වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සුහද ආරාධනයයි!

| Comments

වසර කීපයක් තිස්සේ මුනගැහෙන, විවිධ දෘශ්‍ය හා ප්‍රසංග කලා නිර්මානවලට සාමූහික ශ්‍රමය එක් කල, ඒ පිලිබඳ කිසියම් සම්භාශනයක නිරත ව හුන් මිතුරු පිරිසක් අතර ඒ කාලය පුරා ම, විවිධ ස්වරූපවලින් මෙන්න මෙවැනි අදහස් කීපයක් ඔබ මොබ වීසි වුනා:

අපේ සංස්කෘතික අවකාශ තුල නර්තනය හා එය පාදක කොටගෙන ගොඩනැඟුනු “සමකාලීන” අභිවාහ්‍ය කලා තව මත් බොහෝ සෙයින් පවතින්නේ කෞතුක වටිනාකම් හා වින්දනයන් හැටියට බව නිරීක්ශනය කරන්න පුලුවන්: එක් අතකින් පෞරානික කලා රූපාකාර සංරක්ශනය කරමින් ඒවායේ කෞතුක අගය පිලිබඳ විස්මයපත් වීමක්. අනිත් අතින් වෙනත් “වැදගත්” කටයුතු අතර හෝ ඒවා අවසන “විනෝදාස්වාදය” නොහොත් enternainment සපයන අයිතමයක්. මේ තත්වය වඩාත් හොඳින් තේරුම්ගන්න පුලුවන්, නාට්‍යය වැනි වෙනත් කලාවක් සමග සසඳන විට. ප්‍රේක්ශකයින් බොහෝ වැරවෑයම් කොට ටිකට්පතක් ගෙන, පෝලිම්වල පවා ඉඳිමින් නාට්‍ය බලන්න යන්නේ එම නාට්‍ය අත්දැකීම අපේ සමකාලීන ජීවිතයට, එදිනෙදා ජීවිතයට අදාලත්වයක් දක්වන නිසා නේද? ඒ අදාලත්වය ඇතැම් විට සෞන්දර්යාත්මක වෙන්නත් පුලුවන්. තවත් විටෙක බුද්ධිමය හෝ දේශපාලනික වෙන්නත් පුලුවන්. මේ සියල්ල ම එකවර වෙන්නත් පුලුවන්. භාවමය හා ඥානකාරක වූ අත්දැකීමක් සමකාලීන නාට්‍යයකින් ලබන්න පුලුවන්: නාට්‍යය නරඹා නැගිට සිය “සැබෑ ජීවිතය” කරා පෙරලා යන රසිකයාට, එම ජීවිතය වඩා සාරවත් හා අර්ථාන්විත අන්දමින් ගත කරනු පිනිස භාවමය/ඥානමය ශක්තියක් ලබාදෙන්න නාට්‍යය සමත්. නමුත් ඒ හා සසඳන කල්හි නර්තනය හා නර්තනය පාදක කරගත් අභිවාහ්‍ය කලා “සමකාලීන” ද? මේ ප්‍රශ්න විශ්ව ව්‍යාපී අදාලත්වයක් තියෙන ඒවා නෙමෙයි. මේ කතාව මතු වුනේ අපේ එදිනෙදා රසවින්දනයට පාත්‍ර වන ශ්‍රී ලංකාව තුල නිපදවෙන අභිවාහ්‍ය කලා කෘති හා ඒ ආශ්‍රිත සංස්කෘතියට අදාලවයි. නැටුමක් බලන්න යන්න ඒ වගේ උත්සුකයක් අපේ රසික පර්ශද් තුල ජනනය වෙන්නෙ නැහැනේ? ඒ ඇයි? නර්තනය අසමත්, දෙවැනි පන්තියේ කලා මාධ්‍යක් ද?

සමකාලීන ප්‍රේක්ශකයාට ආමන්ත්‍රනය කරමින්, සමකාලීන හැඟීම්, ගැටලු, වස්තු විශයයන් ගවේශනයට නර්තන/ප්‍රසංග කලා ව්‍යායාම වර්ධනය කරගත යුත්තේ කෙසේ ද? එහෙම කරන්න පුලුවන් ද? සමකාලීන රසිකයාට ආමන්ත්‍රනය කිරීමෙහිලා නර්තනය සහ නර්තනය පාදක කරගත් අභිවාහ්‍ය කලාවන් සතු විභවයන් මොනවා ද?

ඉතින් මේ ගැන ශබ්ද නගා හිතමින්-සාකච්ඡා කරමින්, මංහසර පාදාගනිමින්, අභිවාහ්‍ය කලා නිර්මාන කිහිපයක් වර්ධනය කරගන්න උත්සුක වන එම පිරිස වැඩමුලුවක ස්වරූපයෙන් වැඩෙහි යෙදීම අරඹන අවස්ථාවට ඔබටත් ආරාධනා කරන්නයි මේ සටහන ලිව්වේ. මේ කටයුත්ත ඉහත සඳහන් කල කිහිප දෙනාට සීමා වූ වැඩක් හැටියට තබාගැනීමේ පලක් නැහැ. එය විවෘත නිර්මානාත්මක ක්‍රියාවලියක් වීම වැදගත්.

ඔබ ඉන්නේ ශ්‍රී ලංකාව තුල, මහනුවරට/පේරාදෙනියට පහසුවෙන් ලඟා විය හැකි ස්ථානයක නම්, ඔබ නර්තනය හා අභිවාහ්‍ය/ප්‍රසාංගික කලා ගැන උනන්දුවක් දක්වනවා නම්, සමකාලීන නර්තනය, චලනය හා අභිවාහ්‍ය/ප්‍රසාංගික කලා පිලිබඳ පර්යේශනාත්මක හා නිර්මානාත්මක කර්තව්‍යයකට සහභාගී දායකත්වයක් සපයන්න කැමති නම් අගෝස්තු 10 වැනිදා (බදාදා) සවස 5 ට පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයනාංශයට එන්න. මීට සහභාගී වීමට ඔබ සාම්ප්‍රදායික ව පුහුනු ව ලැබූ නර්තකයකු/නර්තිකාවක වීම අත්‍යවශ්‍ය නැහැ. ඔබ නලුවකු/නිලියක විය හැකියි. නොඑසේ නම් ඔබේ උනන්දුව සංගීත සංරචනය හෝ ගායනය සම්බන්ධයෙන් විය හැකි යි. නැති නම් ඔබ දෘශ්‍ය කලා සම්බන්ධ උනන්දුවක් දක්වන්නෙක් වෙන්න පුලුවන්. ඔබ වීඩියෝ කලාකරුවකු විය හැකියි. උද්‍යෝගීමත් රසිකයකු විය හැකියි. ඒ කිසිදු ලේබලයක් පිලිබඳ කරදර විය යුතු නැහැ. මෙය ඔබේ ද වැඩබිම විය හැකි යි. සමාරම්භක සාකච්ඡාවට හා වැඩමුලුවට ඇවිත් බලන්න. එය ඔබේ වර්ගයේ වැඩක් නම් දිගට ම රැඳෙන්න.

පැමිනීමට පෙර වැඩිදුර විස්තර හා පැහැදිලි කිරීම් අවශ්‍යයි කියා හිතෙනවා නම් 077 590 3949 අංකය අමතන්න.

ස්ථානය - පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයනාංශය
දිනය - අගෝස්තු 10 බදාදා
වේලාව - පස්වරු 5


*Graphic based on Espectáculo “Cruel” da Cia de Dança Deborah Colker by rosano mauro (CC BY 2.0)