වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සුන්දර වචන

| Comments

කතා කිරීම, කියවීම හා නන්දෙඩවීම සම්බන්ධ අධිකාර බලය එෆ් එම් චැනල්වල “නිවේදක” “නිවේදිකාවන්” අතට පත් වූ දා ඉඳන් අධිවේගයෙන් තොරොම්බල් වුන වචනයක් තමයි “සුන්දර”. බොහෝ විට මියපරලොව යන, බීමත් ව මියෑදීමට ආසන්න, ජීවිතය ගැන කලකිරී පරන රොමෑන්ටික් කතා දොඩවන මෙකී නොකී නානා ප්‍රකාර මිනිසුන් - බොහෝ විට කලාකරුවන් හෝ දේශපාලකයින් - හඳුන්වන්න මේ අය “සුන්දර” කියන වචනේ යොදනවා. මියපරලොව ගිය මිනිහා ගැන මෙලෝ සංසාරයක් නොදන්න නිවේදකයා/මාධ්‍යවේදියා මන්ද පෝශනයෙන් පෙලෙන සිය වාක් කෝශය සොලවා මෙහෙම කියනවා. “මේ සුන්දර මිනිසා අද අවසන් ගමන් යනවා…”.

රැයක් දවාලක් නැතුව මේ සුන්දර කතා අහ අහ ඉන්නකොට ඔන්න දැන් හැමතැනටම “සුන්දරත්වය” කාන්දු වෙලා. හරියට අර තේම්ස් නදියේ සවාරියක් කතාවේ තෙල් කාන්දුව වගේ. ලේඛකයෝ, මාධ්‍යවේදියෝ, කලාකාරයෝ, දේශපාලකයෝ, හාමුදුරුවරු, පූජකවරු හැමෝම දැන් ලවක් දෙවක් නැතුව සුන්දර දේවල් ගැන කතා කරනවා. පොත්පත්, කලාකෘති, ස්ත්‍රී පුරුශයින්, ගස් ගල්, අරක්කු බෝතල්… පන්සල්, බනමඩු, කවි බන, නවක වදය, යුද්ධය, සාමය…

සියලු දෙනාට ආදරය ගැන කියන්න තියෙන්නෙත් ඒක (සුන්දර ආන්ඩුකාරවරුත් මේ අතර සිහි වෙනවා) සුන්දර දෙයක් කියලයි. දහඩිය ගඳ, ඒකත් සුන්දරයි. තව තව නානාප්‍රකාර දේවල් සුන්දරයි.

සුන්දර නවක වදයක් නැත යන මැයින් පල ව තිබුනු අගනා බ්ලොග් සටහන කියවද්දී තමයි මේ නන්දෙඩවිල්ල මගේ ඔලුවට ආවෙ.