වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බරෝඩා, කැලණිය හා ලොව වටා මූලධර්මවාදය

| Comments

ඉන්දියාවේ බරෝඩාවේ හටගත් සිදුවීම් මට එක වර ම සිහිපත් කරදුන්නේ මාස කීපයකට කලින් කැලණිය විශ්ව විද්‍යාලයේ දී අත්දුටු සිද්ධියක්. පසුගිය මැයි 9 වැනි දා කීර්තිමත් එම්. එස් විශ්ව විද්‍යාලයීය ලලිත කලා පීඨයට කඩා වැදුණු භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙක් වන නිරාජ් ජායින් ඇතුළු පිරිසක් චන්ද්රමෝහන් නමැති ශිෂ්‍යයාට අඩන්තේට්ටම් කළේ එහි ප්‍රදර්ශනය වෙමින් පැවති ඔහුගේ කලා කෘතියකින් සිය ආගමික හැඟීම් රිදවන බව කියමින්. පසුව පොලිසියේ ද සහයෝගය ගොනු කරගත් මේ පිරිස අදාළ තරුණ කලාකරුවා රිමාන්ඩ් භාරයට ද පසුව උසාවියට ද දැක්කීමට කටයුතු කළා. නමුත් ඉන්දියාව පුරා ම කලාකරුවන්, රසිකරසිකාවන් සහ මානව හිමිකම් ක්‍රියාධරයින් මේ අකටයුත්ත හෙළාදකින්නත් අදාළ කලාකරුවන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නගන්නත් පසුබට වුණේ නැහැ. ඔවුන් ඒ වෙනුවෙන් විරෝධතා ප්‍රදර්ශනයක් පවා සංවිධානය කළා.


14 කණ්ඩායම

කැලණියේ දීත් තරමක් ඊට වඩා “සැර බාල” නමුත් රූපාකාරයෙන් සමාන සිදුවීමක් මීට මාස කීපයකට පෙර හටගත්තා. 14 කණ්ඩායම හැටියට තමන් හඳුන්වාගත් කැලණි විශ්ව විද්‍යාලයීය දෘශ්‍ය කලා, සැලසුම් හා ප්‍රසංග කලා ඒකකයේ අවසන් වසර ශිෂ්‍ය කණ්ඩායමකගේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනයකට බෞද්ධ මූලධර්මවාදීන්ගෙන් තර්ජනයක් එල්ල වුණා. මේ ප්‍රදර්ශනය වනාහි එම සිසු සිසුවියන්ගේ අධ්‍යයන වර්ෂයට සම්බන්ධ ක්‍රියාකාරකමක්. සරල ව කියතොත් විභාග වැඩක්. ඒත් ඔවුන් එම ප්‍රදර්ශනය ඉතා ඉහළ අභිරක්ෂකත්වයක්(curatorship) හා සංවිධාන ශක්තියක් පළ කරමින් වෘත්තීය මට්ටමින් ඉදිරිපත් කර තිබුණා. අනර්ඝ වැඩක්. ප්‍රදර්ශන ශාලාවට පැමිණි මූලධර්මවාදී භික්ෂූන් ප්‍රමුඛ කණ්ඩායම එහි ප්රදර්ශනය කොට තිබූ ස්ථාපන කලා කෘතියක්(installation) ප්රදර්ශනයෙන් ඉවත් කරගන්නා මෙන් තර්ජනය කළ අතර බියපත් ව සැලුම් වෙවුලුම් කෑ විශ්ව විද්යාල පරිපාලනය මේ තර්ජකයන්ගේ අදහසට ඉඩ දී කලා කෘතිය ඉවත් කරගන්නා ලෙස අදාළ ශිෂ්‍යයාට අණ කළා. ගැටලුව පැන නැග තිබුණේ භික්ෂූන් පිරිසක් අදාළ කලා කෘතිය “බෞද්ධ සංස්කෘතියට” නොගැළපෙතැයි ප්රකාශ කර සිටීමත් සමගයි. එම කෘතියේ හිමිකරුවා දක්ෂ තරුණ කලාකරුවක් වන සමුදය බණ්ඩාර ගුණරත්න. මේ ස්ථාපන කලා කෘතිය සමන්විත ව තිබුණේ කුමකින් ද? එහි තිබුණා වටාපතක්, සිවුරක්, පාත්රයක් ඇතුළු භික්ෂුවක් පරිහරණය කරන ඇඳුම් පැළඳුම්, පාවහන් ආදිය. මේ සියල්ල ස්ථාපනය කොට තිබුණේ කලාගාරය ඇතුළත බිම පිරිසිදු වැලි අතුළ ඉඩකඩක. ඊට අමතරව එම තේමාවට ම අනුබද්ධිත සිතුවම් කීපයක් ද අදාළ තරුණ කලාකරුවා ඉදිරිපත් කර තිබුණා. සියල්ල එක ම තේමාවක. ඔහුගේ අරමුණ වුණේ අප භාවිතා කරන උපකරණ ඇඳුම් පැලඳුම් ආදිය විසින් ඒවා හැඳ පැලඳ සිටින්නාට/පරිභෝජකයාට විවිධාකාර සංකේතමය බලයන් ආරූඪ කරවන අන්දම විදහා පෑමයි. ඔහු සිය කෘති පෙළ Colours and Objects Make People(වර්ණ සහ වස්තු මිනිසුන් තනයි) යනුවෙන් නම් කර තිබුණේ ඒ අනුව. ඔහු ඒ කාර්යය සඳහා උපයෝගී කරගත්තේ ආගමික සංකේත හා උපකරණ සමූහයක් වුවත්, ඔහුගේ තේමාව මූලික අර්ථයෙන් ගත් කල ආගම පිළිබඳ වූවක් ද නෙවෙයි. එහෙත් ඔහුගේ කිසිදු පැහැදිලි කිරීමකට කන් දීමට වියරුවෙන් කලාගාරය තුළ රොද බැඳගත් භික්ෂූන් තැකීමක් කළේ නෑ. “වටාපත සිවුර හා පාත්‍රය බිම තැබීමට විරෝධය” පළ කළ භික්ෂූන් කණ්ඩායම ජයග්රහණය කළා. ඔවුන්ගේ නායකයා විශ්ව විද්යාලයීය බෞද්ධ සංගමයේ සභාපති. ජාතික හෙළ උරුමයට සම්බන්ධ පුද්ගලයෙක් මේ අතර විරෝධයට ගිහි පාර්ශ්වයෙන් නායකත්වය දුන්නා.


සමුදය බණ්ඩාරගේ සිතුවමක්
වර්ණ සහ වස්තු මිනිසුන් තනයි, කැන්වසය මත ඇක්‍රලික්, සෙ.මී 60 x 75, 2007
(ඔහුගේ ස්ථාපනයේ ඡායාරූපයක් මට සොයාගන්න ලැබුණේ නෑ. නමුත් මම එය සියැසින් දුටුවා)


කවර ආගමකින් පැන නැඟුණේ වේවා, මූලධර්මවාදී අන්තවාදය මානව සංස්කෘතිය කෙරෙහි විනාශකාරී බලපෑමක් ජනනය කරන බව අවිවාදිතයි.

මේ සියලු අත්තනෝමතික සිද්ධීන් පෙරට යද්දීත් කැලණි විශ්ව විද්‍යාලයීය උපකුලපතිවරයා හෝ පීඨාධිපති කිසිදු තීරණයක් නොගෙන සිදුවීම යන අතක යන්නට ඉඩ හැර ඇඟ බේරාගත් අන්දම අතිශයින් ජුගුප්සාජනක බව ද කිව යුතුයි. කොන්දක් නොමැති ඔවුන් අවසානයේ යටත් වුණේ කලා නාශක මූලධර්මවාදයට. (ඒ අතින් සිය ශිෂ්‍යයාගේ අයිතීන් වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී සිටි එම්.එස්.විශ්වවිද්‍යාලයීය ලලිත කලා පීඨාධිපති ආචාර්ය ශිවාජී පන්ක්කාර් සෑම සියලුදෙනාගේ ම ගෞරවයට පාත්‍ර වෙනවා.) කලින් කී පරිදි එම ප්රදර්ශනය සංවිධානය කොට තිබුණේ අදාළ ශිෂ්ය කණ්ඩායමේ අධ්යයන කාර්යයක් වශයෙන්. එනම් ඔවුන් මේ කලා කෘති ආචාර්යවරයකුගේ මගපෙන්වීම යටතේ, පාඨමාලාවක කොටසක් ලෙස මාස කිහිපයක් තිස්සේ නිර්මාණය කරමින් සිටියා. අවසානයේ අධ්‍යයනාංශයේ ආශීර්වාදය ද නියෝජ්ය උපකුලපතිවරයාගේ සහභාගීත්වය ද සහිත ව ප්රදර්ශනය විවෘත කෙරුණේ එහි අන්තර්ගත කෘති කෙරෙහි කිසිදු “නිල” ගැටලුවක් නොතිබූ නිසයි. එමෙන් ම එය සිසු සිසුවියන්ට ලකුණු ලැබෙන විභාග කටයුත්තක්! සත්තකින් ම එය කැලණි විශ්ව විද්යාල ඉතිහාසයේ පැවැත්වුණු උසස් ම දෘශ්ය කලා ප්‍රදර්ශනවලින් එකක් බව ඉතිහාසය විමසා බලන අයට පෙනී යනවා. එවැන්නක් ආරක්ෂා කිරීම වෙනුවට ෆැසිස්ට්වාදී කෝලාහලකාරයින්ගේ විරෝධයට යට වී මේ අංකුර කලාකරුවන්ට සිදු කළ අසාධාරණය කිසි සේත් අනුමත කළ නොහැකියි.

මෙන්න සිදුවීම් අනුපිළිවෙල:

1) මාස ගණනාවක් තිස්සේ විශ්ව විද්යාලය තුළ සිටිමින් ආචාර්ය මණ්ඩලයේ මග පෙන්වීම සහිත ව නිර්මාණකරණයේ නිරත වීම
2) අධ්‍යයනාංශයේත් පීඨාධිපති ආදීන්ගේත් පණිවිඩ ද රැගත් කැටලොගයක් සහිත ව ප්‍රදර්ශනය විවෘත වීම.
3) ප්‍රදර්ශනයේ දෙවන දිනයේ දී මූලධර්මවාදීන්ගේ විරෝධය මතු වීම
4) විශ්ව විද්යාල පරිපාලනය උතුර දකුණ මාරු වී අදහස් වෙනස් කරගැනීම හෙවත් මූලධර්මවාදයට යටත් වීම. මේ අතරවාරයේ ස්ථාපනය සුදු රෙද්දක් එළා ඒ මත තැබීම පිණිස අධ්යයනාංශයෙන් සුදු රෙද්දක් කලාගාරය වෙත එවනු ලැබුවා. මොන තරම් හාස්‍යජනක ද? මෙය බරෝඩාවේ පීඨාධිපතිවරයාගේ නිර්භය පිළිවෙත සමග සසඳනු යෙහෙකි! කලාකරුවා එසේ සුදු රෙදි එළා සිය කෘතිය විකෘත කිරීම ප්‍රතික්ෂේප කළා.
5) කලා කෘතිය ඉවත් කිරීම (සහ එය ආරක්ෂා කිරීමට කිසි කෙනෙකුට කොන්දක් නොතිබීම)

භික්ෂුවකගේ ඇඳුම තැබිය යුතු ගෞරවනීය ස්ථානය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ භික්ෂූ-භික්ෂුණීන් හා උපාසක-උපාසිකාවන් මිස කලාකරුවන් නෙවෙයි. කලා කෘතියක් තුළට ගෙන එනු ලබන කවර හෝ වස්තුවක්, කලා කෘතියේ තර්කනය හා බැඳී නව්‍ය අර්ථ ගැන්නෙමින් කලා කෘතියේ අවියෝජනීය අවයවයක් බවට පත් වෙනවා. එය දෙස බැලිය යුත්තේ සමස්ත කලා කෘතිය හැටියට මිස එහි ඇති ඒ හෝ මේ අංගයට බාහිර ලෝකයේ ඇති පැවැත්ම පිළිබඳ අත්තනෝමතික කෙස් පැලෙන තර්ක හරහා නෙවෙයි. කලාවට එයට ම අදාළ වූ තර්කනයක් සහ භාෂාවක් තිබෙනවා. එක් එක් කලා කෘතිය එම භාෂාව සොයාගන්නේ තමන්ගේ ම අන්තර්ගතයේ ස්වරූපය ඔස්සේ. අලුත් කලා කෘති අලුත් ස්වරූප ගන්නේ ඒ නිසයි. ඒ ස්වරූපය ඒ කෘතියේ භාෂාවයි. ආගමේ හා සදාචාරයේ දෘෂ්ටිකෝණයෙන් කලාවට අණ පැනවීම කලාව මරාදැමීමක් මිස අන් කිසිවක් නෙවෙයි

මේ සිද්ධියේ දේශපාලන ගම්‍යයන් මොනවා ද? ඉන්දියාවේ සේ ම ලංකාවේත් ලොව වටා තවත් බොහෝ තන්හිත් පාලක පන්තිය ආගමික මූලධර්මවාදයේ සරණ පතා ඇති අවධියක් මේක. ඇමෙරිකා එක්සත් ජනපදය, මැදපෙරදිග, පාකිස්තානය හා ඉන්දියාව මේ ලක්ෂණයන් ඉහළින් ම මූර්තිමත් කරන ස්ථාන. කීර්තිමත් ඉන්දීය කලාකරු එම්. එෆ්. හුසෙයින් සිය කලා ජීවිතය පුරා ම හින්දු දේව පුරාණයේ විවිධ චරිත සිතුවමට නැගුවා, බොහෝ විට නග්න රූප හැටියට. වසර ගණනාවක් යන තුරු කිසි කෙනෙක් එයින් කිපුණේ නෑ. සියවස් ගණනාවක් තිස්සේ හින්දු ආගමික පුරාවෘත්තයන් කලාවට නැඟීමේ දී නග්නභාවය කිසිදු ගැටලුවක් මතු කර නෑ. ලොව බිහි ව ඇති අතිශය විස්තරාත්මක ශාංගාර කලා කෘති බොහොමයක් හින්දු සම්ප්‍රදාය තුළ අපට හමු වෙනවා. මේ කිසිවක් ඉතිහාසය පුරා ප්‍රචණ්ඩත්වයෙන් සැලකුම් ලැබුවේ නෑ. ඒත් හින්දු මූලධර්මවාදය මෑත දශකවල බලවත් ව හිස ඔසවන්න ගත්තා. ඉන් අනතුරුවයි මේ ආකාර වියරු ප්රතිචාර එල්ල වෙන්න පටන්ගත්තේ. මෑත දී හින්දු ජාතිකවාදීන් හුසෙයින්ගේ සිතුවම් විනාශ කළ වාර ගණනින් ඉතා විශාලයි. මේ මොහොත වන විටත් ඉන්දීය අධිකරණයක් ඉදිරියේ ඔහුට එරෙහි ව නඩුවක් විභාග වෙමින් පවතිනවා. ඒ ආගමට අපහාස කිරීම ගැන. හුසෙයින්ගේ දේපොළ අත්පත්කරගන්නා නියෝගයක් ද ඒ සමග ම නිකුත් කරලා. බෞද්ධ සම්ප්‍රදාය ගැන කිව හැක්කේත් ඒ හා සමාන දෙයක්. ජාතක පොත ඇතුළු බොහෝ තන්හි වර්තමාන මූලධර්මවාදීන්ගේ දෘෂ්ටියෙන් “ආගම් ව්රෝධී” විය හැකි දෑ තිබුණත් ඒ කිසිවක් සියවස් ගණනාවත් තිස්සේ ප්‍රචණ්ඩ විරෝධයකට පාත්‍ර වෙලා නෑ. කොට්න් ම 90 දශකය තුළ බිහි වූ “නූතන” කලා නිර්මාණ පවා එවැනි විරෝධයකට ලක් නොවන අන්දම නිරීක්ෂණය කළ හැකියි. ඒත් දැන් තත්වය මොකක්ද? අක්ෂරය, සුළඟ එනු පිණිස ආදී සිනමාපටවලටත් එම නිර්මාණකරුවන්ටත් එල්ල වී ඇති තර්ජන පසුපස වෙනත් දෑ අතර ආගමික මූලධර්මවාදය ද තිබෙනවා. දැන් චිත්‍ර හා ස්ථාපන කලා ප්‍රදර්ශනයක් තුළට ඇවිද අවුත් එහි කෘති ගැලවීමට බලහත්කාරකම් කිරීමට තරම් මේ ප්‍රවණතාව දුරදිග ගිහින්. රාජ්‍ය බලය සමගත් මේ මූලධර්මවාදය සහවාසයක ඉන්නවා. මෙය නව නැඹුරුවක්. ඛේදජනක සේ ම අන්තරායකාරී ප්‍රවණතාවක්.

බරෝඩා සිද්ධිය හා එයින් පසු හටගත් සහයෝගීතා වැඩසටහන් ගැන කියැවීමට පහත සඳහන් වෙබ් පිටුවලට යොමු වන්න. ලංකාවේ සිද්ධිය ගැන නම් ලීවේ රාවය පුවත්පත පමණයි.

ඡායාරූප -
http://www.artconcerns.com/barodapics/index.htm
වීඩියෝ වාර්තාවක් - http://www.ibnlive.com/videos/40154/vhp-moral-brigade-trashes-exhibition.html
India Uncut: Fascism in Baroda

From ArtConcerns.com :
http://www.artconcerns.com/html/baroda_leadstory.htm
http://www.artconcerns.com/html/baroda2.htm

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මූලධර්මවාදය ගැන මගේ වෙනත් සටහන් Kareem the Imprisoned Egyptian Blogger

කුරුටු

| Comments

ඉතා සිත්ගන්නා වෙබ් අඩෙවියක් මට හමු වුණා. එහි තියෙන්නේ කුරුටු. විශේෂයෙන් වැසිකිලි, කාන්තා හා පිරිමි විවේකාගාරවල ලියා ඇති කුරුටු එකතුවක්. මෙන්න ඉන් උපුටාගත් එක් කුරුටු කවියක් -

Some come here to sit and think,
some come here to shit and stink,
but I come here to itch my balls,
and read the writing on the walls.

සමහරක් කුටුරු හාස්‍යජනකයි, සමහරක් කාමුකයි, සමහරක් දරුණුයි. තවත් සමහරක් පුදුමාකාර විදිහට “දාර්ශනිකයි”!
ගිහින් බලන්න එතන හරිම රසවත් ;-)

ගූගලීකෘත අන්තර්ජාලය(Googlized Internet)

| Comments

මම ගූගල් කියවනය (Google Reader) ගැන ඉතා ඉහළින් පැහැදිලයි ඉන්නේ. කලින් භාවිතා කළ බ්ලොග්ලයින්ස් වෙනුවට දැන් මම සම්පූර්ණයෙන් ම ගූගල් වෙත මාරු වුණා. ඒ විතරක් නෙවෙයි එහි shared items විශේෂාංගය ලින්ක් බ්ලොග් එකක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. මගේ ලින්ක් බ්ලොග් එක දැන් වෙබ් ආලෝචනා වම්පස කොලමේ දක්වා තිබෙනවා. මම බ්ලොග් නොලියන වෙලාවටත් ලින්ක් බ්ලොග් එක අලුත් කරනවා. මම කැමතියි වෙනත් අය ලියන දේ කියවන්න. ඒ නිසා ඇවිත් බලන්න. ඔබ කියවන්න කැමති දේත් එතන තියෙන්න පුළුවන්. අද අලුතෙන් එකතු කළ දේ අතර කයිරෝ වාසී බ්ලොග් ලියන්නියකට එරෙහිව මතුව ඇති මූලධර්මවාදී තර්ජන ගැන ලිපියක් ද ඇතුළත්. මේ මම කියවූ අලුත් ම ලිපි සහ බ්ලොග් සටහන් -

* Dissident eJournalists expose broken ePromises
* The Value Of Aggregating Content
* Kareem Down, Abdul Monem Down… Next: Dalia?
* “Bible drawn into sex publication controversy”
* Casual Fridays: Sports versus the arts!
* Browser Bookmarks (or Favorites) As Popular As del.icio.us
* Yahoo ‘censored’ Flickr comments
* Chomsky Takes On The World (Bank)
* Sri Lanka: Outside undergraduates to leave Jaffna
* Sex and Women’s Sports

මගේ ලින්ක් බ්ලොග් එකට පිවිසෙන්න

ඒ විතරක් නෙවෙයි අද මම මේ සටහන ලියන්නේ ගූගල් Docs and Spreadsheets සේවාව භාවිතා කරලයි. මෙය බ්ලොගර් මෘදුකාංගය සමග අන්තර් සම්බන්ධින නිසා ඕනෑ ම කෙනෙකුට මේ හරහා කෙලින් ම බ්ලොග් සටහන් ලියා පළ කරන්න පුළුවන්. මේ මගේ පළමු අත්හදා බැලීමයි.

විජිත ගුණරත්නගෙන් මනරම් පොතක්

| Comments



විජිත ගුණරත්න ලියූ රංග ශිල්පය හා නාට්‍ය නිෂ්පාදනය නම් කෘතිය කියවන්න පසුගිය සති කීපය තුළ ඉඩ ලැබුණා. 2005 පළ වූ පොතක් වුවත් ඒ ගැන කෙටියෙන් හෝ සටහනක් තැබීම අත්‍යවශ්‍ය යයි මට හැඟුණා. නාට්‍ය කලාවේ නියැළී සිටින්නන්ට හා එය හදාරන්නන්ට මේ වර්ගයේ මාර්ගෝපදේශක කෘතියක අවශ්‍යතාව කලක පටන් ම තිබුණ මුත් සුගතපාල ද සිල්වාගේ සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක නමැති පොත හැරෙන්නට එවැන්නකට ආසන්න මට්ටමේ හෝ කෘතියක් සිංහල භාෂාවෙන් තිබුණේ නෑ. සුගතපාල ද සිල්වාගේ පොත වුණත් ලියැවී ඇත්තේ නාට්‍ය නිෂ්පාදකයකුගේ දෘෂ්ටි කෝණයෙන්, එම කාර්යයෙහි ආස්වාදජනක ස්වරූපය පිළිබඳ රසාලිප්ත විවරණයක් හැටියට යි. නමුත් විජිත ගුණරත්නගේ පොත නාට්‍යකරුවකු සේ ම නාට්‍ය ගුරුවරයකු ද වශයෙන් ඔහු සතු පරිචය උපයෝගී කරගනිමින් නාට්‍ය කලාව පිළිබඳ ඉගැන්වීමේ යෙදෙන පුරෝගාමී කෘතියක්. අත්පොතක්. එය මේ විෂය ක්ෂේත්‍රය ආවරණය කිරීම අතින් වඩා පරිපූර්ණයි. 1960 දශකයේ අග පටන් වේදිකා නාට්‍ය කලාවේ නිරත ව පුරෝගාමී නිර්මාණ ගණනාවක් බිහිකළ කලාකරුවකු සේ ම ස්වීඩනයේ කම්කරු පදනම් ආයනයේ රංග ශිල්ප හා නාට්‍ය නිෂ්පාදනය පිළිබඳ උපදේශකවරයකු ද වන ගුණරත්න මෙවැනි කර්තව්‍යයක් ඉටු කිරීමට සියලු සුදුසුකම් සහිත පුද්ගලයෙක්.

කෘතියේ පෙරවදන නාට්‍යකරුවක් හැටියට සේ ම ගුරුවරයකු හැටියටත් ඔහුගේ ලෝකදෘෂ්ටිය විදහා පාන කැඩපතක් වැනියි. දිග නොතකා එයින් කොටසක් උපුටාදක්වන්න එන පෙළඹීම මම වළක්වන්නෙ නෑ:
“සමාජ රටාව විසින් මිනිසාට කරනු ලබන යෝජනා සමග ඕනෑම කෙනෙකුට තමන් තෝරා ගන්නා ලබන විෂය ගැඹුරින් හැදෑරීම සඳහා පරිසරය විසින් ඔහුට හෝ ඇයට එක එල්ලේම නොයෙකුත් තරාතිරමේ අත්දැකීම් අවස්ථා සපයනු ලැබේ. අදළ විෂය ඉගෙනීමේ මූලික සාධක සහ අමුද්‍රව්‍ය තිබෙන්නේ ද එතැනය. අපි ඒවා විඳ දරා ගනිමින් නිරතුරුව ඉගෙනීමක් ලබන බව සැබෑය. එසේ පරිසරය හා අඛණ්ඩව ගැටෙන අප තම තමන්ගේ විවිධ වූ අදහස් රැකගැනීමේ උත්සාහයක ද යෙදෙන නිසා, කිසිවෙකු විසින් අන් කිසිවෙකුට යමක් ඉගැන්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ තර්කය විවිධ ආකාරයෙන් විශ්ලේෂණය කළ හැකි නමුත්, ඉගෙනීමට කැමැත්තක් ඇති කෙනෙකුට ඉගෙනීම සඳහා මං පිළිවෙත් කියා දීම සඳහා ඕනෑ තරම් ඉඩකඩ ඇති බවට විවාදයක් නැත. වාසනා ගුණයට මෙතැනදී මහා කාර්යයක් ඉටු කිරීමට ඉඩ ප්‍රස්තාව ඇතැයි මම නොසිතමි.

“යම් කෙනෙකු පෞද්ගලිකව ගොනු කරගන්නා වූ සහ විඳදරාගන්නා වූ අත්දැකීම් පරිමාව එක සමාන නොවන්නේ ඇයි? මේ වෙනස්කම් ඇතිවන්නේ ඔහුගේ හෝ ඇයගේ සමාජ දේශපාලන සහ ආර්ථික හැලහැප්පීම්වල පරිමාව අනුවය. සමාජ රටාව තුළ සැරිසරන පුද්ගලයාට දැනුම ගොනුවී ඇති නමුත් එසේ ගොනුවී ඇත් බව හඳුනාගැනීමේ විවේකය සහ විචාර ශක්තිය ලබාගැනීම එතරම් පහසු දෙයක් නොවේ. එසේ ම ඒ දැනුම දැනුවත් ව භාවිතයට ගනිමින් ප්‍රතිනිර්මාණාත්මක ලෙස සමාජ අවශ්‍යතාව අනුව ඉදිරිපත් කිරීම ද පහසු දෙයක් නොවේ. ඒ නිසා හැම දෙයක් ම දෛවය අනුව සිදු වන දෙයක් ලෙස සලකන උදාසීන ගතිය පෙරමුණට එන බව තේරුම් ගැනීම වැදගත් වේ. අප විසින් පරාජය කළ යුත්තේ ඒ උදාසීන බව ය. ” (ix පිටුව)


ඉතා ප්‍රවේසම් සහගත ව සංවිධානය කෙරුණු පරිච්ඡේද ඔස්සේ කතුවරයා, පාඨකයාව අදියරෙන් අදියර නාට්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ කැටුව යනවා. ඔහු පටන්ගන්නේ රංග කලා අභ්‍යාසවලින්. ඇත්තට ම මෙහිදී සිහිපත් වෙන්නේ අධ්‍යක්ෂවරයෙක් සැබෑ ම පුහුණුවක දී නළුනිළියන්ට උපදෙස් දෙන ආකාරයයි. ඉන් අනතුරුව නාට්‍ය පිටපත හා “සාම්ප්‍රදායික අර්ථයෙන්” නාට්‍යය ගොඩනැගෙන අන්දම පිළිබඳ සවිස්තර සාකච්ඡාවක් කෙරෙනවා. ඒත් ඔහුගේ සාකච්ඡාව සාම්ප්‍රදායික නාට්‍යයට සීමා වෙන්නේ නෑ. ඔහු වෙනත් ශානරවලට, ප්‍රවර්ගවලට අයත් කෘති හා නිෂ්පාදන ද පාඨකයාට පැහැදිලි කරනවා; විවිධ පර්යේෂණ හා අත්හදාබැලීම් ද දිරිමත් කරනවා. ඔහුගේ ප්‍රවිශ්ටය ප්‍රයෝගිකයි, සරලයි, ඒ වගේ ම නිවැරදියි. තවත් සිත්ගන්නාසුළු දෙයක් තමයි කතුවරයාට සෑම අදියරක දී ම පාහේ තම අත්දැකීම් අනුසාරයෙන් අදාළ කරුණු පැහැදිලි කර දිය හැකිපසුබිමක් තිබීම. ඔහු විසින් ම පරිවර්තනය කොට හෝ ලියා අධ්‍යක්ෂණය කෙරුණු උසස් නාට්‍ය විශාල සංඛ්‍යාවක් ඇති නිසා ඔහුට පුළුවන් ඒ ඒ අංශය අතිශය ප්රායෝගික දෘෂ්ටිකෝණයකින් සැබෑ ම නිදසුන් සහිත ව පැහැදිලි කරන්න. රංගනය, රංග අභ්‍යාස, නිෂ්පාදන කාර්යය විතරක් නෙවෙයි, රංග වස්ත්‍ර නිර්මාණය, ආලෝකකරණය, වේදිකා පසුතල නිර්මාණය ආදී සෑම සියලු අංශයක් ම බොහෝ විට මෑත අතීතයේ සැබැවින් ම නිෂ්පාදනය කෙරුණු කෘති මගින් සන්නිදර්ශනය කරමිනුයි ගුණරත්න පාඨකයාට මේ මාහැඟි කලාව උගන්වන්නේ. මේ කාර්යයේ නිරත වීමේ දී කවර කෙනෙක් වුණත් මුහුණ පාන්න ඉඩ තියෙන ගැටලු-අමාරුකම්, සීමා ආදිය ගැන මනා සංවේදීත්වයකින් යුතුව ඔහු කරුණු පැහැදිලි කරනවා. සන්නිදර්ශන ඡායාරූප කිහිපයක විස්තර වැරදියට ඇතුළත් ව තිබුණත් එය සමස්ත කෘතිය කියවා හැදෑරීමට බාධකයක් වෙන්නේ නෑ. මේ පොත කියවීම මට නම් සැබෑ ම මනරම් හා ආස්වාදජනක අත්දැකීමක් වුණා.

මේ කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් විභවි ලලිත කලා ඇකඩමිය කර ඇති අගනා මෙහෙවර ද පැසසිය යුතුයි.

[විජිත ගුණරත්න නිෂ්පාදනය කළ නාට්‍ය අතර සාක්කි(ඩාරියෝ ෆෝගේ The Accidental Death of an Anarchist), සුභ සාධක(ස්වතන්ත්‍ර), පැන්ස තුනේ කතාව(බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ Three Penny Opera), නෝරාගේ ගෙදර (හෙන්රික් ඉබ්සන්ගේ Doll’s House), සත්‍යාංගනාවී (බ්‍රෙෂ්ට්ගේ The Good Woman of Szetchwan) ආදී ප්‍රබල කෘති ගණනාවක් ම ‍තිබෙනවා. ඒ අතර ම මෑත අතීතයේ ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ අපි ගෙවන්නෙ නැහැ නාට්‍යයේ පිටපත ද ඔහුගේ පරිවර්තනයක්.]

රාජ්‍ය නාට්‍ය වර්ෂය?

| Comments

මේ ගත වෙන්නේ රාජ්‍ය නාට්‍ය උළෙල(ජාතික නාට්‍ය උළෙල) පිළිබඳ උණුසුම කොළඹ සිසාරා පැතිර යමින් තිබෙන සති කීපයක්. පරම්පරා කීපයට ම අයත් නාට්‍යකරුවන්ගේ කෘති දින කිහිපයක් තිස්සේ කොළඹ නගරයේ රඟදැක්වුණා. ඒ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයයි. මේ අතර ආණ්ඩුව කාටත් හොරෙන් මේ අවුරුද්ද “රාජ්‍ය නාට්‍ය වර්ෂය” ලෙස නම් කොට තිබෙන බව අවුරුද්දේ මැයි මාසය වෙද්දී(!!!) අපට අසන්න ලැබීම ගැන හිනා වෙන්නද නැත්නම් අඬන්නද කියලා මට තවම හිතාගන්න බෑ. මම දන්නා අඳුනන නාට්‍යකරුවන් කීපදෙනෙකුටම දුරකථනයෙන් කතා කරලා ඇහුවා මේ රාජ්‍ය නාට්‍ය වර්ෂ කතාව දන්නවද කියලා. සමහර විශ්ව විද්‍යාලවල නාට්‍ය හා රංග කලාව උගන්වන කීපදෙනෙකුත් මට පහුගිය දවස්වල මුණගැහුණා. බොහෝ දෙනෙක් මේක දැනගෙන තියෙන්නේ මැයි 11 වෙනි සිකුරාදා (එනම් පසුගිය සිකුරාදා) ලංකාදීප පුවත්පතේ පළ වුණු නාට්‍ය අනුමණ්ඩල සභාපති තිලක් ජයරත්නගේ සම්මුඛ සාකච්ඡාවෙන්. සාකච්ඡාව මෙහෙයවන්නේ ගාමිණී කන්දේපොල. මෙන්න “රාජ්‍ය නාට්‍ය වර්ෂය ගැන කියැවෙන කොටස -
ප්‍රශ්නය - සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙම වසර “රාජ්‍ය නාට්‍ය වර්ෂය” ලෙස නම්කොට තිබෙනවා. එහෙත් මේ සම්බන්ධයෙන් කිසියම් සැලසුම් සහගත වැඩපිළිවෙලක් නැති බවයි බොහෝ දෙනා පවසන්නේ. අනුමණ්ඩලයේ සභාපතිවරයා විදිහට මේ කාරණය ඔබට දැනෙන්න කොහොමද?

පිළිතුර - අමාත්‍යාංශයේ මේ කාරණය ගැන කතා කරන්න ඕනෑ තරම් නිලධාරීන් ඉන්නවා. ඉතිං මේ ප්‍රශ්නේ අහන්න ඕනෙ මගෙන් නෙවෙයි ඒ අයගෙන්.
ඇත්තට ම මේ වැඩපිළිවෙල ගැන අභ්‍යන්තර අර්බුදයක් පවතින බව තමයි සභාපතිවරයාගේ ප්‍රතිචාරයෙන් ඇඟවෙන්නේ.

හොඳයි සංස්කෘතික අමාත්‍යාංශයට අයත් කලා මණ්ඩලයේ, නාට්‍ය කලාව පිළිබඳ අනුමණ්ඩලය වන නාට්‍ය අනුමණ්ඩලයේ සභාපතිවරයා කියනවා ප්‍රශ්නය ඇසිය යුත්තේ ඔහුගෙන් නෙවෙයි ලු. අපි මේ කීර්තිමත් කලාකරුවාට, ජයරත්නයන්ට ගරු කිරීමක් වශයෙන් එය පිළිගෙන සෙසු නිලධාරීන් දෙසට හැරෙමු. අවුරුද්දේ මාස පහක් ගතවෙලා, තිලක් ජයරත්නගේ සාකච්ඡාවටත් සතියක් පිරෙන්න ළඟයි. තවමත් “අදාළ” නිලධාරියෙක් මේ රාජ්‍ය නාට්‍ය වර්ෂයේ අරමුණු, එහි දී කරන්න බලාපොරොත්තු වෙන දේ හා මෙතෙක් “රාජ්‍ය නාට්‍ය වර්ෂ” වැඩපිළිවෙල මගින් සාධනය කරගැනුණු අරමුණු මොනවාදැයි මොනම පැහැදිලි කිරීමක් වත් කර නෑ. නාට්‍ය ක්ෂේත්‍රයට එවැනි වර්ෂයක් අවශ්‍ය වූයේ ඇයි? වෙනත් වර්ෂවලදීත් පැවැත්වුණු රාජ්‍ය නාට්‍ය උළෙල (ජාතික නාට්‍ය උළෙල) වෙනදා තරම් වත් ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් නැතිව පැවැත්වීම හැර මේ “රාජ්‍ය නාට්‍ය වර්ෂය” සඳහා විශේෂයෙන් කර තිබෙන්නේ මොනවා ද? කරන්න යන්නේ මොනවා ද?