වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන හැටි හෙවත් සිංහල Firefox ගැන අපේ රටේ ජනමාධ්‍ය වාර්තා කල අන්දම දෝ නොහොත් මාධ්‍ය ලවා වාර්තා කරවූ අන්දම

| Comments

අනුන් කියූ ලියූ බොරු ගැන ලියන්න කලින් මම දන්න ඇත්ත කියලා පටන් ගන්නම් :

මොසිලා ව්‍යාපෘතිය කේන්ද්‍ර කොට ගනිමින් ලොව වටා සිටින දහස් ගනනක් ස්වේච්ඡා ශ්‍රමිකයින්ගේ දායකත්වය සහිත ව සංවර්ධනය කරන, පරිවර්තනය කරන, සංසරනය කරන මෘදුකාංගයක් තමයි Firefox වෙබ් බ්‍රවුසරය. එය අද වන විට වේගවත් ම ආරක්ශාකාරී බ්‍රවුසරයක් වසයෙන් ජනාදරයට පත් ව තිබෙනවා. එහි සිංහල පරිවර්තනයක් පසුගිය මාසේ නිකුත් වුනා. නිකුත් කලේ මොසිලා ආයතනය. එය නිකුත් වුනේ අන් සියලු ෆයර්ෆොක්ස් 3 නිකුතු සමගින්.

මෙහි සිංහල දේශීයකරන කටයුතු පසුගිය මාස ගනනාවක කාලයක් තිස්සේ අපේ හිතවත් ඩනිෂ්ක නවීන්ගේ මෙහෙයවීම සහිතව සිදු වුනා. ඔහු දිවා රෑ නොතකා, සිය සෞඛ්‍යය ගැන වත් නොතකා හුදෙකලා ව මේ පරිවර්තන කටයුත්තෙහි නිරත ව හුන් අන්දම මමත් තව බොහෝ දෙනාත් පුද්ගලික ව ම දන්නවා. ඩනිෂ්ක මීට අමතර ව කලක පටන් ග්නෝම් අතුරු මුහුනත, ඊවොලූශන්, ඕපන් ඔෆිස් වැනි මෘදුකාංග ගනනාවක් ම සිංහල බසට පරිවර්තනය කිරීම සඳහා ඉමහත් පරිශ්‍රම දරමින් සිටින අයෙක්. ඉවොලූශන් මෘදුකාංගයේ සිංහල මුහුනතත් ග්නෝම් අතුරුමුහුනතත් ඒ අතර බෙහෙවින් අංගසම්පූර්න තත්වයේ පවතිනවා.

ඩනිෂ්කගේ පුරෝගාමීත්වය යටතේ කෙරුනු මේ ෆයර්ෆොක්ස් සිංහලකරනයට සිංහල යුනිකේත භාවිත කරන ප්‍රජාවේ ද දායකත්වය ලැබුනා. ඉතා ආදර්ශවත් මට්ටමේ විවෘත මූල ප්‍රජා කටයුත්තක් හැටියට මෙය දක්වන්න පුලුවන්. කාටත් මේ ගැන හැඟීමක්, කැක්කුමක් ඇතිවෙන්න හේතුව මේක අපේ දෙයක්ය කියන අදහස ද ඇති වෙන විදිහට සැබෑවට ම ඩනිෂ්ක ඒ කටයුත්ත සංවිධානය කිරීමයි. එහි ප්‍රතිලාභ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි. සිංහල ලියන කියන ගමන් අන්තර්ජාලයේ සැරිසරන හැම දෙනාට ම යි. අද මෙහි අදාලත්වය එතරම් අර්ථභාරී ලෙස හැමෝටම නොදැනෙන්න පුලුවන්. නමුත් අපි කලිනුත් කතාබහ කර ඇති පරිදි ඉදිරි කාල පරිච්ඡේදය මුද්‍රිත මාධ්‍යය අභිබවා බුද්ධිමය-සංස්කෘතික ක්‍රියාකාරීත්වයේ වැඩබිම හැටියට ජාලගත අවකාශ/ අන්තර්ජාලය පත් වෙනවා. මෙහිදී සිංහල භාශාවේ අදාලත්වය පවත්වාගැනීමෙහිලා එම බසින් කරන කියන වැඩකටයුතු අන්තර්ජාලයට හා ඩිජිටල් මාධ්‍යයට සාර්ථකව මාරු කරගැනීම තීරනාත්මක වැදගත්කමක් උසුලනවා. මෘදුකාංග සිංහල බසට පෙරලීම එහි එක් වැදගත් පියවරක්.

දැන් මාතෘකාවට එමු.

ෆයර්ෆොක්ස් සිංහලයට පෙරලීම ගැන සතුටු වෙන අය බොහොමයි. ඉතින් පසුගියදා ICTA ආයතනය විසින් මේ අලුත් සිද්ධිය ගැන මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒක බලන්න යන්න නම් මට බැරි වුනා. නමුත් ඒකෙන් පස්සේ මාධ්‍යවල මේ ගැන වාර්තා වී තියෙන අන්දම දැක්කාම නම් මාව අන්දුන් කුන්දුන් වෙලා ගියා.

Colombo Page වෙබ් අඩෙවියට අනුව මෙය මොරටුව විශ්ව විද්‍යාලයේත් ICTA ආයතනයේත් වැඩක්. ඒ විතරක් නෙමෙයි සිංහල ෆයර්ෆොක්ස් ලංකාව තුල නිකුත් කිරීම කරලා තියෙන්නෙත් මේ අය!

http://www.colombopage.com/archive_08/July15191506SL.html පිටුවෙන් :
July 15, Colombo: The Information and Communication Technology Agency of Sri Lanka (ICTA) along with the University of Moratuwa officially launched the latest internet browser Mozilla Firefox 3.0 in Sri Lanka today.

නමුත් ඇත්ත මොකක්ද? අන්තර්ජාලය තුල දේවල් රටකින් රටකට සීමා වෙලා නිකුත් වෙන්නෙ නෑ. ඉංගිරිසි සිංහල ෆ්‍රන්ස මේ ඔක්කොම නිකුතු නිල වසයෙන් නිකුත් වුනේ අර සුප්‍රකට බාගැනීමේ දිනයේ. මමත් රෑ නිදිමරාගෙන ඉඳලා උනු උනුවේම සිංහල Firefox ගොනුව බාගත්තා. ඒ දවසේ ලොව පුරා Firefox භාවිත කරන්නන් එකතු වී ලෝක වාර්තාවක් පිහිටුවන්නත් සමත් වුනා. හොඳයි මෙසේ තිබිය දීත් ලංකාවේ නිල නිකුත් කිරීමේ උත්සවයක් ඊට පස්සෙ පවත්වන්න පුලුවන් ය කියලා පිලිගත්තත්, මේක පරිවර්තනය කලේ කවුද, මේ විදිහේ ව්‍යාපෘතිවල ස්වභාවය මොකක්ද වගේ දේවල් ගැන නොතකා මේක කොම්පැනි වැඩක් - කාගේ හරි බූදලයක් විදිහට පෙන්නුම් කෙරෙන විදිහට මේක ඉදිරිපත් කරන්න අයිතියක් නැහැ. මම කියන්නෙ නෛතික අයිතිය ගැන නෙමෙයි, සදාචාරාත්මක අයිතිය ගැන.

ඉතින් මේ කිසිවක් නොතකන ස්වර්නවාහිනිය කියන්නෙ මොකක් ද බලමු -



ඔවුන්ට අනුව පරිවර්තනය විතරක් නෙමෙයි, මේ බ්‍රවුසරය “සංවර්ධනය කර තියෙන්නෙත්” මේ රටේ ආයතනයක් = ICTA එක! ඒ විතරක් නෙමෙයි සිංහලෙන් ජාලය සැරිසැරීමට අවස්ථාව උදා වී තියෙන්නේ “අද සිට” ලු! ඒ කියන්නෙ මේ ICTA එකයි අනිත් ආයතනයි එකතු වෙලා මේක ලංකාවේ දී නිපදවා නිකුත් කලාට පසු! පොකුරු බොරු නේද? අපි නං දැන් මාසෙක පටන් මේ සිංහල නිකුතුව භාවිත කරනවා :D මොකද ඒක නිකුත් කලේ මෙයාලා වත් මේ කියන දිනයේ වත් නොවන නිසා!

හරිහමන් ජනමාධ්‍යයක් තොරතුරු වාර්තා කරන්න ඕන මෙහෙමද? ICTA එකේ අය ජනමාධ්‍ය වෙතට කිසියම් තොරතුරු ප්‍රමානයක් ලබා දුන්නා වෙන්න පුලුවන් මාධ්‍ය සාකච්ඡාවේ දී. ඔවුන් ඒවා කිසියම් අර්ථකථනාත්මක ආකාරයකින්, ඔන්න “අලින්නේ අපේ කැරුම්” කියලා තමුන්ගේ අලි වැඩක් වගේ පෙන්නුවා වෙන්නත් පුලුවන්. මම දන්නෙ නෑ එහෙම කලාද නැද්ද කියන එක.

නමුත් ජනමාධ්‍යයක් කියන්නෙ අනික් අය කියවනකොට ලියන ලියන මහත්තුරු පිරිසකගේ ගුබ්බෑයමක් වත් තැබෑරුම්පොලත් වත් නෙමෙයි නේ. ඔවුන්ට වගකීමක් තියෙනවා මේ ගැන සොයන්න. අඩු ගනනේ මේ පුවත් පල කරන්න පෙර මොසිලා වෙබ් අඩෙවියට වත් පිවිසුනා නම්, අන්තර්ජාලයේ සෙවුමක් දෙකක් කලා නම් ඕන කෙනෙකුට හොයාගන්න පුලුවන් මේකේ ඇති තතු.

මේ ගැන ඇති තතු ඇති සැටියෙන් ලියැවුනු කියැවුනු තවත් තැන් :

Firefox සිංහල කලේ කවුද - සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඇති වූ සාකච්ඡාවක්
“වැඩසටහන් සිංහළයට හැරවීමට ICTA ව්‍යාපෘති දෙකක් තිබෙනවා.

එකක් මොරටු සරසවියේ ලක්ඇප්ස්. ඔවුන් මොසිල්ලා වැඩසටහන් සිංහළයට හැරවීමට
ද පටන් ගෙන තිබුනා. ඒ අතර වෙනම ෆයර්ෆොක්ස් හැරවීමේ තැතක් ද තිබුනා.

අනෙක ඩනිෂ්ක දැනට කරගෙන යන ICTA යටතේම එන පරිවර්තන වැඩසටහන. නමුත් ICTA
යටතේ සිංහළ පරිවර්තන වලට සම්බන්ධ වීමට බොහෝ කලකට පෙර සිට ම ඩනිෂ්ක
බොහොමයක් පරිවර්තන, විශේෂයෙන් RedHat සමාගමේ ඉන්නා කාලයේ නිල වශයෙන් හා
ඉන් පසුව පුද්ගලිකව ද කලා. GNOME සුසැටිය ද, ෆයර්ෆොක්ස් පරිවර්තයන ද ඔහු
පටන් ගත්තේ ICTA ව්‍යාපෘතියට පෙර යි. මා දන්නා තරමින්, ඔහුව ම ICTA
ව්‍යාපෘතියට යොදා ගත්තේ ඔහු ගේ මේ දායකත්ව නිසා ම යි.

ෆයර්ෆොක්ස් 3 නම් සම්පූර්ණයෙන් ම ඩනිෂ්ක ගේ වැඩ වල ප්‍රතිපලයක්.” අනුරාධ රත්නවීර

Firefox සිංහල කලේ කවුද - මලින්ත සමරකෝන්ගේ සටහනක්
සිංහල Firefox 3 මාධ්‍ය හමුව - කාලිංග ඇතුලත්මුදලිගේ සටහනක්
Sinhala Firefox 3 Success Story - චාමර පීරිස්ගේ සටහනක්
Fire Fox 3 Sinhala Press Release සිංහල ගිනි නරියා 3 මාධ්‍ය හමුව - හර්ෂණ වීරසිංහගේ සටහන :
“ඒ වගේම එදින ලබාදුන් පත්‍රිකාවේ දක්නට ඇති කරුණකින් මට හැගී යන්නේ ICTA ආයතනය මේ සැරසෙන්නේ පොදු ජන මුදල් නාස්ති කිරීමට බවය (එම පත්‍රිකා http://picasaweb.google.com/wmharshana/FireFox3SinhalaPressRelease හී ඇත). එනම්
“අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනූව මෙම වෙබ් ගවේශකය තවදුරටත් වැඩි දියුණු කිරීමට හා දෙමල භාෂාවෙන් ද සකස් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මූල්‍ය හා තාක්ෂණික සහය ලබා දීමට කටයුතු තරමින් සිටී ”
මට නම් සිතෙන්නෙ වෙබ් ගවේශකය වැඩි දියුණු කරන්න ඕනෑ තරම් මෘදුකාංග සංවර්ධකයින් මේ ලෝකෙ ඉන්නව කිය එක වගේම මොසිල්ලා පුජාව (Mozilla Community) ගේ අදහස් හොදටම පුමාණවත් බවය.
ඒ වගේම මූල්ය සහය ?????? මම සිතන්නෙ මේ අය මූල්‍ය සහය දෙන්න යන්නෙ මොසිල්ලා ආයතනයට වෙන්න ඇති.”

අන්තර්ජාලයේ දේශීය අනන්‍යතාව - මොසිල්ලා ෆයර්ෆොක්ස් සිංහල වෙබ් ගවේශකය එලි දකී
සිංහලයා පුවත් වෙබ් අඩෙවියේ වාර්තාව

ෆයර්ෆොක්ස් සිංහලෙන් එලිදකී - සයිබර් ලංකා වෙබ් අඩෙවියේ වාර්තාව

මේ මාධ්‍ය හමුවේ දී බෙදනු ලැබූ පත්‍රිකා/මාධ්‍ය නිවේදන
http://picasaweb.google.com/wmharshana/FireFox3SinhalaPressRelease