වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

Sinhala Firefox Debate : Official Statement From Sinhala Bloggers' Union!

| Comments

Sinhala Bloggers’ Union published a statement yesterday, regarding the on-going debate over the Sinhala Firfox translation.

A pdf version can be downloaded from this link
http://www.sinhalabloggers.com/StatementofSinhalaBloggersUnion-Aug21-1.pdf

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, දැනට හටගෙන ඇති සිංහල ෆයර්ෆොක්ස් පිලිබඳ අර්බුදය සම්බන්ධයෙන් පහත දැක්වෙන නිවේදනය නිකුත් කර තිබෙනවා.

එහි pdf ගොනුව පහත දැක්වෙන ස්ථානයෙන් බාගත හැකියි
http://www.sinhalabloggers.com/StatementofSinhalaBloggersUnion-Aug21-1.pdf


දැනුම්දීමයි!

සිංහල ෆයර්ෆොක්ස් සම්බන්ධයෙන් දැනට ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් ගැන ඔබව දැනුවත් කිරීමට අපි අදහස් කළෙමු.

දැනට මේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අපගේ අවධානය යොමු නොවූ පැතිකඩක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර පළමුව දැනට ඇති වී තිබෙන තත්වයේ පසුබිම මදක් පැහැදිලි කරගනිමු.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඉක්ටා (ICTA) ආයතනයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් බ්ලොග් සටහන් ලියුවේ ආසන්න වශයෙන් පහත සඳහන් කරුණු පාදක කරගනිමින් ය.

1. මෝසිලා ආයතනය යටතේ ඇති විවෘත හා නිදහස් මෘදුකාංගයක් වන සිංහල ෆයර්ෆොක්ස් බ්‍රවුසරය ඉක්ටා ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක්ය යනුවෙන් හුවාදැක්වීමට ගත් උත්සාහයත්,

2. ඒ පිළිබඳව මාධ්‍ය ආයතන වලට ඔවුන් විසින් පෙන්වූ වැරදි චිත්‍රයත්,

3. මාධ්‍ය ආයතන විසින් කළ වැරදි ප්‍රචාරය නිවැරදි නොකිරීම සම්බන්ධවත්,

4. පසුව සිංහල බ්ලොග්කරුවන් වෙත නිකුත්කළ කිසිම නිල තත්වයක් නැති මාධ්‍ය ප්‍රකාශයත්,

5. මොරටුව විශ්ව විද්‍යාලයේ හා ICTA විසින් ෆයර්ෆොක්ස් ඔවුන්ගේ නිෂ්පාදනයක්ය යනුවෙන් මාධ්‍යන්ගේ ගිය ප්‍රකාශත්,

මෙම කරුණු එකක් හෝ කිහිපයක් අලලා ලියැවුනු සිංහල බ්ලොග් සටහන් නිසා පැනනැගුණු තත්වය මත අප සංගමයේ කාලිංග ඇතුලත්මුදලි මහතා සහ ඉක්ටා ආයතනයේ වසන්ත දේශප්‍රිය මහතා අතර සුහඳ ලිපි හුවමාරුවක් ද සිදුවිය. සිංහල බ්ලොග්කරුවන් කිසිවිටෙකත් ඉක්ටා ආයතනය සමඟ ප්‍රශ්න ඇතිකරගැනීමටවත්, වෛරබැඳ ගැනීමටවත් මේ නිසා අදහස් නොකළ අතර එසේ විවේචන ඉදිරිපත් කළේ පැහැදිලිවම පෙනෙන වැරදි කිහිපයක් ඉක්ටා ආයතනය මගින් සිතාමතා හෝ නොසිතා සිදුවී තිබූ නිසාය. එවන් ඇතැම් කරුණු ගැන වසන්ත දේශප්‍රිය මහතා විසින් අපට පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ අතර සිදුවී තිබූ ඇතැම් වැරදි ගැන කණගාටුව ද ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඔහු ලබාදුන් ඇතැම් පිළිතුරු සම්බන්ධයෙන් අපේ නොසතුට හා විරුද්ධත්වයද ප්‍රකාශ විය.*

ඩනිෂ්ක නවීන් විසින් ඔහුගේ අන්තිම බ්ලොග් සටහනේ කියා තිබූ ආකාරයට ඉක්ටා ආයතනය යනු සිංහල ෆයර්ෆොක්ස් නිර්මාණය සඳහා දායක වුනු ප්‍රජාවේ එක් පාර්ශවයක්පමණි යන්න අපද එකහෙළා ප්‍රකාශ කර සිටිමු. ඒ ෆයර්ෆොක්ස් සිංහලයට පර්වර්තනය කිරීම සඳහා යම්කිසි කාලයක් එම කටයුත්තෙහි පූර්ණකාලීනව යෙදී සිටී ඩනිෂ්ක නවීන් හට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වමින්ය. රෙඩ්හැට් ආයතනයද ඒ අයුරින්ම ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්තනය කිරීම සඳහා ඩනිෂ්ක හට මූල්‍ය අනුග්‍රහය ලබාදීමෙන් මෙම කටයුත්තට දායක වූ තවත් ආයතනයකි. එමෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයද එහි සාමාජිකයෝද එම කාර්යය සඳහා නන් අයුරින් සහාය දැක්වූහ.

ඉහත ආයතන වල අනුග්‍රහය යටතේ කටයුතු කිරීමට ඩනිෂ්කට ඔවුන් සමඟ ගිවිසුම් වලට එළඹීමට සිදුවී ඇති බවද අපි දනිමු. ගිවිසුම් වල අන්තර්ගත වූ කරුණු පිළිබඳව අපි දැනුවත් නැතත් ඉක්ටා ආයතනයේ වසන්ත මහතා විසින් කාලිංග වෙත එවා තිබූ අවසන් ලිපියේ සඳහන් පරිදි ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්තනය කිරීම ඩනිෂ්ක ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ පරිදි contractual deliverable” (භාරදිය යුතු කටයුත්තක්) බව පැවසේ. ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්තනය කරන්නේ ඉක්ටා ආයතනයේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා නම් එම ගිවිසුමේ පරිදි ඩනිෂ්ක විසින් කාර්යය නිමකර එය ඉක්ටා ආයතනයට අවශ්‍ය පරිදි භාවිතා කිරීමට දීම හෝ ගිවිසුම් ප්‍රකාරව එහි අයිතිය ඉක්ටා ආයතනයට ලබාදීම පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් අපට නැත.

නමුත් ඉක්ටා ආයතනයේ ගිවිසුම ප්‍රකාරව ඩනිෂ්ක විසින් ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්තනය කර භාරදිය යුත්තේ ඉක්ටා ආයතනයට වුවත් එය ඇත්ත වශයෙන්ම භාර දී ඇත්තේ (ඉක්ටා අනුදැනුමද ඇතිව) මෝසිලා ආයතනය වෙතය. එමෙන්ම ඉක්ටා ආයතනයට ගිවිසුමකින් බැඳී සිටී ඩනිෂ්ක ඔහුගේ රාජකාරිය කළේද මෝසිලා ආයතනයේ දැක්ම, මෙහෙවර, අරමුණු, සහ ඉලක්ක (goals) වෙනුවෙන් ඔවුන්ගේ deadlines අනුවය. ඒ අනුව ඩනිෂ්ක විසින් මෝසිලා ෆයර්ෆොක්ස් 3.0 නිකුතුව සමඟ සිංහල අනුවාදයද 2008 ජූනි 17 දින නිකුත් කිරීම සඳහා භාරදුන්නේ මෝසිලා ආයතනය වෙතයි. ඉන්පසු මොසිලා වෙබ් අඩවිය ඔස්සේ ලංකාවේ මෙන්ම ලොව පුරා බොහෝ පිරිසක් ෆයර්ෆොක්ස් හි සිංහල අනුවාදය බාගත කරගන්නා ලද බව අපි දනිමු.

ඒ අනුව පෙනීයන්නේ ඉක්ටා ආයතනය විසින් ඩනිෂ්ක වෙත ඉදිරිපත් කළ ගිවිසුම විවෘත සහ නිදහස් මෘදුකාංග පිළිබඳව කිසිඳු සිතාබැලීමකින් තොරව, කිසිඳු ආකාරයකින් තර්කානුකූල නොවන, පදනම් විරහිත කොන්දේසි සහිත ලියවිල්ලක් බවත්, එම ගිවිසුම සඳහා මෝසිලා ආයතනයට හෝ ඩනිෂ්කට කොන්දේසි ඇතුළත් කිරීමට අවස්ථාවක් නොලැබී ඇති බව හෝ අවස්ථාවක් ලැබුනත් ඔවුන් විසින් කොන්දේසි ඇතුලත් කර නැති බවයි. එය වැඩිදුර නොසිතීම නිසා සිදුවූවක් විය හැකිය. (එවන් කොන්දේසි තිබේදැයි අපි නොදනිමු)

එමෙන්ම ඉක්ටා ආයතනය මෝසිලා ආයතනයේ කිසිඳු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් (Policy Statement) හදාරා නොමැතිව එම ගිවිසුම් සකස් කර ඇති බවත් පෙනී යයි. මක්නිසාද ඉක්ටා ආයතනයේ ගිවිසුම පරිදි ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ අයිතිය ඉක්ටා ආයතනය සතුබව ප්‍රකාශ කළද, මෝසිලා දේශීයකරණ ව්‍යාපෘති සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශයේ (Mozilla Trademark Policy for Localization Projects : http://www.mozilla.org/foundation/trademarks/l10n-policy.html ) සඳහන් පරිදි නිල ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ එම කාර්යය සිදුකළ කණ්ඩායමේ නායකයාට (නොහොත් හිමිකරුට) බව “The L10n team owner is the module owner for the translation” ලෙස පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව ඉක්ටා ආයතනය හා ඩනිෂ්ක නවීන් අතර කුමන ගිවිසුමක් ඇති වුවද ඊට පෙර සිට තිබූ මෝසිලා ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ ඒ සඳහා මූලිකත්වය ගත් කණ්ඩායම් නායකයා වූ ඩනිෂ්ක නවීන් හටය. එයද මෝසිලා වෙබ් අඩවියේ “Browser/toolkit owner - Danishka Navin ” (https://wiki.mozilla.org/L10n:Localization_Teams#Sinhala_.28si.2Csi-LK.29 ) යනුවෙන් පැහැදිලිව දක්වා ඇත.

තවත් අයුරකින් බැලුවත්, ඉක්ටා ආයතනය රාජ්‍ය ආයතනයක් නිසා දැනට අප භාවිතා කරන සිංහල ෆයර්ෆොක්ස් මෘදුකාංගය නිපදවීම සඳහා පූර්ණකාලීනව කටයුතු කළ පුද්ගලයාට මූල්‍යමය අනුග්‍රහය සපයා ඇත්තේ මහජනතාව විසින්මය. එය හරියට ගමක ප්‍රජාශාලාවක් ගොඩනැගීම සඳහා ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් මේසන්බාස් කෙනෙකුට ‍වේතනයක් ගෙවා අවශ්‍ය ගොඩනැගිල්ල සාදවාගත්තා හා සමාන කටයුත්තකි.

මෙම ඉක්ටා ආයතනය-සිංහල බ්ලොග්කරුවන්-ඩනිෂ්ක යන පාර්ශව අතර ඇතිවී ඇති තත්වයයෙන් තම අරමුණු මුදුන්පත් කරගැනීමට වෙර දරණ තවත් පාර්ශවයක්ද සිටින බව පෙ‍නී යයි. එම කරුණ පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය ලිවීමට අදහස් කළ අතර පසුබිම පැහැදිලි කිරීමට ඉහත කරුණු ඉදිරිපත් කළෙමු.



සිංහල යුනිකේත සම්බන්ධ ඉතිහාසයය ගැන සලකාබැලීමේදී සිංහල යුනිකේත පිළිබඳව මත දෙකක් දරණ පිරිසක් ලංකාවේ සිටින බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ඉක්ටා ආයතනය ප්‍රමුඛ බහුතරයක් සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවත් නොමැති බවත්, එය ඕනෑම කෙනෙක්ට ඕනෑම පරිගණක පද්ධතියක් තුළ භාවිත කර නිවැරදිව සිංහල ලිවීමට හා කියැවීමට හැකි පරිදි මෙවලම් නිර්මාණය කර ඇති බවත් ප්‍රකාශ කරද්දී, තමන්ගේ පටු වාණිජ පරමාර්ථ මුදුන් පමුණුවාගැනීමට වෙර දරණ එක් පුද්ගලයෙකු සමඟ සිටින ඉතා සුළු පිරිසක් සිංහල යුනිකේත වල අඩුපාඩු ඇතැයි පවසමින් ඒ සඳහා විකල්පයක් තමන් සතුව ඇතැයි මොර දෙති. එය බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

ඩනිෂ්කගේ මූලිකත්වයෙන් සිංහල ෆයර්ෆොක්ස් එළිදැක්වීමත් සමඟ මෙම සිංහල යුනිකේත විරෝධී කල්ලියට තරු වීසි වී ඇත්තේ සිංහල යුනිකේතය සඳහා ප්‍රායෝගිකව ජාත්‍යන්තර පිළිගැනීමක් සිංහල ෆයර්ෆොක්ස් නිසා ලැබීම හේතුවෙනි. සිංහල යුනිකේත භාවිතයෙන් නිකුත්වූ ලොව ජනප්‍රියතම මෘදුකාංගය ෆයර්ෆොක්ස් වන බැවින් මෙම සිංහල යුනි‍කේත විරෝධී කල්ලි‍යේ සිංහල යුනිකේත දෝෂ සහිතයියන තර්කය නිරායාසයෙන්ම බිඳී ඇත. එමෙන්ම ඔහුගේ විකල්ප සිංහල යුනිකේත මාලාවේ ඉරණමද ඒ සමඟම තීරණය වී ඇත. එම නිසා එම කල්ලියේ අලුත්ම සතුරන් වී ඇත්තේ ඩනිෂ්ක නවීන්, සිංහල ෆයර්ෆොක්ස් සහ සිංහල බ්ලොග්කරුවන් ය.

එමෙන්ම සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවක් නැතැයි කියා කීමටද ඉක්ටා ආයතනය ඇතුළු සිංහල යුනිකේත ප්‍රජාවට ඇති ප්‍රබලම සාධකයද සිංහල ෆයර්ෆොක්ස් බව අවිවාදයෙන් කිව හැකිය.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මඟුල් කීවා සේ, ඉක්ටා ආයතනය, ඩනිෂ්ක නවීන් සහ සිංහල බ්ලොග්කරුවන් අතර ගැටුමක් ඇතිවී ඇති මේ මොහොතේ සිංහල යුනිකේත විරෝධී කල්ලියට රජ මඟුල් අවස්ථාවකි. එම නිසා එම කල්ලිය විවිධ බ්‍ලොග් අඩවි ඔස්සේ මෙම ඇතිවී ඇති තත්වය හැකි තරම් උණුසුම් කර, අවුල් කර ඉක්ටා ආයතනය සහ සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්කත් කෙටවීමට උත්සාහ කරන බවක් පෙනේ. මෙම ප්‍රශ්නකාරී තත්වය දුරදිග ගොස් ඉක්ටා ආයතනයත්, සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්ක නවීනුත් විරසක වුවහොත් ඉන් උපරිම වින්දනයක් ලබන්නේ එම සිංහල යුනිකේත විරෝධී කල්ලියයි. එමෙන්ම එම තත්වය යටතේ සිංහල ෆයර්ෆොක්ස් හි ඉදිරි සංවර්ධන කටයුතුද කඩාකප්පල් වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් මෙම කරුණ ගැන කිසිඳු තැකීමක්, දුරදිග සිතීමකින් තොරව කටයුතු කළ සහ කරන ඉක්ටා ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා සිංහල යුනිකේත විරෝධී කල්ලියේ අයට ඇති තරම් මඩ බාල්දි ප්‍රමාණයක් රැස්කරගත හැකිවී ඇත. අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඉක්ටා ආයතනයටත්, ඩනිෂ්ක නවීන්ටත්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත්, එහි සාමාජිකයින්ටත් එරෙහිව අසත්‍ය ප්‍රකාශ සහ මඩ ප්‍රහාර ඔවුන් විසින් දියත් කෙරෙමින් පවතී.

ඔවුන් පවසන පරිදි ඉක්ටා ආයතනය විසින් මහජන මුදලින් ඩනිෂ්ක නවීන්ගේ කැනඩා සංචාරය සඳහා මුදල් වියදම් කර නැති බවත්, ඔහු කැනඩාවේ සංචාරයක නිරත වූයේ මෝසිලා ආයතනයේ ආරාධනාවක් මත “‍2008 ෆයර්ෆොක්ස් සමුළුවටසහභාගීවීම සඳහා බවත්, ඒ සඳහා සියලු වියදම් මෝසිලා ආයතනය විසින් දරා ඇති බවත් ෆයර්ෆොක්ස් සිංහල කිරීමේ කටයුතු වලට හවුල් වූ පාර්ශවයක් වශයෙන් අපි අවධාරණයෙන් කියා සිටිමු.

එබැවින් කරුණාකර එම පිරිසගේ අසත්‍ය ප්‍රචාර වලින් නොමඟ නොගොස් ක්‍රියා කරන ලෙසද, එවන් බ්ලොග් අඩවි වලට ගොස් අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසද සැමගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ඉක්ටා ආයතනයට හෝ වෙන යම් පිරිසකට/පුද්ගලයෙකුට පන්න පන්නා පහර දීමේ ප්‍රතිපත්තියක් සිංහල බ්ලොග්කරුවන් අතර නැති බවද කිව යුතුය.

තවද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින්ගේ බ්ලොග් සටහන් හෝ ප්‍රකාශ ඒ ඒ සාමාජිකයින්ගේ පුද්ගලික අදහස් වන බවද, ඒවා සංසදයේ අදහස් හෝ ප්‍රකාශ ලෙස වටහා නොගන්නා ලෙසද මතක් කර සිටිමු.

එමෙන්ම දුරදිග සිතා කටයුතු කරන මෙන්ද, තම නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපය සොයාබලා වගකීමෙන් කටයුතු කරන ලෙස අවවාද කරන ලෙසද ඉක්ටා ආයතනයේ වගකිවයුතු ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.


ස්තුතියි.

සිංහල බලොග්කරුවන්ගේ සංසදය

————————————————-


*පසු සටහන්

කාලිංග ඇතුලත්මුදලි සහ වසන්ත දේශප්‍රිය මහතුන් අතර හුවමාරු වූ ලිපි -

http://sinhala.kalingasblog.com/2008/08/20/sinhala-firefox-icta-danishka-naveen/


.