අද හැඳින්වෙන්නෙ මේ නමින්. Taboo Subjects නමැති බ්ලොග් අඩෙවියට සිදු වූ බවට ප්‍රචාරය කෙරෙන “හැක් කිරීම” මේ දෙවැනි වර්ගයේ එකක්. දැනුවත් ව වගාදිගා කරන සහ පුලුල් ව පැතිර පවතින නොදැනුවත්කම හා අවිද්‍යාව නිසා අතිබහුතරයක් ජනතාවකට හැක් කිරීම පිලිබඳ තියෙන අදහස මේ දෙවැනි වර්ගයට අයිතියි. මේ දූශිත අදහස සාමාන්‍යයෙන් සංස්ථාපිත ජනමාධ්‍ය ආදිය මගිනුත් කොම්පැනිකරුවන් මගිනුත් තවදුරටත් පෝශනය කෙරෙනු දකින්න පුලුවන්.

“හැක් විනි ද නොවිනි ද?”

මේ දෙවැනි වර්ගයට අයත් “හැක් කිරීම්” ගැනත් වර්ග කීපයක මිථ්‍යා මත තියෙනවා. ඊමේල් ගිනුම්(බෙහෙවින් ම යාහූ හෝ ජීමේල්) “හැක්” කල බවට අසන්න ලැබෙන පුවත් මෙයින් එක් වර්ගයක්. එම වර්ගයේ ම “හැක් කිරිලි” wordpress හෝ blogspot අඩෙවි සම්බන්ධයෙනුත් සිදු වූ බවට මැසිවිලි නඟන උදවිය දකින්න ලැබෙනවා. මේ “හැක් කිරීම්” පිලිබඳ පුවත් සැබෑවක් වීමට නම් සම්පූර්න විය යුතු දේවල් කීපයක් තියෙනවා. ඊමේල් සම්බන්ධයෙන් මුලින් ම බලමු. යාහූ හෝ ජීමේල් ගිනුමක් “හැක් කිරීමට” නම් පලමු කොට ජීමේල් හෝ යාහූ සේවාදායකයන්ට ප්‍රහාර එල්ල කල යුතු යි; ඒවායේ දොරගුලු හල යුතු යි. මේ සියලු ඊමේල් ගිනුම් එක ගිනුමකට එක බැගින් වූ පුද්ගලික සර්වර තුල ගබඩා කර තියෙන ඒවා නෙමෙයි. ඒවා පවතින්නේ දහස් සංඛ්‍යාත ගිනුම් පොදුවේ බෙදාගන්නා සේවාදායක තුල.

wordpress හා blogspot සේවා සපයන්නන් සම්බන්ධයෙන් ගත් කල්හිත් තත්වය මෙය ම යි. wordpress.com හි තිබෙන බ්ලොග් අඩෙවි ක්‍රියාත්මක වන්නේ wordpress MU නමැති බහුපරිශීලක බ්ලොග් ඇන්ජිම උපයෝගී කරගනිමින්. එහි තිබෙන සියලු බ්ලොග් අඩෙවිවල ආරක්ශන කටයුතු පරිපාලනය කෙරෙන්නේ wordpress.com මගින්; මධ්‍යගත වැඩක්. මෙය තනි තනි බ්ලොග් අඩෙවිය වෙනුවෙන් වෙන් වෙන් වූ පුද්ගලික සර්වර තුල ගබඩා කෙරුනු බ්ලොග් අඩෙවි සහිත සේවාවක් නෙමෙයි. ඒ සියලු අඩෙවි හා දත්ත ගබඩා කොට තිබෙන්නේ Automattic සමාගමට අයත් වෙබ් සර්වර තුල. එහෙම නම්, කිසියම් නිශ්චිත wordpress.com බ්ලොග් අඩෙවියකට “හැකර්” ප්‍රහාරයක් එල්ල වීම යන්නෙන් අදහස් විය යුත්තේ අර ප්‍රධාන සේවා සපයන්නාගේ ආරක්ශන පද්ධතිය බිඳී ගොස් තවත් බ්ලොග් අඩෙවි විශාල සංඛ්‍යාවක් ද අවදානමට පාත්‍ර වූ බව යි. එසේ නොමැති ව එම සේවාදායක තුල තිබෙන නිශ්චිත එක් ඊමේල් ගිනුමක් හෝ එක් බ්ලොග් අඩෙවියක් පමනක් “සිදුරු කිරීමේ” අවකාශයක් නැහැ.

යම් හෙයකින් එවැනි තත්වයක් උද්ගත වුව හොත් (නිදසුනක් ලෙස wordpress.com හි ආරක්ශනයේ බිඳීමක් හෝ “හැක් කිරීමක්”) එය බෙහෙවින් ම ආන්දෝලනයට තුඩු දෙන පුවතක් බවට පත් වෙනවා. එය ප්‍රසිද්ධියේ සාකච්ඡා කෙරෙන, පුවත් මවන හා ප්‍රසිද්ධියේ තත්ව විස්තර සහිත ව (progress reports) පිරියම් කෙරෙන හානියක්.

පසුගිය මාසයක පමන කාලය තුල වාර්තා වූ දෑ සලකා බලන විට wordpress.com සේවාව එවැනි “හැක් කිරීමකට” ලක් වී නොමැති බව පේනවා.

මේ අනුව නිගමනය කරන්න තියෙන්නේ අපේ සාකච්ඡාවට බඳුන් ව තියෙන බ්ලොග් අඩෙවිය එවැනි “හැක් කිරීමකට” ලක් ව නොමැති බව යි.

එසේ නම් සිදු වූයේ කුමක් ද?

“හැක් කිරීම”, සාරා පේලින් සහ ටැබූ සබ්ජෙක්ට්ස්

පසුගිය ඇමෙරිකානු ජනපතිවරනය අද්දර දී රිපබ්ලිකන් උපජනාධිපති ධුරාපේක්ශිකා සාරා පේලින්ගේ යාහූ ඊමේල් ගිනුම “හැක්” කරනු ලැබ ඇති බවට වාර්තා වුනා. එය සත්තකින් ම ඇගේ මුරපදය වෙනස් කරමින් එම ඊමේල් ගිනුම තුලට පිවිසුනු විසි හැවිරිදි සිසුවකු සිදු කල “වික්‍රමයක්”. සාරා පේලින්ගේ ඊමේල් ගිනුම “හැක් කරන්න” පුලුවන් වුනේ යාහූ සමාගමේ ආරක්ශන දුබලතාවක් නිසා හෝ මේ “හැකර්වරයා” සූක්ශ්ම ලෙස ආරක්ශනය බිඳගෙන ඊමේල් තුලට ඇතුලු වීම නිසා නෙමෙයි. සාරා පේලින් ඉතා දුබල ආකාරයේ රහස් පැනයක් සිය ඊමේල් ගිනුම සමග භාවිත කල නිසයි. එය අනුමාන කල මේ තරුනයා එය ඔස්සේ ඊමේල් ගිනුමේ මුරපදය වෙනස් කලා.

ඒ පිලිබඳ විස්තරයක් මෙහි දී කියවිය හැකි යි.


මකාදමනු ලැබ තිබෙන බ්ලොග් අඩෙවියට සිදු වූ බවට අනුමාන කල හැකි එක ම “හැක් කිරීම” මේක විතර යි. එක්කෝ ඔහු/ඇය/ඔවුන් පොදු ස්ථානයක පොදු පරිගනකයක් භාවිත කරමින් සිය ගිනුමට පිවිසී අනතුරු ව එයින් නිසියාකාර ව ලොග් අවුට් වීමට අසමත් ව තියෙනවා. නොඑසේ නම් ඉහත සිදුවීමේ දී මෙන් රහස් ප්‍රශ්නය අනුමාන කිරීම මගින් යම් කිසිවකු ඔහුගේ මුරපදය වෙනස් කොට ඊමේල් ගිනුම සහ/හෝ බ්ලොග් අඩෙවිය සියතට ගැනීමට සමත් ව තිබෙනවා. මේ සියල්ලට අමතර ව සිදු විය හැක්කේ අදාල බ්ලොග් අඩෙවියේ මුරපදය අන්‍යයකුගේ අතට පත් වීම හෝ එය තවෙකෙකුට අනුමාන කල හැකි මට්ටමක පැවතීම විතර යි.

ඉතා අපරීක්ශාකාරී හා දුර්වල අන්දමින් මුරපද, රහස් පැන හා සැසි භාවිත කිරීමකින් මිස මේ අවසන් ඡේදයේ දැක්වුනු පැහැරගැනීම්වලට ඉඩක් නැහැ. එසේ වුවත් මෙවැන්නක් සිදුවීමේ ඉඩ සම්පූර්නයෙන් නැතැයි කියා බැහැර කරන්න අමාරු යි. දැනුවත් ව එවැනි පැහැරගැන්මක නිරත වීම සාපරාධී, පිටුදැකිය යුතු, බුද්ධි විරෝධී හා අසංස්කෘතික ක්‍රියාකාරකමක් මිස අන් කිසිවක් නෙමෙයි.

කෙසේ වෙතත්, සිදුවීම්වල අනුපිලිවෙල පරීක්ශා කල විට විකල්ප දෙකක් අනුමාන කල හැකි යි:

එක්කෝ
1) එකී බ්ලොග් අඩෙවිය එහි රචකයා/රචකාව/රචකයින් විසින් මකා දමනු ලැබ තියෙන බවක්.

නැතහොත්
2) එහි මුරපදය අත්පත් කරගත් කිසියම් පාර්ශ්වයක් එම අඩෙවිය මකා දමා ඇති බවක්.

“හැක් කරන” හෝ මුරපදය කිසියම් මගකින් ලබාගනිමින් බ්ලොග් අඩෙවිය “හයිජැක්” කරන පිරිස්වලට පොදු/බහුල ව දකින්න ලැබෙන ලක්ශනයක් තියෙනවා. ඒ තමයි එසේ පැහැර ගත් අඩෙවිය තුල සිය සලකුනු තැබීම. අලුත් අන්තර්ගතයන්(විවිධ පනිවිඩ, රූප ආදිය) එක් කොට එම අඩෙවිය විකෘත කිරීම. මෙවැන්නක් අපේ සාකච්ඡාවට බඳුන් වන අඩෙවියෙහි සිදු ව නැහැ. එය හුදෙක් මකා දමලා. මෙය “හැක් කිරීම” පිලිබඳ කතාවට අවාසි සහගත ව බලපාන සාක්ශියක්.

සාමාන්‍යයෙන් දැනුවත් බ්ලොග්කරුවෙක් නම් නිතර ලබාගන්නා බැකප් ගොනු තිබෙන නිසා මෙවැනි අවස්ථාවක අදාල බ්ලොග් අඩෙවිය ආරක්ශා කරගන්න පුලුවන්. නැවත අලුත් ලිපිනයක් සමග වැඩ අරඹන්න පහසු යි. ඒත් අදාල බ්ලොග්කරුවාගේ අනන්‍යතාව අවදානමට හා තර්ජනයකට ලක් කරමින් සිදු වන ප්‍රහාරයක දී තත්වය එසේ නොවෙයි. Taboo Subjects අඩෙවියේ රචකයින් සම්බන්ධ වාතාවරනය එවැන්නක් වීමට බෙහෙවින් ම ඉඩ තියෙනවා. එම අඩෙවිය මරනීය තර්ජනවල පටන් විවිධාකාර තර්ජන ගර්ජන හා ගර්හාවන්ට පාත්‍ර වූවක්. එනිසා තවදුරටත් එයාකාරයෙන් එම එය පවත්වාගෙන යාම පිලිබඳ ගැටලුවක් පැන නැඟ තිබෙන බව නිගමනය කිරීම අසාධාරන නැහැ. නිර්නාමික ව/ආරූඪනාමික ව සිටීමට තිබෙන අයිතිය ද ඇතුලු බ්ලොග්කරුවන් සතු සියලු අයිතීන්ගේ දෘශ්ටියෙන් එම බ්ලොග්කරු ආරක්ශා කල යුතු යි! ලිවීම හෝ ලිවීම නතර කිරීම ඒ ඒ බ්ලොග්කරුවාගේ ස්වච්ඡන්දතාව මත ම පමනක් සිදු විය යුතු යි! ලිවීම නිසා හෝ ලිවීම නතර කිරීම නිසා හෝ කිසියම් බ්ලොග්කරුවකුට වාචික, කායික, මානසික ප්‍රහාර - අඩන්තේට්ටම්වලට ලක් වීමට සිදු වේ නම් ඊට එරෙහි ව පෙලගැසිය යුතු යි!

අනිත් අතට, සිදු ව ඇත්තේ “හැක් කිරීමක්” නො වේ නම් ඒ පිලිබඳ කෙරෙන ප්‍රචාර වනාහි සියලු දෙනා නොමග යැවීමක්. ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින්ට හා පාර්ශ්වයන්ට එල්ල කෙරෙන චෝදනා ද “හැක් කිරීමක්” තරම් ම සාපරාධීයි.

සිදු ව ඇති දෙය පිලිබඳ කනගාටු වනවා මිස උත්සව ශ්‍රීයෙන් අමන්දානන්දයට පත් වෙන්නත් කෝලාහල කරන්නත් හේතුවක් පෙනෙන්න නැහැ. මෙය පසුපස ඇත්තේ “හැක් කිරීමක්” වුනත් නැතත් එහි රචකයා අපේක්ශා නොකල අවස්ථාවක Taboo Subjects අඩෙවිය නවතාදැමීමට සිදු වූ බව පැහැදිලි යි. එම බ්ලොග් අඩෙවිය සිංහල බ්ලොග් අවකාශය ඉතා සාධනීය අන්දමින් පුලුල් කරන්නත් ශක්තිමත් කරන්නත් විශාල දායකත්වයක් සැපයූ බව අවිවාදිත යි. ඒ හේතුවෙන් සිංහල බ්ලොග් අවකාශයට අලුත් පාඨක හා ලේඛක පරපුරක් ද එක් වූ බව මගේ හැඟීම යි.

අදාල බ්ලොග් අඩෙවිය හා එහි අන්තර්ගතය පිලිබඳ මගේ විවේචන හෝ පුද්ගලික ආකල්ප සටහන් කිරීමෙන් වැලකී සිටියේ එය මේ සිදුවීමට/මේ ලිපියට අදාල නැති නිසයි.