පසුගිය දවසක drac එක්ක සිදු වුණු ඊ-මේල් සංවාදයක දී ඔහු මෙහෙම ඇහුවා : “ඔයාට ඇත්තටම ෂුවර් ද ලංකාවෙ සිංහල බ්ලොග්වලට පාඨකත්වයක් තියෙනව කියල?”
මමත් දුන්නා එක්තරා විදිහක අතිපණ්ඩිත උත්තරයක් : (මේ ඇත්තට ම මගේ අදහසේ වඩා සංවිධිත හා පැහැදිලි දල අනුවාදයක්) :
“අඩු ගාණේ කීප දෙනෙක් වත් දැනට ඉන්නවා. ළාබාල සිංහල බ්ලොග්කරුවො කීපදෙනෙක් ම ඉන්නවා. ඒත් ඉතින් අපි සිංහලෙන් වැඩ කරන්න පටන්ගන්න ඕනනේ. ඔයා දන්නවනෙ සාමාන්‍යයෙන් සිංහල පොත් (ඉතා ජනප්‍රිය නවකතායි පෙළ පොතුයි ඇර) දැන් පළ කරන්නෙ පිටපත් 500ත් 1000ත් අතර ගාණක්. එහෙම වෙන්නෙ මුද්‍රණ වියදම් වැඩිකමයි අලෙවිය අඩු වීමයි හින්දා. ඉතින් සමහර වෙලාවට මට කල්පනා වෙනවා ඇත්තට ම මේ දුප්පත් ලේඛකයින්ට මාසෙකට අඩුගාණෙ “හිට්ස්” 100 ක් වත් තියෙන වෙබ් අඩවි තිබුණ නං කොහොම ද කියලා. මම නං හරිම සුභවාදීයි අනාගතේ දී සිංහල ලේඛකයින්ට පාඨකයින් කරා ළං වෙන්න අන්තර්ජාලය වඩා හොඳ දොරටුවක් වෙයි කියලා.
“සිංහල කතාකරන ජනගහනය මිලියන 16කටත් වැඩියි. දවසින් දවස අන්තර්ජාලය පාවිච්චි කරන පිරිසත් වැඩි වෙනවා. අපි වැඩි වැඩියෙන් සිංහලෙන් අන්තර්ජාලයෙ වැඩ කරන්න ඕන ඒක(සිංහල අන්තර්ගතය) විශාල වෙන්නත් සිංහල පමණක් දන්න අයට පහසුවක් දැනෙන්නත්. සිංහලෙන් හොඳ ගුණාත්මක වෙබ් අන්තර්ගතයක් (web content) තදින් ම අවශ්‍ය වෙලයි තියෙන්නෙ. ඒක තමයි සිංහල කියවන බ්ලොග්අවකාශයක් ගොඩනැඟීමට අවශ්‍ය පළමු පියවර. මම නං මගේ අන්තර්ජාල ජීවිතේ බ්ලොග්කරණයට අමතරව හොඳ විකිපීඩියා පිටු කීපයක් වත් එකතු කරන්න උත්සාහ කරනවා.” (මාර්තු 26 හවස් වරුවේ සිදු වූ විද්‍යුත් ලිපි හුවමාරුවකින්)
ඒ වගේ ම ඒ වෙලාවෙ මගෙ හිතට ආපු තවත් දෙයක් තමයි අද කී දෙනෙක් තමුන්ගෙ අදහස් මුද්‍රිත මාධ්‍යයෙන් පළ කරගන්න බැරුව ඉන්නවද? පළ කරගන්න වෑයම් කරනවද? කීදෙනෙක් නම් පත්තරවල කර්තෘට ලියුම් තීරයට ලිපි එවනවද? කී දෙනෙක් නම් රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන්වලට ලිපි නිර්මාණ ආදිය එවනවද? සිංහලෙන් බ්ලොග්කරණය සහ අන්තර්ජාලකරණය පුළුල් වීම මගින් මේ බොහෝ හඬක් නැති අයට හඬක් ලැබෙන්න පටන්ගන්නවා අනිවාර්යයෙන් ම. අවස්ථාව තියෙනව නම්, කී දෙනෙක් නම් සිංහලෙන් මේක පාවිච්චි කරන්න පටන් ගනියිද!
අද උදේ කොත්තු ඔස්සේ මට හමු වුණු මේ ලිපිය හරහා ලැබුණු මේ වාර්තාව අපේ සාකච්ඡාවේ වස්තු විෂය සම්බන්ධ වෛෂයික තත්වය ගැන යම් ඉඟියක් ලබා දෙනවා. ඇත්තට ම ඒක මූලික ව අදහස් පළ කරන්නෙ ඉන්දියාව ගැන වුණාට කලාපීය තත්වය ගැනත් ලංකාව ගැනත් සංගණනය කෙරුණු දත්ත එයට ඇතුළත්.
මගේ පුද්ගලික තක්සේරුව සහ සුභවාදය කොයි හැටි වෙතත්, මම මොනවා හිතාගෙන හිටියත් මේ වාර්තාවට අනුව ලංකාවේ ජනගහනයෙන් 29%ක් අන්තර්ජාලය කියලා එකක් ගැන අහලා වත් නැතිලු! ඒ විතරක් නෙමෙයි ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නේ මුළු ජනගහනයෙන් 1% විතරයි ලු! හපොයි! මේක නම් ඇඟ හීතල වෙලා යන, ලොමු ඩැහැගැන්වෙන කතාවක්! මොන තරම් අසමාන ආකාරයකට ද සම්පත් බෙදී යන්නේ කියන එකට මේක තවත් හොඳ උදාහරණයක්. මම තව ටිකක් හොයල බැලුවා. ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් මේ ප්‍රතිශතය 2006 නොවැම්බර් වෙද්දී 69%ක් කියලයි වාර්තා වෙන්නේ. ඒත් ලෝක ජනගහනයෙන් අන්තර්ජාලය පරිහරණය කරන පිරිස සංඛ්‍යාත්මක ව වැඩි ආසියාවේ. ජනගහනයේ ප්‍රතිශතයක් හැටියට ඇමෙරිකානු මහාද්වීපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපය ඉදිරියෙන් ඉන්නවා.
මූලාශ්‍රය http://www.internetworldstats.com/stats.htm
ආසියානු තත්වය ඇතුළෙත් අගු පිලක තමයි ලංකාව තියෙන්නෙ. මම හිතන්නේ “ශ්‍රී ලාංකීය” බ්ලොග් අවකාශය සමන්විත වෙන්නේ බෙහෙවින් ම කොළඹ සහ පිටරටවල සිටින අයගෙන්. ඒ අය බොහෝ දෙනෙක් එක්කෝ සිංහල දන්නෙ නෑ, එහෙමත් නැත්නම් සිංහලෙන් ලියැවුණු දෙයක් කියවන්න උනන්දුව අඩුයි. ඒක ඇත්ත. අනිත් එක සිංහලෙන් එදිනෙදා වැඩකටයුතු කරන බහුතරයක් ජනතාව ජීවත් වෙන කොළඹ නොවන ප්‍රදේශවල තත්වය මොකක්ද? ගෘහස්ත මට්ටමින් ADSL වැනි පහසු ප්‍රවේශ මාර්ග තබා පොදු අන්තර්ජාල/සයිබර් කෝපි කඩ internet cafe/cyber cafe වත් තියෙන්නෙ නගර කීයෙන් කීයක ද? මහා සංවාරක පුරවරයක් ය කියන නුවර එළිය වගේ තැන්වල වුණත් තත්වය හරිම අසතුටුදායකයි. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ ජූලියන් මරෝ කියන සිත්තරාගෙ postcard from provence වෙබ් අඩෙවිය. ප්‍රංශයේ ප්රොවොන්ස් පෙදෙසේ ඔහුගේ ගමට ADSL පහසුකම් ලැබුණු වහාම ඔහු ඒ වෙබ් අඩෙවියේ අලෙවි කටයුතු පටන්ගත්තා. ඒ ප්දේශය හා සම්බන්ධ වස්තූන් ආදිය තමයි ඔහු සිතුවමට නගන්නෙ. ඉතා ඉහල මිල ගණන්වලට පැය කීපයක් ඇතුළත ඒ කෘති අලෙවි වෙනවා. මේ සියල්ල ජූලියන්ට කරන්න පුළුවන් වුණේ පහසු අන්තර්ජාල සම්බන්ධතාව මේ පර්යන්ත ප්‍රදේශයට ලැබුණ නිසයි.
අපේ රටෙත් වෙලාවකට සමහර දේශපාලකයො කයිවාරු ගහනවා නං තමයි “අන්තර්ජාලය ගමට ගෙනි යාම” “අන්තර්ජාලයට ගොවියා ගෙන යාම” ආදිය ගැන.
පසුගිය ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ “සංකල්පයක්” ය යි කී නැණසල නම් වූ ව්‍යාපෘතියක් ගැන මහා ඝෝෂාවක් නැඟුණා. ඒත් එක පාරක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් බදුල්ල පැත්තේ නැණසලක් විවෘත කරද්දී සිදු වුණු දෙයක් ගැන ආරංචියක් ජනමාධ්‍ය ඔස්සේ කියනවා මට මතකයි. මහින්ද රාජපක්ෂ නැණසලක් විවෘත කරලා පිට වෙනකොට ම නිලධාරියොත් පරිගණක ටික ගලවගෙන පස්සා දෙරෙන් ඊළඟ නැණසල මධ්‍යස්ථානෙට දුවනවලු ලොක්කටත් හොරෙන් එතන විවෘත කිරීම සූදානම් කරන්න. ඉතින් මේ වගේ පොත්ත මිස මදය නැති වැඩ නං අපේ රටේ ඇති පදමට තියෙනවා. ඇත්තට ම ලංකාවෙ මහා විශාල ව්‍යාපෘති හැටියට දියත් කරපු පරිගණක හා අන්තර්ජාල භාවිතය පුළුල් කිරීමේ ඊනියා වැඩසටහන්වලින් එකක් හරි ඒ සද්දෙ තරමට ක්‍රියාත්මක වුණා නම් තත්වය මීට වඩා අඩු ගාණේ සියයට දහයකින් වත් දියුණු වෙලා තියෙන්න යි ඕන. හැම ආණ්ඩුවකට ම තිබුණනෙ පම්පෝරියක් - ඡන්ද කාලෙට වත් - IT දියුණු කිරීම ගැන. ඒත් ඒවා පම්පෝරි මට්ටමේ විතරක් නතර වෙලා බවයි මට නම් පේන්නෙ. අනිත් එක සාමාන්‍ය හුදී ජනතාව මේ නූතන තාක්ෂණයෙන් සන්නද්ධ වීම ගැන ඊර්ෂ්යාපරවශ භීතියක් (හරියට “නිදහස්” අධ්‍යාපනය දෙනකොට, සර්වජන ඡන්දබලය ඇති කරනනොට තිබුණ විරෝධය වගේ) අපේ පාලකයින්ට තියෙනවද දන්නෙත් නෑ. මොනවා වුණත් මේ රට අඩු ගාණේ මේ පාලකයින් ම කියන අන්දමට නවීන ආයෝජනවලට විවෘත කරලා යම් මට්ටමක හෝ “සංවර්ධනයක්” ළඟා කරගන්නත් පරිගණක සාක්ෂරතාව නැතුව පුළුවන් වෙන්නෙ නෑ. අනිත් එක පරිගණක ජාලකරණය, අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් පෙළපොත් සහ ගුරු හිගය පැත්තෙන් ගත්තත් ආණ්ඩුවේ වියදම් අවම කරගැනීමේ වෑයමක් හැටියට යොදාගත හැකියි.
මට පෙනෙන විදිහට විවෘත මූල මෘදුකාංග නිපදවන පිරිස් (සිංහල ලිනක්ස් වැනි) සහ පෞද්ගලික වෙළඳ ව්‍යාපාරික අංශ මේ රටේ පරිගණක සාක්ෂරතාව හා භාවිතය පුළුල් කිරීමට ආණ්ඩුවලට වඩා ලොකු සේවයක් කරල තියෙනවා. ඇත්ත ඇත්ත, මේවගේ සුළු සුළු දේවල් ගැන ආණ්ඩුවට හිතන්න වෙලාවක් නෑනෙ නේ ද? යුද්ධ කරන්න තියෙනවනෙ…ඒව වැදගත් වැඩ… මේ අවුරුද්දෙ අධ්‍යාපනයෙන් තවත් පංගුවක් යුද්ධය වෙනුවෙන් කප්පාදු කරන්න පුළුවන් කරමට ඔය උත්සන්න වෙලා තියෙන්නෙ අසූ හාරදාහට ම!