වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

නත්තල් පුවත්…

| Comments

මම ඒ තරම් රූපවාහිනී ප්‍රවෘත්ති ගැන උනන්දු වෙන කෙනෙක් නොවුනත් පසුගිය දිනවල රූපවාහිනී නාලිකා කීපයක ම ප්‍රවෘත්ති නරඹන්න ලැබුනා, අහම්බෙන්. බොහොම ආකර්ශනීය දෙයක් එක පාරටම හිතට කාවැදුනා. ඒ තමයි ප්‍රවෘත්ති නිවේදක-නිවේදිකා යුවල වට කරගෙන තියෙන නත්තල් අසිරිය. නත්තල් අසිරිය හැටියට අපේ රටේ තියෙන්නෙ නත්තල් සීයාත්, නත්තල් ගහත්, හිම වැටීමත් තමයි. මේ කාලෙට නුවර එලිය වගේ කඳුකර පලාත්වලට විතරක් නෙමෙයි කොලඹට වුනත් තදින් හිම පතනය සිද්ද වෙන නිසා ඒක ප්‍රවෘත්ති මැදිරියක් තුල මේ විදිහට ප්‍රතිනිර්මානය කිරීම බොහොම කලාත්මක වගේම කාලෝචිත අදහසක්. රතු පැහැ විල්ලුදයෙන් සරසාපු මේසය… හිම කැටි වැනි සුදු පැහැ ඇතිරිලි… පසුබිමේ හිම කඳු… සමහර නාලිකාවක ප්‍රවෘත්ති මේසය මතත් පුංචි නත්තල් ගහක්. ප්‍රවෘත්ති ප්‍රකාශය සිද්ධ වෙන අතරවාරයේ හිම ඇදගෙන වැටෙනවා. බලන්න ලස්සනයි. රූපවාහිනී බාසාවෙන් කිව්වොත් “සුන්දරයි”.

අභාග්‍යසම්පන්න කාරනය නම් මේ නිවේදක නිවේදිකාවෙන් මේ සා දරුනු සිසිරයක් මැද කිසිම උනුසුම් ඇඳුමක් නැතිව දුක් විඳීමයි. මේ නාලිකාවල වගකිවයුත්තන් සීත කාලයට හරියන ඇඳුම් පැලඳුම් ද මොවුනට සපයා දීමට කටයුතු නොකිරීම කනගාටුවට හේතුවක්. අනිත් අතට එහෙව් තත්වයක් තුලත් හීතලේ වෙව්ලන්නෙ නැතුව කෙලින් ප්‍රවෘත්ති ටික කියාගන්න ශක්තිය තියෙන නිවේදක නිවේදිකාවන් ඉඳීම අපට අභිමානයක්. මීලඟ වසරේ ටෙලි සම්මාන දෙන උදවිය ඒ පැත්ත ගැනත් සලකා බැලුවොත් හොඳයි.



නිවේදක මහතා නත්තල් සීයා හැටියට වෙස් ගැන්නුවා නම් මේ ශෛලිය තවදුරටත් දියුනු කරන්න තිබුනා.


.

ගාමිණී හත්තොටුවේගම අනුස්මරන වීදි නාට්‍ය දැක්ම නොවැම්බර් 29 ඉරිදා හවස 6ට

| Comments


අභාවප්‍රාප්ත නාට්‍යවේදී ආචාර්ය ගාමිණී හත්තොටුවේගම සූරීන් අනුස්මරනය කිරීම්වස් විවෘත වීදි නාට්‍ය කන්ඩායම ඉදිරිපත් කරන විශේශ වීදි නාට්‍ය දර්ශනයක් නොවැම්බර් 29 වැනි ඉරිදා පස්වරු 6.00 ට මොරටුව, කඩොලාන මෙතෝදිස්ත පල්ලිය අසල භූමියේ දී පැවැත්වෙනවා. හත්තොටුවේගමයන්ගේ 71 වැනි ජන්ම සංවත්සරය යෙදී ඇත්තේ ද එදිනට යි.

මෙය විවෘත වීදි නාට්‍ය කන්ඩායමේ මුල් කාලීන සාමාජිකයන් මෙන් ම වත්මන් සාමාජිකයින් ද එක ම කරලියක රංගනයේ යෙදෙන සුවිශේශී අවස්ථාවක්.

පුවත පතුරන්න, ඔබත් එන්න.

Gamini Haththotuwegama Commemoration Show on Sunday, Nov 29 at 6.00 Pm

| Comments

In commemoration of the late Dr.Gamini Haththotuwegama’s life and work, a performance will be held on the 29th of November – the day of his 71st birthday – near the Methodist Church in Kadolana, Moratuwa, at 6.00 p.m. The performance will feature past and present members of the Wayside and Open Theatre.




Street is open :) Spread the news! Come with your friends and colleagues.

සාහිත්‍ය චක්‍රවර්ති

| Comments

අපේ රටට සක්විතිලාගෙන්, ඒ කියන්නෙ චක්‍රවර්තිලාගෙන් නම් අඩුවක් නෑ. පුරාවිද්‍යා චක්‍රවර්තිලාගේ සිට බයිලා චක්‍රවර්තිලා දක්වාත්, බුත්සරන කතුවර විද්‍යා චක්‍රවර්තීන්ගේ සිට නිකම් සක්විතිලා දුසිම් බාගයක් පමන දක්වාත් විහිද යන සක්විති පරපුරක් බිහි කරමින් මේ පින් බිම ලොව පෙරමුනේ වැජඹෙනවා. චක්‍රවර්ති කියන පදයට සරල සමකාලීන තේරුමක් දෙන්න අවශ්‍ය නම් අධිරාජයා කියන පදය හොඳයි. ඉංග්‍රීසියෙන් emperor කියන්නෙත් මේකට සමාන පදයක්. දැන් සමහරු කියන්නාක් මෙන් මේ දේශයේ ම ඉපදුනු ගෞතම බුදුරජානන් වහන්සේත් චක්කවත්ති සිහනාද සූත්‍රය දේශනා කරමින් මේ පදයේ අරුත් තවත් සංකීර්න හා බරසාර කොට තිබෙනවා. රජවරුන් බිහි වන උදාර ලකුනු පහල ව ඇති මෙවන් යුගයක චක්‍රවර්ති යන වෙසෙසුම වඩ වඩාත් අදාල බවක් කෙනෙකුට පෙනුනොත් ඒකත් පුදුමයක් නෙමෙයි.

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය නමින් කලින් ප්‍රකට ව තිබූ දැන් කැලනිය විශ්ව විද්‍යාලය නමින් දන්නා ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී අද දහවල් විවිධ සමකාලීන පඬිවරුන්ට සාහිත්‍ය චක්‍රවර්ති උපාධියත් තව නානා පන්නයේ උපාධිත් ප්‍රදානය කෙරුනු බව වාර්තා වුනා.

මේ ස්ථානයෙන් යටගිය දවස සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය ලද පඬි රුවනක් තමයි අග්ගමහා පන්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියෝ. බුද්ධදත්ත හාමුදුරුවන් ගැන විස්තර හොයද්දී ලැබුනා මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලියපු සටහනක්. ඒ උන්වහන්සේගේ භාශා සාහිත්‍ය ප්‍රවීනත්වය හා ශික්ශනය ගැන.

“පොල්වත්තේ බුද්ධදත්ත නායක හිමියෝ පඩිවරයෙකු හා ධර්මධරයෙකු වශයෙන් අනිත් පැවිදි පඩිවරයන්ට හා ධර්මධරයන්ට අහිමි සංකීර්ණ චරිත ඇත්තෙකි. පාලි භාෂාවෙහි අභිධර්මයෙහි හා ශාසන වංශයෙහි ද පැතිරි ඇති දැනුම ලේඛකයෙකුට අවශ්‍ය ව්‍යුත්පත්තිය, බහුශ්‍රැත භාවය, නිර්ව්‍යාජත්වය තම වැටහීම, නිර්භයව කීම, පොත පත උගැන්මෙන් හා ලිවීමෙන් ලබන අත්‍යන්තර සන්තෝෂය යන මේ ගුණාංගයන් ගෙන් සංකීර්ණ වූවකි. උන්වහන්සේගේ උගත්කම ලේඛකයෙකුට අවශ්‍ය ව්‍යුත්පත්තියත්, ලිවීමෙන් අත්‍යන්ත සන්තෝෂයත් ඇති පැවිදි පඬිවරයෙකු දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි…. ලිවීම උන්වහන්සේට භාවනා විශේෂයක් විය. උදේ සිට රෑ වනතුරු ලිවීමෙන් වුවද උන්වහන්සේට වෙහෙසක් නොදැනුණි.”

සිංහල, පාලි, සංස්කෘත, බුරුම, ඉංග්‍රීසි ආදී භාශා ගනනාවක් දැන සිටි උන්වහන්සේ ඊ. ජේ. තෝමස්, රීස් ඩේවිඩ්ස්, අයි. ඩී. හෝනර් ආදී ලොව වටා වියතුන් සමග ලිපි හුවමාරුවේ යෙදුනේ පාලි බසින් බවත් කියැවෙනවා.

තවත් විස්තර බලන්න මෙතැනට යන්න.

ඉතින් මෙවැනි පඬිවරුන්ට සම වෙමින් බැබලෙන අග්‍රතර සාහිත්‍ය චක්‍රවර්තීන්ගේ පහස යලි යලිත් ලබන්නට මේ ලංකා ධරනී තලය මොන තරම් පින් කර ඇද්ද? එහි වෙසෙන ජනතාව මොනතරම් භාග්‍යවන්තයෝ ද? අර ප්‍රසිද්ධ ගීතයකත් තියෙන්නෙ

පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා

හ්ම්. කාටද ආඩම්බර?

Arrested “Blogger” : An Update

| Comments

කලින් පල කෙරුනු බ්ලොග් සටහන හා සම්බන්ධ යි. ජනමාධ්‍ය අදාල සිද්ධිය වාර්තා කර තිබෙන අන්දම අතිශය දෝශ සහගත බව මාතලේ මහෙස්ත්‍රාත් උසාවියේ පවරා ඇති අංක B/1013/09 නඩුව පිලිබඳ සොයාබැලීමේ දී පෙනී ගියා.

ගයාන් රාජපක්ශ යන අයට එරෙහි ව එල්ල ව ඇති චෝදනාව වන්නේ වෙන අයකුගේ විද්‍යුත් ලිපිනයක් භාවිත කරමින් (අන් අයකු ලෙස පෙනී සිටිමින්) ජනාධිපතිවරයාට තර්ජනය කරමින් විද්‍යුත් ලිපි යැවීම. අදාල විද්‍යුත් ලිපිය කුමක් ද යන්නත් තර්ජනයේ ස්වභාවය කෙබඳු ද යන්නත් තව ම අනාවරනය ව නැහැ.

පැමිනිලිකරු රාජ්‍ය ආරක්ශක අමාත්‍යාංශයේ අන්තර්ජාල නීති පිලිබඳ බලධාරියෙක් - කපිතාන් ****