වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

Black Box ප්‍රසංග කලා අත්දැකීම නැවතත් ජූලි 27 සිට

| Comments

Inter Act Art සංවිධානය මීට ප්‍රථම ඉදිරිපත් කළ බ්ලැක් බොක්ස් ප්‍රසංග කලා උලෙලේ දී අත්විඳි ආස්වාදජනක අත්දැකීම ගැන මා මීට පෙර ලියූ සටහන ඔබට මතක ඇති.

මෙන්න දැන් නැවතත් වරක් එවැනි ම බ්ලැක් බොක්ස් ප්‍රසංග කලා උලෙලක්! මෙය ආරම්භ වෙන්නේ ජූලි 27 වැනි දා. එදා පටන් දිනපතා හවස 4 ට සහ 6 ට රාජගිරිය, ඔබේසේකරපුර, නානායක්කාර මාවතේ 133/48D දරන ස්ථානයේ දී නාට්‍යමය, සිනමාත්මක, නර්තනමය හා ප්‍රසංග කලා නිර්මාන ගනනාවක් ම නැරඹීමේ අවස්ථාව තියෙනවා.

මුල් වතාවට මෙතැනට යද්දී මටත් ලිපිනය අනුව ස්ථානය සොයාගන්න අමාරු වුනා. පහසු ක්‍රමය මේකයි. කොටා පාරෙන් ගෝතමී පාරට ඇවිත්, ගෝතමී විහාරය පසු කරමින් ඉදිරියට යන්න. එවිට හමු වන පාලම පසු වූ විගස ම වම් පසට දිවෙන අතුරු පාරේ තමයි බ්ලැක් බොක්ස් රඟහල තියෙන්නේ. ඒ පැත්තෙන් ඉතා ඉක්මනින් රඟහලට ලඟා වෙන්න පුලුවන්.

කලා උලෙලේ සම්පූර්න කාලසටහන විශාලනය කර බැලීමට මේ රූපය මත ක්ලික් කරන්න.

මෙන්න ප්‍රවෘත්ති: ශ්‍රී ලංකා පොලිසිය වේදිකා නාට්‍ය අධ්‍යක්ශනයට පිවිසෙයි!

| Comments

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ශනය කල දෙබිඩ්ඩෝ නාට්‍යයේ ප්‍රසිද්ධ දර්ශනයක් ආරම්භ වීමට මත්තෙන් එහි පැමිනි පොලිසිය එහි අන්තර්ගත ජවනිකාවක් පිලිබඳ අධ්‍යක්ශකවරයාගෙන් ප්‍රශ්න කල බව ඊයේ වාර්තා වුනා. ප්‍රශ්නයට තුඩු දී ඇත්තේ නාට්‍යයෙහි තුන්වැනි අංකයෙහි එන දුම්බීමේ දර්ශනයක්. දෙබිඩ්ඩෝ නාට්‍යය සුප්‍රකට ඉතාලි ජාතික නාට්‍යකරු දාරියෝ ෆෝ ලියූ Trumpets and Raspberries කෘතියේ පරිවර්තනයක්. එය ලොව බොහෝ තන්හි විවිධ භාශාවන්ගෙන් වේදිකාගත ව ඇති කෘතියක්. 1991 වසරේ දී ද්විත්ව නමින් නිශ්පාදනය වුනේත් සම්මාන දිනුවේත් මේ කෘතිය ම යි.

මේ සිද්ධිය පිලිබඳ වැඩිදුර තොරතුරු සහ රූප දෙබිඩ්ඩෝ Facebook පිටුවේ දැකගන්න පුලුවන්.

ප්‍රශ්න කිරීම සිදු කොට ඇත්තේ ඊයේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පැවැත්වුනු 3.30 දර්ශනයට විනාඩි විස්සකට පෙර එහි පැමිනි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. මීට ප්‍රථම දර්ශනවාර කිහිපයක දී මෙකී දර්ශනයට හඬ නගමින් බාධා කල සංවිධානගත පිරිසක් ද සිටි බවත් එම Facebook පිටුව වාර්තා කරනවා. එසේ ම පුවත්පත් ලිපි ආදිය මගින් ද ඊට සමාන්තර විරෝධයක් සූදානම් කෙරුනු බවයි පෙනෙන්නේ. මේ සිද්ධියේ එලියෙන් බැලූ විට අනාගතයේ දී දුම් හෝ මත්පැන් බීමේ ජවනිකා සහිත නාට්‍ය අධ්‍යක්ශනය කරන සියලු දෙනාට පොලිස් ප්‍රශ්න කිරීම්වලට මුහුන දීමට සිදු වේවි ද යන ප්‍රශ්නය කෙනෙකු තුල මතු වීම අතාර්කික නැහැ. අනිත් අතින් 2007 සිට ප්‍රකාශයට පත් කොට තිබෙන අපේ මහාර්ඝ ජාතික සංස්කෘතික පිලිවෙත නිසා මේ තත්වය වඩාත් සංකීර්න වෙන්නත් බැරි නැහැ. මේ උපුටනය දෙබිඩ්ඩෝ Facebook පිටුවෙන්:

DEBIDDO INQUIRED AND THREATENED TO REMOVE AN ACT!

20 Minutes before the 3.30 show two police officers came to investigate a complaint made by an individual regarding a scene staged in the play. The scene, which comes in the 3rd act of the play, has Rosa (Jayani Senanayake) smoking a cigarette.

Previously during the June 23rd show at the Elphiniston an organized group of people “Booed!” the show during the above mentioned act. The ‘booing’ which distracted the act lasted for around 2 minutes until the smoking act was finished. The same organized group distributed leaflets insulting Prasanna Vithanage and the drama.

In parallel to these incidents an article written by Dr. Shantha Hettiarchchi appeared on the 11.07.10 Lakbima news paper mentioning the same incident without mentioning any names of the people involved or the name of the play.

The police officer that came for the inquiry said he was informed, when the complaint was made, that Prasanna Vithanage was notified to remove that ‘act’ from the play. But no such official notification was given to Prasanna Vithanage or the producer.

Can an individual threaten to remove such an act from a stage play when proper authorization is given to the director by the censor board of Sri Lanka to carry out the project? What is the validity of the authorization when in return the play is been questioned by the institution that is appointed to protect the law?

Does this imply that smoking or drinking acts have to be removed from stage plays in the future?

Will every director, who has such acts, have to face a police inquiry before their shows?

අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය

| Comments

අද (ජූනි 29) ලංකාදීප පුවත්පතේ වීමංසා අතිරේකය පෙරලද්දී අමුතු පුවතක් හමු වුනා. “සංස්කෘතික ප්‍රතිපත්තිය” යන හිසින් යුතු එහි සඳහන් ව තිබුනේ ජූනි 01 වැනිදා එම පුවත්පතේ ම පල වූ සංවාදාත්මක විශේශාංගයකට පිලිතුරක් වසයෙන් සංස්කෘතික කටයුතු අධ්‍යක්ශවරයා විසින් එවනු ලැබූ ලිපියක්.

මෙහි සුලමුල මෙහෙමයි. මේ කියන ජූනි 01 විශේශාංගයේ දී ලංකාදීප පුවත්පත මෙරටට අදාල සංස්කෘතික ප්‍රතිපත්තියක් පිලිබඳ සාකච්ඡාව යොමු විය යුත්තේ කවර දිශාවකට ද ආදී කරුනු විවිධ ක්ශේත්‍රවල විද්වතුන්ගෙන් විමසා සිටියා. ඔවුන් විවිධ පිලිතුරුත් දුන්නා. ඒත් මේ කිසිම කෙනෙක් දැන නොසිටි කරුනක් දැන් සංස්කෘතික කටයුතු අධ්‍යක්ශවරයාගේ උදව්වෙන් ලංකාදීප පුවත්පතටත් හුදී මහජනතාව වන අපටත් දැනගන්න ලැබී තියෙනවා.

එතුමා මෙහෙම කියනවා:
“එහෙත් 2007 වර්ෂයේ දී ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් සකස් කර 2007 ඔක්තෝබර් මස 31 වැනි දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 07/1862/3541/020 යටතේ ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කිරීම අනුමත කර ඇත. එය 2007 නොවැම්බර් 28 වන දින අංක 1225/12 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත”

මේ ප්‍රතිපත්තිය සකස් කිරීමට දායක වුනේ කවුද, එය සාකච්ඡාවට බඳුන් වූයේ කා අතර ද වැනි නොවැදගත් කරුනු කීපයක් හැරුනු විට අපට අදාල සියල්ල මෙයින් විස්තර වෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවට අදාල “ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය” මේ වන විට සාදා නිම කොට ඇතිවා පමනක් නෙවෙයි එය ගැසට් පත්‍රයකින් නිල වසයෙන් නිවේදනය ද කෙරිලා තුන් අවුරුද්දක් ගතවෙලත් අහවරයි. මේ ගැන අද වනතුරුත් නොදැන සිටි මමත්, ඊටත් වඩා පුවත්පත්වලට ජාතික සංස්කෘතික පිලිවෙත ගැන අදහස් දක්වන විද්වත් ජනයාත් ඒවා පල කරමින් පාඨකයාගේ කාලය කා දමන ලංකාදීප සකසුවනුත් අමුම අමු මෝඩයින් රැලක් බව නිගමනය කිරීම සාධාරනයි. ඊට අමතර ව අපේ රටේ ජාතික සංස්කෘතික පිලිවෙත ගැන නොදන්නාකමට නාඩගම් නැටීමට ගොස් ගුටි කෑ සිරසත්, සිරස ඇති-නැති ලොව ඒකොන් මේකොන් යා කරමින් කෑකෝගැසූ, නාටක - චිත්‍රපටි නිපැයූ සකල සියලු අසංස්කෘතික සත්ව කොටසුත් ගැන කියනු ම කවරේ ද?

තව ම මේ මහාර්ඝ ලේඛනයේ පිටපතක් හොයාගන්න බැරි වුනා. දුටු කෙනෙක් ඉන්නවා නම් විස්තර කියන්න.

Update!!!
හමුවුනා! මෙන්න අතිවිශේශ ගැසට් පත්‍රය : සිංහලෙන්, ඉංගිරිසියෙන්, සහ දෙමලෙන්!

පුරුශ ශක්තිය සහ කාන්තා හොකී කන්ඩායම

| Comments

ක්‍රිකට් විස්තර විචාරකයන් හැරුනු කොට ලාහෝරය ගැන වැඩියෙන් ම සිංහලෙන් ලියා ඇත්තේ සුනේත්‍රා රාජකරුණානායක නමැති ස්ත්‍රිය විය යුතු යි. ඇය ඒ විස්තර ලියන්න එහි ගියේත් ලක්ශ ගනනින් සෙනග රොද බඳින ක්‍රීඩා තරග පැවැත්වෙද්දී නෙවෙයි. සාමාන්‍ය ජනී ජනයා ගැවසෙන විදි හා පුරාන නටබුන් අතර සාමාන්‍ය මනුශ්‍ය ප්‍රානියෙක් හැටියට තනි ව දෙපයින් ඇවිද යමින් ඇය මැවූ වදන් සිත්තම් මා මෙතෙක් කියවා ඇති හොඳ ම සිංහල තීරු ලිපි අතර ඇති බව කල්පනා වෙනවා. ඇගේ ඇතැම් නවකතාවක් තුලත් එකී අනුභූතීන් රූපාන්තරනය වී පුනර්ජන්මය ලබා ඇති අයුරු දැකීම ම ආස්වාදජනක යි.

මට ඒ වග සිහියට ආවේ තායිලන්තයේ පවතින “අනාරක්ශිත” වාතාවරනය නිසා අපේ ජාතික කාන්තා හොකී කන්ඩායම එහි පැවැත්වෙන ආසියානු ශූරතාව සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට නොයැවීමට බලය ලත් පුරුශ පාර්ශ්වය තීරනය කොට තිබෙන බව කියවන්න ලැබුනු නිසයි. ( “We cannot allow a women’s team which includes three school girls to tour a country which is unstable ) වැඩි දුර කරුනු පැහැදිලි කරන අදාල බලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට ලාහෝරයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ශාව පිලිබඳ ප්‍රශ්න වඩාත් සැලකිල්ලට ගත යුතු ව තිබෙන ද පෙන්වා දෙනවා. මේ කියන විදිහට මේ කන්ඩායම පිරිමි වූවා නම් සංචාරය පිලිබඳ ප්‍රශ්නයක් පැන නඟින්නේ නැහැ!

මේ අතර කාන්තා කන්ඩායම රාජ්‍ය අනුග්‍රහය නැති ව තිබිය දීත් පුද්ගලික ව එම ගමන යාමට අදිටන් කරගෙන ලු. හැබැයි එවැන්නක් කලොත් ඔවුන්ට එරෙහි ව විනය ක්‍රියාමාර්ගයක් වුනත් ගන්න මේ බලධාරීන්ට බැරිකමක් නැහැ. ස්ත්‍රී පුරුශ භේදයකින් තොර ව අදාල කන්ඩායම්වලට ආරක්ශාව සම්පාදනයේ වගකීම තායිලන්ත බලධාරීන් භාරගෙන තිබෙන අවස්ථාවක මෙවැනි අමන කාපුරිස තීරනයක් ගන්නා රාජ්‍ය බලධාරීන් මෙහි දී වත්මන් ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරන බවයි මගේ හැඟීම.

ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් සමන්විත මේ සංචිතය මාස ගනනාවක් තිස්සේ මේ තරගාවලිය වෙනුවෙන් රැකියාවලින් නිවාඩු පවා ලබාගනිමින් පුහුනුවීම්වල නිරත වී ඇති බව වාර්තා කරන ලංකාදීප පුවත්පත පාකිස්තානය, චීන තායිපේ, තායිලන්තය, සිංගප්පූරුව, හොංකොං සහ කසකස්තානය යන රටවල කන්ඩායම් කිසිදු ගැටලුවකින් තොර ව අදාල තරග සඳහා සහභාගී වන බවද කියනවා.

ආරක්ශාව පිලිබඳ සෑහීමකට පත් විය හැකි මට්ටමක සහතිකයක් ලැබෙන්නේ නැත්නම් කල යුත්තේ ස්ත්‍රී පුරුශ නිර්නායකවලින් තොර ව සංචාරය අවලංගු කිරීම මිස මෙවැනි අමනෝඥ නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකාව දෙසින් පුරුශෝත්තමවාදී අධෝවාත ලෝකයාට නිකුත් කිරීම නොවෙයි.



ඔන්න මේ ලියන අතරේ දැනගන්න ලැබුනා ශ්‍රී ලංකාව ගත් පුරෝගාමී තීන්දුවෙන් පසු පාකිස්තානය ද සිය කාන්තා කන්ඩායම නොඑවීමට තීරනය කර ඇති වග.

“දහිරිය”, ඇන්ඩි ෆ්ලවර්, මාතර මන්ත්‍රී සහ ක්‍රිකට්

| Comments

පසුගියදා අවසන් වුනු විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසාන පූර්ව තරග දෙක ඉතා අභූතරූපී ආකාරයෙන් එකිනෙකට වෙනස්. පාකිස්තානයත් ඕස්ට්‍රේලියාවත් අතර තරගය වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ අසිරිය විදහා පෑ අමතක නොවන අවස්ථාවක් වූ අතර ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය ක්‍රීඩාශීලීත්වයෙන් තොර පුද්ගලවාදයේත්, දේශපාලන කුජීතභාවයේත් අපකීර්තිමත් කලු පැල්ලමක් හැටියට ඉතිහාසයට එකතු වෙනවා. දිස්ත්‍රික් ලැයිස්තුවෙන් නොනැවතී පිතිකරු ලැයිස්තුවේත් පෙරමුන ගත් ආරම්භක පිතිකරු පාර්ලිමේන්තු මන්තිරි තැන අනුව යමින් හැකි තාක් අඩු ලකුනු ගනනකට දැවී යාමේ තරගය අවසන් වූ වහා ම හැකි තාක් වේගයෙන් ලකුනු ලබා දීමේ තරගයට අවතීර්න වුනු පන්දු යවන්නන් සිය වගකීම සම්පූර්න කලා. අන්තිමේ දී කෙවින් පීටර්සන්ට තිබුනේ අතපය හිරි ඇරෙන තුරු තන තිල්ලේ පහලට ඇවිද එමින් පිත්ත වැනීම විතරයි. අඩු තරමේ ක්‍රිකට් ගැන මෙලෝ හසරක් නොතේරෙන මට පෙනුනේ එහෙමයි. ඒ ඇත්තෝ අපට වඩා බොහෝ ම දුරදිග හිතලා තීරන ගන්න නිසා ගරු මන්ත්‍රීතුමන්ලාටත්, සියලු දෙයෙහි හසල රාජරාජ මහාමාත්‍යාදීන්ටත් මේක වෙනත් විදිහකට පේන්න ඉඩ තියෙනවා.


දශක ගනනාවකට පසු එංගලත්ත ක්‍රිකට් කන්ඩායම තුල හටගෙන තිබෙන පුනරුත්ථානය පසු පස සිටින ප්‍රධානතම නියමුවෙක් තමයි ඇන්ඩි ෆ්ලවර්. ඔහු සිම්බාබ්වේ කන්ඩායමේ ක්‍රීඩකයකු වසයෙන් හිටි අවධියේ එරට වර්ධනය වුනු තීරනාත්මක දේශපාලන වාතාවරනයට අභීත ව ප්‍රතිචාර දැක්වීමේ හේතුවෙන් එරට කන්ඩායමෙන් ද අවසන රටින් ද ඉවතට විසි වී ගියා. 2003 වසරේ දී ඔහුත් ක්‍රීඩක හෙන්රි ඔලොංගාත් ඒකාබද්ධ ව නිකුත් කල නිවේදනය අදටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්ශේත්‍රයේ නොමැකෙන මතක සටහනක් හැටියට පවතිනවා. සිම්බාබ්වේ ජනපති රොබර්ට් මුගාබේගේ ඍජු ආශිර්වාදය ඇති ව ලිහා දමනු ලැබූ වර්ගවාදී ප්‍රචන්ඩත්වයට හා අමන දේශපාලන පිලිවෙත්වලට එරෙහි ව ආස්ථානයක් ගන්නත් ප්‍රසිද්ධියේ ඒ වෙනුවෙන් පෙනී සිටින්නත් හැකි වීම ම ෆ්ලවර් චරිතය ගැන අපට බොහෝ දේ කියාදෙනවා.

ඉතින් මේ ගැන මේ වෙලාවෙම මතක් වුනේ අපේ රටෙත් දැන් දේශපාලන තීන්දු ගන්න බය නැති, ඒවා ක්‍රිකට් පිටියටත් අරගෙන යන “නිර්භීත” ක්‍රීඩකයින් බිහිවෙලා ඉඳීමත් ඔවුන් ඇන්ඩි ෆ්ලවර්ගේ ගෝල පිරිසට එරෙහි ව ඉහත කී වික්‍රමය පෑමත් නිසයි. මේ වගේ වෙලාවක ලැජ්ජා නැතුව මිලියන ගානක් දෙනා අබියස ක්‍රීඩා පිටියට පිවිසෙන්නත් මොන තරං ධෛර්යයක් තියෙන්න ඕනැද? ඒ ධෛර්යයයි ඇන්ඩි ෆ්ලවර්ට තිබුන ධෛර්යයයි අතර මොන තරම් වෙනසක් තිබුනත් ඒ දෙකට ම කියන්නෙ ධෛර්යය කියලා තමයි.