වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සුන්දර වචන

| Comments

කතා කිරීම, කියවීම හා නන්දෙඩවීම සම්බන්ධ අධිකාර බලය එෆ් එම් චැනල්වල “නිවේදක” “නිවේදිකාවන්” අතට පත් වූ දා ඉඳන් අධිවේගයෙන් තොරොම්බල් වුන වචනයක් තමයි “සුන්දර”. බොහෝ විට මියපරලොව යන, බීමත් ව මියෑදීමට ආසන්න, ජීවිතය ගැන කලකිරී පරන රොමෑන්ටික් කතා දොඩවන මෙකී නොකී නානා ප්‍රකාර මිනිසුන් - බොහෝ විට කලාකරුවන් හෝ දේශපාලකයින් - හඳුන්වන්න මේ අය “සුන්දර” කියන වචනේ යොදනවා. මියපරලොව ගිය මිනිහා ගැන මෙලෝ සංසාරයක් නොදන්න නිවේදකයා/මාධ්‍යවේදියා මන්ද පෝශනයෙන් පෙලෙන සිය වාක් කෝශය සොලවා මෙහෙම කියනවා. “මේ සුන්දර මිනිසා අද අවසන් ගමන් යනවා…”.

රැයක් දවාලක් නැතුව මේ සුන්දර කතා අහ අහ ඉන්නකොට ඔන්න දැන් හැමතැනටම “සුන්දරත්වය” කාන්දු වෙලා. හරියට අර තේම්ස් නදියේ සවාරියක් කතාවේ තෙල් කාන්දුව වගේ. ලේඛකයෝ, මාධ්‍යවේදියෝ, කලාකාරයෝ, දේශපාලකයෝ, හාමුදුරුවරු, පූජකවරු හැමෝම දැන් ලවක් දෙවක් නැතුව සුන්දර දේවල් ගැන කතා කරනවා. පොත්පත්, කලාකෘති, ස්ත්‍රී පුරුශයින්, ගස් ගල්, අරක්කු බෝතල්… පන්සල්, බනමඩු, කවි බන, නවක වදය, යුද්ධය, සාමය…

සියලු දෙනාට ආදරය ගැන කියන්න තියෙන්නෙත් ඒක (සුන්දර ආන්ඩුකාරවරුත් මේ අතර සිහි වෙනවා) සුන්දර දෙයක් කියලයි. දහඩිය ගඳ, ඒකත් සුන්දරයි. තව තව නානාප්‍රකාර දේවල් සුන්දරයි.

සුන්දර නවක වදයක් නැත යන මැයින් පල ව තිබුනු අගනා බ්ලොග් සටහන කියවද්දී තමයි මේ නන්දෙඩවිල්ල මගේ ඔලුවට ආවෙ.

සිංහල විකිපීඩියාව හා ආචාරධර්ම - මේ වනසන්නේ මහජන මුදල් ද?

| Comments

විකිපීඩියාව යනු දැනුම් ආකරයක්. පොදු දේපලක්. අන්තර්ජාලය මගින් ඒකාබද්ධ කෙරුනු ලෝකයක දැනුම සංසරනය වන අන්දම පිලිබඳ උත්කෘශ්ට ආදර්ශයක්. සිංහල භාශා විකිපීඩියාව තුල මඳ කලක පටන් නිරීක්ශනය කරන්න ලැබුනු ප්‍රවනතාවක් තමයි මේ මහාර්ඝ ඥාන කෝශ්ටාගාරය අපයෝජනය කරමින්, විකෘත කරමින් කිසියම් ව්‍යාපෘතියකට ලකුනු/මුදල්(?) රැස් කිරීමේ අභිලාශයෙන් මෙහෙයවීගත් පාර්ශ්ව දෙකක් හෝ වැඩි ගනනක් විසින් සිදු කරනු ලබන අපසැකසුම්. “අපසැකසුම්” කීවේ ඒවා නියම ක්‍රමවලින් බැහැර ව වංචනික ආකාරයට කල සංස්කරන නිසයි.

“අභිසාරී සහ අපසාරී ශ්‍රේණි සඳහා උදාහරණ” යන හිසැති පිටුවෙන් ලබාගත් මේ තිරපිටපත බලන්න. (විශාලනය සඳහා රූපය මත ක්ලික් කරන්න)



ඉහත පිටුවේත් තවත් සිංහල විකිපීඩියා පිටු දහස් ගනනක් මතත් මෙවැනි සඳහනක් දැන් දැකගන්න පුලුවන් :

“This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia.”

පුද්ගලික ආයතනයක් වගේ ම රාජ්‍ය ආයතනයකුත් සම්බන්ධ ව මේ සිදු කරන ව්‍යාපෘතියේ දිග පලල කෙබඳු දැයි මා දන්නේ නෑ. එහෙත් විකිපීඩියාව මත සිදු වෙමින් පවත්නා දෑ අපට නිරීක්ශනය කරන්න කිසි ම බාධාවක් නැහැ.

මෙහි දී අයථා ප්‍රචාරනයක් වගේ ම පාඨකයා නොමග යැවීමකුත් සිදු වන බව පෙනෙන්න තියෙනවා. එක පැත්තකින් විකි පිටු තමුන්ගේ ව්‍යාපාර හා ආයතනවල ප්‍රචාරය සඳහා යොදාගැනීම. ඊට අමතර ව ඊනියා විශේශඥ මන්ඩලයක් ගැන මුසාවාද ඇද බෑමෙන් ඒ ලිපිවල අනාගත සංස්කරන වක්‍රව අවුරාදමනවා. මෙවැනි උදාරම් සඳහනක් සහිත ලිපියක් නැවත සකසන්න යොමු වෙන්නේ කීයෙන් කී දෙනා ද?

මේ කියන කොම්පැනිය විසින්, විශේශඥ මන්ඩලයකගේ අධීක්ශනයෙන් සිදු කලාය කියන ලිපි විද්‍යාව, තාක්ශනය, ගනිතය, ඉතිහාසය, සාහිත්‍ය - කලා, දර්ශනය, ආගම ආදී නා නා විශය ක්ශේත්‍රවලට අයත්. මේ ලිපිය ලියන මොහොතේ පිරික්සද්දී මෙවැනි ලිපි 2,974 ඇති බව පෙනුනා.


එහෙම නම් මේ “විශේශඥ මන්ඩලය” මෙකී සියලු ක්ශේත්‍රයන්හි කෙලපැමිනි පඬිවරුන්ගෙන් සමන්විත ද? ඒ ඒ විශයයන් සියල්ල පරිවර්තනය අධීක්ශනයට සමත් පිරිසක් ද? නො එසේ නම් ඒ ඒ විශයයට වෙන වෙන ම අධීක්ශක මන්ඩල හිටියා වත් ද? මොවුන් නිපදවා තිබෙන “ලිපි” පරීක්ශා කර බලද්දී එවැන්නක් නම් දැකගන්න අපහසුයි. මේ ලිපි බහුතරයක් අසම්පූර්න හෝ වැරදි පරිවර්තන. අක්ශර වින්‍යාසය හා වියරනය බිඳිලා. අදාල ක්ශේත්‍රයන්හි පාරිභාශික ශබ්ද ගැන තැකීමක් කල බවක් ප්‍රකට වන්නේත් නැහැ. ඊට අමතර ව විවිධ ඉංග්‍රීසි භාශා ලිපිවල උපමාතෘකා කොටස් හිතුමතයට කඩා වෙන් කරගෙන සිංහලෙන් ඒවාට තනි පිටු නිර්මානය කර තිබෙනවා. ඒ පිටු බොහෝ විට අනාථ පිටු හැටියට වර්ගීකරනය වෙන්න ඉඩ තියෙනවා. ඉහත නිදසුන බලන්න. එය සිංහලෙන් වෙන ම පිටුවක් හැටියට තිබුනත් එය ඉංග්‍රීසි අංශය තුල හුදෙක් ප්‍රධාන ලිපියක උපමාතෘකාවක් පමනයි ( http://en.wikipedia.org/wiki/Convergent_series#Examples_of_convergent_and_divergent_series ) මෙවැනි අවස්ථා කීයක් ඔබට සොයාගත හැකි දැයි බලන්න.

තව නිදසුන් දෙකක් පෙන්වා ඉතිරිය මෙය කියවන ඔබට භාර කරන්නම්. භරත නාට්‍යම් පිලිබඳ දීර්ඝ ඉංග්‍රීසි ලිපිය “විශේශඥ මන්ඩලයේ අධීක්ශනයෙන්” “නිරවද්‍යතාව තහවුරු කොට” සිංහලට නඟා ඇත්තේ මෙහෙමයි -


War on terror නම් ඉංගිරිසි ලිපියෙහි උපකොටසක් වෙන ම සිංහල පිටුවක් හැටියට අටවා ඇත්තේ මාතෘකාවේ අකුරු පවා හරි හැටි යොදමින් නෙමෙයි -



Dance in India නමැති මහ ලිපියෙන් උපමාතෘකාවක් ගලවාගන්නා මොවුන් එය ද තවත් ඇදගස්සා සිංහල විකිපීඩියා පරිශ්‍රයෙහි හිටුවන්නේ නැවතත් අර විශේශඥ මන්ඩලයේ සහතිකය දෙමින් -



මෙහි කෙලවර කොතැන ද? විකිපීඩියාවේ ස්වරූපය ගැන නොදන්නා/නොතකන පිරිසක් එහි පිටු මත සිය ප්‍රචාරක වැකි යොදමින් ද අයාලේ යන පිටු නිර්මානය කොට අඩෙවියේ ව්‍යුහය ඇදපලුදු කරමින් ද ගෙනියන මේ ව්‍යායාමය ගැන සිංහල බස භාවිත කරන පරිශීලකයින්ගේත් පොදු මහජනතාවගේත් අවධානය යොමු විය යුතු යි. මේ සා කඩිමුඩියකින් ලිපි සකසන්නේත් සිය “ව්‍යාපෘතිය” යටතේ ඇති ලිපි සංඛ්‍යාව ඉහල දමාගන්නේත් ඒ පසු පස මුල්‍යමය වාසියක් තිබෙන නිසා ද? ICTA ආයතනය මෙවැන්නකට මුදල් යොදවා තිබේ නම් ඒ කාගේ මුදල් ද?

පංචායුධයේ ශ්‍රී විභූතිය

| Comments

“මම නං සිංහයෙක්” සිමියොන් අප්පු අභිමානයෙන් කියනවා. “එහෙම තමයි හිතාගෙන ඉන්නෙ” මනුසිත් අප්පුගේ පිලිතුර ඒකයි. ගාමිණී හත්තොටුවේගම අධ්‍යක්ශනය කල විවෘත වීදි නාට්‍ය කන්ඩායමේ කෙටි නාට්‍යයක එන දෙබසක්.

විවිධ වූ පුරානෝක්ති මත පදනම් ව පුද්ගල, ගෝත්‍රික හා දේශපාලනික අන්‍යතා නිර්මානය කරගැනීම කවදත් සිදු වූවක්. මේ ප්‍රවනතාව දකුනු ආසියානු දේශපාලනයට බොහොම විචිත්‍ර, ඇතැම් විට හාස්‍යජනක ද වූ අරලු බුලු - ලුනු මිරිස් එකතු කරනවා. සිංහයින්, අලි, කොටි, වලස්සු විතරක් නෙමෙයි දෙවිවරු බෝසත්වරුත් දැන් දේශපාලන භූමියේ වොරැඳෙනවා. දුටුගැමුනු රජ්ජුරුවන් සිහි වුනාමත් කට කොනකට හිනාවක් නැගෙන තැනට අපි සම්ප්‍රාප්ත වුනේ අද ඊයෙක නෙමෙයි.

මේ දවස්වල ඉහල ම කතාබහට ලක් වෙන පුරානෝක්තිය තමයි “මව්බිමේ පංචායුධය”. පංචායුධ කියන්නෙ විශ්නු දෙවියන්ට ව්‍යවහාර වුනු අන්වර්ථ නාමයක් නේ. මේ නම වැටෙන්න හේතු වුනේ ඒ දෙවියෝ බොහෝම බලසම්පන්න ආයුධ පහකින් සන්නද්ධ වෙලා හිටපු නිසයි. පොඩි ලමයින්ගේ කරේ බඳින පංචායුධය කියන පලඳනාවෙ තියෙන්නෙත් ඒ ආයුධ පහ තමයි. මීට අමතර ව පංචායුධ කුමාරයෙක් ගැන කතාවකුත් අපේ පන්සිය පනස් ජාතක පොතේ එනවා. නමුත් දැන් කියන්න යන්නේ ඒ ගැන ම නෙමෙයි. අද උදේ මිදුල අමදිමින් උන්නු මගේ මෑනියන්දෑට “නැන්දේ නැන්දේ” ආදී ගරු සම්ප්‍රයුක්ත වදනින් ආමන්ත්‍රනය කල පංචායුධ ලෝලීන්/දාසයින් පිරිසක් පත්‍රිකා සහ පොකැට් කැලැන්ඩර ආදිය ප්‍රදානය කොට තිබුනා. මේ තියෙන්නේ එයින් එකක්.



“පුතා පුංචි කාලෙ නං පංචායුදේ එක දිගට දාල තියන්න ලැබුනෙ නෑ. ඒ දවස්වල ලමයින්ගෙ පංචායුද කඩාගන්න හොරු වගයක් පැතිරිලා හිටිය. සමහර ලමයින්ගෙ පංචායුදේ කඩාගන්න බැරි වුනාම ලමයව බලෙන් උස්සගෙන ගිය ඒවත් පත්තරවල ගියා. ඉතින් මම පංචායුදේ ගලවලා අල්මාරියේ දැම්මා” ගෙට ආ ඇය අතීතාවර්ජනයකුත් කෙරුවා. ඒ හැත්තෑව දශකය ගැන. ඒ කාලෙ ඔය කියන පංචායුධය තෑගි දීලා තිබුනෙ මගේ ලොකු අම්මා. ඇය 1989 අවුරුද්දේ මියපරලොව ගියා. නිල නො වන ඇඳිරි නීතිය නිසා අපට රෝහලට විතරක් නෙමෙයි මලගෙදරටත් යාගන්න අමාරු තත්වයක් උද්ගත වෙලයි තිබුනේ. පස්සේ මට මතකයි මගේ පියා මාත් කැටුව ගියා මේ ප්‍රදේශයේ හිටපු ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියාධරයෙක් මුනගැහෙන්න. අපේ නෑයෙක් මිය ගිහින් ඉන්න නිසා අවමගුලේ වැඩවලට යන්න ක්‍රමයක් හදා දෙන්න කියල ඔහුගෙන් ඉල්ලීමක් කෙරුවා. ඔහු උපදෙස් දුන්නා, “මගදී කවුරු හරි නවත්තලා ප්‍රශ්න කලොත් — — අහවල් දිස්ත්‍රික්කයේ අහවල් නායකයාගෙන් අවසර අරගෙන ආ බව කියන්න”. ඒත් යන අතරමග අපිව නවත්තන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. කී දෙනෙක් ද කියලා හරියට ගනන් කරගන්න අමාරු මල මිනී/ශරීර කොටස් ප්‍රමානයක් අතරමග ටයර් සෑයක පිලිස්සෙමින් තිබුනා. ඊට කිලෝමීටර දෙකකට පමන ඔබ්බෙන් මගේ ලොකු අම්මාගේ අවමගුල් පෙරහැර ගමන් කලා.

මම හිතන්නෙ අද නම් තත්වය වෙනස්. හැත්තෑ ගනන්වල වගේ පංචායුධ කඩාගන්නෙත් නෑ. පංචායුධයකින් නෙමෙයි සර්වාභරනයෙන් සැරසුන ස්ත්‍රියකට වුනත් අපේ දේශයේ එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට තනිපංගලමේ ගමනක් යන්න පුලුවන් තරම් සුරක්ශිතභාවයක් තියෙනවා. අසූගනන්වල අග විභූතිමත් ව හිටපු කෝලාහලකාරයොත් අලු වෙලා ගියා. කොටි විතරක් නෙමෙයි අලිත් දැන් උන්හිටි තැනක් හොයාගන්න නෑ. රටත් බතින් බුලතින් සරුසාරයි. ආර්ථික සමෘද්ධිය නිසා ම හොරකම් මැරකම් අඩු වෙලා. මේ මැතිවරනයෙන් පස්සේ කේතුමතී රජදහන මේ ධරනී තලයේ පහල වෙන බව මට දැන් දැන් දැනී නොදැනී යන්න පටන් අරගෙනයි තියෙන්නේ. එක ම අඩුවකට තියෙන්නේ තුනෙන් දෙක විතරයි.

ආ! මේ තියෙන්නෙ කේතුමතී රාජධානිය ගැන විස්තරයක්, සද්ධර්මාලංකාරයෙ :

“ඒ කේතුමතී නම් රාජධානියෙහි දඬින් පතින් කළ ගෙයක වසන්නා වූ එක ද සත්ව කෙනෙක් නැත. සත් රුවනින් විසිතුරු වූ ප්‍රාසාදවල ම වාසය කෙරෙති … බඩ නිසා දුක් ගන්නා එක ද සත්ව කෙනෙක් නැත”

පංචායුධ පුරානෝක්ති ගැන පසුවට.

රිසර්ච් කිරිල්ල, “කොලඹ කැම්පස්”, සහ දේශපාලනය

| Comments

සෙනසුරාදා උදෑසන. දොරේ සීනුව නාද වුනා. වයස විසි පහක හයක පමන තරුනයො දෙන්නෙක් ෆයිල් කවර දෙකකුත් අරගෙන අපේ දොරකඩ.

“අපි කොලඹ විශ්ව විද්‍යාලෙන්, සමීක්ශනයක් කරනවා. අපට තොරතුරු ටිකක් දැනගන්න පුලුවන් ද?”

ඔවුන් ලැයිස්තුවක් කියවමින් මගෙන් ප්‍රශ්න අහන්න සූදානම් වුනා. ඔහු මුලින් ම ඇහුවේ ගෘහ මූලිකයාගේ නම. මේ විදිහට පොල්ලෙන් ගහන්නා වගේ ප්‍රශ්න ඇහීම නිසා මම තරමක් වික්ශිප්ත වුනා. මේක විශ්ව විද්‍යාල සමීක්ශනයක් වෙන්න පුලුවන් ද?

“මොන අධ්‍යයනාංශයෙද? විශ්ව විද්‍යාලෙන් ද ඔය සමීක්ශනය කරන්නෙ?” මම ඇහුවා.

“අපි දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ, මේ වර්තමාන දේශපාලන තත්වය ගැන සමීක්ශනයක් කරනව” එයින් පලමුවැන්නා උත්තර දුන්නා.

මම ඉතින් ඔහු අතේ තිබුන පත්‍රිකාව ඉල්ලාගෙන බැලුවා. (විශාලනය කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න)



“ඔයා දේශපාලන විද්‍යා අධ්‍යයන අංශෙ කිව්ව නේද? මේ පර්යේශනය කෙරෙන ක්‍රමවේදයේ පොඩි වැරැද්දක් මට පේනවා. ඒක කිව්වට කමක් නෑ නේද? මේ ඔයාලා අහන තොරතුරු සියල්ල පුද්ගලික තේරීම්, දේශපාලනය ගැන පෞද්ගලික නැඹුරුව පිලිබඳ ඔයාලා අපෙන් අහන්න යන්නෙ. ඔයාගේ සමීක්ශනයට විශය වෙන්නෙ human subjects ඒ කියන්නෙ මිනිස්සු. එතකොට මේ වගේ වෙලාවක ඔයාලා අපි ලවා කිසියම් අනුමති පත්‍රයක් - consent form - පුරවාගන්න ඕන නේද? ඊට අමතරව සවිස්තර ව ඉදිරිපත් කරන්න ඕන මේ සමීක්ශනයේ ස්වභාවය, ඒක කෙරෙන්නේ මොන ආයතනයෙන් ද මේකට වගකියන්නේ කවුද ආදිය. ඒ සියල්ල විස්තර කරලා සහතික වෙන්න ඕන මේ ලබාගන්නා තොරතුරු කවර කාර්යයක් සඳහා ද යොදාගන්නේ. මේවා අනාවරනය කරන්නේ කවර පාර්ශ්වයන්ට ද ඒවායේ රහස්‍යභාවයේ තරම ඇතුලු විස්තරත්. ඒ සියල්ල පිලිබඳ විස්තරයක් ඔබ අත්සන් කොට මට ලබා දී මේ තොරතුරු ලබා දීමට මා එකඟ වන බවටත් අනුමැතිය - අනුමති පත්‍රයක් හරහා - ලබාගන්න ඕන. එතකොට මේ වැඩේ ගැන මට කිසියම් ගැටලුවක් තියෙනව නම් ඔබ මට ලබා දෙන ලියවිල්ලේ තියෙන විශ්ව විද්‍යාල ආයතනයට, එහෙම නැත්නම් ඔයාලගේ supervisor ට කතා කරලා ඒක නිරාකරනය කරගන්න පුලුවන්. එහෙම නැතුව කරන සමීක්ශන එතරම් ආචාර ධර්මානුකූල නෑ කියලයි මට හිතෙන්නේ”

“….”

මම අනිත් තරුනයා දිහාට හැරුනා.

“ඔයාත් දේශපාලන විද්‍යාවද කරන්නෙ?”

“ඔව්.”

“කොලඹ විශ්ව විද්‍යාලයේ?”

“ඔව් …. නෑ …. මම කැලනිය.” ඔවුන් ඒ අතර මුහුනින් මුහුන බලාගත්තා.

“එතකොට කොහොමද කැලනිය විශ්ව විද්‍යාලයේ ශිශ්‍යයෙක් කොලඹ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ පර්යේශනයකට සම්බන්ධ වෙන්නෙ” මම තව ප්‍රශ්නයක් ඇහුවා.

“මෙහෙමයි. අපි දැන් කැම්පස් අවුට් වෙලා ඉන්නෙ.” පලමුවැන්නා පැහැදිලි කරන්න පටන් ගත්තා. “මමත් කලේ දේශපාලන විද්‍යාව නෙමෙයි, ඉතිහාසය. ඒත් ඊට පස්සෙ දේශපාලන විද්‍යා අංශයේ සමීක්ශනවලට සම්බන්ධ වුනා. දැන් මේ සමීක්ශනයට මේ මැතිවරන කොට්ඨාසයේ තොරතුරු එකතු කරනවා.”

“හරි. ඒත් ඉතින් සමාජීය විද්‍යාවන්ගේ සමීක්ශන, පර්යේශන කරන්න ඕන විදිහ ඔයාලට උගන්නලා ඇති නේ. මේ වගේ සංවේදී කරුනු කාරනා මිනිස්සුන්ගෙන් එකතු කරන්න කලින් ඒ වගේ විධිමත් විශ්වසනීය ක්‍රමයක් අනුගමනය කරන්න ම ඕන. බලන්න අපේ නමගම එකතු කරනවට අමතරව ඔයාලා අහනව අපේ ප්‍රියතම දේශපාලන පක්ශය, ප්‍රියතම දේශපාලකයා කවුද වගේ ප්‍රශ්න. ඒ වුනාට ඔයාලා කිසිම හඳුනාගැනීමේ ලියවිල්ලක් අරගෙන නෙමේ ඇවිත් ඉන්නෙ. ඔයාට තේරෙනව නේද මේ වගේ තොරතුරු අනාවරනය කිරීම අද කාලේ කෙනෙකුගෙ ජීවිතයට තර්ජයක් පවා සිදු වෙන්න පුලුවන් තරමේ දෙයක් කියල. මම මෙච්චර විස්තර කලේ දැන් ඔයාලා මට කියපු තොරතුරු ඇත්ත ය ඔයාලා කොලඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍ය්‍යයනාංශය වෙනුවෙන් මේ වැඩේ කරනවා ය කියන කතා සත්‍ය බව පිලිගනිමින්. ඒ වුනාට ඔයාලා නිකං දේශපාලන පක්ශයක හරි වෙන ඒ වගේ මොකක් හරි වැඩපිලිවෙලක හරි කොටස්කාරයො හැටියට මෙතනට ඇවිත් මගෙන් ප්‍රශ්න ඇහුවා නම් මම මේක කියන්නෙ නෑ.”

“….”

ඔවුන් ඒ වන විට හිටියේ ප්‍රශ්න ඇසීම කෙසේ වෙතත් හැකි ඉක්මනින් මෙතනින් මාරු වීමේ අදිටනින් බව නම් පෙනුනා.

“ඔව් අපට තේරෙනව” අන්තිමේ දී පලමුවැන්නා කීවා.

“කවුද ඔයාලගේ සමීක්ශනය සම්බන්ධයෙන් වගකියන්නෙ, මේ වැඩේට ඉන්නවද supervisor කෙනෙක් හෝ එවැනි කෙනෙක්, ආචාර්යවරයෙක්, දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයෙ?”

“ඔව් ප්‍රොෆෙසර් කරුනාදාස”

“මොන කරුනාදාස ද…?”

ඔහු කියපු මුල් අකුරු මට හරියට ඇහුනෙ නෑ. නමුත් කරුනාදාස කියන නම කීප වරක් පුනරුච්චාරනය කෙරුන නිසා ඒක මට හොඳට මතකයි. ඒ වෙලාවෙ ම ඔවුන් ගේ ඇතුලට කැටුව ඇවිත් කොලඹ විශ්ව විද්‍යාලයේ වෙබ් අඩෙවිය සොයන එක තරමක් නුවනට හුරු වැඩක් නොවන බව දැනෙන්න වෙලා තිබුනෙ. ගෙදර මම විතරයි හිටියෙත්.

“මට ඔය කොලේක පිටපතක් ගන්න පුලුවන් ද?”

“පුලුවන්” පලමුවැන්නා එකක් මගේ අතට පත් කලත් දෙවැන්නා ඊට එකඟ වුනේ නැහැ.

“ෆොටෝ කොපියක් ගන්න පුලුවන්. මේවා අපේ අතේ තියෙන්නෙ දහයක් විතරයි. ඒ සේරම ඕන.”

“හරි මම ෆොටෝ කොපියක් ගන්නම්.” මම කැමරාවෙන් පිටපතක් ගත්තා. ඒ අතර මම තව දුරටත් ඔවුන්ට උපදෙස් හා අනුශාසනා දෙමින් හිටියත් ඒවාට ඇහුම්න් දෙන බවක් පෙනුනේ නැහැ. නිකම් ම “ඔව් ඔව් ඔව්” කියනවා විතරයි.

“එහෙම නම් ස්තුතියි. අපි ගිහින් එන්නම්.” මම උත්තරයක් දෙන්නත් කලින් ඔවුන් ආපහු යන්නත් පටන් අරන්.

ගේ ඇතුලට ආ මම කොලඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ වෙබ් පිටුව බැලුවා. කරුනාදාස කියලා ආචාර්යවරයෙක් එහි ඉන්න බවක් නම් පේන්න නෑ. දුරකථනයෙන් ඇමතුවත් අද සෙනසුරාදා නිසා වෙන්න ඇති - කිසිම පිලිතුරක් නෑ. මේ දෙන්නා ඉදිරිපත් නිරීමට සූදානම් ව උන් එක ම කොල කැබැල්ල වූ ඉහත පිටුව ද කොලඹ විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරන ලද්දක් බව පිලිගන්න අමාරුයි.

මම ආපහු එලියට ඇවිත් බලනකොට ඔවුන් ඉස්සරහ ගෙදර ගේට්ටුවෙන් ඇතුලට යමින් හිටියා.

Support the World Day Against Cyber-Censorship - 12 March

| Comments



Do you believe in Freedom of Speech?
Do you think its normal to be profiled or tracked while being online?!
Do you think it’s your right to enjoy uncensored Internet search & blogging?
Do you believe in Freedom of Information? Right to Access Information?
Do you want to defend an Internet without restrictions and accessible to everyone at anytime and anywhere?
Support the World Day against Cyber-Censorship, 12 March…
Spread the Word!
Amnesty International & Reporters Without Borders sent an open letter to Yahoo, Google & Microsoft for one day of uncensored Internet search and blogging on March 2009.
And this year, Reporters Without Borders will award the first “Netizen Prize,” with support from Google, on 11 March 2010, on the eve of World Day Against Cyber Censorship. The prize will be given to an Internet user, blogger or cyber-dissident who has made a notable contribution to the defense of online freedom of expression.

[ text quoted from Global Voices Advocay blog ]