වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සද්ගුනවත් බූරුවා මහතා

| Comments

බූරුවා මහතා කියන්නේ මට මෑතදී කියවන්න ලැබුනු බොහොම රසබර නවකතාවක ප්‍රධාන චරිතය. පොතේ නම සද්ගුනවත් බූරුවා මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදානය [ස්වචරිතාපදානය :p] ලිව්වේ උර්දු ලේඛක ක්‍රිශන් චන්දර්. සිංහලයට පෙරලුවේ ගුනතිලක මැටියගනේ. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක්.

හරිම මනරම් පොතක්. ගුනතිලක මැටියගනේ මහතා ඒක ඉතාම විචිත්‍ර ආකාරයෙන් පන නොනසා සිංහලයට නගා තිබෙනවා.

මෙහි ප්‍රධාන චරිතය සැබෑ ම බූරුවෙක්. නමුත් වියතුන්ගේ ඇසුර ලබා මුල් කාලයේ දී ම භාශා ශාස්ත්‍ර ඉගෙන ගන්න, මිනිස් භාශා කතාකරන්න ලැබෙන මේ බූරුවා (මහතා) ඒ නිසා ම ඉතා සංකීර්න, එහෙත් උත්ප්‍රාසවත් සිදුවීම් දාමයකට මුහුන දෙනවා. බූරුවා මහතා සමග මිනිස් සමාජයේ සරන පාඨකයාට ඒ සැරසැරියේ දී අනේක ප්‍රකාර “මිනිස් බූරුවන්” මුනගැහෙනවා :D වැඩි විස්තර ආයෙත් මේ ගැනම ලියන්න මූඩ් එකක් ආවොත් ලියන්නම්. දැනට මේ උපුටනය බලන්න -

හින්දු මුස්ලිම් වාර්ගික ආතතිය පසුබිමේ දිවෙන කතාවෙන් කොටසක්. කතාව ඉදිරිපත් කෙරෙන්නේ බූරුවා මහතාගේ දෘශ්ටි කෝනයෙන්

මම - “අනේ උතුමාණෙනි, මට යන්න දෙන්න!”

මෞලවි - “මං කොහොමද උඹ අතාරින්නෙ? මේ වගේ අපූරු වාසනාවක්?”

මම - “අනේ උතුමාණන් වාන්ස, මේ අසරණ ගැත්තා කොහොමද වාසනාවක් වෙන්නෙ? මගේ එතම වාසනාව තමයි මා බූරුවකු වීම, නැනිතම් වෙලාකටත් මා මරා දමලා.”

මෞලවි - හොදයි පලමුවෙන් ම මට කියපන් උඹ හින්දුවෙක් ද මුසල්මානුවෙක් ද කියා. එතකොට මං තීරණය කරන්නං කළ යුත්තේ කුමක් ද කියා…”

මම -  “දෙයියෝ බුදුවන්ඩ, උතුමාණෙනි, මම මුසල්මානුවෙක් වත් හින්දුවෙක් වත් නෙවෙයි. මම නිකම්ම බූරුවෙක් විතරයි. අනික බූරුවන්ට ආගමක් තියෙන එකක් යැ…”

මෞලවි - “කරුණාකරල මට තිරසාර උත්තරයක් දීපන්”

මම - “ඉතින් තිරසාර උත්තරයක් තමා දුන්නෙ මෞලවි උතුමා. හින්දුවෙකුට හෝ මුසල්මානුවෙකුට බූරුවෙක් වෙන්න පුළුවන්. ඒකෙ දෙපරාදුවක් නෑ. ඒත් හින්දුවෙක් හෝ මුසල්මානුවෙක් වෙච්චි බූරුවෙක් ගැන කව්රු කවදා කොතැනක අසා ඇතිද?”

මෞලවි - “එයින් මට පෙනී යන්නේ උඹ පංකාදු පහේ තක්කඩියෙකු බවයි. ගෙදර යමන්කො මම උඹට තෝරල පහදල දෙන්න…”

…..
…..
…..
(2006, 17, 18 පිටු)

නුවර වැව රවුම…

| Comments

දැන් ආයෙත් මැරතන් එක හපුතලේ කන්ද අදිනවා වගේ ටිකක් හෙමින් යන්නෙ. ඉතින් මහත් පරිශ්‍රම දරා වෙහෙස වලකාගෙන ලියන්නයි හදන්නේ…. දැන් තාලේ මාරු කරන්න සිද්ද වෙනවා.

දැන් අපි යමු නුවර වැව රවුමට.

නෑ නෑ! වැව රවුමට සම්බන්ධ බ්ලොග්කරුවන් කලබල වෙන්න එපා. මම මේ වෙනත් දෙයක් ලියන්නේ. නමුත් නුවර වැව රවුම කියන්නේ මොනතරම් සුන්දර ස්ථානයක්ද?

මම පසුගිය දිනෙක දැකපු පොලිස් පාට් එකක්. මම වැව රවුමේ ඇවිදගෙන යද්දී හොද උස මහත පොලිස් නිලධාරියෙක් හදිසියේ ම බොහොම බය පක්ශපාත පෙනුමක් තිබුනු වැඩිහිටියෙකුට තඩිබාන්න ගත්තා. ඔහු තමන් ම පැලඳගෙන ආපු හෙල්මට් එකෙනුයි අනිත් අතිනුයි දෙකෙන් ම ඉවක් බවක් නැතුව පහර දුන්නේ නිල ඇඳුම ඇදගෙන ඉන්න ගමන් මයි. සමහර විට යම් කිසි හොරකමක් හරි සුලු වරදක් හරි ඒ පුද්ගලයා සිදු කර තිබුනා වෙන්න පුලුවන්. නමුත් පොලිස් නිල ඇඳුමින් හිඳිමින් එහි බලය අපයෝජනය කිරීම දැන් ඉතාම පුරුද්දට ගිය “සාමාන්‍ය” දෙයක් බවට පත් වෙලා තියෙන බව පේනවා. දෙන දඬුවම ඒ විදිහට තීරනය කරන්න පුලුවන් ද? දලදා මැඳුර ඉදිරිපිට වැව රවුමේ “විනීතව” නොසිටින පෙම්වතුන්ට සදාචාරය උගන්නන්නෙත් මේ පොලීසියම තමයි. වැලන්ටයින් දිනයට වැව රවුමේ විශේශ මුර සංචාරත් දානවා. ඒත් කිසිම චාරයක් නැතුව බලය නැති අසරනයෙකුට තඩිබාන්නත් පොලිසියට “ලයිසන්” තියෙනවා.

වැලිතලප, ප්ලේන්ටී සහ මැරතන්

| Comments

අවුරුදු කාලේ නිසා කෑමෙන් බීමෙන් නං අඩුවක් නැහැ. ඔන්න දැන් තේ එකක් බිබී වැලිතලප කෑල්ලක් කකා තමයි මැරතන් දුවන්නෙ. හැබැයි මේ තරම් ම පැනිරස කෑම කාපු කාලයක් මට නම් මතක නෑ. මම ඉතින් සැරට මිරිසට තමයි වැඩි පුර කන්නෙ.

කෑම කොහොම වුනත් වතුර පෙවෙනවා නම් මදි කියලා මතක් වුනේ ටීකාවේ පල වෙලා තියෙන මත විමසුම දැක්කමයි.

නිශ්පන්න, තද්භව සහ තත්සම….

| Comments

කලින් සටහනේ තත්සම පදයක් හැටියට බ්ලොග් කියන පදය සිංහල භාශාවට ආපු බව කීවා.

ඒ නිසා නිසා, හැම තැනම පල කරලා පතුරු ගියපු සටහනක් තියෙනවා. ඒකත් මෙතන පල කලාට වරදක් නෑ කියලා හිතුනා. සිංහල බ්ලොග් අවකාශය තුල වචන සහ පාරිභාශික පද සෑදීම ගැන උනන්දුසහගත කතාබහ සිදු වන නිසා.

ටිකක් මැරතන් නිදිමත තියෙද්දී ලියන්නෙ…කෑලි හැලිල නං සමාවෙන්න :D

බසකට පද එකතු වෙන ආකාර තුනක් තියෙනවා
නිශ්පන්න, තද්භව සහ තත්සම තමයි තුන් ආකාරය.

නිශ්පන්න ශබ්ද කියන්නේ අදාල භාශාව තුල ම නිපදවුනු වචන. තද්භව ශබ්ද
කියන්නේ වෙනත් භාශාවක වචනයක් ඇසුරින් නිපදවුනු ඒවා. තත්සම පද
කියන්නේ කෙලින් ම අදාළ භාශාව තුලට වෙනත් භාශාවකින් ආනයනය කරගත් වචන.
සිංහල භාශාව මේ සියලු වර්ගයේ වචනවලින් පිරිලා. එක ක්‍රමයක් අනෙකට වඩා
උසස් ය කියන්න කිසි ම වාග් විද්යානුකූල හෝ භාශාමය හේතුවක් නැහැ. කවර
මාර්ගයෙන් වචනයක් එකතු වෙනවා ද යන්න බොහෝ විට සන්නිවේදන පහසුව, වයවහාරය හා අදාළ
විශයක්ශේත්‍රය මත තීරනය වන්නක්. සිදත් සඟරාවෙ පවා උපදෙස් දීලා තියෙන්නේ
“වහරනුසරෙන් සපයා” කියලයි. කියන්නෙ ව්‍යවහාරය අනුසාරයෙන් සම්පාදනය
කරගන්න කියලයි.

මේ තුන් ආකාරය දෙස තව ටිකක් සමීපව බලමු -


(1) නිශ්පන්න
අදාළ භාශාව තුල ම නිර්මානය වුනු (නිශ්පන්න වුනු) වචන. “ඔරිජිනල්” යෙදුම්.
මේවා තියෙන්නෙ බොහොම ටිකයි. දැන් සිංහල භාශාවෙන් උදාහරන දුන්නොත්
සුලඟ, වතුර

(2) තද්භව
වෙනත් භාශාවන්ට අයත් පද යම් විපර්යාසයකට ලක් කිරීම/ලක් වීම මගින් නිපදවෙන පද.
මේ කටයුත්තට පදයක් තද්භව වීම කියල කියනවා.
උදාහරන බොහෝ යි
සංස්කෘත සිට සිංහලයට තද්භව වූ පද
ආභරන - අබරන
අර්ථ - අරුත්

දෙමලෙන් සිංහලට තද්භව වූ පද
අම්පලම් - අම්බලම්
උරුමෛ - උරුම
කරවාඩු - කරවල
පොලිවු - පොලී

පාලියෙන් සිංහලට තද්භව වූ පද
ධම්ම - දම්
තන්හා - තන
මග්ග - මග
කහාවන - කහවනු
විජ්ජුලි - විදුලි

ඉංගිරිසියෙන් සිංහලට තද්භව වූ පද
කර් - අක්කර
ඩිස්ට්රික්ට් - දිස්ත්රික්කය
පැනල් - පනේල
පෙන්සිල් - පැන්සල්
ඉංජිනියරින් - ඉංජිනේරු
ඩසන් - දුසිම්

(3)තත්සම
තත්සම යනු “එයට සමාන” යන තේරුම දෙය යෙදුමක්. එයින් ම අදහස් වන පරිදි
තත්සම පද අදාල මුල් භාශාවේ පරිදි ම භාවිතා වෙනවා. කෙලින් ම වචනය “ආනයනය”
කරනවා :-)

තත්සම පදවලට උදාහරන -

සංස්කෘත බසින් සිංහලට තත්සම පද-
කුමාර - කුමාර
ආධාර - ආධාර
විද්යා - විද්යා
මාර්ග - මාර්ග

දෙමලෙන් තත්සම පද-
අත්තිවාරම් - අත්තිවාරම්
පදක්කම් - පදක්කම්

ඉංගිරිසියෙන් තත්සම පද (මේවාට නම් ඇතැම් අය සිංහල පදත් හදල තියෙනවා)-
නමුත් අද කථා ව්යවහාරය තුළ නම් මේ ඉංගිරිසි තත්සම යෙදුම් පිරිලා. ඒත් ඒ හැම
එකක්ම පාරිභාශික පද හැටියට ගන්න නම් බැහැ.

බස් - බස්
ගැජට්- ගැජට්
ෆෝල්ඩර් - ෆෝල්ඩර්
මොබයිල් - මොබයිල්
චැනල් - චැනල් (චැනල් කිරීම ආදී අවස්ථාවල)

බ්ලොග් - බ්ලොග් :D

පෘතුගීසි බසින් තත්සම පද
කාමර - කාමර
පෙනේර - පෙනේර
වීදුරු - වීදුරු
සාක්කු - සාක්කු
බේබදු - බේබදු


මම කලින් ලියූ දෙයකුත් උපුටන්න කැමතියි -
“වෙනත් භාශාවක පවත්නා වචන සිංහල කරගන්න පුළුවන් අදාල වචනය අගට “ය” “ව” හෝ
“එක” යෙදීමෙන්. සංස්කෘතිය, ගරාජය, ඇස්ටරොයිඩය, බසය (බස් එක) ආදී වශයෙන්
ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් වචන සිංහලයට ඇවිත් තියෙනවා මේ ආකාරයට. බස්
කියන වචනේ වෙනත් භාශාවල තිබුනත් බස් එක කියලා යෙදුමක් තියෙන්නේ සිංහල
භාශාවේ විතරයි නේ. ක කාටත් තේරෙනවා. අපි උදේ හවස භාවිතා කරන පහසු, වගේ
ම නිවැරදි යෙදුමක් ක. මවුසයත් විදිහට සකසා ගත් පදයක්. ගැජට්ටුව,
විජට්ටුව(ගැජට් එක, විජට් එක) ආදී පද ඉතා සුඛනම්‍ය ආකාරයෙන් සන්නිවේදනය
උදෙසා යොදාගත හැකියි. විද්යා ක්ශේත්‍රයේ ඇතැම් වචන (උදා- පිපෙට්ටුව -
එනම් විද්‍යාගාර උපකරනය, මොනිටරය) දැනට මත් මේ ආකාරයෙන් සකසාගෙන
තිබෙනවා.”

ඉතින් බ්ලොග් කියන්නෙත් සිංහල ව්‍යවහාරයට පුළුල් ව එකතු වුනු තත්සම පදයක්. ලොග් සටහන් කියන යෙදුම මීට පෙරත් තත්සම පදයක් ලෙස සිංහලයේ භාවිතා වෙනවා. බාලදක්ශයින් පවත්වාගෙන යන ලොග් පොත මීට හොඳ උදාහරනයක්. බ්ලොග් යන පදය ඉතා හොඳින් සිංහලයේ තහවුරු වෙන්න තවත් හේතුවක් තමයි එය බ්ලොග්කරනය, බ්ලොග්කරු, ආදී වශයෙන් අවශ්‍ය සියලු ආකාරවලට නමා, වරනඟා
භාවිතා කරන්නත් හැකි වීම. අනික මෙවැනි වේගයෙන් පැතිර යන සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත මෙවලමක් සඳහා අමුතුවෙන් “ඔරිජිනල්” දුරවබෝධ නමක් යෙදීම අවශ්‍ය නැති බවයි මට කල්පනා වෙන්නෙ. මෙසේ තත්සම පද භාවිතය කිසි සේත් පහත් පෙළෙ හෝ දෙවැනි පෙලේ භාවිතයක් නෙමේ. තත්සම පදත් අනිත් පද මෙන් ම ශිශ්ට සම්පන්නයි. උසස් :-)

බ්ලොග් අවකාශය නිසා සිංහල භාශාවට එකතු වුනු අලුත් පද

| Comments

ඔන්න මේ සටහ ලියද්දී පාවිච්චි වෙන්නෙත් ඒ පද මයි. අලුත් මාධ්‍යයක්, අලුත් අවකාශයක් නිසා සිංහල භාශාවට අලුත් වචන ගනනාවක් එකතු වී තහවුරු වෙමින් තිබෙනවා. පලමුවැන්න තමයි බ්ලොග්. මේක මුලින් ම ඉංගිරිසි භාශාවේ web + log ලෙසින් පද එකතු වෙලා වෙබ්ලොග් වසයෙන් භාවිතා වෙලා පසුව බ්ලොග් බවට පත් වුනා. ඉතින් දැන් ඒක ව්‍යවහාරය නිසා තත්සම පදයක් හැටියට සිංහල භාශාවටත් එකතු වෙලා. ඒ වටා පද ගනනාවක් වරනැඟී භාවිතයට ඇවිත් තියෙනවා.

බ්ලොග්කරුවා, බ්ලොග් රචකයා, බ්ලොග් ලියන්නා - blogger

බ්ලොග්කරනය - blogging

බ්ලොග් අවකාශය, බ්ලොගවකාශය - blogosphere

“තනි සිංහලෙන්” මේ සඳහා පද නිර්මානය කරන්නත් යම් යම් ප්‍රයත්න දැරුනා වුනත්, ව්‍යවහාරය සහ විශය ක්ශ්‍රේත්‍රයේ ස්වභාවය නිසා බ්ලොග් එක, බ්ලොග් අඩෙවිය, බ්ලොග් සටහන ආදී වසයෙනුත් විවිධ පැතිවලට පැතිරී මේ පදය තහවුරු වෙලා තියෙන්නෙ. අනිත් අතට සිනමාවේ යෙදෙන්නා සිනමාකරුවා හැටියටත්, එකී කලාව සිනමාකරනය හැටියටත් හඳුන්වන්න පුලුවන් නම් බ්ලොග්කරනයට අදාල මේ පද මෙසේ පැවතීම ගැන අමුතු අර්බුදයක් පැන නඟින්න විදිහක් නැහැ.