මානව හිමිකම් ගැන වචනයක්
පසුගිය දිනවල මානව හිමිකම් ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා. ඇත්තට ම මානව හිමිකම් පිළිබඳ සාකච්ඡාව පුළුල් වීම ඉතා ම සාධනීය දෙයක් විදිහටයි මම දකින්නේ. ඒත් මේ වතාවේ සාකච්ඡාවේ දිශානතිය මොකක් ද? ප්‍රධාන වශයෙන් ම කෙරුණේ ජිනීවා හි දී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ලෝකයා දැනුවත් කිරීමට වෑයම් කළ උදවියට එරෙහි වෛර ව්‍යාපාරයක් දියත් වීම යි. ඔවුන් හුදෙකලා කොට අපරාධකරුවන් හැටියට හංවඩු ගැසීමට සහ එසේ මානව හිමිකම් ගැන කතා කිරීම “රජය අපහසුකාවට පත් කිරීමක්” ලෙස නම් කොට ඊට බැට දීමට ආණ්ඩුවත් ඔවුන්ට දර දිය අදින ජනමාධ්‍ය හා වෙනත් සංවිධානත් එකා වන් ව පෙළ ගැසුණා. මම නම් මේ වෛර ව්‍යාපාරය දකින්නේ අතිශයින් තිරශ්චීන (එනම් තිරිසන්) ව්‍යායාමයක් හැටියට යි.මේ වෛර ප්රචාරකයින් කියන විදිහට නම් මේ රටේ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන අහලා වත් නෑ වගේ! ඒත් සැබෑ තත්වය කුමක් ද? කොළඹ නගරය විතරක් ගත්තත් ඒක තනිකර මිලිටරි අපායක් බවට පත් වෙමිනුයි තියෙන්නේ. දෙමළ පුරවැසියෙකුට තමන්ගේ ආරක්ෂාව ගැන බියපත් නො වී කොළඹ තනි ව ගමනක් යන්න පුළුවන් ද? ත්‍රිකුණාමලය, මඩකලපුව හා යාපනය වැනි තැන් ගැන කවර කතා ද? කොළඹ නගරය තුළ පමණක් මිලිටරිය විසින් සතියකට කීයක් නම් පාතාලගත මෙහෙයුම් ක්‍රියාත්මක කරනවද? කීදෙනෙක් නම් අතුරුදහන් වෙනවද? කරුණා කල්ලිය හමුදාවේ ආශීර්වාදය ද සහිත ව රට පුරා දියත් කරන ච්ලේච්ඡ හයිකාරකම්වල නිමක් තියෙනවද? ඒ සියල්ල මධ්‍යයේ ජනමාධ්‍යවලට එරෙහි ව දියත් කරලා තියෙන මර්දනය එන්න එන්න ම තීව්ර වෙනවා. මව්බිම පුවත්පතේ සිද්ධිය තමයි ඊට තිබෙන ආසන්නතම උදාහරණය. මේ අතරවාරයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආණ්ඩුවට විරුද්ධ මත දරන දේශපාලන පක්ෂවල සාමාජිකයින් ත්‍රිවිධ හමුදාව විසින් ඝාතනය කොට හෝ අතුරුදහන් කොට නිහඬ කෙරෙනවා. ඉතින් ඕකයි ඇත්ත තත්වය. මීට එරෙහි ව හඬක් නගන අය නිශ්ශබ්ද කිරීමට වෑයම් කරන ආණ්ඩුව සහ එහි බලුගැත්තර සගයින් තමයි සැබෑ අපරාධකරුවෝ! මේ කටයුතුවලින් වක්‍ර ව ඇඟවෙන්නේ ඔවුන් මේ අපරාධ අනුමත කරන බවයි.
මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය උපයෝගී කරගනිමින් ලංකාවේ මානව හිමිනම් උල්ලංඝනය කිරීම්වලට එරෙහි උද්ඝෝෂණය දියත් කිරීමට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ගත් තීරණය අතිශයින් නිර්මාණාත්මක එකක්. එයට ප්‍රශංසා කළ යුතු යි. මේ වෛර ව්‍යාපාරය එයට එරෙහි වත් එල්ල වුණා. ඔවුන්ගේ තර්ක අතිශයින් ළාමක මට්ටමට ඇද වැටුණේ මෙතන දීයි. සමහරු චෝදනා කළේ මේක “ලංකාවට ලෝක කුසලානය අහිමි කිරීමේ කුමන්ත්‍රණයක්” හැටියටයි! මීටත් වඩා හාස්‍යජනක තත්වයකට පත් වෙන්න පුළුවන් ද? මහජනතාව මෝඩ ඔටුවො කියලද මේ අය හිතාගෙන ඉන්නේ? දින පතා මිනී මැරෙන, මිනිසුන් අතුරුදහන් කෙරෙන, ගුවනින් බිමින් යුද ප්‍රහාර ඇවිළ යන, මානව හිමිකම් තුට්ටු දෙකට වැටුණු මේ වගේ රටක වැදගත් වෙන්නේ ක්‍රිකට් ද මානව හිමිකම් ද? හැකි උපරිම අවධානය දිනා ගත හැකි මාර්ග පරිහරණය කරමින් මේ අරගලය ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය යි. දැනුවත් කිරීම සඳහා පාවිච්චි කෙරෙන්නේ ක්‍රිකට් තරග ද මහපාරවල් ද කියන එක නෙමෙයි වැදගත්.
ලංකාවේ මානව හිමිකම් තත්වය කෙරෙහි ජාත්‍යන්තර පරිමාණයේ අවධානයක් යොමු කිරීමට කටයුතු කළ පාර්ශ්වයන්ට එරෙහි ව දියත් කෙරුණු උසිගැන්වීම් හා වෛර ව්‍යාපාර හැකි උපරිම ශක්තියෙන් හෙළා දැකිය යුතු යි.