වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

භාෂා ව්‍යවහාරය, පරිණාමය හා සිංහල යුනිකෝඩ් : 1 කොටස

| Comments

සිංහල භාෂාවේ පරිණාමය හා ව්‍යවහාරය පැත්තෙන් මේ සාකච්ඡාවට කරුණු කීපයක් එකතු කිරීම, කොටස් වශයෙන් පළ වන මේ රචනයේ මූලික අභිප්‍රාය යි. මෙහි හැඳින්වීම මැයි 11 වැනි දා පළ වුණා. මේ බ්ලොග් එක අරඹද්දී තුන් හිතකවත් නොතිබුණු දෙයක් තමයි මෙවැනි විවාදයකට පටලැවීම. බ්ලොග්වලට හරියන අන්දමට කෙටියෙන් මේවා පැහැදිලි කරන එකත් මහ අමාරු වැඩක්. ඒත් දැන් ඩොනල්ඩ් ගාමිණීතිලක මහතා ජනාධිපතිවරයාට සහ ඔහුගේ ලේකම්වරයාටත් ලියා යවමින් දේශපාලකයන් ද මෙයට ඇදගෙන ඇති බැවින් ගැටලුව නව තලයකට පැමිණ තිබෙනවා. ඊට අමතරව සමරනායකට ගහන ගමන් රනිල් වික්‍රමසිංහට ද එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් බිම දමන විධික්‍රමයට අනුව පහර දෙන්න මොවුන් පටන්ගෙන තියෙන්නේ ආණ්ඩු පක්ෂය පැත්තෙන් මොනයම් ම හෝ සහයෝගයක් ගොනු කරගන්න හිතාගෙන කියලයි පැහැදිලිවම පේන්නෙ. දේශපාලනික සංවේදීත්වයක් ද ඇති ගැටලු සම්බන්ධයෙන් දේශපාලකයො තීරණ ගන්නේ විශේෂඥයින්ගෙන් විමසා නෙවෙයි. නිවැරදි දැනුමක් ඇතිවත් නෙවෙයි. දේශපාලන වාසි බලාගෙනයි. කොළඹ නගරය ජලයෙන් යට වීමේ පටන් පශ්චාත්-සුනාමි ව්‍යසනය ඇතුළු බොහෝ ව්‍යසනකාරී සිද්ධි මේ සඳහා උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. “භාෂා ප්‍රේමය”, “පැරණි සිංහල රැකීම”, “පාලි භාෂාව අධ්‍යයනය” ආදී සංකල්පත් පටලවාගෙන යන සටනක් නිසා ඩොනල්ඩ් මහතාගේ තර්ක වර්තමාන ආණ්ඩුවේ දේශපාලන පථය වන “සිංහල - බෞද්ධ” ගමන්මාර්ගයට ජාඩියට මූඩිය සේ සවි වීමට බොහෝ සෙයින් ඉඩ තියෙනවා. භාෂාව වර්ධනය වීමට තුඩු දෙනු වෙනුවට එය ආපස්සට අදින ව්‍යාකරණ රීතීන්, ඊනියා සිංහල හෝඩි, න, ණ, ල, ළ භේදය පිළිබඳ නිර්ණායක, සිංහල පිළිබඳ උපරි ආරෝපිත සම්මතයන්, ඉගැන්වීමේ ක්‍රම ආදිය පාසැල් පොත්වලට අතීතයේ ඇතුළත් වුණෙත් මේ රට පාලනය කළ දේශපාලකයින් ගත් මුග්ධ තීන්දුවල ප්‍රතිඵල හැටියටයි. “අකුරුවල මූලරූපය වෙනස් නොකර හල් කිරීම් සහ පාපිලි සමරූප කිරීම සම්බන්ධයෙන් වැදගත් යෝජනා වගයක් 1972 දී එනම්, දෙමළ අකුරු සමරූප කරන්න වසර හයකට පෙරාතුව ඉදිරිපත් උණා. ඒ උත්සාහය ලත් තැනම ලොප් කළේ ප්‍රතිගාමීත්වයයි. ඔවුන් රජයට කළ බලපෑම හේතුකොටගෙන පාලක දේශපාලකයෝ නව ක්‍රමයට තහංචි පැනෙව්වා… … 1968 දී පොළොන්නරු-දඹදෙණි බස උස්සන්නත් ඒකම ‘සම්මත සිංහලය’ බවට පත් කරන්නත් යල් පැන ගිය වියාකරණයක් රජයේ පාසැල් පොත් මගින් සිසු දරු දැරුයන්ගේ උගුරු දණ්ඩ දිගේ යවන්නත් ප්‍රතිගාමීත්වය උත්සාහ කළා. ඔවුන් එය කළේ රජය වර්ණනා කරමින් සහ එදා සිටි අධ්‍යාපන ඇමති ‘ජාතියේ පිනින් පහළ වූ’ බව කියමින්.” (තිලකසේන 1997 : 130 පිටුව) සිංහල යුනිකෝඩ් කොයි තරම් ශකිත්මත් හා නිවැරදි වුණත් යම් හෙයකින් සිංහල යුනිකෝඩ් පිළිබඳ දැනට නිකුත් ව ඇති සාධනීය දේශපාලන තීන්දු ආපසු හරවනු ලැබුණොත් - ජාතිකවාදී, ආගම්වාදී, ඊනියා භාෂා ප්‍රේමී කතාවලට සවන් දී වර්තමාන සිංහල යුනිකෝඩ් ප්‍රමිතිය රාජ්‍ය ආයතන, පාසැල් ආදියේ භාවිතයෙන් ඉවත් කෙරුණොත් අනවශ්‍ය ජංජාලයක සිංහල භාවිතා කරන හැමෝම පැටලෙන්න ඉඩ තියෙනවා. අපට නෑසූ කන් ඇති ව නුදුටු ඇස් ඇති ව ඉන්න හැකියාවක් නැහැ. ඒ නිසා හැකි සෑම කෙනෙක් ම හැකි සෑම ආකාරයකින් ම නැවත පැහැදිලි කරමින් සිංහල යුනිකෝඩ් පිළිබඳ යථාරූපී පිළිබිඹුවක් ලබාදීමට කටයුතු කළ යුතු යි. හොඳයි දැන් මාතෘකාවට යොමු වෙමු.

භාෂාව යනු සන්නිවේදන මෙවලමක් මිස වන්දනාමාන කරන සුරුවමක් නෙමෙයි. එය ආගමක් ද නෙවෙයි. එය උපත ලැබුවේ ම මානවයා ස්වභාවධර්මය ජයගැනීම උදෙසා සිදු කළ අනවරත අරගලයේ අවශ්‍යතාව තුළින්. සන්නිවේදනයට අවශ්‍ය මාධ්‍යයක් හැටියට.

1) යංශය, රේඵය, රකාරාංශය සහ බැඳි අකුරු දැන් තිබෙන ප්‍රමිතියට අනුව ලිවිය නොහැකි ද?
2) සම්භාව්‍ය සිංහල සාහිත්‍යය සහ පාලි සංස්කෘත භාෂා පිළිබඳ ගැටලුව

මේ දෙකම එකම ගැටලුවේ මුහුණුවර දෙකක්.

යම් කිසි ප්‍රශ්නයක් මතු වූ විට ප්‍රශ්නයට පිළිතුරු දීම ගැන උනන්දු වීම තරම් ම අදාළ ප්‍රශ්නය වැඩකට ඇති එකක් ද, අදාළත්වයක් තියෙනව ද, වලංගු ද කියලත් විමසා බැලීම වැදගත් වන අවස්ථා තියෙනවා. ඒ නිසා මම කැමතියි ඉස්සර වෙලා ම මේ යංශය, රේඵය ඇතුළු බැඳි අකුරු පිළිබඳ ප්‍රශ්නයේ අදට ඇති වලංගුතාව පරීක්ෂා කරන්න.

මගේ පුද්ගලික අදහස නම් යංශය, රේඵය, රකාරාංශය වගේ දේවල් සහ බැඳි අකුරු අද වන විට සහ අනාගතයේ දී කොහොමටත් සිංහල භාෂාවට අවශ්‍ය නොවන බව යි. ඒ ඇයි කියලා පැහැදිලි කිරීම මගේ යුතුකමක්. න්‍යායික ව ගත්තොත් ඒ අකුරු දැනටමත් සිංහල හෝඩියෙන් ඉවත් වෙලා හමාරයි. බැඳි අකුරු අවශ්‍ය වුණේ යම් හේතුවක් නිසා ද ඒ හේතුව/අවශ්‍යතාව අද ඉවත් ව ගොස් තිබෙනවා. ඉතිහාසයේ සෑම යුගයක ම පාහේ අක්ෂරවල හැඩය ප්‍රමාණය ආදිය නිර්ණය වුණේ කිසියම් “උතුම්” භාෂා ප්‍රේමීත්වයක් හෝ දිව්‍යමය නිර්ණායකයක් නිසා නොව ව්‍යවහාරය විසින් ඇති කරනු ලැබූ අවශ්‍යතාව නිසයි. සිංහල සේ ම මේ කලාපයේ අනිත් බොහෝ භාෂාවන් භාවිතා කරන අකුරුවල මුල බ්‍රාහ්මී අක්ෂරයි. ඒවායේ පරිණාමය විමසා බැලීම මෙතනට අදාළ නැති තරම් දීර්ඝ කාර්යයක්. සෙල් ලිපි මගින් සන්නිවේදනය කෙරුණු අවධියේ අක්ෂරවල ස්වරූපය ගලෙහි කැටයම් කිරීමේ පහසුව විසින් තීරණය කෙරුණා. ඒවා අද ‍තිබෙන අකුරු මෙන් රවුම් නෑ.


‍තෝනිගල සෙල් ලිපියේ අකුරු:
මේවාත් සිංහල. එහෙනම් ඇයි මේවත් යුනිකෝඩ්ගත කරන්න කියන්නෙ නැත්තෙ?

ඒත් පුස්කොළ පොත්වල දී තත්වය වෙනස්. පුස්කොළ පොත්වල ලිවීම පුළුල් ව සිදු වන අවධීන් වෙද්දී සෙල් ලිපිවල අක්ෂරත් වඩා රවුම් හැඩයක් ගනු නිරීක්ෂණය කරන්න පුළුවන්. පුස්කොළ පොත්වල ලිවීම සිදු කරන්නේ පන්හිඳ නමැති උපකරණය පාවිච්චි කරමින්. එමගින් පත්‍රයේ කිසියම් කාවැදුමක් ඇති කොට පසු ව කළු මැදීම මගින් කාවැදුණු අක්ෂරය පෙනෙන්න සලස්වනවා. පුස් කොළ ඉරෙන්නෙ නැතුව ලියන්න නම් තිරස් අතර(එනම් දිග අතට) ඉරි නො ඇඳ හැකි තාක් රවුම් හැඩයට ලිවීමත් අවශ්‍යයි. පන්හිඳ මගින් පුස්කොළය කපාගෙන යන පරිදි ලිවීමේ දී එක දිගට අකුරින් අකුර පන්හිඳ ඉවතට ගෙන යළිත් කාවැද්දීමට වඩා අකුරු කීපයක් එකට ලිවීම පහසුයි. ඒ නිසා ස්වරූපයෙන් ම යා කරන්න පහසු අකුරු දෙකක් හෝ තුනක් එකට බැඳ ලිවීම සම්ප්‍රදායක් බවට පත් වුණා. බැඳි අකුරු බිහි වුණා : අවශ්‍යතාව විසින් අකුරුත් ඒවාගේ හැඩයත් නිර්මාණය කෙරුණා. ඒ විතරක් නෙවෙයි දෙයාකාරයක හල් කිරීම්, විවිධ අකුරු සඳහා විවිධ පාපිලි යන මේවාත් අතින්, පන්හිඳ මගින් පුස්කොළවල ලිවීමේ අවශ්‍යතාව විසින් ඇති කළ දේවල්. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘති සහ පාලි පතපොත නූතන යුගයේ සංස්කාරකවරුන් අතට පත් ව මුද්‍රණය වන්ට පෙර සංරක්ෂිත ව පැවතියේ මෙන්න මේ මාධ්‍යය තුළ යි. ඒ නිසා ඒවායේ විවිධාකාරයේ බැඳි අකුරු තිබුණා. සංස්කෘත භාෂාවේ ඇතැම් වචනයක් ලිවීමේ දී අකුරු පහක් පවා එකට බඳින තැන් දකින්න පුළුවන්. ව්‍යාකරණඥයින් මේ අකුරු සංයෝගාක්ෂර කියා හැඳින්නුවා.(බලන්න, කුමාරතුංග මුනිදාසයේ ව්‍යාකරණ විවරණයේ පළමු පරිච්ඡේදය) මෙරට පැරණි සිංහල ලේඛකයින් හා වියතුන් මත පාලි හා සංස්කෘත භාෂාවන් බලපැවැත්වූ අධිකාරය ද මේ බැඳි අකුරු ඒ ආකාරයෙන් ම මුද්‍රරිත සිංහල පොත්වල යොදාගැනීමට හේතු වූවා විය හැකියි. නමුත් මේ බැඳි අකුරු ස්වාධීන පැවැත්මක් ඇති ශබ්ද නියෝජනය කළේ නැති බව ඒ පොත් සම්පාදනය කළ පඬිවරු දැන සිටියා. ඒ නිසා ඒවා “හෝඩිය” තුළ “නියෝජනය” වීමේ අවශ්‍යතාවක් පැන නැගුණේ නෑ.

මුද්‍රණ ශිල්පයේ ව්‍යාප්තියත් සමග බැඳි අකුරුවල තත්වය වෙනස් වුණා. මුල්ම මුද්‍රණ යන්ත්‍රවල අකුරු බැංකුවට බොහෝ බැඳි අකුරු ඇතුළත් වුණත්, කඩදාසිය හා මුද්‍රණ යන්ත්‍ර තුළ මේ අකුරු අවශ්‍යතාවක් වුණේ නෑ. මේ කාරණය අජිත් තිලකසේන මහතා මෙහෙම විස්තර කරනවා - “භාෂාව පිළිබඳ මිථ්‍යා මත වපුරන්නෝ අපිව ඍජුවම කැඳවන්නේ අතීතයට. ඉස්කෝල වියාකරණය තුළින්, රටේ කොතෙකුත් ඇති වියාකරණ පොත්වලින් හා භාෂා සම්මන්ත්‍රන මගින් නව පරපුර වෙත ‘නිවැරදි බස’ කාවද්දන්න පුළුවන් වෙයි යන ඔවුන්ගේ බලාපොරොත්තුව ‘නාඩි වාක්‍යයක්’ පමණයි. අතීතය කබල්ගෑමට ඔවුන්ගේ ඇති මනදොල මුද්‍රණ තාක්ෂණය සම්බන්ධ කොට මෙහෙම විමසමු.

“’ලයිනෝටයිප් නම් වූ කඩිනම් මුද්‍රණ ක්‍රමය ආවාට පස්සේ බැඳි අකුරු භාවිතයත් රේඵයත් ඇතැම් පැටලිලි අක්ෂර රූපත් අහක විසි උණා.

මුද්‍රණය කළ හැකි වූයේ ත්ව වශයෙනුත්

ර්ම වශයෙනුත්

දා ද්රි වශයෙනුත් හින්දා තත්වය, ධර්මය, උදාර, මුද්රිතය, ඉන්ද්රිය වැනි සරල අක්ෂර වින්‍යාසයක් භාවිතයට ආවා.

“මේක සලකන්න ඕනෑ පරිණාමයේ ඉදිරි පියවරක් හැටියට. මේ වෙනස ගැන මැසිවිලි නැගූ කෙනෙක් එදා හිටියේ නෑ. එහෙත් පරිගණක වර්ණයෝජනය ආවාට පස්සේ අතීතවාදීන් ක්‍රියාත්මක වෙලා ඔය අතුගෑවී ගිය ආකාර නැවත කැඳවාගත්තා…” (තිලකසේන 1997:)

ඔහුම මේ කරුණ තවත් තැනක පැහැදිලි කරන අන්දම බලමු -

“20 වන සියවසේ විද්‍යා තාක්ෂණික ජයග්‍රහණ ඔස්සේ වැඩිදියුණු වූ ටයිප්රයිටරය සහ මුද්‍රණ යන්ත්‍ර අප සතුව ඇතත් ඒවායේ වේගයෙන් නිසි ඵල ලබන්නට නුපුළුවන් වී ඇත්තේ අතිරික්ත අකුරු, දෙආකාරයක හල්කිරීම්, තුන් ආකාරයක පාපිලි, බැඳි අකුරු, රේඵය ආදී පුස්කොළය මත පන්හිඳින් ලිවීම සඳහා ප්‍රයෝජනවත්ව තිබුණු ලක්ෂණ කඩදාසි යුගයේ ද රඳවා තබාගැනීමට යත්න දැරීම නිසයි. බැඳි අකුරු ලිවීමේ ශ්‍රමය අඩු කළා. මුද්‍රණ යුගයේ දී ඒවා නැති ගැටලු ඇති කරනවා. සිංහල අකුරුවල අබල දුබල හැඩ මකා ඒවායේ කඩවසම වංශවත් කිරීමත් තව තවත් අක්ෂර වර්ග (type faces) නිර්මාණය කිරීමත් අද අවශ්‍යයෙන් කළ යුතු අනිත් වැඩයි.

“අතින් ඇමුණූ අකුරු භාවිත වූ මුල් යුගයේ කඩදාසිය මත ලියූ පිළිවෙලටම මුද්‍රණය කරගත හැකි උණා. පිලි ආදිය යෙදීමේ එක හැටියක් ඇති කරගැනීම අරභයා සැබෑ පිම්මක් පනින්න හැකි වූයේ මොනෝටයිප් ලයිනෝටයිප් ආදී කඩිනම් මුද්‍රණ යන්ත්‍ර භාවිතයට ආ විටයි. ඒවායේ

ආදී සංයුක්ත අක්ෂරත්

ආදී ආකාරත් මුද්රණය කළ හැකි වූයේ ට්ඨ, ද්ධ, ද්ව, ද්‍ය, ද්‍යු (හෝ ද්යු) ලෙස. එයින් බසේ කප්පාදු වීමක්වත් සැලකිය යුතු තරමේ වෙනස් වීමක්වත් නොව සිද්ධ වූයේ ඒ ඒ අක්ෂර සම්බන්ධයෙන් මාත්‍රාංශ යෙදීමේදී යම් පමණක හෝ සමරූපතාවක් ඇති වීමයි. මෙය එකල අකුරු සංකීර්ණත්වයේ සිට සරලත්වය දක්වා පරිණාමය වීමේ දී තැබූ ඉදිරි පියවරක් සේ සැලකිය යුතුයි. එහෙත් මුද්‍රණ ශිල්පය පරිගණක ක්‍රමයට අවතීර්ණ උණාට පස්සේ ඒ අහක විසි වුණු පැටලිලි ආකාර නැවත කැඳවා තිබෙනවා. ලිවීමට/මුද්‍රණයට උදව්වක් නොවන මෙවැනි පසුගාමී පියවරක් තැබීම සංවේගයට කරුණක්. මෙය සිද්ධ වන්නට ඇත්තේ අපේ ඇහැ දැනටමත් හුරු වී ඇති ඉහත දැක්වූ නව ආකාර හේතුකොටගෙන බස කප්පාදු වූවායි හිතූ පණ්ඩිත ගොල්ල භාෂාව පැත්තෙන් දුන් වැරදි උපදෙස් නිසා වෙන්න ඕනෑ …” (තිලකසේන 1991 : 46-47 පිටු)

නමුත් මේ නැවත කැඳවීමට ශ්‍රී ලංකාවේ සිටින සිංහලෙන් පොත් පත් ලියන, පාලි හා සංස්කෘත පිළිබඳ ප්‍රමාණික විද්වතුන් සිය භාෂා භාවිතයේ දී දක්වා ඇති ප්‍රතිචාරය ඩොනල්ඩ් මහතා වැනි අය නඟන අ‍‍ඳෝනාවට වඩා වෙනස්. ඔවුන් එක රොත්තට මේ රැල්ලත් එක්ක ආපහු ගියේ නෑ. එදිරිවීර සරච්චන්ද්‍ර, ජී. එස්. බී. සේනානායක, සුචරිත ගම්ලත්, ගුණපාල සේනාධීර, පී. බී මීගස්කුඹුර වැනි පත පොත, පුවත් පත සඟරා ආදී බොහෝ මාධ්‍ය මගින් නිතර ලිවීමේ යෙදුණු බොහෝ දෙනෙක් ක්‍රියාවෙන් ඔප්පු කොට පෙන්වා ඇත්තේ පාලි හා සංස්කෘත වචන සිංහලෙන් ලිවීමේ දී බැඳි අකුරු අත්හැරීම කිසිදු අපහසුතාවක් ජනනය කර නැති බව නේද? සංස්කෘත වචන බහුල පැරණි පොත්වල (සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘතිවල) විවිධ සංස්කරණ පසුගිය දශක කීපය තිස්සේ බිහිව තිබෙනවා. මේවායින් පළ වන ප්‍රවණතාව කුමක් ද? සංස්කාරකවරු එන්න එන්නම මුල් පුස්කොළ පොත්වල තිබුණු බැඳි අකුරු වෙනුවට වර්තමාන සිංහල භාෂාව එම සංස්කරණයන්ට යොදාගෙන තිබීමයි. උදාහරණයක් ලෙස මගේ පොත් රාක්කයෙන් පොත් ගනනාවක් ම ගෙන හැර පාන්න පුළුවනි. 1978 තරම් ඈත දී අධ්‍යාපන අමාත්‍යාංශය පළ කළ උම්මග්ග ජාතකය බලන්න. ඒකේ මේ කිසි ම බැඳි අකුරක් නෑ යංශයයි, රකාරාංශයයි ඇර. ඒත් භාෂාවට එයින් කිසිම හානියක් වෙලා නෑ. ඉතා හොඳ සංස්කරණයක්. අක්ෂර වින්‍යාසයත් සරලයි. අධ්‍යයනයටත් පහසුයි. එය සංස්කරණය කළේ සිංහල, පාලි හා සංස්කෘත යන භාෂාත්‍රයෙහි ම තෙරපත් විද්වතෙක් වුණු පණ්ඩිත ගුණපාල සේනාධීර. සිංහල පොත් ඇත්තටම කියවන අයට පුළුවන් තව දහසකුත් එකක් උදාහරණ දෙන්න.

සිංහලෙන් සංස්කෘත භාෂාව ඉගැන්වීම සඳහා පොත්පත් සකසන ඇතැම් වියතුන් ද මේ අනවශ්‍ය බැඳි අකුරු බරින් සම්පූර්ණයෙන් ම නැතත් යම් තාක් දුරකට හෝ නිදහස් වෙන්න වෑයම් කර ඇති අන්දම පණ්ඩිත රංජිත් වනරත්න සම්පාදනය කර ඇති සංස්කෘත ආදර්ශ ව්‍යාඛ්‍යා පොත් පෙළේ නව සංස්කරණ උඩින් පල්ලෙන් වුණත් බලන ඔනෑම කෙනෙකුට පේන දෙයක්.(බලන්න සංස්කෘත බාලාදර්ශය - වනරත්න ව්‍යාඛ්‍යා : සංශෝධිත ද්විතීය සංස්කරණය, සමයවර්ධන, කොළඹ - ඔහු පොතේ නම මත් ලියන්නේ වර්තමාන සිංහල අකුරින්) සිංහල බසින් ලියන කියන විට ප්‍රථම සහ මූලික නිර්ණායකය විය යුත්තේ සිංහල බසේ ම වර්ධනය හා පරිණාමය තුළින් මතු ව ආ රීතීන් මිස මියගිය භාෂාවල පැවති නීති නොවන බව ඒ භාෂා පරිහරණය කරන පුද්ගලයින්ට අවබෝධ වීම ස්වාභාවික දෙයක්. මහාචාර්ය සුචරිත ගම්ලත් ලියූ අධිකාරසම්පන්න කෘතියක් තමයි රසවාද විවරණය. දශක ගණනාවක් තිස්සේ ලංකාවේ විශ්ව විද්‍යාලවල භාවිතා වෙන පොතක් ඒක. එහි ඇතුළත් වෙන්නේ සංස්කෘත කාව්‍ය විචාරයේ ප්‍රමුඛස්ථානයක් හිමි රසවාදය නමැති න්‍යාය පිළිබඳ විමර්ශනයක්. එම න්‍යායේ සම්භවය, වර්ධනය හා පරිණාමය පැහැදිලි කරන කතුවරයා එය බටහිර රටවල පහළ වූ ඇතැම් න්‍යායන් සමග සැසඳීමක් ද කරනවා. ඊට අමතරව ගම්ලත් මහතා රසවාදය ගැන සිය නිගමන හා නිරීක්ෂණ ඉදිරිපත් කරනවා. මේ සියල්ල කෙරෙන්නේ ඔය හපොයි නැතුව බෑ කියලා ඩොනල්ඩ් වර්ගයේ අතිපණ්ඩිතයින් ඉල්ලා සිටින එක ද බැඳි අක්ෂරයක් හෝ නැතුවයි! ඒ තුළ සංස්කෘත පාඨ ඉදිරිපත් කෙරෙන්නේත් තනිකර ම සිංහල අකුරුවලින්. කිසිම භාෂා දූෂණයක් එතන සිද්ධ වෙලා නෑ. එම කතුවරයා ම නාට්‍ය ශාස්ත්‍රය නම් කෘතියේ රසවාදය පිළිබඳ පරිච්ඡේද දෙක සිංහලට නගා පළ කර දැන් වසර ගණනාවක් වෙනවා. එම කෘතියේ ම මහාචාර්ය වෝල්ටර් මාරසිංහගේ පරිවර්තනයකුත් තියෙනවා. ඒ පොත්වල අඩු තරමේ රේඵය වත් භාවිතා කරලා නෑ. යංශයයි රකාරාංශයයි විතරයි ඔය වර්ගයේ බැඳි අකුරුවලට තියෙන්නේ.

ඊට අමතරව අද වන විට විවිධ විෂයන් පිළිබඳ විවිධ මට්ටම්වල පොත්පත් මහා සම්භාරයක් සිංහලෙන් ලියැවිලා තියෙනවා. බර්ට්‍රන්ඩ් රසල්ගේ දාර්ශනික කෘතිවල සිට ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය දක්වා විශ්ව සාහිත්‍ය කෘති සිංහලයට නැගී තියෙනවා ඔය පුස්කොළ අකුරු වෙනුවට යංශය, හා රේඵය පමණක් සහිත නවීන සිංහල අකුරු යොදාගෙන. එයින් පේන්නේ ඕනෑම බැරෑරුම් සාහිත්යික කර්තව්‍යයක් සඳහා බැඳි අකුරින් තොර සිංහල බස ප්‍රමාණවත් බවයි. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සිංහලෙන් විවිධ විෂයන් ඉගැන්වීමට සහාය වනු පිණිස දශක ගණනාවක් තිස්සේ පළ කොට ඇති එක ද පාරිභාෂික පදමාලාවක වත් මේ යල් පිනූ බැඳි අකුරු ඇතුළත් කරගෙන නෑ යංශයයි රකාරාංශයයි ඇර. නමුත් මෑත කාලීන පොත්පත් වල “සාහිත්යික” වැනි සරල අක්ෂර වින්‍යාසයකින් යුතු පද යොදාගෙන රකාරාංශය හලා තිබෙනු දක්නට පුළුවන්. ඉතා ප්‍රගතිශීලී වැඩක්! මහාචාර්ය සිරි ගුනසිංහ ඉතා නිවැරදි ලෙස මේ පරිණාම ධර්මය ග්‍රහණය කරගත් අයෙක්. දැන් ඔහුගේ කිසිදු ශාස්ත්‍රීය ලේඛනයක යංශය හෝ රේඵය යොදාගන්නේ නෑ. ඔහුගේ මෑත කාලීන නවකතාව මන්දාරමත් ඒ වගෙයි. ඔහු උගන්වන විෂය සංස්කෘත. අජිත් තිලකසේන මහතා දැන් දශක ගණනාවක් තිස්සේ මේ සියලු පැරණි අක්ෂර හලා ඉවත් කළ, පිල්ලම් හා න-ල කාර සමරූපී කෙරුණු සිංහල බසින් නිර්මාණාත්මක කෘති සේ ම ශාස්ත්‍රීය ලේඛන ද සම්පාදනය කරමින් සි‍ටිනවා. මම මේ උදාහරණ දෙන්නේ මේ අයගේ ප්‍රතිරූපය හෝ මහාචාර්ය පට්ටම පෙන්නා මගේ තර්ක යුක්ති යුක්ත කරගන්න නෙවෙයි. ඔවුන් භාවිතයෙන් මේ කාරණා දිනපතා අපේ ඇස් පනාපිට සනාථ කරන අය නිසයි. මීට අමතරව දිනපතා පළ වන පුවත්පත්, රූපවාහිනී වැඩසටහන් ආදිය තුළත් මේ සරල අක්ෂර වින්‍යාසයට ඉඩ ලැබී ඇති බව පමණක් නෙවෙයි එයින් භාෂා විනාශයක් සිදුවී නැති බවත් සිංහල කියවන අයට පේනවා.

පාලි භාෂාව නම් කොහොමත් එක් එක් භාෂාවන්ට අයත් අකුරුවලින් ලියවෙනවා. “සබ්බ පාපස්ස අකරණං” කීවාම “පුබ්බේ නිවාසානුස්සති ඥානය” කීවාම ඕනෑම උපාසිකා මාතාවකට වුණත් වැටහෙනවා ඒක නිවැරදි බව. පුස්කොළ පොත්වල තමයි බැඳි අකුරු සහිත ව “සබ්බ බ යන්න” සහිතව ඒ වාක්‍ය ලීවේ. පරිගණකයෙනුත් ඒක කරන්න අවශ්‍ය නෑ. ලෝකයේ වෙනත් රටවල් ගණනාවකම දැනටමත් සිය භාෂාවේ පරිණාමයත් සමග පාලි භාෂාව ලිවීමට ද ඒ නව පරිණාමිත අක්ෂර රූප යොදාගන්නා බව පාලි භාෂාව ගැන උනන්දුවක් දක්වන කවුරුත් දන්නවා. මේ අකුරු පාලි භාෂාවේ අකුරු නෙවෙයි. එහෙම අකුරු ජාතියක් නෑ. අපි පාලි ලියන්නෙ සිංහල අකුරුවලින්, නැත්නම් ඉංග්‍රීසියෙන්. අද පාලි ලිවිය යුත්තේ අද ව්‍යවහාර වෙන සිංහල අකුරුවලින්. එච්චරයි. මේ බලන්න කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් අන්තර්ජාලයේ පාලි භාෂාව උගන්වන අපූරුව : http://www.gautamabuddha.org/pali_lesson_index.htm

පාලි භාෂාව ලිවීමේ දී සියම් (දැන් තායි) හෝඩියේ සිදු කෙරුණු සංශෝධන බලපෑ අන්දම දශක ගණනාවකට පෙර වැලිවිටියේ සෝරත හිමියන් විස්තර කළ අන්දම දැන් කියවමු.

“සියම් රටේ දැන් ව්‍යවහාර කරන්නේ පැරණි සියම් හෝඩිය නොවේ. පරණි සියම් හෝඩියේ සිංහල හෝඩියේ මෙන්ම අ, ඉ, උ ආදී වෙන් වෙන් වූ ස්වර රූප තිබුණු නමුත් දැන් තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමයකිනි. දැන් සියම් හෝඩියේ ඉ යන්න අ යන්නට ඉස්පිල්ල යෙදීමෙන්ද උයන්න අයන්නට පාපිල්ල යෙදීමෙන්ද එ යන්න අ යන්නට මුලින් කොම්බුව යෙදීමෙන්ද අඳුන්වන බව සියම් අකුරින් මුද්‍රිත පාලි පොත් කියවන හැමදෙනා දන්නා කරුණකි. එයින් මුද්‍රණ කාර්යයන්ට මහත් පහසුවක් විය. භාෂාවට ස්වල්ප වූ හෝ හානියක් නොවීය.” (වැලිවිටියේ සෝරත හිමි, සැළලිහිණි සංදේශ වර්ණනාව, 1956 - තිලකසේන (2004: 34 පිටුව)

මේ සියල්ල සලකා බලන විට යංශය, රකාරාංශය සහ පුස්කොළ පොත්වලින් උරුම වූ අනේක විධ බැඳි අකුරු ලිවීමට “බැරිකම” ගැන නගන මැසිවිලි හා ඒවා යුනිකෝඩ් පුවරුව තුළ ලියාපදිංචි කිරීම ගැන මතු කර ඇති ප්‍රශ්නය ම හර සුන්, අවලංගු එකක් බව පැහැදිලියි. ඒත් ඒ අකුරු යුනිකෝඩ් සිංහල නිසා ලියන්න බැරි වෙලා තියෙනවද?

දැනටමත් යුනිකෝඩ් සිංහල තුළ ඉවත් කළ යුතු, අනවශ්‍ය බරක් හැටියට සැලකිය යුතු බොහෝ දේ තියෙනවා. එය ම‍ගේ අවසන් ලිපියේ පැහැදිලි කරන්නම්. නමුත් එකක් කිව යුතුයි. සිංහල යුනිකෝඩ් සම්පාදක මණ්ඩලය ඉතා නිවැරදි හා සංවේදී අන්දමින් යංශය, රකාරාංශය හා රේඵය වෙනම අක්ෂර රූප හැටියට ලියාපදිංචි කිරීමෙන් වැළකී තිබෙනවා. නිර්භය, ඒ වගේම අනර්ඝ තීරණයක්! එහෙම වුණත් යුනිකෝඩ් සිංහලවලින් යංශය, රකාරාංශය, රේඵය හා බැඳි අකුරු ලියන්න බෑ කියන එක අසත්‍ය කතාවක්. හල් අකුරකට පසු ‘ය’ යන්න යෙදෙන විට ‘යංශය’ යෙදීමට පු‍ස්කොළ පොත්වල ලියූ උදවිය කටයුතු කළා. ඩොනල්ඩ් මහතාට අවශ්‍ය නම් එය ඒ ආකාරයට ම ටයිප් කරගත හැකි අන්දමට Windows XP Sinhala Pack එක නිර්මාණය වෙලා තියෙනවා. Vista කෙලින් ම ඒ සියල්ලෙන් සමන්විත ව වෙළඳපොලට එනවා. මා දන්නා තරමින් ලිනක්ස් අන් සියල්ලන්ට ම කලින් මේ අකුරු නිරූපණය කිරීමේ රෙන්ඩරිං ක්‍රමවේද නිපදවූවා. ඒ කටයුත්ත සඳහා යුනිකෝඩ් පුවරුව තුළ යංශය, රකාරාංශය, රේඵය හා බැඳි අකුරු එකක් නෑර ලියාපදිංචි කිරීම කිසි සේත් ම කළ යුතු නෑ. එහෙම ලියාපදිංචි කරන්න යනවා නම් නම් ඒක අපේ භාෂාවේ නිවැරදි ප්‍රමිතියටත් හානියක්. කිසිම කෙනෙක් අනාගතයේ දී මේ අකුරු භාවිතා කරාවි කියලා මම හිතන්නේ නෑ. කළත් ක්‍රමක්‍රමයෙන් එය අභාවයට යාම නියත බව භාෂා පරිණාමය මේ දක්වා නිරීක්ෂණය කළොත් පැහැදිලිව පේනවා. ඒත් කාට හරි අවශ්‍ය නම් ඒ අකුරු ලියන්න, ඒකට ඉඩ විවෘතයි. මම ඒක දන්නේ ප්‍රයෝගිකව මමම ලියා බලා ඒත්තුගෙන සිටින නිසයි. මට පරිගණක විද්‍යාව ඒ හැටි දැනුමක් නැතත්, අදාළ කීබෝඩ් ඩ්‍රයිවරයට මේ කටයුත්ත භාර දිය යුතු සහ භාර දිය හැකි බවයි පේන්නේ. රකාරාංශය ගැන කියන්න තියෙන්නෙත් ඒක මයි. මේවා විතරක් නෙවෙයි පුස්කොළ පොත්වල විතරක් තියෙන අනවශ්‍ය අංග බොහොමයක් මේ සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලියන්න පුළුවන්. විවිධ අක්ෂර වර්ග (font faces) නිපදවීම මගින් වඩා හැඩ වැඩ සහිතව මේවා ලියන්න පහසුකම් සලසන්න ඕනෑ කෙනෙකුට පුළුවන්. ඒත් මම කියන්නේ මේකට ඉඩ තැබීම මගින් අනවශ්‍ය අන්දමට භාෂා පරිණාමයේ පියවරක් පස්සට ඇදලා තියෙනවා කියලයි. කෘත්‍රිමව අපහු අද්දනවා වෙනුවට ඔවුන්ට තිබුණේ මේක කිසි සේත් ම කළ නොහැකි දෙයක් බවට පත් වෙන පරිදි මග අහුරන්නයි. මම දන්නෙ නම් නෑ ඒක කරන්නෙ කොහොමද කියලා. නමුත් එහෙම කරන්න පුළුවන් නම් ඒකෙන් නිකම් නන්නත්තාරේ යන ගමන් හරි සිංහලෙන් බැඳි අකුරු ලියවෙන එක නතර වෙනවා. සාධනීය අනාගත වර්ධනයන්ට ඉඩ විවර වෙනවා. බැඳි අකුරු සහිත පත පොත කෞතුක වස්තූන් සේ සංරක්ෂණය කළ යුතුයි, කළ හැකියි.

දැනටමත් සිංහල පැක් එක සමග එන යුනිකෝඩ් සංවේදී ‘දිනමිණ වෙබ්’ අක්ෂර වර්ගය මගින් මේ ආචීර්ණ කල්පික, පලකට නැති, කෞතුකාගාරගත කළ යුතු බැඳි අකුරු ලියාගන්න පුළුවන්. ඒත් බැරි වුණා නම් තමා හොඳ ;-) අලුත් අකුරු ඇතුළත් කර භාෂාව වර්ධනය කිරීමේ ඉඩකඩ හරස් කරගෙන දැනට මත් යතුරු පුවරුවේ විශාල ඉඩක් අරාගෙන ඔය අකුරු ඉන්න හැටි දකින්න අවශ්‍ය නම් කැරැක්ටර් මැප් එක විවෘත කරලා දිනමිණ වෙබ් අක්ෂරයේ “ඇතුළත” බලන්න. පරිගණක තාක්ෂණඥයින්ට අමතරව භාෂා පරිණාමය ගැන ලියන අය, වාග් විද්‍යාඥයින්, පුවත්පත් කලාවේදීන්, වෙළඳ දැන්වීම් සම්පාදකයින්, නිර්මාණාත්මක ලේඛකයින් හා පරිගණක වර්ණයෝජකයින් යන මේ පාර්ශ්වයන්ගෙන් ද විමසාබලා තීරණ ගත්තා නම් මෙවැනි අතීතගාමී අකුරු ඇතුළත් නොකර අක්ෂර වර්ග අනාගතවාදී ආකාරයෙන් සකසාගන්න තිබුණා.

මහින්ද රාජපක්ෂගේත් චන්ද්‍රිකා කුමාරතුංගගේත් නම් ඔය ඔබට පේන විදිහට ලීවාම හොඳටම ඇති. ඒක තමයි සිංහල. පුස්කොළ පොත් එන්නත් ඉස්සර රාජපක්ෂ කියලා ගලේ කෙටුවෙත් ඔය විදිහට තමයි ;-)

මතු සම්බන්ධයි.
මී ළඟට සියලු “අකුරු” ලියාපදිංචි කිරීම පිළිබඳ තර්කය විමසමු.

කියවීම්
තිලකසේන, අජිත්
1991, රැලි සුලි, කැලණිය: සමනල ප්‍රකාශකයෝ.
1997, අදට ඔබින බස, කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
2004, සිංහල අකුරුවල නව මුහුණුවර, කොළඹ: කැටපත ප්‍රකාශන.

පෙරේරා, තියඩෝර්. ජී
1992, සිංහල භාෂාව, කොළඹ: ගුණසේන.

මුනිදාස, කුමාරතුංග
1995, ව්‍යාකරණ විවරණය, කොළඹ: ගුණසේන.

http://anuradha-ratnaweera.blogspot.com/2006/03/is-sinhala-unicode-incomplete.html

පසුව එකතු කළ ඉල්ලීමක් - කරුණාකර මේ ලිපි පෙළ සඳහා පමණක් ඔබේ ප්‍රතිචාර සිංහල බසින් ලබා දෙන්න. ඔබ ඉංග්‍රීසියෙන් පිළිතුරු දෙන විට, ඔබේ අර්ථකථන මගේ අදහස් ලෙස ඔබ අතින් ලියැවෙන්න බොහෝ විට ඉඩ ඇති නිසා, එයින් ඉංග්‍රීසි පමණක් දන්නා පාඨකයකුට මුල් සිංහල ලිපිය ගැන සාවද්‍ය අවබෝධයක් ලැබීම වැළැක්වීම මේ ඉල්ලීමේ අරමුණයි. සියල්ල සිංහලෙන් පළ වූ විට ඔබේ ප්‍රතිචාර සහ මගේ ලිපිය සසඳා බලා නිගමනවලට ඒමට සාධාරණ ඉඩක් පාඨකයාට විවර වෙනවා නේ ද? ස්තුතියි.

සිංහල යතුරු පුවරුව තවම හුරු නැත්නම් පහත දැක්වෙන තැන්වලින් සහාය ලබාගන්න. එහෙමත් නැත්නම් පුවත්පත්වලට ලිපි යවන සමහරු කරන පරිදි පරිගණක වර්ණයෝජකයකුගේ සහාය ලබාගන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

“Thanks” to SLT, Apologies to My Readers, I’m Disconnected!

| Comments

මම පො‍රොන්දු වුණේ සිංහල යුනිකෝඩ් පිළිබඳ ලිපි අද පටන් පළ කරනවා කියලයි. ඒත් මගේ ලිපියේ අඩංගු රූප සටහන් එකක් වත් අප්ලෝඩ් කරගන්න බැරි වුණා අන්තර්ජාල සම්බන්ධතාවේ ගැටලුවක් හින්දා. එක දිගට විනාඩි දෙකතුනක් වත් සම්බන්ධවෙලා ඉන්න බෑ. මේක දැන් සති ගාණක ඉඳලා සැරින් සැරේ තියෙන ලෙඩක්. ටෙලිකොම් ආයතනයට‍ පැමිණිලි කළාට තවමත් වැඩක් වුණේ නෑ. මම මුල් ම පැමිණිල්ල දැම්මේ අප්‍රේල් 15 වෙනිදා. ඒ අයගේ “කාර්යක්ෂම බව” ගැන ලංකාවෙ ඉන්න හැමෝම දන්නවනෙ. මේ ප්‍රමාද දෝෂය ගැන මම ඔබෙන් සමාව ඉල්ලනවා. මම හැකි උපරිම උත්සාහය ගන්නවා ලංකාවෙ වෙලාවෙන් අද රෑ, එහෙමත් නැති නම් හෙට වන විට ලිපිය පළ කරන්න.

එතෙක් මෙන්න මට හමු වුණු රසබර වගේ ම හරබර සෙන් කතාවක්. ඒකත් ඉස්සර කාලෙ සිද්ධ වුණු විවාදයක් ගැන. සිංහල පරිවර්තනය අජිත් තිලකසේනගෙන්.

සෙන් පන්සලක වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් සමග බුද්ධ ධර්මය විෂයෙහි වාද කොට ජයගත්තොත් ඕනෑම ආගන්තුක භික්ෂුවකට ඒ පන්සලේ වාසය කරන්න පුළුවන්. පරාජය උනොත් එතනින් යා යුතුයි.

ජපානයේ උතුරු ප්‍රදේශයේ පන්සලක සහෝදර භික්ෂූන් දෙනමක් වාසය කළා. වැඩිමහල් භික්ෂුව උගතෙක්. තරුණ වියේ සිටි දෙවෙනියා මෝඩපහේ කෙනෙක් වූ අතර උන්නාන්සේගේ එක් ඇහැක් අන්ධව තිබුණා.

එක්තරා පරිබ්‍රාජක භික්ෂුවක් දිනක් එහි පැමිණ ලැගුමට අවසර පතා නියමානුකූල පරිදි ධර්මාන්විත වාදයකට අභියෝග කළා. පොත පත කියවීමෙන් වෙහෙසට පත්ව සිටි වැඩිමහල් භික්ෂුව තමා වෙනුවෙන් වාද කරන ලෙස තරුණ භික්ෂුවට නියම කළා.

“හැබැයි නිහඬ වාදයක් පවත්වන්න” වැඩිමහල් භික්ෂුව වැඩි පරිස්සමට කිව්වා.

ඉන්පසු මේ තරුණ භික්ෂුවත් ආගන්තුක භික්ෂුවත් විහාරගෙට පිවිස බිම වාඩි වුණා.

මඳ වේලාවකට පස්සේ ආගන්තුක භික්ෂුව වැඩිමහල් භික්ෂුව වෙත ගිහින් මෙහෙම කිව්වා.

“ඔබේ සහෝදර උන්නාන්සේ හරිම සූරයෙක් නෙ. එයා මාව පැරැද්දුවා.”

“වාදය මොකක්ද කියල මට කියන්න” වැඩිමහල් භික්ෂුව කිව්වා.

“මෙන්න මෙහෙමයි උනේ” කියලා ආගන්තුක භික්ෂුව කිව්වා. “මම බුද්ධ යන්න නිරූපණය කරන්න ඇඟිල්ලක් ඉස්සුවා. එතකොට එයා බුද්ධ, ධම්ම දෙක අඟවන්න ඇඟිලි දෙකක් පෙන්නුවා. මම එතකොට බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයම නිරූපණය කරන්න ඇඟිලි තුනක් ඉස්සුවා. එතකොට එයා ඒ රත්නත්‍රය එකම සර්වඥතාඥානයේ ප්‍රතිඵලයක් බව පෙන්නන්න අත මිට මොළවලා මගේ මූණට තිබ්බා. ඔය විදිහට එයා වාදෙන් දිනපු හින්දා මට තවත් මෙහෙ ඉන්න අයිතිවාසිකමක් නෑ.”

එසේ කියා ආගන්තුක භික්ෂුව යන්ට ගියා.

මඳ වේලාවකට පස්සේ “කෝ අර මිනිහා” කියා අසමින් තරුණ භික්ෂුව වැඩිමහල් භික්ෂුව වෙත දුවගෙන ආවා.

“ඔය තැන වාදයෙන් දිනුවයි කියල ආරංචියි.”

“දිනුව තමා! ඌට හොඳවායින් පාරක් දෙන්න ඕනෑ.”

“වාදෙ කළේ මොකක් ගැනද?”

“ඇයි මාව දැක්ක හැටියෙ මේ මිනිහා මට එක ඇහැයි තියෙන්නෙ කියල නින්දා කරන්න එක ඇඟිල්ලක් ඉස්සුවා. ඒ උණත්‍ මිනිහ ආගන්තුකයෙක් නිසා මම තරහ ගන්නෙ නැතුව එයාට ඇස් දෙකක් තියෙන එක ගැන ප්‍රශංසා කරන්න මම ඇඟිලි දෙකක් ඉස්සුවා. එතකොට කිසි නිරිත්තමක් නැති මේ කාලකණ්ණියා අපි දෙන්නටම තියෙන්නෙ ඇස් තුනයි කියන්න ඇඟිලි තුනක් ඉස්සුවා. එතෙන්දි මට හොඳටම කේන්ති ගිහින් අත මිට මොළවලා උගෙ හොම්බට එකක් ඇන්නා. ඒ ගමන් මිනිහා පැනලා දිව්වා.”

From ZEN FLESH, ZEN BONES: A Collection of Zen & Pre-Zen writing compiled by Paul Reps(1957) Tokyo, Japan
සිංහල පරිවර්තනය අජිත් තිලකසේන. රැලි සුලි සංයුක්ත කාව්‍ය සංග්‍රහයේ උපග්‍රන්ථයෙන් (1991 අප්‍රේල්, සමනල ප්‍රකාශකයෝ, කැලණිය.)

සිංහල යුනිකෝඩ් : භාෂා ව්‍යවහාරයේ හා පරිණාමයේ දෘෂ්ටිකෝණයෙන් කෙරෙන ඇගැයුමක්

| Comments

හැඳින්වීම

යුනිකෝඩ් සිංහල පිළිබඳ සාකච්ඡාව යළිත් වරක් ඇවිළ ගිහින්. මම දැන් දින කීපයක් තිස්සේ 2004 පමණ පටන් පළ වූ විවිධාකාර ලේඛන යළි කියවමින් අධ්‍යයනය කරමිනුයි ඉන්නේ. මට නිරීක්ෂණය කරන්න ලැබුණු දෙයක් තමයි මේ විවාදය තුළ තාක්ෂණික පාර්ශ්වයෙන් බොහෝ කරුණු කාරණා ඉදිරිපත් වුණත් සිංහල භාෂා භාවිතය පැත්තෙන්, භාෂාවේ පරිණාමය පැත්තෙන් සංවේදී ව කෙරුණු සලකා බැලීම් ඉතා අඩු බව. එයට හේතුව වෙන්න ඇත්තේ සිංහල භාෂාව ඇත්තට ම දෛනික හා වෘත්තීය ජීවිතයේ දී යොදාගන්නා අයගෙන් තොරව මේ සාකච්ඡා සිදු වීම වෙන්න පුළුවන්. ඒ නිසා ම සිංහල භාෂාව භාවිතා කරන උදවියට අතිශයින් තීරණාත්මක අන්දමින් අනාගතයේ දී බලපෑමට නියමිත ප්‍රශ්නයක් ගැන සිදු වූ මේ සාකච්ඡාව ගැන සිංහල බසින් අන්තර්ජාලයේ පළ වෙලා තියෙන්නෙත් වචන ස්වල්පයක් පමණයි. මම දැක්කා ඩොනල්ඩ් ගාමිණීතිලක මහතා මෙන් ම තවත් බොහෝ නාමික සහ නිර්නාමික පුද්ගලයින් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය විතරක් නෙවෙයි පාලි, සංස්කෘත යන භාෂාත් මේ සංවාදයට පටලවාගෙන තියෙනවා. හැබැයි මේ එක්කෙනෙක් වත් මේ එක ද භාෂාවක් හෝ භාවිතා කරන බවක් හෝ දන්නා බවක් නම් මට පෙනුණේ නෑ. ඊයේ රාත්‍රියේ ඩොනල්ඩ් මහතාගෙන් ලැබුණු ඊ මේල් පණිවිඩයක දැක්වෙන පරිදි සියලු අකුරු SLSI හි ලියාපදිංචි නොකිරීම පාලි භාෂා අධ්‍යයනයටත් බලපා තිබෙනවලු. හොඳයි, අපි පාලි විතරක් නෙවෙයි සංස්කෘත භාෂාව ද විධිමත් ව සාකච්ඡා කරමින් විමර්ශනයක යෙදෙමු. මේ කතාවලට පදනමක් තියෙනවා ද නැද්ද යන්න පරීක්ෂා කරමු. නමුත් එය මේ ලේඛනයේ අප්‍රධාන අරමුණක්. සියල්ලට ම කලින් සිංහල භාෂාවේ දෘෂ්ටිකෝණයෙන් සාකච්ඡාව ආරම්භ කරමු. මගේ අනුමාතෘකා වෙන්නේ මෙන්න මේවා.

1) යංශය, රේඵය, රකාරාංශය හා බැඳි අකුරු දැන් තිබෙන ප්‍රමිතියට අනුව ලිවිය නොහැකි ද?
2) සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, පාලි හා සංස්කෘත භාෂා සහ බැඳි අකුරු පිළිබඳ ගැටලුව (ජනාධිපතිවරයාගේ නම ලිවීම පිළිබඳ ගැටලුව කියලා කියන්නත් පුළුවන් ;-)
3) සියලු “අකුරු” ලියාපදිංචි කිරීම අවශ්‍ය ද? එනම් සිංහල යුනිකෝඩ්, ඩොනල්ඩ් මහතා දක්වන අර්ථයෙන් අසම්පූර්ණ ද?
4) තාක්ෂණික දුෂ්කරතා සහ යුනි‍කෝඩ්වල ඇතැයි කියන “දෝෂ” - පරිගණක තාක්ෂණ ක්ෂේත්‍රයෙන් පිටස්තර සිංහල ලේඛකයකුගේ ධාරණා හා ආලෝචනා
4) සිංහල යුනිකෝඩ්, සිංහල භාෂා ව්‍යවහාරයේ හා පරිණාමයේ ඇසින් තක්සේරු කිරීමක්

ලිපි පෙළ ලබන සඳුදා පටන් කොටස් වශයෙන් පළ වේවි. මම ලියන්නෙ සිංහලෙන්, සිංහල දන්න අයගේ ප්‍රයෝජනය උදෙසා, වර්තමාන සිංහල භාෂාවේ ව්‍යාකරණයෙන්. එසේ ම ශාස්ත්‍රීය ප්‍රවිශ්ටය රැක ගන්නා නමුත් සාමාන්‍ය සිංහල පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි ශෛලියකින් ලියන්නත් මම වෑයම් කරනවා. මේවා බ්ලොග් සටහන් හැටියට පළ වන නිසා කුඩා කොටස්වලට කඩා පළ කිරීම මගින් කියවීමට මෙන් ම සාකච්ඡාවට ද පහසුවක් ඇති කරනු ඇතැයි මම කල්පනා කරනවා. මෙන්න විවාදයට පාත්‍ර ව ඇති සිංහල යුනිකෝඩ් පුවරුව.

රූපය විශාල කිරීමට එය මත ක්ලික් කරන්න

ඛේදජනක අතුරු මාවත්වල සාකච්ඡාව ගමන් කිරීම වැළැක්වීම පිණිස අද “නිදහස්” අදහස්වලට (comments) ඉඩ දීලා නෑ. ඔබේ අදහස් හදිසි නො වී සන්සුන් ව විද්‍යුත් තැපෑලෙන් එවන්න. මගේ අවධානයට ලක් විය යුතු යයි ඔබට සිතෙන ලිපි ලේඛන තියෙනවා නම් ඒවාත් එවන්න.

Attention! People Who Know Both Sinhala Language and Unicode: Please Help

| Comments

UPDATE : this problem was solved, thanks to the comments I received. topic is closed

Actually this is not what I wanted to post today. I was writing something else about Sinhala language, Unicode and blogging. However, I received few surprises via e-mail. A remarkable coincidence! So I opted to hold back my entry and share this with you. I invite all the better-informed people to enlighten me on this subject.

This e-mails was sent by Mr. Donald Gaminitillake after seeing one of my previous posts වැරැද්දක් ද? නැත්නම් හැටි ද? in which I expressed my concern over some problems related to the way Sinhala characters are displayed on various computers. According to Mr. Gaminitillake it’s the fault of current Sinhala Unicode standards. I’ve seen Mr.Donald Gaminitillake arguing against current Sinhala Unicode on Anuradha Ratnaweera’s blog.

This is the e-mail I got (I’m reproducing it with his permission)

———- message begins———-
From: Donald Gaminitilake
Date: May 7, 2007 2:03 PM
Subject: re alochana
To: Anandawardhana

http://www.flickr.com/photos/7528191@N04/

Please see the first image SLSI1134. This is what a unicode sinhala has. the Computer display according to the Unicode sinhala or SLSI1134. If we had registered all the Sinhala characters in the SLSI this will never happen.

++++++++++

I have enclosed the two images for you.



A Unicode font only have the registered number of characters or AKURU

That is why I object to Sinhala Unicode saying it is incomplete and incorrect

We got to correct the Standard.

Donald Gaminitillake

———- message ends———-

Before responding, I did my homework. Last night I reread

What is Sinhala Unicode?(Pdf)
Rendering Unicode Sinhala Characters(Pdf)
Is Sinhala Unicode Incomplete?
GNU/Linux debate
සිංහල යුනිකෝඩි පෙර පාසැල
http://www.unicode.org/review/pr-96.html
http://www.sinhalaunicode.org/
and of course Mr.Gaminitillake’s Akuru.org

As Donald shows us, this is what he’s able to see.



But I see perfect Sinhala on my monitor. Here’s what I see. (click image to enlarge)



Can somebody explain the reason for this difference? I don’t agree with Donald at all when he proposes to include all possible characters in the alphabet to the SLSI. Please see Anuradha Ratnaweera’s post for explanations. Currently, I fully agree with Anuradha and hope to post another blog entry explaining why. I completely reject the outrageous and unethical propaganda campaign carried out by Donald and his associates against veteran intellectual Prof V.K Samaranayake and the Sinhala Unicode project. Yes, we all love Sinhala language, but there should be a proper logic and convincing approach if one wants his ideas and concepts to be accepted. What they have done is absolutely disgusting. Well, that’s a different story and I will express my views on that in separate post. I wrote this in English because Mr. Gaminitillake might probably claim that he can’t read Unicode Sinhala.

වර්ගවාදී වාර්තාකරණය

| Comments

පුරුෂෝත්තමවාදී ජනමාධ්‍යකරණය ගැන ලියූ සටහන කියවපු මගේ මිතුරෙක් මට තවත් කාරණයක් සිහිපත් කර දුන්නා. ඒ තමයි වර්ගවාදී වාර්තාකරණය. මේ ගැන අපි බොහෝ වෙලාවට ඉතා කණස්සල්ලෙන් සාකච්ඡා කර තිබෙන නිසා ඒ ගැන අපි අතර එකඟතාවක් තිබුණා.

ඔබ දැකල තියෙනව නේද ලංකාදීප, දිවයින, දිනමිණ වගේ ප්රධාන පෙළේ සිංහල පත්තරවල හොරමැරකම්, වංචා දූෂණ ආදිය වාර්තා කෙරෙන අන්දම? මට අහඹු නියැදියක් ඕනෑම තැනකින් තෝරාගෙන මේ තර්කය සනාථ කරන්න පුළුවන්. ඒ තමයි අදාළ පුවතේ විත්තිකාර/සැකකාර පාර්ශ්වය දෙමළ හෝ මුස්ලිම් නම් ඔහුගේ හෝ ඇයගේ ජනවර්ගය ඉතා තදින් අවධාරණය කිරීම. මෙන්න එක උදාහරණයක් - “බැංකු සොරකමට මුස්ලිම් ජාතිකයෙක් ඇතුළු 7 ක් දැලේ”. අනිත් හය දෙනා පිටසක්වල ජීවියො ද නැත්නම් ආකාසට්ඨ දේවතාවොද දන්නෙ නෑ හැබැයි එක්කෙනෙක් නම් මුස්ලිම් බව මේ වාර්තාකරු අපට කියනවා. හරියට මුස්ලිම් වීම සහ හොරකම අතර සම්බන්ධයක් තියෙනවා වගේ. තවත් මේ අන්දමේ සිරස්තල ගණනාවක් මට හොයාගන්න පුළුවන් වුණා පත්තර ගොඩක් අවුස්සද්දී - “කතකට අතවර කළ මුස්ලිම් ජාතිකයා අතුරුදන්”, “කොටුව දුම්රිය ස්ථානයේ ගැටකැපූ දෙමළ තරුණයා පොලිස් අත්අඩංගුවට” “හොර නෝට්ටු මුද්රණය කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් සහ ද්රවිඩ ජාතිකයෙකුත්”… … …

තවත් සිද්ධියක් මට මතක් වෙනවා. එක්තරා ළාබාල පාසැල් ශිෂ්‍යයෙක් පොතක් ලියලා පළ කරලා, සිංහලෙන්. හරි ම සිත්ගන්නා, වැදගත් අවස්ථාවක්. ඒ ගැන පළ වූ වාර්තාවේ සම්පූර්ණයෙන් ම හුවා දැක්වුණේ “මුස්ලිම් දරුවෙක් වෙලත් මේ ශිෂ්‍යයා කර තිබෙන කටයුත්ත ආදර්ශවත්” ය යන ඊනියා තර්කය යි. හරි ම අරුම පුදුම කතාවක් නෙ මේක! මෙතන තියෙන්නෙත් අර වගේ ම වර්ගවාදී ප්රවිශ්ටයක්. ඒ ශිෂ්‍යයාගෙ නම දැක්කාම කාට වුණත් ජනවර්ගය සිතාගන්න පුළුවන් වුණත් ඒ අවස්ථාවේ ධර්ම දේශනා කරපු භික්ෂුවකුත් පුන පුනා අවධාරණය කර තිබුණේ ඒ ශිෂ්‍යයා ලියූ පො‍තේ අන්තර්ගතය හෝ අදාළ විෂයක්ෂේත්රය පිළිබඳ කිසිවක් නෙවෙයි, අදාළ සිසුවා මුස්ලිම් වීමයි. ප්රවීණ ගීත රචක සහ ලේඛක නිලාර් එන්. කාසිම් ක්ෂේත්රයට අවතීර්ණ වෙමින් හිටිය වකවානුවේ දී ඔහු පිළිබඳ ලියූ කියූ උදවියත් මේ වගේ ක්රමයක් තමයි අනුගමනය කළේ. හරියට ඔහු මුස්ලිම් නිසා නිලාර්ව “බෞතීස්ම” කොට සිංහල ලේඛක සමාජයට වැද්දගැනීමේ පොල්මඃකාර අයිතිය කියෙන්නෙ මේ සිංහල ලේඛකයින්ට වගේ! දැන් කවුරු හරි අහන්න පුළුවන් ඉතින් මේ දෙවෙනියට දක්වලා තියෙන අවස්ථාවල සානුකම්පිත අනුග්රහශීලී ආකාරයට නේ ද “සුළුජාතීන්” දිහා බලලා තියෙන්නෙ, ඉතින් ඒකෙ වැරැද්ද මොකක් ද කියලා. මම අහනවා, අහවල් දේකට ද කෙනෙකුට තමන්ගෙ ජාතිය හෝ ජනවර්ගය නිසා අනුකම්පා සහගත අනුග්රහයක් ලැබිය යුතු? ඒක ඔවුන් දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස නම් කිරීමක් නෙමෙයි ද? එහෙම තත්වයක් තියෙනව නම් ඒකත් වර්ගවාදයේ ම ප්රතිඵලයක් නෙමෙයි ද?

(ඉහත පාසැල් ශිෂ්‍යයාගේ සිද්ධියේ වැඩි විස්තර පළ නොකළේ එහෙම කළා නම් තවත් වරක් ඔහු ව වාර්ගික පදනම මත අපහසුතාවට පත් වේ ය යි මට සිතුණු නිසයි.)