වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

21 වන සියවස ආරම්භයේ අභියෝගය….බ්ලොග් සහ වෙනත් ජාලගත ප්‍රකාශන මාධ්‍ය

| Comments

කලින් සටහනේ දී සාකච්ඡා කල භාශා සාහිත්‍යික පෙරමුනු දෙක යලිත් සටහන් කරගමු. 19 සියවසේ පෙරමුනු දෙක -

1) පුරාන ප්‍රකාශන මාධ්‍යයන් හි එනම් පුස්කොල පොත් හා ජනශ්‍රැතියේ පිහිටෙන් ඒ දක්වා පැවත ආ සාහිත්‍යික අන්තර්ගතය(content) හා දැනුම අලුත හඳුන්වා දුන් මුද්‍රිත මාධ්‍යයට පෙරලී, සංස්කරනය වී ප්‍රකාශයට පත් වීම.

2) නවතම පන්නයේ ප්‍රකාශන මාධ්‍ය එනම් පුවත්පත් සඟරා ද වෙනත් වාද විවාද සංග්‍රහ කෙරුනු ප්‍රකාශන ආදිය පැන නැඟීම.


දැන් ඉතිහාස පථයට ඉහලින් එසවී නරඹමු.

දැන් යලිත් ශතවර්ශයකට මඳක් වැඩි කාලයකට පසු සිංහල භාශා සන්නිවේදනය අර කී තත්වයට සමාන පිහිටීමක. මාධ්‍යය පිලිබඳ තීරනාත්මක හැරුම් ලක්ශ්‍යයක. ඉදිරි සියවස සංලක්ශිත වනු ඇත්තේ මුද්‍රිත මාධ්‍යය වෙනුවට (සහ එය පසෙකින් තිබිය දී) ඩිජිටල්/ඊ/විද්‍යුත් මාධ්‍යයක් ඒ තැන ගැනීම විසින්. කියවීම, අධ්‍යයනය, සන්නිවේදනය පමනක් නොව සාහිත්‍ය කලා ආදිය පිලිබඳවත් මෙය තීරනාත්මක යි. ජාලගත කෙරුනු, විද්‍යුත් ආකාරයෙන් ගබඩා කෙරුනු පරිගනකගත අන්තර්ගතයක් ප්‍රධාන වැඩ බිම බවට පත් වෙමින් පවතිනවා.

මේ පරිවර්තනීය අවස්ථාව රූපාකාරයෙන් 19 වැනි සියවසේ සිදු වූ සංක්‍රාන්තියට බෙහෙවින් සමාන යි.

එක් පැත්තකින් මෙතෙක් පැවති සාහිත්‍යික අන්තර්ගතය හා දැනුම නව මාධ්‍යයට පරිවර්තනය කල යුතුයි. අනිත් අතින් මේ නව මාධ්‍යය තුල භාවිතය සඳහා බස සැකසී ඒම අවශ්‍ය ව තිබෙනවා. නව මාධ්‍ය හැටියට අන්තර්ජාලය තුල බ්ලොග්කරනය හා දෙවැනි පරපුරේ (web 2.0) වෙබ් ප්‍රකාශන අවකාශ දියුනු තියුනු වෙන්න ඕනෑ.

දැන් මගේ උපකල්පන සහ පෙරදැක්ම - මෙයට විරුද්ධ වන්න ඔබට අයිතියක් තියෙනවා. නමුත් මේ මම ඒත්තු ගෙන සිටින ආකාරය.

දැන් මෙතෙක් මුද්‍රිත මාධ්‍යය තුල ගැබ් ව පැවති දැනුම හා සාහිත්‍යය මේ අලුත් මාධ්‍යය තුලට රැගෙන යාමේ ඓතිහාසික අභියෝගය ඉදිරිපත් ව තිබෙනවා. මෙය ඉටු නොකල හොත් සිංහල සාහිත්‍යයේ මහාර්ඝ උරුමය එලඹෙන සියවස්වල ඉපදෙන පරම්පරාවන්ගේ ජීවිතවලින් දුරස් වූ කෞතුක වස්තූන් සමුදායක් බවට පත් වනු නිසැක යි.

ඒ සමග ම නොවැලැක්විය හැකි ලෙස, අපේ භාශාවේ ද්විරූපතාව ආශ්‍රිත ගැටලු හේතුවෙන්, වඩාත් සුඛග්‍රාහී සන්නිවේදනය පහසු කරවන වර්ධනයක් ඉල්ලා සිටිමින් බස කැරලි ගසනවා. බසේ “ස්වාභාවික” වර්ධනය පවතින්නේ මේ ද්විරූපතාව අවම කිරීමේ දිශාවට යි. තවදුරටත් තිරිංග දමා තද කරගෙන සිටි ද්විරූපතාවේ වත්මන් ස්වරූපය වාන් දොරටු බිඳගෙන එන සන්නිවේදන ප්‍රවාහය විසින් නියත වසයෙන් පරසක්වල ගසනු ඇති. අදද මම කිව්වා කියලා හිතා ගන්න :P මෙන්න මේ අංශයේ දී තීරනාත්මක ම කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ ද ඉදිරියේ දී ඉටු කරනු ඇත්තේ ද සිංහල භාශා බ්ලොග්කරුවන් විසින්. දැනට මත් බ්ලොග්කරනයෙහි උපයුක්ත භාශාව අතිවිශාල පීඩනයක් අන් සියලු අන්තර්ජාල ලේඛන මත ඇති කරමින් සිටිනවා. මෙය ඉදිරියේ දී තවතවත් තියුනු වේවි ඒ ගැන සැක නෑ.

දැන් ඉතින් වෙන කුමක් කරන්නද….. බ්ලොග් අවකාශය ගැන ටිකක් කතා කරමු.

| Comments

….

දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස?


ඒක මම කැමති ම ගීයක්. තිබුනේ අශෝක හඳගම අධ්‍යක්ශනය කල සින්තටික් සිහින ටෙලි නාට්‍යයේ. නමුත් දැන් කියන්න යන්නෙ ඒ ගැන නෙමේ. ආදරය ගැනත් නෙමේ. දැන් ඉතින් මැරතන් එකත් පටන් ගත්තනෙ. සති ගානක පෙරසූදානම් වීම් මාලාවකට පස්සේ…

බ්ලොග් ගැනම ටිකක් වෙලා කතා කලොත්, ටික වේලාවක් සිතිවිල්ලේ යෙදුනොත් හොඳයි කියලා හිතුනා.

බ්ලොග් ගැන කලින් ලියපු පූර්විකා සටහනක මම ලිව්වා මෙහෙම.

සිංහල භාශාවේ පරිනාමය, ඉතිහාසය හා අනාගත හැඩගැසීම් පිලිබඳ සිතීමේ නිමග්න වීමේ දී අපට එක්තරා අත්තනෝමතික නොවන සැසඳීමක් කරන්න පුලුවන් අවස්ථාවක් හමු වෙනවා අතීතයෙන්. මම ඒ අතීත අවස්ථාව සන්සන්දනය කරන්නේ බ්ලොග් අවකාශය හා අන්තර්ජාල ලේඛනයේ වර්තමාන තත්වය සමගයි.

දහ නව වැනි සියවසේ සිංහල පුවත්පත් හා සඟරා මුද්‍රනය වීම ආරම්භ වුනු අවධියට අපි මඳකට ආපසු යමු. අඩසියවසක පමන කාලයක් තිස්සේ විවිධ හැල හැප්පීම්වලට ගොදුරු වෙමින් ඉහල පහල යමින් වර්ධනය වුනු මේ පුවත්පත් සඟරා ආශ්‍රිත ලේඛනය නිසා තමයි පසුකාලීන ව පෙරට ආ සිංහල නවකතාව, කෙටිකතාව ඇතුලු සාහිත්‍යාංග සඳහා සේ ම අනෙකුත් විවිධාකාර සන්නිවේදන අවශ්‍යතා සඳහා ද සුඛනම්‍ය සිංහල භාශාවක් වර්ධනය වුනේ. එම තීරනාත්මක අවධිය ප්‍රධාන වසයෙන් අංශ දෙකකින් සමන්විත වුනා. භාශාව පිලිබඳ පෙරමුනු දෙකක්. වැඩ බිම් දෙකක්.

1) පුරාන ප්‍රකාශන මාධ්‍යයන් හි එනම් පුස්කොල පොත් හා ජනශ්‍රැතියේ පිහිටෙන් ඒ දක්වා පැවත ආ සාහිත්‍යික අන්තර්ගතය(content) හා දැනුම අලුත හඳුන්වා දුන් මුද්‍රිත මාධ්‍යයට පෙරලී, සංස්කරනය වී ප්‍රකාශයට පත් වීම.

2) නවතම පන්නයේ ප්‍රකාශන මාධ්‍ය එනම් පුවත්පත් සඟරා ද වෙනත් වාද විවාද සංග්‍රහ කෙරුනු ප්‍රකාශන ආදිය පැන නැඟීම.

එලඹෙන 20 වැනි සියවසේ බුද්ධිමය - සංස්කෘතික ජීවිතය සපුරා ම අරක් ගැනීමට නියමිත ව තිබූ, බුද්ධිමය ජීවිතයේ ප්‍රධාන වැඩ බිම වූ මුද්‍රිත මාධ්‍ය සඳහා අවශ්‍ය පදනම සම්පාදනය කරනු ලැබුවේ මූලික වසයෙන් ම ඉහත අංශ දෙකෙහි නිරත වූ පුරෝගාමීන් විසිනුයි. ඔවුන් සියලු දෙනාම පාහේ පැවත ආවේ ඊට පෙර සියවසේ වැලිවිට සරනංකර හිමිපානන්ගේ පුරෝගාමීත්වයෙන් ඇවිල ගිය ශාස්ත්‍රීය ව්‍යාපාරයේ ශිශ්‍ය පුරුක් හැටියට යි. බටුවන්තුඩාවේ දේවරක්ශිත, හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාලෝක, ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම ආදී ගිහි පැවිදි පඬිවරුන් පරම්පරා කිහිපයකගේ උර මතින් චිරන්තන සිංහල සාහිත්‍යය මුද්‍රිත මාධ්‍ය කරා ප්‍රවිශ්ට වීම ආරම්භ වුනා.

මේ අතර, පුවත්පත් සඟරා හා ඒ ඔස්සේ හටගත් වාද විවාද බස හැඩගැස්වීමෙහි ලා අතිවිශේශ කාර්යභාරයක් ඉටු කලා. මාර්ටින් වික්‍රමසිංහ ලිවීමට හිඳගන්නා මොහොතේ භාශාව අහසින් කඩා වැටුනා නෙමෙයි. ….

වැඩි දුර කියවන්න ඒ ලිපියට යන්න මම එතන කතා කලේ 19 වැනි සියවසේ පුවත්පත් සඟරා හා වාද විවාද ගැනයි.

දැන් අපි ආයෙම 21 වැනි සියවසට එමු. විස්තර ඊලඟ සටහනින්….

කන ගමන් ලියන වග නම්

| Comments

ඔන්න මම හැඳිගෑරුප්පුයි බත් පිඟානකුයි සෙට් කරගත්තා. දැන් කන ගමන් තමයි ලියන්නේ. තව මෙතන තියෙනවා ඇපල්. ආයේ මං කැවුං :D ඒවා ලියන ගමන් කන්න පහසුයි.

ඉතින් ඕක තමයි මේ වෙලාවෙ හිතට එන්නෙ. ගෑරුප්පුව කටෙත් ඇනුන හදිසියට. කවදා කාපු ටකරංද කියන්නෙ ඔන්න ඕවට තමා. අපේ කට්ටිය ඉතා ජයට ලස්සනට මැරතන් ලියාගෙන යනවා. ඒවා එසැනින් සින්ඩිකේටරයේ පල වෙනවා


ඔහොම යං ඔහොම යං

ඊලඟ පැයේ බ්ලොග් ගැන යමක් ලියන්නයි යන්නෙ… තව ටිකකින් යලි හමු වෙමු

මරනය නොසැලී හිමාලයක් මෙන්

| Comments

ඊයේ යසරුවන්ගේ අනපේක්ශිත සමුගැනීම අහපු වෙලාවේ මට මේ කවිය මතක් වුනා. එයින් කොටසක් බෙදාගන්නම්..

සම්පූර්නයෙන් කියවන්න බලන්න සිරි ගුනසිංහ ලියූ අබිනික්මන කාව්‍ය සංග්‍රහය

හොර රහසෙ වැඩ කරන
අමුත්තෙක් නොවේ ඔහු
කඹයක් අතකින් අරගෙන ඇවිදින්
ඔබ බැඳ ගන්නට වෙර නොගනී

මරනය නොසැලී හිමාලයක් මෙන්
ඔබ ළඟ සිටී
තුරුලට වී ඔබ වැලඳ ගනී.
අඩියෙන් අඩියට ඇසිපිල්ලෙන් පිල්ලට
මරනය වෙත ලංවන්නේ ඔබමයි.
බය වී මොරදෙන්නෙත් ඔබමයි.
මරනය ඔබ පසුපස්සේ නොදුවයි

……………….

…. මරනයේ දෑතට නැතුව අහුවෙන්නෙ
පැන යන්නෙ මොනවට ද
වෙරගන්නෙ මෙතරම්.
එයින් ඇති පලක් නැත
මරනයැයි කියා ඔබ දුවන්නේ
මරනයේ සෙවනැල්ලටයි
ජීවිතේ මයි සැබෑ මරනය

මරනය නොසැලී හිමාලයක් මෙන්
ඔබ ලඟම සිටී.

සිරි ගුනසිංහ, අබිනික්මන, 195892-93 පිටු

ජාල ජංජාල සහ වගකිව යුත්තන්ගේ කයිවාරු

| Comments

දැන් මේ ආන්ඩුව ඡන්ද කාලේ ගහපු කයිවාරු මට මතක් වෙනවා ඔන්න. ගොවියාවත් “අපේ ගමත්” අන්තර්ජාලයට ගෙනියන බවටත් ශපථ කොරා. ඒත් ප්‍රධාන නගරවල වත් තාම හරියට අන්තර්ජාල පහසුකම් නෑ. විදුලිය නෑ. ඒ විතරක් නෙමේ. යන්න එන්න හරියට පාරවල් නැතුව අස්වැන්න නෙලාගෙන ප්‍රවාහනය කරගන්න බැරි වුනු ගොවීන් ගැන පහුගිය සති කීපයේ ම වාර්තා වුනා.

අන්තර්ජාල සම්බන්ධතා නම් ව්‍යාපාරික හෝ වෘත්තීය මට්ටමේ අවශ්‍යතා සඳහා පිරිමැහෙන්නේ නෑ. ඉතින් මේ සම්බන්ධයෙන් යන්න තියෙන දුර බොහෝමයි. තවම පටන්ගෙන වත් නෑ කියලයි මට නම් පේන්නේ….