නන්දසේන රත්නපාල මහතා සිංහල භාෂාවේ ද්විරූපතාව හා වියරණය පිළිබඳ දැරූ මතය අතිශය ප්‍රගතිශීලී එකක්. අපේ නූතන බස කුමන මගක් ගත යුතු ද යන්න නිසැක ව ම සහ නිබඳ ව ම රත්නපාලයන් නියැලී ගත්, ගත සිත වෙහෙසවූ පැනයක්. ඔහු මතයක් දැරුවා පමණක් නෙවෙයි, සක්‍රිය ව ම එකී මතය වෙනුවෙන් පෙනී සිටියා. කුමක් ද මේ භාෂා ද්විරූපතාව?
මොන ම භාෂාවක් වුව ද කතාවට සහ ලිවීමට යන දෙඅංශය සඳහා යොදාගැනීමේ දී දෙඅතකට බෙදී යාම “ස්වාභාවික ව” සිදු වන්නක්. කථන බස හා ලේඛන බස සියයට සියයක් සමාන වන්නේ නෑ. එහෙත් සිංහල භාෂාව ජීවමාන භාෂාවකට තරම් නොවන තරමේ ද්විරූපතාවකින් සමන්විතයි. මේ ද්විරූපතාව භාෂා ව්‍යවහාරය තුළ පමණක් නොව බසෙහි වියරණය තුළ ද දැකගත හැකියි. මෙයින් අදහස් වන්නේ සිංහලයෙහි වියරණ විධි දෙකක් පවතින බවයි. එකක් කතා කිරීමට. අනික ලිවීමට. මේ ලිවීමට ගන්නා වියරණය අපේ භාෂාවේ සුඛග්‍රාහීත්වයට, පහසු උගැන්මට හා සන්නිවේදනයට බාධා පමුණුවන තරමේ දෘඪ, මියගිය දෙයක්. මේ ලියල බසේ වියරණය 1900 අවට එක්තරා වියරණයක් යළි පුනරුත්ථානය කළ ඇතැම් වියතුන්ගේ අත්තනෝමතික නිගමන අනුව අතීතයෙන් ආනයනය කළ දෙයක් මිස ස්වාභාවික ව පරිණාමය ව ආ දෙයක් නෙවෙයි. ඒත් අද පවා බොහෝ “පණ්ඩිතයින්” මේ ලියන බසේ වියරණය “උසස්” දෙයක් හැටියටත් කට බසේ වියරණය “පහත්”, වැරදි සහ “ව්‍යාකරණානුකූල නොවන” දෙයක් හැටියටත් හඳුන්වනු දැකිය හැකියි. නන්දසේන රත්නපාල සූරීන් සමාජ විද්‍යා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට පළමුව පුහුණුව ලැබුවේ සිංහල අධ්‍යයනාංශයක. එසේ ම ඔහු නවකතාකරණය ආදී නිර්මාණාත්මක සාහිත්‍යයේ ද නියුක්ත ව සිටියා. ඒ නිසා ම දෝ ඔහුට භාෂාවේ මෙකී අර්බුදය ගැන සංවේදීතාවක් මුල පටන් ම තිබුණා. සෙනරත් පරණවිතාන, චාල්ස් ගොඩකුඹුරේ යන විද්වතුන්ගේ අනුශාසකත්වය සහිත ව 1969 අගෝස්තු 16 වැනි දින ආරම්භ වූ ජනසම්මත සිංහල සංගමයේ සම ලේකම් ධුර දැරුවේ නන්දසේන රත්නපාල සහ ඩබ්ලියු. ජේ. චන්ද්‍රපාල යන දෙදෙනා යි. ඔවුන්ගේ අරමුණ වූයේ කට බසේ (කතා කරන භාෂාවේ) ආත්මය අවබෝධ කරගැනීමත් එය උපයෝගී කරගන්නා අන්දම ගවේෂණය කිරීමත් යන දෙක යි.
1969 වන විටත් මෙය අලුත් අදහසක් වුණේ නෑ. 1891 දී මැන්දිස් ගුණසේකර ලියූ A Comprehensive Grammar of the Sinhalese Language යන කෘතියෙහි ඔහු මේ ද්විරූපතාව හඳුනාගෙන වර්ගීකරණය කර කට වහර ද ගෙනහැර පානවා. ඉන් පසු එදිරිවීර සරච්චන්ද්‍ර 1959 පෙබරවාරි මස නව වැනි දා දිනමිණ පුවත්පතට ‘වියරණ වැටින් දියුණුව ඇහිරේ’ යන හිසින් යුත් ලිපියක් සම්පාදනය කළා. ”දැන් සිංහල ගද්‍යයට වුවමනා කරන්නේ අලුත් ව්‍යාකරණයක්” බව ඔහු එහි පවසා තිබෙනවා. ”මේ අලුත් වියාකරණය අලුතෙන් වාත්තු කරගත් එකක් නෙමේ. සිංහල ගැහැණු පිරිමි එදිනෙදා කතා බහේ දී වැවහර කරන, අදහස් ගනුදෙනුවලදී යොදාගන්නා බසේ වියාකරණයි. ඒක අලුත් වෙන්නෙ ලේඛනයට විතරයි.
”තවදුරටත් කරුණු දක්වමින් සරච්චන්ද්‍ර කිව්වා, වියාකරණයයි කියන්නේ වැවහර බසේ තියෙන යෙදුම් බලා එයින් උපුටාගන්නා නීති රීතිවලට බවත් වියරණ ඇදුරෝ ශිෂ්ට පුයෝග ලෙස සැලකුවේ පැරණි ගත්කරුවන්ගේ යෙදුම් පමණක් බවත් දැන් උවමනා කරන්නේ වර්තමාන ගත්කරුවන් අතීතය කරා ඇදගෙන යාම නොව ඔවුන්ගේ ව්‍යවහාරය ශිෂ්ට පුයෝග ලෙස සම්මත කිරීම බවත් කතා ව්‍යවහාරයේ තියෙන යෙදුම් වියාකරණයට විරුද්ධයි කීම මතිභ්‍රාන්තියක් බවත්” (අජිත් තිලකසේන, අදට ඔබින බස, 12 පිටුව) සිරි ගුනසිංහ, සෙනරත් පරණවිතාන, ම. ව. සුගතපාල ද සිල්වා, අජිත් තිලකසේන ආදීන් ද මේ හා සමාන ආස්ථානයක සිටියා විතරක් නෙමෙයි ඔවුන් සරච්චන්ද්‍ර ඉක්මවා යමින් ලිපි ලේඛන පත පොත සම්පාදනය සඳහා කට බසේ වියරණය යොදාගත්තා. නන්දසේන රත්නපාලගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ මෙවැනි සන්දර්භයක් තුළ. සෙනරත් පරණවිතාන මහතා සිංහලයෝ නමැති පොත ලීවේ සපුරා ම කට වහරේ බසින්. පරණවිතාන මහතා සිටියේ ප්‍රාකෘත සිංහල ලිවීමට ගත යුතු ය යන දැඩි මතයේ.
නන්දසේන රත්නපාල මහතා සිය සමාජ විද්‍යා පරියේෂණ මූලධර්ම නමැති කෘතිය සම්පාදනය කළේ සමකාලීන සිංහල ව්‍යාකරණයෙන්. ඒ කියන්නේ අද තියෙන සිංහල භාෂාවේ වියරණයෙන්. එම පොත අදටත් සමාජ හා මානව විද්‍යා ක්ෂේත්‍රයන්හි පර්යේෂණ කටයුතුවලට මුලපුරන අයට තිබෙන හොඳ ම සිංහල අත්පොත. මේ පොත පළ වීම මගින් කට බසේ වියරණය “වැදගත්” හා “ශාස්ත්‍රීය” කටයුතුවලට ගත නොහැකි හඩු එෆ් එම් නාලිකාවල පච හෑලිවලට සීමා වූ දෙයකැයි නන්දෙඩවූ ආචීර්ණ කල්පික ආධානග්‍රාහීන්ට දුන් අතුල් පහරක් ද සදූපදේශයක් ද වුණා. කට බසේ වියරණය යනු කට වහර නෙවෙයි. කට බසේ වියරණය දේශන පවත්වන්න, විශ්ව විද්‍යාලවල උගන්නන්න හොද නම් ශාස්ත්‍රීය සාකච්ඡා සඳහා හොද නම් ලේඛනය සඳහා හොඳ නොවන්නේ කෙසේ ද යන ප්‍රශ්නය රත්නපාල මහතා මතු කළා.
අපේ නූතන බස කුමන මාර්ගයක් ගත යුතු ද? යන හිසින් ලිපියක් සම්පාදනය කළ රත්නපාල මහතා සිය ආස්ථානය මෙසේ සංග්‍රහ කළා. මේ දීර්ඝ උපුටනය ඔහු බස පිළිබඳ දැරූ අදහස සමුච්චිත කරන අතර සක්‍රියව එය යොදාගත් අන්දම ද සන්නිදර්ශනය කරනවා.
“1)භාෂාව වෙනස් වෙනවා. මේ වෙනස් වීම මොන බලයක් යොදාවත් නවත්වන්න බැහැ
2) බස යනු ශුද්ධ වස්තුවක් නොවෙයි. එය ධාතු කරඬුවක් මෙන් වැඳපුදාගත යුතු දෙයකුත් නොවෙයි.
3) භාෂාවක වියාකරණය කියන්නේ ඒ භාෂාවේ පවතින ව්‍යවහාරය අනුව සකස් කරගත්තු රීතිවලට. ඒවාත් සදාකාලික නැහැ. වෙනස්වීම්වලට භාජනය වෙනවා.
4) ’කුලවත්’ කියා සමාජයේ පවතින භේද අනුව භාෂාවක් බෙදා වෙන් කරන්න බැහැ. බසේ ‘පිරිසුදුකම’ ගැන කතා කිරීම සමාජවිද්‍යාත්මක ව අර්ථශුන්‍ය ක්‍රියාවක්.
5) වියාකරණය කෙතක් වටා ඇටවූ වැටක් වගේ නෙවෙයි. හරක් ආදී වල් සතුන්ගෙන් කෙත ආරක්ෂා කරගන්නා වගේ භාෂාව ආරක්ෂා කිරීමට බාහිර නීති අවශ්‍ය නැහැ. වියාකරණය තියෙන්නෙ බස තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට ඒක තේරුම් ගැනීම ලේසිපාසු කරවන්න. වියාකරණය භාෂාව හැදෑරීමේ විද්‍යාවක් මිස බස ගමන් කරන මග නියම කරන නීති රීති රැගත් දැනනුවණක් නොවෙයි.මේ සත්‍ය කාරණා අපට විතරක් නොවෙයි ලෝකයේ ඕනෑම භාෂාවකට පොදුයි. ඒ නිසා ඒ ගැන කලබල වී වාදවිවාද මගින් සිත් නරක් කරගත යුතු නැහැ. ඒක බසේ ඉදිරි ගමනද වලක්වන්න පුළුවන්.
අපේ සිංහල බසේ අක්ෂර දිහා බලන්න. බ්‍රාහ්මී ස්වරූපයේ සිට අද පවත්නා ස්වරූපය දක්වා ඒවැ හැඩගැසීගෙන ආවේ සමාජ විකාශනයත් එක්කයි. ගල් පුවරුවල ලියූ අකුරු, පුස්කොළ පොත්වල ලියූ අකුරු, මුද්‍රණ අකුරු හා අද පරිගණක අකුරු - හෙට ‘ඉන්ටනෙට් අකුරු’ - යනාදී නිදර්ශන දිහා බලන්න.
අක්ෂර වින්‍යාසය ද වෙනස් උනේ මේ අන්දමින්. අද අපි මොන අන්දමේ නීති රීති හැදුවත් මේ සංකීර්ණ අවශ්‍යතා අනුව අක්ෂර වින්‍යාසය හැඩ ගැහෙනවා ඇති. වචන එක හැටියකට ලිය යුතු වන්නේ යම් කිසි අවශ්‍යතාවක් සඳහායි. පුරාණයේ හදාපු නීතියක් අනුව අද වචන ලියන්ට බැහැ. බස ඉදිරියට යන විට අක්ෂර වින්‍යාසය වෙනස් වෙනවා.
අපි අද මහප්‍රාණ අකුරු බොහොමයක් ලියන්නේ නැහැ. අපේ හෝඩියේ පාවිච්චි නොකරන අකුරු වැඩි වෙමින් පවතිනවා. ශබ්දයෙන් වෙනසක් නොපෙන්නන න ණ ල ළ භේදය මුද්‍රණයෙන් නැති වෙලා යාවි. මේවා නැවැත්විය හැකි ද? මේවා නවත්වන්නට වෑයම් කිරීමට වෑයම් කිරීම ඉදිරියට ගලා යන දිය පහරක් නවත්වන්නට මැටි තල ඉදි කිරීමක් වගේයි.
අපි දියුණු යැයි සිතූ බස හා වියාකරණ නීති කලින් කල වෙනස් උනා. අනුරපුර යුගයේ පොත් ලියූ බස පොළොන්නරු යුගයේ වෙනස් වීමට භාජනය වෙලා තියෙනවා. දඹදෙණි යුගයේ සද්ධර්ම රත්නාවලිය, පසුව ජාතක පොත ලියූ බස, එදා පොදුංන වහරට ඉතා ළඟයි. සිංහල ලියන බසේ මේ පොදුජන වහරට ලංවීමේ ගුණය සන්දේශ කාව්‍යවලිනුත් ගුත්තිලයෙන් හා බුදුගුණ අලංකාරයෙනුත් ඇතැම් විට දැකගන්න පුළුවන්. මේක ඉදිරියටම ක්‍රමයෙන් සිද්ධ වෙනවා ඇති. නූතන යුගයේ අවශ්‍යතා සංකීර්ණ නිසා සමහර විට ඉක්මණින් සිද්ධ වෙන්න පුළුවන්.
අපේ නවකතා දිහා බලන්න. මුලදී නවකතාවල බස, ඒ නවකතා පුවත්පත්වල පළ වීම නිසා සරල වුණා. වියාකරණ ද ලිහිල් වුණා. ඊළඟට ඒ නවකතාවල චරිත නිරූපණයේ දී ව්‍යවහාරයට ගත් බස ජීවමාන බස වුණා. සමහර නවකතා එහෙම පිටින් ම කතා කරන බස ව්‍යවහාරයට ගෙන ලියා තියෙනවා. සිරි ගුනසිංහගේ ‘හෙවනැල්ල’ මගේ ‘නොදනිමි කාගෙ දොසා’ මෙන් ම නූතන තරුණ ලෙඛකයන්ගේ සමහර නවකතා හා කෙටිකතා ද මේ මග ගන්නවා.
පුවත්පත් සරල බසක් යොදාගත යුතුයි. රූපවාහිනියටත් ඒ කාරණය බලපානවා. කතා කරන බස පුවත්පතට වඩා ගුවන්විදුලියට හා රූපවාහිනියට අවශ්‍ය යි. ප්‍රවෘත්ති ප්‍රචාරය කරන අපේ සමහර ගුවන්විදුලි විකාශන – ‘සිරස’ බීබීසී සන‍්දේශය – හා ‘එම්ටීවී’ වැනි රූපවාහිනි විකාශනකතා කරන බස යොදාගත්තත් රඩයේ ගුවන්විදුලිය හා රූපවාහිනිය බොහෝ විට යොදාගන්නේ ග්‍රන්ථාරූඪ බසයි. මේක කොතෙක් කාලයක් ගෙන්යන්න පුළුවන් ද? ඒවාගේ බසේ වැරදි බහුල වන්නෙ කරුණු දෙකක් හින්දායි. (1) පරණ පත පොත සහ ග්‍රන්ථාරූඪ නීති රීති නොදත් අය ඒවායේ මුල් තැන්වල සිටීම (2) සරල වශයෙන් මිනිස්සුන්ට යමක් දෙන්න උචිත බස කතා කරන බස බව ඒවායේ ප්‍රවෘත්ති සංස්කාරකයන්, නිවේදකයන් හා විස්තර ප්‍රචාරකයන් නොදැන සිටීම.
කතා කරන බසට ක්‍රමයෙන් ළං වෙන්න මමත් දැන් තැත් කරනවා. විද්‍යත්මක පොතපත කතා කරන බසට ළං වී ලියන්නට පුළුවන් බව මගේ ‘සමාජවිද්‍යා පර්යේෂණ මූලධර්ම’ කියවන කාට වුණත් වැටහෙනවා ඇති. පාසැල් ග්‍රන්ථයක් ලියන විට සම්මත වියරණයට ළං ව ලියතත් කතාන්තරයක රීතිය ඒ තුළට ගෙන එන්නට මම වෑයම් කරනවා. කතා කරන බසේ වියඑණය හා රීතිය දැන උගෙන එය ලියන බසට හෝ වෙනත් සන්නිවේදන බසකට හරි හැටි යොදාගත හැකි වන්නේ අපේ පැරණි පතපොත හා නූතන පතපොත හරියාකාරව කියවා උගත් අයටයි.
කතා කරන බසින් ලියන්නට ගිය පලියට ඒ නිසා ම හොඳ කෘතියක් මතු වන්නේ නැහැ. නිසඳැස් කියා කඩිමුඩියේ පල්හෑලි ලියන්නට පුළුවන්කමක් කලකට ඉහත නම් තිබුණේ නෑ. හතර පදයක් ලියන්න පුළුවන් අය අපේ සමාජයේ කොච්චර නම් ඉන්නවා ද? නමුත් හොඳ හතරපද එළිසම කාව්‍ය ග්‍රන්ථ ලියැවුණේ කීයද? කතා කරන බස හා එහි රීතිය පළමුව හොදාගත යුත්තේ 21 වැනි ශතවර්ෂයේ අපේ බසට එල්ල වන අභියෝගවලට මුහුණ දීමට යි. විශේෂයෙන් ම ගුවන්විදුලි හා රූපවාහිනී සන්නිවේදනය, අලුත් මුද්‍රණ ශිල්පය, පරිගණකය, අන්තර්ජාලය පිළිබඳ ප්‍රශ්නවලදී කතා කරන බස, එහි රීතිය හා වියරණය ඔස්සේ මිස උත්තර දීමට අපට බැහැ.
පාසැල් අධ්‍යාපනයේ දී සම්මත වියරණ නීති රීති ඉතා ලිහිල් ව ඉගැන්විය යුතුයි. පාසැල්වල හා විශ්ව විද්‍යාලවල අපේ පැරණි පතපොත හැදෑරිය යුතු මයි. කොපමණ දුරට වගකීමෙන් ඉගෙන ගත්තත් ඒවා නොදත් නොකියවූ අය අනාගතයේ දී මොනම වැඩකට වත් යොදාගන්න බැහැ. ඒ නිසා අපි කළ යුත්තේ තේරුම් ගත නොහැකි, ව්‍යවහාරයේ නොයෙදෙන වියරණ නීති රීති ඉගැන්වීම නොව පහසුවෙන් වැඩ ගත හැකි සම්මත වියරණ නීති කතා කරන බසට හැකි තාක් ළං කොට දරුවාට ඉගැන්වීමයි. පොත්පත් වැඩියෙන් කියවීමට මග සැලසීමයි. 21 වැනි සියවසේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ මේ දරුවන් මිස වියාකරණ පොත් කර උඩ තබාගෙන දැනීමෙන් අසමබර වෙන අපේ වගේ උගත්තු නෙමේ.
…
“කතා කරන බසේ වියාකරණය එහෙම පිටින් ම කොපි කරන්ටයි කීම මගේ අදහස නොවේ. සමහර විට කතා කරන බස සමාජ අවශ්‍යතා අනුව වෙනස් වෙනවා. ඇතැම් ප්‍රවෘත්ති පත්‍රවල එබඳු නාගරික මුඩුක්කු බසක් යොදා ලියන රචනා තියෙනවා. (’මුඩුක්කු’ කීවේ හෙළා දැකීමකට නොවෙයි - බස අඳුනා දීමටයි) ඒ රචනාවල ඇත්තේ ඒ මුඩුක්කුවල ජීවත් වෙන අයගේ වචන කෝෂය මිස රීතිය හෝ ව්‍යාකරණය නෙමේ. ඒ වචන පවා පරිස්සමෙන් තෝරාගෙන රචනා කළ යුතුයි. කතා කරන බසේ ආත්මය හඳුනා නොගෙන එය ප්‍රවෘත්ති ආදී සන්නිවේදන කාර්යවලට උනත් යොදගන්න බැහැ.
…
“කතා කරන බසේ ආත්මය දැනගෙන, ඒ වාක්‍ය රටාවට හා වියරණයට ළං වන විදිහට ලියන බස හැඩගැස්වීම අපි කැමති වුණත් නැතත් අනාගතයේ දී සිද්ධ වෙනවා. ඒ නිසා මෙය වටහාගෙන කටයුතු කරනවා නම් අපි කාගේත් හිතසුව පිණිස වැදගත් වන බව ඒකාන්තයි”
නන්දසේන රත්නපාල 1997
(අජිත් තිලකසේන සංස්කරණය කළ 1997 පළ වූ අදට ඔබින බස කෘතියෙන්)