කෘතියේ පෙරවදන නාට්‍යකරුවක් හැටියට සේ ම ගුරුවරයකු හැටියටත් ඔහුගේ ලෝකදෘෂ්ටිය විදහා පාන කැඩපතක් වැනියි. දිග නොතකා එයින් කොටසක් උපුටාදක්වන්න එන පෙළඹීම මම වළක්වන්නෙ නෑ:
“සමාජ රටාව විසින් මිනිසාට කරනු ලබන යෝජනා සමග ඕනෑම කෙනෙකුට තමන් තෝරා ගන්නා ලබන විෂය ගැඹුරින් හැදෑරීම සඳහා පරිසරය විසින් ඔහුට හෝ ඇයට එක එල්ලේම නොයෙකුත් තරාතිරමේ අත්දැකීම් අවස්ථා සපයනු ලැබේ. අදළ විෂය ඉගෙනීමේ මූලික සාධක සහ අමුද්‍රව්‍ය තිබෙන්නේ ද එතැනය. අපි ඒවා විඳ දරා ගනිමින් නිරතුරුව ඉගෙනීමක් ලබන බව සැබෑය. එසේ පරිසරය හා අඛණ්ඩව ගැටෙන අප තම තමන්ගේ විවිධ වූ අදහස් රැකගැනීමේ උත්සාහයක ද යෙදෙන නිසා, කිසිවෙකු විසින් අන් කිසිවෙකුට යමක් ඉගැන්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ තර්කය විවිධ ආකාරයෙන් විශ්ලේෂණය කළ හැකි නමුත්, ඉගෙනීමට කැමැත්තක් ඇති කෙනෙකුට ඉගෙනීම සඳහා මං පිළිවෙත් කියා දීම සඳහා ඕනෑ තරම් ඉඩකඩ ඇති බවට විවාදයක් නැත. වාසනා ගුණයට මෙතැනදී මහා කාර්යයක් ඉටු කිරීමට ඉඩ ප්‍රස්තාව ඇතැයි මම නොසිතමි.
“යම් කෙනෙකු පෞද්ගලිකව ගොනු කරගන්නා වූ සහ විඳදරාගන්නා වූ අත්දැකීම් පරිමාව එක සමාන නොවන්නේ ඇයි? මේ වෙනස්කම් ඇතිවන්නේ ඔහුගේ හෝ ඇයගේ සමාජ දේශපාලන සහ ආර්ථික හැලහැප්පීම්වල පරිමාව අනුවය. සමාජ රටාව තුළ සැරිසරන පුද්ගලයාට දැනුම ගොනුවී ඇති නමුත් එසේ ගොනුවී ඇත් බව හඳුනාගැනීමේ විවේකය සහ විචාර ශක්තිය ලබාගැනීම එතරම් පහසු දෙයක් නොවේ. එසේ ම ඒ දැනුම දැනුවත් ව භාවිතයට ගනිමින් ප්‍රතිනිර්මාණාත්මක ලෙස සමාජ අවශ්‍යතාව අනුව ඉදිරිපත් කිරීම ද පහසු දෙයක් නොවේ. ඒ නිසා හැම දෙයක් ම දෛවය අනුව සිදු වන දෙයක් ලෙස සලකන උදාසීන ගතිය පෙරමුණට එන බව තේරුම් ගැනීම වැදගත් වේ. අප විසින් පරාජය කළ යුත්තේ ඒ උදාසීන බව ය. ” (ix පිටුව)
ඉතා ප්‍රවේසම් සහගත ව සංවිධානය කෙරුණු පරිච්ඡේද ඔස්සේ කතුවරයා, පාඨකයාව අදියරෙන් අදියර නාට්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ කැටුව යනවා. ඔහු පටන්ගන්නේ රංග කලා අභ්‍යාසවලින්. ඇත්තට ම මෙහිදී සිහිපත් වෙන්නේ අධ්‍යක්ෂවරයෙක් සැබෑ ම පුහුණුවක දී නළුනිළියන්ට උපදෙස් දෙන ආකාරයයි. ඉන් අනතුරුව නාට්‍ය පිටපත හා “සාම්ප්‍රදායික අර්ථයෙන්” නාට්‍යය ගොඩනැගෙන අන්දම පිළිබඳ සවිස්තර සාකච්ඡාවක් කෙරෙනවා. ඒත් ඔහුගේ සාකච්ඡාව සාම්ප්‍රදායික නාට්‍යයට සීමා වෙන්නේ නෑ. ඔහු වෙනත් ශානරවලට, ප්‍රවර්ගවලට අයත් කෘති හා නිෂ්පාදන ද පාඨකයාට පැහැදිලි කරනවා; විවිධ පර්යේෂණ හා අත්හදාබැලීම් ද දිරිමත් කරනවා. ඔහුගේ ප්‍රවිශ්ටය ප්‍රයෝගිකයි, සරලයි, ඒ වගේ ම නිවැරදියි. තවත් සිත්ගන්නාසුළු දෙයක් තමයි කතුවරයාට සෑම අදියරක දී ම පාහේ තම අත්දැකීම් අනුසාරයෙන් අදාළ කරුණු පැහැදිලි කර දිය හැකිපසුබිමක් තිබීම. ඔහු විසින් ම පරිවර්තනය කොට හෝ ලියා අධ්‍යක්ෂණය කෙරුණු උසස් නාට්‍ය විශාල සංඛ්‍යාවක් ඇති නිසා ඔහුට පුළුවන් ඒ ඒ අංශය අතිශය ප්රායෝගික දෘෂ්ටිකෝණයකින් සැබෑ ම නිදසුන් සහිත ව පැහැදිලි කරන්න. රංගනය, රංග අභ්‍යාස, නිෂ්පාදන කාර්යය විතරක් නෙවෙයි, රංග වස්ත්‍ර නිර්මාණය, ආලෝකකරණය, වේදිකා පසුතල නිර්මාණය ආදී සෑම සියලු අංශයක් ම බොහෝ විට මෑත අතීතයේ සැබැවින් ම නිෂ්පාදනය කෙරුණු කෘති මගින් සන්නිදර්ශනය කරමිනුයි ගුණරත්න පාඨකයාට මේ මාහැඟි කලාව උගන්වන්නේ. මේ කාර්යයේ නිරත වීමේ දී කවර කෙනෙක් වුණත් මුහුණ පාන්න ඉඩ තියෙන ගැටලු-අමාරුකම්, සීමා ආදිය ගැන මනා සංවේදීත්වයකින් යුතුව ඔහු කරුණු පැහැදිලි කරනවා. සන්නිදර්ශන ඡායාරූප කිහිපයක විස්තර වැරදියට ඇතුළත් ව තිබුණත් එය සමස්ත කෘතිය කියවා හැදෑරීමට බාධකයක් වෙන්නේ නෑ. මේ පොත කියවීම මට නම් සැබෑ ම මනරම් හා ආස්වාදජනක අත්දැකීමක් වුණා.
මේ කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් විභවි ලලිත කලා ඇකඩමිය කර ඇති අගනා මෙහෙවර ද පැසසිය යුතුයි.
[විජිත ගුණරත්න නිෂ්පාදනය කළ නාට්‍ය අතර සාක්කි(ඩාරියෝ ෆෝගේ The Accidental Death of an Anarchist), සුභ සාධක(ස්වතන්ත්‍ර), පැන්ස තුනේ කතාව(බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ Three Penny Opera), නෝරාගේ ගෙදර (හෙන්රික් ඉබ්සන්ගේ Doll’s House), සත්‍යාංගනාවී (බ්‍රෙෂ්ට්ගේ The Good Woman of Szetchwan) ආදී ප්‍රබල කෘති ගණනාවක් ම තිබෙනවා. ඒ අතර ම මෑත අතීතයේ ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ අපි ගෙවන්නෙ නැහැ නාට්‍යයේ පිටපත ද ඔහුගේ පරිවර්තනයක්.]