වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බිඳුනු බැඳුම්

| Comments

මේ බ්ලොග් අඩෙවියේ පැරනි ලිපිවල තියෙන ඇතැම් සබැඳි (links) කල් ඉකුත් වී බිඳී ගිහින් බව පේනවා. එයින් ඇතැම් ඒවා දැනටත් ඉතා ම ප්‍රයෝජනවත්. සබැඳුම් පල කර කලක් ගත වූ විට ඒ ඒ වෙබ් පිටු එක්කෝ වෙනත් ලිපින කරා ගෙන යාම නිසාත් නැත්නම් සම්පූර්නයෙන් අන්තර්ජාලයෙන් චුත වීම නිසාත් මේ තත්වය හටගන්නවා. සමහර පුවත්පත් පවා සිය ලිපිලේඛනවල ලිපින නිශ්චිත ව තබාගැනීම ගැන ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නෑ. ලක්බිම පත්තරේ වෙබ් අඩෙවියේ නම් ලිපියක් තියෙන්නේ දින කීපයක් විතරයි. ඉන් පසු සියල්ල ආපහු බිමට බා ඊලඟ සතියේ පත්තරේ උඩට එවනවා. අර ලිපිවලට සබැඳි පල අයට අතරමං වෙන්න සිද්ධ වෙනවා. මේ ක්‍රමයට පත්තර පල කිරීම “හොඳ බවට” කර්තෘ මන්ඩලවලට සහ පරිපාලකයින්ට ලනු ගිල්ලන වෙබ් සංවර්ධක විශාරදවරුන්ගෙන් හිගයක් නෑ.

ඒ අතර පිකාසා වෙබ් ඇල්බම වැනි ගූගල් සේවාවනුත් මේ විදිහේ URI මාරුවක් සිදු කර ඇති බවට සඳහනක් දකින්න ලැබෙනවා! මේ තත්වය මගේ පින්තූර ඇල්බමවලට එන අයට බලපාන්නේ කෙසේ ද යන්න ගැන මට තව ම වැටහීමක් නැහැ.

මඳ කලක් නොකඩවා අන්තර්ජාලයට සම්බන්ධිත ව තිබුනු වෙබ් පිටු නම් archive.org අඩෙවියේ ලේඛනාගාර තුලින් හොයාගන්න පුලුවන්. ඇත්තට ම යම් සබැඳුමක් කල් ඉකුත් වූ විට ඉබේ ම ඒ සබැඳුමට අදාල වෙබ් පිටුවේ archive.org පිටපත කරා ඉබේ යොමු කෙරෙන ක්‍රමයක් (forwarding method) තියෙනවා නම් මොන තරම් ලේසි ද? මේ විදිහේ දෙයක් ක්‍රියාත්මක කරන්න හැකි නම් අපේ අන්තර්ජාල පරිසරයට උදව්වක්. හැබැයි අනිත් අතට එවැනි “පාර හරවා යැවීමක්” අදාල සබැඳිය ක්ලික් කරන පරිශීලකයාගේ තේරීමට පිට මඟක ඔහු/ඇය රැගෙන යාමක් නිසා එහි ආචාර ධාර්මික ගැටලුවක් තිබේ ද යන්නත් ප්‍රශ්නයක්. කොහොම වුනත් මේවා නැවත නැවත අතින් හදන්න වීම නම් මහා හිසරදයක්.

ඔය කාරනය සම්බන්ධයෙන් හිතද්දී හමු වුනු හොඳ ලිපියක් මෙතන තියෙනවා: Cool URIs don’t change

.