වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ලොව වටා මිලිබෑන්ඩ්ලාගේ වික්‍රම

| Comments


පසුගිය දා ඩේවිඩ් මිලිබෑන්ඩ් ශ්‍රී ලංකා ආන්ඩුවට බල කර සිටියේ සටන් පවතින කලාපයේ (ඊනියා යුද මුක්ත කලාපයේ) සිටින සිවිල් ජනතාවගේ තත්වය සලකා බලමින් වහා ම එල්ටීටීඊය සමග සටන් විරාමයකට යන ලෙසයි. කවුද මේ ඩේවිඩ් මිලිබෑන්ඩ්? ඔහු බ්‍රිතාන්‍ය කම්කරු පක්ශයේ මන්ත්‍රීවරයෙක්. එසේ ම එරට විදේශ ලේකම්. ඔහුගේ නියුක්තිය හුදෙක් ශ්‍රී ලංකාවේ “සිවිල් වැසියන්ගේ ආරක්ශාව” පිලිබඳ කන්නලව් කිරීමට සීමා වෙන්නේ නැහැ. පසුගිය සතියේ ඔහු මැවූ තවත් පුවතක් තියෙනවා. ඔහු නීති නිශාරදයින් ද පිරිවරාගෙන මේ දිනවල වෙහෙසෙන්නේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ග්වන්තනාමෝ බේ සිරකඳවුරට පටවා හැරීමට ප්‍රථම සිදු වූ බවට සැලකෙන දරුනු වධහිංසා පිලිබඳ සී අයි ඒ ලියවිලි මහජන අවධානයට පාත්‍ර වීම වැලැක්වීමට! එහි දී හිංසනයට පාත්‍රව ඇත්තේ හුදෙක් ඇෆ්ඝන්, ඉරාක හෝ අන් රටක “ත්‍රස්තයින්” විතරක් නෙමෙයි. මිලිබෑන්ඩ්ගේ රටේ ම පුරවැසියනුත් මේ අපහරනයට ලක් ව තිබෙනවා. ඉතින් මිලිබෑන්ඩ්ගේ අදිටන ඒ අපරාධ තව දුරටත් සඟවා තබා ගැනීමටයි.

වැඩිදුර කියවන්න Miliband’s lawyers try to block CIA report on torture claims

තව ද බ්‍රිතාන්‍ය අගමැති බ්‍රවුන්ගේ නව ඇෆ්ඝන් පිලිවෙත් ක්‍රියාවට නඟන එක් පෙරමුනක් වන්නේත් මිලිබෑන්ඩ්ගේ විදේශ ලේකම් කාර්යාලයයි. මේ අලුත් පිලිවෙතේ එක අංශයක් තමයි ඇෆ්පාක් ප්‍රවිශ්ටය. ඇෆ්පාක් වචනය හැදිලා තියෙන්නෙ ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානය යන දෙරටේ නම්වල මුල් අකුරුවලින්. මේ ප්‍රවිශ්ටයේ අර්ථය තමයි තව දුරටත් ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානය ප්‍රශ්න දෙකක් හැටියට නොව එකක් හැටියට ගැනීම. මෙය වනාහි දෙරට ම එක ම මිලිටරි හා දේශපාලන ක්‍රියාවලියකට යටත් කිරීමේ පිඹුරුපතක්. තව ද විදෙස් රටවල පුද්ගලික කුලී හමුදා යෙදවීමේ රෙගුලාසි ප්‍රතිසංවිධානය කිරීම සහ තව දුරටත් බ්‍රිතාන්‍ය හමුදාවන් ඉරාක ඇෆ්ඝන් හා සෙසු යුද කලාපවල රඳවා තබාගැනීම ද යුද මෙහෙයුම් දියත් කිරීම ද ඇතුලත් විදෙස් පිලිවෙතෙහි ප්‍රමුඛ ආරක්ශකයකු හා ප්‍රචාරකයකු හැටියට මිලිබෑන්ඩ් කටයුතු කරනවා.

වැඩිදුර කියවන්න
Brown’s not-new non-strategy for Afghanistan
සහ Miliband and the mercenaries

මිලිබෑන්ඩ් ගැන තවත් විස්තර

ඒ අතර ශ්‍රී ලංකාව පිලිබඳ පශ්චාත් යුද ආයෝජන සැලසුම් අඳින, වහා දේශපාලන සමථයකට එන මෙන් කෙඳිරිලි ඉදිරිපත් කරන ඔබාමා තන්ත්‍රයේ මෑත කාලීන වාර්තාවත් ඊට දෙවෙනි නැහැ. ඔබාමා තන්ත්‍රය මේ දිනවල දෙකට බෙදී වාද කරමින් සිටින ප්‍රධානතම අර්බුදය වන්නෙ පැරනි බුශ් පාලනය යටතේ සිරකරුවන්ට සිදු කල දරුනු වධහිංසනයන් පිලිබඳ ලියවිලි තව දුරටත් සඟවා තබනවාද නැද්ද යන කාරනයයි. ඒ අතර ම මේ කිසිදු පාර්ශ්වයක් අතර විවාදයක් නැති කාරනයක් ද තිබෙනවා. ඒ තමයි ඉරාකය, ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය මෙකී නොකී සියලු තන්හි අධිරාජ්‍යවාදී යුද්ධය තව දුරටත් තීව්‍ර කිරීම. වැඩි වැඩියෙන් හමුදා/කුලී හමුදා එම ප්‍රදේශවලට යැවීම.

වැඩිදුර කියවන්න Torture and Washington’s policy of aggressive war

.