වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

රාජ්‍ය නාට්‍ය වර්ෂය?

| Comments

මේ ගත වෙන්නේ රාජ්‍ය නාට්‍ය උළෙල(ජාතික නාට්‍ය උළෙල) පිළිබඳ උණුසුම කොළඹ සිසාරා පැතිර යමින් තිබෙන සති කීපයක්. පරම්පරා කීපයට ම අයත් නාට්‍යකරුවන්ගේ කෘති දින කිහිපයක් තිස්සේ කොළඹ නගරයේ රඟදැක්වුණා. ඒ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයයි. මේ අතර ආණ්ඩුව කාටත් හොරෙන් මේ අවුරුද්ද “රාජ්‍ය නාට්‍ය වර්ෂය” ලෙස නම් කොට තිබෙන බව අවුරුද්දේ මැයි මාසය වෙද්දී(!!!) අපට අසන්න ලැබීම ගැන හිනා වෙන්නද නැත්නම් අඬන්නද කියලා මට තවම හිතාගන්න බෑ. මම දන්නා අඳුනන නාට්‍යකරුවන් කීපදෙනෙකුටම දුරකථනයෙන් කතා කරලා ඇහුවා මේ රාජ්‍ය නාට්‍ය වර්ෂ කතාව දන්නවද කියලා. සමහර විශ්ව විද්‍යාලවල නාට්‍ය හා රංග කලාව උගන්වන කීපදෙනෙකුත් මට පහුගිය දවස්වල මුණගැහුණා. බොහෝ දෙනෙක් මේක දැනගෙන තියෙන්නේ මැයි 11 වෙනි සිකුරාදා (එනම් පසුගිය සිකුරාදා) ලංකාදීප පුවත්පතේ පළ වුණු නාට්‍ය අනුමණ්ඩල සභාපති තිලක් ජයරත්නගේ සම්මුඛ සාකච්ඡාවෙන්. සාකච්ඡාව මෙහෙයවන්නේ ගාමිණී කන්දේපොල. මෙන්න “රාජ්‍ය නාට්‍ය වර්ෂය ගැන කියැවෙන කොටස -
ප්‍රශ්නය - සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙම වසර “රාජ්‍ය නාට්‍ය වර්ෂය” ලෙස නම්කොට තිබෙනවා. එහෙත් මේ සම්බන්ධයෙන් කිසියම් සැලසුම් සහගත වැඩපිළිවෙලක් නැති බවයි බොහෝ දෙනා පවසන්නේ. අනුමණ්ඩලයේ සභාපතිවරයා විදිහට මේ කාරණය ඔබට දැනෙන්න කොහොමද?

පිළිතුර - අමාත්‍යාංශයේ මේ කාරණය ගැන කතා කරන්න ඕනෑ තරම් නිලධාරීන් ඉන්නවා. ඉතිං මේ ප්‍රශ්නේ අහන්න ඕනෙ මගෙන් නෙවෙයි ඒ අයගෙන්.
ඇත්තට ම මේ වැඩපිළිවෙල ගැන අභ්‍යන්තර අර්බුදයක් පවතින බව තමයි සභාපතිවරයාගේ ප්‍රතිචාරයෙන් ඇඟවෙන්නේ.

හොඳයි සංස්කෘතික අමාත්‍යාංශයට අයත් කලා මණ්ඩලයේ, නාට්‍ය කලාව පිළිබඳ අනුමණ්ඩලය වන නාට්‍ය අනුමණ්ඩලයේ සභාපතිවරයා කියනවා ප්‍රශ්නය ඇසිය යුත්තේ ඔහුගෙන් නෙවෙයි ලු. අපි මේ කීර්තිමත් කලාකරුවාට, ජයරත්නයන්ට ගරු කිරීමක් වශයෙන් එය පිළිගෙන සෙසු නිලධාරීන් දෙසට හැරෙමු. අවුරුද්දේ මාස පහක් ගතවෙලා, තිලක් ජයරත්නගේ සාකච්ඡාවටත් සතියක් පිරෙන්න ළඟයි. තවමත් “අදාළ” නිලධාරියෙක් මේ රාජ්‍ය නාට්‍ය වර්ෂයේ අරමුණු, එහි දී කරන්න බලාපොරොත්තු වෙන දේ හා මෙතෙක් “රාජ්‍ය නාට්‍ය වර්ෂ” වැඩපිළිවෙල මගින් සාධනය කරගැනුණු අරමුණු මොනවාදැයි මොනම පැහැදිලි කිරීමක් වත් කර නෑ. නාට්‍ය ක්ෂේත්‍රයට එවැනි වර්ෂයක් අවශ්‍ය වූයේ ඇයි? වෙනත් වර්ෂවලදීත් පැවැත්වුණු රාජ්‍ය නාට්‍ය උළෙල (ජාතික නාට්‍ය උළෙල) වෙනදා තරම් වත් ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් නැතිව පැවැත්වීම හැර මේ “රාජ්‍ය නාට්‍ය වර්ෂය” සඳහා විශේෂයෙන් කර තිබෙන්නේ මොනවා ද? කරන්න යන්නේ මොනවා ද?