වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

Ranjith Fernando’s Major Contribution to Sri Lankan Cricket

| Comments

රංජිත් ප්රනාන්දු : ක්රිකට් දේශීයකරණයේ පුරෝගාමියෙක්

මේ දිනවල රංජිත් ප්රනාන්දුට එරෙහි ව සමහර ක්රිකට් ලෝලීන් අතර පැතිර යන විරෝධය දැන් බ්ලොග් අඩෙවියක් ආරම්භ කිරීම දක්වා දුරදිග ගිහින්! සීමාවක් නැතුව විරෝධතා ගංගාව ගලාගෙන ගලාගෙන යද්දී කෙනෙක් කළ යහපත් දේවල් ඒ රළ පහරට යටපත් ව අමතක වීම ස්වභාවයක්. රංජිත්ගේ ක්රිකට් විචාරය ගැන ඇති තරම් දේ හැමෝම ලියලා තියෙන නිසා ඒ ගැන කතා කරන්න නෙවෙයි මම මේ හදන්නේ.


රංජිත් කඩුලු රකින්නකු ලෙස

මම පුද්ගලිකව රංජිත්ව දන්නෙ නෑ. ඒත් ක්රිකට් විචාරකයෙක් හැටියට ඔහුව දැනගන්නත් කලින් මම ඒ නම ඇහුවේ ඉස්සර සිංහල බසින් ක්රිකට් ක්රීඩාව ප්රචලිත කරන්න වෑයම් කළ පුද්ගලයෙක් හැටියටයි. ඔහු මෙරට සිටි දක්ෂ කඩුලු රකින්නෙක් වගේ ම විශිෂ්ට පුහුණුකරුවෙක්. රංජිත් ප්රනාන්දු සහ ඩබ්ලියු. ඒ. එන්. සිල්වා එක් ව රචනා කළ ක්රිකට් සිප් මග නමැති පොත සිංහල භාෂාව කතාකරන කියවන උදවිය අතට පත් වුණු එම වර්ගයේ මුල් ම කෘතියයි. 1980 ගණන් අගභාගයේ ක්රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු ක්රිකට් උපදේශකයින් පුහුණු කිරීමේ ව්‍යාපෘතියක නියමුවන් ව සිටි මේ දෙදෙනා එහි දී පැන නැගුණු අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමිනුයි මේ පොත ලියා ඇත්තේ. 1987 දී පළ වුණු මෙය එතෙක් ඉංග්රීසි පමණක් කතා කරන පිරිස් අතර සංකේන්ද්රණය ව පැවති ක්රිකට් පිළිබඳ ශිල්පීය ඥානය සිංහල බසින් ගම් දනවු කරා ගෙනයාමට මූලාරම්භයක් සම්පාදනය කළා.


ක්රිකට් සිප් මග - දේශීය භාෂාවන්ගෙන් ක්රිකට් ඉගැන්වීමේ පුරෝගාමී කෘතිය

මේ කෘතිය තුළ පන්දු රැකීම, කඩුලු රැකීම, පන්දු යැවීම, පිතිකරණය සහ නායකත්වය යන මූලිකාංග සේ ම කායික යෝග්‍යතාව ද ඉතා පිළිවෙලට නිරවුල්ව සාකච්ඡා කෙරෙනවා. ආධුනික ක්රීඩකයින්ට පමණක් නෙමෙයි පුහුණුකරුවන්ටත්, මේ විෂය ගැන ලියන ලේඛකයින්ටත් අතිශයින් ප්රයෝජනවත් මාරගෝපදේශක කෘතියක් ලෙස මෙය හැඳින්වීම උචිතයි. කෘතියේ එක් එක් අංශය සන්නිදර්ශන (illustrations) මාලාවකින් සහාය ලබනවා. ‍මෙහි දී රොෂාන් මහානාම පන්දු රැකීම සන්නිදර්ශනය කරන අතර පිතිකරණය පිළිබඳ ඡායාරූපවලට පෙනී සිටින්නේ අරවින්ද ද සිල්වා. ඉතා සරුසාර සහ නිවැරදි සිංහල බසින් ලියැවුණු මේ පොතේ එන ඇතැම් යෙදුම් අදටත් ගුවන්විදුලි හා රූපවාහිනී විචාරකයින් භාවිතා කරන අන්දම මම හොඳින් ම දැක තිබෙනවා.

මුලින් ම ඉංග්රීසියෙන් ලියැවුණු මෙය පුහුණුකරු විල්සන් කුලසූරියගේ දායකත්වයෙන් සිංහල බසට නැගුණා. එකල එය දෙමළ බසින් ද පළ කිරීමේ අවශ්‍යතාව පැවසුණු නමුත් එම අදහස ඉටුවූවා ද යන්න මම දන්නේ නෑ.

A Glossary of Technical Terms

| Comments

෴ This is a glossary of technical terms used in this blog. I hope to add more words/terms and develop this glossary for the benefit of those who read and write in Sinhala. Feel free to post your comments and suggestions in any language you prefer. Let me know what are the words/terms you want to add. Correct me when I’m wrong. This page will be linked from the left column of the blog.

මෙහි දැක්වෙන්නේ මේ බ්ලොග් අඩෙවියේ භාවිතා වන විවිධ පාරිභාෂික පද එකතුවක්. සිංහලෙන් කියවන සහ ලියන අයගේ ප්රයෝජනය උදෙසා මෙය කාලානුරූපීව වර්ධනය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබේ අදහස් උදහස් සහ යෝජනා මෙහි ප්රතිචාර තීරයේ සඳහන් කරන්න. එකතු කළ යුතු යයි ඔබ සිතන පද මොනවාදැයි මට කියන්න. වැරදි නිවැරදි කරන්න. මේ පිටුව දිගට ම වම් පස කොලමෙන් සම්බන්ධ කොට තබනවා ෴

අන්තර්ජාලය - internet
අන්තර්ගතය - content
අභිරක්ෂක - curator
අභිරක්ෂකත්වය - curatorship
ආයෝජන - investments
ගැජට්ටුව - gadget
ජාලකරණය - networking
ඩොමේන් - Domains
ඩොමේන් නාම - Domain names
ද්විභාෂික - bilingual
පරිගණකය - computer
පරිගණනය - computing
පළ කිරීම/ප්රකාශනය - publishing
බ්ලොග්කරණය - Blogging
බ්ලොග්කරු/බ්ලොග් රචකයා - Blogger
බ්ලොගය/ බ්ලොග් අඩෙවිය/ බ්ලොග් එක - Blog*
(*සමහරු වියුණු සටහන නම් පදයක් භාවිතා කළත් එය වැරදියි. මම එය අනුමත කරන්නේ නෑ. එයින් අදහස් වන්නේ වියන ලද හෝ ගොතන ලද හෙවත් fabricated යන්න යි.)
බ්ලොග් අවකාශය - blogosphere
මවුසය - mouse
මොනිටරය - monitor
විජට්ටුව - widget
විවෘත මූල - open source
විවෘත මූල මෘදුකාංග - open source software
සයිබර් අවකාශය - cyber space
සයිබර් කෝපි කඩ/අන්තර්පාල කෝපි කඩ cyber cafe/internet cafe
සාක්ෂරතාව - literacy
ෆෝල්ඩරය - folder

Play by the Rules!

| Comments

මානව හිමිකම් ගැන වචනයක්

පසුගිය දිනවල මානව හිමිකම් ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා. ඇත්තට ම මානව හිමිකම් පිළිබඳ සාකච්ඡාව පුළුල් වීම ඉතා ම සාධනීය දෙයක් විදිහටයි මම දකින්නේ. ඒත් මේ වතාවේ සාකච්ඡාවේ දිශානතිය මොකක් ද? ප්රධාන වශයෙන් ම කෙරුණේ ජිනීවා හි දී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ලෝකයා දැනුවත් කිරීමට වෑයම් කළ උදවියට එරෙහි වෛර ව්‍යාපාරයක් දියත් වීම යි. ඔවුන් හුදෙකලා කොට අපරාධකරුවන් හැටියට හංවඩු ගැසීමට සහ එසේ මානව හිමිකම් ගැන කතා කිරීම “රජය අපහසුකාවට පත් කිරීමක්” ලෙස නම් කොට ඊට බැට දීමට ආණ්ඩුවත් ඔවුන්ට දර දිය අදින ජනමාධ්‍ය හා වෙනත් සංවිධානත් එකා වන් ව පෙළ ගැසුණා. මම නම් මේ වෛර ව්‍යාපාරය දකින්නේ අතිශයින් තිරශ්චීන (එනම් තිරිසන්) ව්‍යායාමයක් හැටියට යි.

මේ වෛර ප්රචාරකයින් කියන විදිහට නම් මේ රටේ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන අහලා වත් නෑ වගේ! ඒත් සැබෑ තත්වය කුමක් ද? කොළඹ නගරය විතරක් ගත්තත් ඒක තනිකර මිලිටරි අපායක් බවට පත් වෙමිනුයි තියෙන්නේ. දෙමළ පුරවැසියෙකුට තමන්ගේ ආරක්ෂාව ගැන බියපත් නො වී කොළඹ තනි ව ගමනක් යන්න පුළුවන් ද? ත්රිකුණාමලය, මඩකලපුව හා යාපනය වැනි තැන් ගැන කවර කතා ද? කොළඹ නගරය තුළ පමණක් මිලිටරිය විසින් සතියකට කීයක් නම් පාතාලගත මෙහෙයුම් ක්රියාත්මක කරනවද? කීදෙනෙක් නම් අතුරුදහන් වෙනවද? කරුණා කල්ලිය හමුදාවේ ආශීර්වාදය ද සහිත ව රට පුරා දියත් කරන ච්ලේච්ඡ හයිකාරකම්වල නිමක් තියෙනවද? ඒ සියල්ල මධ්‍යයේ ජනමාධ්‍යවලට එරෙහි ව දියත් කරලා තියෙන මර්දනය එන්න එන්න ම තීව්ර වෙනවා. මව්බිම පුවත්පතේ සිද්ධිය තමයි ඊට තිබෙන ආසන්නතම උදාහරණය. මේ අතරවාරයේ උතුරු නැගෙනහිර ප්රදේශවල ආණ්ඩුවට විරුද්ධ මත දරන දේශපාලන පක්ෂවල සාමාජිකයින් ත්රිවිධ හමුදාව විසින් ඝාතනය කොට හෝ අතුරුදහන් කොට නිහඬ කෙරෙනවා. ඉතින් ඕකයි ඇත්ත තත්වය. මීට එරෙහි ව හඬක් නගන අය නිශ්ශබ්ද කිරීමට වෑයම් කරන ආණ්ඩුව සහ එහි බලුගැත්තර සගයින් තමයි සැබෑ අපරාධකරුවෝ! මේ කටයුතුවලින් වක්ර ව ඇඟවෙන්නේ ඔවුන් මේ අපරාධ අනුමත කරන බවයි.

මේ අතර ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය උපයෝගී කරගනිමින් ලංකාවේ මානව හිමිනම් උල්ලංඝනය කිරීම්වලට එරෙහි උද්ඝෝෂණය දියත් කිරීමට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ගත් තීරණය අතිශයින් නිර්මාණාත්මක එකක්. එයට ප්රශංසා කළ යුතු යි. මේ වෛර ව්‍යාපාරය එයට එරෙහි වත් එල්ල වුණා. ඔවුන්ගේ තර්ක අතිශයින් ළාමක මට්ටමට ඇද වැටුණේ මෙතන දීයි. සමහරු ‍චෝදනා කළේ මේක “ලංකාවට ලෝක කුසලානය අහිමි කිරීමේ කුමන්ත්රණයක්” හැටියටයි! මීටත් වඩා හාස්‍යජනක තත්වයකට පත් වෙන්න පුළුවන් ද? මහජනතාව මෝඩ ඔටුවො කියලද මේ අය හිතාගෙන ඉන්නේ? දින පතා මිනී මැරෙන, මිනිසුන් අතුරුදහන් කෙරෙන, ගුවනින් බිමින් යුද ප්රහාර ඇවිළ යන, මානව හිමිකම් තුට්ටු දෙකට වැටුණු මේ වගේ රටක වැදගත් වෙන්නේ ක්රිකට් ද මානව හිමිකම් ද? හැකි උපරිම අවධානය දිනා ගත හැකි මාර්ග පරිහරණය කරමින් මේ අරගලය ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය යි. දැනුවත් කිරීම සඳහා පාවිච්චි කෙරෙන්නේ ක්රිකට් තරග ද මහපාරවල් ද කියන එක නෙමෙයි වැදගත්.

ලංකාවේ මානව හිමිකම් තත්වය කෙරෙහි ජාත්‍යන්තර පරිමාණයේ අවධානයක් යොමු කිරීමට කටයුතු කළ පාර්ශ්වයන්ට එරෙහි ව දියත් කෙරුණු උසිගැන්වීම් හා වෛර ව්‍යාපාර හැකි උපරිම ශක්තියෙන් හෙළා දැකිය යුතු යි.

අන්තර්ජාලය, සිංහල සහ ලංකාවේ තත්වය ගැන සිතිවිලි කීපයක්

| Comments

පසුගිය දවසක drac එක්ක සිදු වුණු ඊ-මේල් සංවාදයක දී ඔහු මෙහෙම ඇහුවා : “ඔයාට ඇත්තටම ෂුවර් ද ලංකාවෙ සිංහල බ්ලොග්වලට පාඨකත්වයක් තියෙනව කියල?”

මමත් දුන්නා එක්තරා විදිහක අතිපණ්ඩිත උත්තරයක් : (මේ ඇත්තට ම මගේ අදහසේ වඩා සංවිධිත හා පැහැදිලි දල අනුවාදයක්) :

“අඩු ගාණේ කීප දෙනෙක් වත් දැනට ඉන්නවා. ළාබාල සිංහල බ්ලොග්කරුවො කීපදෙනෙක් ම ඉන්නවා. ඒත් ඉතින් අපි සිංහලෙන් වැඩ කරන්න පටන්ගන්න ඕනනේ. ඔයා දන්නවනෙ සාමාන්‍යයෙන් සිංහල පොත් (ඉතා ජනප්රිය නවකතායි පෙළ පොතුයි ඇර) දැන් පළ කරන්නෙ පිටපත් 500ත් 1000ත් අතර ගාණක්. එහෙම වෙන්නෙ මුද්රණ වියදම් වැඩිකමයි අලෙවිය අඩු වීමයි හින්දා. ඉතින් සමහර වෙලාවට මට කල්පනා වෙනවා ඇත්තට ම මේ දුප්පත් ලේඛකයින්ට මාසෙකට අඩුගාණෙ “හිට්ස්” 100 ක් වත් තියෙන වෙබ් අඩවි තිබුණ නං කොහොම ද කියලා. මම නං හරිම සුභවාදීයි අනාගතේ දී සිංහල ලේඛකයින්ට පාඨකයින් කරා ළං වෙන්න අන්තර්ජාලය වඩා හොඳ දොරටුවක් වෙයි කියලා.

“සිංහල කතාකරන ජනගහනය මිලියන 16කටත් වැඩියි. දවසින් දවස ‍අන්තර්ජාලය පාවිච්චි කරන පිරිසත් වැඩි වෙනවා. අපි වැඩි වැඩියෙන් සිංහලෙන් අන්තර්ජාලයෙ වැඩ කරන්න ඕන ඒක(සිංහල අන්තර්ගතය) විශාල වෙන්නත් සිංහල පමණක් දන්න අයට පහසුවක් දැනෙන්නත්. සිංහලෙන් හොඳ ගුණාත්මක වෙබ් අන්තර්ගතයක් (web content) තදින් ම අවශ්‍ය වෙලයි තියෙන්නෙ. ඒක තමයි සිංහල කියවන බ්ලොග්අවකාශයක් ගොඩනැඟීමට අවශ්‍ය පළමු පියවර. මම නං මගේ අන්තර්ජාල ජීවිතේ බ්ලොග්කරණයට අමතරව හොඳ විකිපීඩියා පිටු කීපයක් වත් එකතු කරන්න උත්සාහ කරනවා.” (මාර්තු 26 හවස් වරුවේ සිදු වූ විද්‍යුත් ලිපි හුවමාරුවකින්)

ඒ වගේ ම ඒ වෙලාවෙ මගෙ හිතට ආපු තවත් දෙයක් තමයි අද කී දෙනෙක් තමුන්ගෙ අදහස් මුද්රිත මාධ්‍යයෙන් පළ කරගන්න බැරුව ඉන්නවද? පළ කරගන්න වෑයම් කරනවද? කීදෙ‍නෙක් නම් පත්තරවල කර්තෘට ලියුම් තීරයට ලිපි එවනවද? කී දෙනෙක් නම් රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන්වලට ලිපි නිර්මාණ ආදිය එවනවද? සිංහලෙන් බ්ලොග්කරණය සහ අන්තර්ජාලකරණය පුළුල් වීම මගින් මේ බොහෝ හඬක් නැති අයට හඬක් ලැබෙන්න පටන්ගන්නවා අනිවාර්යයෙන් ම. අවස්ථාව තියෙනව නම්, කී දෙනෙක් නම් සිංහලෙන් මේක පාවිච්චි කරන්න පටන් ගනියිද!

අද උදේ කොත්තු ඔස්සේ මට හමු වුණු මේ ලිපිය හරහා ලැබුණු මේ වාර්තාව අපේ සාකච්ඡාවේ වස්තු විෂය සම්බන්ධ වෛෂයික තත්වය ගැන යම් ඉඟියක් ලබා දෙනවා. ඇත්තට ම ඒක මූලික ව අදහස් පළ කරන්නෙ ඉන්දියාව ගැන වුණාට කලාපීය තත්වය ගැනත් ලංකාව ගැනත් සංගණනය කෙරුණු දත්ත එයට ඇතුළත්.

මගේ පුද්ගලික තක්සේරුව සහ සුභවාදය කොයි හැටි ‍වෙතත්, මම මොනවා හිතාගෙන හිටියත් මේ වාර්තාවට අනුව ලංකාවේ ජනගහනයෙන් 29%ක් අන්තර්ජාලය කියලා එකක් ගැන අහලා වත් නැතිලු! ඒ විතරක් නෙමෙයි ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නේ මුළු ජනගහනයෙන් 1% විතරයි ලු! හපොයි! මේක නම් ඇඟ හීතල වෙලා යන, ලොමු ඩැහැගැන්වෙන කතාවක්! මොන තරම් අසමාන ආකාරයකට ද සම්පත් බෙදී යන්නේ කියන එකට මේක තවත් හොඳ උදාහරණයක්. මම තව ටිකක් හොයල බැලුවා. ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් මේ ප්රතිශතය 2006 නොවැම්බර් වෙද්දී 69%ක් කියලයි වාර්තා වෙන්නේ. ඒත් ලෝක ජනගහනයෙන් අන්තර්ජාලය පරිහරණය කරන පිරිස සංඛ්‍යාත්මක ව වැඩි ආසියාවේ. ජනගහනයේ ප්රතිශතයක් හැටියට ඇමෙරිකානු මහාද්වීපය, ඔස්ට්රේලියාව සහ යුරෝපය ඉදිරියෙන් ඉන්නවා.

මූලාශ්රය http://www.internetworldstats.com/stats.htm

ආසියානු තත්වය ඇතුළෙත් අගු පිලක තමයි ලංකාව තියෙන්නෙ. මම හිතන්නේ “ශ්රී ලාංකීය” බ්ලොග් අවකාශය සමන්විත වෙන්නේ බෙහෙවින් ම කොළඹ සහ පිටරටවල සිටින අයගෙන්. ඒ අය බොහෝ දෙනෙක් එක්කෝ සිංහල දන්නෙ නෑ, එහෙමත් නැත්නම් සිංහලෙන් ලියැවුණු දෙයක් කියවන්න උනන්දුව අඩුයි. ඒක ඇත්ත. අනිත් එක සිංහලෙන් එදිනෙදා වැඩකටයුතු කරන බහුතරයක් ජනතාව ජීවත් වෙන කොළඹ නොවන ප්‍රදේශවල තත්වය මොකක්ද? ගෘහස්ත මට්ටමින් ADSL වැනි පහසු ප්රවේශ මාර්ග තබා පොදු අන්තර්ජාල/සයිබර් කෝපි කඩ internet cafe/cyber cafe වත් තියෙන්නෙ නගර කීයෙන් කීයක ද? මහා සංවාරක පුරවරයක් ය කියන නුවර එළිය වගේ තැන්වල වුණත් තත්වය හරිම අසතුටුදායකයි. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ ජූලියන් මරෝ කියන සිත්තරාගෙ postcard from provence වෙබ් අඩෙවිය. ප්රංශයේ ප්රොවොන්ස් පෙදෙසේ ඔහුගේ ගමට ADSL පහසුකම් ලැබුණු වහාම ඔහු ඒ වෙබ් අඩෙවියේ අලෙවි කටයුතු පටන්ගත්තා. ඒ ප්දේශය හා සම්බන්ධ වස්තූන් ආදිය තමයි ඔහු සිතුවමට නගන්නෙ. ඉතා ඉහල මිල ගණන්වලට පැය කීපයක් ඇතුළත ඒ කෘති අලෙවි වෙනවා. මේ සියල්ල ජූලියන්ට කරන්න පුළුවන් වුණේ පහසු අන්තර්ජාල සම්බන්ධතාව මේ පර්යන්ත ප්රදේශයට ලැබුණ නිසයි.

අපේ රටෙත් වෙලාවකට සමහර දේශපාලකයො කයිවාරු ගහනවා නං තමයි “අන්තර්ජාලය ගමට ගෙනි යාම” “අන්තර්ජාලයට ගොවියා ගෙන යාම” ආදිය ගැන.

පසුගිය ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ “සංකල්පයක්” ය යි කී නැණසල නම් වූ ව්‍යාපෘතියක් ගැන මහා ඝෝෂාවක් නැඟුණා. ඒත් එක පාරක් පේරාදෙණිය විශ්ව විද්‍යා‍ලයේ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් බදුල්ල පැත්තේ නැණසලක් විවෘත කරද්දී සිදු වුණු දෙයක් ගැන ආරංචියක් ජනමාධ්‍ය ඔස්සේ කියනවා මට මතකයි. මහින්ද රාජපක්ෂ නැණසලක් විවෘත කරලා පිට වෙනකොට ම නිලධාරියොත් පරිගණක ටික ගලවගෙන පස්සා දෙරෙන් ඊළඟ නැණසල මධ්‍යස්ථානෙට දුවනවලු ලොක්කටත් හොරෙන් එතන විවෘත කිරීම සූදානම් කරන්න. ඉතින් මේ වගේ පොත්ත මිස මදය නැති වැඩ නං අපේ රටේ ඇති පදමට තියෙනවා. ඇත්තට ම ලංකාවෙ මහා විශාල ව්‍යාපෘති හැටියට දියත් කරපු පරිගණක හා අන්තර්ජාල භාවිතය පුළුල් කිරීමේ ඊනියා වැඩසටහන්වලින් එකක් හරි ඒ සද්දෙ තරමට ක්රියාත්මක වුණා නම් තත්වය මීට වඩා අඩු ගාණේ සියයට දහයකින් වත් දියුණු වෙලා තියෙන්න යි ඕන. හැම ආණ්ඩුවකට ම තිබුණනෙ පම්පෝරියක් - ඡන්ද කාලෙට වත් - IT දියුණු කිරීම ගැන. ඒත් ඒවා පම්පෝරි මට්ටමේ විතරක් නතර වෙලා බවයි මට නම් පේන්නෙ. අනිත් එක සාමාන්‍ය හුදී ජනතාව මේ නූතන තාක්ෂණයෙන් සන්නද්ධ වීම ගැන ඊර්ෂ්‍යාපරවශ භීතියක් (හරියට “නිදහස්” අධ්‍යාපනය දෙනකොට, සර්වජන ඡන්දබලය ඇති කරනනොට තිබුණ විරෝධය වගේ) අපේ පාලකයින්ට තියෙනවද දන්නෙත් නෑ. මොනවා වුණත් මේ රට අඩු ගාණේ මේ පාලකයින් ම කියන අන්දමට නවීන ආයෝජනවලට විවෘත කරලා යම් මට්ටමක හෝ “සංවර්ධනයක්” ළඟා කරගන්නත් පරිගණක සාක්ෂරතාව නැතුව පුළුවන් වෙන්නෙ නෑ. අනිත් එක පරිගණක ජාලකරණය, අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් පෙළපොත් සහ ගුරු හිගය පැත්තෙන් ගත්තත් ආණ්ඩුවේ වියදම් අවම කරගැනීමේ වෑයමක් හැටියට යොදාගත හැකියි.

මට පෙනෙන විදිහට විවෘත මූල මෘදුකාංග නිපදවන පිරිස් (සිංහල ලිනක්ස් වැනි) සහ ‍පෞද්ගලික වෙළඳ ව්‍යාපාරික අංශ මේ රටේ පරිගණක සාක්ෂරතාව හා භාවිතය පුළුල් කිරීමට ආණ්ඩුවලට වඩා ලොකු සේවයක් කරල තියෙනවා. ඇත්ත ඇත්ත, මේවගේ සුළු සුළු දේවල් ගැන ආණ්ඩුවට හිතන්න වෙලාවක් නෑනෙ නේ ද? යුද්ධ කරන්න තියෙනවනෙ…ඒව වැදගත් වැඩ… මේ අවුරුද්දෙ අධ්‍යාපනයෙන් තවත් පංගුවක් යුද්ධය වෙනුවෙන් කප්පාදු කරන්න පුළුවන් කරමට ඔය උත්සන්න වෙලා තියෙන්නෙ අසූ හාරදාහට ම!

Kareem: The Imprisoned Egyptian Blogger

| Comments

කරීම් නිදහස් කරගැනීමේ සටන

ඊජිප්තු බ්ලොග් රචකයෙක් දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉන්නේ අත් අඩංගුවේ. ඒ ඔහු ලියූ ඇතැම් බ්ලොග් සටහන් එරට දේශපාලන හා ආගමික සංස්ථාපිතයට “අනුකූල” නො වූ නිසයි. ඔහු අරාබි භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදුණු අයෙක්, නම අබ්දුල් කරීම් නබිල් සොලිමාන් (මම ඔහුගේ නම වැරදියට උච්චාරණය කරලා නම් කරුණාකර දන්න කෙනෙක් ඒක නිවැරදි කරන්න.) මාර්තු 12 වැනි දා ඊජිප්තු අධිකරණයක් විසින් ඔහුව සිව් වසරක සිර දඬුවමකට යටත් කෙරුණා. එයට හේතු වුණේ ඔහු ලියූ බ්ලොග් සටහන්. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ඔහු ඉස්ලාම් ආගමික සංස්ථාපිතයේ ඇතැම් මූලධර්මවාදී පැතිකඩ විවේචනය කළා.


කරීම් නිදහස් කරන මෙන් ඉල්ලා ලන්ඩන් නුවර කෙරුණු උද්ඝෝෂණයක් (ඡායාරූපය freekareem.org වෙතින්)


ඔක්තෝබර් මාසයේ කරීම් ලියූ සටහනක ඔහු සාම්ප්රදායික උපවාස මාසය නම් කළේ “කුහකත්වයේ මාසය” ලෙසිනුයි. ඔහු එහි දී තර්ක කළේ බොහෝ ඊජිප්තු වැසියන් අද වන විට මේ ආගමික වතාවත් අනුගමනය කරන්නේ ඔවුන්ට අවශ්‍ය නිසා නො ව හුදෙක් සමාජයෙන් එන පීඩනය නිසා පමණක් බවයි.

ඊජිප්තු හමුදාව කරීම්ගේ විවේචනයට ලක් වූ තවත් සංස්ථාවක්. “ජාතික උරුමයන්” ආරක්ෂා කරගැනීම සඳහා හමුදා සේවයට බඳවා ගැනීමේ අනිවාර්ය විධිවිධාන ඔහු ගේ තියුණු දෝෂ දර්ශනයට පාත්ර වුණා. එය ජාතික “සේවයක් ලෙසින්” මවා පානු ලැබූ “වහල්” ක්රමයක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. එසේ ම අනිවාර්ය යුද සේවයට බඳවා ගනු ලබන අයට අමානුෂික ලෙස සැලකීම ගැනත් ඔහු ඊජිප්තු හමුදාවට චෝදනා කර සිටියා.

කරීම් අල් අසාර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු මානව හිමිකම් පිළිබඳ නිතිඥ ආතනයක් ආරම්භ කොට එම අංශයේ සේවය කිරීමේ අපේක්ෂාවෙන් ඔහු පසු වන බවයි කරීම් සිය බ්ලොග් එකේ සඳහන් කරන්නේ. ඒත් ඔහුට පළමු ප්රහාරය ආවේ විශ්ව විද්‍යාලය තුළින් මයි. බ්ලොග් රචනාවල අන්තර්ගතය හේතුවෙන් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හරින ලද කරීම්ව පසුගිය නොවැම්බර් මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ “ඊජිප්තු ජනාධිපතිවරයාට අපහාස කිරීම” සහ “ඉස්ලාම් ධර්මය අවඥාවට ලක් කිරීම” යන චෝදනා යටතේ.

ඔහු පිළිබඳ ව The Jerusalem Report හි පළ වූ ඉංග්රීසි ලිපියක PDF ගොනුවක් දැන් වැඩි විස්තර දැන ගැනීම සඳහා ඔබට කියවිය හැකියි. මේ ලින්ක් එක [link] www.freekareem.org වෙබ් අඩෙවියෙන්.

ඇත්තෙන් ම යම් කිසිවකු ආගම සහ රාජ්‍යය විවේචනයට ලක් කිරීම නිසා මේ විසි එක් වැනි සියවස තුළ හිරබත් කනවා ය කියන කාරණය ම සිත් කම්පනය කරවන්නක්! මට සිහි වෙන්නේ අපේ රටේ පසුගිය දවස්වල “මාධ්‍ය කොට්” “සොයා ගමු, වනසමු” ආදී වශයෙන් කෙරුණු උසිගැන්වීම්. මේවා පසුපසත් එක්තරා විදිහක මූලධර්මවාදී පදනම් තියෙනවා. ඉස්ලාම් හෝ වේවා බෞද්ධ හෝ වේවා මූලධර්මවාදය සෑම විට ම පිහිටා සිටින්නේ නිදහස් අදහස් දැරීම හා ප්රකාශනයට එරෙහි ව යි. මහජන අප්රසාදයට පත් ව, මහජනයාගෙන් වියෝ වී අර්බුදගත ව සිටින පාලකයින් ඇතැම් අවස්ථාවල මූලධර්මවාදය අනුග්ර සපයමින් එහි පිහිටෙන් සිය පාලනයට එරෙහි විවේචන මර්දනය කරන්න ගත් වෑයම් ඉතිහාසයේ දුර්ලභ නැහැ.

කරීම්ගේ සිද්ධිය පුළුල් ව පැතිර ගිය අන්තර්ජාතික විරෝධයක් ජනනය කිරීමට සමත් වෙලා තියෙනවා. ඔහු නිදහස් කරගැනීම උදෙසා දැන් www.freekareem.org නමින් වෙබ් අඩෙවියක් ද ක්රියාත්මකයි. කරීම් සිය මව් භාෂාවෙන් ලියූ ඇතැම් බ්ලොග් රචනාවල පරිවර්තන දැන් පාඨකයින්ට ඉංග්රීසියෙන් කියවන්න අවස්ථාව තියෙනවා.