වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

රිසර්ච් කිරිල්ල, "කොලඹ කැම්පස්", සහ දේශපාලනය

| Comments

සෙනසුරාදා උදෑසන. දොරේ සීනුව නාද වුනා. වයස විසි පහක හයක පමන තරුනයො දෙන්නෙක් ෆයිල් කවර දෙකකුත් අරගෙන අපේ දොරකඩ.

“අපි කොලඹ විශ්ව විද්‍යාලෙන්, සමීක්ශනයක් කරනවා. අපට තොරතුරු ටිකක් දැනගන්න පුලුවන් ද?”

ඔවුන් ලැයිස්තුවක් කියවමින් මගෙන් ප්‍රශ්න අහන්න සූදානම් වුනා. ඔහු මුලින් ම ඇහුවේ ගෘහ මූලිකයාගේ නම. මේ විදිහට පොල්ලෙන් ගහන්නා වගේ ප්‍රශ්න ඇහීම නිසා මම තරමක් වික්ශිප්ත වුනා. මේක විශ්ව විද්‍යාල සමීක්ශනයක් වෙන්න පුලුවන් ද?

“මොන අධ්‍යයනාංශයෙද? විශ්ව විද්‍යාලෙන් ද ඔය සමීක්ශනය කරන්නෙ?” මම ඇහුවා.

“අපි දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ, මේ වර්තමාන දේශපාලන තත්වය ගැන සමීක්ශනයක් කරනව” එයින් පලමුවැන්නා උත්තර දුන්නා.

මම ඉතින් ඔහු අතේ තිබුන පත්‍රිකාව ඉල්ලාගෙන බැලුවා. (විශාලනය කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න)



“ඔයා දේශපාලන විද්‍යා අධ්‍යයන අංශෙ කිව්ව නේද? මේ පර්යේශනය කෙරෙන ක්‍රමවේදයේ පොඩි වැරැද්දක් මට පේනවා. ඒක කිව්වට කමක් නෑ නේද? මේ ඔයාලා අහන තොරතුරු සියල්ල පුද්ගලික තේරීම්, දේශපාලනය ගැන පෞද්ගලික නැඹුරුව පිලිබඳ ඔයාලා අපෙන් අහන්න යන්නෙ. ඔයාගේ සමීක්ශනයට විශය වෙන්නෙ human subjects ඒ කියන්නෙ මිනිස්සු. එතකොට මේ වගේ වෙලාවක ඔයාලා අපි ලවා කිසියම් අනුමති පත්‍රයක් - consent form - පුරවාගන්න ඕන නේද? ඊට අමතරව සවිස්තර ව ඉදිරිපත් කරන්න ඕන මේ සමීක්ශනයේ ස්වභාවය, ඒක කෙරෙන්නේ මොන ආයතනයෙන් ද මේකට වගකියන්නේ කවුද ආදිය. ඒ සියල්ල විස්තර කරලා සහතික වෙන්න ඕන මේ ලබාගන්නා තොරතුරු කවර කාර්යයක් සඳහා ද යොදාගන්නේ. මේවා අනාවරනය කරන්නේ කවර පාර්ශ්වයන්ට ද ඒවායේ රහස්‍යභාවයේ තරම ඇතුලු විස්තරත්. ඒ සියල්ල පිලිබඳ විස්තරයක් ඔබ අත්සන් කොට මට ලබා දී මේ තොරතුරු ලබා දීමට මා එකඟ වන බවටත් අනුමැතිය - අනුමති පත්‍රයක් හරහා - ලබාගන්න ඕන. එතකොට මේ වැඩේ ගැන මට කිසියම් ගැටලුවක් තියෙනව නම් ඔබ මට ලබා දෙන ලියවිල්ලේ තියෙන විශ්ව විද්‍යාල ආයතනයට, එහෙම නැත්නම් ඔයාලගේ supervisor ට කතා කරලා ඒක නිරාකරනය කරගන්න පුලුවන්. එහෙම නැතුව කරන සමීක්ශන එතරම් ආචාර ධර්මානුකූල නෑ කියලයි මට හිතෙන්නේ”

“….”

මම අනිත් තරුනයා දිහාට හැරුනා.

“ඔයාත් දේශපාලන විද්‍යාවද කරන්නෙ?”

“ඔව්.”

“කොලඹ විශ්ව විද්‍යාලයේ?”

“ඔව් …. නෑ …. මම කැලනිය.” ඔවුන් ඒ අතර මුහුනින් මුහුන බලාගත්තා.

“එතකොට කොහොමද කැලනිය විශ්ව විද්‍යාලයේ ශිශ්‍යයෙක් කොලඹ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ පර්යේශනයකට සම්බන්ධ වෙන්නෙ” මම තව ප්‍රශ්නයක් ඇහුවා.

“මෙහෙමයි. අපි දැන් කැම්පස් අවුට් වෙලා ඉන්නෙ.” පලමුවැන්නා පැහැදිලි කරන්න පටන් ගත්තා. “මමත් කලේ දේශපාලන විද්‍යාව නෙමෙයි, ඉතිහාසය. ඒත් ඊට පස්සෙ දේශපාලන විද්‍යා අංශයේ සමීක්ශනවලට සම්බන්ධ වුනා. දැන් මේ සමීක්ශනයට මේ මැතිවරන කොට්ඨාසයේ තොරතුරු එකතු කරනවා.”

“හරි. ඒත් ඉතින් සමාජීය විද්‍යාවන්ගේ සමීක්ශන, පර්යේශන කරන්න ඕන විදිහ ඔයාලට උගන්නලා ඇති නේ. මේ වගේ සංවේදී කරුනු කාරනා මිනිස්සුන්ගෙන් එකතු කරන්න කලින් ඒ වගේ විධිමත් විශ්වසනීය ක්‍රමයක් අනුගමනය කරන්න ම ඕන. බලන්න අපේ නමගම එකතු කරනවට අමතරව ඔයාලා අහනව අපේ ප්‍රියතම දේශපාලන පක්ශය, ප්‍රියතම දේශපාලකයා කවුද වගේ ප්‍රශ්න. ඒ වුනාට ඔයාලා කිසිම හඳුනාගැනීමේ ලියවිල්ලක් අරගෙන නෙමේ ඇවිත් ඉන්නෙ. ඔයාට තේරෙනව නේද මේ වගේ තොරතුරු අනාවරනය කිරීම අද කාලේ කෙනෙකුගෙ ජීවිතයට තර්ජයක් පවා සිදු වෙන්න පුලුවන් තරමේ දෙයක් කියල. මම මෙච්චර විස්තර කලේ දැන් ඔයාලා මට කියපු තොරතුරු ඇත්ත ය ඔයාලා කොලඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍ය්‍යයනාංශය වෙනුවෙන් මේ වැඩේ කරනවා ය කියන කතා සත්‍ය බව පිලිගනිමින්. ඒ වුනාට ඔයාලා නිකං දේශපාලන පක්ශයක හරි වෙන ඒ වගේ මොකක් හරි වැඩපිලිවෙලක හරි කොටස්කාරයො හැටියට මෙතනට ඇවිත් මගෙන් ප්‍රශ්න ඇහුවා නම් මම මේක කියන්නෙ නෑ.”

“….”

ඔවුන් ඒ වන විට හිටියේ ප්‍රශ්න ඇසීම කෙසේ වෙතත් හැකි ඉක්මනින් මෙතනින් මාරු වීමේ අදිටනින් බව නම් පෙනුනා.

“ඔව් අපට තේරෙනව” අන්තිමේ දී පලමුවැන්නා කීවා.

“කවුද ඔයාලගේ සමීක්ශනය සම්බන්ධයෙන් වගකියන්නෙ, මේ වැඩේට ඉන්නවද supervisor කෙනෙක් හෝ එවැනි කෙනෙක්, ආචාර්යවරයෙක්, දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයෙ?”

“ඔව් ප්‍රොෆෙසර් කරුනාදාස”

“මොන කරුනාදාස ද…?”

ඔහු කියපු මුල් අකුරු මට හරියට ඇහුනෙ නෑ. නමුත් කරුනාදාස කියන නම කීප වරක් පුනරුච්චාරනය කෙරුන නිසා ඒක මට හොඳට මතකයි. ඒ වෙලාවෙ ම ඔවුන් ගේ ඇතුලට කැටුව ඇවිත් කොලඹ විශ්ව විද්‍යාලයේ වෙබ් අඩෙවිය සොයන එක තරමක් නුවනට හුරු වැඩක් නොවන බව දැනෙන්න වෙලා තිබුනෙ. ගෙදර මම විතරයි හිටියෙත්.

“මට ඔය කොලේක පිටපතක් ගන්න පුලුවන් ද?”

“පුලුවන්” පලමුවැන්නා එකක් මගේ අතට පත් කලත් දෙවැන්නා ඊට එකඟ වුනේ නැහැ.

“ෆොටෝ කොපියක් ගන්න පුලුවන්. මේවා අපේ අතේ තියෙන්නෙ දහයක් විතරයි. ඒ සේරම ඕන.”

“හරි මම ෆොටෝ කොපියක් ගන්නම්.” මම කැමරාවෙන් පිටපතක් ගත්තා. ඒ අතර මම තව දුරටත් ඔවුන්ට උපදෙස් හා අනුශාසනා දෙමින් හිටියත් ඒවාට ඇහුම්න් දෙන බවක් පෙනුනේ නැහැ. නිකම් ම “ඔව් ඔව් ඔව්” කියනවා විතරයි.

“එහෙම නම් ස්තුතියි. අපි ගිහින් එන්නම්.” මම උත්තරයක් දෙන්නත් කලින් ඔවුන් ආපහු යන්නත් පටන් අරන්.

ගේ ඇතුලට ආ මම කොලඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ වෙබ් පිටුව බැලුවා. කරුනාදාස කියලා ආචාර්යවරයෙක් එහි ඉන්න බවක් නම් පේන්න නෑ. දුරකථනයෙන් ඇමතුවත් අද සෙනසුරාදා නිසා වෙන්න ඇති - කිසිම පිලිතුරක් නෑ. මේ දෙන්නා ඉදිරිපත් නිරීමට සූදානම් ව උන් එක ම කොල කැබැල්ල වූ ඉහත පිටුව ද කොලඹ විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරන ලද්දක් බව පිලිගන්න අමාරුයි.

මම ආපහු එලියට ඇවිත් බලනකොට ඔවුන් ඉස්සරහ ගෙදර ගේට්ටුවෙන් ඇතුලට යමින් හිටියා.