වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ICTA ආයතනය ජාතක පොතට කර ඇති හදිය (01)

| Comments

පසුගියදා පන්සිය පනස් ජාතක පොත් වහන්සේ වෙබ් අඩෙවියක ස්වරූපයෙන් අන්තර්ජාලයට එකතු කර ඇති බවත් එය මේ රටේ ජනාධිපතිවරයාගේ අතින් “විවෘත” කෙරුනු බවත් රූපවාහිනී පුවත් මගින් අපට දැකගන්න ලැබුනා. පසුව සැල වුනු පරිදි මේක අපේ රටේ ICT හෙවත් තොරතුරු හා සන්නිවේදන තාක්ශනය සම්බන්ධ අධිකාරය හොබවන ආයතනයේ වැඩක්. ඔවුන්ගේ වෙබ් අඩෙවිය මේ බව සනාථ කරනවා. ඔවුන් කියාගන්නා පරිදි මේ ප්‍රයත්නය ජනාධිපතිවරයාගේ අභිවාදනයට පාත්‍රව තිබෙනවා: “The Information & Communication Technology Agency (ICTA) of Sri Lanka”s initiative to include the famous Buddhist text Pansiya Panas Jathakaya based on stories relating to previous births of the Buddha in the Internet came in for high praise from President Mahinda Rajapaksa yesterday.” තව ද මෙය ජනාධිපතිවරයාගේ සංකල්පයක් ICTA ආයතනය විසින් ඉටු කරනු ලැබීමක් ලු: “The present initiative has been carried out by the ICTA on an idea mooted by President Rajapaksa.” ඊට අමතර ව මෙන්න මේ පිරිස ශිල්පීය දායකත්වය සපයා ඇති බව වෙබ් අඩෙවියෙන් කියැවෙනවා.

විවේචනය නිසා විවේචකයා කෙරෙහි වෛර බැඳගැනීම සිරිතක් ව පවතින වාතාවරනයක් තුල වුනත් මේ ගැන නොදුටු ඇස් ඇතිව නෑසූ කන් ඇතිව ඉන්න මට නම් හිත දෙන්නේ නැහැ. මේක මේ තරම් සැරෙන් කියන්න හේතුව අදාල පාර්ශ්ව මේ සම්බන්ධයෙන් නගා ඇති ගෝසාව ඉමහත් වීමයි. වැඩක් හරියට කලා නම් ගෝසාව නැගුවට කමක් නැහැ.

දැන් මෙන්න අංශ දෙකකින් යුත් මගේ විවේචනය සැකෙවින්. මෙය පසුව එන ඡේද තුල සවිස්තර ව පැහැදිලි කෙරෙනු ඇති :

1) මේ වැඩේ ග්‍රන්ථ සංස්කරන ක්‍රමවේද නොතකා කල අඳබාල වැඩක්. ශාස්ත්‍ර මංකොල්ලයක්. බැරෑරුම් භාශා ශාස්ත්‍ර කටයුතුවලදී මේ අඩෙවිය අදාල කරගන්න බැහැ. මේකෙන් හරි හමන් ශාස්ත්‍රඥයෙක් කිසිම දෙයක් උපුටාගන්නෙත් නැහැ. මහජනතාව රවට්ටන්න නං හොඳයි මේ වගේ වැඩ. මොවුන් එය රටේ නායකයා රැවටීමෙන් ම අරඹා තිබෙන බවයි මට පේන්නේ.

හොඳයි ICTA එක භාශා ශාස්ත්‍ර ගැන මෙලෝ දෙයක් නොදන්නා කම ගැන අපි සමාව දෙමු කෝ. ඒකේ ඉන්න අයට කොහෙන්ද ඒවා ඉගෙන ගන්න වෙලාවක්? ඔවුන් පරිගනක ක්ශේත්‍රයේ අයනේ? ඔවුන් ග්‍රන්ථ සංස්කරන ක්‍රමවේද බල්ලාට ඇරපු දෙන්! අපි මේ අංක 1) ට පසුව එමු.

මේ අය දත යුතු විශය සම්බන්ධයෙන්/ මේ ආයතනය නොවරද්දා ඉටු කරාවි කියලා අපි අපේක්ශා කරන විශය සම්බන්ධයෙන් මඳක් විමසා බලමු.

2) ඔවුන් දැන ගත යුතු අංශයත් වරද්දලා බවයි මම මේ කියන්නේ! මේ ජාතක කතා වෙබ් අඩෙවිය වෙබ් අඩෙවිකරනයේ මූලික ප්‍රමිතීන් තඹ සතයකට මායිම් කරලා නෑ. ඒ විතරක් නෙමෙයි මේ කසිකබල් අඩයාලම අපේ රටේ ජනාධිපතිවරයාට පෙන්වා ඔහුවත් නොමග යවා ඇති බවට මම චෝදනා කරනවා!

2) වෙබ් ප්‍රමිතීන් සහ වෙබ් අඩෙවි නිර්මානකරනයේ ‘අ’ යනු ‘ආ’ යනු

විශාලනය සඳහා පින්තූරය ක්ලික් කරන්න

මම නං පරිගනක පන්තියකට වත් ගිහින් ඒ ගැන ඉගෙන ගත් කෙනෙක් නෙමෙයි. ඉතින් මගේ නූගත් මොලයට වැටුනු විදිහට කරුනු කාරනා මෙහෙමයි : මේ වෙබ් අඩෙවියේ සිරස්තලයක් නෑ. :D වෙනත් වචනවලින් කිව්වොත් මේකට “නමක්” නෑ! ඔව් ඇත්ත අර පින්තූරයක් හැටියට ජාතක කතා කියලා යොදා තියෙනවා තමයි. නමුත් වෙබ් පිටුවක් හදද්දී එහි අභ්‍යන්තරයේ title යන ටැග් එක සහිත ව (තවත් ක්‍රම තියෙනවා, මේ අඩෙවියට අදාල ක්‍රමය මේකයි) අදාල අඩෙවියේත් පිටුවලත් සිරස්තල එක් කලේ නැත්නම් බ්‍රවුසරයේ ඒක පිලිබිඹු වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි සෙවුම් යන්ත්‍රවලට හසු වෙන්නෙත් නැහැ. මේ අඩෙවිය දැනට තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන් ටයිටලයක් හෙවත් සිරස්තලයක් නැතුව. සෙවුම් යන්ත්‍ර සඳහා තවත් ටැග් කීපයක් යෙදීම සාමාන්‍ය දෙයක්. ඒවා අතර keywords සහ description කියන ටැග් වර්ග දෙක ඉතා වැදගත්. මේවායින් ඒ ඒ පිටුව පහසුවෙන් සොයාගන්නත් සුචිගත කරගන්නත් සෙවුම් යන්ත්‍රවලට හැකියාව ලැබෙනවා. මේ එකක් වත් අපේ රටේ තොරතුරු සන්නිවේදන තාක්ශන නියෝජිතායතනය විසින් ජනපතිතුමාට පෙන්නූ අඩෙවියේ නැහැ. සමහර විට මේ අඩෙවිය වෙන කවුරුත් බලන්න ඕන නැතුව ඇති, ජනාධිපතිතුමාට පෙන්නලා ලකුනු දාගන්න තිබුනාම ප්‍රමානවත් ඇති.

මෙන්න ඒ අඩෙවියේ “ඇතුලත” කායච්ඡේදය පෙනෙන හැටි. අනේ කියලා හිතෙනවා නේද?
ජාතක පොත් වහන්සේ doctype එකකින් හෝ වෙනත් විස්තර ආදියෙන් තොරව කෙලින් ම body වෙතින් ආරම්භ වෙනවා. එතනින් අහවර නෑ වැඩේ.

මේ අඩෙවිය සඳහා HTML රාමු යොදාගෙන තියෙනවා. මේක තවත් අඳබාල වැඩක්. ඒකෙන් සිද්ද වෙන අවාසි මොනවද?

රාමු නිසා මේ අඩෙවියේ එන කිසි ම ජාතක කතාවක් හෝ පිටුවක් පිටුසලකුනුගත කරගන්න බැරි වෙනවා. ඒ කියන්නෙ Book Mark කරන්න බෑ. හිතන්න ශිශ්‍යයෙක් නිබන්ධයක් ලියද්දී මෙයින් එක් පිටුවක ඡේදයක් උපුටාගන්නවා. නැත්නම් මෙහි තියෙන කතාවක් ගැන සඳහන් කරනවා. නමුත් ඔහුට ඒ පිටුව වෙතට ලින්ක් එකක් දෙන්න එහෙමත් නැත්නම් ඒ පිටුවේ url එක දෙන්න ක්‍රමයක් නැහැ. පා සටහනක අධෝලිපියක මේ ගැන සඳහන්න විදිහක් නෑ. එකම ක්‍රමය Show only this frame කියලා අදාල රාමුව විතරක් එලියට අරන් ඒකට ලින්ක් එක දීම. නමුත් ඒ විදිහ අන්තිම බාලයි. ඒ පිටුවට එන කෙනෙකුට අඩෙවියේ උතුර දකුන - හතර මායිම් හොයාගන්න බැරි වෙනවා.

තවත් ප්‍රශ්නයක් : බොහෝ සෙවුම් යන්ත්‍ර රාමුවලට (frames) යටින් තියෙන පිටු කියවන්න යන්නෙ නෑ. ඒ නිසා ඒ සියලු අන්තර්ගතය ම හැලෙනවා. මෙයාකාර රාමු ක්‍රමයක් යොදාගන්න එපා කියන එකයි මේ විශය සම්බන්ධ විශේශඥයින්ගේ මතය. යොදන්න ම සිද්ද වෙනවා නම්, අත්‍යවශ්‍ය ම නං ඒකට විකල්ප ක්‍රම හා විධිවිධාන අනුගමනය කල යුතුයි. ඒ කියන්නෙ වෙන වෙනම එක් එක් පිටුවලටත් ප්‍රධාන අඩෙවියට සම්බන්ධ වීමේ ලින්ක්(සම්බන්ධක) යොදන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඒ ඒ පිටුවලටත් title, keywords හා description ටැග් යොදන්න ඕන. තව ක්‍රමයක් තමයි මේ විදිහට කෙලින්ම ඇතුලු පිටු වෙත පැමිනෙන පාඨකයා ප්‍රධාන රාමු ව්‍යුහය තුලට හරවා යවමින් අදාල පිටුව ප්‍රධාන රාමු තුලින් පෙන්වීමේ ක්‍රමය (redirecting). මේවා එකක් වත් කරන්න උනන්දුවක් අරන් නැති නිසා ඒ විදිහටත් මේ අඩෙවිය bookmark කරන්න බැහැ. එතුල සැරිසරන්නත් බැහැ.

තවත් වැඩක් කරන්න තියෙනවා: ප්‍රධාන රාමු සහිත පිටුවේ ඒ කියන්නෙ index පිටුවේ “රාමු විරහිත අංශයට” <noframes> කියන ටැග් වර්ගය යටතේ මොනවා හෝ තර්කානුකූල විස්තරයක් යොදන්න වෙනවා. ඒ ටික තමයි මුල් පිටුවට එන සෙවුම් යන්ත්‍රවලට කියවාගන්න පුලුවන්. ඒක කරලත් නෑ!

ඉතින් රාමු නැත්නම් බොහොම හොඳයි. යොදනවා නම් මේ විදියේ මූලික පියවර ගන්න ඕන.

අවසාන වසයෙන් මේ “ලස්සන” වෙබ් අඩෙවි රාජිනියගේ සාය පොඩ්ඩක් ඉස්සිලා “ඔක්කොම එලියේ” තියෙන තැනකුත් පෙන්වන්නම්. මේ http://www.jathakakatha.org/jk2/ කියන ස්ථානය. මේ විදිහට අනාරක්ශිත ව ගොනු තැබීම හරිහමන් වෙබ් අඩෙවියක දකින්න ලැබෙන දෙයක් නෙමෙයි. ඒ වගේ ස්ථානවලට පිවිසුම අවහිර කරන්න ඕන.

විශාලනය සඳහා පින්තූරය ක්ලික් කරන්න

වෙබ් අඩෙවි හදනකොට තව දෙයක් බලන්න ඕන. මේක කාගේ ප්‍රයෝජනයට ද අපි ඉදිරිපත් කරන්නේ? භාශා සාහිත්‍ය විශයන් හදාරන අයට, බෞද්ධ සාහිත්‍යය ගැන උනන්දු අයට, හාමුදුරුවරුන්ට, බැතිමතුන්ට, නිර්මානකරුවන්ට මේ හැම කෙනෙකුට ම ප්‍රයෝජනවත් වස්තුවක් ජාතක පොත. ඒ වගේ ම මේක සංස්කෘතික උරුමයන් සංරක්ශනය කිරීම කියන විශය යටතටත් වැටෙනවා. මේ වගේ අඩෙවි සංස්කරනය කරද්දී දීර්ඝ කියවීම්වල පහසුව ප්‍රධාන ම ගුනාංගය හෙවත් feature එක හැටියට ගැනීම සාමාන්‍ය දෙයක්. මේ සඳහා අගනා උදාහරන හැටියට ඇඩිලේඩ් ඊ පොත් ගුල, ගුටන්බර්ග් ව්‍යාපෘතිය වැනි ඒවා දක්වන්න පුලුවන්. ඇඩිලේඩ් ඊ පොත් ගුලෙන් මම දීර්ඝ කියවීම් නිතරම කරනවා කිසිම වෙහෙසක් බාධාවක් නැතුව. මේවා නිරීක්ශනය කරන එක කාටත් ප්‍රයෝජනවත්. නමුත් මේ ජාතක කතා අඩවිය බාල තොරනක් වගේ අටවලා තියෙන නිසා එක දිගට කියවන්න අපහසුයි. අකුරු නිල් පාටයි. වෙහෙසකරයි. අඩෙවියෙන් ගන්න පුලුවං ප්‍රයෝජන සීමිතයි.

පොතක් වෙබ් අඩෙවියක් බවට පත් වෙනවාය කියන එක අර්ථවත් වෙන්නේ වෙන්නේ එයට ජාලගත වීම නිසා අත්පත් විය යුතු ගුනාංග හා වාසි ලැබී තියෙනවා නං පමනයි. මේ අඩෙවියට ඒ එකක් වත් පිහිටා නැහැ, පරිගනකයකින් නරඹන්න පුලුවන් වීම හැර. සොයන්න බැහැ, සොයපු තැනක් bookmark කරන්න බැහැ, ලින්ක් කරන්න බැහැ, පරිනකයෙන් වුනත් කියවීමට පහසු නැහැ. User friendly නැහැ. ප්‍රමිතිගත නැහැ.

අපේ රටේ ICT නියෝජිතායතනය ජනාධිපති ලවා විවෘත කරවන්න වෙබ් අඩෙවි “උස්සාගෙන” යන්නෙ මෙහෙමද?

මතු සම්බන්ධයි
ග්‍රන්ථ සංස්කරනය පිළිබඳ පැත්ත එනම් ඉහත අංක 1 යටතේ දැක්වූ කරුන මීලඟ සටහන්වලින් බලාපොරොත්තු වන්න.