වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බලයා සහ තවත් කතා

| Comments

බල මාලු කෑමෙන් ජපනා බුද්ධිමතෙකු වූ සැටි අනාවරනය කරන්න ඇමැති විමල් වීරවංශ මහතා සමත් වීම ජාතියේ භාග්‍යයක්. මුල්ලේරියාව ප්‍රදේශයේ කිසියම් ස්ථානයක දී මේ පිලිබඳ අදහස් දක්වා ඇති අමාත්‍යවරයා ජපනාගේ දියුනුවේ රහස අධ්‍යාපනය සහ කෑම බීම රටාවේ වෙනස බව පෙන්වා දී තිබෙනවා. ලෝක යුද්ධයෙන් කුඩුපට්ටම් වී ගිය ජපානය දියුනුවෙන් දියුනුවට ගියේ එහෙමයි.

මේ වන විට අධ්‍යාපනය “වෙනස් කිරීමේ කටයුත්ත” සැලකිය යුතු දුරකට රැගෙන යන්න ආන්ඩුව සමත් වී ඇතත් ජනතාවට බල මාලු කැවීම වැනි වැදගත් අංශ අතපසු වී තිබෙන තත්වයක් තුල වීරවංශ මහතාගේ මැදිහත් වීම අතිශය තීරනාත්මක පුරෝගාමී කටයුත්තක් බව සඳහන් කල යුතු ම යි. මම හිතන්නේ බල මාලු පිලිබඳ ඇමති ධුරය එතුමාට ලබා දීමෙන් පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ ජනතාව ශක්තිමත් හා බුද්ධිමත් කරන්න කාලය ඇවිත්.

බල මාලු අනුභවයේ වැදගත්කම ගැන කතාබහ කරමින් ඉන්නා අතර මගේ මිතුරෙක් ෆේස්බුක් පැත්තේ දී ඇසූ කතාන්දරයක් මට කියාදුන්නා. කතාවට වාක්‍ය තුන යි:

“ඔන්න දවසක් මහින්ද රාජපක්ශ කියල මිනිහෙක් ගමනක් යනකොට වලස්සු දෙන්නෙක් මුලිච්චි වුනා. එක වලහෙක් දඩිබිඩි ගාලා ගහකට නැගල බේරුනා. අනිකා මැරුනා වගේ බිම නිදාගෙන ඉඳල බේරුනා.”