වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

දත කාගෙන රකිමු “අපේ” ලංකා…

| Comments

සංස්කෘතිය රකින්න, “අපේ” කම රකින්න දත කාගෙන බෙරිහන් දීගෙන ජනගඟ පෙරට යන(පෙරට දක්කන) කාලයක් නෙ මේක. ඕනැ මඟුලක් ගත්තොත් අපේ කම තමයි ඉස්සරහට දාන්නෙ. කසාදයක් බැන්දත්, විනෝද ගමනක් ගියත්, බජව්වක් දැම්මත්, පොතක් පතක් ලීවත් නාට්‍යයක් - චිත්‍රපටියක් හැදුවත් ඊනියා අපේකම ගැන තමයි හොයන්නෙ. බැරි වෙලා හරි මේ “අපේ කම” නොතිබ්බොත් ඉවරයි. ඒ කටයුත්ත තහනම් වෙලා හරි අදාල පුද්ගලයා රටිනුත් පන්නලා හරි තමයි කෙලවර වෙන්නෙ. අමුම අමු ජාතික චින්තනයකින් පලිප්පු ලන ලද අපේ කමක්! මේ අපේ කමයි “සංස්කෘතියයි” අරගෙන පෙරහරේ යන කවුරුහරි නවත්තලා ඇහැව්වොත් මොකක්ද ඔය අපේකම? මොකක්ද ඔය සංස්කෘතිය කියලා, දෙන්න පැහැදිලි පිලිතුරකුත් නෑ. සමහර විට මේ අපේ කම බලය දරන අයගේ දෘශ්ටිවාදය අනුව වෙනස් වෙනවා. ඒ අනුව එක “අපේ කමක්” අවුරුදු හයක් නැතහොත් දොලහක් පවතින්න පුලුවන්! මේ සියල්ල සලකා බලා අතිශය නිවැරදි ලෙස කීවොත් අද දවසේ අපේකම වනාහි අද දවසේ අපේ “චින්තනයයි”! (ඔව් ඔව්, මම මේ කතා කරන්නෙ “අර” චින්තනේ ගැන තමා!) එයට අනුකූල නොවන සුලඟක් වත් හමන්න බෑ! එයට විරුද්ධ එක අකුරක් (අක්ශරයක්/අක්ෂරයක්!!!) ලියන්න බෑ. මොක ද අපේ කමට හානියක් වන නිසා! ඉතින් එක අතකට මේ “අපේ කම” මේ තරම් ම දුර්වල දෙයක් ද කියලත් වෙලාවකට හිතෙනවා. මොකද එක අකුරක් දෙකකින් චිත්‍රපටයකින් ෆියුස් යන්න තරම් පන නැති අපේ කමක් තමයි ඒක. බොහෝම ඉස්සර කාලෙ තිබුනා දෙයක් කන්‍යාභාවය කියලා. ඒකත් ටිකක් මේ වගේ. කොයි හැටි වෙතත්, මේ අපේ කම අවුරුදු හයක් එහෙමත් නැත්නම් දොලහක් විතර තිබිලා අපිට ආයෙත් අලුත් අපේ කමක් ලැබේවි. රෙදි කලිසම් ආදියත් ඇඳගෙන ඒ අපේකම රකින්නත් කට්ටියක් සැදී පැහැදී ඉඳීවි.

පුරාන පත පොත සංස්කරනය හා “අපේ කම”
දැන් මේ සැලලිහිනිය හා වෙනත් පුරාන පතපොත අන්තර්ජාලය සඳහා සංස්කරනය කිරීම ගැනත් සමහරු එහෙම දේවල් කියනවා - ‘අපේ දේවල් සංරක්ශනය කරන එක, අපේ දේවල් “ජාත්‍යන්තරයට ගෙනියන එක” කොච්චර වටිනවද? ජාතික සේවයක්! අපේකම ඉස්මතු වෙන විදිහට මේක කරන්න’ කියලත් සමහරු උපදෙස් දෙනවා. මට නං කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේවා ඔයගොල්ලන්ගෙ දේවල් වෙන්න පුලුවන්. ඒත් ඊටත් වඩා මේවා මානව සංහතියේ උරුම. මම නං කාගෙවත් අපේ කම් රකින්න ඉදිරිපත් වුන කෙනෙක් නෙවෙයි. මට ඔය ඊනියා අපේ දේවල් ලෝකයට එරෙහිව පෙලගස්සන්න අවශ්‍යතාවක් ඇත්තෙත් නෑ. මම දන්න අපේ කම මෙන්න මෙහෙමයි : මට තොටගමුවෙ රාහුල හාමුදුරුවොත් අපේ, ඩී එච් ලෝරන්ස් උන්නැහෙත් අපේ. ශේක්ස්පියරුත් අපේ. මාක් ට්වේනුත් අපේ, මාර්ටින් වික්‍රමසිංහත් අපේ. ඇයි කාලිදාස? උන්නැහෙත් අපේ! කවුරු හරි උත්සාහ කරනවා නම් අපේ දේවල් කියලා හංවඩු ගහලා මේ දූපත ඇතුලෙ බිහි වුනු සංස්කෘතික ප්‍රපංච, නිර්මාන ආදිය ලෝකයට එරෙහිව පෙලගස්සන්න ඒක අන්තිම අමනෝඥ, සංස්කෘතියෙන් තොර වැඩක් හැටියටයි මම දකින්නෙ. එයින් සංස්කෘතික දරිද්‍රතාවක් සහ අත්තනෝමතික ලිං මැඩි මනෝගතියක් වගාදිගා කෙරෙනවා මිස සිද්ධ වෙන කිසිම සේවයක් නැහැ. මම මේ දේවල් කරන්නේ සිංහලයෙක් හැටියට හෝ බෞද්ධයෙක් හැටියට නෙවෙයි. මම ඔය දෙකෙන් එකක වත් දෘශ්ටිකෝනයෙන් වැඩ කරන්නෙ නැහැ. ඔබේ ජාතික(මහින්ද) චින්තනය සමග මට ඇති කිසිම පොදු බවක් නැහැ. ඔන්න මගේ “අපේ කම”!

හොඳයි දැන් කවුද මේ අපි?

තිස්ස රනසිංහගෙන් මූර්ති දැක්මක්

| Comments

තිස්ස රනසිංහගේ මූර්ති දැක්මක් තියෙන බව ආරංචි වෙද්දී මම කියවමින් හිටියේ මාර්ටින් වික්‍රමසිංහ ලියූ පැරනි ලිපි එකතුවක්. හරිම අහඹු සිදුවීමක්(coincidence)! එහි මෙහෙම සඳහනකුත් තියෙනවා :
“අප රට හොඳ කලාකාරයෙකුට ශ්‍රේෂ්ඨ ස්ථානයට නගින්නට ලැබෙන්නේ ඇනුම්, බැණුම් අසමින් මුල්ලකට වී දුක සේ වැඩ කළහොත් පමණි. එසේ වැඩ කොට කිසියම් සැලකිල්ලක් ලාභයක් ලබන්නට වූ විට ඔහු අනිත් කලාකාරයන්ගේ පමණක් නොව තම හිතවතුන්ගේ ද ද්වේෂයට හා ඊර්ෂ්‍යාවට හසු වෙයි.
“මේ කිසිවක් නිසා නොකලකිරී උතුම් අදහස මුදුන් පමුණුවා ගනු සඳහා වැර වෑයම් කරන්නට ශක්තිය ඇති කලාකාරයෙකි යි සිතමි [තිස්ස] රණසිංහ”

- මාර්ටින් වික්‍රමසිංහ 1959 දෙසැම්බර් 20 වැනි දා පල වූ උසස් අනාගතයක් ඇති ප්‍රතිමාකාරයෙක් යන හිසැති ලිපියෙන්
අද වන විට තිස්ස රනසිංහ යනු ශ්‍රී ලංකාවෙන් බිහි වූ උසස් ම මූර්ති කලාකරුවා බව අවිවාදයෙන් පිලිගැනෙන කාරනයක්. චිත්‍රය සේ ම මූර්තිය ද පුලුල් රසික පර්ශදයක් සහිත කලාවක් නොවුනත් රනසිංහයන් මූර්ති කලාව තුල වැජඹෙන ස්ථානය සමාන කල හැක්කේ හරියට ම චිත්‍රය තුල ජෝජ් කීට් හට‍ හිමි වූ අග්‍රස්ථානයට ම තමයි. වික්‍රමසිංහගේ ඉහත දැක්වූ අපේක්ෂාවන් සහ අනාගතවක්තෘශීල කියමන් හිතුවාටත් වඩා ඉහලින් ඉතිහාසය විසින් සනාථ කර තිබෙනවා.

1925 දී උපන් රනසිංහ මුලින්ම දෘශ්‍ය කලා අධ්‍යාපනය ආරම්භ කරන්නේ රජයේ ලලිත කලායතනයෙන්. ඉන් පසු චෙල්සිය ස්කූල් ඔෆ් ආට් සහ රෝයල් කොලෙජ් ඔෆ් ආට් යන බ්‍රිතාන්‍ය කලායතනවල වැඩිදුර අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා. යලි ලංකාවට පැමිනි පසු රජයේ ලලිත කලායතනයේ ආචාර්යවරයකු ලෙසත් පසුව එහි විදුහල්පති ලෙසත් කටයුතු කල ඔහු 1970 දශකයේ පටන් ජීවත් වන්නේ බ්‍රිතාන්‍යයේ.

මූලාශ්‍ර ගනනාවකින් ජීවය ලබන රනසිංහගේ නිර්මානාවලිය පෙර-අපර දෙදිග සාම්ප්‍රදායික මූර්ති හා සිතුවම් කලාවේ ද නූතනවාදී පරිකල්පනයේ ද අපූර්ව සංකලනයක්. පුරානෝක්ති හා ආගමික අනුභූතීන් පවා රනසිංහ අතින් අත්‍යසාමාන්‍ය සෞන්දර්ය රූප හැටියට යලි උපදිනවා. මේ බලන්න ගනේෂ, මූසිකයාගේ දෙවියා (Ganesh, the God of the Mouse) :





තිස්ස රනසිංහගේ අලුත් ම මූර්ති ප්‍රදර්ශනය මේ මස 16 වැනි දා එනම් හෙට පටන් 22 වැනි දා දක්වා කොළඹ 07 හැරල්ඩ් පීරිස් කලාගාරයේ දී (ලයනල් වෙන්ඩ්ට් උඩු මහලේ) පැවැත්වෙනවා.

රනසිංහයන් මීට පෙර නිර්මානය කල තවත් ලෝකඩ මූර්ති කිහිපයක් නැරඹීම සඳහා මේ වෙබ් අඩෙවියට පිවිසෙන්න.

අගෝස්තු 19 වැනි දින - එකතු කිරීමක්- අද සිළුවිණ පුවත් පතේ තිස්ස රනසිංහ සමග සාකච්ඡාව

මූර්ධජ ඉවරයි

| Comments

මේ බ්ලොග් අඩෙවියේ මින් පසු මූර්ධජ අක්ශර පල කරන්නේ නෑ. ප්‍රතිචාර ලියන අය ඒවා පාවිච්චි කලාට මගේ විරුද්ධත්වයක් නෑ. වෙනත් ලේඛකයින්ගෙන් උපුටාගන්නා විට‍ මම ඒ අයගේ අක්ශර වින්‍යාසයට ගරු කරනවා. ඒත් මම අනිත් සියලු දෙනාටත් යෝජනා කරන්නේ අන්තර්ජාලයේ ලිවීම් කටයුතුවල දී (සහ සෙසු සියලු අවස්ථාවල) මූර්ධජ අකුරු නමැති අනවශ්‍ය උරචක්‍රමාලයෙන් නිදහස් වෙන්න කියලයි.

මොනවද මේ මූර්ධජ අකුරු?

, ළ සහ ෂ

තවත් මූර්ධජ අකුරු තියෙනවා. ඒත් දෙක දෙක තියෙන අනවශ්‍ය අකුරු හැටියට තියෙන්නේ ඔය තුන තමයි.

මේවා උච්චාරනය කරන්න අමුතු ක්‍රමයක් තිබෙනවා ය යන පදනම මත යි මූර්ධජ කියන්නෙ. ඒ කියන්නෙ මුදුනින් ජනනය වූ අකුරු මූර්ධජ. තල්ලේ මුදුනේ තියෙන රලු කොටසේ දිව ස්පර්ශ වීමෙන් මේ අකුරු නිපදවෙනවා ය කියලා පිලිගැනීමක් තියෙනවා. (බලන්න මීට පෙර ලිපියේ එන රූප සටහන) ඇත්තටම සමහර භාශාවල නම් මෙයාකාර උච්චාරන වෙනස්කම් තියෙන එක ම අකුරු දෙක තුනක් තියෙනවා. නමුත් අද වෙද්දී සිංහල භාශාවේ නම් මේ අකුරු සහ දන්තජ - තාලුජ අකුරු අතර උච්චාරන වෙනසක් නෑ. (මම මේ කතා කරන්නෙ න-ණ, ල-ළ, සහ ශ-ෂ ගැන) මේ න ණ ල ළ භේද සඳහා කිසිදු ජීර්නය කරගත හැකි තාර්කික හේතුවක් නොපවතින බැවින් උපන් දා සිට වියරනය ඉගැන්නුවත් බොහෝ දෙනෙකුට මේක ඔලුවට වැටෙන්නෙත් නෑ. ඒ නිසා අන්තිමේ දී කලවමේ හැම තැනම මූර්ධජයි දන්තජයි ලියනවා ලෙවරක් නැතුව. ඊටපස්සේ වියාකරන පන්ඩිතයින්ට රැකියාවක් ලැබෙනවා අනුන්ගේ වියරන හා අක්ශර වින්‍යාස “වැරදි” අල්ලන්න. සමහරු පත්තරවල වෙනම කොලම් පවත්වාගෙන යනවා මේ අක්ශර වින්‍යාස සහ වියරන “වැරදි” කියන ඒවා අල්ලන්න. මොන විහිලුවක් ද? තවත් සමහරු හිතාගෙන ඉන්නෙ පොත්පත් විචාරය කිරීම යනු ඒවායේ වියරන වැරදිත් අක්ශර වැරදිත් ඇල්ලීම බව!


කිසිදු පිලිගත හැකි හේතුවකින් ‍තොර ව මේ අනවශ්‍ය අකුරු සිංහල භාශාවේ බලෙන් එල්ලාගෙන සිටීමේ තේරුමක් නෑ. ඒ නිසා‍ අද පටන් වෙබ් ආලෝචනා අඩෙවිය තුල මූර්ධජ අකුරු නෑ. ඒ වගේ ම මම කල්පනා කරනවා මගේ මේ කටයුත්ත අන්තර්ජාල ලේඛනයේ නිරත සෙසු අයටත් මූර්ධජ අකුරු අත්හැරීමට රුකුලක් වේවි කියලා.


මම විශ්වාස කරන විදිහට මේ ආකාර හැඩගැසීම් අන්තර්ජාල සිංහල ව්‍යවහාරයට පමනක් නෙමෙයි, සිංහල භාශාවේ අනාගතයට මත් අත්‍යවශ්‍ය යි. අනවශ්‍ය සංකීර්නතා ඉවත ලා කාටත් පහසුවෙන් ග්‍රහනය කරගන්න පුලුවන් තර්කානුකූල සරල වියරනයක් සහ අක්ශර වින්‍යාසයක් අනුයෑම තමයි අවශ්‍ය. අපිට මොකටද අනවශ්‍ය ණ යනු ළ යනු ෂ යනු?


මේ වෙනස සඳහා අදාල වන මූලධර්ම කීපය (අන්තර්ජාලය සඳහා සිංහල ප්‍රමිතිගත කිරීමේ දී දැනට සලකා බලා නැති එහෙත් අත්‍යවශ්‍ය ම වන මූලධර්ම කිහිපය) මෙසේ සටහන් කරමු. අනවශ්‍ය අක්ශර වින්‍යාස මෘදුකාංග ආදිය නිපදවන්න ගත කරන ශ්‍රමය වෙනත් පලදායී දෙයකට යෙදිය යුතුයි. පාරිභාශික පද මාලා, මෘදුකාංග හා වෙනත් අතුරු මුහුනත් පරිවර්තනය ආදී කටයුතුවල යෙදී සිටින අයත් මෙය බැරෑරුම් ව සැලකිල්ලට ගත යුතුයි. ඒ කටයුතු අනවශ්‍ය සංකීර්නතාවන්ගෙන් විමුක්ත කොට ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. මෙන්න මූලධර්ම දෙක:


( 1 ) සිංහල හෝඩියේ තිබෙන භාවිතා නොකරන අකුරු ඉවත් කල යුතුයි. හෝඩියට අරක් ගත් අත්තනෝමතික පන්ඩිතයින් එයට ඉඩ දුන්නත් නැතත් භාශාව භාවිතා කරන අය හැටියට අපි එවැනි අනවශ්‍ය අකුරු භාවිතය අත් හල යුතුයි.


මූර්ධජ අකුරු, බැඳි අකුරු ඉවත් කර පිලි සහ හල් අකුරු සමරූප කල යුතුයි. බැඳි අකුරුවල පරිනාමය සහ වර්තමානයට ඇති අදාල නොවන බව පිලිබඳ වැඩිදුර කියවීම සඳහා මේ ලිපියත් බලන්න


( 2 )වියරනය ජීවමාන බසේ (ඒ කියන්නේ කතා කරන භාශාවේ) වියරනය විය යුතුයි. අලුත් වියරන නීති රීති හදනවා නම් ඒවාත් උපුටාගත යුත්තේ කතා කරන බසේ රීතිය තුලින්.


එහෙම නොකලොත් සිංහල භාශාව අන්ර්ජාලයෙන් පමනක් නොව සමස්ත ව්‍යවහාරය තුලින් ම අතුගෑවී යාමට ඇති ඉඩ සුලුපටු නෙවෙයි.

The Case Against Murdhaja

| Comments

Murdhaja? Yes, Murdhaja! And that’s not the name of my neighbour. No I haven’t misspelled Mudiyanse’s name! I’m talking about Sinhala language. Murdhaja is the name of the alphabetical characters that are supposed to be pronounced from the “muduna” or the top. Wait a minute! Where on earth is this Muduna?



Now isn’t that outrageous? We don’t pronounce our language like that!

Na (න / ණ), La (ල / ළ) and Sha (ශ / ෂ) has two versions, and one of them, we were taught, is Murdhaja(ණ, ළ and ෂ). And the opposite of Murdhaja, as we were taught, is Danthaja, and sometimes Thaluja. Probably, some educated people in Dambadeni era pronounced Murdhaja’s differently, but for many ages there hasn’t been a significant difference as far as pronunciation is concerned. Since we logically see no such significant difference between the two types, most people get it all confused and mixed up. No matter how deeply you study the dead old grammar, this is difficult to get digested; and it looks absurd. In the end we write Muirdhaja’s everywhere, Danthaja’s everywhere and less than a handful number of grammar gurus (probably including myself in real life) get themselves employed to catch other people’s spelling errors. Some of them do their weekly practice of intellectual masturbation by pointing out other people’s spelling errors through newspaper columns solely dedicated to “correct” “aksharavinyasaya”. When they reach multiple climaxes, they turn their miserable columns into books! And some people still think book reviewing means catching Na, La and Sha errors ( න, ණ, ල, ළ සහ ෂ, ශ වැරදි) among other “grammatical mistakes” of an author and bashing him for his sins against the holy language of ours. And the bashing continues till the hell freezes itself. Not even Martin Wickramasinghe and Ediriweera Sarachchandra could escape these grammarians of their day. This is how one of the Hela Hawula Pundits criticized Sarachchandra’s “grammatical errors”, and declared he’s not mature enough to write a proper play :

“Sarachchandra is still not mature enough to be able to write at least a Nadagama, let alone a play… Therefore, first, learn a little bit of language and then…”
“සරච්චන්ද්‍රයන් නළුවක් තබා යන්තම් නාඩගමක් පබඳින්නටත් තවමැ බොළඳ වැඩි ය… එහෙයින්, පළමු කොට බස මඳක් ඉගෙන…”

These pundits remind me of Kapuwa’s and fortune tellers sitting under wayside trees and trying to get other people’s attention claiming that they know something important; that they have access to something auspicious that others can’t enjoy; that they know some divine truth about other people’s future; that they know how to open the secret chambers of god. Good for you grammarians. However, a language is a very much alive and ever changing entity. Grammar is not a straitjacket that prevents the free flow and development of a language.

For the future development of both online and offline Sinhala, I strongly believe these unnecessary characters should be removed from the alphabet. People should consciously stop using these dead letters. A language will continue to flourish, and will be remained protected, not when less than a handful number of people can use it “correctly”. But when a majority of Sinhala people can use the “correct” language. And also when non-Sinhala people can come and learn it with much ease with a logically intelligible grammatical structure. In future I will not use any of these Murdhaja’s on this site. When I quote other people’s writings or when I edit medieval Sinhala books, of course I will follow the original authors spelling. I wholeheartedly encourage all the others to do the same. Say no to Murdhaja!

කතා කරන භාෂාවේ වියරණය, සිංහල භාෂාවේ අනාගතය සහ මහාචාර්ය නන්දසේන රත්නපාල

| Comments

මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන් පසුගියදා අභාවප්‍රප්ත වූ බව දැන් කවුරුත් දන්නවා. සමාජ විද්‍යාව පිළිබඳ කෘති ගණනාවක් රචනා කළ පුද්ගලයෙක්, සමාජ විද්‍යා පර්යේෂකයෙක් හැටියටයි රත්නපාලයන් වඩා ප්‍රසිද්ධ. ඔහුගේ ශිෂ්‍ය පරපුර තදීය විෂයක්ෂේත්‍රය පුරා විසිර පැතිර සිටිනවා. රත්නපාලයන්ගේ කෘතිවලත් සමාජ විද්‍යා පර්යේෂණවලත් බැරෑරුම්/නොබැරෑරුම් කම් පිළිබඳ ක්ෂේත්‍රයට අයත් විවිධ අය කියන කතා මම අසා තිබෙනවා. ඒ ගැන මටත් විවිධ මත තියෙනවා, මම ඔහුගේ ක්ෂේත්‍රයට ඍජු සම්බන්ධයක් ඇති අයෙක් නොවුණත්. ඒත් මේ අවස්ථාවේ දී මට අදාළ කාරණය වන්නේ නන්දසේන රත්නපාල මහතා සිංහල භාෂාව සම්බන්ධයෙන් දැක්වූ ආකල්පය යි. මේ සටහන ඒ ගැනයි. මේ ගැන සාකච්ඡා කිරීම අභාවිත විද්වතාණන්ට කෙරෙන ගරු කිරීමක් වනු ඇතැයි මම කල්පනා කරනවා.

නන්දසේන රත්නපාල මහතා සිංහල භාෂාවේ ද්විරූපතාව හා වියරණය පිළිබඳ දැරූ මතය අතිශය ප්‍රගතිශීලී එකක්. අපේ නූතන බස කුමන මගක් ගත යුතු ද යන්න නිසැක ව ම සහ නිබඳ ව ම රත්නපාලයන් නියැලී ගත්, ගත සිත වෙහෙසවූ පැනයක්. ඔහු මතයක් දැරුවා පමණක් නෙවෙයි, සක්‍රිය ව ම එකී මතය වෙනුවෙන් පෙනී සිටියා. කුමක් ද මේ භාෂා ද්විරූපතාව?

මොන ම භාෂාවක් වුව ද කතාවට සහ ලිවීමට යන දෙඅංශය සඳහා යොදාගැනීමේ දී දෙඅතකට බෙදී යාම ස්වාභාවික වසිදු වන්නක්. කථන බස හා ලේඛන බස සියයට සියයක් සමාන වන්නේ නෑ. එහෙත් සිංහල භාෂාව ජීවමාන භාෂාවකට තරම් නොවන තරමේ ද්විරූපතාවකින් සමන්විතයි. මේ ද්විරූපතාව භාෂා ව්‍යවහාරය තුළ පමණක් නොව බසෙහි වියරණය තුළ ද දැකගත හැකියි. මෙයින් අදහස් වන්නේ සිංහලයෙහි වියරණ විධි දෙකක් පවතින බවයි. එකක් කතා කිරීමට. අනික ලිවීමට. මේ ලිවීමට ගන්නා වියරණය අපේ භාෂාවේ සුඛග්‍රාහීත්වයට, පහසු උගැන්මට හා සන්නිවේදනයට බාධා පමුණුවන තරමේ දෘඪ, මියගිය දෙයක්. මේ ලියල බසේ වියරණය 1900 අවට එක්තරා වියරණයක් යළි පුනරුත්ථානය කළ ඇතැම් වියතුන්ගේ අත්තනෝමතික නිගමන අනුව අතීතයෙන් ආනයනය කළ දෙයක් මිස ස්වාභාවික ව පරිණාමය ව ආ දෙයක් නෙවෙයි. ඒත් අද පවා බොහෝ පණ්ඩිතයින්මේ ලියන බසේ වියරණය උසස්දෙයක් හැටියටත් කට බසේ වියරණය පහත්”, වැරදි සහ ව්‍යාකරණානුකූල නොවනදෙයක් හැටියටත් හඳුන්වනු දැකිය හැකියි. නන්දසේන රත්නපාල සූරීන් සමාජ විද්‍යා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට පළමුව පුහුණුව ලැබුවේ සිංහල අධ්‍යයනාංශයක. එසේ ම ඔහු නවකතාකරණය ආදී නිර්මාණාත්මක සාහිත්‍යයේ ද නියුක්ත ව සිටියා. ඒ නිසා ම දෝ ඔහුට භාෂාවේ මෙකී අර්බුදය ගැන සංවේදීතාවක් මුල පටන් ම තිබුණා. සෙනරත් පරණවිතාන, චාල්ස් ගොඩකුඹුරේ යන විද්වතුන්ගේ අනුශාසකත්වය සහිත ව 1969 අගෝස්තු 16 වැනි දින ආරම්භ වූ ජනසම්මත සිංහල සංගමයේ සම ලේකම් ධුර දැරුවේ නන්දසේන රත්නපාල සහ ඩබ්ලියු. ජේ. චන්ද්‍රපාල යන දෙදෙනා යි. ඔවුන්ගේ අරමුණ වූයේ කට බසේ (කතා කරන භාෂාවේ) ආත්මය අවබෝධ කරගැනීමත් එය උපයෝගී කරගන්නා අන්දම ගවේෂණය කිරීමත් යන දෙක යි.

1969 වන විටත් මෙය අලුත් අදහසක් වුණේ නෑ. 1891 දී මැන්දිස් ගුණසේකර ලියූ A Comprehensive Grammar of the Sinhalese Language යන කෘතියෙහි ඔහු මේ ද්විරූපතාව හඳුනාගෙන වර්ගීකරණය කර කට වහර ද ගෙනහැර පානවා. ඉන් පසු එදිරිවීර සරච්චන්ද්‍ර 1959 පෙබරවාරි මස නව වැනි දා දිනමිණ පුවත්පතට වියරණ වැටින් දියුණුව ඇහිරේයන හිසින් යුත් ලිපියක් සම්පාදනය කළා. ”දැන් සිංහල ගද්‍යයට වුවමනා කරන්නේ අලුත් ව්‍යාකරණයක්බව ඔහු එහි පවසා තිබෙනවා. ”මේ අලුත් වියාකරණය අලුතෙන් වාත්තු කරගත් එකක් නෙමේ. සිංහල ගැහැණු පිරිමි එදිනෙදා කතා බහේ දී වැවහර කරන, අදහස් ගනුදෙනුවලදී යොදාගන්නා බසේ වියාකරණයි. ඒක අලුත් වෙන්නෙ ලේඛනයට විතරයි.

තවදුරටත් කරුණු දක්වමින් සරච්චන්ද්‍ර කිව්වා, වියාකරණයයි කියන්නේ වැවහර බසේ තියෙන යෙදුම් බලා එයින් උපුටාගන්නා නීති රීතිවලට බවත් වියරණ ඇදුරෝ ශිෂ්ට පුයෝග ලෙස සැලකුවේ පැරණි ගත්කරුවන්ගේ යෙදුම් පමණක් බවත් දැන් උවමනා කරන්නේ වර්තමාන ගත්කරුවන් අතීතය කරා ඇදගෙන යාම නොව ඔවුන්ගේ ව්‍යවහාරය ශිෂ්ට පුයෝග ලෙස සම්මත කිරීම බවත් කතා ව්‍යවහාරයේ තියෙන යෙදුම් වියාකරණයට විරුද්ධයි කීම මතිභ්‍රාන්තියක් බවත්” (අජිත් තිලකසේන, අදට ඔබින බස, 12 පිටුව) සිරි ගුනසිංහ, සෙනරත් පරණවිතාන, . . සුගතපාල ද සිල්වා, අජිත් තිලකසේන ආදීන් ද මේ හා සමාන ආස්ථානයක සිටියා විතරක් නෙමෙයි ඔවුන් සරච්චන්ද්‍ර ඉක්මවා යමින් ලිපි ලේඛන පත පොත සම්පාදනය සඳහා කට බසේ වියරණය යොදාගත්තා. නන්දසේන රත්නපාලගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ මෙවැනි සන්දර්භයක් තුළ. සෙනරත් පරණවිතාන මහතා සිංහලයෝ නමැති පොත ලීවේ සපුරා ම කට වහරේ බසින්. පරණවිතාන මහතා සිටියේ ප්‍රාකෘත සිංහල ලිවීමට ගත යුතු ය යන දැඩි මතයේ.

නන්දසේන රත්නපාල මහතා සිය සමාජ විද්‍යා පරියේෂණ මූලධර්ම නමැති කෘතිය සම්පාදනය කළේ සමකාලීන සිංහල ව්‍යාකරණයෙන්. ඒ කියන්නේ අද තියෙන සිංහල භාෂාවේ වියරණයෙන්. එම පොත අදටත් සමාජ හා මානව විද්‍යා ක්ෂේත්‍රයන්හි පර්යේෂණ කටයුතුවලට මුලපුරන අයට තිබෙන හොඳ ම සිංහල අත්පොත. මේ පොත පළ වීම මගින් කට බසේ වියරණය වැදගත්හා ශාස්ත්‍රීයකටයුතුවලට ගත නොහැකි හඩු එෆ් එම් නාලිකාවල පච හෑලිවලට සීමා වූ දෙයකැයි නන්දෙඩවූ ආචීර්ණ කල්පික ආධානග්‍රාහීන්ට දුන් අතුල් පහරක් ද සදූපදේශයක් ද වුණා. කට බසේ වියරණය යනු කට වහර නෙවෙයි. කට බසේ වියරණය දේශන පවත්වන්න, විශ්ව විද්‍යාලවල උගන්නන්න හොද නම් ශාස්ත්‍රීය සාකච්ඡා සඳහා හොද නම් ලේඛනය සඳහා හොඳ නොවන්නේ කෙසේ ද යන ප්‍රශ්නය රත්නපාල මහතා මතු කළා.

අපේ නූතන බස කුමන මාර්ගයක් ගත යුතු ද? යන හිසින් ලිපියක් සම්පාදනය කළ රත්නපාල මහතා සිය ආස්ථානය මෙසේ සංග්‍රහ කළා. මේ දීර්ඝ උපුටනය ඔහු බස පිළිබඳ දැරූ අදහස සමුච්චිත කරන අතර සක්‍රියව එය යොදාගත් අන්දම ද සන්නිදර්ශනය කරනවා.

“1)භාෂාව වෙනස් වෙනවා. මේ වෙනස් වීම මොන බලයක් යොදාවත් නවත්වන්න බැහැ

2) බස යනු ශුද්ධ වස්තුවක් නොවෙයි. එය ධාතු කරඬුවක් මෙන් වැඳපුදාගත යුතු දෙයකුත් නොවෙයි.

3) භාෂාවක වියාකරණය කියන්නේ ඒ භාෂාවේ පවතින ව්‍යවහාරය අනුව සකස් කරගත්තු රීතිවලට. ඒවාත් සදාකාලික නැහැ. වෙනස්වීම්වලට භාජනය වෙනවා.

4) ’කුලවත්කියා සමාජයේ පවතින භේද අනුව භාෂාවක් බෙදා වෙන් කරන්න බැහැ. බසේ පිරිසුදුකමගැන කතා කිරීම සමාජවිද්‍යාත්මක ව අර්ථශුන්‍ය ක්‍රියාවක්.

5) වියාකරණය කෙතක් වටා ඇටවූ වැටක් වගේ නෙවෙයි. හරක් ආදී වල් සතුන්ගෙන් කෙත ආරක්ෂා කරගන්නා වගේ භාෂාව ආරක්ෂා කිරීමට බාහිර නීති අවශ්‍ය නැහැ. වියාකරණය තියෙන්නෙ බස තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට ඒක ‍තේරුම් ගැනීම ලේසිපාසු කරවන්න. වියාකරණය භාෂාව හැදෑරීමේ විද්‍යාවක් මිස බස ගමන් කරන මග නියම කරන නීති රීති රැගත් දැනනුවණක් නොවෙයි.

මේ සත්‍ය කාරණා අපට විතරක් නොවෙයි ලෝකයේ ඕනෑම භාෂාවකට පොදුයි. ඒ නිසා ඒ ගැන කලබල වී වාදවිවාද මගින් සිත් නරක් කරගත යුතු නැහැ. ඒක බසේ ඉදිරි ගමනද වලක්වන්න පුළුවන්.


අපේ සිංහල බසේ අක්ෂර දිහා බලන්න. බ්‍රාහ්මී ස්වරූපයේ සිට අද පවත්නා ස්වරූපය දක්වා ඒවැ හැඩගැසීගෙන ආවේ සමාජ විකාශනයත් එක්කයි. ගල් පුවරුවල ලියූ අකුරු, පුස්කොළ පොත්වල ලියූ අකුරු, මුද්‍රණ අකුරු හා අද පරිගණක අකුරු - හෙට ඉන්ටනෙට් අකුරු’ - යනාදී නිදර්ශන දිහා බලන්න.


අක්ෂර වින්‍යාසය ද වෙනස් උනේ මේ අන්දමින්. අද අපි මොන අන්දමේ නීති රීති හැදුවත් මේ සංකීර්ණ අවශ්‍යතා අනුව අක්ෂර වින්‍යාසය හැඩ ගැහෙනවා ඇති. වචන එක හැටියකට ලිය යුතු වන්නේ යම් කිසි අවශ්‍යතාවක් සඳහායි. පුරාණයේ හදාපු නීතියක් අනුව අද වචන ලියන්ට බැහැ. බස ඉදිරියට යන විට අක්ෂර වින්‍යාසය වෙනස් වෙනවා.


අපි අද මහප්‍රාණ අකුරු බොහොමයක් ලියන්නේ නැහැ. අපේ හෝඩියේ පාවිච්චි නොකරන අකුරු වැඩි වෙමින් පවතිනවා. ශබ්දයෙන් වෙනසක් නොපෙන්නන න ණ ල ළ භේදය මුද්‍රණයෙන් නැති වෙලා යාවි. මේවා නැවැත්විය හැකි ද? මේවා නවත්වන්නට වෑයම් කිරීමට වෑයම් කිරීම ඉදිරියට ගලා යන දිය පහරක් නවත්වන්නට මැටි තල ඉදි කිරීමක් වගේයි.


අපි දියුණු යැයි සිතූ බස හා වියාකරණ නීති කලින් කල වෙනස් උනා. අනුරපුර යුගයේ පොත් ලියූ බස පොළොන්නරු යුගයේ වෙනස් වීමට භාජනය වෙලා තියෙනවා. දඹදෙණි යුගයේ සද්ධර්ම රත්නාවලිය, පසුව ජාතක පොත ලියූ බස, එදා පොදුංන වහරට ඉතා ළඟයි. සිංහල ලියන බසේ මේ පොදුජන වහරට ලංවීමේ ගුණය සන්දේශ කාව්‍යවලිනුත් ගුත්තිලයෙන් හා බුදුගුණ අලංකාරයෙනුත් ඇතැම් විට දැකගන්න පුළුවන්. මේක ඉදිරියටම ක්‍රමයෙන් සිද්ධ වෙනවා ඇති. නූතන යුගයේ අවශ්‍යතා සංකීර්ණ නිසා සමහර විට ඉක්මණින් සිද්ධ වෙන්න පුළුවන්.


අපේ නවකතා දිහා බලන්න. මුලදී නවකතාවල බස, ඒ නවකතා පුවත්පත්වල පළ වීම නිසා සරල වුණා. වියාකරණ ද ලිහිල් වුණා. ඊළඟට ඒ නවකතාවල චරිත නිරූපණයේ දී ව්‍යවහාරයට ගත් බස ජීවමාන බස වුණා. සමහර නවකතා එහෙම පිටින් ම කතා කරන බස ව්‍යවහාරයට ගෙන ලියා තියෙනවා. සිරි ගුනසිංහගේ හෙවනැල්ලමගේ නොදනිමි කාගෙ දොසාමෙන් ම නූතන තරුණ ලෙඛකයන්ගේ සමහර නවකතා හා කෙටිකතා ද මේ මග ගන්නවා.


පුවත්පත් සරල බසක් යොදාගත යුතුයි. රූපවාහිනියටත් ඒ කාරණය බලපානවා. කතා කරන බස පුවත්පතට වඩා ගුවන්විදුලියට හා රූපවාහිනියට අවශ්‍ය යි. ප්‍රවෘත්ති ප්‍රචාරය කරන අපේ සමහර ගුවන්විදුලි විකාශන – සිරසබීබීසී සන‍්දේශය – හා එම්ටීවීවැනි රූපවාහිනි විකාශනකතා කරන බස යොදාගත්තත් රඩයේ ගුවන්විදුලිය හා රූපවාහිනිය බොහෝ විට යොදාගන්නේ ග්‍රන්ථාරූඪ බසයි. මේක කොතෙක් කාලයක් ගෙන්යන්න පුළුවන් ද? ඒවාගේ බසේ වැරදි බහුල වන්නෙ කරුණු දෙකක් හින්දායි. (1) පරණ පත පොත සහ ග්‍රන්ථාරූඪ නීති රීති නොදත් අය ඒවායේ මුල් තැන්වල සිටීම (2) සරල වශයෙන් මිනිස්සුන්ට යමක් දෙන්න උචිත බස කතා කරන බස බව ඒවායේ ප්‍රවෘත්ති සංස්කාරකයන්, නිවේදකයන් හා විස්තර ප්‍රචාරකයන් නොදැන සිටීම.


කතා කරන බසට ක්‍රමයෙන් ළං වෙන්න මමත් දැන් තැත් කරනවා. විද්‍යත්මක පොතපත කතා කරන බසට ළං වී ලියන්නට පුළුවන් බව මගේ සමාජවිද්‍යා පර්යේෂණ මූලධර්මකියවන කාට වුණත් වැටහෙනවා ඇති. පාසැල් ග්‍රන්ථයක් ලියන විට සම්මත වියරණයට ළං ව ලියතත් කතාන්තරයක රීතිය ඒ තුළට ගෙන එන්නට මම වෑයම් කරනවා. කතා කරන බසේ වියඑණය හා රීතිය දැන උගෙන එය ලියන බසට හෝ වෙනත් සන්නිවේදන බසකට හරි හැටි යොදාගත හැකි වන්නේ අපේ පැරණි පතපොත හා නූතන පතපොත හරියාකාරව කියවා උගත් අයටයි.


කතා කරන බසින් ලියන්නට ගිය පලියට ඒ නිසා ම හොඳ කෘතියක් මතු වන්නේ නැහැ. නිසඳැස් කියා කඩිමුඩියේ පල්හෑලි ලියන්නට පුළුවන්කමක් කලකට ඉහත නම් තිබුණේ නෑ. හතර පදයක් ලියන්න පුළුවන් අය අපේ සමාජයේ කොච්චර නම් ඉන්නවා ද? නමුත් හොඳ හතරපද එළිසම කාව්‍ය ග්‍රන්ථ ලියැවුණේ කීයද? කතා කරන බස හා එහි රීතිය පළමුව හොදාගත යුත්තේ 21 වැනි ශතවර්ෂයේ අපේ බසට එල්ල වන අභියෝගවලට මුහුණ දීමට යි. විශේෂයෙන් ම ගුවන්විදුලි හා රූපවාහිනී සන්නිවේදනය, අලුත් මුද්‍රණ ශිල්පය, පරිගණකය, අන්තර්ජාලය පිළිබඳ ප්‍රශ්නවලදී කතා කරන බස, එහි රීතිය හා වියරණය ඔස්සේ මිස උත්තර දීමට අපට බැහැ.


පාසැල් අධ්‍යාපනයේ දී සම්මත වියරණ නීති රීති ඉතා ලිහිල් ව ඉගැන්විය යුතුයි. පාසැල්වල හා විශ්ව විද්‍යාලවල අපේ පැරණි පතපොත හැදෑරිය යුතු මයි. කොපමණ දුරට වගකීමෙන් ඉගෙන ගත්තත් ඒවා නොදත් නොකියවූ අය අනාගතයේ දී මොනම වැඩකට වත් යොදාගන්න බැහැ. ඒ නිසා අපි කළ යුත්තේ තේරුම් ගත නොහැකි, ව්‍යවහාරයේ නොයෙදෙන වියරණ නීති රීති ඉගැන්වීම නොව පහසුවෙන් වැඩ ගත හැකි සම්මත වියරණ නීති කතා කරන බසට හැකි තාක් ළං කොට දරුවාට ඉගැන්වීමයි. පොත්පත් වැඩියෙන් කියවීමට මග සැලසීමයි. 21 වැනි සියවසේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ මේ දරුවන් මිස වියාකරණ පොත් කර උඩ තබාගෙන දැනීමෙන් අසමබර වෙන අපේ වගේ උගත්තු නෙමේ.

කතා කරන බසේ වියාකරණය එහෙම පිටින් ම කොපි කරන්ටයි කීම මගේ අදහස නොවේ. සමහර විට කතා කරන බස සමාජ අවශ්‍යතා අනුව වෙනස් වෙනවා. ඇතැම් ප්‍රවෘත්ති පත්‍රවල එබඳු නාගරික මුඩුක්කු බසක් යොදා ලියන රචනා තියෙනවා. (’මුඩුක්කුකීවේ හෙළා දැකීමකට නොවෙයි - බස අඳුනා දීමටයි) ඒ රචනාවල ඇත්තේ ඒ මුඩුක්කුවල ජීවත් වෙන අයගේ වචන කෝෂය මිස රීතිය හෝ ව්‍යාකරණය නෙමේ. ඒ වචන පවා පරිස්සමෙන් තෝරාගෙන රචනා කළ යුතුයි. කතා කරන බසේ ආත්මය හඳුනා නොගෙන එය ප්‍රවෘත්ති ආදී සන්නිවේදන කාර්යවලට උනත් යොදගන්න බැහැ.

කතා කරන බසේ ආත්මය දැනගෙන, ඒ වාක්‍ය රටාවට හා වියරණයට ළං වන විදිහට ලියන බස හැඩගැස්වීම අපි කැමති වුණත් නැතත් අනාගතයේ දී සිද්ධ වෙනවා. ඒ නිසා මෙය වටහාගෙන කටයුතු කරනවා නම් අපි කාගේත් හිතසුව පිණිස වැදගත් වන බව ඒකාන්තයි”

නන්දසේන රත්නපාල 1997

(අජිත් තිලකසේන සංස්කරණය කළ 1997 පළ වූ අදට ඔබින බස කෘතියෙන්)