වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ICTA ආයතනය ජාතක පොතට කර ඇති හදිය (02)

| Comments

මේ ලිපියේ පලමු වැනි කොටසින් මම පෙන්නුම් කලා ICTA ආයතනය ඉදිරිපත් කල ජාතක පොත් අඩෙවියේ තාක්ශනික දුබලතා කිහිපයක්. වෙබ් ප්‍රමිතීන් පැත්තෙන් තමයි ඒ කතා කලේ. දැන් කතා කරන්න අදහස් කරන්නේ පොතක් හැටියට ජාතක පොතට මෙහි දී සිදු කර ඇති දෙය ගැන. මේ කියන්න යන පැත්ත ගැන දැනට අන්තර්ජාලයේ සිංහලෙන් වැඩ කරන බොහෝ දෙනෙකුට ඒ තරම් අවබෝධයක් නැති බවයි මට පෙනුනෙ. මම කලින් කොටසේ කරුනු අංක 1) හැටියට මෙහෙම කිව්වා :


“1) මේ වැඩේ ග්‍රන්ථ සංස්කරන ක්‍රමවේද නොතකා කල අඳබාල වැඩක්. ශාස්ත්‍ර මංකොල්ලයක්. බැරෑරුම් භාශා ශාස්ත්‍ර කටයුතුවලදී මේ අඩෙවිය අදාල කරගන්න බැහැ. මේකෙන් හරි හමන් ශාස්ත්‍රඥයෙක් කිසිම දෙයක් උපුටාගන්නෙත් නැහැ. මහජනතාව රවට්ටන්න නං හොඳයි මේ වගේ වැඩ. මොවුන් එය රටේ නායකයා රැවටීමෙන් ම අරඹා තිබෙන බවයි මට පේන්නේ.”


දැන් ඒක පැහැදිලි කිරීම මගේ යුතුකම.


මේ කතා කරන වෙබ් අඩෙවියේ ඉදිරිපත් කල ජාතක පොත කාගේ සංස්කරනයක් ද එහි වගකීම කාගේ ද කියලා දක්වලා නැහැ. අපට අනුමාන කරන්න පුලුවන් දේ තමයි මේක වෙලඳපොලෙන් මිල දී ගත් කිසියම් පොතක් බලාගෙන යතුරු ලියා පල කල එකක් බවයි. එහෙමත් නැත්නම් වඩාත් අනුග්‍රහශීලී අනුමානයක් කරන්න පුලුවන් මේ පිරිස තමන් ම සොයාගත් පුස්කොල පිටපත් සංඛ්‍යාවක් කෙලින් ම යතුරු ලියා ගත්ත බවට :D

දෙකෙන් කෝක කලත් මේ සම්බන්ධ සංස්කරනයක් සිදු වී නැති බව පැහැදිලියි. ඒ විතරක් නෙමෙයි, මෙහි අක්ශර වින්‍යාස දෝශ බහුලයි. පාපිලි ඉස්පිලි හැලිලා. ණ න ළ ල අකුරු කලවං වෙලා. කෘතිය දූශනය වෙලා. සෝදු පත් බැලූ වගත් පේන්නත් නැහැ. මේ අය හිතලා තියෙන්නෙ කඩෙන් ජාතක පොත අරන් තමුන් යතුරු ලියා පල කලාම “ඒකත් වැඩක්” බවයි! එපමනක් නොවෙයි ලොවටම අඬබෙර ගසා රාජ්‍ය නායකයාවත් රවටා නාගසලමුත් වයා මේ අඩෙවිය ජනපතිවරයා ලවා “නිකුත්” කිරීමේ ගෝසාව ද නඟා තියෙනවා.

දැන් මේ විදිහට කරුනු කියද්දී ඇතැම් කෙනෙකුට ප්‍රශ්න කීපයක් මතු වෙන්න පුලුවන්. ඒවා විසඳීම සඳහා පුරාන පතපොත සංස්කරනය ගැන මම කලින් ලියපු සටහනක් මෙතනට එකතු කරන්න කල්පනා කලා. මේක අපේ මිත්‍ර ශ්‍රීශානුට පුද්ගලික ව යවන්න ලියූ එකක්. නමුත් කවුරුත් කියෙව්වාට වරදක් නැහැ. අපි එදා කතා කලේ ජාතක පොත ගැන නෙමෙයි. වෙනත් පොත් කීපයක් ගැනත් සැළලිහිණි සන්දේශය ගැනත්. නමුත් ඒ කාරනා ජාතක පොතටත් වෙනත් පුරාන සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පතපොතටත් අදාල යි.

දීර්ඝ විස්තරයක් තමයි. ඒත් මේවා තේරුම් කරන්න කෙටි ක්‍රම නැහැ. මෙතැන් සිට අද සටහනේ අවසානය දක්වා ඇත්තේ ඒ ලිපියයි :

පුරාන පතපොත සංස්කරනය, මුද්‍රනය සහ අන්තර්ජාලයෙහි ප්‍රකාශනය සම්බන්ධ ගැටලු කිහිපයක්

(ප්‍රතිරූපන අයිතිය, වගකීම්, සංස්කාරකවරුන්ගේ තත්වය සහ “මුල්” කෘතිය ගැන)

2008 ජූනි 20 වැනි දා උදෑසන අපේ හිතවත් බ්ලොග්කරු ශ්‍රීශානු ඉතා වැදගත් වූත් ඉතා රුචිකර කතාබහකට තුඩු දෙන්නා වූත් ප්‍රශ්න කීපයක් ඉස්මතු කලා. ප්‍රශ්නය මතු වුනේ පැරනි පත පොත අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීම සම්බන්ධ කතාබහක් අතර මැද දී. එදින ම කෙටියෙන් ඒ ගැන ප්‍රතිචාරයක් ලිව්වත් දීර්ඝව විස්තර කල යුතු දේවල් කෙටියෙන් ලිවීමෙන් අවුල් ජාල හා ජංජාල හටගත හැකියි :) ඒ නිසා මේ සටහන් ලියැවෙන්නේ ඒ කාරනය පිලිබඳ පැති කීපයකින් ශක්ති ප්‍රමානයෙන් පැහැදිලි කරන්නයි.

මේ ගැන උනන්දුවක් දක්වන කාටත් මේ සාකච්ඡාව ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා.

0.5

ශ්‍රීශානු මතු කල ප්‍රශ්න ටික මෙහෙමයි -


යම් පැරණි පොතක (මෙහිදී සැළලිහිණි සංදේශය), මෑතකාලයේ පිටවූ සංස්කරණයන්එකිනෙකට වෙනස්ද? එසේ නම් ඒ ඇයි? එසේ, නව පොත (සංස්කරණය) ලියන්නාට එසේ තමා කැමති අයුරකින් මුල් පොත වෙනස් කිරීමට අයිතියක් තිබේද? අයිතියක් තිබුනත් එසේ කරන්නේ ඇයි? අප පොත්හලකට ගොස් සැළලිහිණි සංදේශයක් මිළට ගතහොත් එහි ඇත්තේ මුල් කතුවරයා ලියූ පද එලෙසින්ම නොවේද? සංස්කරණ දෙකක් මිළට ගතහොත් එවා එකිනෙකට වෙනස් වේද?

මුල් පොත කෙසේදැයි දැනගැනීමට හැකියාවක් නැද්ද? එය ඇත්තේ කොහේද?


අමතර ප්‍රශ්නයක්: මුල් කතුවරයා විසින්ම එහි පිටපත් එකකට වැඩි ගණනක් නිකුත් කර තිබේද?


බොහොම කෙටියෙන් වුවත්, පැහැදිලිව පිළිතුරක් දෙන්නේ නම්, බොහොම පිං!”


1.0

අද අප පොත් හලකට ගිය විට ගන්න ලැබෙන්නේ විවිධ සංස්කාරකවරුන් විසින් සම්පාදනය කෙරුනු සංස්කරන. ඒවා ඇතැම් තැන්වල එකිනෙකට වෙනස්. එහෙම වෙන්නේ ඇයි?” “මේ එක එක්කෙනා මේ පැරනි පොත් හිතුමතේට වෙනස් කරලද?” “මේකේ තේරුම මොකක්ද?”


මේ පුරාන පත පොත ලියැවුනු යුගවල ලිවීම සහ ප්‍රකාශනය කියන දෙයින් අදහස් වුනේ වෙනත් ම දෙයක්. අද අපි අදහස් කරන දේ නෙමේ. මුද්‍රන ශිල්පය තිබුනේ නෑ, විද්‍යුත් ක්‍රම මගින් සර්වසම පිටපත් නිකුත් කරන ක්‍රමයක් තිබුනෙත් නැහැ. බෙදාහැරීමේ ක්‍රම තිබුනෙත් නැහැ. මිල දී ගැනීමක් තිබුනෙත් නැහැ. අපේ රටේ නම් තිබුනු ප්‍රධානම ක්‍රමය පුස්කොල පොත්. වැඩි දෙනා පොත් “පරිශීලනය” කලේ තවත් කෙනෙක් ඒවා හඬ නඟා කියවන හෝ ගයන විට ශ්‍රවනය කිරීම මගින්. පිටපත් සංඛ්‍යාව අල්පයි.


සැළලිහිණි සන්දේශය ඇසුරින් උදාහරනයක් දුන්නොත් අපට මෙන්න මේවා අනුමාන කරන්න පුලුවන් -


රාහුල හාමුදුරුවෝ මුලින් ම ලියා පරිසමාප්ත කල පිටපත තියෙන්න ඇති.(හැබැයි නොතිබුනා වෙන්නත් ඉඩ තියෙනවා. පසු කාලයක වෙන කෙනෙක් ඒක සම්පූර්න නොකලාය කියලා 100%ක් ඒත්තු ගැනීමෙන් කියන්න බැහැ.) ඊට පස්සේ විජයබා පිරුවනේ දී හෝ උන්නාන්සේ වැඩ වාසය කල වෙනත් තැනක දී තවත් පිටපත් පුස්කොල මත රචනා කරන්න ඇති. බොහෝ විට රාහුල හිමියන්ගේ ශිශ්‍ය භික්ශූන් වහන්සේලා මෙහි නිරත වුනා වෙන්න පුලුවන්. ඒත් තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩු පිටපත් සංඛ්‍යාවක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒ වගේ ම මෙහෙම දේකුත් වෙනවා. විවිධ පලාත්වල ඉන්න වියතුන්ට හාමුරුදුවරුන්ට පඬිවරුන්ට මෙහෙම පොතක් තියෙන වග ආරංචි වුනාම ඒ අය තමුන්ගෙ ගෝලයන් පිටත් කරලා අරිනවා අන්න රාහුල හාමුදුරුවො පොතක් ලියලා උඹත් ගිහින් පිටපතක් අරන් වරෙන් කියල. ඉතින් මේ අය දුරු කතර ගෙවාගෙන (අද වගේ බස් එකේ කෝච්ච්යේ යන්න යැ) ගිහින් දින ගානක් නැවතිලා ඉඳලා අතින් පිටපත් කරගෙන එනවා. සමහර වෙලාවක කතුවරයා සිය කෘතියේ පිටපතක් තමුන්ගේ ගෞරවයට පාත්‍ර වී උන් වෙනත් පඬිවරුන්ට, රාජරාජ මහාමාත්‍යාදීන්ට යැව්වා වෙන්නත් පුලුවන්. නමුත් ඒ සියල්ල අතින් පිටපත් කල ඒවා. කාලයක් ගත වෙද්දී සමහර පිටු විනාශ වෙනවා, ඒවා අයිති අය මතකයෙන් හෝ හැකි පරිදි අලුතින් ලියා ඒ අඩුව පුරවනවා වෙන්න පුලුවන්. මම මේ කියූ සියල්ල අනුමාන. ඉන් පසු සැළලිහිණි සන්දේශයට ලියැවුනු සන්නයක් තියෙනවා. මේකට අද අපි කියන්නේ සැළලිහිණි සන්දේශ පුරාතන සන්නය කියලයි. එය සැළලිහිණි සන්දේශය තේරුම් ගැනීමට උපකාර වනු පිනිස, කවිවල අදහස් වෙනත් පද වලින් පැහැදිලි කරමින් ලියූවක්. නමුත් අද කාලේ නම් සන්නයට වඩා මුල් පොත ලියූ බස සරලයි වගේ පේනවා. මොකද අද ව්‍යවහාර භාශාවට වඩා සමීප සන්දේශයේ කවි බස නිසා. මේ සන්නයත් සැළලිහිණිය ලියවුනු අලුත ම සම්පාදනය වුනාය කියලා අනුමාන කරන්න පුලුවන්.


ඉතින් මුද්‍රනය සඳහා පුරාන පත පොත(ජාතක පොත, සැළලිහිණිය ආදී….) සංස්කරනය කරන්න ඉදිරිපත් වුන මුල් කාලීන පඬිවරුන්ට (විශේශයෙන් එක දහස් අටසිය ගනන්වල) තිබුනේ විවිධ තැන්වලින් හොයාගත් පුස්කොල පොත් කීපයක් විතරයි. ඒවායේ එකිනෙකට වෙනස් යෙදුම් තිබෙන ස්ථාන හමු වෙන එක සාමාන්‍ය දෙයක්. ඇතැම් විට පිටු පිටින් අඩුයි, කවි පිටින් අඩුයි. එහෙමත් නැත්නම් එක පිටපතක තියෙන වචනයක් තවත් පිටපතක නැහැ. ඒ වෙනුවට තියෙන්නේ වෙනත් පදයක්. මෙන්න මේ වගේ.


ඇයි ඒ?


හේතු ගොඩයි. අර පිටපත් හදද්දී වුනු අත්වැරදි. පිටපත් කරපු අය සමහර වෙලාවට හරි කියලා හිතලා යොදන පද. පස්සේ කාලෙක ඇතැම් විට මතකයෙන් නිපදවපු පිටපත් වල තියෙන්න පුලුවන් වෙනස්කම්. පිටපත් විනාශමුඛයට පත් වෙද්දී වෙනත් අය විසින් ඇමුනූ පිටු. මේ ආදී විවිධ සාධක නිසා අපට හමු වෙන පිටපත් වෙනස් වෙලා එහෙමත් නැත්නම් “දූෂිත” වෙලා තියෙන්න පුලුවන්.


සංස්කාරක කරන්නේ මොකක්ද?


ඉතින් සංස්කාරක මුහුන දෙන අභියෝගය තමයි අදාල යුගයේ සාහිත්‍යය අධ්‍යයනය කිරීම, අදාල ලේඛකයා ගැන දන්නවා නම් ඔහුගේ වෙනත් කෘති සේ සැලකෙන ඒවා අධ්‍යයනය කිරීම ඒ වගේම දැනට තිබෙන පිටපත් තුලනය කිරීම සහ තවත් බොහෝ වැඩ. එතකොට හැකියාව ලැබෙනවා මේ දුරවබෝධ තැන් වල දී මොන විකල්පය තෝරාගන්න ද කියලා. මේක අනුමාන කිරීමක්. සමහරු පිටපත් වැඩි ගනනක තියෙන දේ හරි දේ හැටියට ගන්නවා. සමහරු වෙනත් සාධක මත, ඒ කියන්නේ අදාල ලේඛකයාගේ වෙනත් පොත්, භාශා ශෛලිය, වියරනය වැනි වෙනත් සාධක සලකා තීන්දු ගන්නවා. අවසානයේ දී නිගමනය කරනවා රාහුල හාමුදුරුවෝ (හෝ අදාල ලේඛකයා) යොදාගන්න ඇත්තේ මෙන්න මේ පදය බව. ඒක තීරනය කරන්නේ සංස්කාරක. ඉතින් මුල් කාලීන සංස්කරන මත පදනම් ව අද දක්වා පැවත එන විවිධ ධාරා කීපයක් තියෙනවා. ඒවා එකිනෙකට වෙනස්. මම දැන් උදාහරන කීපයක් දෙන්නම් සැළලිහිණියේ විවිධ සංස්කරන ඇසුරින්.


දැනට කෙටියෙන් කිව්වොත් අප අතට පොත් හලේ දී පත් වෙන්නේ මේ පරිශ්‍රමය දරා සුද්ද කොටගොඩ දැමූ විවිධ අයගේ සංස්කරන. ඒවායේ ඇතැම් වෙනස්කම් පවතිනවා. පුස්කොල පොත් සොයාගෙන ඒවා ශෝධනය කොට අද පවතින තත්වයට ගෙන ආ පුරෝගාමීන්ගේ ශ්‍රමය නොවන්න අද අපට ලේසියෙන් මෙහෙම ඒ පොත් මිල දී ගන්න තියා ඒවා මොන වගේද ඒවා ලිව්වේ කවුද කියන එක වත් නිශ්චිත ව කියන්න අමාරු යි. ඒ කියන්නේ සංස්කාරකවරයා අප සියලු දෙනා වෙනුවෙන් තීරන ගැනීම භාර අරගෙන අපට පෙන්වා දෙනවා රාහුල හිමියන් ලියන්න ඇත්තේ මෙන්න මේ විදිහේ කෘතියක් ය කියලා.


එතකොට සංස්කාරකවරුන්ට අයිතියක් තියෙනවාද කියන ප්‍රශ්නය වෙනුවට සංස්කාරකවරුන්ට සිද්ධ වෙන්නේ මේ දේ කිරීමට බව අපට තේරුම්ගන්න පුලුවන්. සංස්කාරකවරුන්ගේ පිහිටෙන් අපි ඒ “මුල්” කෘතියට සමීප වෙනවා දිනෙන් දින වැඩි වැඩියෙන් නිවැරදිව.


2.0


කල් ගත වෙද්දී මේ නොඑකඟතා අඩු වී යනවා. උදාහරනයක් හැටියට මුල් අවධියේ තිබුනු ප්‍රධාන වාදයක් වුනේ සැළලිහිණි සන්දේශයේ කර්තෘ නන්තූරුතුනයා කියන ඇමතිවරයා ද නැත්නම් රාහුල හාමුදුරුවන් ද යන්නයි. දැන් ඒ වාදයේ යෙදෙන එක අනවශ්‍ය දෙයක් බවට පත් වෙලා මොකද රාහුල හාමුදුරුවන්ගේ භාශා ව්‍යවහාරය, වෙනත් පත පොත වගේම එම යුගයේ සාහිත්‍යය පිලිබඳ වත් වඩා හොදින් තහවුරු කෙරුනු තොරතුරු සහිතව අද වන විට මේ කෘති වෙතට පිවිසෙන්න පුලුවන්කම ලැබී තිබෙන නිසා.


සැළලිහිණි සන්දේශයේ දස වන පද්‍යය හැටියට අප දන්නා “දුවන බඳ කිකිණි හය කුර පහර නද…” යන කවිය ඇතැම් මුල්පිටපත්වල දක්නට නැති නිසා කුමාරතුංග මුනිදාස මහතා වැනි සමහර සංස්කාරකවරු එය රාහුල හිමියන්ගේ නිර්මානයක් නොවන බව සලකා ඉවත් කිරීමට තීරනය කලා. නමුත් තවත් ඇතැම් සංස්කාරකවරු රචනා ශෛලිය, මාධුර්යය අතින් එය සන්දේශයේ එන සෙසු කවිවලටත් රාහුල හිමියන්ගේ ශෛලියටත් සමාන නිසා සිය සංස්කරනයන්ට ඇතුලත් කරගෙන තිබෙනවා.


සැළලිහිණි සන්දේශයේ පුරාන සන්නයේ අග යොදා ඇති කවි තුන පසු කලෙක එකතු කරන ලද්දක් බව පෙනී යනවා. සැළලිහිණි සන්දේශයේ ප්‍රකාශිත අරමුන වන උලකුඩය දේවියට පුත්රුවනක් ලබාගැනීමේ කාර්යය ඉටු වූ පසු ඒ ඉටු වූ දින වකවානු ද සහිත ව එම පද්‍ය තුන ලියා ඇති හෙයිනුයි ඒ. එසේ ම ඇතැමුන් අදහස් කරන්නේ මෙය රාහුල හිමියන් නොව වෙනත් කවියකු විසින් පුරාන සන්නය සම්පාදනය කරන දිනවල නිර්මානය කරන්නට ඇති කවි තුනක් බවයි. එහෙත් ශෛලිය අතින්, උපයුක්ත පදමාලාව අතින් එය ද රාහුල හිමියන්ගේ කවීත්වය ම පිලිබිඹු කරනවා. ඒ නිසා සමහර සංස්කාරකවරු එය ද සහිත ව කවි 111ක් සැළලිහිණි සන්දේශයේ සම්පූර්න කෘතිය හැටියට සලකනවා.


කෙසේ වෙතත් මීට වඩා බැරෑරුම් හේතු නිසා සංස්කරනවල විවිධතා හටගන්නවා. අදටත් අපට තිබෙන අනර්ඝතම සංස්කරනවලින් එකක් තමයි පසුගිය සියවසේ මුල ප්‍රකාශයට පත් වුනු රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම හිමියන්ගේ සැළලිහිණි සන්දේශය සහ එහි පුරාතන සන්නය නමැති කෘතිය. මේ සම්බන්ධ ඉතා රසවත් සිද්ධියක් තිබෙනවා. ධර්මාරාම හිමියන් ජීවත් ව සිටිය දී පල කෙරුනු එහි මුල් සංස්කරනයේ 7 වෙනි පද්‍යය දැක්වෙන්නේ මෙහෙම -

මෙහෙම -

“පොහොසද්දන ඇති තුනුරුවනැබැති පෙමා
මුලුවද්දන සුර පුර පිරි සිරින්හැමා
ජයවද්දන කරණෙන් සුසැදු තමනමා
ජයවද්දන පුරවර දනු මිතුරුතුමා”

නමුත් උන්වහන්සේගේ අභාවයෙන් පසු 1938 වසරේ එම කෘතිය යලි පල කරන්න සූදානම් වූ දිනවල ධර්මකීර්ති හිමියන්ගේ ශිශ්‍ය රත්නයක් වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර හිමිපානන් වැදගත් තීරන කිහිපයක් ගත්තා. එයින් එකක් උන්වහන්සේගේ ම වචනවලින් මෙහෙමයි -

“… මේ සඳහා ව්‍යාපෘත වූ අපට ශ්‍රී ධර්මාරාම නායක මාහිමියන් වහන්සේ විසින් නිතර භාවිතය කළ තමන් වහන්සේගේ අත්පොතෙහි පසු පසු අවස්ථාවන්හි යළිත් සකස් කොට ලියූ වැදගත් ශුද්ධි කිහිපයක් ම දක්නට ලැබිණ. එය අපගේ මෙම සංස්කරණයට ඇතුළත් කරන්නට ලැබීම භාග්‍යයෙකි. එය ස්වභාෂාභ්‍යුදයට කැමති සුධීන්ගේ සන්තුෂ්ටියට හේතු වේ යයි සිතමු. එසේ සකස් කළ එක පද්‍යයක් මෙහි පහත දැක්වේ. එනම් මේතාක් ප්‍රසිද්ධ වූ හැම සංස්කරණයක ම අනුචිත ව යෙදී තුබූ 7 වෙනි පද්‍යය යි.


පොහොසද්දන ඇති තුනුරුවන බැතිපෙම
මුලුවද්දන සුරපුර පිරි සිරින්හැම
ජයවද්දන කරණෙන් සුසැදු තමනම
ජයවද්දන පුරවර දනු මිතුරුතුම”

(කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර හිමි - 1938 ලියූ ප්‍රස්තාවනාවෙන්, ii පිටුව)


එතැන් පටන් බිහි වූ වෙනත් සංස්කරන ඇතැමක ද මෙසේ “බැති පෙමා” වෙනුවට “බැති පෙම” ආදී වසයෙන් යොදන්න පසුකාලීන සකසුවන් ද යොමු වුනා. නමුත් හැමෝ ම නෙමෙයි.


තවත් වෙනස්කම් පෙනෙන තැනක් තමයි සැළලිහිණි සන්දේශයේ 72 වැනි කවිය. ඇතැම් සංස්කරනයක එය දැක්වෙන්නේ

පිරිසිඳ නොදත හැකි මෙ වැඳුම් පින් පඬුරු…” ආදී වසයෙන් [ජී. එස්. බී සේනානායක]

එහෙත් තවත් තැන්වල

පිරිසිඳ නොහැකි මෙවැඳුම් පුද පින් පඬුරු …” යනුවෙන් දැක්වෙනවා.

[ධර්මාරාම, ගම්ලත්, බන්දුසේන ගුණසේකර]


මම මේ දැක්වූවේ දැන් මගේ අතට හසුවූ සංස්කරන කීපයකින් ගත් උදාහරන කීපයක් පමනයි.


අපේ සංස්කරනය සම්පූර්න වෙද්දී වෙනත් සංස්කරනවල එන වෙනස් යෙදුම් ගැනත් නිසියාකාරව අදාල තැන්වල පාද සටහන් ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා. උසස් සංස්කරනයක දී නම්, පවත්නා වෙනස් සංස්කරන හා තම සංස්කරනය අතර පවතින වෙනස්කම් ද පාද සටහන් හෝ අධෝලිපි ලෙස ඇතුලත් කර තිබෙනු දැකිය හැකියි. එවිට එක පිටපතක් අතැතිව සිටින විද්‍යාර්ථියකුට වුනත් වෙනත් සංස්කරනවල අදාල තන්හි යොදා තිබෙන පදය ගැනත් අදහසක් ලබාගන්න පුලුවන්. හොරට හෝ ලිහිලට කොපි නිපදවන අය, බලාගෙන යතුරු ලියන අය, මේවා ගැනත් ඒ තරම් හිතන්නේ නැහැ. හිතෙන්න තරම් අධ්‍යයනයක යෙදෙන්නෙත් නැහැ.


තවත් ප්‍රශ්නයක් තමයි සංස්කාරකවරුන්ගේ නොසැලකිල්ල! එනිසා හටගන්නා මුද්‍රන දෝශ ආදිය නිසාත් ඇතැම් සංස්කරන දූශිත වෙනවා. මට ඉතාම අප්‍රියජනක මට්ටමින් දැකගන්න ලැබුනේ 1998 වසරේ දී උසස් පෙල සිසුන් සඳහා නිකුත් කෙරුනු සැළලිහිණි සන්දේශ සංස්කරනයේ තිබුනු එවැනි උනතා යි. එය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වියදමින්, සිංහල මහැදුරු මඬුල්ලක සහභාගීත්වයෙන් කෙරුනක්. එහෙත් එහි පලමු පද්‍යයේ සිට ම දෝශ පවතිනවා. අදත් එම සංස්කරනය ඇතැම් පලාත්වල පොත් හල්වල තිබෙනවා. ඔන්න අපේ අනාගත පරම්පරාවට මහජන මුදලින් මේ සාහිත මිනි රුවන අඳුන්වා දුන් සැටි!


ඉතින් ඔයාකාරයෙන් විවිධ පැතිවලින් සංස්කාරකවරුන්ගේ භූමිකාව පැහැදිලි කරන්න පුලුවන්. මුල් පුස්කොල පොත මේකයි කියලා අපට අද කියන්න පුලුවන්කමක් නැහැ. ඒවගේම මුල් ස්වරූපය නියත වසයෙන් ම මෙහෙමයි කියන්නත් අමාරුයි. ආසන්න වසයෙන් කෙරෙන අනුමානයකින් වඩාත් “සැබෑ-හුරු” සංස්කරනයක් සැකසීම තමයි මේ පත පොත සංස්කරනයේ දී සිදු වන්නේ. ඉතින් අපි පොත්හලේ දී මිල දී ගන්නා කවර සංස්කරනයක් හෝ වේවා එහි මුල් සංස්කාරකවරුන්ගේ ශ්‍රමය ගැබ් ව තියෙනවා. එම කෘතිය මතු කරගෙන සමාජය සතු කලේ ඔවුන්. අපේ රටේ දැන් පුරුද්දට ගිහින් තියෙන දෙයක් තමයි ටියුශන් පන්තිවල හා වෙනත් බොහෝ තැන්වල වගේ වගක් නැතුව සැළලිහිණි සන්දේශයේත් වෙනත් මෙවැනි පොත්වලත් ටයිප් කරපු පිටපත් රෝනියෝ කොට බාල ලාබ ආකාරයට විකිනීම. ඒවායේ දී උපුටාගත්තේ කවර සංස්කරනයෙන් ද කියලා කියන්නෙත් නැහැ. නමුත් සැළලිහිණිය හුරුපුරුදු කෙනෙකුට නම් බොහෝ විට එක වරම අඳුනාගන්න පුලුවන් මේ විකුනන්නේ අහවල් සංස්කරනයේ කොපියක් වග. එහෙමත් නැතිනම් හිතුමතේට කලවමේ කොපි කරලා තියෙන වගත් හඳුනාගන්න පුලුවන්. ඒවා උසස් සංස්කරන හැටියට පිලිගැනෙන්නේ නැහැ. කවුරුවත් ඒවා වැදගත් ලිපි හා පොත්පත් ලියද්දී එන උපුටාගැනීමේ අවස්ථාවල හෝ ශාස්ත්‍රීය කටයුතුවලදී සඳහන් කරන්නේ වත් නැහැ.


2.5

දැන් අපි අන්තර්ජාලයට මේවා එක් කිරීම ගැනත් පොඩ්ඩක් බලමු. දැන් දැන් පෙනෙන පරිදි ඇතැම් අය (විශේශයෙන් පරිගනක ක්ශේත්‍රයේ අය) අනවබෝධය නිසා අර ටියුශන් පන්තිවල ක්‍රමයට ටයිප් කර යුනිකේතයට පෙරලූ නොබැරෑරුම් වැඩ කිරීම වැදගත් වැඩක් හැටියට සලකන බව පෙනී යනවා. නමුත් එවැන්නකින් මේ භාශා සාහිත්‍ය ක්ශේත්‍රයට එතරම් පලක් නොවන බව ඔවුන්ට නොතේරෙන්නේ ඔවුන් මේ දේවල් අධ්‍යයනය කර නැති නිසයි. ඔවුන් මේවා කරන්නේ විවේක ලැබුනු විට. ආසාවට. අධ්‍යයනයකින් තොර ව. ඒවා යතුරු ලිවීම් මිස සංස්කරන නොවෙයි. වෘත්තීය ව පූර්නකාලීනව භාශා සාහිත්‍ය ක්ශේත්‍රයෙහි නියුක්ත වන්නන් සංස්කරනයකින් ගන්නා ප්‍රයෝජන, භාශා සාහිත්‍ය අධ්‍යයනයේ නිරත අය එවැන්නකින් ගන්නා ප්‍රයෝජන කවරේද යන්න නොතකා අපට පොතක් පල කරන්න අමාරුයි.


පොතක් කවර මාධ්‍යයක් සඳහා හෝ සංස්කරනය කිරීම මෙතෙක් පැවත ආ භාශා ශාස්ත්‍ර කටයුතුවල අඛන්ඩතාවක් හැටියට සහ එම ක්ශේත්‍රවල කොටසක් හැටියට ඉටු කිරීම ගුනාත්මක යි. එහෙම නැතුව හුදෙක් ගුනාත්මක නොවන ආකාරයෙන් යතුරු ලියා පල කිරීම කුඩා මට්ටමේ වැඩකට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. ඒ කියන්නේ එවැන්නක් කල බවට ලැබෙන විනෝදය හා ආධුනික වෙබ් කටයුත්තක් හැටියට හොදයි. නමුත් ශාස්ත්‍රීය කටයුත්තක දී එවැන්නක් කෙනෙකුට උපුටා දැක්විය හැකි බැරෑරුම් මූලාශ්‍රයක් හැටියට සලකන්නේ නැහැ. එවැනි පිටුවකට ලින්ක් කිරීම වත්, පොතක ලිපියක දී එවැනි වෙබ් පිටුවකින් උපුටා ගැනීම වත් සිදු වෙන්නේ නැහැ. සරලව කියතොත් එවැන්නක් භාශා හා සාහිත්‍ය ක්ශේත්‍රයට බැරෑරුම් ව සම්බන්ධ වුනු කෘතියක් වෙන්නේ නැහැ. එම ක්ශේත්‍රවල නියුක්ත සාහිත්‍යලෝලීන්ට හා විද්‍යාර්ථීන්ට ප්‍රයෝජන ගත හැකි සංස්කරන නිකුත් කිරීම අපේ අභිලාශය විය යුතු යි. අන්තර්ජාලයේ හෝ වෙන මොනම තැනක පල කලත් එම ප්‍රකාශනය, එම ප්‍රකාශනය අදාල වන්නා වූ ක්ශේත්‍රයෙහි වැඩකටයුතු සඳහා ප්‍රයෝජනයට ගත නොහැකි නම් එහි පලදායකත්වය අඩුයි.


හොඳින් බලන්න ජාත්‍යන්තර ජාලගත ප්‍රකාශන ව්‍යාපෘති. සේක්‍රඩ් ටෙක්ස්ට්ස්, ගුටන්බර්ග් හෝ ඇඩිලේඩ් ඊ පොත්ගුල්වල (convert කිරීමේ ව්‍යාපෘතිවල) සෑම විට ම මෙවැනි සංස්කරන පල කරන විට අදාල සංස්කාරක, පරිවර්තක හෝ කතුවරයා ගැන සඳහන් කරන්නේ මේ විස්තර කෙරුනු හේතු නිසයි. මේ බලන්න නිදසුනක් : ඍග් වේදය. මුල් පිටපත් පවතින්නේ public domain හෙවත් ප්‍රසිද්ධ පරිමන්ඩලය මත බව ඇත්ත. එසේ වුවත් සංස්කරන සම්බන්ධයෙන් තත්වය එසේ නොවෙයි. සංස්කාරකගේ ශ්‍රමය එහි ගැබ්ව තිබෙනවා- ඔහුගේ හෝ ඇයගේ ශාස්ත්‍රීය විනිශ්චයන් ඒවායේ තිබෙනවා. ඒ නිසා බුද්ධිමය දේපොල සම්බන්ධ නීතිමය හිමිකම් ගැන පැහැදිලිකමක් නැති රටක් තුල වුනත් සදාචාරාත්මක වසයෙන් මේ දේවල් පිලිගැනෙන්නේ ඒ නිසයි.


මේ ප්‍රශ්න විමසීම ගැන ස්තුතියි. මේ කරුනු ගැන පිලිවෙලකට ලිවීම අරඹන්න එය උදව්වක් වුනා.



මතුසම්බන්ධයි

මීලඟ ලිපියෙන්

ටයිප් කිරීමත් වැඩක් ද? ජාතක පොත් වහන්සේ අගේට තියෙනවා, ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වෙබ් අඩෙවියේ විතරක් ද?
ICTA විසින් නිකුත් කල ජාතක පොතේ තතු සහ කල යුතු ව තිබුනේ කුමක් ද? බල්ලගෙ වැඩේ බූරුවා කිරීම…