වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

කාන්තා කටයුතු ඇමතිගේ වික්‍රම සහ ස්ත්‍රී විරෝධී නීති

| Comments

මේ සතියේ The Sunday Leader පුවත්පත වාර්තා කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ආන්ඩුව ස්ත්‍රී දූශන “පිටු දකින අටියෙන්” අරුම පුදුම නීති කිහිපයක් යෝජනා කරනවා.

ඒ අතර දූශනයට ලක් වූ තැනැත්තියගේ කැමැත්ත තිබේ නම් අනිවාර්යයෙන් ඇය විවාහ කරගැනීමට දූශකයා නීතියෙන් බැඳී සිටීම, දූශනයට ලක් වූ තැනැත්තිය බාලවයස්කාරියක නම් ඇයට නිසි වයස (18) සම්පූර්න වන තුරු බලා සිට විවාහ කරගැනීම අනිවාර්ය වීම වැනි නීති ද පවතින බව අදාල වාර්තාවේ සඳහන්.

මේ සියලු නව යෝජනා නීති කෙටුම්පත් ලෙස සැකසීම පිනිස අධිකරන අමාත්‍යාංශයට යැවීමට නියමිත බවත් ඉන් පසු කැබිනට් මන්ඩලයේ අනුමැතිය සඳහා යොමු කෙරෙන බවත් වැඩිදුරටත් සඳහන්. ඇතැම් විට මේ යෝජනාවලට දැනටමත් එල්ල වෙමින් පවතින බලගතු ප්‍රතිරෝධය හමුවේ ඒවා අකුලාගන්න ආන්ඩුවට සිදු වේවි. ඒත් අදාල කාරනය ඒක නෙමෙයි. මෙවැනි යෝජනාවකට උපත දිය හැකි අමාත්‍යාංශයක් ලමා සංවර්ධන හා කාන්තා කටයුතු නමින් මහජන මුදලින් පවත්වාගෙන යාම යි!

මේ යෝජනා සියල්ල කන්‍යාභාවය පිලිබඳ තිරශ්චීන වූත් ආචීර්න කල්පික වූත් අදහස් උදහස් මත පිහිටා නිර්මානය කල ඒවා බව පැහැදිලි ව පේනවා. තව ද ස්ත්‍රිය යනු ස්වතන්ත්‍රතාව අහිමි, පුරුශයා මත රඳා පවතින, දෙවැනි පන්තියේ සත්වයකු සේ සැලගෙන සුපුරුදු දෘශ්ටිවාදය ඊට පිටුබලය සපයනවා. “දූශනයකට”/“කෙලෙසීමකට” ලක් වූ තැනැත්තියකට තියෙන එක ම “පිලිසරන” එම දූශනය කල තැනැත්තා ම බවත්, “කෙලෙසුනු” ස්ත්‍රියක “භාරගැනීමට” සමාජීය වසයෙන් හෝ පෞද්ගලික වසයෙන් අන් කිසිදු පාර්ශ්වයක් නැති බවත් මේ නීතියේ පදනමේ පවතින අදහස යි. එම අදහසේ ම අවියෝජනීය අංගයක් වන අනිත් තර්කය විවාහ සංස්ථාව පිලිබඳ මිථ්‍යාව යි. දූශනයට ලක් වූ ස්ත්‍රිය [දූශකයා සමග ම!] විවාහ සංස්ථාවට ඇතුලත් කරවීම ඇයට යුක්තිය ඉටු කර දීමක් හැටියට අමාත්‍යාංශය කල්පනා කරනවා (ලු).

පසුගිය වකවානුවේ අවස්ථා ගනනාවක දී ම දූශනයට ලක් වූ ස්ත්‍රීන්ට අධිකරනය හමුවේ පවා මුහුන පාන්න සිදු වුනේ මෙන්න මේ දෘශ්ටි කෝනයෙන් එල්ල වෙන අඩන්තේට්ටම්වලට. “අවිවාහක,” “නිදහස්,” ජීවිත ගත කරන “සුරූපී” ස්ත්‍රීන් තමන් ම “පිරිමින් පොලඹාගනිමින්” දූශනයට ලක් වීමට පාර කපාගන්නා බව ඇඟවුම් කෙරෙන ප්‍රකාශ විනිශ්චයකාරවරුන්ගේ මුවින් පවා නිකුත් වුනා. ඉන් පසු අදාල “පුවත්” වාර්තා කරන ජනමාධ්‍ය එම පල් වල ම ඉහගෙන කමින් කුනු රසය බෙදන්න ගත්තා. ඉතින් මෙන්න අමාත්‍යාංශයෙන් කදිම විසඳුමක්!

අමාත්‍යාංශයට ම පටන්ගත හැකි තවත් වැඩක් මට කල්පනා වෙනවා. ඒ තමයි අවිවාහක පිරිමින් විවාහයට දිරිමත් කරලීමේ සේවාවක්, මංගල සේවාවක්! Rape a woman, earn a woman! වගේ උද්‍යෝග පාඨයක් සහිත ව මේක ඉහලින් ආරම්භ කල හැකි යි. මොකද මේ නීති ක්‍රියාත්මක වුනොත් ස්ත්‍රී දූශකයාට හිර දඬුවම් වෙනුවට තමාට ම “අයිති” ස්ත්‍රී ශරීරයක් නීත්‍යනුකූල ව ම ලබාගන්න පුලුවන්. එනිසා කැමති ස්ත්‍රිය තෝරාගෙන වහා දූශනය කිරීම පිරිමින්ට විවාහයට කෙටි මඟක් හැටියට අනුදැන වදාරන්න අමාත්‍යාංශයට පුලුවන්.

මේ සියල්ලෙන් නැඟෙන නරුම හාස්‍යය මොහොතකට නවතා සිහිබුද්ධියෙන් විමසා බැලුවොත් අපට පැන නඟින තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. තමන් අපයෝජනයට දූශනයට ලක් කල පිරිමියා කසාද බඳින්න කැමති වෙන්නේ මොන ස්ත්‍රිය ද? එවැනි තීරනයක් හොඳ සිහියෙන් කෙනෙකුට ගන්න පුලුවන් ද? ලමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට ස්ත්‍රීන් පිලිබඳ තියෙන ආකල්පයත් මේකෙන් නැවත වතාවක් විදහා දැක්වෙනවා නේද? කාන්තාවන්ට පරිපාලනයේ ඉහල තනතුරු ලබා දුන් විට ඔවුන් එකිනෙකා කෙරෙහි ඊර්ශ්‍යා පරවශ වී වැඩකටයුතු අවුල් කරගන්නා බවත්, එමගින් ආයතනවල කටයුතු පරිහානියට යන බවත් එහෙයින් ප්‍රධාන තනතුරු පිරිමින්ටත් සහායක තනතුරු ස්ත්‍රීන්ටත් දිය යුතු බවත් කියාසිටියේ ද මේ අමාත්‍යාංශය ම යි! හැබැයි මේ යෝජිත නීති ක්‍රියාත්මක වුනොත් උසාවිවල පොලිසිවල අද සිදු වෙන තිරශ්චීන ක්‍රියා තව පියවරකින් ඉදිරියට යාම නියත යි. අදටත් අහස පොලොව නූහුලන මේ අපරාධවල වින්දිතයන්ට අපරාධය සඟවා යටගැසීමට, සමාදාන වීමට, යටත් වී නිහඬ වීමට බලගතු සමාජ හා සංස්කෘතික පීඩනයක් එල්ල වන බවත් ඒ පීඩනය ක්‍රියාවට නැඟීමේ යාන්ත්‍රන හැටියට උසාවි හා පොලිසි ක්‍රියාත්මක වෙමින් තියෙන බවත් රහසක් නෙමෙයි. ඉතින් මේ අපරාධකරුවන් සමග සමාදානයෙන් විවාහ ජීවිතයකට ඇතුලත් වීම විනා අනාගතයක් නැති බව “ඒත්තුගන්වන්නත්” මේ ආයතන ම ක්‍රියාත්මක වේවි. සාමාන්‍යයෙන් මෙවැනි අමාත්‍යාංශයක් ආන්ඩුවකට අවශ්‍ය වෙන්නේ ස්ත්‍රීන්ට එරෙහි පීඩනය, මර්දනය සදාකාලික හා හැකිතාක් ස්වාභාවික දෙයක් හැටියට පෙන්වා පවත්වාගෙන යන්න තමයි. ඒ අතින් මේක ඉතා කාර්යක්ශම අමාත්‍යාංශයක් බව කිසි ම පැකිලීමකින් තොර ව කියන්න පුලුවන්.

රාජ්‍ය නාට්‍ය තරගය ගැන සිතිවිලි

| Comments

“සංස්කෘතික ඇමති ඇඳලා දෙන කොටු ඇතුලෙ අඹ ඇට පනින්න මම ගිහිල්ලත් නෑ, යන්නෙත් නෑ.”

මම ඒ පිලිතුර දුන්නේ මෙවර රාජ්‍ය නාට්‍ය උලෙල නැරඹීමට පැමිනෙන්නේ දැයි විමසූ මිතුරෙකුට. ඔහු ඒ ප්‍රශ්නය හැම අවුරුද්දේ ම අහනවා; මාත් මීට සමාන උත්තරයක් දෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙලට “දමනු පිනිස” අලුතින් නාට්‍යයක් හදන්න යන තවත් මිතුරෙකුටත් ඒ පිලිතුර ම වඩාත් විස්තරාත්මක ව දෙන්න මේ සතියේ දී ම සිදු වුනා.

මා ජීවිතයේ කිසි ම දිනෙක රාජ්‍ය නාට්‍ය උලෙල නැරඹීමට ගොස් නෑ. රාජ්‍ය නාට්‍ය උලෙලට සහභාගී වන අටියෙන් පමනක් නිර්මානය කෙරෙන නාට්‍යවලට සම්බන්ධ වෙලත් නෑ. ඒත් නාට්‍යය යනු සාමූහික කලාවක් නිසා මා සහභාගී වන නාට්‍යයක් රාජ්‍ය නාට්‍ය උලෙලට යාමට තීරනය කල හොත් මා කරන්නේ මගේ නම එහි නම් ලැයිස්තුවෙන් ඉවත් කරගැනීම යි. එය නාට්‍ය කන්ඩායමක් තුල අන්‍යෝන්‍ය ගරුත්වයට හානි නො වන අන්දමින් සිදු කරන්න බැරි නෑ. ඇතැම් අවස්ථාවල නාට්‍යයේ වැඩකටයුතු ආරම්භ වන අදියරේ දී ම අධ්‍යක්ශවරයා සමග සාකච්ඡා කොට පිලිවෙතක් හැටියට එය රාජ්‍ය නාට්‍ය උලෙලට නොයන නාට්‍යයක් බවට පත් කරගන්න උත්සාහ ගත් අවස්ථාත් එම යෝජනාව ඉහලින් ම පිලිගැනී සාර්ථක වුනු අවස්ථාත් තියෙනවා.

පාසැල් වියේ දී මුලින් ම රාජ්‍ය නාට්‍ය උලෙල ගැන උනන්දුවක් ඇති වුනේ අප පාසැලේ ගුරුතුමකු නිර්මානය කල කෘතියක් එම උලෙලේ අවසන් වටයට තේරුනු වග දැනගන්න ලැබුනු විට යි. විදුහල්පතිතුමා ඇතුලු සියලුදෙනා බලවත් උද්දාමයට පත් වී සිටි අතර නාට්‍ය ගුරුතුමාට පෙර නොලැබුනු ගරුසැලකිල්ලක් ලැබෙන්න කරුනු යෙදුනා. ඒත් නොබෝ කලකින් ම මට වැටහී ගියේ මේ රාජ්‍ය නාට්‍ය උලෙල යාන්ත්‍රනය නාට්‍යවලටත්, නාට්‍යකරුවන්ටත්, රසිකයින්ටත් අත් කරදෙන සෙතක් නැති බව යි. “රාජ්‍ය නාට්‍ය උලෙල වර්ජනය කල යුත්තේ ඇයි?” යන මැයින් පාසැල් වියේ දී ම විස්තරාත්මක ලිපියක් ලියන්නත් මම පෙලඹුනා. අවුරුදු ගනනාවකට පසු මට තව මත් පෙනී යන්නේ එම ලිපියේ තිබුනු පාසැල් වියට ආවේනික ආවේගශීලී ස්වභාවය හැරුනු විට අන් සියලු තර්කවලට මා අද ද එකඟ වන බව යි.

පුදුම අතිපන්ඩිතකමක් නේ? ඔයා ඔච්චර ලොක්කෙක් ද? ඕක මහ ලාමක විරෝධයක් නෙ?

කෙනෙකුට ඔහොම හිතෙන්න බැරි නෑ. සමහරු මට මූනට ම එහෙම කියලත් තියෙනවා. ඒත් ඔය උලෙලට රිංගමින් රාජ්‍යය විසින් ඇඳ දෙන කොටු අතර අඹ ඇට පනින උදවිය පාන අතිපන්ඩිතකම් හමුවේ මටත් මගේ අතිපන්ඩිතකමට අයිතියක් තියෙන බව යටහත් ව කියන්න හිතෙනවා. අනික මේ මම බලහත්කාරයෙන් අන්‍යයන් මත ආරෝපනය කරන/කරවන පිලිවෙතක් නෙමෙයි. සාධාරන ය යි මට වැටහෙන හේතු නිසා එම සැනකෙලියට සහභාගී වීමෙන් වැලකෙන්න මම තීරනය කර තිබෙනවා. අනිත් අතට, සෑම සියලු දෙනා ම රාජ්‍ය නාට්‍ය උලෙලට “කැමති වී” එයින් “සතුටට පත් විය යුතු” බව කීම තරම් අතිපන්ඩිතකමක් සහ ලාමකකමක් තවත් නෑ කියලයි මට හිතෙන්නේ.

රාජ්‍ය නාට්‍ය උලෙල යනු කුමක් ද?

රාජ්‍ය නාට්‍ය උලෙල ආරම්භ කෙරෙන්නේ අතිශය සංකීර්න හා ඓතිහාසික වසයෙන් වැදගත් සන්ධිස්ථානීය අවධියක. ලංකාවට “නිදහස” (ඩොමීනියන් තත්වය) ලැබීමෙන් පසු මෙරට පාලක පන්තිය අලුත් උත්සුකයක් ඇති ව කරට ගත් “ජාතිකත්වය” පිලිබඳ ව්‍යාපෘතියේ කොටසක් වසයෙන් “දේශීය” හා “ජාතික” කලා “සම්ප්‍රදායක්” සමග ඉදිරිදැක්මක් නිර්මානය කරන්න වෑයම් දරපු සමයක් ඒක. මේ “ජාතික” ව්‍යාපෘතියේ පාලනයට නාට්‍ය කලාව ඇතුලත් කරගැනීමේ හා නියාමනයේ ක්‍රියාවලිය තව මත් අධ්‍යයනය කල යුතු විශය ක්ශේත්‍රයක් හැටියට පවතිනවා. මෙතන, මේ ලිපියේ දිගපලලේ සීමාව තුල කිව හැක්කේ නාට්‍යය/ප්‍රසංග කලා ක්‍රියාකාරකම රාජ්‍යය විසින් දිගපලල හා නීතිරීති නිර්නය කරන අවකාශයක් තුලට කැඳවාගනිමින් නියාමනය කිරීමට රාජ්‍ය නාට්‍ය උලෙල මුල සිට ම (වරින් වර නම සහ නාට්‍ය තරගයේ ස්වරූපය වෙනස් වුනත්) යොදාගනු ලැබ තිබෙන බව යි.

ඒ සූක්ශ්ම රාජ්‍ය අධිකාරය පිලිබඳ සාකච්ඡාව වෙනත් ගැඹුරු අධ්‍යයනයකින් විස්තරාත්මක ව හා විශ්ලේශනාත්මක ව පැහැදිලි කරන තුරු කල් දැම්මත් අපට පැහැදිලි හා සරල ව පෙන්වා දිය හැකි තවත් පැති කීපයක් තියෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙල පවත්වනු ලබන්නේ 1952 හඳුන්වා දෙනු ලැබූ කලා මන්ඩල පනතට අනුව පත් කරනු ලබන නාට්‍ය අනුමන්ඩලයක් විසින්. මේ අනුමන්ඩලයේ ස්වභාවය හා සංයුතිය සෑම කල්හි ම නිර්නය වුනේ ඒ ඒ අවධියේ බලයෙහි සිටින දේශපාලන පක්ශයේත් පාලක ප්‍රභූවේත් අවශ්‍යතා හා සබඳතා අනුව. එම මන්ඩලයට පත් වන පිරිස් බොහෝ විට නාට්‍ය කලාවට සම්බන්ධ උදවිය වුනත් ඔවුන් පත් කෙරෙන්නේ එම හේතුව නිසා පමනක් නො ව ඊට ප්‍රථම කාලපරිච්ඡේදය තුල අදාල ආන්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියට දැක්වූ සම්බන්ධයේ හා සහභාගීත්වයේ තරම අනුව බව පැහැදිලි ව පෙන්වා දෙන්න පුලුවන්. මේ පිරිස සංස්කෘතික ඇමතිවරයා විසින් පත් කරනු ලබන අතර ආන්ඩුව සමග හොඳහිත පවතින තාක් දුරට ඒ තනතුරු දැරීමේ අවකාශ තියෙනවා.

මේ මන්ඩලය අඛන්ඩ ව හා ප්‍රධාන වසයෙන් සිදු කර තිබෙන කර්තව්‍යය වන්නේ වසරක් පාසා රාජ්‍ය නාට්‍ය උලෙලක් – නාට්‍ය තරගයක් – සංවිධානය කිරීම යි. උලෙලට වරින් වර “ජාතික නාට්‍ය උලෙල” වැනි සුලු වසයෙන් වෙනස් නම් ආරෝපනය කරනු ලැබුවත් සමස්තයක් වසයෙන් ගත් කල එය හරයෙන් වෙනස් වුනේ නෑ.

ඉතින් මේ නාට්‍ය උලෙලේ දී සිදු වෙන්නේ කුමක් ද? උලෙල සංවිධානය කරන ආයතන හා එහි තරග වදින පුද්ගලයින් භාවිත කරන වචනවලින් නො ව වෙනත් ආකාරයකට උලෙල නිරීක්ශනය කලොත් මෙහෙමයි: විවිධ ප්‍රවීන හා ආධුනික නාට්‍යකරුවන් විශාල සංඛ්‍යාවක් තමුන් ලියූ හෝ පරිවර්තනය කල නාට්‍ය පිටපත් නාට්‍ය අනුමන්ඩලයට – ඒ හරහා ඔවුන් පත් කරන විනිශ්චය මන්ඩලයට – එනයින් අවසාන විග්‍රහයේ දී අදාල ආන්ඩුවේ සංස්කෘතික ඇමතිවරයාට පෙන්වා “හොඳද සර් මේක?” කියා විමසනවා. මෙසේ හොඳනරක රාජ්‍යතන්ත්‍රයෙන් අසාගැනීමට ඉදිරිපත් වූ අය අතර නම් වසයෙන් කියතොත් එදා මෙදා තුර ඉතිහාසය පුරා සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම, කේ. බී. හේරත්, පරාක්‍රම නිරිඇල්ල, ප්‍රියංකර රත්නායක යනාදී අතිදක්ශ අග්‍රගන්‍ය නාට්‍යකරුවන් ඉන්නවා. මේ අනුමත වීම සිය ජීවිතයේ සන්ධිස්ථානයක් හැටියට සලකන අයත් මේ අතර නැත්තේ නැහැ. ඒ අතර නාට්‍යය හොඳ ද නැද්ද අනුමත කරන පැත්තේ ඉන්නේ ටී. බී. ඒකනායක වැනි ඇමති කෙනෙක් සමග ඔහුට යටත් අනුමන්ඩලය හා විනිශ්චය මන්ඩලය. ඉතින් සමහර පිටපත් අනුමත වෙනවා. සමහර පිටපත් අනුමැතිය නොලැබීම නිසා අභාවයට යනවා. මෙහි දී අනුමැතිය නොලැබෙන පිටපතක් නිශ්පාදනයට කෙනෙක් පෙලඹී ඇත්තේ ඉතා කලාතුරකින් බව ඉතිහාසය විමසා බලන විට පෙනී යනවා.

“තෝරාගැනුනු” නාට්‍ය පිටපත් නිශ්පාදනය කොට නැවත විනිශ්චය මන්ඩල හරහා රාජ්‍යයේ අනුමැතිය හා අනුග්‍රහය ලබාගන්නවා. එය ඇතැම් අවස්ථාවක වට කීපයකින් කෙරුනු බවත් දැන් බොහෝ විට වට දෙකකින් සිදු කෙරෙන බවත් පේනවා. ඒ නිසා මේ ක්‍රියාවලියට ඇතුලත් වෙන නාට්‍ය බහුතරයක් පවත්වන්නේ උපරිම වසයෙන් දර්ශනවාර දෙක යි: මුලින් විනිශ්චය මන්ඩලයට පෙන්වීම සඳහා “ප්‍රාදේශීය” වටය තුල දිනයක්. ඉන් පසු “අවසන් වටයට” තේරුනොත් කොලඹ රාජ්‍ය නාට්‍ය උලෙලේ දී රඟදක්වන්න පුලුවන්. රාජ්‍ය නාට්‍ය උලෙල වෙනුවෙන් ම නාට්‍ය හදන්න පුරුදුවෙලා ඉන්න නාට්‍යකරුවන් ඔය දෙකෙන් ඔබ්බට යෑමට උනන්දුවක් දක්වන්නේ ඉතා ම කලාතුරකින්. එනිසා ම නාට්‍යය රසිකයා ඉලක්ක කරනු වෙනුවට විනිශ්චය මන්ඩලය ඉලක්ක කර නිපදවන්නක් බවට පත් වෙනවා.

තරගයේ ඒ ඒ අදියරේ අනුමත වීම් සාමාන්‍යයෙන් එම අවධියේ පවත්නා ආන්ඩුවේ සාමාන්‍ය දේශපාලන හා සංස්කෘතික පිලිවෙත් සමග සමීප ව ගැටගැසී පවතිනවා. බොහෝ විට නාට්‍ය තරගයෙන් දිනන්න අවස්ථාව ලැබෙන්නේ දඩබ්බර නොවන, කීකරු, එහෙත් “ලස්සන” නාට්‍යයකට. මේ එක් එක් වට අතරතුර විනිශ්චය මන්ඩලය නාට්‍යකරුවන්ට උපදෙස් හා මගපෙන්වීම ලබාදෙනවා. නාට්‍යය ක්‍රමානුකූල ව රාජ්‍යය විසින් තීරනය කොට තිබෙන සීමා තුල රඳවාගන්න මේ ක්‍රියාවලිය නිසා හැකි වෙනවා. නාට්‍යයේ පිටපතේ අන්තර්ගතය, රංගනය හා සමස්තයක් වසයෙන් නාට්‍යයේ ස්වරූපය ම දැඩි පාලනයකට ලක් කෙරෙනවා. වේදිකාව සහ ප්‍රේක්ශකාගාරය උපයෝගී කරගත යුතු අන්දම යනාදී අතිශය මූලික කරුනුකාරනා දක්වා විනිශ්චය මන්ඩලයේ මැදිහත් වීම සිදු වෙනවා. මෙතන සිදු වන වාරනය රැඟුම් පාලක මන්ඩලයේ වාරනයට වඩා අතිශය සූක්ශ්ම ස්වරූපයක් ගන්නවා. රාජ්‍ය නාට්‍ය උලෙල අපේ නාට්‍ය ක්ශේත්‍රයේ ඉටු කරන කේන්ද්‍රීය ක්‍රියාකලාපය නිසා අද බිහි වන බොහෝ නාට්‍ය උපතේ දී ම ඊට සරිලන සීමා තුල පිහිටුවන්න නාට්‍යකරුවන් පෙලඹෙන බව නිරීක්ශනය කල හැකි යි.

මේ ක්‍රියාවලියට නාට්‍යකරුවන් ඇතුලු කිරීම මගින් අතිශය පහත් මට්ටමේ ගැටුම්කාරී තරගයක කොටස්කරුවන් බවට ඔවුන්ව පත් කරන්නත් රාජ්‍යය සමත් වෙනවා. සිය සතුරා රාජ්‍යය නො ව අනෙක් නාට්‍යකරුවා බව සිතන කලාකරුවෙක් බිහිකරන්න මේ උලෙල සමත් ව තිබෙන බව සාමාන්‍යයෙන් රාජ්‍ය නාට්‍ය උලෙල අවසන් වූ පසු කලාකරුවන් අතනමෙතන හා පුවත්පත්වල කියාගන්නා දෑ දකින විට පැහැදිලි යි. ඊට අමතර ව “අසාධාරන” තීන්දුවලට එරෙහි ව මේ විනිශ්චය මන්ඩලයේ සාමාජිකයින් සමග ගැටෙන්න සමහර නාට්‍යකරුවෝ දුරදිග යනවා. සාමාන්‍යයෙන් චිත්‍රය ඕක යි.

මීට අමතර ව අර ඉහත සඳහන් කල ජාතික / දේශීය නාට්‍ය කලාව පිලිබඳ ව්‍යාපෘතිය ඉතා සූක්ශ්ම අන්දමින් මේ තුල ක්‍රියාත්මක වෙනවා. ඉතා මෑතක දී අතිශය නාට්‍යමය ස්වරූපයකින් අනාවරනය වුනු එක පැත්තක් උදාහරනයක් හැටියට දක්වන්නම්. මෑතක එක ම අංග රචනා ශිල්පියා සිංහල සහ දෙමල නාට්‍ය දෙකොටසේ දී ම හොඳ ම අංග රචනය සඳහා සම්මාන ලබාගත්තා. එහි දී අනාවරනය වුනේ දෙමල නාට්‍යය සඳහා ලබා දුන් ත්‍යාග මුදල සිංහල නාට්‍යවලට දෙන මුදලට වඩා බෙහෙවින් අඩු බව යි! මෙය “ජාතික” සියලු දෑ “සිංහල” සියල්ල සමග අනන්‍ය කෙරුනු ලංකාවේ පශ්චාත් විජිත නිල සංස්කෘතික ව්‍යාපෘතිය සමග මනා ව ගැලපෙනවා.

සමාජීය හා සංස්කෘතික ප්‍රපංච කෑලි කෑලි හැටියට වෙන් කර, පුද්ගලයන්ගේ හරි හෝ වැරදි තීරන හැටියට වෙන් කර ගැනීමේ අතිසරල පිවිසුම අතහැර මේ සියල්ල සිදු වන පුලුල් ඓතිහාසික සන්දර්භය දෙස බැලීම මෙහි දී වැදගත්. නාට්‍ය කලාව නියාමනයට මැදිහත් වන රාජ්‍යය ම මාධ්‍යවේදීන් හා කලාකරුවන් මරාදැමීම, රටින් පලවා හැරීම, නාට්‍ය තහනම් කිරීම, නාට්‍යවල කොටස් කපා දැමීම, පොලිස් පාට් දැමීම යනාදියෙහි නිරත ව සිටිනවා; අදහස් පල කිරීමේ අයිතියට වැට බඳිනවා. ඉතින් මේ රාජ්‍ය තන්ත්‍රයෙන් ම අපේ නාට්‍යවල හොඳ නරක විනිශ්චය කරවාගැනීමට වෑයම් කිරීම මට වැටහෙන අන්දමට නම් අතිශය අදූරදර්ශී ක්‍රියාවක්. පොලිසිය පැමිනීම පොලිස්පතිගේ වැරැද්දක් හැටියටත්, වාරනය රැඟුම් පාලක මන්ඩලයේ වැඩක් හැටියටත්, නාට්‍ය උලෙල විනිශ්චය මන්ඩලයේ පුද්ගලයින්ගේ වීරකමක් හැටියටත් ගැනීම නොමග යවනසුලු යි; අතිසරල යි. “වැඩක් කරන්න ඕනකමක් තියෙන” “හොඳ” ඇමති කෙනෙක් සමග සෙට් වී “හොඳ වැඩ ටිකක්” ඉටු කරගැනීමේ න්‍යාය පත්‍රයට අනුගත වීම මේ මංමුලාවේ ම තවත් පැත්තක්.

මතු සම්බන්ධයි .

ආයුබෝවන්! නව ලිපිනය සහ පෝශක ගැන විස්තර

| Comments

බ්ලොග් අඩෙවිය සංක්‍රමනය බොහෝ දුරට සාර්ථක ව සිදු වුනා. අලුත් ලිපිනය http://web.alochana.net

අලුත් පෝශකය http://web.alochana.net/atom.xml

DISQUS ප්‍රතිචාර පද්ධතිය පැරනි ලිපි සමග තව ම හරි හැටි වැඩ කරන්නේ නෑ. එය ඉඩ කඩ ලැබෙන පරිදි සකසාගන්න යි අදහස.

බ්ලොග් අඩෙවිය අලුත් සර්වරයකට සහ ඇන්ජිමකට - Migrating This Blog to a New Server and Blog Engine

| Comments

UPDATE : නව ලිපිනයට සංක්‍රමනය වීම සාර්ථක යි.

නව ලිපිනය : http://web.alochana.net
නව පෝශකය : http://web.alochana.net/atom.xml
මේ අඩෙවිය දුර සිට කියවන ඔබේ බ්ලොග් කියවන සහ උපාංග ඒ අනුව සකස් කරගන්න.

+++ +++ +++
මුල් ලිපිය
කලක පටන් කල් දමමින් සිටි වැඩක් දැන් නොකර බැරි තැනට එමින් තියෙනවා. ගූගල් සේවාවන්ට ඇතුලු වෙන හැම දොරක් ලඟ ම එල්ලා තියෙන්නේ මගේ බ්ලොග් එක, සපත්තු කුට්ටම, යූටියුබය, පින්තූර ඇල්බමය, කලිසම, ගූගල් ප්ලස් (Google+) සමග මාට්ටු කරන සැටි කියා දෙන ඉඟි. ඇතැම් මොහොතක වැරදීමකින් එබෙන්න ඉඩ තියෙන හැංගුනු බොත්තම්, බිම් බෝම්බ, බොරු වලවල් මගඅරිමින් තවදුරටත් යන්න අමාරු තත්වයකට දැන් වැඩේ ඇවිත්. පිකාසා ඇල්බමවලට සිදු වුනු සන්තෑසිය නිසා දැනටමත් සමහර ලිපිවල තිබුනු පින්තූර අතුරුදන්. බ්ලොග් අඩෙවිවල ස්වරූපයත් “බ්ලොග්” වෙනුවට සමාජ ජාලයක හැටි සිහිගන්වන තත්වයක් පේන්න තියෙනවා. ඒ වෙනසට කැමති අයත් ඇති. ඒත් මම අයිති ඒ ගොඩට නෙමෙයි.

ඒ අතරේ තමුන්ගේ දේවල් තමුන්ට පාලනය කරන්න පුලුවන් තැන්වලට දමාගැනීම වැදගත්කම විනාශකාරී විදියට සනාථ කල PRISM ජංජාලයටත් ගූගල් ගෑවිලා. මෙකී නොකී බොහෝ කාරනා නිසා බ්ලොග් අඩවිය (සහ අනෙකුත් සියලු දෑ) ගූගල් වෙතින් ඉවතට ගැනීම තවත් පමා කරන්න අමාරු යි. මට ඍජු හානියක් වී නැතත් එවැනි සමාගමක් සමග බ්ලොග්කරනයේ යෙදෙන්න අවශ්‍ය නැහැ. එවැනි සමාගමකින් සැපයෙන ඊමේල් නම් කොහොමත් නුසුදුසු යි, හානිකර යි.

blogspot වලින් පිටමං වෙන අය බොහෝ විට එක්කෝ Wordpress.com වලට යනවා. එහෙමත් නැත්නම් තමුන් ම Wordpress ස්ථාපනය කරගන්නවා. නමුත් මට මේ Wordpress වැඩේ අල්ලන්නෙ නෑ. ඒ වැඩේ අනවශ්‍ය සංකීර්නකමක් ඇති කරනවා. MySQL වැනි සංකීර්න දත්තපාදමක් මේ වගේ පොඩි බ්ලොග් අඩෙවියකට පාවිච්චි කිරීම හරියට අභ්‍යවකාශ යානයක නැඟී නුවර සිට කොලඹ යාම වගෙයි. අනවශ්‍ය නාස්තියක් සහ විනාශයක්. ඒ විතරක් ද, ඔය දත්තපාදම්වලට අමුක්කු සන්නිය හෙවත් සුදාරක රෝගය වැලඳීමේ අවදානම බොහොම ඉහල යි. එහෙම නැති නිරෝගී සර්වරයක් හොයාගැනීමත් බොහොම වියදම් අධික වැඩක්. Wordpress.com මත දී අපට ලැබෙන පාලනය ගූගල් මත දී තිබෙන තරමටත් වඩා අඩුයි කියලයි මට දැනෙන්නෙ. එනිසා ඒ විසඳුම් අතහැරියා.

ඉතින් මෙතනින් පිටමං වෙනකොට මට හොයාගන්න සිද්ධ වුනා Wordpress (drupal සහ තවත් එවැනි CMS ජාති) වලටත් විකල්පයක් වෙන බ්ලොග් ඇන්ජිමක්. ඩේටාබේස් එකකින් දත්ත අදිමින් පිටු ජීවමාන ව සකසන පද්ධතියක් වෙනුවට ස්ථිතික පිටු නිර්මානය කරන බ්ලොග් ඇන්ජිමක් තිබුනොත් බ්ලොග් අඩෙවිය ඕනෑ ම පිලිකන්නක හොස්ට් කරගන්න පුලුවනි. එතනිනුත් ඔබ්බට ගිහින් PHP වලිනුත් නිදහස් වෙන්න හැකි නම් ඇත්තට ම බ්ලොග් අඩවිය සියයට සියයක් ආරක්ශිත විදිහට පවත්වාගෙන යන්න පුලුවන්. ඒ වැඩේට විසඳුම් ගනනාවක් අතර සැරිසරලා අන්තිමේ දී මම නතර වුන තැන තමයි Jekyll. මේක Ruby භාශාවෙන් රචනා කෙරුනු බ්ලොග්-හිතැති ස්ථිතික පිටු ජනනය කරන මෘදුකාංගයක්; බ්ලොග්කරන මෘදුකාංගයක් නෙමෙයි parsing engine එකක්. කෙලින් ම, අමුවෙන් ම ගත්තාම මේකට මාරු වීම තරමක් සංකීර්න වැඩක්. ඒත් ඒ සංකීර්නකම අඩු කරලා මම වගේ අඳුරේ අතපතගාගෙන යන කෙනෙකුට වුනත් අටවාගන්න පුලුවන් විදිහට Jekyll සකස් කරලා Octopress හැටියට නිකුත් කර තිබෙනවා. දැන් මම කරන්න යන්නේ Octopress මතට මගේ බ්ලොග් අඩෙවිය මාරු කිරීම.

සංක්‍රාන්තිය
නව ලිපිනයකට මාරු වීම දැනටත් සිදු වී අවසන්. ඉදිරි දින දෙක-තුන තුල ඉතිරි වෙනස්කම් කාල වේලාව තිබෙන පරිදි කරන්න යි අදහස. අතරමැදි අවස්ථාවක මේ බ්ලොග් අඩෙවියේ පෙනුම වෙනස් වෙන්නත්, ප්‍රතිචාර සියල්ල තාවකාලික ව අතුරුදන් වෙන්නත් නියමිත යි. මාරුව අවසන් වූ පසු දැන් තියෙන ලිපිනයේ ම අඩෙවිය දැකගන්න පුලුවන්. blogspot පිටුවලට වෙනත් තැන්වලින් පැමිනෙන අයට පවා අතරමං වීමක් නැතුව අලුත් ලිපිනයේ අදාල පිටුවට ම ලඟා වෙන්න පුලුවන් විදිහට යි මාරුව කරන්නෙ. එනිසා කිසිම පිටුවක්, සබැඳුමක් කල් ඉකුත් වෙන්නෙ නෑ. (Cool URIs don’t change!) අපේ සමහර පත්තර නම් සතියකට වතාවක් සියලු ලිපි ඉවත් කරගනිමින් අන්තර්ජාලය කැත කරනවා.

වෙනස් වෙන්නෙ මොනවද?
මේ මාරුවෙන් පසු blogspot වෙතින් ලබා දුන් පැරනි rss සහ atom පෝශක නම් ඇන හිටිනවා. තව දුරටත් ඒවා භාවිත වෙන්නෙ නෑ. ඒ වගේ ම feedburner භාවිතයත් නවතා දමන්න යි යන්නේ. එනිසා මාරුවෙන් පසු අලුත් පෝශකයක් නිකුත් කෙරෙනවා. පුද්ගලික සහ පොදු බ්ලොග් කියවන සඳහා යොදාගත යුත්තේ එය යි. feedburner දිගටම යොදාගැනීමේ හැකියාව ඇතත් එයත් google සමාගම අවශ්‍ය වෙලාවට වසා දැමෙන්න ඉඩ තියෙන නිසා මේ වෙලාවේ එයිනුත් නිදහස් වෙන එක හොඳ යි. කෙටියෙන් කියතොත් අහිතකර බොහෝ දේවල් ඉවත් වී හොඳ දේ ටිකක් එකතු වී බ්ලොග් අඩෙවිය සරල වෙනවා.

මේ විදිහට බ්ලොග් අඩවිය Jekyll හෝ Octopress මතට මාරු කරගන්න කැමති අයට පියවරෙන් පියවර විස්තර කරන සටහනක් පසුව පලකරන්නම්. මට ජය වේවා!

ගල්ලෙන මුර ලා!: සරච්චන්ද්‍ර උරුමය - අද සහ හෙට (1 කොටස)

| Comments

පූර්විකාව

එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ ජන්ම ශත සංවත්සරයත් සමග අලුතින් ඉහල නැඟුනු උද්‍යෝගයක් සහිත ව එතුමන්ගේ කාර්යභාරය පිලිබඳ සාකච්ඡා ඇති වෙමින් තිබෙනු දකින්න ලැබීම ඉතා හිතකර දෙයක්; සතුටට කරුනක්. මේ සංවාද අවකාශයට ඇතුලු වන ඇතැමෙක් අලුත් විචාර මිනුම් දඬු, දෘශ්ටි කෝන ආධාරයෙන් සරච්චන්ද්‍රයන්ගේ උරුමය නැවත විමසීමට ප්‍රයත්න දරන අතර ඇතැමෙක් පෙර සිට පැවත ආ පිලිවෙල ම අනුයමින් මේ මහා කලාකරුවා අභිවාදනය කරනවා. තවත් සමහරු සරච්චන්ද්‍ර නමැති නාට්‍යකරුවා, කවියා, දාර්ශනිකයා යනාදී වසයෙන් විවිධ පැතිවලින් විමර්ශනයේ යෙදෙනවා. මේ බොහෝ අදහස් හා විවරන අපේ සංස්කෘතික ජීවිතය අර්ථවත් කරන්න දායක වෙනවා. ඒ ගැන සැකයක්, විවාදයක් නැහැ. මේ කෙටි ලිපියෙන් මම අදහස් කරන්නේ ඒ සාකච්ඡාවට මැදිහත් වෙන්න නෙමෙයි, සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය රසිකයෙක් හැටියට මට නිතර සිතුනු, කල්පනා වුනු එක් කරුනක් ගැන - ගෞරව සම්ප්‍රයුක්ත ව - “ශබ්ද නඟා හිතන්න” යි.

ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය බොහෝ දුශ්කරතා හා කම්කටොලු මැද එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාන සමුදාය රැකගන්නත් ඒ උරුමය පෙරට ගෙනියන්නත් උර දී සිටින බව අප කවුරුත් දන්නවා. ඒත් කලක පටන් එතුමිය ප්‍රකට කරමින් සිටින ප්‍රවනතාවක් ගැන නාට්‍ය රසිකයකු හැටියට මට තිබෙන්නේ බරපතල ප්‍රශ්නයක්. මෙකී ප්‍රවනතාව ආරම්භයේ දී දකින්න ලැබුනේ සරච්චන්ද්‍ර නාටක, ගීත හා පතපොත යනාදිය අනවසරයෙන් ප්‍රතිනිශ්පාදනය වීම, තැටි වසයෙන් විකිනීම හා නොගැලපෙන සන්දර්භවල ප්‍රසංග සඳහා යොදාගැනීම යනාදියට තියෙන විරෝධයක් හැටියට. ඉන් පසු එම නාට්‍යවල සිටි පැරනි ශිල්පීන් විවිධ අධ්‍යාපනික සහ/හෝ වානිජ කර්තව්‍යයන් සඳහා සන්නිදර්ශන වසයෙන් එම නාට්‍ය ගීත යොදාගැනීම පිලිබඳ විරෝධයක් ද පෙන්නුම් කෙරුනා. මේ විරෝධය පෑමට එතුමියට නෛතික මෙන් ම සදාචාරාත්මක අයිතියක් ද තිබෙනවා. ඊට අතිරේක ව පුද්ගලික හේතුත් ඇති. ඒ හේතු අසාධාරන ය යි මම කියන්නේ නෑ.

ඒත් එතුමියගේ විරෝධය තවත් අංශ කීපයකට ම පැතිර යමින් තිබුනු බව එදා පටන් ම නිරීක්ශනය කරන්න පුලුවන් වුනා. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය පිටපත් උපයෝගී කරගනිමින් අලුත් නිශ්පාදන කිරීම ගැන කිසිම ප්‍රසාදජනක අදහසක එතුමිය නැහැ. ඒ විතරක් නෙමෙයි එම නාට්‍ය පරිවර්තනය කොට වෙනත් භාශාවන්ගෙන්, වෙනත් රංග ශෛලීන්ගෙන් ප්‍රයුංජනය වීම ගැනත් සරච්චන්ද්‍ර මැතිනිය ඉන්නේ දැඩි නිශේධාත්මක ආස්ථානයක බව ධර්මජිත් පුනර්ජීවගේ සිංහබාහු ඉංග්‍රීසි නිශ්පාදනයට දැක්වූ ප්‍රතිචාරයෙන් පෙන්නුම් කෙරුනා. මේ සියල්ල සිදු විය හැක්කේ එතුමියගේ අවසරය ඇතොත් පමනයි. එතුමියගේ විරෝධය දැන් තවත් තලයකට නැඟ තිබෙන බව පෙන්නුම් කෙරෙන සම්මුඛ සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා - අගෝස්තු 04 - ලංකාදීප පුවත්පතේ පල වී තිබෙනවා. සරච්චන්ද්‍ර මැතිනිය මෙහෙම කියනවා (දීර්ඝ වුනත් එතුමියගේ සම්පූර්න අදහසට ම සවන් දීම වැදගත්):
“අද මම තමයි සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය නැවත අධ්‍යක්ෂණය කරන්නේ. නාට්‍යවල තිබූ ගුණාත්මක භාවය ඉහළින් මිසක අඩුවෙලා නෑ. නළුවෝ අද දක්ෂයි. ඔවුන්ට දකින්න තිබෙන දේ වැඩියි. ඉතා හොඳට තමයි අද නාට්‍ය නිෂ්පාදනය කෙරෙන්නේ. හැමදේම මගේ අනුදැනුම මතයි යන්නේ

“නමුත් විශාල ප්‍රශ්නයක් දැන් ඇති වෙලා. පාසල්වලට සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය කරන්න කිව්වාට මේ අය මගේ අවසරයක් නැතුව “සිංහබාහු, මනමේ” කරනවා. කොළඹට නුදුරු බාලිකා පාසලක “මනමේ” කරලා. ඒ අය ඒක දින්නා කියලා ඒක ලොකු මාධ්‍ය ආයතනයක් මගින් පසුගියදා පෙන්නුවා. ඒක බොහොම වැරදි වැඩක්. එහෙම සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක්ද? මුළු ලෝකෙම අපේ ජාතික වස්තුවක් ලෙස සලකන “මනමේ” අර නාට්‍ය තරගයකට ගිහින් දින්නයි කියලා මාධ්‍ය ආයතනවලින් පෙන්වීම වැරැදියි. “මනමේ” කුමාරයාට රඟපාන්නේ ගැහැනු ළමයෙක් කොයිතරම් වැරැදිද?

“අනික මේක වැඩිහිටි කතාවක්නේ ගැහැනු ළමයි දාලා පාසලක මෙය කරන එක වැරැදි වැඩක්. නරඹන එක වෙනම දෙයක්. නමුත් නාට්‍යයක් කිරීමේ දී ඒ චරිතය තුළට කිඳා බැසිය යුතුයි. මගේ කිසිම අවසරයක් නැතුව මේ අය කරපු දේ අනුමත කරන්න පුළුවන්ද? මට හරිම සංවේගයක් ඇති වුණා. මේ නොවැම්බර් මාසයේ 3 වැනිදාට “මනමේ” ට අවුරුදු 57ක් වෙනවා. මාධ්‍ය ආයතනවල තිබෙන්නේ ඒ තරගවලින් දිනූ ගැහැනු ළමයි කළ “මනමේ” පෙන්වන එක නෙවෙයිනේ. “මනමේ” තවම රඟ දක්වන නාට්‍යයක්. ඒක පෙන්වන්න පුළුවන්නේ. ඉතිං මේක හරි කොල්ලයක්. නොදන්න අයට වැඩසටහන් බාර දුන්නාම වෙන දේ ඕක තමයි මොකද ඔවුන් මෙහි වටිනාකම දන්නෙ නෑ.

“මේ ගැන ලොකු කලකිරීමක් මට තිබෙන්නේ. සරච්චන්ද්‍ර මහත්මයාට මම හිතින් කිව්වා. මේවා මට බාරදීලා ඇයි ගියේ? අද මේවා කොල්ල කනවා නේද කියලා. සාරධර්මවලට විරුද්ධයි. “මනමේ” මේ විදිහට කළ ගුරුවරු මගෙන් අවසර ගන්නේ නැතුව කරපු දේ වැරැදියි. මාධ්‍ය ආයතනවල මේවා අරගෙන පෙන්වීමත් වැරැදියි.



“මට තමයි සරච්චන්ද්‍ර මහත්මයාගේ සියලුම නිර්මාණවල අයිතිය තියෙන්නේ. එය අන්තිම කැමති පත්‍රයෙත් සඳහන් කරලා තියෙනවා. ඒ හැරුනු විට බුද්ධිමය දේපළ පනතක් තිබෙනවානේ. අපි මාධ්‍ය ආයතනවලට කියලා තිබෙනවා මගේ අවසරයක් නැතුව සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය පෙන්වන්න එපා කියලා. මාධ්‍ය ආයතන අද වැරැදි වැඩ කරනවා. ඔය මාධ්‍ය ආයතනවලට මුලින්ම නාට්‍ය සැපයුවේ අපියි. අපිටම දැන් කෙණහිලිකම් කරනවා. කොයිතරම් වැරැදිද? “මනමේ, සිංහබාහු” ආශ්‍රයෙන් මොනවා හරි නිර්මාණ කරන්න පුළුවන්. හැබැයි ඒ අයිතිය තියෙන්නේත් මට විතරයි.

“මගේ අයිතිය සරච්චන්ද්‍ර මහත්මයාට අගෞරව නොවන ආකාරයට මම පාවිච්චි කරනවා. මට දැන් නඩු හබ යන්න වෙලා. මේක හරි කරදරයක්. සමහරු අපේ නිර්මාණ අරගෙන ඒවා DVD වලට දමා විකුණන්න හදනවා. ඒක තව ප්‍රශ්නයක්. මම අධ්‍යාපන ඇමැතිතුමා හමුවෙලා මේ ගැන කියන්න හිතාගෙන ඉන්නවා. ළමයින්ට පාසැල්වල මේවා රඟපාන්න දෙන්න එපා කියලා. අඩුම ගණනේ “මනමේ, සිංහබාහු” දෙකවත් ආරක්ෂා කරන්න. ළමයින්ට පුළුවන් දේවල් නොවෙයි මේ. පාසල්වල විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට දඬුවම් කළ යුතුයි. අහන්නේ නැතිව මේ අය කරන වැඩේ ගැන කවුද කතා කරන්නේ?”

(ලංකාදීප 2013 අගෝස්තු 04 සිකුරාදා, රසවින්දන අතිරේකය, 3 - 4 පිටු. සංවාද සටහන සමන් යහම්පත් / අක්ශර වින්‍යාසය හා පද බෙදීම පුවත්පතට අනුව)

මතු සම්බන්ධ යි.