වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

Colombo International Theatre Festival 2012 (කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල 2012)

| Comments

පසුගිය දෙසැම්බර් 15 වැනි දා කොලඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයට (Goethe Institute) රැස්වූ නාට්‍යකරුවන්, රසිකරසිකාවන්, ජනමාධ්‍යවේදීන් හා විචාරකයින් පිරිසක් අතිවිශේශ කර්තව්‍යයකට මුල පිරුවා: ඒ තමයි කොලඹ ජාත්‍යන්තර රංග කලා උලෙල. නිල වසයෙන් එදා නිවේදනය කෙරුනත් මේ උලෙල පිලිබඳ අදහස පැන නැඟී එහෙ මෙහෙ විසිවෙන්න වෙලා දැන් වසර කීපයක් වෙනවා. නාට්‍යවේදී එම්. සෆීර් ප්‍රමුඛ ඉන්ටර් ඇක්ට් ආර්ට් සංවිධානය (Inter Act Art) පසුගිය වසර කීපය තිස්සේ රාජගිරිය බ්ලැක් බොක්ස් අවකාශය තුල පැවැත්වූ නාට්‍ය උලෙල හා සාකච්ඡා-සංවාද ආදිය තුල මෙවැනි කර්තව්‍යයක් පිලිබඳ අපේක්ශාව මුල් වරට ප්‍රකාශයට පත් වුනා. අද වන විට මෙය සංවිධානය කරන්න මුල පුරා තියෙන්නෙත් ඔවුන් ම යි. මෙවැන්නක් ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන්නේ පලමු වතාවට.


ජාත්‍යන්තර නාට්‍ය උලෙලක් අපට මොකට ද?

ජාත්‍යන්තර නාට්‍ය උලෙලක් තුල බොහෝ දෑ සාක්ශාත් කරගන්න පුලුවන්. ලොව විවිධ තන්හි නිර්මානය වන විවිධ ශෛලීන්ට අයත්, විවිධ ස්වරූපවල නාට්‍ය සජීවී ව නරඹන්නත් ඒ කලාකරුවන් සමග සංවාදයේ යෙදෙන්නත් ලැබෙන අවස්ථාව එයින් වඩාත් වැදගත් අංශය යි. මෙමගින් විවෘත වන්නේ අමිල අවස්ථා සම්භාරයක්. කුඩා දූපතක බොහෝ විට මුලු ජීවිත කාලය ම ගෙවා දමන නාට්‍යකරුවන්ගේත් රසිකයින්ගේත් විචාරකයින්ගේත් ලෝකවල නිම්වලලු ප්‍රසාරනය කරන්න මෙවැනි මුනගැසීමක් අනිවාර්යයෙන් තුඩු දෙනවා. විවිධ සංස්කෘතීන්ට අයත් නාට්‍යකරුවන් විවිධ වූ පොදු ප්‍රශ්නවලට මෙන් ම එකිනෙකාට සුවිශේශ වූ ගැටලුවලට ද මුහුන දෙමින් සිය ක්ශේත්‍රයේ නිරත ව සිටින අන්දම පිලිබඳ අත්දැකීම් බෙදාහදාගන්න මෙවැනි උලෙලක් තරම් හොඳ තැනක් තවත් කොයින් ද? කලාකරුවන් සම්මාන හා ත්‍යාග වෙනුවෙන් ඉතා පහත් මට්ටමේ පොර පිටියකට ඇද දමන බාල නාට්‍ය තරගවලට වඩා මෙවැනි අවකාශ බෙහෙවින් සෞඛ්‍ය සම්පන්න බවත් සඳහන් කල යුතු ම යි.


“මැති ඇමතිවරු ඇමතිවරු සීරුවෙන්…”

දෙසැම්බර් 15 වැනිදා රැස්වීමට සිය ගනනකට ආරාධනා කොට තිබුනත් සහභාගී වුනේ බොහෝ ම සුලු පිරිසක්. පරාක්‍රම නිරිඇල්ල මහතා රාවය පුවත්පතට ලියා තිබුන විදිහට නම් සහභාගී වුනේ දොලොස් දෙනයි! (මට නම් ඊට ටිකක් වැඩි සෙනගක් හිටි වග පෙනුනා. ඒත් එයින් වැඩි දෙනා ඉන්ටර් ඇක්ට් ආර්ට් සංවිධානයේ සාමාජිකයින්) ඒ දවසේ ම තමයි නෙලුම් පොකුන මහා ගොඩනැගිල්ල(රඟහල?) විවෘත කිරීමේ මහා උත්සවය පැවැත්වුනෙත්. හිතාමතා ම එදාට, කැත්තට පොල්ල වගේ මේ රැස්වීම යොදාගත්තා නෙමෙයි.  ජාත්‍යන්තර රංග කලා උලෙලක් පැවැත්වීමේ අදහස යෝජනාවක ස්වරූපයෙන් මෙරට සංස්කෘතික අමාත්‍යවරයා ඇතුලු වගකිවයුත්තන්ට නිල වසයෙන් දැනුම් දී වසරක් සම්පූර්න වූ දිනය එය නිසා එදින රැස්වීමක් පැවැත්වීම අර්ථාන්විත යි. ඒ ලියුම්කියුම් හා යෝජනාවලට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැති බව අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැ නේ? මේ ගැන දුක්ගැනවිලි කීමට හා මනස්තාප වීමට රැස්වීමෙන් යම් කාලයක් වෙන් වුනා. ජාතික තරුන සේවා සභාව වැනි ඇතැම් රාජ්‍ය ආයතනවලින් එහි පැමින සිටි නිලධාරීන් “අරක කරන්නම් - මේක කරන්නම්, අපේ සභාපතිතුමා දන්නවා නම් අනේ මෙහෙම නොසලකා හරින්නෙ නෑ” කියා පාරම් බෑවත් අද වන විට ඔවුන් ඉන්නා තැනක් හොයාගන්නත් අමාරු බවයි මට නම් ආරංචි වුනේ. ඊට අමතර ව සංස්කෘතික කටයුතු ඇමතිතුමාගේ කාර්යාලයේ දොරකඩ නාට්‍ය උලෙල අධ්‍යක්ශකවරයා දින ගනනාවක් රස්තියාදු කරවීම මගින් එම අමාත්‍යාංශයේ දායකත්වයත් සලකුනු කෙරුනා. ජනාධිපති ලේකම් කාර්යාලයට යැවූ ලිපි ලැබුනු බව වත් දන්වා ප්‍රතිචාරයක් නොලැබුන බව එහි දී සඳහන් වුනා. ඊට අමතර ව මෙවැනි කාරනයක් කාර්ය බහුල ජනපතිතුමන්ට “සැල කිරීමට” තියෙන බාධක වැටකඩොලු ප්‍රමානය ඇසීමෙන් අපේ අත්දැකීම වඩාත් රසවත් වුනා. මට සිහි වුනේ මහනුවර යුගයේ රජවාසල පිලිබඳ කොහේ හෝ කියවා තිබුනු විස්තරයක්. ඒ කාලේ තමුන්ගේ දුක්ගැනවිලි අදාල බලධාරීන් හරහා රජතුමාට දැනුම් දීගන්න බැරි වුන රටවැසියෙක් රජවාසල පෙනෙන මානයේ තිබුනු පොල් ගසකට නැඟ කෑගසා රජුගේ අවධානය ගත් බව ඒ විස්තරයේ තියෙනවා. අරලිය ගහ මන්දිරය අවට පොල් ගස් තිබේ ද යන්නත් නාට්‍ය උලෙල අධ්‍යක්ශවරයාට පොල් ගස් නැගිය හැකි ද යන්නත් මට හොයා බලන්න බැරි වුනා. ඉතින් රාජ්‍ය අංශය සිය වගකීම “නිසි අන්දමින්” ඉටු කර තියෙන බවට අපට සෑහීමකට පත් වෙන්න පුලුවන්*.


වැඩ

කෙසේ වෙතත් අධිශ්ඨානශීලී පිරිසකගේ ශක්තිය මූර්තිමත් වුනු කුඩා රැස්වීමක් ඒක. පැමින සිටි විවිධ පිරිස් සිය ශක්ති පරිමානයෙන් උලෙලේ නානා විධ අංශවලට දායක වෙන්න කැමැත්ත පල කෙරුවා. එහි දී ප්‍රවීන නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මහතා විවිධ පැතිවලින් ප්‍රායෝගික ව නාට්‍ය උලෙලේ කටයුතුවලට උදව් කරන්නත් ගැටලුවලට විසඳුම් ලබාදෙන්නත් මහන්සි වුන අන්දම ගැන විශේශයෙන් සඳහන් කල යුතු යි. ඔහුගේ පරම්පරාවේ සියලු දෙනා මේ කටයුත්ත නොතකා හැර, වර්ජනය කර සිටි සෙයක් පෙනුනු මොහොතක ඔහුගේ පැමිනීම ම සංකේතාත්මක දිරිගැන්වීමක් හා අනුප්‍රානයක් (inspiration) වුනා. මේ කටයුත්තේ වැදගත්කම අවධාරනය කරන්නත්, මීට මුලපිරූවන්ට ප්‍රශංසා කරන්නත්, ඔවුන් ශක්තිමත් කරන්නත් ඔහුට වචන හිග වුනේ නෑ. විවිධ රාජ්‍ය ආයතනවල උදවියට වගේ නෙමෙයි, ඔහුට ක්‍රියාමාර්ගවලින් හිගයක් තිබුනෙත් නෑ. කොටින් ම ලංකාවට පැමිනෙන නාට්‍ය කන්ඩායම්වලට නවාතැන් සැපයීමේ සිට නාට්‍ය උලෙලේ සංකල්පීය හා සංවිධානාත්මක වැඩ දක්වා විවිධ මට්ටම්වල ප්‍රශ්න නිරාකරනය කරන්න නිරිඇල්ල මහතා සක්‍රිය ව මැදිහත් වුන බව මම දන්නවා. තමන්ට පසු පරම්පරාවල තරුන නාට්‍යකරුවන් මුල පිරූ වැඩකට නිර්ලෝභී ව අත දෙන පියෙකු බඳු එම භූමිකාව නාට්‍ය ලෝලී අප සැමගේ ගෞරවයට පාත්‍ර විය යුතු බව මගේ හැඟීම යි.

කලාවට වගකියන බවට ශපථ කොට පිහිටුවා තිබෙන ආයතන මුනිවත රකිමින් බාධා කරද්දී සංචාරක මන්ඩලය, සිරස මාධ්‍ය ජාලය, සෙලාන් බැංකුව වැනි වෙනත් ආයතන මේ කාර්යයට සිය අනුග්‍රාහක හස්තය දිගු කරනු දක්නට ලැබීමත් සතුටක්.

මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම සුලුපටු වැඩක් නෙමෙයි. විවිධ රටවලින් පැමිනෙන නාට්‍ය කන්ඩායම්වලට නවාතැන් පහසුව හා ප්‍රවාහන පහසුකම් සැපයිය යුතු යි. ඒ ඒ නාට්‍ය දර්ශනය, වැඩමුලුව හෝ දේශනය මනා ව සම්බන්ධීකරනය කොට අවශ්‍ය සම්පත් සම්පාදනය කරන්න වෙනවා. ප්‍රචාරනය නිසි කලට ප්‍රමානවත් පරිදි නොලැබුනොත් රඟහල හිස් ව වටිනා අවස්ථාවක් අපතේ යන්න ඉඩ තියෙනවා. ආලෝකකරන පද්ධති ඇතුලු පහසුකම් ද නිසියාකාර ව සම්පාදනය කල යුතු යි. ප්‍රචාරක පත්‍රිකා, ටිකට්පත් මෙන් ම සහභාගීත්වය සඳහා වූ සහතික පත්‍ර, සම්මාන, සමරු තිලින ආදිය සැකසිය යුතු යි. මේ සියල්ල සඳහා මුදල් ද මනා කලමනාකරනයක් ද අත්‍යවශ්‍ය යි. කිසිදු තනි ආයතනයක මහා අනුග්‍රයකින් තොර ව මේ සියල්ල සම්පාදනය කෙරෙමින් පවතින්නේ විවිධ පැතිවලින් ගඩොලින් ගඩොල එකතු කර ගෙයක් ඉදි කරන අන්දමින්.

අද වන විට පියවරෙන් පියවර පෙරට ගිය දුශ්කර ගමනක සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. ජර්මනිය, ඉරානය, ඉන්දුනීසියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාට්‍ය කන්ඩායම් ගනනාවකගේ සහභාගීත්වයෙන් කොලඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙල මාර්තු මස විසි හය වැනිදා කොලඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසැල් රඟහලේ දී ආරම්භ වෙනවා. එතැන් සිට අප්‍රේල් දෙවැනි දින දක්වා දිනපතා නාට්‍ය දර්ශනවලට අමතර ව ලොව නන් දෙසින් පැමිනි නාට්‍යවේදීන් විසින් පවත්වනු ලබන රංග කලා වැඩමුලු, දේශන හා සාකච්ඡාවලින් මේ උලෙල සමන්විත යි.

තව මත් ගොඩනැඟෙමින් පවතින මේ රංග කලා මහෝත්සවය සංස්කෘතික හා මුල්‍යමය යන දෙඅංශයෙන් ම විජයග්‍රහනය කරවීමේ හැකියාව තියෙන්නේ රසික අප සැම අත යි. මේ උලෙලට උපරිම සහභාගී දායකත්වය ලබා දෙමින් සෑම නාට්‍ය දර්ශනයකින් ම, සෑම වැඩමුලුවකින් ම උපරිම ප්‍රයෝජන ලබන පිරිසක් ඉන්නවා නම් ඒක මේ උලෙලේ සාර්ථකත්වය යි. දිනපතා නාට්‍ය ශාලාව පිරී ඉතිරී යමින් මේ අභිනව කලා අවකාශය භුක්ති විඳින්න රසිකයින් ඉදිරිපත් වෙනවා නම්, එය යි සාර්ථකත්වය. එය අපේ නාට්‍ය සංස්කෘතියේ ගුනාත්මක පෙරලියක පදනම වන බවට සැකයක් නැහැ.

එනිසා ඔබත් මේ ආරංචිය පතුරන්න. මේ ගැන ලියන්න. මේ ගැන සාකච්ඡා කරන්න. මේ උලෙල ගොඩනැංවීම සඳහා ඔබටත් කවර අයුරකින් හෝ දායකත්වයක් ලබා දිය හැකි නම් Inter Act Art සංවිධානය අමතන්න, ලියන්න, සාකච්ඡා කරන්න. වැඩි විස්තර මෙන්න:

M.Safeer
Festival Director

Jayalath S. Gomes
Festival Secretary

INTER ACT ART THEATER HOUSE
ACADEMY - BOOKSHOP - LIBRARY - CAFE
133/48 D, Nanayakkara Mw,
Obeysekarapura, Rajagiriya Sri Lanka.
(Cotta Rd, take Gothami Rd pass Temple, turn left after the bridge)

Tel - 94 773 129 749
Email - interactartsl@gmail.com
Web : interactart.wordpress.com

නාට්‍ය උලෙලේ සම්පූර්න වැඩසටහන කියැවීම සඳහා පහත දැක්වෙන රූපය ක්ලික් කරන්න.




උලෙල සම්බන්ධ ප්‍රචාරක වීඩියෝ පට, වෝල්පේපර, ප්‍රචාරක පත්‍රිකා ආදිය සඳහා Colombo International Theatre Festival facebook පිටුවට පිවිසෙන්න.

සියලු නාට්‍ය දර්ශන සඳහා ටිකට්පත් ඉක්මනින් ම ticketslk.com අඩෙවියෙන් මිලදීගන්න හැකි වේවි.


————————————-

*පසු සටහනක්

ඉහත ලිපිය ලියා පල කරන්න හදද්දී අලුත් ආරංචියක් ලැබුනා.

ලිපියේ මැද රාජ්‍ය අංශය ගැන දෝස්මුරයක් තියෙනවා. මා එය ලියුවේ දෙසැම්බර් 15 වැනිදා සිට මේ සතිය දක්වා මා ඇසූ දුටු හා සහභාගි වූ සිදුවීම් පාදක කරගෙන යි. ඒත් මේ තත්වයේ වෙනසක් ඇති ව තිබෙන බව නාට්‍ය උලෙල අධ්‍යක්ශ, නාට්‍යවේදී එම්. සෆීර් මහතා මා සමග පවසා සිටියා.

නෙලුම් පොකුන රඟහල පිලිබඳ පසුගියදා නාට්‍යකරුවන් සමග පැවැත්වුනු විශේශ හමුවක දී මාතෘකාවෙන් පිට පැන මේ ජාත්‍යන්තර නාට්‍ය උලෙල පිලිබඳ විස්තර කෙලින් ම ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාට දන්වන්න ඉඩකඩ උදා වුනු බව ඔහු සඳහන් කලා. (මෙය නම් අර රජවාසල අසල පොල් ගහේ සිද්ධියට බෙහෙවින් සමාන බව යි මගේ අදහස!) මේ පිලිබඳ තතු ඇසූ වහා ජනාධිපති රාජපක්ශ මහතා සංස්කෘතික ඇමතිවරයාටත් අමාත්‍යාංශ ලේකම්වරයාටත් මේ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන මෙන් උපදෙස් දී තිබෙනවා. ඊට අමතර ව ඩලස් අලහප්පෙරුම මහතා ඇතුලු වෙනත් මැති ඇමතිවරුන් ද දැන් මේ පිලිබඳ දැනුවත් ව සිටින බව ඔහු සඳහන් කලා. මේ කතාබහ සිදු වුනේ නෙලුම් පොකුන රඟහල පිලිබඳ සාකච්ඡාව සඳහා පැමින සිටි නාට්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සැදුම් ලත් සභාවක දී වීම වැදගත්. දැන් අදාල අමාත්‍යාංශයේ දායකත්වය මේ සඳහා ලබා දිය හැක්කේ කෙසේ ද කවර ස්වරූපයකින් ද යන්න සාකච්ඡා වෙමින් තියෙනවා. උලෙලට මාසයක් තිබිය දී හෝ රාජ්‍ය අංශයේ අවධානය මේ වෙත යොමු වීම සතුටට කරුනක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

(මෙවැනි වැඩකටයුතුවලට රාජ්‍යයේ මැදිහත් වීම හෝ “සහයෝගය” අනවශ්‍ය බව විශ්වාස කරන මම මේ විස්තර ලිව්වේ මේ සා ඓතිහාසික අර්ථභාරයක් උසුලන රංග කලා උලෙලක් පිලිබඳ තතු විත්ති වාර්තා කොට තැබීමේ වැදගත්කම සලකා මිස වෙනත් හේතුවකට නොවන බව කරුනාවෙන් සලකන්න. කලාව හා සංස්කෘතිය පිලිබඳ ක්ශේත්‍රයට රාජ්‍ය මැදිහත්වීම් බෙහෙවින් හානිකර ද නිශේධාත්මක ද විය හැකි බව මගේ පෞද්ගලික ආකල්පය යි.)

.

මොහාන් ලාල් ග්‍රේරු සහ අධ්‍යාපනය; නිරීක්ශන කීපයක්

| Comments

මොහාන් ලාල් ග්‍රේරු යන නම මුලින් ම මා දුටුවේ එක්තරා පුවත්පත් තීරු ලිපියක කතුවරයා වසයෙන්. ඔහු ලියමින් සිටි තීරු ලිපියේ අධ්‍යාපනය ඇතුලු විවිධ දෑ පිලිබඳ බෙහෙවින් දියාරු සහ යල් පිනූ අදහස් පල ව තිබෙනු මා නිරීක්ශනය කලා. මඳ කලකට පසු මේ ලේඛකයා දැනට තිබෙන සුප්‍රකට ම “ජාත්‍යන්තර” පාසැල් ජාලයක හිමිකරුවා බව දැනගන්න ලැබුනා.

ඉන් පසු ඔහු නැවත මගේ අවධානයට ලක් වුනේ පාලනය කල නොහැකි ස්පෑම්කරුවකු (අනුමති විරහිත බුරුතු ඊමේල් යවන්නෙකු) හැටියට යි. ඔහුගේ නමිනුත් ඔහුට අයත් “ජාත්‍යන්තර” පාසැලේ නමිනුත් බුරුතු පිටින් ස්පෑම් ඊමේල් (කසල තැපැල්/unsolicited bulk email) ලැබීම නිසා ඔහු බොහෝදෙනෙකුගේ අවධානය දිනාගත්තා; ප්‍රසාදජනක අවධානයක් නම් නෙමෙයි. ඔහු මැතිවරනවලට තරග කල සමයේ දී නානා ප්‍රකාර ඊමේල් ලිපිනයන්ගෙන් පමනක් නො ව ඔහුගේ ජාත්‍යන්තර පාසැලේ ලිපිනයෙන් ද අපට ලැබුනේ මැතිවරන ඉල්ලීම්. අනෙකුත් අවස්ථාවන්හි දී එම පාසැලට අදාල නානා විධ කටයුතු සම්බන්ධ ප්‍රචාරක ලිපි අපට එනවා. පහත දැක්වෙන්නේ ඔහුගේ “ජාත්‍යන්තර” පාසැලෙන් අප වෙත අපේ අනුමතියෙන් තොර ව, බලෙන් එවනු ලැබූ අලුත් ම විද්‍යුත් ලිපිය යි. එය ඔහුගේ අලුත් දේශපාලන කරනම පිලිබඳ යමක් විය යුතු බව බැලූ බැල්මට පේනවා.

විශාල කොට බැලීමට රූපය මත ක්ලික් කරන්න

ඉතින් මේ අලුත් ඊමේල් මෙහෙයුම නිසා ග්‍රේරු මහතා ගැන මට අලුතින් සිහිපත් වුනා. එතුමන්ගේ අලුත් දේශපාලන නියුක්තිය ගැන කිසියම් නිරීක්ශනයක් ලියා තබන්න පෙලඹුමක් ඇති වුනේ එයිනුයි. ඔහු ආන්ඩුවට එක් වූ පසු පිරිනමනු ලැබ තිබෙන තනතුර අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ශක මන්ත්‍රී ධුරය යි. මෙය උත්සුකතා පිලිබඳ ගැටුම (conflict of interests) පැහැදිලි ලෙස ම ඉස්මතු වන අවස්ථාවක්. අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාවට නඟන ද්විතියික පාසැල් දහසේ සංවර්ධන ව්‍යාපෘතිය ග්‍රේරු මහතා යටතට පත් කෙරෙනු ඇති බවට ද අදහස් පල ව තිබුනා. ග්‍රේරු මහතා මත් සම්මුඛ සාකච්ඡාවක ඒ බව ඉඟි කර සිටියා. අධ්‍යාපන ක්ශේත්‍රයෙහි ව්‍යාපාරික උත්සුකයක් තිබෙන තවත් පුද්ගලයකුට (තරගකරුවකුට) මේ අනුව අධ්‍යාපනය පිලිබඳ දේශපාලන අධිකාරය හිමිව තිබෙනවා.

සිය “ජාත්‍යන්තර” පැසැල් ව්‍යාපාරය ආරම්භ කරන තුරු ග්‍රේරු මහතා අධ්‍යාපනය පිලිබඳ කිසිදු ශාස්ත්‍රීය පුහුනුවක් ශික්ශනයක් ලබා සිටියේ නැහැ. ඉන් පසු එවැන්නක් ලබාගත් බවක් ද පෙනෙන්නට නැහැ. පිලිගත් විශ්ව විද්‍යාල කිහිපයකින් ඔහු ලබා තිබෙන උපාධි හා සහතිකපත්‍ර අයත් වන්නේ ඉංජිනේරු විද්‍යාව හා ව්‍යාපාර පරිපාලනය යන අංශයන්ට. දහම් පාසැලක ඉගැන්වීම හැරුනු විට ගුරු වෘත්තිය පිලිබඳ ව හෝ අත්දැකීමක් නොමැති ග්‍රේරු මහතා එසේ තිබිය දීත් තමන් ම දියත් කල ප්‍රචාරක යාන්ත්‍රනය තුල අධ්‍යාපනඥයකු වසයෙන් තමන් ම හඳුන්වාගන්නවා. ඒ හැඳින්වීම පුනරුච්චාරනය කරන පිරිස ක්‍රමයෙන් ඉහල ගොස් තිබෙන බව ද නිරීක්ශනය කල හැකි යි. ඒ මහතා පිලිබඳ පසුබිම් විස්තර තහවුරු කරගැනීමට මොහාන් ලාල් ග්‍රේරු පදනම විසින් ප්‍රකාශිත නිල චරිතාපදානය බලන්න. බොහෝ සාම්ප්‍රදායික ජනමාධ්‍ය අධ්‍යාපනය පිලිබඳ ඔහු පල කරන අදහස් අවිවේචනාත්මක ව පුනරුච්චාරනය කරනවා. එසේ ම අධ්‍යාපන ක්ශේත්‍රයෙහි ග්‍රේරු මහතාට ව්‍යාපාරික උත්සුකයක් තිබෙන බව මතු කරන්නේත් නැහැ.

මෙවැන්නක් සිදු වූ පලමු අවස්ථාව මෙය නොවන බව සැබෑව. ප්‍රවාහන අමාත්‍ය ධුරය ප්‍රවාහන ව්‍යාපාරිකයකුටත්, ආන්ඩුවේ විවිධ ඉදිකිරීම් හා “සංවර්ධන” වැඩ පිලිබඳ අධිකාර බලය ඒ ක්ශේත්‍රයන්හි ව්‍යාපාරවල නියුතු පුද්ගලයින්ටත් ලබා දීම සාමාන්‍ය දෙයක්. ඇතැම් විට පලාත් සභා සහ පලාත් පාලන ආයතන තුල මේ තත්වය වඩාත් එලිපිට ම සිදු වෙනු දකින්න පුලුවන්. යම් ක්ශේත්‍රයකට අදාල ව්‍යාපාරිකයකු වීම එම ක්ශේත්‍රයෙහි ම විශේශඥයකු බවට පිලිගැනීමක් ලැබීමට ද අමාත්‍ය/අධීක්ශක ධුර හිමි වීමට ද දැන් සුදුසුකමක්.

පාසැල් සංවර්ධනයේ මුවාවෙන් දැනට වසා දමනු ලැබ තිබෙන කුඩා පාසැල් සංඛ්‍යාව 300ක් බව ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා පසුගිය සතියේ රාවය පුවත්පතට ප්‍රකාශ කර තිබුනා. මෙවැනි සන්දර්භයක් තුල රාජ්‍ය අංශයෙන් පිටත පාසැල් ව්‍යාපාරය (business) තුල ව්‍යාපාරික අරමුනක් සහිත තැනැත්තකුට එම ව්‍යාපෘතිය ම භාර දීම අධ්‍යාපනය සම්බන්ධයෙන් ආන්ඩුවේ ඉදිරිදැක්ම කෙබඳුදැයි පෙන්නුම් කරන්නක්.

පසුගිය දශකය තුල අධ්‍යාපනය සම්බන්ධ බොහෝ කටයුතු පෙරලී ගියේ මේ අතට යි. දැන් ප්‍රශ්න පත්‍ර මුද්‍රනය පමනක් නො ව පෙල පොත් මුද්‍රනය සම්බන්ධයෙනුත් රාජ්‍ය අංශය සතු ව තිබූ අධිකාරය අවසන්. දෝශ බහුල විභාග ප්‍රශ්න පත්‍ර හා පොතපත සාමාන්‍ය තත්වයක් (norm) බවට පත් වුනේ මේ කාල වකවානුව තුල, මේ වෙනසට සමානුරූපී ව යි. අධ්‍යාපනයේ ව්‍යාපාරික මුහුනුවර වන “ජාත්‍යන්තර” පාසැල් නියාමනයක් හෝ අධීක්ශනයක් සිදු වන්නේ ම නැති තරම්. මා පදිංචි ව සිටින ප්‍රදේශයේ තිබෙන සුප්‍රකට ජාත්‍යන්තර පාසැලක ගුරුවරුන් වසයෙන් සේවයේ නිරත ව සිටින අතිබහුතරයක් දෙනා හුදෙක් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව නිසා පමනක් එම රැකියාව ලද අය යි. ඒ අතර විශ්‍රාමික රජයේ නිලධාරීන්, හෙද නිලධාරිනීන්, දන්ත සෞඛ්‍ය නිලධාරිනියන් හා අලුත් උපාධිධරයින් ඉන්නවා. මේ සියලු දෙනා අතර සුදුසුකම් ලත් ගුරුවරු වසයෙන් ඉන්නේ විදුහල්පති ධුරය දරන පුද්ගලයා පමන යි. බොහෝ “ජාත්‍යන්තර” පාසැල්වල මෙන් ම එම තැනැත්තාත් රජයේ පාසැල්වල නිසි වයස් කාලය අවසන් වන තුරු සේවය කොට විශ්‍රාම ගිය කෙනෙක්. තත්වය මෙසේ වුවත් “ජාත්‍යන්තර” පාසැල් අඛන්ඩ ව ව්‍යාපාරික සමෘද්ධිය අත්පත් කරගනිමින් වඩාත් සුරක්ශිත අඩියක සිටින අතර රජයේ පාසැල් බුරුතු පිටින් වැසී යමින් පවතිනවා.

කුකුලු කූඩුවේ මුරකාරකම නරි නයිදේට ලබා දෙන්නාක් බඳු මෙවැනි දේශපාලන තීන්දු අධ්‍යාපනයට හිතකර නොවන බව මගේ හැඟීම යි. අඩු තරමින් මීට පෙර පිලිගෙන තිබුනු ආන්ඩුකරන හා පරිපාලන සිද්ධාන්ත අනුව කරුනු එහෙමයි.

තත්වය මේ මාර්ගය දිගේ ම ඉදිරියට යනු විනා මේ ක්‍රමය තුල වඩා සාධනීය දිශාවකට ගමන් කරනු ඇතැයි මා කල්පනා කරන්නේ නැහැ. ලාභ ලැබීම සෑම ක්ශේත්‍රයක ම පැවැත්ම වලංගු කරවන එක ම නිර්නායකය බවට පත් ව තිබෙන යුගයක් මේක. ලමාරක්ශක අධිකාරියත් “පාඩු ලබන” ආයතනයක් වසයෙන් නම් කරනු ලැබුනේ සති කීපයකට පෙර යි. පෙර දී රාජ්‍යයෙහි වගකීම් හා සුභසාධන උත්සුකයන් හැටියට පැවැති සෞඛ්‍ය සේවයට අත් වෙමින් පවතින ඉරනම ම අධ්‍යාපනයට ඊට වඩා වේගයෙන් අත් වෙමින් තිබෙන බව නිසැක යි. රෝගීන් මිය යෑම හෝ ඖශධ වර්ග සම්බන්ධ අර්බුද මෙන් එක රැයින් ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්න බවට අධ්‍යාපන ක්ශේත්‍රයේ ගැටලු පරිවර්තනය වෙන්නේ නෑ. එනිසා මෙය එතරම් උද්වේගකර මාතෘකාවක් නෙමෙයි. එසේ උද්වේගකර නො වූ පමනින්, ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් බවට පත් නො වූ පමනින් අධ්‍යාපන ක්ශේත්‍රයේ හටගනිමින් තිබෙන හායනය නොවැදගත් බවට පත් වන්නේ ද නැහැ.



* මට ලැබුනු අලුත් ම ස්පෑම් ලිපියේ ග්‍රේරු මහතා සමග කෙරුනු මෙන්න මේ සම්මුඛ සාකච්ඡාවට සබැඳුමක් ඇතුලත් ව තිබුනා. මා ඉහත ලියූ බොහෝ දෑ සන්නිදර්ශනය කරන කෙටි චිත්‍රපටයක් වැනි එම වීඩියෝව නැරඹීම සිත්ගන්නාසුලු අත්දැකීමක් වනු ඇති.

සිවුමංසල කොලුගැටයාගේ රුවන් වැකි

| Comments

සිංහලෙන් පල වන සෑම පුවත්පතක ම පාහේ අන්තර්ජාලය ගැනත්, නව මාධ්‍ය ආදිය ගැනත් යමක් පල වුනොත් එය නම් අදාල මාතෘකාව ගැන මෙලෝ සංසාරයක් නොදැන කුරුටු ගෑ නන්දෙඩවිල්ලක් ය යන නිගමනයට එන්න ගත වෙන්නේ සුලු වේලාවක්. එක විකල්පයක් හැර මා මෙතෙක් අන්තර්ජාලය පිලිබඳ ව කියවා තිබෙන සියලු ම සිංහල පුවත්පත් ලිපි මේ ගනයට අයත් වෙනවා. ඉංගිරිසි පත්තර ඊට වඩා බොහෝ බුද්ධිමත් විදියට මේ ගැන ලියූ බවක් ඒකෙන් මම අදහස් කරන්නේ නෑ. බ්ලොග් ලියන්න පටන්ගත් මුල් කාලයේ නම් මේ අවිද්‍යාව ගැන කෝපයට පත් වී බැන අඬගසන ස්වරයෙන් ලිවීම මගේ පුරුද්දක් ව තිබුනා. ඒත් කල් යද්දී මට තේරුම් ගියේ එසේ බැන අඬගැසීමෙන් කිසිවකුට පලක් අත් නොවන බව යි. පුවත්පත්වලට අන්තර්ජාල ගැන ගම්මැදි හෑලි ලියන උදවිය “නිවැරදි” කරගන්න උදව්වක් ඒකෙන් ලැබෙන්නේ නෑ. සිදු වන එක ම දේ මගේ කෝපය ඉහවහා යාම විතරයි.

අන්තර්ජාලය, සාම්ප්‍රදායික ජනමාධ්‍ය වර්තමානයෙහි මුහුන දෙන ගැටලු හා නවමාධ්‍ය ආදිය ගැන මා මෙතෙක් සිංහල පුවත්පතක කියවූ අර්ථාන්විත ම ලිපි කිහිපය පසුගිය සති තුනක පමන කාලයක් තිස්සේ රාවය පත්‍රයේ පල වුනා. සාම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍ය ලෝකය තුල ප්‍රවීන ලේඛකයකු මෙන් ම බ්ලොග්කරුවකු ද වන නාලක ගුණවර්ධන මහතා ලියන සිව්මංසල කොලුගැටයා නමැති තීරු ලිපිය මෙකී විශය පිලිබඳ ලියැවුනු සිය ගනන් පල් හෑලි අතර මට හමු ව තිබෙන එක ම ව්‍යතිරේකය යි; වැදගැම්මකට ඇති එක ම ලියැවිල්ල යි. ඔහු අන්තර්ජාල වාරනය පිලිබඳ ව පසුගිය සති කීපයක් තුල හටගත් සංවාදයට කල මැදිහත් වීම ඉතා විචිත්‍ර යි, විදග්ධ යි, තියුනු යි. අවාසනාවකට රාවය අන්තර්ජාල සංස්කරනයට මේ වැදගත් ලිපිවලින් එකක්වත් ඇතුලත් ව නැති බව පේනවා. රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා ද ඇතුලු ව අන්තර්ජාල වාරනය හා නියාමනය ඉල්ලා හඬනැඟූ බොහෝ දෙනෙකුට ලියූ ප්‍රතිචාරයක් බඳු එම ලිපි පෙලේ අලුත් ම ලිපිය ආරම්භ වෙන්නේ මෙහෙම යි:

“නෙත් අඳ වූ පස්දෙනෙකු ජීවිතයේ මුල් වතාවට සද්දන්ත ඇතකු මුණගැසීමේ කථාව අප අසා තිබෙනවා. ඇතාගේ ස්වරූපය නෙතින් නොදැක, ඇසෙන හඬින් හා ස්පර්ශයෙන් පමණක් මේ සත්වයා ගැන මනෝ චිත්‍රයක් මවාගන්නට ඔවුන් තැත් කරනවා. එහෙත් තමන්ට ගෝචර වූ නිරීක්ෂණ මත පමණක් පදනම් වී මේ පස්දෙනා එළැඹෙන නිගමන එකිනෙකට බොහෝ සෙයින් වෙනස්.

“ඉන්ටර්නෙට් මාධ්‍යය ගැන අපේ ඇතැම්දෙනා දක්වන අදහස් දෙස බලන විට මට මේ කථාව සිහි වෙනවා.”

පත්තර, සඟරා, රේඩියෝ, රූපවාහිනී ලෝකවලට අයත් මූලධර්ම පමනක් උපයෝගී කරගනිමින් ඉන්ටර්නෙට් මාධ්‍යය කිරා මැන බැලීමටත්, නියාමනය හා පාලනයටත් පිවිසෙන උදවියට මගහැරෙන විශේශ ගතිකයන් හා මානයන් මොනවා ද? ගුණවර්ධන මහතා මෙහෙම කියනවා.

“ඉන්ටර්නෙට් මාධ්‍යය සෙසු මාධ්‍යයන්ගෙන් වෙනස් බවට උපමිතියක් (analogy) ගැන මා කල්පනා කළා. සරලව කිවහොත් මුද්‍රිත මාධ්‍ය ගොඩබිමටත්, රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය සාගරයටත් සම කළ හැකියි. ගොඩබිම කළ හැකි හැම දෙයක් ම සාගරය මතුපිට හෝ පතුලේ කළ නොහැකි වූවත් ඒ හැමතැනට ම ගුරුත්වය බලපානවා. මේ උපමිතිය තුළ ඉන්ටර්නෙට් සමවන්නේ අභ්‍යවකාශයටයි. 1961 දී මිනිසකු මුල්වරට අභ්‍යවකාශයට ගියදා පටන් අද වනතුරු අභ්‍යවකාශයට යෑමේ අත්දැකීම ලබා ඇත්තේ 600කට අඩු සංඛ්‍යාවක්. ගුරුත්වය අඩු හෝ නැති, වායුගෝලයකින් තොර අභ්‍යවකාශයේ හැසිරීමට හා ජීවත්වීමට විශේෂිත පුහුණුවක් අවශ්‍ය වෙනවා. උපන්දා සිට ගුරුත්වය සහිත මහපොළොව මත විසීමෙන් ලද සහජ බුද්ධිය මඳෙකට පසෙකලා, වෙනස් විදියට සිතීමට සිදුවෙනවා. සයිබර් අවකාශයට පිවිසි අප සැමටත් මෙසේ අපට සහජයෙන් හෝ වෘත්තියෙන් ලද තත්වාරෝපණය (conditioning) වෙනුවට අලුත් පරිසරයක නව යථාර්ථයකට හැඩ ගැසීමට සිදුවෙනවා.

“අජටාකාශගාමීන් දිගුකාලීන පුහුණුවක් ලබනවා. එහෙත් පැය දෙක තුනකවත් පුහුණුවකින් තොරව සයිබර් අවකාශයට පිවිසිය හැකියි. එසේ පිවිසෙන අපේ ඇතැම්දෙනා භෞතික ලෝකයේ පුරුදු එතැනටත් ආරෝපණය කරන විට යම් නොගැළපීම් ඇතිවෙනවා.”

වික්ටර් අයිවන් මහතා මෙන් ම තවත් බොහෝ දෙනාත් පුනපුනා ප්‍රකාශ කරපු කාරනයක් වුනේ අනෙකුත් සාම්ප්‍රදායික ජනමාධ්‍ය සම්බන්ධයෙන් නම්, යම් පුද්ගලයෙක් මාධ්‍ය භාවිතාව නිසා අගතියට පත් වුනොත් ඒ සඳහා ගත හැකි විධිමත් පියවර තියෙන බව යි. එම කතාවේ ම අනිත් පැත්ත හැටියට ඒ උදවිය කියන්නේ අන්තර්ජාලය එහෙම නීතියක් රීතියක්, වගකීමක්, වග වීමක් නැති කැලෑවක් වගේ කියල යි. මේ අදහස් දැක්වීමට අනුව පුවත්පත්, සඟරා, ගුවන්විදුලි හා රූපවාහිනී ආදී සාම්ප්‍රදායික මාධ්‍ය එක් පසෙකටත් අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන නවමාධ්‍ය අනෙත් පසකටත් අයත් වන භූදර්ශනයක් නිර්මානය වෙනවා. පලමුවැන්න ලෝකසම්මතයට අනුකූල, සදාචාරවත් පර්යායගත අංශය. දෙවැන්න කැලෑ නීතිය රජයන අන්ධකාර ලෝකය. පලමුවැන්නේ සාධාරනත්වය කොතෙක් ද කියතොත් එයින් අගතියකට පත් වූ කෙනෙකුට සාධාරනය ඉටු කරගැනීමේ යාන්ත්‍රනයක් තියෙනවා. එය පවත්නා නීති පද්ධතියට යටත්. දෙවැන්න තව ම එහෙම තැනක් නෙමේ. එය දමනය කොට රාජ්‍යයේ අනසකට නතු කල යුතු යි.

ඒත් මේ කතාවේ සිදුරු බොහෝ තිබෙනවා. කියන තරම් චිත්‍රය සරලත් නෑ, සුන්දරත් නෑ. නැවතත් ගුණවර්ධන මහතාට සවන් දෙමු:

“ජනගහනයෙන් සියයට 10-15ක් බද්ධ වන ඉන්ටර්නෙට් මාධ්‍යයට වඩා විශාල ග්‍රාහක පිරිසක් රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකාවලට සිටිනවා. නමුත් එකී නාලිකාවකින් අපහාසයට හෝ අගතියට හෝ පත් කිසිවකුට පිළිතුරු දීමේ අයිතිය සහතික කැරී නැහැ. රටේ නීතිය හරහා අපහාස නඩුවක් ගොනු කිරීම හැරුණු කොට දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කොට යම් සමථයක් (mediation) කළ හැකි විද්‍යුත් මාධ්‍ය එකමුතුවක් ද මෙරට නැහැ. මේ මහා හිදැස් පුරවා නොගෙන එක්වර ම වෙබ් ප්‍රවෘත්ති නියාමනයට යොමු වීමට SLPI ආයතනයට හෝ මෙරට ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතනවලට හැකියාවක්, පළපුරුද්දක් හෝ ශිල්ප ඥානයක් නැති බව පිළිගත යුතු යි.



“ඉන්ටර්නෙට් ප්‍රවෘත්ති නියාමනය ගැන නිරවුල් හා මැදහත් සංවාදයක් අවශ්‍යයි. ගොඩබිම සිට පිහිනීම ගැන හා කිමිඳීම ගැන කතා කිරීම ප්‍රායෝගික නොවන්නා සේ ම මිහිමත සිට අභ්‍යවකාශයේ හැසිරීම නියාමනයට තැත් කිරීමත් සීරුවෙන් කළ යුත්තක්!”

මේ අගනා ලිපිය සම්පූර්නයෙන් කියවන්න 2011 නොවැම්බර් 27 වැනිදා රාවය පුවත්පතේ 5 වැනි පිටුව බලන්න.

ගුණවර්ධන මහතා අන්තර්ජාලය හා ජනමාධ්‍ය සම්බන්ධයෙන් ලියූ පැරනි තීරු ලිපි ඔහුගේ බ්ලොග් අඩෙවියේ දැන් පල කර තිබෙනවා.

Update (03 December 2011) මෙහි උපුටා දැක්වෙන තීරු ලිපිය ද දැන් පල ව ඇති බව ගුණවර්ධන මහතා දැනුම් දුන්නා (ප්‍රතිචාර තීරය බලන්න) ඒ ලිපිය කියැවීම සඳහා මෙතන ක්ලික් කරන්න.

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරය ගැන

| Comments

“මේ වගේ වෙලාවක ලැජ්ජා නැතුව මිලියන ගානක් දෙනා අබියස ක්‍රීඩා පිටියට පිවිසෙන්නත් මොන තරං ධෛර්යයක් තියෙන්න ඕනැද?” ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර මම එහෙම ලිව්වේ අපේ මාතර මන්ත්‍රී සනත් ජයසූරිය මැතිඳුන්ගේ ක්‍රීඩා කෞශල්‍යය අගය කරමින්. එවර එතුමා කන්ඩායමේ තැනක් ලබාගත් අන්දමත් එම ලිපියේ සඳහන් තරගයට ක්‍රීඩා කල අන්දමත් ක්‍රිකට් ලෝලීන්ට රහසක් නෙමෙයි. ඒත් අද ලිපිය එතුමන්ගේ ක්‍රීඩාව ගැන නෙමෙයි, ක්‍රීඩා විස්තර විචාරය ගැන යි; විශේශයෙන් ම අදින් අවසන් වන පාකිස්තාන-ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ඇහුනු විස්තර කථනය ගැන යි.

———

ඉහත ඡේදයට පසු අද මා ලියූ බ්ලොග් ලිපිය මෙහි පල නොකරන්න තීරනය කලේ එය නැවත කියවා බලන විට මට ම හටගත් අප්‍රසන්නතාව නිසයි. තවත් කෙනෙකුගේ භාශා හැකියාව හෝ ව්‍යවහාරයේ වැරදි අඩුපාඩු හාස්‍යයට ලක් කිරීම - විශේශයෙන් ඉංගිරිසි වැනි භාශාවකට තියෙන සමාජ දේශපාලන බලයත් එක්ක - ඒ තරම් මානුශික කටයුත්තක් නෙමේ කියලයි මට හිතෙන්නේ. මගේ ලිපිය ලියැවුනේ ඉතා ම කඨෝර උපහාසාත්මක ස්වරයකින්. ඒ ස්වරයත් අපහාසයත් අතර වෙනස බොහෝ ම තුනී නිසා කියවන්නන් අතර පලදායී සාකච්ඡාවක්, විතර්කයක් ගොඩනඟන්න බැරි බව මට හැඟුනා. අන්තිම නිශේධාත්මක යි. ඒ නිසා ලිපිය පල කරන්නේ නැහැ. පහත දැක්වෙන්නේ අලුතින් හිතා ලියූ වෙනත් ඡේද කීපයක්:

සනත් ජයසූරිය මහතා සැබෑවට ම දීර්ඝ කාලීන ව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු හැටියට කටයුතු කරන්න අදහස් කරනවා නම් මට හිතෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට ඔහුට තිබුනු පුහුනුව හා දැනුම ගැන හිතමින් ඒක කරන්න පුලුවන් බවයි. මොන තරම් “අසාමාන්‍ය” හා “අසාම්ප්‍රදායික” සේ සැලකුනු පිතිකරන රටාවක් තිබුනත් ජයසූරිය මහතාත් ලොව අනෙක් සියලු සාර්ථක පිතිකරුවන් සේ ම මූලික ක්‍රිකට් ව්‍යාකරනයක් අනුගමනය කලා. පිත්ත අල්ලාගැනීම, මූලික වසයෙන් පැත්තකට හැරී නියැලෙන ක්‍රීඩාවක් හැටියට පිතිහරඹයට අයත් තාක්ශනය, පා මෙහෙයුම, කල් මැනීම ආදිය ඒ වියරනයට අයිතියි. ක්‍රිකට් ක්‍රීඩා කරන, නරඹන සංස්කෘතියක වැඩෙන දරුවකුට අන්‍යයන් ක්‍රීඩා කරනු නැරඹීමෙන් හා පසු ව ක්‍රීඩාවේ යෙදෙන අතර පුහුනුකරුවන්ගේ මාර්ගයෙන් මේ දැනුම ලැබෙනවා. ජාතික කන්ඩායමක සාමාජිකත්වය ලැබෙන්නේ මේ මාර්ගයෙහි නිවැරදි ව යන කෙනෙකුට විතරයි. කිසියම් අවස්ථාවක පිතිකරනයේ අඩාල වීමක්, අසාර්ථක කාලපරිච්ඡේදයක් උදා වුව හොත් අනිත් හැමෝම වගේ ජයසූරිය මහතාත් කරන්න ඇත්තේ බොහෝ ම පරීක්ශාවෙන් තමුන්ගේ තාක්ශනික අඩුපාඩු හදාගැනීමත් නිතර වරදින තැන් ගැන වඩාත් කල්පනාකාරී වීමත් තමයි. මෙවැනි ඇතැම් අංශ පිරිපහසු කොට නිවැරදි කරගන්න පුහුනුකරුවන්ගේ උපදෙස්, නිරීක්ශන හා මගපෙන්වීම ද ලබාගැනීම වැදගත්. ක්‍රීඩාවේ දී ජයසූරිය මහතාගේ දීර්ඝ කාලීන සාර්ථකත්වයට හේතු වුනේ මේ විද්‍යාත්මක ප්‍රවිශ්ටය ඔහුගේ අසමසම ප්‍රතිභාව සමග එක් වූ නිසා බව නිගමනය කිරීම අසාධාරන නැහැ.

පිත්ත නිවැරදි ව අල්ලාගැනීම හා පැත්තට හැරී ක්‍රීඩා කිරීම පිලිබඳ තාක්ශනය පිතිකරනයේ පදනම වන සේ ම ක්‍රිකට් විස්තර විචාරයේ පදනම භාශාව බව කීම වරදක් නෙමෙයි. ක්‍රිකට් පිටියේ සිදු වන දෑ පිලිබඳ විස්තරයක් සහ විචාරාත්මක මැදිහත් වීමක් කරන්න විචාරකයාට වාහනය වෙන්නේ භාශාව. පිටියේ සිදු වන යමක් වචනයට නඟා අසන්නාට ද වැටහෙන වියරනයකින් සන්නිවේදනය කල නොහැකි විස්තර විචාරකයා සමාන කල හැක්කේ පිත්තේ මහත පැත්තෙන් අල්ලාගෙන මිට බිම අනිමින් යෝකර් පන්දුවකින් ආරක්ශා වෙන්න හදන පිතිකරුවෙකුටයි. නමුත් පිතිකරන තාක්ශනය සේ ම භාශාවක වියරනය හා ශෛලිය ද උගත හැකි යි. පලමු ව පිත්ත අල්ලාගත යුත්තේ කුමන පැත්තෙන් ද යන්නත් පිත්ත රැගෙන පන්දුව එන විට රැඳී සිටිය යුතු ඉරියවුව කුමක් ද යන්නත් උගත් විට එතරම් හාස්‍යජනක තත්වයකට පත් නො වී පන්දුවකට පහරක් එල්ල කරන්න හැකියාව ලැබෙනවා. ඉන් පසු විවිධ පන්දුවලට ඒවායේ එකෙලිය හා දිගුම අනුව (line and length) විවිධ වූ පහරවල් එල්ල කල හැකි බව ඉගෙන ගන්න පුලුවන්.

උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය පිලිබඳ මූලික රීති උගත්/හඳුනාගත් පුද්ගලයකුට භාශාවකින් වැඩ ගන්නත් එවැනි ඊලඟ පියවරක් තියෙනවා. වාක් කෝශය, එහෙමත් නැත්නම් තමුන් දන්නා, භාවිතයට ගන්නා වචන ප්‍රමානය ඉහල දමාගැනීම. මේකෙන් ඒ ඒ අවස්ථාවට ගැලපෙන අන්දමට විවිධ ස්වරූපයේ කියුම් නිපදවාගැනීමේ හැකියාව ලැබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයා ඒ වැඩේ කරන්නේ අනිත් අය ක්‍රීඩා කරනු නැරඹීමෙන් හා ගුරුවරයකුගේ/පුහුනුකරුවකුගේ මගපෙන්වීම ලැබීමෙන්. බස උගන්නා තැනැත්තාටත් ඒක ම කරන්න පුලුවන්. ක්‍රිකට් විස්තර විචාරය සම්බන්ධයෙන් නම් වෙනත් විචාරකයින් කතා කරන අන්දම ශ්‍රවනය කිරීම වැදගත් බව මගේ අනුමානය යි. එමගින් ක්‍රිකට් විචාරයට අයිති පද මාලාව සහ බහුල ව භාවිත වෙන යෙදුම් ආදිය දැනගන්න ලැබෙනවා. වැඩිවැඩියෙන් බස භාවිතය හා කතාවට සවන් දීම මගින් අවස්ථාවට උචිත පරිදි පහසුවෙන් වාක්‍ය ගොඩනඟාගන්න හැකියාවක් ලැබෙනවා.

සනත් ජයසූරිය මහතා දැනට ජාත්‍යන්තර විචාරක කුටියේ සිට කරන විචාර සසඳන්න පුලුවන් වෙන්නෙ පිත්ත අල්ලන පැත්ත හරි හැටි නොදන්නා පුද්ගලයෙක් ජාතික ක්‍රිකට් කන්ඩායමේ ආරම්භක පිතිකරු බවට පත් වූ විට සිදු විය හැකි දෙයට යි. මේ ගැන ඇති තරම් නිදසුන් sanath jayasuriya commentary වැනි ගූගල් සෙවුමකින් දැන් සොයාගත හැකි යි. පිත්ත අල්ලන්නත් විවිධ පහරවල් ගහන්නත් පුහුනුව ලැබීමේ හොඳ ම ක්‍රමය ක්‍රීඩාවේ යෙදීම බව ඇත්ත වුනත් ජාතික ටෙස්ට් කන්ඩායමේ ආරම්භක පිතිකරුවකු බවට පත් වූ පසු එය ඉගෙන ගැනීම හොඳම ක්‍රමය නොවන බවට විවාදයක් නෑ. එවැන්නකට ඉඩක් ලැබේ ය කියා හිතන්නත් අමාරුයි. ඒවා ඊට පහල වෙනත් තැන්වලින් පුහුනු වී පැමිනිය යුතු යි.

භාශාවේ පැටලිලි සහගත තැන් ඉගෙනගන්න ගුරුවරයකුගේ සහාය ගැනීමේ වරදක් නැහැ. ජයසූරිය මහතා වැනි බලවත් පුද්ගලයකුට ලොව සිටින හොඳම ගුරුවරයකු සොයාගැනීමට අවශ්‍ය සබඳතාත් මුදලුත් තියෙනවා. ඒ වගේ ම ඉවසිලිවන්ත ව අනිත් අය කතා කරනු, විස්තර විචාරයේ යෙදෙනු ශ්‍රවනය කිරීමෙන් අන් සියල්ලට ම වඩා හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන විට වගේ ම මෙහි දීත් පලමු ව කුඩා තැනකින් පටන්ගැනීම නරකක් නෙමෙයි. මුලින් තරමක් කෙටි වේලාවක් කතා කල හැකි T20 තරග හෝ එක්දින තරග එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ දේශීය විස්තර විචාරවලට සම්බන්ධ වී අත්දැකීම් ලබාගැනීම වඩාත් නුවනට හුරුයි නේද? අනිත් අතට ඉතින් සනත් ජයසූරිය වැනි ප්‍රවීනයෙකුට ක්‍රීඩාව සමග සම්බන්ධ ව ඉන්නත්, මුදල් උපයන්නත් ජාත්‍යන්තර විස්තර විචාරකයෙක් ම වෙන්න අවශ්‍ය නැහැ කියලත් මට හිතෙනවා.

ටෙස්ට් ක්‍රිකට් තරග නරඹන ජනකාය යනු ලොව වටා සිටින ඉතා ම ප්‍රවීන ක්‍රීඩා ලෝලීන්, විශේශඥයින් හා ක්‍රීඩකයින්ගෙන් සමන්විත විශේශ ප්‍රේක්ශක කොට්ඨාසයක් බව මගේ හැඟීම යි. ටෙස්ට් ක්‍රිකට් තරගයක් නැරඹීම යනු ආහ්ලාදජනක, විවික්ත-විවේකී හා කාව්‍යමය පවා වූ අත්දැකීමක් බව කීවොත් ඉන් අදහස් වෙන්නේ මොකක්ද කියලා ටෙස්ට් ක්‍රිකට් ලෝලීන් දන්නවා. පසුබිමින් ඇහෙන විස්තර කථනය ඒ අත්දැකීම පෝශනය ද විචිත්‍ර ද කිරීමට දායක විය යුතු යි. ක්‍රිකට් විස්තර විචාරය එම ප්‍රේක්ශක සමූහයාගේ වින්දන ශක්තියට කරන අපහාසයක් නොවිය යුතු බව ද මට හිතෙනවා.

මීලඟ පියවර: සතිපතා පර්යේශනාත්මක අභිවාහ්‍ය කලා/ප්‍රසංග කලා අවකාශයක්

| Comments

පසුගිය බදාදා අභිවාහ්‍ය/ප්‍රසංග කලා සමාරම්භක වැඩසටහන ඉතා සාර්ථක ව පැවැත්වුනා. විවිධ ක්ශේත්‍රවල නියුතු ඒ සා විචිත්‍ර පුද්ගල සමූහයක් සමග වැඩ අරඹන්න ලැබීම භාග්‍යයක්. සියලු දෙනාගේ අභිමතය අනුව තීරනය කරගත් පරිදි දැන් මෙය සතිපතා සැසියක් ලෙස පැවැත්වෙනවා. ඒ අනුව සෑම බදාදාවක ම සවස 4ට පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය ලලිතකලා අධ්‍යයනාංශයේ දී පැවැත්වෙන මීට ඔබ සැමටත් සහභාගී විය හැකි යි: අලුතින් ම පැමිනෙන අයටත් තව ම මෙය විවෘත යි!



වැඩි විස්තර සඳහා මීට පෙර සටහන බලන්න.

එදා
සමාරම්භක වැඩසටහන මූලික වසයෙන් අංශ තුනකින් සමන්විත වුනා. මුලින් ම මෙවැනි හමුවක්, සාකච්ඡා අවකාශයක් සහ වැඩමුලුවක් ආරම්භ කිරීමේ අරමුනු සහ එහි පසුබිම පැහැදිලි කරමින් කෙටි සාකච්ඡාවක් පැවැත්වුනු අතර ඉන් පසු තෝරාගත් නූතන හා සමකාලීන නර්තන නිර්මාන කිහිපයක වීඩියෝ දර්ශන නැරඹීමත් සාකච්ඡා කිරීමත් සිදුවුනා. එහි දී ප්‍රසංග කලා ප්‍රේක්ශකයා මුහුන දෙන ගැටලු, සම්ප්‍රදාය හා නවීනත්වය/නවීකාරකත්වය, මෙවැනි පර්යේශනාත්මක ව්‍යායාම කුමන මගක් ගත යුතු ද, එවැනි නිර්මානයක ප්‍රේක්ශකාගාරය කෙබන්දක් ද, යනාදී අංශවලට අදාල වැදගත් ප්‍රශ්න සාකච්ඡාවට භාජනය වුනා. අවසාන වසයෙන් කන්ඩායම කෙටි ප්‍රායෝගික අභ්‍යාස කිහිපයක නියැලුනා. සහභාගී වූ පිරිස අතර නලුනිලියන්, සංගීත නිර්මාපකයින්, නාට්‍යකරුවන්, නර්තන ශිල්පීන්, දෘශ්‍ය කලාකරුවන්, පාසැල් ගුරුවරුන්, විශ්ව විද්‍යාල හා පාසැල් සිසු සිසුවියන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු ද සිටියා. ඒ විතරක් නෙමෙයි ප්‍රසංග කලා නිර්මානවල ප්‍රායෝගික අංශයට සම්පූර්න ආගන්තුකයින් වන අලුත් ම පිරිසකුත් මේ අතර වුනා. එය ඉතා සිත්ගන්නාසුලු, විචිත්‍ර නියෝජනයක්. රසවත් අත්දැකීමක්.

තවත් විස්තර කියවන්න. ඔබේ මිතුරුමිතුරියන්ටත් කියන්න. මේ ප්‍රයත්නයට ඔබත් එක් වෙන්න.

**Graphic based on Espectáculo “Cruel” da Cia de Dança Deborah Colker by rosano mauro (CC BY 2.0)